3.31.2017

ජීවිතය, අතහැරිය යුතු තැනක් නොවේ

ෆේස්බුක් හි දුටු විප්‍රකාර කිහිපයක් පිලිබඳ ලියන්නට සිතා සිටියත්, කම්මැලිකම නිසා කල් දැමුණු ඒ සිදුවීම් දැනටමත් පරණ වී ඇති නිසා, කාලීන මාතෘකාවක් ගැන ලියන්නට සිතුවෙමි.


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂිත පරිදි නොලැබීම නිසා සිසුන් කිහිප දෙනෙකු සිය දිවි නසාගැනීම/නසා ගන්නට උත්සාහ කිරීම පිලිබඳ, පුවත් කිහිපයක් දුටිමි. සාමාන්‍ය පෙළ විභාගය ඇත්තටම අසමත් වන්නට අමාරු තරමේ පහසු විභාගයකි. නමුත්, එසේ අසමත් වූ පමණින්, අප මරණය ප්‍රර්ථනා කල යුතුද?



වැඩි කතාවකට පෙර, මේ දිගු වීඩියෝව බලන්නට අසන්නට, මම ඔබට ආරාධනා කරමි. මුල සිට අගටම නරඹන්නට අවශ්‍ය නැති නිසා, කරුණාකර මිනිත්තු 8:40 සිට මිනිත්තු කිහිපයක් ඉදිරියට නරඹන්න.





වීඩියෝව දිගු නිසාම, නරඹන්නට අපහසු අයට, එහි අන්තර්ගතය කියවා දැනගන්නට, පහත දක්වා තිබේ.



"ප්‍රංශයේදී, පැරිසියේ, කොන්ඩේ කපන තැනක, මම දවසක් ගිය වෙලාවක, අවුරුදු 98 ක ආච්චි කෙනෙක්, එයාගේ කොන්ඩේ ඉතිරි වෙලා තියන කෙස් ගස් ටිකට දම් පාට ගානවා, නැගිටින්න බෑ. මට හිතෙනවා, වල පයයි ගොඩ පයයි, කොයි වේලාවෙද දන්නේ නෑ. ඇයි මේ කොන්ඩේ පාට කරන්නේ?



ඇය කොන්ඩේ පාට කරලා ඉවර වෙලා, කණ්ණාඩිය දිහා බලාගෙන, කල්පනාකරනව, බලනව, හැඩවෙනව.


ජීවිතය කවදාකවත් අතහැරිය යුතු තැනක් නෙවෙයි. කිසිම මොහොතක ඔබ ජීවිතය අවසන් කියල, අත්හරින්න එපා.

කොයි මොහොතේ හෝ, බලාපොරෝත්තු වෙච්ච ආශාවන් කඩ වුණා නම්, කොයි මොහොතෙ හරි ඔබට පුළුවන් ඒක නැවත පටන්ගන්න. භග්න ආශා, බිඳුණු ආශා, කවදාවත් සදාකාලික නෑ. අලුතින් පටන් ගන්න පුළුවන්."

සාමාන්‍ය පෙළ ලියන සිසුන් මේ බ්ලොග් එක කියවාවි යැයි මා නොසිතන නමුත්, දරුවන් සිටින දෙමාපියන් කිහිප දෙනෙක් හෝ මෙය කියවාවි යැයි මම සිතමි..



පොහොසතුන්, උගතුන් බිහි කිරීම පසෙක ලා, අපි පිරිපුන් මිනිසුන් තනන්නට පටන් ගත යුතු වෙමු.



*****

උසස් පෙළ සමයේ, එක්තරා ටියුෂන් ගුරුවරයෙක් කියූ කතාවක්, මගේ මතකයට නැගේ.

හොඳ රිසල්ට් එකක් ඕන නම්, කැම්පස් යන්න ඕන නම්, ඉන්ජිනීරින්ග් යන්න ඕන නම්, මේ දවස් වල වැඩ කරන්න. ඒ සඳහා මහන්සි වෙන්න තියෙන්නේ මේ ටික දවස විතරයි. විභාගේ ලිවුවට පස්සේ, ප්‍රතිඵල ආවට පස්සේ හිත කරදර කරගෙන වැඩක් නෑ.

ප්‍රතිඵල ආවම, දිස්ත්‍රික් රෑන්ක් කොළෙත් අරන් හැම අවුරුද්දෙම මාව හම්බෙන්න අඩුම තරමේ එක සිසුවෙක් හෝ  එනවා මයි. 

"බලන්න සර්, මට ඉන්නේ ඉන්ජිනීරින් යන්න වැට උඩ නේ.."

ලිස්ට් එක දිහා බලාගෙන ඔවුන් මෙහෙම කියනවා.

"සර්, මෙයා ගෙදර ඔක්කොමත් එක්කම රට ගියා.. කැම්පස් යන්න ආයේ ලංකාවට එන්නේ නැහැ"

"සර්, මේ මෙයත් රිසල්ට් වලින් පිට රට කැම්පස් එකකට යන කතාවක් කියලා තිබුණ, මෙහෙ ඇප්ලයි කරන එකක් නැහැ"

"සර්, මෙයා ගිය පාර රිසල්ට් එකෙන් ෆිසිකල් සයන්ස් රෙජිස්ටර් වෙලා ඉන්නේ. මේ පාර ඉන්ජිනීරින් තේරුණාට යන්න බැහැ"

.....................

මේ විදියට යනකොට ඔවුන් මෙහෙමත් කියාවි දැයි මට හිතෙනව,

"සර්, මේ ළමයා හාර්ට් ඇටැක් එකක් හැදිලා මැරේවි නේද?"

.....................


තමන් එක්ක එකට ඉන්න සිසුන්ගේ රෑන්ක් සමග, ප්‍රතිඵල ආවට පසු තමන්ව සංසන්දනය කරගෙන ස්ට්‍රෙස් වෙලා වැඩක් නෑ. ඔබ ආස කරන කෝස් එක කරන්න ඕන නම්, විභාගයට පෙර වැඩ කරන්න.

අපේ වාසනාවට, මේ වගේ කතා කියන ගුරුවරුන් අපට ලැබී තිබිණි.

*****


උසස් පෙළ සමයේ, හැම වෙලේම පොතක් දිහා බලාගෙන, ගණන් සදමින් සිටින මා දිහා ටික දිනක් බලාගෙන සිටි තාත්තා මට මෙසේ කීවේය.

"පොඩ්ඩි, විභාගේ කියන්නේ හැමදේම නෙවෙයි. ඔයාට පුළුවන් හැටියට කරන්න. පාස් උනත්, ෆේල් උනත්, අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා."

දිනක් උදෑසන ඇහැරී වෙලාව බැලූ විට, පන්ති යන්නට ප්‍රමාද වී ඇති බව දැනගෙන, මම අම්මාගෙන් මාව අවදි කලේ නැත්තේ මන්දැයි ඇසුවෙමි.

"චූටා ඊයේ රෑ වෙනකම් පාඩම් කළා නේ. මට අවදි කරන්න ලෝබ හිතුණ."

නමුත්, කලබලෙන් ඇඳ පැළඳගෙන මම පරක්කු වී හෝ එදත් පන්තියට ගියෙමි.


*****

එදිනෙදා ජීවිතයේ වියදම් හොයන්නටත්, දූවරුන් දෙදෙනෙක් ම හිටි අපේ පවුලේ අනාගතය වෙනුවෙන් වෙහෙසන්නටත්, දෙමවුපියන් වෙහෙසෙන හැටි අපි අපේම දෑසින් දුටුවෙමු. ඒ නිසාම, අපි ඉගෙනීමට ආස කළෙමු.

නමුත් අපේ අක්කාගේ යෙහෙළියකට මෙන්,

"මේ පාර මෙඩිසින් සිලෙක්ට් නොවුනොත්, බෙල්ල කපලා ඔලුව ගේට්ටුවේ ගහනවා"


යැයි නොකියා, අපිව කරුණාවෙන් උනන්දු කරන්නට, අපේ දෙමවුපියෝ සමත් වූහ. අපේ වාසනාවට, දුකත් සැපත් එකසේ දරන්නට හුරු කෙරූ, මෙවැනි දෙමවුපියන් අපට ලැබී තිබිණි.

*****

විභාගයක් අසමත් වීම හිතට දුකකි, එය සැබෑය.

දරුවෙකුගේ විභාග ප්‍රතිඵල අසන නෑ පිරිවර හා අසල්වාසීන් ඉදිරියේ, දෙමාපියන් අසරණ වෙති. එම අසරණ කම දෙමවුපියන්ට දුකකි. එයත් සැබෑය.

නමුත් මේ කිසිම දුකක්, මෙතරම් කල් උස් මහත් කළ දරුවාගේ මරණය ඇසුණු විට, දකින විට දැනෙන දුක තරම් දුකක් නොවේ...

*****

"ජීවිතය කවදාකවත් අතහැරිය යුතු තැනක් නෙවෙයි. කිසිම මොහොතක ඔබ ජීවිතය අවසන් කියල, අත්හරින්න එපා."