April 02, 2014

අනුන්ගෙ මිනිස්සු අල්ලගන්න හදන්නෙ, තමුසෙට පිස්සුද?


එදා සිකුරාදා. දකුණු පළාත් සභාවට ඡන්දය ප්‍රකාශ කරන්න මහා ජන ගඟක් ගෙදර යන දවස. ඉතින් හරිම අමාරුවෙන් සීට් එකක් හොයාගෙන මමත් ගෙදර යන්න පිටත් වුණා.


පින්තූරය http://www.thinkstockphotos.in/image/stock-illustration-yellow-school-bus-full-of-cute-and/165478659 වෙතින්

 ****************

බස් වල යනකොට දැන් දැන් ගෑනු ළමයෙක් හිතන්න ඕන දේවල් බොහොමයි. පිරිමි කෙනෙක් ඇඟට හේත්තු වෙද්දී බය නිසා හෝ ලැජ්ජාව නිසා ඉවසගෙන හිටියොත් ඇය පහසුවෙන් පොළඹවාගත හැකි ගැහැණු ළමයෙක් ලෙසයි අනිත් අය දකින්නෙ. ඊට විරුද්ධව කතා කලත් සමහර වෙලාවට බැනුම් අහගන්න වෙනවා. මම නම් ගොඩක් කෙට්ටුයි, ඉතින් ඒ නිසා කවුරුහරි ඇඟට හේත්තු වෙන්න ආවොත් මම නම් සද්ද නැතුව ඈතට යනවා මිසක්, බනින්න යන්නේ නැහැ, ඇයි ඉතින් ඒ මනුස්සය නිකමට වත් "වැටකට හිටවපු කෝටුවක් වගේ ඔහේගේ ඇඟට හේත්තු වෙන්න මට පිස්සුද" කියල කියුවොත් එහෙම...

  ****************

මගේ මාස හයක ක්ෂේත්‍ර පුහුණු කාලය මම ගත කලේ මඩකලපුවේ. උදේ 7 ට ගෙදර ලඟින් මම ගොඩ වදින බස් එක, මඩකලපුවට ලඟා වෙන්නේ හවස 5.30 ට. පැය 10ක පමණ මේ ගමන, මම හැමදාම ගියේ තනිවම. ගොඩක් වෙලාවට බස් එකේදී කවුරු කවුරුහරි මාත් එක්ක කතා කරන්න උත්සාහ කළා, වැරදි අදහසකින්ම නෙවෙයි වෙන්න ඇති, නමුත් ඔවුන්ගේ හිත ගැන මම හරියටම දන්නේ කොහොමද.... කතාවට ගිහින් ඔවුන් නුසුදුසු යමක් කිවුවොත් මම මොනව කරන්නද, පැය 10ක් පුරා ඔවුන් සමග එකම බස් එකේ තනිවම මම යා යුතුයි නේ. ඉතින් මම කරන්නේ ඉයර් ෆෝන් ගහගෙන, සින්දුවක් අහගෙන, හොඳට නිදාගන්නවා ඇත්තට හෝ බොරුවට. එතකොට කාටවත් ඉඩක් නැහැ මාත් එක්ක පැටලෙන්න කතාවට..


පින්තූරය http://www.thevoicebw.com/2012/04/13/tb-joshua-and-his-prophecies/ වෙතින්

පිරිමි ළමයි වැඩිපුර ඉන්න විශ්ව විද්‍යාලයක ඉගෙන ගනිපු මට සිටින සමීප පිරිමි යහළුවන් ගණන සාපේක්ෂව ඉහලයි. ඇත්තටම බස් වල යන එනකොට ගැහැණු ළමුන් සම්බන්ධයෙන් ඇතැම් අය කරන දේවල් මට ඉගෙන ගන්න ලැබුණේ මේ යහළුවන්ගෙන්. "මුලින් ඇඟට හේත්තු වෙනවා, එයාගෙන් අවුලක් නැත්නම් හෙමීට කතා කරලා නම්බර් එක ඉල්ලගන්නවා, පස්සේ ඕන දෙයක් කරගන්න පුළුවන්" ගැහැණු ළමුන් සම්බන්ධයෙන් ඇතැම් පිරිමි දරන මෙවන් ආකල්ප නොදැන සිටීම ගොඩක් ගැහැණු ළමුන්ගේ අගතියට හේතු වෙන බව මට හිතුනෙ වරක් දෙවරක් නෙවෙයි.

****************

බස් එකේ නිදාගෙන හිටපු මම එකවර අවදි උනේ ගැහැණු අය දෙන්නෙක්ගේ කෑ ගහන සද්දෙට. ගැහැණු අය දෙන්නෙක් කෑ ගහගන්න බවත්, කෑගහගන්නා අතරේ ඒ ගැහැණු අය දෙන්නාම වරින් වර එක පිරිමි කෙනෙකුට මොන මොනවාද කියන බවත්, මම දැක්කා. ඇසුණු දුටුව දේ අනුව සිදුවී ඇත්තේ මෙහෙමයි.

සැමියා සහ බිරිඳ දෙතැනක සීට් දෙකක ඉඳගෙන, එක්තරා විවාහක යුවලක් බස් එකේ ඇවිත්. සැමියාගේ අසලම හිටගෙන ආපු තරුණියට සැමියා විසින් ඔහුගේ ජංගම දුරකථන අංකය ලබාදී තිබෙනවා. තමන්ට දුරකථන අංකය ලබා දුන්නු තරුණයා විවාහකයෙකු බව නොදත් තරුණිය ඒ දුරකථන අංකය තමන්ගේ දුරකථනයේ සේව් කරගෙන. මේක පිටුපස ඉඳන් බලන් හිටපු බිරිඳ එකවර සීට් එකෙන් නැගිටලා අර තරුණියට පහර දීලා ඇගේ දුරකථනය උදුරාගෙන.

මම අවදි වෙන වෙලාවේ අර තරුණිය තමන්ට දුරකථන අංකය ලබා දුන් පුද්ගලයාගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දුරකථනය බිරිඳගෙන් නැවත ඉල්ලා දෙන ලෙස. "මට ඔහේ ඕන නැහැ, මට මගේ ෆෝන් එක ඉල්ලලා දෙන්න"..

බිරිඳ අර තරුණියට පරුෂ වචනයෙන් බනිනවා තවම, නමුත් පුදුමය කියන්නේ, අහක යන තරුණියකට දුරකථන අංකය ලබා දුන් තම සැමියාට ඇය වචනයක් වත් කියන්නේ නැතිකම. "අනුන්ගේ මිනිස්සු අල්ලගන්න හදන්නේ පිස්සුද? මේ මනුස්සය ගෑනියෙක් ඉන්න කසාද බැඳපු මිනිහෙක්"....

 පින්තූරය http://dnramesh.blogspot.com/2013/01/suicides-causes-and-preventions.html වෙතින්


එතරම් රූමත් නැති, අවිවාහක යැයි සිතිය හැකි, වයස 35ක් පමණ වූ තරුණියට නම් එතරම් කෑගහන්න උවමනාවක් සහ හැකියාවක් තිබුණු පාටක් පේනුණේ නැහැ, ඇය දන්නේ බසයේ සිටි තරුණයෙකු තමන්ට දුරකථන අංකය දුන් බවත්, ඒ අංකය ගන්නවාත් සමගම තමන්ට ගුටි පූජාවක් ලැබුණු බවත් පමණයි. ඇත්තටම ඇයට අවශ්‍ය උනේ හැකි ඉක්මනින් දුරකථනය නැවත ලබාගෙන බස් රථයෙන් බැසගනීමයි.

ගැහැණු දෙදෙනාගේ රණ්ඩුව අතරේ සැමියා නැගිටලා බස් එකේ ඉස්සරහට ගියා. අන්තිමට ඔක්කොටම මුල් වූ සැමියා බස් එක ඉස්සරහ පාඩුවේ යනකොට, ගැහැණු දෙන්නෙක් රණ්ඩු වෙනවා බස් එක පිටුපස. "මට ඔහේගේ මිනිහ ඕන නැහැ, මට මගේ ෆෝන් එක දෙන්න, මට බහින්න තියන හෝල්ට් එකත් පහු උනා බහින්න විදියක් නැතුව"

"මම දෙන්නේ නැහැ ෆෝන් එක, ඕන නම් බස් එක අරගෙන යනවා පොලිසියට, පොලිසියේදී බේරගන්න පුළුවන් එතකොට. ආව මෙතන අනුන්ගේ මිනිස්සු අල්ලගන්න, පට්ට ** "

පින්තූරය http://dnramesh.blogspot.com/2013/01/suicides-causes-and-preventions.html වෙතින්


බිරිඳගේ සැරපරුෂ කතාව අහපු බස් එකේ මිනිස්සුත් කෑගහන්න ගත්තා, "මේ මේ, පාරෙ යන ගෑනුන්ට බනින්න කලින් තමන්ගේ මිනිහ හදාගන්නවා, හරිය"...

බස් එක මම බහින නැවතුමට ආවා, රණ්ඩුව මැදින් ආපු මම, බස් එකෙන් බැසගත්තේ අමාරුවෙන්. මාත් සමගම බස් රථයෙන් බැසගත් තරුණිය හෙමි හෙමින් වෙනත් බස් රථයක් වෙතට ගමන් ගන්නවා මම දුටුවා, ඇත්තටම ඇයගේ දුරකථනය නැවත ලබුනා යැයි මම විශ්වාස කරනවා.

**************** 


තමන්ගේ බිරිඳ සැරපරුෂ නම්, ඇයත් සමග එක වහලක් යට ඉන්නට බැරි නම් එයට තිබෙන විසඳුම මගතොට හම්බෙන සියලුම තරුණියන්ට දුරකථන අංකය ලබාදීම නොවන බවත්,

තමන්ගේ සැමියා සල්ලාල නම්, ඔහු අනියම් කාන්තා ඇසුර ප්‍රිය කරනවා නම්, එයට විසඳුම ලොව සිටින සියලුම තරුණියන්ව සැමියාගෙන් ඈතට පන්නා දමා සැමියාව එක්ටැම් ගේක සිරගත කිරීම නොවන බවත්,

තමන් අවිවාහක නම්, හොඳ වයස පහු වෙනවා නම්, එයට විසඳුම මග තොට හමුවන, නන්නාඳුනන පිරිමින්ට ලං වීම නොවන බවත්,

 මිනිසුන් කවදා තේරුම් ගනීවිද?


පින්තූරය http://www.quotesvalley.com/remember-happiness-is-a-way-of-travel-not-a-destination-2/ වෙතින්





40 comments:

  1. මාර අත්දකීමක්නේ ..හැබැයි දුර ගමන් බස් වලට වඩා ඔයවගේ දේවල් සිද්ධ වෙන්නේ කෙටි දුර බස් වල. දුර ගමන් බස් වල සිද්ධි වෙනම සාහිත්‍යයක් ගොඩනගන්න පුළුවන්, හැබැයි ඔන්න් ඔයාලගේ කල්ලඩි පාලමේ දැන් නියමෙට යන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් අත්දැකීම නම් මරු තමයි, තව පොඩ්ඩෙන් මටත් බස් එකෙන් බැහැගන්න බැරි වෙනව හැබැයි...
      ඇත්තටම මමත් දැන් අවුරුදු 4ක් පමණ සතිපතා දුර ගමන් බස් වල ගමන් කලත් මෙවැන්නක් සිදු වුනේ පළමු වතාවට තමයි පවුලුෂා..
      පාලමේ වැඩ කලාට මොකද, විවෘත කලාට පසු නම් ඒ පැත්ත පළාතේ යන්න බැරි වුනා මට..

      Delete
    2. ඔන්න ඔයාගේ කල්ලඩි පාලමේ හිටපු බොස් "ගැමුණු කුමාරසිරි " ට මම කිව්වා ඔයා බ්ලොග් එකක් ලියනවා කියලා . බලයිද කියලනම් දන්නේ නෑ

      Delete
    3. පවුලුෂා මගේ නම දන්නේ නැතුව කොහොමද මගේ ගැන කිවුවේ ඉතින්.. :D

      Delete
    4. හෙහ් හෙහ් හේ ඔයානේ හිතන් ඉන්නේ දන්නේ නෑ කියලා ...... :P

      Delete
    5. ගැමුණු සර් ගැනයි, මඩකලපුවේදී කාපු බීපු දේවල් ගැනයි, පොස්ට් එකක් ලියන්න හිතන් හිටියා මදැයි :D

      Delete
    6. අඩේ ඒක ලියපන් ... නොලියා ඉන්න එපා ,මිනිහා බ්ලොග් බලන්නේ නෑ ...බයවෙන්න එපා

      Delete
  2. පව් අර කෙල්ල. දුන්න නිසා නම්බර් එක ගත්තට ගෑනි මිනිහව හදා ගන්න ඕනෙ එක්කො. නැත්තං මිනිහ හැදෙන්න ඕනෙ.

    ගෑල්ලමයි ඉයර් ෆෝන් ගහගෙන ගමන් යාම ගුණදායක තමා.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා, විවාහය තුල අපට බාර වන වගකීම විවාහකයින් විසින් දැරිය යුතුයි.
      දුන්න පලියට නම්බර් එක ගනිපු එකත් වැරදියි ඇත්තටම, නමුත් එහෙමයි කියල අර බිරිඳ ඒ ගැහැණු ළමයට විතරක් බනින එක වැරදියි නේ..
      ඉයර් ෆෝන් ගහගෙන ගමන් යන එකෙත් පොඩි අවදානමක් තියනවා සමහර වෙලාවට අනිත් අය කියන හදිසි පණිවිඩයක් වත් නොඇසී යන්න පුළුවන්... නමුත් ඔය මම කියපු වගේ සමහර අවස්ථාවල ඉයර් ෆෝන් නිසා ලැබෙන ආරක්ෂාව ප්‍රයෝජනවත්.

      Delete
  3. බස් වලි :-)) මම නම් ඔය මොකූත් දන්නෙ නෑ... මොකද මම බස් එක දකිද්දි නිඳි. බහිනකොට තමා ඇහැරෙන්නෙ :-)))))

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් කෙනෙක් :)
      මට හිතෙන්නේ බස් රථ තුල සිදු වන අක්කරතැබ්බ වලින් ගැලවෙන්න තිබෙන හොඳම පිළියම තමයි නිදා ගන්න එක..
      (මම මේ කියන්නේ ආබාධිත කෙනෙක්, ගැබිණි කෙනෙක් බසයට නැග්ගම බොරුවට නිදා ගන්න එක නෙවෙයි හැබැයි)

      Delete
  4. පුදුම චරිත තමයි නේද?

    බස් වලට නැග්ගාම මිනිසුන්ගේ චරිත ලක්ෂණ වෙනස් වෙනවද නැතිනම් ඇඳගෙන ඉන්න වෙස්මූණු ගැලවිලා ප්‍රකෘති ස්වරූපය මතු වෙනවද කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඩුඩ්...
      සමහර වෙලාවට ප්‍රසන්න පෙනුමින් යුතු, වැදගත් විදියට ඇඳගනිපු අය සීට් වලට රන්ඩු වෙන හැටි, පොරකන හැටි, හිතාගන්න බැහැ..
      මේ සිදුවීමේ උනත්, ඉහත තරුණියට ගුටි බැට දී දැඩි පරුෂ වචන වලින් බැනපු බිරිඳ ඉතා පිළිවෙලට ඇඳ පැළඳගෙන සිටියා. ඇත්තටම ඇය ඒ වගේ පරුෂ වචන අසා වත් නැති කෙනෙක් වගෙයි බැලුවම..

      Delete
  5. ඔහොම තමයි වැරැද්ද කලේ මිනිහ උනාට බැනුම් ඇහැව්වෙ කෙල්ල,අනික තව ගෑනියෙකුගෙන්.මෙව්වට මොනව කියන්නද මානවී.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම හරිම අසාධාරණයි.. ඇය වැනි බිරින්දන්ගේ හැසිරීම නිසා සියලුම කාන්තා පරපුර ලැජ්ජාවට පත් වෙනවා..
      අනිවාර්යෙන්ම සැමියා වැරදියි, නමුත් බිරිඳගේ හැසිරීම නිසා හැමෝගෙම ඇඟිල්ල දිගු වන්නේ බිරිඳට...

      Delete
  6. මේක අර වනිතා හඩ කියන ඇන්ටි දැක්කාත් මොකද කියල මං මේ කංපනා කොලේ...
    ඇත්තටම එතන මට පේන විදියට නං අර මිනිහගේ බිරිදගේ වැරැද්දක් තමයි... අර කෙනත් නාදුනන කෙනෙක් අංකය දුන්න පලියට ගන්න එක වැරදී කියමුකො... ඒත් අර ගෑණුඅ කෙනා අර මනුස්සටට ආදරෙන් හිටිය නං ඕ වගේ දෙයක් වෙයිද

    ReplyDelete
    Replies
    1. වනිතා හඬ ඇන්ටි නම් මට හිතෙන්නේ අසහනයට පත් අන්කල් කෙනෙක් වෙන්න ඇති කියලාමයි අනේ..
      සැමියා අනිවාර්යෙන්ම වැරදියි, ඒකේ කතා දෙකක් නැහැ, නමුත් ඇත්තටම ඒ බිරිඳ ගොඩක් සැරපරුෂයි...

      Delete
  7. ඔන්න ඉතිං... සමාජ වගකීම කියන්නෙ ඔහොම නොදැක්ක වගෙ හීංසැරේ ලිස්සල යන එකද? රටේ අනාගතය බාරගන්න ඉන්න තරුණ පරපුර නේද ඔය ළමයි?

    එතන මොකක්ද උනේ කියල තුන්දෙනගෙන්ම විමසල කාරිය සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරල ප්‍රශ්නෙ විසඳන්ට නේද ඔයයිට තිබ්බෙ? සික් කොහෙත්ම අනුමත කරන්ට නම් බෑ හැසිරීම....:) :)

    ReplyDelete
    Replies
    1. හපොච්චියේ රවී තුමා...
      එහෙනම් ඉතින් මේ බ්ලොග් එකේ ආයේ ඔබතුමාලාට කතා කියවන්න ලැබෙනවා බොරු..
      අර ගෑනු උන්දැ, උන්දැ එතන කෑගහපු කෑගැහිල්ලේ තරමට, මම බස් එකෙන් බහින්න ඒ දෙන්න මැද්දෙන් දොර ලඟට ආවෙත් බයේ ගැහි ගැහි..
      ඔතන මට වෙච්චි අක්කරතැබ්බෙ මම ලිවුවේ නැහැ,
      මම බහින්නේ වැලිගම. ගාල්ලේදී අපේ අක්ක මට කතා කරලා කියුව අම්මයි අයියයි මාව එක්ක යන්න බස් එක ලඟට එනවා කියල.. එදා කොහොමහරි ගාල්ල පහු වෙනකම්ම මට නින්ද ගියේ නැහැ, ගාල්ල පහු උනත් හරි, මැරුන වගේ නින්ද ගියා මට. අහංගම හරියේදී මම ඇහැරුනේ සියුමැලි ගැහැණු කටහඬ දෙකකින් කෙරුණු මේ වාදයේ සද්දෙට.
      නිදිමරගාතේම මේ විකාරේ දැකල මම හොඳටම කලබල උනා, ඒ අස්සේ සෙනග වැඩි නිසා මට බස් එකෙන් බැසගන්නත් අමාරු උනා. මේ ජරමර අස්සෙ, බස් එක ලඟට අම්මලා ඇවිත් ඉන්න බව අමතක වෙලා මම ගිහින් තුන් රෝද රියක නැගගත්ත. අයියා ඒ පස්සෙන් දුවන් ඇවිත් තමයි මාව බස්සගත්තේ ඔන්න කොටිම්ම.

      Delete
    2. / ගාල්ල පහු උනත් හරි, මැරුන වගේ නින්ද ගියා මට. අහංගම හරියේදී මම ඇහැරුනේ සියුමැලි ගැහැණු කටහඬ දෙකකින් කෙරුණු මේ වාදයේ සද්දෙට. /

      ආන්න දැක්කද? ඒ බබලත්තු දෙන්නට පස් පඩංගුවෙ බණින්ට නෙවෙයි තියෙන්නෙ ඉස්තූති කරන්ට. ඒ බබලත් වලිය නැත්තං ඔහෙට කීද්දෙන්නෙ මාතර බස් ඉස්ටෑන්ඩ් එකේ. අම්මයි අයියයි කලබල වෙලා පොලිසි ගිහිල්ල ඔහෙගෙ හැඩහුරුකං එහෙම දීල පොලිස් පුවත් වලටත් කියල මහ ජංජාලයක් වෙන්ට තිබ්බ.හෙහ්,හෙහ්,

      ගොවියාපාන එහෙම දන්නවය?

      Delete
    3. කිවුවත් වගේ රවී තුමා, ඒකත් හැබෑව තමයි... වැඩේ කියන්නෙ බස් එක මාතර බස් එකකුත් නෙවෙයි, අඟුනුකොලපැලැස්ස යන බස් එකක්...
      ගොවියාපාන දන්නවා, අපේ ගමට එන පාරෙ නොවැ, කොග්ගල, කතළුව, අහංගම, අහංගම කන්ද, ගොවියාපාන, මිදිගම, කුඹල්ගම, වැලිගම..

      Delete
  8. ඔය හරියෙ මගෙ යාලුවො හිටිය හරියට. ගොවියාපානෙ එක්කෙනෙක්, එතකොට ඔය කුස්ටරාජගල හරියෙ ( ඒත් වැලිගම කිට්ටුව නේද? ) ආය අර ගජමන් නෝනගෙ නුගරුක අහල පහල ( දෙනිපිටිය වගෙ මතක )

    අවුරුදු හත අටකට වගෙ උඩදි වැලිගම පැත්තෙ ආයම ආව ප්‍රොජෙක්ට් එකකට ටෙන්ඩර් කරන්ට. ජිනසේනලගෙ ෆැක්ටරිය කිට්ටුව.

    ReplyDelete
    Replies
    1. ගොවියාපානයි, කුෂ්ටරජාගල අහල පහලයි, නුගරුක අහල පහලයි මම ටිකක් දන්නව.. කුෂ්ටරජාගලට නම් අපේ ගෙදර ඉඳන් පයින් යන දුර..
      ඔව් මේ වැලිගමට, ඒ අහල පහලට ඇවිත් යන්ට පින් කරන්න ඕන..
      මේ ලස්සන වෙරල, වෙරල මැද ලස්සන දූපත, නගරෙන් ඇතුල් පැත්තට වෙන්න කඳු සහ කුඹුරු, උණුසුම් ඉර අවුව, ඒ වගේම හිතින් උණුසුම් සිනාසෙන මිනිස්සු..
      ආයේ එන්න රවී තුමා මේ පැත්තේ :)

      Delete
    2. ඒයි..ඒයි...මම වැලිගම බේ බීච් හෝටලේ හිටියා බන් ටික කාලයක්. කප්පරතොට ගේක නැවතිලා හිටියේ.

      Delete
    3. ඇත්තටම?? කප්පරතොට මම ටිකක් විතර දන්නවා. බේ බීච් හෝටලයේ ශ්‍රී විභූතිය දැන් ටිකක් අඩු වෙලා නේද? ඉස්සර නම් ඒක සුඛෝපභෝගී හෝටලයක්.

      Delete
    4. මම කියන 1980 විතර කාලයේ දකුණට ආපු හොඳ හෝටලයක්. දැන් නම් තවත් එක හෝටලයක් පමණක් වෙන්න ඇති. මම වැලිගම ගැන හෙමින් ලියන්නම්. තාම බම්බලපිටියටවත් එනකම් ලියාගන්න බැරිවුනා :D

      Delete
    5. අනේ 1980 වෙනකොට මම කොහෙ හිටියද දන්නේ නැහැ, ගිය ආත්මේ නෙ.. :D මම 1989 ඉපදුනු කෙනෙක් :)
      ඒ කාලේ විතරක් නෙවෙයි මම පොඩි කාලේ 1990-1995 කාලෙත් වැලිගම ප්‍රසිද්ධව තිබුනේ බේ ඉන් සහ බේ බීච් හෝටල් දෙක පමණයි, ඒකෙනුත් බේ බීච් හෝටලය සුඛෝපභෝගියි, මිල අධිකයි. කලක් ඔවුන් අලි එහෙම වැලිගම බීච් එකට ගෙනත් සංචාරක ප්‍රවර්ධන කටයුතු පවා සිදු කළා.
      දැන් නම් තවත් හෝටල් තියෙනවා, බේ ඉන් හෝටලය "ද හෙරිටේජ්" නමින් නවීකරණය වෙලා.. බේ බීච් හෝටලය නිහඬයි.
      වැලිගම ගැන ලියන්න, වැලිගම උපන් ගම නොවුණු අයෙකුට වැලිගම ගැන කියන්න තිබෙන්නේ මොනවද කියා දැනගන්නට ආසයි.
      (මම දන්නා පරිදි නම් වැලිගම උපන් ගම නොවුණු අයට වැලිගම කියන්නේ හඬනගා කතා කරන මිනිස්සු කොටසක් වෙසෙන, ධීවර පසුබිමක් සහිත නගරයක්.. :D නමුත් එහි ඉපදුනු මට නම් ලංකාවේ හොඳම නගරය වැලිගම) :)

      Delete
  9. හැලපයගේ බ්ලොග් රෝලේ තිබිලා දැකලා ආවේ. මෙහෙමයි ලිංගීක ආශාව කියන දේ කාටත් තියෙනවා. ඒකට වරදක් කියන්න බෑ. නමුත් ඒක පාලණය කර ගැනීමත්. නා ගන්නේ නැතුව වැඩේ කර ගැනීමත් පුද්ගල දක්ෂතාවය මතම සිඳු වන්නක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට සහ කොමෙන්ටුවට.. :)

      Delete
  10. මේ දවස් වල බ්ලොග් එක පැත්ත බලන්නවත් වෙලාවක් නෑ බන්. ඒකයි මේ පැත්තට එන්න බැරි උනේ. කොහොමත් අර ගෑනු දෙන්නා බැන ගත්තු එක හොදට ගියා. මොකද මම දන්නවානේ නිදා ගැනීමේ තරම.

    ReplyDelete
    Replies
    1. ඔයා කාර්ය බහුල බව මම දන්නවනේ යකා..
      ඔය වගේ දේවල් මේ හැමෝටම ඇහෙන්න කියනවද මම අහන්නේ .. :D

      Delete
  11. සැහ්...
    රස කතන්දරේ,
    ගෙදර ගෑනි කවදාවත් පිටදී මිනිහගෙ වැරද්දක් දකින්න උත්සාහ කරන් නෑ..
    ඒ නිසා අර මිනිහා බේරෙන්න ඇති මේ කෙල්ල මගෙන් නම්බර් එක ඉල්ලුවා කියලා...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පිටදී වැරදි කියන්න බැරි නිසා ගෙදර ගෑනි ගෙදර ගිහින් මිනිහගේ බෙල්ලෙන් අල්ල ගත්තද දන්නේ නැහැ එහෙනම්..
      කියවන ඔයාලට රස උනාට මේ විකාරේ ඒ වෙලාවේ බලන් හිටියනම් පිස්සු හැදෙනවා එකත් එකටම (මටත් එහෙමයි)

      ජය වේවා!

      Delete
  12. මානවිකා......මෙහෙම බ්ලොගක් තියෙන බව අදයි දන්නේ. මෙහෙම රූකඩ මිනිස්සුනම් ඉන්න බව දන්නවා. මම මේ කල්පනා කරන්නේ ගෙදර ගිහින් මොනවා කරගන්න ඇතිද කියලා..මොනවාද ඉතින් දණ ගස්සලා තියන්න ඇති කලිසම පිටින්ම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට.. මමත් ඒ පැත්තේ ගියා, ඔබේ අතීත අත්දැකීම් අලලා ලියන ලිපි පෙලේ මෑතකම ලියපු ලිපිය මම කියෙවුවා, විවේක වෙලාවක ඔක්කොම කියවල බලල කොමෙන්ටුවක් දාන්නම් :)
      ඔව් ඔබ කියුවා වගේ, මටත් හරිම පුදුම හිතුන ඒ සිදුවීම නිසා.

      Delete
  13. කියන්ඩ තියන ටික අන්තිමට පැහැදිලිව කියල තියනවා

    ReplyDelete
    Replies
    1. අටම් අයියාට (අයියා කිවුවට කමක් නැහැ නේද) බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් කොමෙන්ට් එකක් දැම්මාට. මාව බ්ලොග් ලොවට ඇබ්බැහි කරගන්න හේතු වෙච්ච බ්ලොග් කිහිපයෙන් එකක් තමයි අටම්පහුර :)

      Delete
  14. ගෑණු කෙහෙවලු පටලවා ගත්තම ආයේ කියන්න දෙයක් නෑ ඉතින් :P

    ඔය ජැක් ගහන මනුස්සයෙක්ට දවසක් මම හිටිය බස් එකක හොඳ වැඩක් වුණා. මිනිහා ජැක් එක ගැහුවා වාඩිවෙලා හිටිය ගෑණු ළමයෙක්ට. ගෑණු ළමයා කෑ ගහලා බැන්නත් මිනිහා නෙමේ පිළිගත්තේ. අන්තිමට කේන්තිය වැඩිකමට කෙල්ල මිනිහට ගැහුවා. මිනිහත් අනිත් පැත්තට ගහන්න යද්දී වටේ හිටිය මිනිස්සු ඇවිත් මිනිහට ගැහුවා.

    කිරිබත්ගොඩ පොලිසියට කිට්ටුව තමා සිද්ධිය වුණේ. ඩ්‍රයිවර්ත් බස් එක පොලිසිය ගාව නවත්තලා මිනිහව පොලිසි ගෙනියන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේ මිනිහා "අනේ බුදු අක්කේ මට සමාවෙන්න" කියලා කෙල්ලට වැන්දා. අන්තිමට බස් එක ඇද්දුවා.

    මිනිහා ඉස්සෙල්ලාම හෝල්ට් එකෙන් බැහැලා ගියා :D

    ReplyDelete
    Replies
    1. පිරිමි දෙන්නෙක් පැටලුන නම් ඉතින් ඔහොම බේරෙනව බොරු, එහෙනම් ඒ දෙන්න මරාගෙන, අහල පහල ඉන්න අයටත් ගහල, බස් එක පොලිසි ගෙනිහිල්ල :D
      ඔන්න බලන්න ඉතින් ගෑනු ළමයින්ට බස් වල යනකොට තියන කරදර..

      Delete