3.01.2014

පෝස්ට් එක හැංගිලා

 
පින්තූරය http://creatublogen1hora.com/ වෙතින්


 මම කලින් ලියපු, අපි විභාග ලියන හැටි බ්ලොග් පෝස්ට් එක, බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලා නැහැ,

http://minisunathara.blogspot.com/2014/03/blog-post.html 

වෙත ගිහින්, පෝස්ට් එක කියවා කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා.



අපි විභාග ලියන හැටි

කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා. අවසන් විභාග කටයුතු එක්ක පොඩි පොඩි වැඩ කටයුතු යෙදුනත්, නොලියා ඉන්න හේතු උනේ කාර්ය බහුලකම නෙවෙයි, ලියන්න තරම් හිතේ නිදහසක් නැතිකම සහ ලියන්න තරම් වැදගත් දෙයක් නැතිකම.

විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු වලදී අපේ අයට වැරදෙන හැටි සහ වරද්දා ගන්නා හැටි ගැන ලියන්න හිතුණත්, හැමදාම ලියන එක දවසින් දවස කල් ගියා. නමුත් ඊයේ තිබුණු "විස්තීර්ණ සැලසුම්කරණ ව්‍යාපෘතියේ" (Comprehensive Design Project) ප්‍රදර්ශනාත්මන ඉදිරිපත්කිරීම් අවසානයේ, යක්දෙස්සාගලේ යකා "කාලෙකින් මොකුත් ලිවුවේ නැහැ නේද" කියල මගෙන් ඇහුවම, මට හිතුණ ගොඩක් කල් ඉඳන් ලියන්න ඕන කියල හිත හිත හිටපු මේ ගැන ලියල දාන්න.

සාමාන්‍යයෙන් මම කරන්නේ එදා එදා උගන්නන ඒවා එදා එදා ධාරණය කරගැනීම. ඒ නිසා විභාගයට කලින් දවසේ කිසිම බයක් සැකක් නැහැ. නමුත් මගේ පියාණන්ගේ හදිසි අභාවය නිසා ගේ දොර ගැන හොයල බලන නිසාත්, අක්කාගේ විවාහ මංගල්‍යයට සූදානම් වීම නිසාත්, මට එක විභාගයට කල් තියා සූදානම් වෙන්න බැරි වුණා. ඇත්තටම, "මෙදා පාර නම් කෙල වෙනවා" කියල හිත හදාගෙන තමයි විභාගය ලියුවේ. ඒත් අන්තිමට ලැබුණු හොඳ ප්‍රතිඵල වලින් මම පුදුමයට පත් වුණා. මෙතනදී මම තේරුම් ගත්ත දේ තමයි, අපේ පෙර සූදානමටත් වඩා, විභාගය ලියන දින කිහිපය සහ විභාගය ලියන හෝරා කිහිපය තුළ අපගේ හැසිරීම, අපට පුදුම සහගත ලෙස වැදගත් බව. ඉතින් මම මේ ලියන්න යන්නේ ඒ ගැන.

මුලින්ම කිව යුතුයි, මෙතැනදී මම විශ්ව විද්‍යාලයේ විභාග වලට අදාළව ලියුවත්, ජීවිතයේ ඕනෑම විභාගයකදී මේ දේවල් ප්‍රයෝජනවත් වෙයි කියා මට හිතෙනවා. එහෙනම් මෙන්න මේ ගැන මගේ අදහස්.


1. කල් තියා සූදානම් වීම/නොවීම
පාසල් කාලයේ අපි විභාග ලියුවේ ටික කාලයක් පුරා මහන්සි වෙලා. ඒත් විශ්ව විද්‍යාලය තුළ සහ ඉන් පසු රැකියා කරන විට, අපට ගොඩක් වෙලාවට විභාග වලට කල් තියා සූදානම් වීමක් සිදු කරන්නට ලැබෙන්නේ නැහැ, කම්මැලි කම හෝ කාර්ය බහුල වීම නිසා. එතනදී අවසන් මොහොතේ සූදානම් වීම තමයි අපට තියන විකල්පය. මෙතැනදී අප තේරුම් ගත යුතුයි අපි පාඩම් කරන්න පුරුදු වෙලා තියන ආකාරය. අන්තිම මොහොතේ ගොඩක් දේවල් එකවර තේරුම් ගැනීම, ධාරණය කරගැනීම හෝ කට පාඩම් කිරීම තමන්ට අපහසු නම්, හොඳම දේ තමයි එදා එදා කරන දේවල් එදා එදා ධාරණය කරගැනීම. ඇත්තටම විෂය ගැන පුළුල් අවබෝධයක් සහ ගැඹුරු දැනුමක් ලබාගැනීම ඔබේ අරමුණ නම්, ඔබ මෙය සිදු කල යුතුයි, නමුත් මම කලින් කියුවා වගේ, නොයෙකුත් හේතු නිසා ඔබට කල්තියා සූදානම් වෙන්න බැරි උණා කියා හිතමු. අන්න වගේ වෙලාවක ප්‍රයෝජනයට ගන්න මේ පොඩි පොඩි දේවල් ටික මතක තියාගන්න



2. තනිව පාඩම් කිරීම/කණ්ඩායම් වශයෙන් පාඩම් කිරීම
පින්තූරය: http://s597.photobucket.com/user/zazapacaembu/media/Action%20verbs/school-girl-studying.jpg.html වෙතින්
මෙහිදීත්, තමන්ට පහසු ආකාරය තමන් විසින් තේරුම් ගත යුතුයි. තනිව පාඩම් කිරීමේදී අනවශ්‍ය පරිදි නින්ද යනවා නම්, ගැටලු සහගත තැන් තනිව කල්පනා කරන්න කම්මැලි නම්, හිත එකඟ කරගන්න අමාරු නම්, යාළුවො ටිකක් එක්ක එකතු වෙලා පුස්තකාලයක් වගේ තැනක පාඩම් කරන එක යහපත්. නමුත් එතකොට අපි දවසෙම ඉඳගෙන සිටිය යුතුයි. කියන්නේ අපට ඕන ඕන ඉරියවුවෙන්, නිදහසේ ඉන්න බැහැනේ. උදාහරණයක් විදියට ඔබ පුරුදු වෙලා තියෙන්නේ පාඩම් කරන ගමන් සින්දු අහන්න නම්, නැත්නම් කකුල් පුටුව උඩින්/මේසය උඩින් තියන් හෝ හාන්සි වෙලා පාඩම් කරන්න නම්, නැත්නම් ඔබ පාඩම් කරන දේ ශබ්ද නගා කියවනවා නම්, පාඩම් කරන ගමන් නිතර ටොයිලට් යන්න ඕන වෙනවා නම්, තනිව පාඩම් කිරීම ඔබට පහසු වේවි. අත්හදා බලා තමන්ට ගැලපෙන දේ තෝරා ගත්තම හරි.


3. දවල්ට පොඩ්ඩක් නින්ද ගියාට හිත කරදර කරගන්න එපා

පින්තූරය: http://library.thinkquest.org/08aug/01036/Sleep.html වෙතින්
ඔන්න, විවාදාත්මක තැනක්. පරිස්සමින් අදහස් දක්වන්නම්...පොත අතට ගත්ත ගමන් හෙණ ගැහුවා වගේ හෝරා දෙක තුනක් නින්ද යනවා නම්, ඔබ ගැන ටිකක් අවධානය යොමු කළාට කමක් නැහැ. නමුත් අපි මෙහෙම හිතමු. ඔබ දවස පුරා පාඩම් කටයුතු වල යෙදී ඉන්න නියමිතයි. දවල් කෑමෙන් පසු ඔබට මිනිත්තු 30ක් නින්ද යනවා. වගේ අවස්ථාවකදී "අනේ මට නින්ද ගියානේ" කියමින් ඔබ දුක් විය යුතුද? නින්ද කියන්නේ ජීවිත අවශ්‍යතාවයක්. හැම මිනිහෙක්ම නිදාගත යුතුයි ඔහුට අවශ්‍ය ප්‍රමාණයට. සංසන්දනය කරලා හිත කරදර කරගන්න එපා. මගේ යාළුවෙක් ඉන්නවා පාඩම් කරන හැම පැය දෙක තුනකට වරක්ම කුඩා නින්දක් දානවා.. නමුත් ඇගේ කල්පනා කිරීමේ හැකියාව සහ අවසානයේ ලැබෙන ලකුණු ඉතා ඉහළයි. මම ඇගෙන් මේ ගැන ඇසුවා. ඇගෙන් ලැබුණු පිළිතුර මේ වගේ.
"
පාඩම් කරන ගමන් කම්මැලි හිතෙනව නම්, සින්දු අහල වත් කම්මැලිකම නැති කරගන්න බැරි නම් මම කරන්නේ පොඩ්ඩක් නිදා ගන්න එක. එලාම් එකක් තියන්නේ නැතුව පොඩ්ඩක් නිදා ගන්නවා. නමුත් සාමාන්‍යයෙන් මට මිනිත්තු 30ක් විතර නින්ද ගිහින් ඇහැරෙනවා. හැබැයි එහෙම එක දිගටම කරනකොට, නින්දට පුරුදු වෙලා හැම තිස්සෙම නිදාගන්න හිතෙනවා, නිසා මේ නිදා ගැනීම පරිස්සමින් කල යුතුයි



4. ප්‍රමාණවත් රාත්‍රී නින්දක් ලබාගන්න
පින්තූරය: http://esmeraldissima.com/2010/05/12/sleeping/ වෙතින්
පාඩම් කරන ඔබට, නින්ද ඉතා වැදගත්. අවදියෙන් ඉඳලා අපි පාඩම් කරපු දේවල් හිතට ධාරණය වෙන්නේ අපි නිදාගන්නා අතරේ බව ඔබ අසා ඇති. මේ නිසා විශේෂයෙන්ම එක දිගට හෝරා 6ක් වත් නිදාගැනීම වැදගත්. වගේම විවිධ පුද්ගලයන්ට නින්ද අවශ්‍ය වන්නේ විවිධ ප්‍රමාණයටයි. සමහර අය ටිකක් රාත්‍රී වෙනකම් අවදියෙන් ඉඳලා දවල් වෙනකම් නිදා ගන්නවා. සමහර අය ටිකක් වේලාසනින් නිදාගෙන අලුයම ඇහැරෙනවා. වගේම ඔබේ කාමර සගයාට වඩා හෝරා දෙක තුනක් වැඩිපුර ඔබට නින්ද අවශ්‍ය වනවා වෙන්න පුළුවන්. නිසා සංසන්දනය කිරීමෙන් හිත කරදර කරගන්නේ නැතුව, ඔබට අවන්කවම ඔබට අවශ්‍යයි සහ ප්‍රමාණවත් කියල හිතෙන තරම් නිදාගන්න.
වගේම, ප්‍රමාණවත් නින්දක් නොලැබුවොත් ඔබේ තාර්කික හැකියාවන් අඩු වේවි. නිසා විශේෂයෙන්ම විභාගයට කලින් දවසේ රාත්‍රී, ඉතා සැපපහසු නින්දක් ලබන්න අමතක කරන්න එපා.



5. හොඳට කන්න
පින්තූරය: http://www.picgifs.com/clip-art/eating/ වෙතින්
ගොඩක් කෑවම නිදිමත වෙනවා වැඩියි. නමුත් පාඩම් කරන ඔබට ටිකක් වැඩිපුර ශක්තිය අවශ්‍ය වනවා. පුද්ගලිකව මම අත්දැකපු දෙයක් තමයි, පාඩම් කරද්දී වැඩිපුර බඩගිනි වන බව. ඉතින් එහෙම බඩගිනි උණොත් මොනව හරි කන්න. සමහර අයට නම් පාඩම් කරද්දී මොනවහරි හපන්න ඕනේ. සමහර අය එහෙම හප හප ඉන්න කැමති නැහැ. ඒක ඉතින් තම තමන්ගේ කැමැත්ත නේ.


6. අනිත් අය පාඩම් කරනවා දැකල බය වෙන්න එපා
 
පින්තූරය: https://novelexemplar.wordpress.com/tag/relief/ වෙතින්

විශේෂයෙන්ම ඔබ පාඩම් කරන්නේ පුස්තකාලයක නම්, මේ තත්වය ඇති වීමේ ඉඩකඩ වැඩියි. එහෙම තැනක පාඩම් කරනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඔබට තරඟයක් ඇත්තේ ඔබ සමග පමණයි කියා. අනිත් අය පාඩම් කරනවා දැකල බය උණා කියල අපට හිමිවන දෙයක් නැහැ, අහිමිවන දේවල් මිසක්. අපි එක එක්කෙනා පාඩම් කරන ආකාරය විවිදයි. එක එක්කෙනා ආස කරන විෂය කොටස් විවිදයි. එක එක්කෙනා ගේ හැකියාවන් විවිදයි. ඔබ විසින් ඔබව තේරුම් අරගෙන, ඔබට ගතහැකි ඉහළම ප්‍රතිඵලය කරා යාමට උත්සාහ කිරීමයි කල යුතු. බොහෝ විට ඉහළම ප්‍රතිඵලය ඔබව මවිත කරාවි


7. අන්තිම මොහොතේ වෙන අයගේ කෙටි සටහන් බලන්න යන්න එපා
ගොඩක් වෙලාවට අපේ ළඟ අදාළ සටහන් නැත්නම්, පිළිවෙළට සටහන් ලියන කෙනෙකුගේ සටහන් ඡායා පිටපත් අරගෙන පාඩම් කරනවා. මෙහි කිසිම වරදක් නැහැ. වගේම තමන්ට විසඳන්න බැරි ගැටලු වෙන කෙනෙකු විසඳූ පසු, අදාළ විසඳුම් හොයාගෙන අධ්‍යයනය කිරීමත් වරදක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එකම ගැටලුවක් උණත් එක එක අය විසඳන්නේ එක එක විදියට. නිසා හෙට විභාගය තියාගෙන අද රාත්‍රී 10 පමණ වෙන අයෙකුගේ සටහන් බලනවා නම් ඔබට ව්යාකූල බවක් දැනීමේ යම් ඉඩක් පවතිනවා. නිසා ඔබ අන්තිම මොහොතේ එවැනි සටහන් කියවනවා නම්, ඔබව ආතතියට පත් කරන්නට හෝ බය කරන්නට සටහන් වලට ඉඩ දෙන්න එපා. පුද්ගලිකව මම නම් කරන්නේ අන්තිම මොහොතේ හිතේ සාමය පවත්වා ගැනීම හැම දේටම වඩා වැදගත් නිසා අනිත් අය විසින් සකස් කල සටහන් අවසන් මොහොතේ නොබල හිඳීම තමයි.


8. ආතතිය පාලනය කරගන්න
පින්තූරය: http://kamalkapoor.com/wallpapers/wallpaper.asp?id=2289&size=3 වෙතින්
විභාගය නිසා ආතතියට පත් වන එක පොඩි දුර්වලතාවයක්. ඇත්තටම පාඩම් කරලා ලබාගත් දැනුමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල සියල්ල කැපිල යනව අනවශ්‍ය විදියට ආතතියට පත් වුණාම. එක සැරයක් මගේ කාමර සගයෙක්, විභාගයක් දවසක උදේ මම සඳලු තලයට ගිය අතරේ දොර වැහුවා. අල්ලපු කාමරේ කෙනෙකුට කතා කරලා දොර ඇරගෙන බලනකොට, එයාට මම එළියේ හිටපු එක දැකලත්, පුරුද්දට දොර වැහුණු එක වලක්වගන්න බැරි උණාලු. කොහොමහරි දැඩි ආතතිය නිසා විභාගය අතරෙත් ඔය වගේ නිරපරාදේ නොදැනුවත්වම නොසැලකිලිමත් වැරදි සිදු වෙනවා.
ඔබ ආතතියට ලක් වෙලාද ඉන්නේ කියා ඔබට තේරුම් ගත හැකියි. මම නම් ආතතියට පත් උණාම, වෝල් පේපර් එකට ලස්සන බුදුපිළිමයක් දාගෙන, දිහා බලමින් පාඩම් කරනවා. නැත්නම්, "relaxing piano music" වගේ යමක් ගූගල් එකෙන් සොයාගෙන සවන් දෙමින් පාඩම් කරනවා. පොඩ්ඩක් නිදාගන්නවා, නානවා. ඔය ඔක්කොම අතරේ අනිත් අය පාඩම් කරන ඒවා දිහා නම් කොහෙත්ම බලන්න යන්නේ නැතුව ඉන්නවා. ඔබට ආතතිය ගෙනෙන අවස්ථා හඳුනා ගෙන ඒවායින් ඈත් වෙලා ඉඳීම වැදගත්. උදාහරණයක් විදියට, මගේ ළඟ ඉඳන් පාඩම් කරන කෙනා ආතතියට පත් වෙලා හදිස්සියෙන් හදිස්සියෙන් පිටු පෙරළන හඬ ඇසෙන විට, මටත් ආතති ගතියක් දැනෙනවා. එතකොට මම කරන්නේ ඉයර් ෆෝන් දමාගෙන සින්දුවක් ඇසීම හෝ, වෙනත් තැනකට ගොසින් පාඩම් කිරීම



9. ප්‍රශ්න පත්‍රය අතට ගත්ත ගමන්
පින්තූරය: http://www.fotosearch.com/illustration/exam.html වෙතින්
ප්‍රශ්න පත්‍රය අතට ගත්ත ගමන්, උපදෙස් පත්‍රිකාව කියවන එක යහපත්. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න තියනවා නම්, පහසුම කොටසට මුලින්ම උත්තර ලියල දාන්න. ප්‍රශ්න තෝරා ගැනීමක් කල යුතුයි නම්, ප්‍රශ්න කියවා තෝරා ගැනීමට ටිකක් වැඩිපුර කාලයක් ගත කළාට කමක් නැහැ, මොකද ප්‍රශ්නයක් බාගෙට ලියන් යද්දී අමාරුයි කියල හිතිලා වෙනත් ප්‍රශ්නයක් කරන්න හිතුණොත්, පිළිතුරු ලියන්නට ඉතුරුව ඇති වටිනා කාලය අඩු වෙනවා.ප්‍රශ්න තෝරා ගත යුතු අවස්ථා වල මම කරන්නේ, මුලින්ම ප්‍රශ්න කීයකට පිළිතුරු ලිවිය යුතුදැයි හරියටම සැක හැර දැනගන්නවා. පසුව ප්‍රශ්න පත්‍රය දිහා උඩින් උඩින් බලන් යනවා. මම වඩාත් ආස කරන කොටසක් අඩංගු ප්‍රශ්නයක් දැක්කොත්, සම්පූර්ණ ප්‍රශ්නය කියවා බලනවා මට ප්‍රශ්නෙට පිළිතුරු ලිවිය හැකිද කියා. ප්‍රශ්නෙට, අදාළ කාලය තුළ පිළිතුරු ලියනවා. ඊට පස්සේ ආයෙම පිටු හරවලා උඩින් උඩින් බලනවා මම ආස කොටසක් තියද කියල, ඔහොම ඔහොම කරගෙන ගිහින් අන්තිමටම අකමැති විෂය කොටස් අඩංගු ප්‍රශ්න ඉතුරු වෙනවා නේ.. එතකොට ප්‍රශ්න සංසන්දනය කරලා, අඩුවෙන් අමාරු කොටස තෝරාගෙන පිළිතුරු ලියනවා. මුළු ප්‍රශ්න පත්‍රයම කියවා පිළිතුරු ලියන ප්‍රශ්නය තෝරා ගන්නවාට වඩා, කාලය ඉතිරි වීමක් සහ පොඩි විනෝදයක් මේ තුළින් ලැබෙන බව මම අත්දැකලා තියනවා. නමුත් ඉතින් ඒකත් සුපුරුදු පරිදි, ඔබට අනන්‍ය ක්‍රමය ඔබ තෝරා ගත යුතුයි.


10. උත්තර ලියන අතරේ කලබල වෙන්න එපා

පින්තූරය: http://firearmsafetycanada.com/?page_id=12 වෙතින්
වෙලාව මදි කියල හිතුනොත් ලියන වේගය වැඩි කරන්න, නමුත් ආතතියට පත් වෙන්න හෝ, කල්පනා කල යුතු ප්‍රශ්න වලට කල්පනා නොකර කලබලයෙන් කුමක් හෝ ලියා දැමීම සිදු කරන්න එපා.


 11. මහන්සි වෙලා ලියපු පිළිතුර වැරදි බව තේරුනොත්
පින්තූරය: http://www.uniten.edu.my/newhome/content_list.asp?contentid=3946 වෙතින්
ඉක්මනින් වරද නිවැරදි කල හැකිදැයි බලන්න. නොහැකි නම්, අනිත් ප්‍රශ්න වලට පිළිතුරු ලියලා අවසානයේ නිවැරදි කිරීම් කරන්න. නැත්නම් මුළු විභාග වෙලාවම වැරදුනු ප්‍රශ්නය වෙනුවෙන් වැය වෙනකම් අපිට දැනෙන්නේ නැහැ.


 12. විභාගය ඉවර වූ පසු
පින්තූරය: http://eportfolio.lagcc.cuny.edu/gallery/old_system_eportfolios/amy_monte/ELE203.html වෙතින්
එදා
තිබුණු විෂයට අදාළ පොත් ටික මේසෙන් ඉවත් කරලා, ඇති තරම් නිදාගන්න. නිදාගෙන අවදි වෙලා මිසක් ඊළඟ විෂයට අදාළ පොත් අතට ගන්න එපා.



ඉතින් මේ තමයි පුද්ගලිකව මම අත්දැකපු දේවල්. මගේ අත්දැකීම් බෙදා ගන්නට මෙය ලිවුවත්, මම අද්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වත්, මනෝ විද්‍යාඥයෙක් වත් නොවෙයි. ඉතින් මේ බ්ලොගය කියවන ගුරුවරුන්ට, ගුරුතුමියන්ට සහ අදාළ ක්ෂේත්‍ර වල ප්‍රවීණයින්ට මට වඩා මේ ගැන කියන්නට දේවල් ඇති. ඉතින් මේ ලිපියේ අඩු තැන් සම්පූර්ණ කරන්න, වැරදි තැන් නිවැරදි කරන්න, ඔබේ දැනුම බෙදා ගන්න, ඔබේ අදහස් පහළ කොමෙන්ට් කරන්න.