4.17.2017

ජපන් කතා - කසල බැහැරකිරීම

මේ දවස් වල කුණු කතා ගොඩක් ඇදෙන නිසා, ජපානයේ කැලිකසල කළමනාකරණය පිලිබඳ මගේ අත්දැකීම් ටිකක් ලියා තබන්නට හිතුව.

ජපානයේ කැලි කසල ඇතුළු බොහෝ දේ පාලනය සිදුවන්නේ දිස්ත්‍රික් (prefecture) ආණ්ඩුව මගින්. නමුත් කැලි කසල බැහැර කිරීමේ ක්‍රමවේදය නම්, එකම දිස්ත්‍රික්කයේ තියෙන නගර සභා අතරත්, ඇතැම් විට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මම මේ ලියන දේ මුළු ජපානයටම අදාළ නොවෙන්න පුළුවන්. මම මේ ලියන්නේ මගේ දිස්ත්‍රික්කයේ, මගේ නගරයේ, අපි කසල බැහැර කරන  හැටි.

ජපානයේ නීතිය අනුව, අපි මුලින්ම ගෙදරක පදිංචි උනාම, ඒ ගෙදර අයිති නගර සභාවට ගිහින් අපේ නව පදිංචිය දැනුම් දෙන්න ඕන. එතකොට, ඔවුන් අපේ හැඳුනුම් පත ඉල්ලාගෙන, පොඩි paper work එකකින් පස්සේ අපේ හැඳුනුම් පතේ පසු පිටේ, අපේ නව ලිපිනය මුද්‍රණය කරලා, නැවත අපට ලබා දෙනවා. පිටරටක ඉඳන් / වෙන නගරයක ඉඳන් ඇවිත් අලුත් නගරයක පදිංචි වෙනවා නම් හෝ, එකම නගරයක් තුල පදිංචිය මාරු කරනවා නම් හෝ, මේ කටයුත්ත අනිවාර්ය කරුණක් නිසා, ඕනෑම කෙනෙක් අලුත් ගෙදරට ඇවිත් මුල් සති දෙක ඇතුලත, අනිවාර්යෙන් ම නගර සභාවට යැවෙනවා. ඒ ගියාම, අපට මෙන්න මේ සටහනත් ඔවුන් ඒ ගමන්ම ලබා දුන්නා.






ඔතනින්, එදිනෙදා උයල ඉවර වෙන දේවල්, කිළුටු පෙඟුණු කඩදාසි දවටන, වගේ නිතර එකතු වෙන combustible කුණු, සතියට දෙපාරක් එකතු කරන් යනවා. දිරාපත් වෙන, ආහාර ද්‍රව්‍ය සහිත මේ කුණු, ගොඩක් දවස් තියන් හිටියොත් ගෙදර ගඳ ගහන නිසා වෙන්න ඇති. රෝස පාටින් දක්වලා තියෙන්නේ මේ ගොණුව තමයි.

ප්ලාස්ටික් හා පොලිතීන් අඩංගු වෙන, කහ පාට ගොණුවට දැමිය හැකි ප්ලාස්ටික් වර්ග, පහසුවෙන් අඳුනගන්න උදව් වෙන්න, සියලු ප්ලාස්ටික් බෝතල් වල (PET නොවන) හා ප්ලාස්ටික් දවටන වල, නිෂ්පාදකයින් විසින්ම යොදන යම්කිසි සලකුණක් තිබෙනවා. ඒ සලකුණ තමයි ඔය කහ පාට කොටුව ඇතුලේ දක්වලා තියෙන්නේ. ඒ නිසාම, බීම බෝතලයක, චිප්ස් පැකට් එකක, ඕනෑම එකක, ඒ බීම/චිප්ස් නිෂ්පාදකයා විසින්ම, ඒ සලකුණ මුද්‍රණය කරලා තිබෙනවා. එතකොට අපි ඒ සලකුණ තියන බෝතලය හෝ දවටනය, හෝදලා, පිරිසිදු කරලා, කහ පාට බෑග් එකේ දාන්න ඕනේ. මේ කහ පාට බෑග් එක, සතියකට වරක්, එකතු කරන් යනවා.

පිරිසිදු කඩදාසි, සෝදා වේලපු කිරි පැකට්, කාඩ්බෝඩ්, වගේ දේවල්, නැවත කඩදාසි නිපදවන්නම භාවිතා කරන නිසා, සති දෙකකට වරක් ඒවා එකතු කරගෙන යනවා. මේ කඩදාසි, වේලලා, මිටියක් විදියට එකතු කරලා, කඩදාසි ටේප් එකකින්ම බැඳලා දුන්නම හරි.

මේ රෝස පාට, කහ පාට කසල බෑග් හා අනිත් සියලුම දේවල් දමන්නට, නිවාස කිහිපයකට පොදුවේ, දැල් වලින් හදපු පෙට්ටි සවි කරලා තියෙනවා. කසල එකතු කරන ලොරිය, මේ දැල් පෙට්ටිය ලඟට ඇවිත් තමයි කසල ටික අරන් යන්නේ. ඔවුන් එන්නේ උදේ 8.30 න් පසු නිසා, ඊට කලින් කුණු ටික මේ පෙට්ටියට දාල තියන්න ඕන.

මේ එක එක කසල වර්ග එකතු කරන්නේ, එක එක දවස් වල නිසා, එකතු කරන තොරතුරු ඇතුලත් කැලැන්ඩරයකුත්, අපට අර ඉහත සඳහන් කඩදාසියත් එකක්ම ලැබෙනවා, මේ වගේ. 




ඒ දවසට අදාළ නැති වෙනත් කසල වර්ගයක් පෙට්ටියේ තිබුනොත්, කසල එකතු කරන අය ඒ කසල ටික ඉතිරි කරලා අනිත් ටික අරන් යනවා. එක දවසක් මම, මැයි 31 වගේ දවසක්, මැයි 17 වගේ දවසක් එක්ක පටලවාගෙන, කඩදාසි වගයක් පෙට්ටියට දාලා තිබිලා, ඒ ටික ඉතුරු කරලා ගිහින් තිබුණා. නමුත් අපේ අහල පහල ඉන්න අයට නම් එහෙම අත්වැරදීම් වෙන්නේ නැති තරම්. එදා මම ඒ කඩදාසි ටික ආපහු අරන් ඇවිත්, ඊළඟ සතියේ යළිත් බාර දුන්නා.

ඊළඟට, ඔය කසල බහා දෙන බෑග්, අපි විසින්ම මිලදී ගන්න ඕන. සුපර් මාකට් වල, ෆාමසි වල, ඕනෑම තැනකින් පහසුවෙන් මේ බෑග් මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම ජපානයේ ජීවන වියදම හා සසඳද්දී, මේ බෑග් වල මිල ඉතා අඩුයි. නමුත් ඉතින් තමන් විසින් නිෂ්පාදනය කරනා කුණු ප්‍රමාණය අඩුයි නම්, මේ බෑග් මිලදී ගැනීමට වැය වෙන මුදලුත්, කාලයත්, (ඉතා සුළු වශයෙන් හෝ) ඉතිරි කරගන්නට පුළුවන්.

ඊළඟට අප ජලය ගැන කෙටියෙන් කිව්වොත්, අපේ ජල බිල්පතේ, කොටස් දෙකක් තිබෙනවා. එක කොටසක් තමයි අපි විසින් පරිභෝජනය කරන පිරිසිදු ජලය අපට සැපයීම සඳහා අය කරන මුදල. අනික් කොටස තමයි අප විසින් බැහැර කරපු අපවිත්‍ර ජලය නැවත පිරිපහදුව සඳහා අය කරන මුදල. මේ දෙකේම එකතුව තමයි මාසික ජල ගාස්තුව ලෙස අපට ගෙවන්නට ලැබෙන්නේ.

ගොඩක් වෙලාවට අලුතින් ගෙදරක පදිංචි උනාම, අවශ්‍ය කරන සියලුම ගෘහභාණ්ඩ හා උපකරණ, re-cycle කඩේකින් මිලදී ගන්නා නිසා හා, තමන් තවදුරටත් පාවිච්චි නොකරන දේ re-cycle කඩේකට හෝ අඳුරන කෙනෙකුට නිකම් ම දෙන පුරුද්ද නිසා, නැවත භාවිත කළ හැකි දේ කසල ලෙස එකතු වීම අඩු වෙලා තියෙනව. අපි වගේ දුප්පත් විශ්ව විද්‍යාල සිසුන්නම්, පුරුද්දක් විදියට, තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වෙලා සියරට බලා යනකොට, තමන් භාවිත කරපු සියලුම දේවල් අවශ්‍ය අයට බෙදා දීම කරනවා.

කැලි කසල කියන්නේ ඕනෑම රටකට, සමාජයකට ප්‍රශ්නයක් තමයි. මම මේ තොරතුරු ලිවුවේ මෙහෙ නම් මෙහෙමයි කියලා නයෙක් අරින්නට නොවේ, කැලි කසල නිසි පරිදි කළමනාකරණය කරන්නට නම් නගරයේ ජනතාවගේත්, පාලනයේත් සමාන ලෙස වෙහෙස වීම හා සහයෝගය අවශ්‍ය බව කියන්නට පමණයි. පිරිසිදු පරිසරයක් වෙනුවෙන් ගෙවන්නට වෙන opportunity cost එක විදියට, අපි හැමෝටම ටිකක් මහන්සි වෙන්නට සිදු වෙනව. මේ කියපු ක්‍රමවේදය උනත්, කොයි තරම් දුරකට තිරසාරද, පරිසරයට හිතකරද, කියා කියන්නට මම හරියටම දන්නේ නැහැ.

කොහොම උනත්, සිදු වූ දේ ගැනත්, ඒ ඔස්සේ වෙන වෙන දේශපාලන හා පෞද්ගලික කෝන්තර පිරිමසා ගන්නට අපේ අය උත්සාහ කිරීම ගැනත්, ගොඩක් කණගාටුයි. "අපි හිටියානම් මෙහෙම වෙන්නේ නෑ" , "අපි මේකට විසඳුමක් යෝජනා කරලා ක්‍රියාත්මක කරන්නට තමයි හිටියේ" සහ "මේ ඔක්කොම පාලකයන්ගේ වැරදි, අපිට නම් කරන්නට දෙයක් නෑ" කියන සිහියෙන් මිදිලා, මේ කරදරය සිදු වුනේ තමන්ටයි කියල හිතාගෙන දැන්වත් හැමෝම අවදි වේවි යැයි ප්‍රර්ථනා කරමු.












ජපන් කතා - කසල බැහැරකිරීම

මේ දවස් වල කුණු කතා ගොඩක් ඇදෙන නිසා, ජපානයේ කැලිකසල කළමනාකරණය පිලිබඳ මගේ අත්දැකීම් ටිකක් ලියා තබන්නට හිතුව. ජපානයේ කැලි කසල ඇතුළු බොහෝ ...