10.10.2017

කැණිමඬල - 3

නිර්මල කිසිත් නොකියා මුනිවත රැකීම, මගේ සිතේ  වේදනාව  වැඩි  කරවයි. මගෙන්  සමාව  ඉල්ලමින්  පසුතැවිලි  ස්වරයෙන්  හෝ,  අඩුම  තරමේ  ඔහු  ඔවිනිට  ලං  වෙන්නට  හේතු  වුණේ  මගෙන්  සිදු  වූ  අඩුපාඩු  නිසා  බව  කියමින්  තරහෙන්  හෝ,  නිර්මල  කතා  කරන්නේ  නම්,  මට  මීට  වඩා  සැනසීමක්  දැනෙන්නට  ඉඩ  තිබිණි.




ඔවිනි  අප  නිවසට  ලඟා  වන්නට  නියමිතව  තිබුණේ  දිවා  කාලයේ  නිසා,  සඳුදා  නිවාඩුවක්  ගෙන  මම  ගෙදර  නැවතුනෙමි.  සුපුරුදු  නිහැඬියාවෙන්  කල්  ගත  කරන  නිර්මල,  ආන්යා  දිවා  සුරැකුම්  හලට  ඇරලවා  විශ්ව  විද්‍යාලයට  ගියේය.  නිහඬවම  වුණත්,  ඔහු  වෙනදා  ට  වඩා  ආන්යා  ගැනත්,  මා  ගැනත්  සොයා  බලන්නේ,  සමාව  අයැදීමක්  ලෙස  දැයි  නොදනිමි.  සමාව  අයැදීම  හෝ  සමාව  දීම  කෙසේ  වෙතත්,  ඒ  නිසා  මට  ආන්යා  ඉදිරියේ  හොඳින්  හැසිරීම  පහසු  විය.

දොරේ  සීනුව  නාද  වනු  ඇසී,  මම  දොර  විවර  කළෙමි.

දොර විවර කරනවාත් සමගම,  ඔවිනි,  සිහි  විසන්ව, ගෙතුළට  ඇද  වැටිණි. 

මුහුණට  ජලය  ටිකක්  ඉස,  අමාරුවෙන්  වත්තම්  කරගෙන  ගොස්  ඔවිනි  ව  ඇඳෙන්  සතපවා,  ඇගේ  සූට්  කේස්  එක  ගෙතුලින්  තැබූ  මම,  සුප්  එකක්  පිළියෙළ  කලෙමි.

සුප්  එක  ඔවිනි  වෙත  රැගෙන  ගොස්,  තවත්  වතුර  ටිකක්  මුහුණේ  තැවරූ  පසු,  ඔවිනි  දෙනෙත් හැරියාය.


ඇඳේ සැතපී සිටින කාන්තාවක් මෙහි දැක්වේ - පින්තූරය Google Images වෙතින් 


"අනේ අක්කි, මට සමාවෙන්න!" ඔවිනි හඬා වැටිණි.

"දැන්  ඇඬුවට  වත්  සමාව  ඉල්ලුවට  වත්  මුකුත්  වෙනස්  වෙන්නේ  නැහැ.  වතුර  ටිකක්  බොන්න."

මම  ඔවිනි  ට  වතුර  ටිකක්  පෙව්වෙමි.

"සුප්  එකක්  හැදුවා,  ඒකත්  බොමු."

"ඔයාට  පින්  අක්කි.  ඇඟට  හරිම  අමාරුයි,  බෑග්  එකත්  අරන්  කෝච්චියෙ  ඇවිත්  මේ  ටික  පයින්  එනකොට  ටිකක්  මහන්සි  දැනුණ.  කොහොම  හරි  එනව  කියල  හිතාගෙන  නවතින්නෙ  නැතුව  ආව."


සුප් එකක් බොන කාන්තාවක් මෙහි දැක්වේ - පින්තූරය Google Images වෙතින් 

මට  ආන්යා  ලැබෙන්නට  සිටි  ගැබිණි  සමය  සිහි  විය.  එවකට  මගේ  ගමන්  බිමන්  අවම  කරනු  පිණිස,  සති  අන්තයේදී  නිවසට  අවශ්‍ය  සියලු  දේ  රැගෙන  ආවේ  නිර්මල  විසිනි.  මා  රැකියාවක්  කරන්නට  ගත්  මුල්  අවධියේම  ආන්යා  පිළිසිඳි  නිසා,  මා  යා  යුතු  දුම්රියපළට  ඉතා  ලඟින්  සිටි  නිවසකට  අප  මාරු  වුණේ,   එහි  සිට  නිර්මල  ගේ  විශ්ව  විද්‍යාලයට  ඇවිදගෙන  යා  යුතු  දුරත්  නොසලකා හරිමිනි.  ඒ  ශීත  කාලයේ,  නිර්මල  දිනපතා  විශ්ව  විද්‍යාලයට  පයින්ම  බොහෝ  දුර  ඇවිදගෙන  ගියේ,  කිසිදු  මැසිවිල්ලකුදු  නොදොඩා  ය.

ඔවිනි  ට  සුප්  එක  බොන්නට  හැර,  මම  දහවල්  ආහාරය  උයන්නට  පටන්  ගතිමි.  හිස්  වූ  සුප්  බඳුනත්  රැගෙන,  ඔවිනි  කුස්සියට  ආවාය.

"මම  උදව්  කරන්නද  අක්කි?"

"නෑ,  මම  උයන්නම්.  මගේ  කුස්සියේ  වෙන  කෙනෙක්  උයනවට  මම  කැමති  නෑ."

ඔවිනි  නිහඬවම  තුවායක්  රැගෙන  නාන  කාමරය දෙසට  ඇදිණි.

"ඔවිනි,  බාත්රූම්  ලොක්  එක  තද  කරන්න  එපා.  හදිසියේ  ආයෙ  ෆේන්ට්  උනොත්  එහෙම?"

ඔවිනි  නාගෙන  එන  විට,  මම  දිවා  ආහාර  පිළියෙළ  කර  තැබීමි.  මා  මේ  උයා  පිහා  කන්න  බොන්න  දෙන්නේ,  මගේ  සැමියා  මගෙන්  උදුරා  ගත්  ගැහැණියකටයි.  හෙට  කුමක්  සිදු  වේ  දැයි  කිසිත්  නොදන්නා  නමුත්,  අද  මේ  ගැහැණිය  අසරණ  වී  සිටියි. 

දිවා  කෑම  අතරතුර,  ඔවිනි  නිහැඬියාව  බිඳ  දැමුවාය.

"දරුවා  නැති  කරන්න  විදියක්  රෙඩි  කළා  ද  අක්කි?"

"දන්නෙ  නෑ.  නිර්මල  ගෙන්  අහන්න  ඕන."

"මම  පුළුවන්  තරම්  ඉක්මනට  ලංකාවට  යන්න  ඕන.  හෙටම  උනත්  කරන්න  පුළුවන්  නම්  හොඳයි."

"හ්ම්ම්...  මම  නිර්මල  ආවම  අහන්නම්.  එයා  මොනව  හරි  ප්ලෑන්  කරල  ඇති."

"මට  ඔය  සැමන්  කරි  එක  පාස්  කරනවද  අක්කි?"

"ආ  මෙන්න."


සැමන් කරියක් සහිත බඳුනක් මෙහි  දැක්වේ - පින්තූරය Google Images වෙතින් 


"තැන්ක්ස්."

"ඒත්  සැමන්?  සැමන්  කනවද  ඔයා?"

නිර්මල  ගේ  ප්‍රියතම  සැමන්  කරිය,  ඔවිනි  අකමැති  ම  කෑමක්  විය.  ඔවිනි  දිවා  ආහාර  ගන්නට  අපේ  ගෙදරට  පැමිණි  බොහෝ  දිනවල,  මේ  සැමන්  කරිය  නිසා  ගැටුම්  ඇති  වී  තිබේ.  මට  සැමන්  උයන  ලෙස  නිර්මල  කියා  සිටින  විට,  සැමන්  උයන්නට  එපා  යයි  ඔවිනි  කියයි.  අදත්,  නිර්මල  ට  බත්  එකට  බඳින්නට  උදේ  උයන  ලද  සැමන්  කරියෙන්  ඉතුරු  ටික  මට  කන්නට  මා  ලඟින්  තබාගෙන,  ඔවිනි  ට  ඔම්ලට්  එකක්  හදා  දුන්නේ  එනිසා  ය. 

"වෙනද  නම්  කටේ  තියන්නෙ  නෑ  අක්කි.  ඒත්  අද  එක  පාරටම  ආස  හිතුණ."

මගේ  කොඳු  නාරටිය  දිගේ  සිහින්  සීතලක්  ගලා  ගියේය.  ආන්යා  ලැබෙන්නට  සිටි  සමයේ,  මට  සැමන්  කන්නට  නොසන්සිඳෙන  ආශාවක්  ඇති  වී  තිබිණි.  කොටින්ම,  ආන්යා  ලැබෙන්නට  සිටි  සමයේ,  ලංකාවට  පැමිණෙන  ලෙස  නිර්මල  ගේත්,  මගෙත්,  දෙමවුපියන්  දැඩිව  ඉල්ලා  සිටියත්,  හැකිතාක්  කල්  ලංකාවට  නොගිහින්,  මෙහි  ම  රැඳී  සිටියේ,  අලුත්  සැමන්  ලබා  ගැනීමේ  පහසුව  පිණිසයි.  ආන්යා  ඉපදී  සෙමෙන්  වැඩෙන  විට,  අපට  තේරුම්  ගියේ,  ආන්යා  ත්,  නිර්මල  මෙන්ම,  සැමන්  කන්නට  බෙහෙවින්  ප්‍රිය  කරන  බවකි.

ඔවිනි  ගේ  කුස  තුළ  වැඩෙන  දරුවා  ගේ  පියා  නිර්මල  යි.  දරුවාගේ  සොයුරිය  ආන්යා  යි.  ඉතින්  නූපන්  දරුවා  නිසා  ඔවිනි  ට  සැමන්  කන්නට  ආශාවක්  ඇති  වීම  අරුමයක්  නොවේ. 

තසිමේ  ඉතිරි  වී  තිබෙන  අන්තිම  සැමන්  ටික  ඔවිනි  ආසාවෙන්  බෙදා  ගන්නා  දෙස  මම  බලා  සිටියෙමි.

"තව  සැමන්  ටිකක්  ටක්  ගාල  හදල  දෙන්නද  ඔයාට?"

"සැමන්  එක  නම්  හරිම  රසයි.  ඒත්  දැන්  බඩ  පිරිල  අක්කි."

හැම  කෑම  වේලකටම  සැමන්  කරියක්  උයන්නට,  මම  සිතා  ගතිමි.


ගෙදර  එන  ගමන්  සැමන්  ටිකක්  වැඩිපුර  අරන්  එන්න'යි  කියන්නට,  මා  නිර්මල  ට  දුරකථන  ඇමතුමක්  ගත්තේ,  කලකට  පසු  ඔහුගේ  සිතට  සතුටක්ද  ඇති  කරමිනි. 

-මතු සම්බන්ධයි -

10.07.2017

කැණිමඬල - 2


පසුව, ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු කෙරුණු විශ්ව විද්‍යාලයේම 
කථිකාචාර්ය තනතුරක් ලැබුණු පසු ආදරණීය දියණියක ලබාසෙනෙහසින් 
පිරුණු ජීවිතයක් ගෙවන අද දවස දක්වාමනිර්මල මට ආදරණීය සැමියෙකු  විය.



*****

නිවසේ දොර විවර වන හඬක් ඇසී මම දෙනෙත් විවර කලෙමි. කල්පනා කරමින් සිටිද්දී මා නින්දට වැටී තිබේ. තිර රෙදි ඇර දැමුණු ජනෙල් වලින් ගෙතුලට එබුණේ රාත්‍රී අඳුරයි. ඉක්මනින් ඇඳෙන් නැගිටගත් මා, විදුලි පහන් දල්වා, තිර රෙදි වසා දැමුවේ, හිතට දැනෙන මූසල අඳුර පලවා හරින අටියෙනි. අතරේ, නිර්මල කාමරයට ආවේය.

"තේ හදන්නම්. ඉක්මනට උයන්න ඕන, මට නින්ද ගියා"

නිර්මල තවමත් නිහඬව කල්පනාබරිතව සිටී. කොහෙන් කොහොම කතාව පටන් ගන්න දැයි මට තවම සිතා ගත නොහැකි ය. තේ සාදන අතර තුරදී, කතාව කෙලෙස අරඹන්න දැයි මම කල්පනා කලෙමි. නිර්මල ගේ නිහැඬියාව වේදනාවකි. ඔවිනි පවසන්නේ බොරුවකි' යි ඔහු කෑගසා පවසයි නම්?

"තේ එකක් බීල ඉමු."

"තෑන්ක්ස්."

"නිර්මල, මම දවල් කෑ ගැහුවට සොරි."

"..."

ඔහු නැවතත් නිහඬ වී සිටියි.

"නිර්මල, ඔයා කතා නොකර ඉන්නේ ඇයි කියන්න? ඔවිනි ප්‍රෙග්නන්ට් ලු."

නිර්මල තිගැස්සී ගියේය. මදෙස තත්පර කිහිපයක් වික්ෂිප්තව බලා සිටි ඔහු, දෙතොල් තදින් පියාගෙන ඉදිරිය බලා ගත්තේය.

මීට වසරකට පමණ පෙර, මල්ලී ගේ විවාහයෙන් පසු නිවසේ තනිකම දරනු නොහැකිව, අපට ඇවිත් යන්නැයි ඇවිටිලි කරමින් සිටි නිර්මල ගේ පියා, හදිසියේම හෘදයාබාධයකට ලක් වූ පුවත, නිර්මල කියන්නට බාර වුණේ මටයි. පුවත අසා දුක ටත්, අසරණකම ටත්, බිය ටත්, පසුතැවීම ටත් ලක් වූ නිර්මල, එදා හැසිරුණේත්, මේ අයුරිනි. නිර්මල නොකියා කියන්නේ, ඔහු යළිත් එදා මෙන් දුක ටත්, අසරණකම ටත්, බිය ටත්, පසුතැවීම ටත් ලක් වී සිටින බවද? ඔහුගේ හිතේ තිබෙන්නේ කුමක් වුවත්, එය මා සමග බෙදා ගන්නට ඔහුට බැරි ඇයි?

"ඔවිනිට දරුව නැති කරගන්න මෙහේ එන්න ඕනි ලු. එයාගේ වියදම් ඔයාට දරන්න පුළුවන් ඇහුවා."

නිර්මල, අතේ තිබුණු තේ කෝප්පයේ මිට තදින් මිරිකා අල්ලාගෙන, නිහඬවම සිටී.

"නිර්මල මට ඇත්ත කියන්න. ඔවිනි ඔයාව බ්ලැක් මේල් කරනවද?"

"..."

"ඔවිනි වෙන කෙනෙක් නිසා ඇති වෙච්ච දරුවෙකුගෙන් බේරෙන්න ඔයාට චෝදනා කරනවද? මට ඇත්ත කියන්න නිර්මල. මුකුත් නොකිය හිටිය කියල මේ ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ, තව පැටලෙනව මිසක්.”

දිගු හුස්මක් හෙලූ නිර්මල, අතේ තබාගෙන හිටි තේ කෝප්පය එක හුස්මට පානය කොට, මවෙත හැරිණි.

"ඔවිනි එන්න රෙඩි වෙන්න කියන්න. එයාගෙ කිසිම වැරද්දක් නෑ. අද රෑට එයාගෙ ටිකට් බුක් කරමු."

මගේ දෙනෙත් බොඳ වී, නිර්මල නොපෙනී ගියේය. මා සිහි එළවා ගත්තේ මගේ තේ කෝප්පය බිම වැටෙන හඬිනි. නිර්මල, වහා බිමට නැමී, නොබිඳුණු තේ කෝප්පය අහුලාගෙන, ඔහු හිඳ සිටි පුටුව  මත ඔහුගේ තේ කෝප්පය ලඟින්ම තබා, නැගිට ගියේය. ටිෂූ බොක්ස් එක රැගෙන විත්, නිර්මල බිම පිහිදන අයුරු, තේ කෝප්ප දෙක සෝදන අතරතුර මම දුටිමි.

එක ලඟින් තැබූ තේ කෝප්ප දෙකක් ඉහත රූපයෙන් දැක්වේ - Google Images වෙතින් 

නිතරම සිනා සී සිටින, සැහැල්ලු ජීවිතයක් ගත කළ ඔවිනිට, ඕනෑම පිරිමියෙක් ආකර්ෂණය වීම අරුමයක් නොවුනත්, නිර්මල, ඔවිනිට ලං වූ බව විශ්වාස කරන්නට මසිත මැලි වෙයි. මා වෙතත්, ආන්යා වෙතත් වූ නිර්මල ගේ අවධානය, කිසි විටක වෙනස් වන බවක් මට නොදැනුනු අතර, ආපසු යන්නට පෙර ඔවිනි විසින් ලබා දුන් පාටි එකේත්, නිර්මල ඔවිනිට විහිලු කරමින් වෙනදා පරිද්දෙන්ම කෙළිදෙලෙන් කල් ගත කළේය.

මම සාලයට යන විට, නිර්මල ගුවන් ටිකට් පත් පරීක්ෂා කරමින් සිටියේය.

"මොනවද උයන්නෙ රෑට?"

"ඔයාට මහන්සි නම් එලියට යමු. ඒ ගමන් ආන්යා ව අරගන්න පුළුවන් ඩේ 
කෙයා එකෙන්."

"නෑ, මහන්සියක් නෑ, උයන්න පුළුවන්. ඔයා ආන්යව අරන් එන්න. බිත්තරත් 
අරන් එන්න."

"හරි. ඔයාට ලේසි දෙයක් උයන්න. මම ආන්යව අරන් එන්නම්."

නිර්මල කෙරෙහි සෙනෙහසින් පිරී තිබුණු හදවතේ, යළි  පිළිසකර කරගන්නට 
නොහැකි සිදුරක් හටගෙන තිබේ. නමුත් ඉපදෙන්නටත් පෙර සිටම සිය පියාට 
ඉතා සමීප බවක් දැක්වූ ආන්යා ගෙන්, ඇගේ පියා ඈත් කරන්නටත්, මගේ මුළු ජීවිතයම වූ මිනිසා ජීවිතයෙන් එක්වරම එලවා දමන්නටත්, මට සිත් නොදේ. වෙන දෙයක් වෙන්නට හැර, මම ඔහේ බලා සිටිමි.

කෑම මේසයේ තිබුණු නුහුරු නිහැඬියාව බිඳින්නට, ආන්යා ගේ සුරතල් බස් 
අසමත් විය. නමුත් මා මෙන්ම නිර්මල ත්, ආන්යා ට අමුත්තක් නොදැනෙන 
ලෙස හැසිරෙන්නට උත්සාහ කළෙමු. හවස බිම වැටී නොබිඳුණු මගේ තේ 
කෝප්පය, නිර්මල ගේ තේ කෝප්පය සමග එක ළඟ තැබුවාක් මෙන්, අපි තවමත් එක්ව සිටින්නට උත්සාහ කරනවා ද?

ආන්යාට නින්ද ගිය පසු, මම නිර්මල සොයා ගියෙමි. මා යන විට, ඔහු ඊ 
ටිකට්ටුව කියවමින් සිටියේය.

"ඔවිනි ගෙ ටිකට් එක බුක් කළා. ඔයාටත් මේල් කලා ටිකට් එක."

ලැප්ටොප් එකක් දිහා බලා සිටින යුවලක් ඉහත රූපයෙන් දැක්වේ - Google Images වෙතින් 


"ඔවිනි කවද වගේද එන්නෙ?"

"ලබන සඳුද. එයාට ඉන්න රූම් එකකට බුකින් දාන්න ඕන. දවස් කීයකට බුක් 
කරන්නද මන්ද."

"මොන එහෙකටද රූම් එකක් බුක් කරන්නෙ? මෙහේ ඉන්න බැරිද ඔවිනි ට?"

නිර්මල විමතියෙන් මා දෙස බලා සිටී.

"එයා මෙහේ හිටිය කියල ආයෙ අමුතුවෙන් සිද්ද වෙන්න දෙයක් නැහැනෙ."

නිහඬවම සෝපාවෙන් නැගිට ගිය නිර්මල, තුවායත් රැගෙන, නාන කාමරයට 
පිවිස දොර වසා ගත්තේය.


නිර්මල කිසිත් නොකියා මුනිවත රැකීම, මගේ සිතේ වේදනාව වැඩි කරවයි. මගෙන් සමාව ඉල්ලමින් පසුතැවිලි ස්වරයෙන් හෝ, අඩුම තරමේ ඔහු ඔවිනිට ලං වෙන්නට හේතු වුණේ මගෙන් සිදු වූ අඩුපාඩු නිසා බව කියමින් තරහෙන් හෝ, නිර්මල කතා කරන්නේ නම්, මට මීට වඩා සැනසීමක් දැනෙන්නට ඉඩ තිබිණි.


-මතු සම්බන්ධයි -