10.05.2017

කැණිමඬල - 1

දුරකථන තිරයේ දිස් වූයේ ඔවිනි ගේ නමයි.

ඔවිනි, මීට වසරකට පෙර රැකියාවේ පුහුණුවකට මෙහි පැමිණි, අපත් සමග බෙහෙවින්ම ලෙන්ගතු යුවතියකි.

සොහොයුරියක් මෙන් ලංවී සිටි ඇය, පුහුණුව අවසන් කර නික්ම යාම, මසිතට ගෙන දුන්නේ පාළුවකි.

"අනේ ඔවිනි, කොහොමද ඉතින්.. අපට හරියට මිස් වෙනව අනේ ඔයා."

"ම්ම් අක්කි, එහෙමද?"

"ඔව් අනේ.. මම ඊයේ දුවත් එක්ක චිල්ඩ්රන්ස් පාක් ගියා. එයත් ඔවිනි නැන්දිව මතක් කළා එතකොට. දැන් වීක් එන්ඩ්ස් නුත් කම්මැලියි. ඔයා හිටිය නම් ෂොපින් ගිහින් එන ගමන් හරි මේ පැත්තට ඔලුව දානවනෙ."

"හ්ම්ම්ම්..."


දුරකථන ඇමතුමක් ගන්නා යුවතියක් - google images

"මටත් වැඩ නම් තියනව කරන්න, ඒත් හරි කම්මැලියි. දුවත් ඉතින් ඩේ කෙයා එකේ ඉඳන් ආවම මාත් එක්ක නේ. නිර්මල ත් මේ දවස් වල හරි බිසී."

"හ්ම්ම්ම් අක්කි, පොඩි දෙයක් තියනව කියන්න."

"අහ්.. කියන්න ඉතින්... මොකද මොකද? කවුරු හරි වාසනාවන්තයෙක් හම්බුනාද ආයෙ ලංකාවට ගියාට පස්සෙ? අම්ම හොයල තිබුණද කවුරුහරි? කොහොමද? හැන්ඩ්සම් ද?"

"අක්කි..., අක්කි මම ප්‍රෙග්නන්ට්"

"ඔවිනි! කොහොමද? ඔයා ලංකාවට ගියෙත් ගිය සතියෙ නේ"

"ඔව්.. ප්‍රෙග්නන්ට් උනේ ඔයාල එක්ක ඉන්න කාලෙ, USA වලදි"

"ඒ කොහොමද? කවුරු එක්කද"

"නිර්මල අයිය එක්ක"

"හහා ඔවිනි. Nice joke. අම්මේ ඔයා ඇත්තටම ප්‍රශ්නයක් ඇති කරගෙන කියල මම බය වුණු තරමක්."

"අනේ අක්කි මම මේ ඇත්ත කියන්නෙ"

"අනේ අනේ ඔවිනි, ලංකාවට ගියත් වෙනස් වෙලා නෑ ඔයාගේ ජෝක්ස් නම්. මේ, ඒක නෙවෙයි, හැමදාම විහිලු කර කර ඉන්නෙ නැතුව, දාල ගිහිපු අයව අමතක කරල හොඳ කෙනෙක් හොයාගන්න කාලෙ හරි දැන්. ඩිවෝස් උනා කියල හිත කරදර කරගන්න එපා, දැන් ඉන්න කොල්ලො ඕව හොයන්නෙ නෑ"

"අනේ අක්කි, මම තියන්නම්, බායි"

"ඔවිනි, ඔවිනි!, හෙලෝ.. මේ කෙල්ලට මොනව වෙලාද?”

ටික වෙලාවකින් ඔවිනි ගෙන් කෙටි පණිවිඩයක් ලැබිණි.

"අක්කි, ඇත්තටම මට දරුවෙක් ලැබෙන්න ඉන්නව. ප්රෙග්නන්සි ටෙස්ට් එක කලේ ඊයෙ. දරුවගෙ තාත්ත නිර්මල අයිය තමයි, මම එයත් එක්ක විතරයි සම්බන්ධයක් තිබුණෙ. ඒක සම්බන්ධයක් කියන්නත් බෑ. නිකම් ඇට්ට්‍රැක්ෂන් එකක් විතරයි. නිර්මල අයිය හැමදාම ආදරේ ඔයාටයි දුවටයි විතරයි. ඒක මමත් දන්නව."

ඇත්ත කුමක්දැයි බොරුව කුමක්දැයි සිතාගත නොහුණු කෙටි විනාඩි කිහිපයකට පසු තවත් පණිවිඩයක් ලැබිණි.

"මෙහෙ ඔෆිස් එකේ බොස් මගේ ගැන ටිකක් උනන්දුයි. ගෙදර ඇවිත් තාත්තට කතා කරන්නද කියලත් මගෙන් අහ අහ ඉන්නෙ.  ඔක්කොම අතරෙ මේක දැනගත්තම මම හරිම අසරණයි අක්කි. නිර්මල අයිය ෆෝන් එක පික් කලේ නෑ බිසී ඇති, ඒකයි මම ඔයාට කතා කලේ."

මම නිර්මල දුරකථන ඇමතුමක් ගතිමි.

"හෙලෝ චලනි."

"හෙලෝ නිර්මල, ඔවිනි කෝල් කලා."

"..." 

නිර්මල නිහඬව සිටී.

"එයා කියන දේ ඇත්තද මේ? ඔයාගෙ මොනවහරි තිබුණ එයා එක්ක?"

"..." 

මේ නිහැඬියාව තව දුරටත් දරාගත නොහැකි බවක් මට දැනිණි.

"කතා කරන්නකො, මොකද වෙලා තියෙන්නෙ? ඔවිනි බොරු කියනව කියල කියන්නකො, ප්ලීස්!"

"..." 

නිර්මල තවමත් නිහඬව සිටී. තවත් කෙටි පණිවිඩයක් ලැබෙන හඬක් ඇසිණි.

"හරි. ඔයා එන්නකො ගෙදර. Let's talk."

මම දුරකථනය විසන්ධි කලෙමි.

නිර්මල නිහඬ ඇයි? ඔහුට මා කියන දේ නෑසුනා වත් ? මෙවන් බොරුවක් කරන්නට ඔවිනිට අවශ්‍ය වූයේ කවර හේතුවක් නිසාද? වෙනදා දුරකථන ඇමතුමක් ගත් විටත්, මුණගැහුණු විටත්, ඉවක් බවක් නැතිව ඔහේ කියවන ඔවිනි, අද වැඩි කතා බහක් නැතිවම දුරකථනය විසන්ධි කලේ ඇයි?

නිර්මල ලේට් නොවී ගෙදර ආවොත් හොඳයි. මට හරිම බයයි නිර්මල ගැන.

කල්පනා සයුරේ ගිලෙමින් මම කෙටි පණිවිඩය විවර කලෙමි. එසැනින් තවත් කෙටි පණිවිඩයක් ලැබිණි.

"අක්කි මට ඔහෙට ඇවිත් මේ දරුව නැති කරගන්න ඕනි. මට ඒකට ඔයාලගෙ උදව් ඕන. හැබැයි දරුවගෙ තාත්ත නිර්මල අයිය නිසා, මේ ඔක්කොම උනේ එයාගේ පෙළඹවීමෙන් නිසා, එයා මගේ වියදම් බලාගන්න ඕන. ඇත්තටම මගේ අතේ මහ සල්ලියකුත් නැහැ. ඊට පස්සෙ මම ආයෙ ලංකාවට එනව. ආයෙ කවදාවත් ඔයාලට මගෙන් කරදරයක් වෙන්නේ නැහැ."

"අනේ අක්කි මට සමාවෙන්න, ඔයාට මෙහෙම හිත් වේදනාවක් දුන්නට. Please keep me updated. I am waiting for your reply”


කතන්දර වල තිබෙන හැටියට නම් මේ වෙද්දී මම හඬා වැටිය යුතුය. නමුත්, සිදුව ඇත්තේ කුමක් දැයි සිතා ගත නොහී මම බලා ගත් අත බලාගෙන ඔහේ සිටියෙමි.


නිර්මල, සරසවියේ සිට මගේ පෙම්වතා වූ, මගේ සොඳුරු සැමියා ය. සරසවියේ බොහෝ කොල්ලන්ගේ බැලුම් වලට ලක්ව සිටි, ඔවුන් ගේ බසින් "පට්ට කෑල්ලක්" වූ මගේ සිත, මුල් වරට සොරා ගත්, කඩවසම් ස්මාට් පිරිමියා වූයේ නිර්මල යි. රුවෙන් ගුණෙන් යුතු ජෝඩුවක් ලෙස සැමගේ සිත් දිනාගෙන රෝස මල් යහනාවක ගමන් ගත් අපේ කතාවේ, සැප හා සතුටත්, සරසවි ජීවිතයේ තෙවන වසරේදී මගේ පියාණන් නොසිතූ විරූ ලෙස ජීවිතයෙන් සමුගත් දා සිට දුකත්, එක ලෙස බෙදා හදා ගෙන, මගේ ජීවිතය ලඟින් සිටි සොඳුරු මිනිසා නිර්මල යි. සරසවියේ අපේ බැච් එකේ ප්‍රථමයා වී, ඔහුගේ වැඩිදුර ඉගෙනුම් කටයුතු සඳහා විදේශ ගත වූ දා සිට, අපට අප පමණක් වූ පුංචි කැදැල්ලේ අපි හෙමි හෙමින් ජීවිතය ගොඩ නගා ගත්තේ ඔහුට ලැබුණු ශිෂ්‍යත්වය අමාරුවෙන් පිරිමසාගෙනයි. පසුව, ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු කෙරුණු විශ්ව විද්‍යාලයේම කථිකාචාර්ය තනතුරක් ලැබුණු පසු  ආදරණීය දියණියක ලබා, සෙනෙහසින් පිරුණු ජීවිතයක් ගෙවන අද දවස දක්වාම, නිර්මල මට ආදරණීය සැමියෙකු විය.


-මතු සම්බන්ධයි -

4 comments:

  1. අප්පා... නියම කතාවක ආරම්භයක් වගේ.... ලියමු ලියමු

    පොඩි අදහසක් කියන්නම් : කතාවේ ගලායාමට සමහර තැන්වල තියෙන විස්තර මොකද්දෝ බාධාවක් වගේ දැනෙනවා. සමාහාර වෙලාවට දෙබස් අතර 'ගැලපෙනම' තැනට ඒවා යෙදුවා නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට. බොහොම ස්තුතියි කොමෙන්ටුවට.

      මම මේ පළමු වතාවට තමයි ප්‍රබන්ධ කතාවක් ලියන්නෙ. ඉතින් ඔයා කියන දේ හරි කියල මටත් තේරුණා ආපහු කියවලා බලනකොට.

      බලන්නම් හෙමින් දියුණු කරගන්න. බොහොම ස්තුතියි.

      Delete
  2. කැණි මඬල පලාලා සුණුවිසුණු කලා මැදුරත්,
    යලි මැදුර තනාලා වෙහෙසුමක් තොපට නැත්තෙ,
    මම ගයමි උදම් ගී...

    කාලයක් මගෙ ප්‍රියතම ගීතයක් ඒ..ආයම මතක් වුනා ඔහෙගෙ කතන්දරේ මාතෘකාව දැක්කම...හෙහ්...හෙහ්...

    ReplyDelete
  3. දිග කතා කියවන්න වෙලාව හොයාගන්න අමාරුයි

    ReplyDelete