November 03, 2019

[නවාතැන්පොළේ කතා / Home away from home - 03] මාස්ක් සහ ජංගි කතා

මෙහේ ඉතින් සීත කාලෙට, අපි දවල් දවසේ රැකියාවන් වලට එහෙම එලියට යනකොට ගොඩක් ඇඳුම්, කෝට්, ජැකට්, එක උඩ එක ඇඳගෙන, බූට්ස්, මේස්, ග්ලවුස්, තොප්පි දාගෙන, මුළු ඇඟම වැහෙන විදියට නේ යන්නෙ. ඉතින් ස්වාභාවිකවම, හවසට ගෙදර එනකොට, බොහෝ විට හැමෝම එන්නේ අර ඇඳුම් ටික ගලවන්න බලාගෙන. ඒ වගේම රෑ නිදියනකොට මහ ගොඩක් ඇඳුම් අඳින්න කැමති නෑ ගොඩක් අය. හීටිං දාගෙන, බ්ලැන්කට් පෙරවාගෙන, සැහැල්ලු ඇඳුමක් ඇඳන් නිදියන්න තමයි ගොඩක් වෙලාවට හිතෙන්නෙ. ඉතිං මගේ ගෙහිමියත් එහෙම තමයි.

සමහර දවසට මට උයන්න රෑ උනාම, කාල ඉවර වෙලා අස් කරන වෙලාවට ගෙහිමියා එනව කුස්සියට, වතුර ටිකක් එහෙම බොන්න. ඒ වෙද්දි එයාල කාල බීල ඉවර වෙලා, ඇඳට ගිහින් ෆිල්ම් එකක් වගේ බලන වෙලාව. ඉතින් මෙහෙම රෑ වෙලා කුස්සියේ කවුරුවත් ඇති කියල ගෙහිමියා වැඩිය බලාපොරොත්තු වෙන්නේ නැති නිසා, සමහර දවසට එයා එන්නේ ජංගි පිටින්.

යට ඇඳුම් පමණක් ඇඳපු පිරිමි පරාණයක් ඉහත රූපයේ දැක්වේ. රූපය ගත්තේ Google Images වලින්.


අපේ ගෙහිමියා හරිම වයසයි, ඒ මදිවට එයා සමලිංගික පිරිමි කෙනෙක්. ඒ නිසා ගෑණු කෙනෙක් වෙච්ච මම ගැන එයාට විශේෂ හැඟීමක් නැති බව මම හොඳින්ම දන්නව. ඉතින් ඔය ජංගි පිටින් කුස්සියට එන එක වැරදි චේතනාවකින් කරන දෙයක් නොවන බව මට හොඳටම පැහැදිලි නිසා, මට ඒක ගානක් නෑ. ඊටත් මම පුංචි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ වැලිගම නිසා, පාරේ ගියත්, බීච් එකට ගියත්, පොලට ගියත්, අඩ නිරුවත් සුද්දො, බිකිනි ඇඳපු සුද්දියෝ, අපට නිතරම දකින්නට ලැබුණ. ජපානේ ගියාට පස්සේ, අනිත් ගැහැණු සමග නිරුවතින් අපි ඔන්සෙන් ගියා.

හැබැයි ඉතින් ගෙහිමියා ජංගි පිටින් ඉන්න එක මට අව්ලක් නැති උනාට, මම කුස්සියට යනවා නම් සාමාන්‍යයෙන් සංවර ඇඳුමක් තමයි ඇඳගෙන ගියේ, ගෙහිමියගේ බෑනා සහ ඔහු හමුවෙන්න ගෙදරට ආපු අය ටිකක් තරුණ නිසා. මේ තරුණ පිරිස උනත් ඉතින් එහෙම අවසරයෙන් තොරව වැරදි දේවල් කරන අය නෙවෙයි, ඒත් ඉතින් හොඳ impression එකක් ඇති වෙන විදියට හිටියම අපට පහසුයි නේ?

හැබැයි එක දවසක් මම කොට night dress එකක් ඇඳන් ඉඳලා, ඕක දැකලා ගෙහිමියා කියාපි "හානේ ඔයා හැඩයි" කියල. ඒ වගේම ගෙහිමියා ජංගි පිටින් ඉන්නකොට මම එයාව දැක්කොත් එයාට අප්සට් යන්නේත් ලජ්ජාවට එහෙම නෙවෙයි, එයාගේ බඩ ගෙඩිය සහ (එයා කියන විදියට) out of shape සිරුර මට පේන නිසා. :D

ඉතින් ඒ වෙලාවට එයා කියනවා, "සොරි මානවී, මගේ ඇඟ ඉතින් එච්චර හැඩ නෑ" කියල. :D

හැබැයි ඇත්තටම එයා තරුණ කාලේ හරිම කඩවසම් කෙනෙක්. මම පින්තූර වලින් දැකල තියනව. :)

ඉතින් මේකයි සිද්දිය. මම සාමාන්‍යයෙන් සති දෙක තුනකට සැරයක් වගේ, බියුටි කචල් මාස්ක් එකක් පාවිච්චි කරනවා. මේක charcoal වලින් හදපු මාස්ක් එකක්. ඔය පහල පින්තූරෙ උඩ පේලියේ මැදින් තියෙන්නේ charcoal මාස්ක් එක. ඉතින් කළු පාටයි මේක මූණෙ ගෑවම හොඳේ. මේක පාවිච්චි කරනකොට, කරන්න තියෙන්නේ, උණු වතුරෙන් පොඟවලා ගනිපු තුවායකින් මූණ ටිකක් තෙත මාත්තු කරලා, ටියුබ් එකෙන් මේ කළු පාට ක්‍රීම් එක අරන්, මූණේ ඇස් අවට හා තොල් වල නොගෑවෙන්න ගැන එක. වාතයට නිරාවරණය උනාම, මේ ක්‍රීම් එක වේලෙනවා. ඉතින් මේක වේලෙන කම් ඉඳලා, වේලුනාට පස්සේ හම වගේ ඇදලා ගලවලා දාන්න ඕන. 

එක එක ජාතියේ මාස්ක් වර්ග ඉහත රූපයේ දැක්වේ. රූපය ගත්තේ Google Images වලින්.

මම සාමාන්‍යයෙන් මේක ගෑවම කරන්නේ, වේලෙනකම් කාමරේ ඇතුලට වෙලා ඉඳල, ගලවලා, මූණ හෝදගෙන මිසක් එලියට බහින්නෙ නෑ. කළු පාට නිසා. නමුත් එක දවසක් මම මේක පාවිචිච් කරද්දී ටිකක් වැඩිපුර රෑ වෙලා තිබුණෙ, හැමෝම නිදි. මේ වෙලාවට ඕක දැකල බයවෙන්න කවුරුවත් එන එකක් නෑ කියල හිතල, මම මාස්ක් එක වේලෙනකම් කුස්සියට ගියා වතුර බෝතලේ පුරවන් එන්න.

එතකොටම, කුස්සියේ අනිත් පැත්තේ දොරෙන් ඇතුළු වුණා ගෙහිමියා. ඒ වෙලාවේ එයා ජංගිය විතරයි ඇඳල හිටියෙ. එයත් වතුර බොන්න හරි මොනවට හරි එන්න ඇති. මම ඉතින් දැන් ගෙහිමියාගේ පැත්තට මූණ හරවන්නේ නැතුව ඉඳන්, "මම මාස්ක් එකක් දාගෙන ඉන්නෙ, මූණ දැකල බය වෙන්නෙපා" කියල කියන්න උත්සාහ කරනවා දිගින් දිගටම. නමුත් ගෙහිමියාට මම කියන දේ ඇහෙන්නේ නැහැ, ඒ මොකද කියනවා නම්, ඔහු ඊට වඩා සද්දෙන් මගෙන් සමාව අයදිනවා. "අනේ සොරි මානවී, රෑ වෙලා නිසා මම හිතුවේ කුස්සියේ කවුරුවත් නැතුව ඇති කියල, ඒකයි ජංගි පිටින් ආවෙ, මම ඉක්මනටම වතුර අරන් යන්නම්, අනේ සමාවෙන්න, මම ඉක්මනින් යන්නම්" කිය කිය. එයා හරිම embarassed. ඒ නිසා එයා nonstop සමාව අයදිනවා දැන්. කොටින්ම එයා හුස්ම ගන්න වත් කතාව නවත්තන්නේ නැති නිසා, මම කියන දේ අහන්න එයාට ඉස්පාසුවක් නැහැ. ඉතින් මම මාස්ක් එකක් දාගෙන ඉන්න බව කිවුවට, එයාට ඇහෙන්නේ නැහැ. (ඒ මදිවට එයාගේ කටහඬ මට වඩා ගොඩක් සද්දයිත් එක්ක) සමහර විට, මම මාස්ක් එක පේනවට ඒ පැත්තට මූණ හරවන්නේ නැතුව ඉන්නකොට, එයාට හිතෙන්න ඇති එයාගේ ජංගිය නිසා මම uncomfortable වෙලා කියල. අහක බලන් කතා කරනකොට, කොහොමත් වැඩිය සද්දෙන් ඇහෙන්නේ නැහැනෙ.

ඔහොම ඇවිත් එයා මගේ එහා පැත්තෙන් හිටගෙන සැන්විච් එකක් හදන්න පටන් ගත්ත. මමත් එතකොටම, "I am wearing a mask" කියාගෙනම එයාගේ පැත්තට හැරුණ. ගෙහිමියා මගේ දිහා බලල, එක පාරට ගැස්සුණ. එහෙම ගල් ගැහිල ටිකක් වෙලා ඉඳලා, nonstop හිනා වෙන්න පටන් ගත්ත.



February 23, 2019

ආදරේ ඇත නුදුටු තැන්වල

පහුගිය දවස් වල අපේ බාත්රූම් එකේ වතුර බහින නළය ටිකක් හිර වෙලා තිබුණ. අපේ බාත්රූම් එක කිවුවේ, මේක මම තනියම පාවිච්චි කරන එකක් නෙවෙයි, අපේ ගෙහිමියාගේ බෑණා (අක්කගෙ පුතා) එක්ක මම මේක ශෙයා කරනවා.

ශෙයා කරනවා කිවුවට ඇත්තටම ඒක ටිකක් වාසි ඩීල් එකක්. මම මේ කාමරේට කැමති වෙන්නත් ඒක එක හේතුවක්. මේ බෑණා රැකියාව උදෙසා දිවයිනේ හැමතැනකම වගේ ඇවිදින්න යනව. එයාගේ නිවහන සහ පවුල ඉන්නේ එංගලන්තයේ දකුණු දිගට වෙන්න. නමුත් හෙඩ් ඔෆිස් එක තියෙන්නේ මධ්‍යම එංගලන්තයේ (Midlands). ඉතින් හෙඩ් ඔෆිස් එකට ආපුවම, සතියට දවසක් හෝ දෙකක් තමයි මේ බෑණා මම ඉන්න ගෙදර නවතින්නෙ. අනිත් හැම දවසකම වගේ ඔහු එක්කෝ රැකියාව එක්ක ඇවිදිනවා, නැත්නම් දකුණු එංගලන්තයේ තියන නිවහනට වෙලා ඉන්නව. ඉතින් බාත්රූම් එක ශෙයා කරනවා කියල කිවුවට, ඇත්තටම සතියේ වැඩි දවසක් ඒක මගේ විතරයි, නමුත් මේ කාමරේ ගාස්තුව, ඇටෑච් බාත්රූම් එකක් තියන කාමරේකට (en suite) වඩා සෑහෙන්න අඩුයි. කෝමහරි මේ බෑණගෙයි මගෙයි වචන වලින් නොකී ගිවිසුමක් වගේ, අපි ඕක බොහොම පිරිසිදුවට තියන් හිටිය. විශේෂයෙන්ම ටොයිලට් සීට් එක කවදාවත් ඒ මනුස්සයා සවුත්තු කලේ නෑ.

මේ බෑණාට ඉන්නවා දරුවෝ තුන් දෙනෙක්. පළමු රිලේෂන්ශිප් එකෙන් එක්කෙනයි, දෙවෙනි රිලේෂන්ශිප් එකෙන් එක්කෙනයි, තව එක්කෙනෙක් ඔන් ද වේ. ඔහොම ඉන්නකොට මේ සති කීපයක් උඩදී, මේ මනුස්සය තව ගැහැණු කෙනෙක් එක්ක සෙට් වෙලා, ගෙදරට එක්කගෙන ආව. ගෙදර අනිත් අයත් හරිම ආදරෙන් කතා කර කර ඉන්නවා දැන් අලුත් ජෝඩුව එක්ක. මට මේක දැක්කම දැන් හරිම ඔඩ් ඉතින්, ටිකක් දුකයි. අර මනුස්සයා දරු ගැබක් දරන් ඉන්නකොට මෙයා මෙහෙම හැසිරෙන එක හරිද? අපි ඉතින් ගෑණු නේ. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් ඔහොම ඉන්නවා දැක්කම මාළු නටනව නේ ඇඟේ. :D

හැබැයි අර අලුත් ගෑණු කෙනා හරිම විනෝදකාමී, අහිංසක කෙනෙක්. මාත් එක්ක යාලු උනා හරිම ඉක්මනට.

ඉතින් මම පටන් ගන්නකොටම කිවුවනේ බාත් ටබ් එකේ වතුර බහින නළය හිර වුණා කියල. මට හේතුව විදියට හිතුනෙම, මගේ කෙස් ගස් ඔය නළය අස්සේ හිරවෙලා ඇති කියල. මම හැමදාම නෑවට පස්සේ ඩ්රේන් කැප් එක උඩ තියන කෙස් ගස් ටික අරන් ඉවත් කරනව, නමුත් ඉතින් ඒකෙ සිදුරු වගේ තියන නිසා කෙස් ටිකක් විතර ඕක අස්සට යනවා ඇති. මගේ කොන්ඩෙත් ටිකක් ගණකම් කැරලි සහිත නිසා, කැරලි ගැහිලා හිර වෙලා ඇති.


මානවී වගේ කොණ්ඩයක් තියන ළමයෙක් නාන පින්තූරයක්. පින්තූරය https://www.wikihow.com/Care-for-Your-Curly-Hair වෙතින්.

ෂවර් එක සවි කරලා තියෙන්නේ බාත් ටබ් එකට උඩින් නේ. ඉතින් ඇඟ හෝදන නාන හැම වෙලාවකම, වතුර පිරෙනවා බාත් ටබ් එකේ, වළලුකර ට ටිකක් පහලට වෙන්න විතර. ඊට පස්සේ හෙමින් හෙමින් වතුර බැස්සට, අර සබන් ගතියත් එක්ක කුණු වගේ බාත් ටබ් එකේ පතුලේ ගෑවිලා තියනවා. පිරිසිදු කරන්න ටිකක් කරදරයි, මොකද බාත්ටබ් එකේ පතුල හෝදන්න වතුර දැම්මම, ඒ වතුර ටිකත් බහින්නේ නැතුව රැඳෙනවා නේ.

මම දවසක් ඕක සුද්ද කරන්න ගිහින්, උඩ තට්ටුවේ බාත්රූම් එකේ වතුර ටිකක් ලීක් වෙලා, ඒ වතුර ටික පහල තට්ටුවේ වහල හෙවත් ස්ලැබ් එකේ සවි කරපු ලයිට් එකක් අස්සෙන් බිමට වැටිලා, ට්‍රිප් එක ගියා. එදා ඉඳන් මම ඕක සුද්ද කරන වැඩේ අත ඇරලා දැම්ම, සමනල් පිහාට්ටක් අතගානවා වගේ පරිස්සමට නාගෙන, බාත්ටබ් එකෙන් එලියට ඇවිත් ආයේ කකුල් දෙක වෙනම සෝදාගෙන සැනසිලා, නිකම් හිටිය. 

ඉතින් ඔන්න ඔහොම සෝචනීය තත්වයක ඉන්න අතරේ, අර ජෝඩුව මේ ගෙදරට ආපි. මට දැන් ටිකක් අප්සට්, වතුර බහින්නේ නැහැනේ බාත්රූම් එකේ. මගේ කොණ්ඩේ ගැනත් මට ගිල්ටි, බාත්රූම් එක අපිරිසිදුයි වගේ තිබුනොත් හරි නෑ නේ. මම ඉතින් පුළුවන් විදියට ඕක ක්ලීන් කරලා තියලා, උදේ කැම්පස් එකට ගියා. ඒ ගිහින් ඉන්නකොටත් ඕක ඔලුවේ වැඩ කරන නිසා, මම නිකම් ගූගල් කරලා බැලුවම, මෙන්න මේ ගැජට් එක දැකලා, ඕඩර් කළා.


ඕඩර් කරපු ගැජට් එක. 

හවස ගෙදර එනකොට ජෝඩුව ඉන්නවා ගෙදර. එදා වැලන්ටයින් දවසේ හවස. ඉතින් මම කතා කර කර ඉන්න ගමන් කිවුව 

"අනේ බාත්රූම් එකේ වතුර බහිනවා හොරයි, මගේ කොණ්ඩේ හිරවෙලා වෙන්න ඇති. මම පොඩි ගැජට් එකක් ඕඩර් කළා, ඒක එන්න ටික දවසක් යයි හැබැයි" කියල. එතකොටත් ඒ ගෑණු ළමය මගේ හිත හැදෙන්න වගේ කිවුව,

"අයියෝ ගණන් ගන්න එපා, ඒක මෙයා බලාගනීවි. ඔයාගේ කොණ්ඩේ ගැන අවුල් ගන්න එපා ඒක ලස්සනයි" කියල.

ඒ ගෑණු ළමයා එහෙම තමයි, හරිම මිත්‍රශීලී කෙනෙක්.

ඉතින් ඔහොම කතා කර කර ඉඳලා, මම උඩට ගියා වොෂ් එකක් දාගන්න. මෙන්න බොලේ බාත්ටබ් එක හොඳටම හෝදලා, වතුරත් බහිනවා. මම ඉතින් නාගෙන එහෙම පහලට ඇවිත්, අර බෑනාගෙන් ඇහුව,

"ඔයාද බාත්ටබ් එක සුද්ද කලේ? අනේ බොහොම ස්තුතියි" කියල. එතකොට ඔහු මෙන්න මෙහෙම පිළිතුරු දුන්න.

"ඔව් මම වොශ්‍ එකක් දාන්න ගියා, ඉතින් මට හිතුනා මගේ ගෑණු ළමයා වොෂ් එකක් දාන්න කලින් බාත්රූම් එක සුද්ද කරලා තිබ්බොත් හොඳයි කියල. ඉතින් ඒකයි, අත ප්ලන්ජ් එකක් වගේ හදලා තද කලාම වතුර ටිකත් බැහැලා ගියා, ගණන් ගන්නෙපා." කියල.

මම ඉතින් ඒ ළමයට මුව නොසෑහෙන්න ස්තුති කරලා, යාලුවෙක් කෝල් කලාම එයාටත් ඔය විස්තරේ කිවුව. එතකොට යාළුවා කියපු දෙයින් තමයි මම ටිකක් සංවේදී වුණේ.

"ඒ කියන්නේ මානවී එහෙනම් මේ එයාගේ තුන්වෙනි සහකාරිය උනාට ඉතින් ඇත්තටම ආදරයක් ඇති නේද හිතේ. නැත්නම් ඉතින් අපේ මිනිස්සු නම් ඔන්නොහෙ ගෑනිටම අස් කරගන්න ඇරල එනව මිසක් කවදාවත් බාත්රූම් එක සෝදලා තියයිද නේ?"

ඇත්තටම යාළුවා කියනකම් මම ඔය ප්‍රශ්නේ දිහා ගෑනු පිරිමි විදියට වෙන් කරලා හිතල තිබුණෙ නෑ. මම ඒ ගැන හිතුවේ guest and host විදියට විතරයි. මේ සිදුවීමේදී අර ගැහැණු කෙනා guest නිසා, host වෙච්චි පිරිමි කෙනා බාත්රූම් එක සෝදන එක සාමාන්‍ය දෙයක් විදියටයි මට හිතුණෙ. මට එතන තිබුණු අප්සට් එක තමයි මගේ කොණ්ඩේ නිසා මේ අවුල ඇතිවුණු එක.

මානවී ඉතින් එක ගෙදරක සහකරුවෙක් එක්ක ජීවත් වෙලා නෑ, ඒ නිසා ඕවා වැඩිය දන්නේ නෑ. හැබැයි ඉතින් කට්ටිය එකතු වෙලා උයාගෙන කාපු වෙලාවට එහෙම, 

"මානවී ඉවුවනේ, මම අස් කරන්නම්" කියපු යාළුවො තමයි මානවී ට ඉන්නෙ. ශ්‍රී ලාංකික, පිට කියල වෙනසක් නැතුව. කොටින්ම අපේ ගෙදරත් බාත්රූම් සෝදන්නේ තාත්ත. මම ඉතින් ඔහොම කල්පනා කර කර ඉන්නකොට, කලින් ජපානේ ඉන්නකොට සිදුවුණු දෙයක් මතක් වුණා.

මේකේ ඉන්නේ ශ්‍රී ලාංකික ජෝඩුවක්.

මේ ශ්‍රී ලාංකික ජෝඩුවේ පිරිමි ළමයා ඉන්නේ අපේ ඩිපාට්මන්ට් එකේ (අපි එයාට විශ්ව කියමු). ගෑණු ළමයා (අපි එයාට ශලිනි කියමු) හිටියේ ටිකක් ඈතක තියන විශ්ව විද්‍යාලයක. මේ විශ්ව එහෙම රොමැන්ටික් චරිතයක් බව කවදාවත් පෙනුනේ නැහැ, කපල් ෆොටෝ එකක් වත් ෆේස්බුක් දාල නැති, අපි ඉස්සරහ දෙන්නට දෙන්න බයිට් කරගන්න, බැනගන්න ජෝඩුවක් මේ. හැබැයි විශ්ව, ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික්චර් එකේ නොදැම්මට, එයාගේ වොලට් එකේ ශලිනි ගේ ෆොටෝ එකක් දාන් ඉන්නෙ. කොහොමහරි ෆීල්ඩ් විසිට් ගිහිපු වෙලාවක, ඇමරිකන් කෙල්ලෙකුයි, බන්ගලාදේෂි කෙල්ලෙකුයි මේක දැකල මගෙන් මෙහෙම ඇහුව.

"අනේ විශ්ව හරිම හොඳ සැමියෙක් නේ. ලංකාවේ හැම පිරිමියා ම මෙහෙමද?"

අපේ නම රැකගන්න ඕන අපිමයි නේ, ඉතින් මම කිවුව,

"ඔව් ඔව්, ගොඩක් අය එහෙමයි. ඉතින් එහෙම විශේෂයෙන් අහන්නේ ඇයි.. ඔයාලගේ රටවල් වල පිරිමි එහෙම නැද්ද?"

ඉතින් දවසක් අපි සෙට් එකක් කතා වුණා දකුණු සහ ගිනිකොණදිග ආසියානු කෑම තියන රෙස්ටුරන්ට් එකකට ගිහින් කමු කියල. මමයි, විශ්වයි ඇරෙන්න අනිත් අය විදෙස් රටවල් වල කට්ටිය. ඉතින් ඔන්න පිටත් වෙන වෙලාව කිට්ටු වෙන්නත් කලින්ම, විශ්ව යන්න නැගිට්ට.

"දැන්ම මොකෝ? අපි හයාමාරට නේ යන්නෙ?"

"ඔයාල හෙමීට එන්න. මම දැන් ටක් ගාල ගෙදර ගිහින් බත් එකක් රයිස් කුකර් එකේ ගහල එන්නම්"

"බත් ඇයි? ශලිනි එන්නේ නැද්ද?"

"නෑ අනේ. එයා එනකොට ටිකක් හවස් වෙනව කිවුව, ඉතින් අරුන්ට ඒ වෙනකම් බඩගින්නේ බලන් ඉන්න කියන්න බෑ නේ. එයා ගෙදර ගිහින් කයි. මම එන්නම් කට්ටිය එක්ක කන්න."

මුකුත් නොදන්න බබා පාට් එකේ මම මෙහෙම ඇහුව.

"ඉතින් ඔයා අපිත් එක්ක යමු, ශලිනි ගෙදර ගිහින් බත් එක උයාගෙන කයි නේ?"

"බෑ නේ, එතකොට බත් එක ඉදෙනකම් එයා බඩගින්නේ ඉන්න එපයි?"

ඔන්න ඔහොමයි මිත්‍රවරුනි. ආදරේ ඇත නුදුටු තැන්වල.


(කාටුන් ) ජෝඩුවක්. පින්තූරය Google වෙතින්.

මට හිතුණා මේක වැලන්ටයින් දවසේ බැරි වුනත්, වැලන්ටයින් මාසේ ඉවර වෙන්න කලින් ලියල තියන්න ඕන කියල.


මහා ලොකු බැඳීම් නොවෙන්න පුළුවන්, මහා ලොකු ගිවිසුම් නැති වෙන්න පුළුවන්, ඒත් ආදරේ ඕනෑම මොහොතක දැනෙන්න පුළුවන්.

ෆේස්බුක් එකේ, සහන් කසීර වික්‍රමසිංහ වැලන්ටයින් ඩේ එක වෙනුවෙන් ලියපු මේකත් කියවන්නකෝ


මාතෘකාවට යොදා ගත්තු "ආදරේ ඇත නුදුටු තැන්වල" කියන එක අහුලගත්තේ "කන්දක් සේ මා" චිත්‍රපටයෙන්. ඒකට ස්තුතියක් ලෙස, මම ෆිල්ම් එකේ ට්‍රේලර් එක ඇඩ් කරනවා මෙතන.





.. අර ගැජට් එක හොඳයිඒක වැඩ කළා හොඳට