January 15, 2014

පැංච


ඉර බැහැගෙන යනව. මුළු අහසම රතු පාටට, සිරියාවයි. හෙමින් හෙමින් කළුවර වැටෙනව. ඉර බැහැගෙන කළුවර එන එක ගැන කාටවත් වගක් වත් නැහැ, කඩි ගුලක් ඇවිස්සුව වගේ හැමෝම එහෙට මෙහෙට දුවනව. තැනින් තැන ෆ්ලෑෂ් ලයිට් පත්තු වෙන්න පටන් ගන්නව, අද බීම් කොන්ක්‍රීට් එකක්. හැමෝම ඒකට ලැහැස්ති වෙනව.

පැංච, එක දවසක් උදේ ආගන්තුක මුහුණක් දැකල මගේ හිත සසල වෙන්න හේතුව වෙච්ච පැංච, කෙට්ටුම කෙට්ටු කොල්ලෙක් විදියට මුලින්ම මගෙ හිතේ ඇඳුණ පැංච, නම ඇහුවම "මිස් මෙයාට හැමෝම කියන්නෙ 'පැංච' කියල" කියමින් මට බාසුන්නැහේල විසින් අඳුන්වල දෙනු ලැබුණු පැංච, දැඩිව ගංජා භාවිතය නිසා විනාශ වෙන්න හදපු ජීවිතය යහමගට හරවගෙන දෑතේ වීර්යයෙන් ලොව දිනන්න මඩකලපුවේ සයිට් එකට ආපු පැංච, ප්‍රමාණයෙන් පුංචි නිසාම අහු මුළු වල රිංගල කරන වැඩ වලදී නැතුවම බැරි වුණු පැංච, සයිට් එකේම බාසුන්නැහේ කෙනෙක් ගෙ නංගී ව සතියකට කලින් ගිහින් කරකාරෙට අරගෙන ආයෙම ඉක්මනට මඩකලපු ආපු පැංච, ඔවු පැංචත් හරි හරියට ලැහැස්ති උනා කොන්ක්‍රීට් එකට.



හෙමි හෙමිහිට රෑ උණා. කළුවර පරදමින් හැමෝම වැඩෙහි යෙදෙමින් හිටියා. මාරුවෙන් මාරුවට කාර්ය මණ්ඩලය කෑමට ගියා. මමත් හෙමි හෙමින් කෑම පිළියෙල කරපු ගෙදරට ඇදුණා. 

කාලා ආපහු සයිට් එකට එනකොට, අමුතුම මූසල නිහැඬියාවක් සයිට් එක වෙලාගෙන. ඒ මූසල නිහැඬියාව බිඳෙන්න "ටොක් ටොක්" සද්දයක් ඇහුණා. සුපවයිසර් අයියා කෑගහනවා, එතනම බිම පහත් වෙලා කිහිප දෙනෙක් මොනවද හොයනවා. මේ කිසිම සද්දෙකින් මකන්න බැරි අමුතුම මූසල නිහැඬියාව මැදින්, මම මගේ මිතුරිය වෙතට ළඟා උණා.

"පැංචගෙ ඇඟිල්ලක් ගියා"

"මොනවා?"

මට කට උත්තර නැතුව ටික වෙලාවක් ගත උණා.

"ඉක්මනට ඕක අරන් යනවා"

සුපවයිසර් අයියා කෑගැහුවා, ඉක්මනින් මොකක්දෝ පුංචි දෙයක් අතේ ගුලි කරන් දුවගෙන ආපු පොඩි බාසුන්නැහේ කෙනෙක් කොන්ක්‍රීට් ප්ලාන්ට් එක පැත්තට දිවුවා. අතේ ගුලි කරන් ආපු පුංචි වස්තුව, කොන්ක්‍රීට් වල උෂ්ණත්වය පාලනය කරන්න ගෙනාපු අයිස් වලින් ආවරණය කරගෙන විදුලි වේගෙන් හැරුණු ඔහු, අසල නවත්වා තිබුණු කැබ් එකට නැග්ගා. විදුලි වේගයෙන් පණ ගැන්වුණු කැබ් එක,  දූවිලි අවුස්සාගෙන නොපෙනී ගියා.....

මම කෑමට ගිහිපු අතරේ, හරියට සවි වී නැති ෆොර්ම් වර්ක් එකක විවරයක් අතරින් කොන්ක්‍රීට් කාන්දු වෙන්න පටන් ගත් බවත්, ඒ නිසා කොන්ක්‍රීට් එක මඳකට නවත්වා එය පිළිසකර කල බවත්, පිළිසකර කරන්න වෙලාව ගත වෙන නිසා, ඒ අතරේ කොන්ක්‍රීට් එක සවි වීම වළක්වා ගන්නට පෝකර් වයිබ්රෙටරය දාන්න උපදෙස් ලැබුණු බවත්, පෝකර් වයිබ්රෙටරය ක්‍රියාත්මක කරන්න යද්දී පැංචාගේ ඇඟිල්ල එහි කැරකෙන තලයට අසු වී වෙන් වුණු බවත් මම පසුව දැනගත්තා.

මම සයිට් එකට එනකොටත් පැංචාව රෝහලට අරගෙන ගිහින්... මම ආ පසු අරගෙන ගියේ ඔහුගේ අතින් වෙන් වී බිමට වැටුණු ඇඟිලි කොටස. ඉක්මනින් ඇඟිල්ල රැගෙන ගියත් රෝහලෙන් එය නැවත සවි කරන්න උනන්දු වෙලා නැහැ. මොනවදෝ හේතු වගයක් නිසා... ඕනවට එපාවට කොන්ක්‍රීට් එක ඉවර කරලා, අපි හැමෝම සසල සිතින් නවාතැන් වෙතට ගියා.

ටික දවසක් නේවාසික ප්‍රතිකාර ලැබූ පැංචා යළිත් වැඩට ආව. වෙනත් රැකියාවකට යනවා වෙනුවට, ඇඟිලි දහයකින් කරපු වැඩ, ඇඟිලි නමයහ මාරකින් කරන්න පටන් ගන්න ඔහු හිත හදාගෙන තිබුණ.

.............................................................................

පසු සටහන

අර ටොක් ටොක් සද්දයක් ඇහුනේ, ෆොර්ම් වර්ක් එක පිළිසකර කරන හඬයි.

පෝකර් වයිබ්රේටරය යනු, කොන්ක්‍රීට් අතර හිදැස් ඇති නොවෙන පරිදි හොඳින් කොන්ක්‍රීට් සම්පීඩනය කරගැනීමට යොදාගන්නා උපකරණයකි. පෙට්‍රල් සහ භූමිතෙල් මෙහි ඉන්ධන ලෙස යොදනු ලැබේ. මෙහි ඇති කම්පනය වන කූර, කොන්ක්‍රීට් තුළට දැමූ පසු, එම කම්පනය මගින් කොන්ක්‍රීට් අතර ඇති වායු බුබුළු ඉවත් කෙරේ. කම්පනය උත්පාදනය කරන්නේ මෝටරයක් මගිනි. අප වැඩබිමෙහි පැවති පෝකර් වයිබ්රෙටරයේ මෝටරය ක්‍රියාත්මක කරන්නේ දම්වැලක් ඇදීම් මගිනි. දම්වැල ඇදීමේදී මෝටරයේ කැරකෙන තලයට පැංචා ගේ ඇඟිල්ල හසු වී තිබේ. අලුත් පෝකර් වයිබ්‍රේටර් වල මෙම කැරකෙන තලය ආවරණය කිරීමට වැස්මක් යොදා ඇති අතර, අදාළ වයිබ්රෙටරයේ කිසියම් අලුත්වැඩියා කටයුත්තකට ගලවන ලද ආවරණය නැවත සවි කිරීම අතපසු වී තිබිණි. පහත රූපයේ රතු පැහැති ඊතලයෙන් දක්වා ඇත්තේ එම ආවරණයයි.


පින්තූරය http://www.alibaba.com/product-gs/568090989/Popular_Robin_gasoline_Concrete_poker_vibrator.html වෙතින්.




January 05, 2014

හයිවේ එකේ යමුද....

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලුතින් ඉදි වෙමින් පවතින පින්නදූවේ සිට ගොඩගම දක්වා කොටස නැරඹීමට අපේ විශ්ව විද්‍යාලයේ "මගාමාර්ග ඉංජිනේරු සංගමය" මගින් ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කලා. හයිවේ එකක ඇවිදගෙන යන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින් නිසා, අපිත් ආසාවෙන් සහභාගී වෙන්න හිතුව.

සිකුරාදා දකුණේ ගෙවල් වල ආපු අපි ගෑනු ළමයි දෙන්නෙකුට සිදු උනා සෙනසුරාදා ගාල්ලේ පින්නදුවට ගිහින් කැම්පස් එකේ ඉඳන් හයිවේ එකේ ආපු බස් එකට නගින්නට. පින්නදූවට ගිහිපු ගමන තමයි ගමන... මුලින්ම ගාල්ලට ගිහින් බස් කොන්දොස්තර මාමලා ගෙන් "මේ බස් එකේ අපට හයිවේ පිවිසුමට යන්න පුලුවන්ද?" අහද්දී ඔවුන් අපේ දිහා අමුතුවට බැලුවේ ඇයි කියල අපට හිතා ගන්න බැරි වුනා. කොහොම හරි ඔන්න බස් එකක් හොයන් වාඩි වුණා කියමුකෝ, කොන්දොස්තර මාම ඇවිත් ටිකටුත් දුන්න. වැඩිය සෙනග හිටියෙ නැති බස් එකේ ඔහු අපි දිහා අමුතුවට බල බල එහෙට මෙහෙට ගිහින් කුතුහලය ඉවසන් ඉන්න බැරිම තැන ඇහුව "ඔයගොල්ලෝ කොහෙද" කියල. ෂුවර් එකටම අපි දෙන්න හයිවේ පිවිසුමට ගිහින් බස් එකක නගින්න හිතන පිස්සෝ දෙන්නෙක් කියල හිතන්න ඇති. "අපි මේ පැත්තේමයි. මේ කැම්පස් එකේ වැඩකට යනවා" කියල කිවුවම ඔන්න ඔහු සෑහීමකට පත්වුණු බව පෙනුන. 

බස් එකෙන් බැහැල කොන්දොස්තර මාම ගෙන් පාරත් අහගෙන ඔන්න අපි දෙන්න කිසිම මනුස්සයෙන් පයින් යන්නේ නැති, අධික වේගයෙන් වාහන යන පිවිසුම් මාර්ගය දිගේ හෙමින් හෙමින් දොරටුව පැත්තට යනව. යනකොට ඔන්න ඉස්සරහට පොලිස් මාමෙක් ආපි, "මේ කොහෙද මේ පයින් යන්නේ" කියල අහගෙන. විස්තරේ කිවුවට පස්සෙ, පොලිස් කාර්යාලය ඉස්සරහ හිටගෙන ඉන්න අපට උපදෙස් ලැබුණ. එතන හිටගෙන ඉන්නකම් බයිට් කෝටියයි. "මේ දෙන්න මොකද මේ... මෙතනින් බස් එකක නගින්න ඉන්නවද?",  "මේ දෙන්න මෙතනට වෙලා හිනා වෙවී ඉන්නෙ මොකද?". පොලිස් මාමලා මදිවට එතනින් යන හයිවේ බසුත් අපට හෝන් ගහලා යනවා හප්පේ මතක් වෙනකොටත් සනීපයි. හැබැයි ගැහැණු පුළුටක් නැති එතන හිටපු පොලිස් මාමලා සහ පොලිස් අයියලා කොතරම් මිත්‍රශීලිද කියනවා නම් අපට බයක් දැනුනේ නැහැ.

අපිට සැනසුම් සුසුමක් අරගෙන අපේ බස් එක ආවා ඔන්න. අපි දුවගෙන ගිහින් බස් එකට නැගගත්තේ නිවන් දැක්ක වගේ. පිවිසුම් මාර්ගය දිගේම ටික දුරක් ගිහිපු බස් එක, ඉදිවෙමින් පවතින මාර්ගයට ඇතුළු වුනා. දුහුවිලි සහිත අලුතින් ඉදිවන මාර්ගයේ හෙමි හෙමින් බස් රථය ඉදිරියට ඇදුනා. මාර්ගයේ ඇස්ෆෝල්ට් ඇතිරීම සහ මධ්‍යම වැටේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන්. දැන් බොහෝ දුරට සිදු කරමින් තිබෙන්නේ මාර්ගය දෙපස කඳු බෑවුම් ස්ථායී කරන කටයුතු (slope protection) තමයි.

බෑවුම් ස්ථායී කිරීම් - තවම අවසන් නැහැ
මෙතන මේ කළු පාටින් වහපු කුහරයේ තිබිල තියෙන්නේ දුර්වල පස් තට්ටුවක්. එය කඩා වැටෙන්න ඉඩ ඇති නිසා, ඒ පස් ඉවත් කරලා මේ ස්ථායී කරන කටයුතු සිදු කරමින් පවතිනවා.

බෑවුම් ස්ථායී කිරීම් - තවම අවසන් නැහැ



 වැස්ස නිසා පස් වල ජල ප්‍රතිශතය වැඩි උනාම අනතුරු සිදුවීමට වැඩි ඉඩක් පවතිනවා. ඒ නිසා බෑවුම දිගේ ජලය බැසගෙන යාම අවම කරමින් කානු ඉදි කර ඇති අයුරු ඉහත පෙනෙනවා. ජලය උරා ගැනීම අඩු කරන්නට මේ බෑවුමේ තනකොළ වැවීම හෝ සිමෙන්ති ඉසීම සිදු කරාවි යයි මට හිතෙනවා මගේ දැනුමේ හැටියට.

බෑවුම් ස්ථායී කිරීම සඳහා ශාක වගා කරන අවස්ථා තිබෙනවා. හොඳට පොලව බදාගෙන මුල් අදින තණකොළ ජාති මේ සඳහා ගැලපෙනවා. පහත රූපය බලන්න, ජලය බැස යාමට කරපු සැකැස්මේ බෑවුම ස්ථායී කරන්න තණකොළ වවපු හැටි.

ජලය බැස යන බෑවුම තණකොළ මගින් ස්ථායී කිරීම්
මෙහි තණකොළ වැවීමේ වාසි කිහිපයක් තියනවා. පරිසර හානි අවමයි. නඩත්තුව පහසුයි. ඇසට ප්‍රියයි. දකින ඕනෑම කෙනෙක් හිතන්නේ තණකොළ වවා ඇත්තේ ලස්සනට කියායි, තව තණකොළ මගින් පසට ජලය උරා ගැනීම අඩු කරනවා.

වැසි ජල කළමනාකරණ කටයුතු  

මේ හරියේ නම් ඉරිත් ඇඳල ඉවරයි  

කොහොමහරි ගියේ මාර්ග සම්බන්ධව යමක් ඉගෙන ගන්න. ඒ උනාට ඉගෙන ගන්න වුනේ පස් සහ බෑවුම් ස්ථායීකරණය ගැන.

ඔවුන් කිවුවේ නම් ජනවාරි අන්තිමට ඉදිකිරීම් සම්පූර්ණ කල මාර්ගය විවෘත කිරීමට නියමිතයි කියා. නමුත් හරියට හදනවා නම් මාසෙකින් හදන්න අමාරුයි වගේ. බලමු නේද...


හයිවේ එකේ යන්නේ නැතුව ගාලු පාරේ හෙමින් හෙමින් ගාටන මගේ දුප්පත් බ්ලොග් කටුවට හිට්ස් 1000ක් ලැබිලා. සන්තෝසයි. මෙතෙක් කලක් මා සමග සිටි, මා බලන්න ආ ඔබ සැමට ස්තුතියි.








December 31, 2013

අවසන් හැන්දෑව...

වත්ත පහල තියන කොස් ගස් අස්සෙන් හීනී හීනී ඉර එලිය තීරු තීරු ඇවිත් කුස්සියෙ කහ පාට බිත්තියෙ රටා මවනව. හැන්දෑවෙ බැහැගෙන යන ඉර එලියෙ උණුහුමට අපේ හිතත් උණුහුම් වෙනව. ඉගිල්ලීගෙන අහසට ගියොත් ගස් අස්සෙන් හැංගිලා ලැජ්ජාවෙන් බැහැගෙන යන ඉර දිහා බලන්න පුළුවනි. අව්රුද්දෙ අවසාන වතාවට බහින ඉර දිහා බලන්න මූදු වෙරළට දුවගෙන යන්න හිතෙනව.

මේ වෙලාවට මූදු වෙරළට ගියොත් ඉර ගිනි බෝලයක් වගේ බැහැගෙන යනව බලන්න පුළුවනි. "ගිනි බෝලයක් වගේ" ඔව් ඒක තමයි ඉස්කෝලේ අපට කියල දීපු උපමාව. රන්වන් පාට වලාකුළු කහ පාටයි දම් පාටයි අහසෙ තට්ටු තට්ටු හැදිල, අව්රුද්දක අවසාන දවසෙ ඉර බැහැල යන හැටි  බලාගෙන ඉන්නව.

ඉර බැහැගෙන ගිහින්, අඳුර ඇවිත් රෑ වෙලා අහස කළු උනාම, අතරින් පතර රතිඤ්ඤ සද්දෙ ඈතින් ඇහෙන්න පටන් ගන්නව. රෑ 12ට රතිඤ්ඤ පත්තු කරන්න දැන්ම ඉඳන් පුරුදු වෙනව වගේ... ආසාවෙන්, නොඉවසිල්ලෙන් අහගෙන ඉන්නව, අම්ම හදල දෙන රස රස කෑම එක කාල, හෙට උදේම නැගිටල අම්ම මහල දීපු අලුත්ම චීත්ත ගවුම අඳින්න ආසාවෙන් හීන මවනව.

අදත් එදා වගේම අව්රුද්දෙ අවසාන වතාවට ඉර බැහැගෙන ගිහින්, අඳුර ඇවිත්. කාමරේ යාළුව, 31 රෑ කෑම පෙම්වතා එක්ක ගන්න එලියට ගිහින් නිසා, තනිකමක් දැනෙනව. තනිකමත් එක්කම දෙසැම්බර් හීතල හිතටයි ඇඟටයි හෙමිහිට දැනෙන්න පටන් ගන්නව. මම හොස්ටල් එකේ මගේ කාමරේ ජනේලෙ ළඟ, ලැප්ටොප් එක ළඟ වාඩි වෙලා කවදාවත් නොදැකපු සයිබරයේ මිතුරන්ට සුභ පතමින් බ්ලොග් පෝස්ට් එකක් ලියනව. 

කවදාවත් දැකල නැති සයිබර් මිතුරන්ට, "කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා" කියල කියන්න හිතෙනව. ඒත් ඒ වෙනුවට මෙහෙම කිවුවනම් හොඳයි කියල හිතෙනව.

"සතුටු දායක දේවල් පමණක් ලියන්නට ලැබෙන, සතුටු දායක දේවල් පමණක් කියවන්නට ලැබෙන, සිතේ සැහැල්ලුව පිරුණු නව වසරක් වේවා"

කැන්ටිමේ සුපුරුදු කෑම එකේ සුවඳ උගුරට එනව. හෙට උදේ සුපුරුදු විදියට ලෙක්චර්ස් යන්න තියනව.








December 24, 2013

"තෝරාගත් වපසරියක වෙසෙන ප්‍රජාවකට වැසිකිලි ඉදිකොට දීම"

නත්තල් නිවාඩුවෙ ගෙදරට වෙලා නිකන් ඉන්න අතරෙ, පහුගිය දවස් වල අහපු දැකපු පොඩි ඕපදූපයක් ගැන ලියන්න හිතුණ. මේක කියවන ඔබට හිනා ගියොත් හෙම, "මම අහල පහල ඉන්න අයට අපහාස කරනව" කියල එහෙම කියන්න එපා ඔන්න මම නම් කලේ දැනුම බෙදා හදා ගැනීමක් විතරයි හරිද.

මට පහුගිය දවසක අවස්ථාව ලැබුණ, ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න. ජාත්‍යන්තර සම්මන්ත්‍රණ කිවුවම ඉතින් විවිධාකාර ඒව තියනවනේ. ඔය අනේක විධ සම්මන්ත්‍රණ අතරින්, වාර්ෂිකව පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණයේ සිදු කරන්නේ, එක එක රටවල් වල සහ ශ්‍රී ලංකාව තුල සිදුකරන ලද සිවිල් ඉංජිනේරු අංශයට අදාළ විවිධ පරීක්ෂණ, ගවේෂණ, වල ප්‍රතිපල ප්‍රසිද්ධියට පත් කරන එක. ඉංග්‍රීසියෙන් Research Symposium කියන්නේ මේවට තමයි. පශ්චාත් උපාධිධාරීන් සහ ශාස්ත්‍රවේදීන් වැනි විවිධ ඉහළ දැනුමක් හිමි පර්යේෂකයෝ සහභාගී වන මේ සමුළුවට, ඇත්තටම අපි සහභාගී වුනේ "මොනවද මෙතන වෙන්නේ" කියල දැනගන්න සහ ඒ පර්යේෂකයන්ව හැබැහින් දැක බලාගන්න තමයි. ඒ නිසා මේ ලිපිය නයෙක් කියල එහෙම හිතන්න එපා ඔන්න.

මේ සමුළුවේ එක අංගයක් තිබුණ "සීමා මායිම් රහිත ඉංජිනේරුවෝ" නමින්. එහිදී සිදු කෙරුනේ මේ ඉංජිනේරු සිසුන් සහ පර්යේෂකයන් විසින් සිදු කෙරුණු සිවිල් ඉංජිනේරු අංශයට අදාළ ප්‍රජා සේවා කටයුතු ඉදිරිපත් කිරීම. මෙහිදී බොහොම අගනා ඉදිරිපත් කිරීමක් සිදු කළා අපේ අසල්වැසි ඉන්දියාවේ සිසුවෙක්. එහි මාතෘකාව වුනේ "තෝරාගත් වපසරියක වෙසෙන ප්‍රජාවකට වැසිකිලි ඉදිකොට දීම". ඔහු ඉදිරිපත් කල මේ විස්තරය මගේ බ්ලොග් එකේ ඔයාලටත් බලන්න ලියන්න හිතුණ මට. පහතින් දැක්වෙන්නේ, ඉන්දියානු උච්චාරණයෙන් ඔහු කියපු කරුණු වලින් මම අමාරුවෙන් තේරුම් ගනිපු සහ මට මතක තිබුණු කොටස්, මට පුළුවන් තරමින් පරිවර්තනය කල පසු. බලන්න ඔවුන්ගේ ඉවසීම, අධිෂ්ඨාන ශීලී බව සහ කැපවීම කොතරම් ආදර්ශමත්ද කියා.

..................................................

"අපේ රටේ තියන ප්‍රධාන ගැටළුවක් තමයි ජනතාවට ප්‍රමාණවත් තරම් වැසිකිලි පහසුකම් නොතිබීම. විශ්ව විද්‍යාලය අවට ජීවත් වන ජනතාව හවසට වතුර බාල්දියක් අරන් පඳුරක් ඇතුලට ගමන් කරන දර්ශනය විශ්ව විද්‍යාලයේ සිටින අපට බොහොම සුලභ දර්ශනයක්. ඉතින් අපි තීරණය කළා අපේ ව්‍යාපෘතියක් ලෙසින් තෝරාගත් වපසරියක ජීවත් වන ජනතාවට වැසිකිලි පහසුකම් ඉදි කර දීමට.

පින්තූරය http://www.clipartof.com වෙතින්


මෙහිදී අපි මුලින්ම සිදු කලේ ගම්වැසියන් සමග සාකච්ඡා කිරීම. නිසියාකාර වැසිකිලි පද්ධතියක් නොමැතිකම නිසා ඔවුන් මුහුණ දුන් දුෂ්කරතා අතර, ලිංගික හිංසන, සර්පයින් දෂ්ට කිරීම් සහ ලෙඩ රෝග පැතිරීම ප්‍රධානයි.

මේ වැසිකිලි ඉදිකිරීම් සඳහා සම්පූර්ණයෙන් ශ්‍රම දායකත්වය දැක්වූයේ විශ්ව විද්‍යාල සිසුන් වන අප විසින්. අප මේ සඳහා සහභාගී වුනේ ඇත්තම කියනවා නම් අපේ විශ්ව විද්‍යාල දේශන කට් කරල.

මේ ව්‍යාපෘතියේදී අපට මුහුණ දීමට සිදු වූ ප්‍රධානම ගැටළුවක් තමයි 'වාස්තු' ගැටළුව. 'වාස්තු' යනු ජනප්‍රවාදයෙන් පැවතෙන ඉදි කිරීම් සම්බන්ධ යම්කිසි නීති පද්ධතියක්. බටහිර සිවිල් ඉංජිනේරුවන් මේ නීති අනුගමනය නොකලත්, ඉන්දියානු ජනතාව අතර මෙය ඉතා ප්‍රචලිතයි. මේ අනුව අපි උදේ ඉදිකිරීම් අරඹනකොට, ගෙදර අයිතිකාරයා අපට කියනව 'වැසිකිලියේ දොර උතුරට යොමු කරන්න' කියල. අපි ඒ අනුව සැලසුම් ඇඳගෙන දවල් වෙලා යනකොට ඔහු කියනව 'වැසිකිලියේ දොර දකුණට යොමු කරන්න' කියල. මේ අයුරින් තවත් වරක ඔහුම කියනව 'වැසිකිලියේ දොර නැගෙනහිරට යොමු කරන' ලෙසත්, 'වැසිකිලියේ දොර බස්නාහිරට යොමු කරන' ලෙසත්. මේ වාස්තු ගැටළුව නිසා බොහෝ ලෙස අපේ ඉදිකිරීම් පමා වුනා. 

පින්තූරය http://4-5t.weebly.com/mapping.html වෙතින්


ඉදිකිරීම් සිදු කලාට පසු, අපි විසින් එක වැසිකිලියකට අදාළ වියදම ගණනය කර බැලුවා. ලැබුණු අගය අපව මවිතයට පත් කළා. අපේ වියදම, අප විසින් ඇස්තමේන්තු කල අගයට වඩා බෙහෙවින් ඉහළ අගයක් වෙලා තිබුනා. අප ඉදිකිරීම් සිදුකළ කාලය තුල, මිල ගණන් ඉහළ යාමක් සිදු වූයේ සිමෙන්ති වල පමණයි. ඒත් අපේ වියදමෙහි සිදු වී ඇති විචලනය හා සාපේක්ෂව බැලූ විට, ඉහළගිය සිමෙන්ති මිල නොගිනිය හැකි තරම් කුඩායි. අපි මේ ගැන සොයා බැලුවා. පසුව දැනගන්නට ලැබුණු පරිදි අපි ඉදිකිරීම් වලට යොදා ගත් සුපවයිසර් වරයා විසින් අපේ ඇස් වසා සිමෙන්ති සොරකම් කොට තිබුනා.

කෙලෙසින් හෝ අපි අපේ ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව නිම කළා. දෙවන අදියර සඳහා අපි අලුත් සැලසුමක් සොයා ගත්තා. මේ අලුත් සැලසුමට අනුව වැසිකිලිය කලින් ඉදි කරගෙන ගිහින්, කෙලින්ම අදාළ තැන සවි කරන්න පමණයි තිබෙන්නේ."

....................................................

ඇත්තටම මේ තොරතුරු මුලින්ම අහනකොට, මට හිනා යන්නත් ආවා. ඒත් මේ සිසුන් කටයුතු කර ඇති ආකාරය සහ ඔවුන් සතු වූ ඉවසීම ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන්ට ආදර්ශයට ගත හැකියි. ඒත් ගෙදරට නොමිලේ වැසිකිලියක් ඉදි කරල දෙන්න ආවම ඒකෙත් වාස්තු විද්‍යාව හොයන ඉන්දියානු ජනතාව සහ, දුප්පත් සිසුන් විසින් සිදු කරනු ලබන ව්‍යාපෘතියකින් සිමෙන්ති හොරකම් කරන සුපවයිසර් වරු නම්, අනේ මන්දා... 

ඔබ සැමටම සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා !!!

 






December 18, 2013

කැම්පස් සින්ඩිය ගැන මට හිතෙන දේ

අලුතින් කැම්පස් සින්ඩියක් පටන් අරන් දැන් ටික දවසක් වෙනව. මේ ගැන විවිධ බ්ලොග් කරුවො විවිධ මත පල කරල තියනව මම දැක්ක.

මම බොහොම ආධුනික බ්ලොග් ලියන්නියක්. සුවිසල් බ්ලොග් ලෝකෙ සිද්ධ වෙන දේවල් විවේචනය කරන්න මම සුදුසු නැහැ. ඒ උනත්, අහපු දැකපු දේවල් නිසා, මේ කැම්පස් සින්ඩිය ගැන මට හිතෙන හැටි ලියන්න හිතුන මට. මගේ මේ කතාව, තව ගොඩක් අයගෙත් කතාව බව මම දන්නව.

පුංචි කාලෙ ඉඳලම මම ගොඩක් ආසාවෙන් කරපු දෙයක් තමයි පොත් පත්තර කියවීම. මේ නිසාමද මන්ද, වචන දෙක තුනක් ගැට ගහගෙන යමක් කමක් ලියාගන්න හැකියාවක් මා තුල ගොඩනැගිල තියන බව මට තේරුනේ, පාසලේ සිංහල දින තරඟ වලින් ජයග්‍රහණ ලැබෙනකොට.

ළමා වයසේ ඉඳන් ටිකින් ටික වැඩිහිටි වෙනකොට, රටේ ලෝකෙ ගැන, මිනිස්සු ගැන දැනුම අපට ලබා දෙන්න, අපේ තාත්තා කලේ අපට නොයෙක් පොත පත ගෙනත් දෙන එක. අදටත් නිවැරදි කරගන්න බැරි සමහර මෝඩකම්, වැරදි, මගේ ළඟ තියෙන බව ඇත්ත. ඒත් මේ තරමින් හරි ඔලුව බේරගෙන ජීවත් වෙන්නෙ, ඒ පොත් පත් වල ආනුභාවයෙන්, තාත්තට පින් සිද්ද වෙන්න තමයි.

උසස් පෙලට ගණිතය හදාරන්න ගත්තම, කතන්දර පොත් කියවන එක ටිකක් මග හැරුණ මට. ඒක හොඳ දෙයක් නෙවෙයි තමයි, ඒත් උසස් පෙළ විභාගය ඉවර වෙලා, ආයෙම පොත් කියවන්න කාල වෙලාවක් හොයාගත්ත මම.

හොඳම හරිය උනේ කැම්පස් ආවම. කියවන්න පිපාසය තිබුනත්, කියවන්න දේවල් හොයාගන්න ලේසි වුනේ නැහැ. පුස්තකාලයේ වැඩි හරියක් තියෙන්නෙ අද්‍යාපනික පොතපත. තියන අතලොස්සක් කතන්දර පොත් ටික හැමදාම කවුරුහරි අරන් ගිහින්. ඒ අතරිනුත් ඔක්කොම මගේ රසවින්දන පරාසයට ගැලපෙන පොත් නෙවෙයි. අන්තර්ජාලයෙන් පුවත්පත් කියවන්න මම යොමු වෙන්නෙ ඔය නිසා. නමුත් ඒකත් අල්ලලා ගියේ නැහැ.

විශ්ව විද්‍යාල මිතුරන් අතරින්, පොත් කියවන්න යොමු වෙලා සිටියේ අතලොස්සක්. ඒ අයත් කාර්ය බහුල නිසාද, කම්මැලිකම නිසාද මන්ද, පොත් කියවීමෙන් ඈත් වුනා කිවුවොත් නිවැරදියි. ඔවුන්ගේ ජීවිත වල පොත් පත් විසින් හිමි කරගෙන හිටපු තැන, ටීවී සීරීස් සහ චිත්‍රපට විසින් ගිල ගනිද්දී, ගොඩක් අසරණ වුනා මම. මොකද මට ටීවී සීරීස් සහ චිත්‍රපට එක දිගට නැරඹීම එතරම් ප්‍රියමනාප වූයේ නැහැ.

පින්තූරය Google වෙතින්

 මෙහෙම ජීවත් වෙන අතරේ තමයි 'බ්ලොග්' මගේ ඇස ගැටෙන්නෙ. කියවීමේ පිපාසාවෙන් හිටපු මට, මේ බ්ලොග් ලෝකය දිය පොදක් වුනා කිවුවොත් නිවැරදියි. ඕනෑම වෙලාවක ඉන්ටනෙට් ගිහින් කියවන්න පුළුවන් නිසා, බ්ලොග් කියවීමට විශේෂ මහන්සියක් දරන්න ඕන වෙන්නෙත් නැහැ. ඉතින් මාසෙකට වතාවක් විතර මගේ බ්ලොග් එකේ පෝස්ට් දැම්මට, දවසට කීප සැරයක් වත් බ්ලොග් රෝල පිරික්සලා අලුත් පෝස්ට් කියවනව මම.

කැම්පස් සින්ඩිය කල එලි බහින්නෙ, ඔන්න ඔය වගේ තත්වයක් මත. කැම්පස් සින්ඩියට කැමති අකමැති විවිධ මත තිබුනත්, කැම්පස් සින්ඩිය ගැන අහපු ගමන් මට නම් හිතුනේ, දවසෙම කන් වල ඇබ ගහගෙන ටීවී සීරීස් බලන අපේ අයව, නැවත ලියන්න කියවන්න යොමු කරන්න මේ තුලින් අවස්ථාව ලැබේවි කියල. රටේ තොටේ සිද්ද වෙන දේවල් ගැන හොයන්න, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න විශ්ව විද්‍යාල සිසුන් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක්.

සින්ඩිය නිසා බ්ලොග් ලෝකේ දෙකඩ වෙයි කියන සමහර මත මම දැක්ක. ඒත් මුලින්ම 'මට හිතෙන හැටි', 'ආතම්මගෙ පෙට්ටගම', 'අටම්පහුර' වගේ බ්ලොග් කියවල, ඉනා බෙහෙතක් කෑව වගේ බ්ලොග් කියවන්න ඇබ්බැහි වෙනකොට, ඒ බ්ලොග් ලියපු රචකයෝ විශ්ව විද්‍යාල අද්‍යාපනය ලබපු අයද කියල මම හොය හොය හිටියෙ නැහැ. අලුත් බ්ලොග් එකකට අපි යොමු වෙන්නෙ ඒ රචකයාගේ උපාධිය දිහා බලල නෙවෙයි, ලියන දේවල් වල රසවත් භාවය මත. ඉතින් කැම්පස් සින්ඩිය නිසා බ්ලොග් ලෝකය දෙකඩ වෙයි කියල මම නම් හිතන්නෙ නැහැ. පිපාසාවට දිය බිඳක් වුනු බ්ලොග් ලෝකය දෙකඩ වෙනවා දකින්න මම කැමති නැහැ. 

 මේ ගැන ඔබ වෙනත් වෙනත් මත දරනව ඇති. මේ ආධුනික බ්ලොග් කාරිනියක් වූ මගේ මතය පමණයි.

 මගේ බ්ලොග් එකේ ඔබ දකින වැරදි අඩුපාඩු සහ වැඩි දියුණු කල යුතු දේ තිබෙනවා නම් පෙන්වා දෙන මෙන් අදත්, ආදරයෙන් ඉල්ලා සිටිනව.