December 11, 2017

බත් උයපු හැටි



මානවිකා උසස් අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් රාජධානියට ඇවිත් දැන් මාසයකට වඩා පොඩ්ඩක් වැඩි. ඉතින් මම පොඩි කාලෙ ඉඳන්ම ටිකක් කෑම තෝරපු එක්කෙනෙක්. ජපානේ හිටපු කාලෙදි, ලංකාවේ එළවලු වල අගේ දැනුණු නිසා, දැන් නම් ගෙදර ගියාම ඉස්සර නොකාපු ඇතැම් එළවලු කරි, මාළු ජාති එහෙම ඕන දෙයක් කන්න පුළුවන් වෙලා තියනව හැබැයි. ඒත් අදටත් මට ටිකක් සැරට, මිරිසට තමයි කන්න ඕන.

ජපානෙදි, කුළුබඩු වර්ග හා හාල් සොයාගෙන යන්න ඕන ශ්‍රී ලාංකික කඩ හෝ හලාල් ෂොප්ස් වලට. හලාල් ෂොප්ස් කරන්නෙත් ගොඩක් වෙලාවට පකිස්ථානුවන් විසින්. මම මේ හලාල් ෂොප්ස් වලට යන්නේ නොගිහින් බැරි උනොත් විතරයි මොකද ප්‍රශ්න වලට පිළිතුරු දීලා ඉවරයක් නෑ. "කොහෙන්ද ආවෙ, මොනවද කරන්නෙ, බැඳලද, පවුලෙ අනිත් අය ලංකාවේද, මේ අධ්‍යාපන සුදුසුකම් වලට ලංකාවෙ පඩි කීයක් විතර හම්බෙනවද" වගේ දාහක් ප්‍රශ්න වලට මම බොහෝ වෙලාවට උත්තර දෙන්නේ අකමැත්තෙන් වගේම, කියන්නෙත් බාගයක් ඇත්ත, බාගයක් බොරු. ඒ වගේ වෙලාවක, තනියම ජීවත් වෙන තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන නෙ ඉතින්?

පස්සෙ මම ටිකක් දුරින් තියන, වයසක මනුස්සයෙක් ඉන්න හලාල් ෂොප් එකක් හොයා ගත්ත. එයත් ඒ ප්‍රශ්න ටිකම අහනව, නමුත් ඔහු වයසින් වැඩි සීය කෙනෙක් නිසා ඔහුට එසැණින් මගේ පිළිතුරු අමතක වෙනව. ඊටත් පස්සෙ මට ශ්‍රී ලාංකික යුවලක් විසින් කරගෙන යන වෙබ්සයිට් එකක් හම්බුණා. අපට ඕන කරන බඩු ටික ෂොපින් බාස්කට් එකෙන් මිලදී ගත්තම, මුළු බිල්පත යෙන් 10,000 ට වැඩියි නම්, ඔවුන් නොමිලේ අපේ ඇණවුම නිවසටම ලබා දෙනව. බඩු ටික නිවසට ආ විට ගෙන එන්නාට මුදල් ගෙවිය යුතුයි. ජපානයේ ඩිලිවරි නිලධාරීන් හරිම සුහදයි. ඔවුන් කාසි ගොඩක් අරගෙනත් එනවා හදිස්සියෙන් වත් අපේ ළඟ මාරු සල්ලි නැති උනොත් ඉතුරු සල්ලි ගෙවන්න. ඉතින් මම මේ වෙබ්සයිට් එකෙන් මට අවශ්‍ය සියළු ශ්‍රී ලාංකික ආහාර ගෙන්වාගෙන, හලාල් ෂොප් ගමන නවතා දැම්ම. 


*****

ඔය ඔක්කොම එක්ක, එක්සත් රාජධානියට ආපු මට, සුපර් මාකට් ගියාම පුදුමය ඉහ වහා ගියා. පරිප්පු, කුළු බඩු, කොටින්ම (ශ්‍රී ලාංකික බ්‍රෑන්ඩ් එකේ) පිටිකළ පොල් කිරිත් සුපර් මාකට් එකේ තියනව. මිල ගණනුත්, ජපානේ එක්ක බැලුවම ඉතා අඩුයි. ඉතින් මම හරිම සතුටින් හිටියා, නමුත් පොඩ්ඩක් විතර අප්සට් ගියේ හාල් තමයි. මොකද සුපර් මාකට් එකේ වැඩිපුර තියෙන්නේ බාස්මතී. මම ඉස්සර ඉඳන් ම බාස්මතී වලට අකමැතියි. ඊට අමතරව තිබුණු තායි ජස්මින්, ලෝන්ග් ග්‍රේන් වගේ නොයෙක් හාල් වර්ග ගෙනත් බැලුවත්, අපේ කරි එක්ක (කරි, කරි කිවුවට ඉතින් මම බොහෝ විට උයන්නේ පරිප්පු) වැඩිය ගැලපෙන්නේ නැහැ. ජස්මින් හාල් ඇලෙනව වැඩියි, ලෝන්ග් ග්‍රේන් හයිය වැඩියි.

ඔහොම ඉන්න අතරේ, ශ්‍රී ලාංකික කෑම ජාති මිලදී ගන්නට පුළුවන් කඩ වීදියක් ගැන ඔත්තුවක් ලැබුණ එහි ජීවත් වෙන ශ්‍රී ලාංකික සිසුවියක් ගෙන්. මේ දකුණු ආසියානු කඩ වීදියේ ගොඩක් හුරු පුරුදු කෑම බීම ජාති තෝරාගන්නට තියනවා වගේම, මිලත් ටිකක් පහසුයි ලු. ඉතින් තවත් අලුතින් ආපු ශ්‍රී ලාංකික මිතුරියකුත් මට මුණ ගැහිලා කිවුව, එයාටත් පහසු මිලට හාල් ටිකක් ගන්න ඕන කියල. ඉතින් අපි දෙන්න සෙට් වෙලා දවසක් ගියා හාල් ගෙන්න. ගිහින් බැලුවම ඇත්තටම තියනවා නොයෙකුත් හාල් ජාති. වව්නියාවෙන් යවපු මුතු සම්බා එකක් තිබිලා, මම ඔන්න හරිම සතුටින් මේක අරගෙන ආවා, කරි එක්ක කාලෙකින් රසට උයලා කන්න හිතාගෙන.

මගෙ රයිස් කුකර් එක තිබුණේ අපේ ෆ්ලැට් එකේ කොමන් කිචන් එකේ. කාමර 12ක සිසු පිරිසට, පොදුවේ භාවිතා කරන්නට එක කුස්සියක් තමයි ඉතින් තියෙන්නෙ. ඉතින් බත් එක ඉදෙන්න රයිස් කුකර් එකේ දාලා, මම ගියා ලොන්ඩ්‍රි රූම් එකට, හේදෙන්න දාපු රෙදි ටික අරන් එන්න.

රයිස් කුකර් එකක් මෙහි දැක්වේ - පින්තූරය Google Images වෙතින් 


රෙදි ටික අරගෙන එනකොට, මගේ ෆ්ලැට් මේට් සුද්දො ටික කට්ටිය පිටින්ම කුස්සියේ දොර ළඟ හිටගෙන ඉන්නව. මටත් නිකම් එන පොට හොඳ නැති ගතියක් තේරුණා.

"මානවී, ඔයාගේ බත් එක කර වෙලාද? ටිකක් සැර සුවඳක් එනවා නේ?"

"ආ.. මේ.. මේ.. කර වෙලා නම් නෑ, ඒ හැටි"

"ආ එහෙමද? අපි හිතුවේ පල්ලෙහා තට්ටුවේ කුස්සියේ වත් මොනවහරි කර වෙනවැති කියල. ටිකක් සැර සුවඳක් ආව, ඒකයි"

"ආ.. ම්ම්.. මට සමාවෙන්න"

"ආ.. නෑ නෑ ගණන් ගන්නෙපා"

කොහොම හරි මම පෙරුම් පුරාගෙන ගෙනාපු සම්බා හාල් එකේ සුවඳට, කට්ටිය ටිකක් බය වෙලා. මම ඉතින් දැන් රයිස් කුකර් එක කාමරේ තියාගන්නවා ඒ හාල් උයන දවසට. හාල් සුවඳ අපට ගානක් නැති උනාට, ඔවුන්ට ඒක අපහසු ඇති සමහර විට.

මේ සුවඳ සැර  අඩු කරගන්න හෝ වෙනස් කරගන්න විදියක් තියනවද? රම්පෙ දාන්න කියල නම් කියන්න එපා, රම්පෙ හොයාගන්න විදියක් නෑ.




23 comments:

  1. ඔබට කියන්න තියෙන්නෙ ඔය රයිස් කුකර් එක රූම් එකේ තියාගෙනනම් උයන්න එපා. ඒ ගඳ ඔබේ ඇඳුමට පවා එනව. ගොඩක් සුදු මිනිස්සු අපේ ආසියාතික ඉවුම් පිහුම් සුවඳට කැමති නැහැ. ඒකත් මම මෙහේ අත්දැකීමෙන් දන්නව සහ මගේ සහෝදරිය ජීවත් වෙන්නෙත් ඇරිසෝනා ප්‍රාන්තයේ. හොඳම දෙය තමයි පාර්ට් ටයිම් රස්සාවක් කරල ෆයිනෑන්ෂල් ඕකේ උනහම සිංගල් ෆ්ලැට් එකකට යන එක.

    අනික හලාල් කියල පක්කොන් ගෙ බුචටි ෂොප් වලට මමත් කාලයක් ගියා. උන්ගෙ තමයි ජරාම මස් තියෙන්නෙ. අනික උං ඇහුවොත් උබ කොහෙන්ද ආවේ කියල කෙලින්ම කියන්න “ද සෙම් ප්ලේස් යූ කේම් ෆ්‍රොම්“ කියල. මොකද ඔබ බැඳිල නැහැ ඔබේ අයිඩෙන්ටිටි එක තවත් කෙනෙකුට කියන්න අන්ලෙස් පොලීසිය. ස්තුතියි. 👊🏽

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ටික්කා මේ පැත්තේ ආවාටත්, කොමෙන්ටුවටත්.
      අර ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන්නට දුන්නු උපදෙසට නම් බත් කටක් කවන්නට හිතුණ. අනිත් දවසේ ආත්ම විශ්වාසයෙන් යුතුව කතාව මගහරින්නම් කෝ.

      මස් නම් හලාල් ෂොප් වල විශ්වාස කරන්න බෑ තමයි. මම ජපානෙදි ගෙදර ෂෙයා කලේ ඉන්දුනීසියන් ගෑනු ළමෙක් එක්ක. එයා හලාල් මස් තමයි කන්නෙ. ඕස්ට්‍රේලියාවෙන් වගේ ගෙනාපු මස් ෆ්‍රීස් කරල තියෙන්නෙ. මගේ යාළුවා එක පාරකට මස් ගොඩක් ගෙනත් ෆ්‍රිජ් එකේ දාන් කනවා. ඒ මැරිච්ච සත්තු, ජීවත් වෙච්ච කාලෙට වඩා වැඩි කාලයක් නැවේ, ෂොප් එකේ, ගෙදර, ෆ්‍රිජ් ඇතුලේ ගත කරලා ඇති.

      ඇත්තටම කාමරේ හැමදාම බත් උයන්න අදහසක් නෑ. සුවඳ අඩු කරන්නට එක්ස්පරිමන්ට් කිහිපයක් කරලා බලන්නට තමයි රයිස් කුකර් එක කාමරේට ගෙනාවේ. නමුත් ඇඳුම් ගැන මතක් කලාට ස්තුතියි, මට ඒක කලින් හිතුණේ නැහැ.

      Delete
  2. Replies
    1. +++++

      බත් උයන හැටි ඇහුවම තරු දාන ලෝකයක් මේක.

      :D

      Delete
  3. එමා චන් දැන් එන්ගලන්තෙද
    ඔමෙදෙතෝ.
    ඔයා කිව්ව ඒ ජපානෙ ශ්‍රී ලන්කන් වෙබ් සයිට් එකමද දන්නෙ නෑ, හැබැයි ඒ යක්කු සම්බ හාල් ඕඩර් කලාම බාස්මතී දානව. රතු පරිප්පු ඕඩර් කලාම කහ පරිප්පු.
    කෝල් කරල ඇයි කියල ඇහුවම කියනව ඒව තිබුනෙ නෑ ඒ නිසා මේව එව්ව කියල.
    අම්මට සිරි ලන්කාවෙ කෂ්ටියනෙ ඉතින් ආයෙ ගෙන්නුවෙ නෑ ඒ කඩෙන්

    - ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. හිසෂිබුරි ජපන් ඇනෝ. අරිගතෝ නේ.

      නොදන්න භාෂාවක් කතා කරන, කෝච්චි බස් වල නිහඬව බුම්මගෙන නිදාගන්න මිනිස්සුයි, හීටිං නැති ගෙවලුයි එක්ක මම ජපානේ ඉන්නකොට කවදාවත් හිතුවෙ නෑ මට ජපානේ මිස් වේවි කියල. ඒත් දැන්, පව්ලේ අය තරම් ම ජපානෙත්, එහි හිටපු යාළුවොත් මිස් වෙනව. ජපානේ ඒ ජීවිතේ, යාළුවො, ආයේ කවදා මුණ ගැහේවිද නොදන්නා නිසා, මතක් වෙන හැම විටම පුදුම විදියට දුකයි. එහෙ ඉන්නකම් ඒ ජීවිතේ විඳින්න ඇනෝ.

      අර මම කියපු වෙබ්සයිට් එකේ නම් එහෙම අව්ලක් වෙලා නෑ හැබැයි මම බඩු අරන් තියෙන්නේ ඉතින් කිහිප වතාවයි නේ. ඒ හැම වෙලාවේම සතුටුදායක සේවයක් ලැබුණ. එයාලගෙ වෙබ්සයිට් එකේ බඩු out of stock උනාම, ඒවා වෙබ්සයිට් එකෙන් ඉවත් වෙනවා, එක පාරක් මම කරවල වගයක් ගෙන්න ගන්න ගිහින්, පැකට් හතරකට වඩා තෝරන්න බැරි විදියට වෙබ්සයිට් එකේ දාල තිබුණෙ, සමහර විට එයාල ළඟ ඒ වෙද්දි තියෙන්නේ එච්චරක් විතරක් නිසා වෙන්න ඇති. මට මෙතන වෙබ්සයිට් ලින්ක් එක අලවන්න හිතයි, ඒත් ඇඩ් එකක් වගේ නෙ එතකොට! ඇනෝ ට ෂොප් එක ගැන දැනගන්න ඕන නම් ඊ මේල් එකක් දාන්න ekmanavi@gmail.com එකට.

      Delete
    2. ලඟකදී ජාපනයේ සති කීපයක් ගතකලා. හැම දේම නුහුරු වුනත් අමුතුම හුරු බවක් දැනුනා. රටේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරය වෙන කිසිම රටක නැතිතරම්. දැකපු හොඳම මිනිස්සු ඉන්න හොඳම රට.

      Delete
    3. ජපානේ එදිනෙදා ජීවිතේ හරි පහසුයි, සරලයි. ඒ සරල බව නිසා කෙනෙකුට හුරු පුරුදු බවක් දැනෙනව.

      මම වරක් යූ ටියුබ් එකේ බැලුවා, ලෝකේ රටවල් ගොඩක සංචාරය කරන පුද්ගලයෙක් විසින් ජපානේදී කරපු වීඩියෝ එකක්.

      https://www.youtube.com/watch?v=P3Jk4UDIJoQ

      මේකේ අන්තිමට ඔහු කියනවා,
      "You can divide countries into three catogeries; the developed countries, the under-developed countries, and Japan" කියල.

      Delete
  4. එංගල්නේ ඉන්න අපේ අරූ අංකල් අල්ලගත්තනං ඕක උයන්න හොද ක්‍රමයක් කියල දේවි..

    අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රර්ථනාවට.

      මම මේක ගූගල් කරලා බැලුව. එක ෆෝරම් එකක මේ ගැන සාකච්ඡා වෙලා තිබුණ. ඒ මනුස්සය කියන විදියට, මේ සැර සුවඳ එන්නේ ශ්‍රී ලංකාවෙන් යවන සම්බා හාල් වලින්. අනිත් රටවලින් එන හාල් වල මේ ප්‍රශ්නය නැති නිසාත්, සම්බා හාල් ලංකාවේ උයද්දී එතරම් සැර සුවඳක් නේන නිසාත්, ඔවුන්ගේ අදහස වුණේ, ලංකාවෙන් යවන සහල් පැකට් කරන විදියේ දෝෂයක් ඇති කියා යි.

      Delete
  5. මම මුල්ම දවසේ තනියෙන් බත් උයන්න ගිහින් කැඳ බිව්වා මතකයි, පස්සේ අම්මගෙන් වතුර තියන ඇඟිලි සාත්තරේ ඉගෙන ගත්තා.

    ReplyDelete
    Replies
    1. මම දැන් වතුර තියන්නේ කෝප්පේ හැටියට.

      රයිස් කුකර් එකත් සමග හම්බෙන කෝප්පෙන් හාල් දාලා, ඒ කෝප්ප ගණන අනුව බාජනේ ලකුණු කරපු මට්ටමට වතුර දැම්මාම ගොඩක් වෙලාවට හරි. හැබැයි මේක සමහර හාල් වලට හරි යන්නේ නැහැ. ඒ නිසා ට්‍රයල් ඇන්ඩ් එරර් තමයි. ළඟදී යාලුවෙක් එනකොට වැඩි හොඳට අලුත් හාල් එකක් ගෙනත් උයල, එයාට කන්න දුන්නේ බෙරි වූ බත්. :D

      Delete
  6. එංගලන්තය ගැන නොදන්නා නිසා හරිහමන් උපදේශයක් දීමට නොහැකියි. ඒත් මම ඉන්න රටේ නම් කොරියන් කඩවල රම්පෙ තියෙනව. කෝකටත් pandan leaves තියෙන තැනක් ඔන්ලයින් සර්ච් කරලා බලන්න.

    ඔය බත් ඉවීමේ ප්‍රශ්නය මම හිතන්නේ ශ්‍රීලාංකිකයින් වැඩිපුර නැති රටවලට එන හැමෝටම මතුවෙන ප්‍රශ්නයක්. මටත් පළවෙනියටම හමුවෙච්ච හාල් වලින් බතක් උයාගන්න බැරිම උනා. හැමදාම බත බෙරිවුනා.. අන්තිමේ රයිස් කුකර් එකක් ගන්න සිද්දවුනා. ආපු ගමන් රයිස් කුකර් එකකට මුදල් වියදම් කරන එකත් ටිකක් විතර ප්‍රශ්නයක් වුනා ඒත් විකල්පයක් නැති නිසා රයිස් කුකර් එකක් ගත්ත. සාමාන්‍ය කඩේ ඩොලර් 20 ට ගන්න තියෙන රයිස් කුකර් එක ඉන්දියන් කඩේකින් මට වික්කේ ඩොලර් 55 කට. අන්න එහෙමයි උන් මිනිස්සුන්ව ගොනාට අන්දවන්නේ. ඒත් රයිස් කුකර් එකට පින් සිද්ද්දවෙන්න ජස්මින් උනත් යාන්තමට කන්න පුළුවන් ගානට උයාගන්න පුළුවන් උනා. පසුව දුර තියන ඉන්දියන් කඩයකින් "රෝයල් බාස්මතී " හාල් ගෙන්න පුරුදු වුනා. දැන් නම් කන්නේ ලංකාවේ රතු හාල්. ඒ හාල් එක තියෙන්නේ ඉන්දියන් කඩ දෙකක සහ ලංකාවේ කඩයක විතරයි. හාල්රා ගෙන්න යන ගමන වෙනම යන්න වෙනවා ඒ නිසා .රාත්තල් 5 හාල් කෝට්ටේ ඩොලර් 14 ක් වෙනවා. ඒත් බාස්මතී කාල මැරෙනවට වඩා රතු හාල් කන එක හොඳයි. පලවෙනි රයිස් කුකර් එක අවුරුදු 5කින් විතර අවසන් ගමන් ගියා. ඒත් ඒ රයිස් කුකර් එක එක්ක සමකාලීන මතක් බොහොමයි. ඒක ජීවිතේ බොහොම අසීරු කාල වකවානුවක්. ඒ නිසා කැඩුනා උනත් ඒ රයිස් කුකර් එක කුණු කුඩේට වීසි කරන එක ඒකට කරන අගෞරවයක් කියල හිතෙන නිසා තාමත් ඒ පුංචි රයිස් කුකර් එක මා ගාව සුරැකිව තියෙනවා.

    පිටරටක ජීවිතේ ස්ථාවර කරගැනීම මුල් කාලයේ හරිම අමාරුයි. විශේෂයෙන් උදව්වට කව්රුවත් නැතිව. කෙනෙක් උදව්වට එන්නෙත් අපෙන් යමක් ගන්න පුලුවනිනම් පමණයි. අවුරුදු ගානනාවක් අවසානයේ ශ්‍රී ලාංකිකයින් දහස් ගණන් ඇසුරු කරලා තියෙනවා උනත් කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව උදව් කරපු ශ්‍රී ලාංකිකයින් මට හමුවෙලා තියෙන්නේ අතේ ඇඟිලි පහටත් අඩු ප්‍රමාණයක්. මේ පොස්ට් එක කියවල බොහොම දේ මතක් උනා.

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩයියේ,

      බොහොම ස්තුතියි කොමෙන්ටුවට. මුලින්ම සමාව ඉල්ලනව පිළිතුරු පමා වූ එකට. ඔබේ දිගු කොමෙන්ටුවට ඕනවට එපාවට හදිසියේ පිළිතුරක් ලියන එක හරි නෑ කියල හිතුණා. ඉතින් නිවාඩු පාඩුවේ පිළිතුරු ලියන්න හිතාගෙන කල් දදා ඉන්නකොට මට ටිකක් අසනීප උනා. දැන් හෙමින් හොඳ අතට හැරෙමින් ඉන්නව.

      රම්පෙ හොයාගන්න උත්සාහ කරන්නම්. එතකම්, හාල් එක උණු වතුරේ ටිකක් පෙඟෙන්න ඇරියම සැර සුවඳ අඩු වෙන බව හොයා ගත්තා. එහෙම කරනවා මේ දවස් වල. ඊට අමතරව ඉතින් හැම වෙලේම බත් නොකා, පාන්, නූඩ්ල්ස් වගේ විවිධත්වයක් හදා ගත්තා. (එක වේලක් වත් බත් නොකෑවොත් හිතට හරි නෑ නේ අපිට)

      ඔය ඉන්දියන් පකිස්තාන් කාරයෝ හරි කපටියි තමයි. ඔබට විතරක් නෙවෙයි ඔවුන් හැමෝටම ඔහොම කරනවා ඇති. මමත් සුපර් මාකට් ගියාම එවෙලෙ ගන්නට රයිස් කුකර් තිබුනෙ නෑ. ඉතින් මම සුපර් මාකට් එකෙන්ම රයිස් කුකර් එකක් ඕඩර් කරල ආව. ඊළඟ දවසෙම ඒක සුපර් මාකට් එකට ලැබිල තිබුණ. එංගලන්තේ හොඳකම තියෙන්නෙ, සුපර් මාකට් ස්ටාෆ් එකත් එක්ක කතා කරල, ඕඩර් කරන්න එහෙම පුළුවන්, ඉංග්‍රීසි කතා කරන නිසා. ජර්මනිය වගේ බත් කන්නෙත් නැති ඉංග්‍රීසි කතා කරන්නෙත් නැති රටකට ගියොත් සමහර විට වැඩි මුදලක් දීල හෝ ඉන්දියන් කාරයෙක් ගෙන් රයිස් කුකර් එකක් ගන්න සිදු වෙන්නට තිබුණ, ඔබට වුණා වගේ.

      මටත් හාල් ගේන්න වෙනම යන්න වේවි. කරි කොච්චර හොඳට හැදුවත් හරි හමන් බතක් නැතුව රස නෑ නේ ඉතින් වෙනම ගිහින් රතු හාල් ගෙන්න වෙන එක ගැන වැඩිය හිතන්න එපා. ජපානෙත් රතු හාල් හා සම්බා හාල් 1kg යෙන් 700 ක්, නමුත් එංගලන්තයේ නම් හාල් (සහ ආහාර ද්‍රව්‍ය, පොදුවේ) ඔයිට වැඩිය මිලෙන් අඩුයි. කාල කාල තඩි වෙලා ඉන්න තමයි තියෙන්නෙ :D

      ඔබ රයිස් කුකර් එක තවම සුරැකිව තබාගැනීම නම් හරිම අපූරුයි. ජීවිතේ අමාරු කාල දිහා ආපහු හැරිලා බලනකොට දැනෙන හැඟීම ගැන මට හිතාගන්න පුළුවන්.

      Delete
  7. ++++++++

    බත් උයන හැටි ඇහුවම තරු දාන ලෝකයක් මේක.

    :D

    ReplyDelete
  8. හෙක්.. කට්ටිය දොර ගාවට වෙලා හිටිය කිවුවහම මම හිතුවෙ රයිස් කුකර් එකට බඩු හරි වෙලා කියල.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. මේ සෙට් එක හරිම නිහඬ කණ්ඩායමක්. (මම ඉන්නේ සයිලන්ට් ෆ්ලැට් එකක, ඉතින් ඉන්නෙත් ඒ වගේම බෝරිං සෙට් එකක්)

      Delete
  9. මිසී,

    නාන කාමරේ එක්සොස් පෑන් එකක් තියෙනවා නේද. මගේ නං කුස්සිය උනේ ඒක තමා කාලෙකටම.
    පොඩි ඉන්ඩක්ෂන් ටොප් ඉන්ඩක්ෂන් ටොප් එකයි යකඩ වොක් එකකුයි ගත්තම වැඩේ ගොඩ. පස්සේ ඕනේ නං ඒක ලාබෙට නන් ඉස්ටික් කරගමුකෝ.
    තෙතමනය තියෙන නිසා මිසී කෝකටත් පරිස්සමින් වැඩේ දෙන්ඩ ඕනේ.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමෙන්ටුවට. ඒකත් මරු අදහස. මම කැමතියි ඒකෙ ටිකක් ඇඩ්වෙන්චරස් ගතියක් තියනව.

      Delete
  10. All sri lankan rice smell bad while it cook. I found only Nipuna brand kiri samba is the only rice from sri lanka which doesnt smell like others. But it hard to find and i buy bulk when it available in aus. Not sure about in uk

    ReplyDelete
    Replies
    1. Ano,

      Thank you for the comment. Will give a try to sort it out, since I just arrived, I don't know much about the options yet.

      Delete
  11. බත් එකේ සුවද අඩු කරන එක හරිම ලේ සියි..... අවශ්ය එයා ෆ්‍රශ්නර් කැටයක් පමනයි
    සාදන ආකාරය
    හාල් හොදන්න
    ඇති පමනට ජලය දමා රයි කුකරය ඔන් කොරන්න
    විනාඩි පහකට පසු හොදින් කුඩු කරගත් එයා ෆ්‍රෙශ්නර් කුඩු එයට එකතු කරන්න
    (ඔබ කැමති සුවදකින් මිලදී ගත හැක )
    දැන් ඉතින් බත් ඉදෙන කොට ඔබ කැමතිම සුවද හමනවා සත්තයි

    ReplyDelete
    Replies
    1. මරන්නද හදන්නෙ?

      :D

      හතුරන් සඳහා බත් ඉවීමේ රෙසිපිය.

      Delete