September 06, 2017

ඉවත දමන්න බැරි කතා


අන්තර්ජාලයෙන් හමු වූ, ඉංග්‍රීසියෙන් ලියවුණු, මිහිරි කතා පෙළක්, සිංහල පාඨක ඔබ සමග, මෙසේ බෙදා ගන්නෙමි.



*****

මෙලොව වඩාත්ම සතුටින් වසන දියණිය මා විය යුතුයි. කොක්හඬලා සිනාසිය හැකි විහිළුවක් තුලින් එකිනෙකාට නිතරම ආදරය ප්‍රකාශ කරගන්නට, මගේ දෙමවුපියෝ තරම් සමතුන්, තවත් මට හමු වී නැත. ඇතැම් දිනක, වැසිකිලියට යන්නට හෝ වතුර ටිකක් බොන්නට මගේ අම්මා සයනයෙන් නැගිට ගිය විට, ලහි ලහියේ නැගිටගන්නා තාත්තා, පොත් පත්තර ගොඩක් හා අපේ බළල් තඩියා ඇගේ කොට්ටය අසල තබා, බ්ලැන්කට්ටුවෙන් වසා දමා, අනෙක් පසට හැරී අහිසකයෙක් මෙන් නිදන්නට පටන් ගනී. යළිත් නිදන්නට ඇඳ වෙත ආ අම්මා, ඇඳ මත ඇති අඩුවැඩිය දැක, "මට දැන් නම් ඔයාව මරන්න පුළුවන්" යයි කෑගසමින් මගේ පියා වෙත කොට්ටයෙන් දමා ගසයි. මෙලෙස ටිකක් වෙලා තාත්තා සමග තරහින් පුපුරු ගසමින් සිටින අම්මා, පියාට හාදුවක් දී යලි නිදන්නට පටන් ගනී. මගේ මවට වයස 50 කුත්, පියාට වයස 55 කුත් වේ. මැදි වියට පිය නැගූ විට, ලාමක බොළඳ හැසිරීම් වලට තිත තැබිය යුතු යයි අප සිතිය යුතුද?


*****

මගේ බළල් සුරතලා මගේ දිවි බේරා ගෙන තිබේ. දවසක් මා නාන අතරතුර, පූසා බාත් ටබ් එකේ ගැට්ට මත නිදි කිරමින් සිටියේය. වතුර හෙමින් සීතල වන බව දැනී, මම උණු වතුර කරාමය ක්‍රියාත්මක කරන්නට නැගී සිටියෙමි. පය ලිස්සා මා ඇද වැටුණු අතර, මුහුණේ සිනිඳු යමක් ගැටෙනු දැනී මම දෑස් විවර කලෙමි. පසුව තේරුණු පරිදි, ලිස්සා වැටුණු පසු මගේ සිහි නැති වී ඇති අතර, හෙමි හෙමින් මා බාත් ටබ් එකේ ගිලෙද්දී, නාසය ජල මට්ටමට වඩා පහල යන්නට පෙර මාව අවදි කරන්නට, පූසා විසින් මගේ මුහුණ පිරිමදින්නටත්, කෑගසන්නටත් පටන් ගෙන තිබේ.


*****

සිවු හැවිරිදි මගේ දියණිය, නගරයේ ඇවිදින්නට ප්‍රිය කරයි. ඔබ මොබ ඇවිද යන අතරේ, පදික වේදිකාවේ ගී ගයමින් වාදනයේ යෙදෙන වාදකයින්ට සවන් දෙන්නටත්, ඔවුන් වෙත කාසි කීපයක් දෙන්නටත් ඈ විශේෂ කැමැත්තක් දක්වයි. දවසක්, මෙලෙස පාරේ ඇවිදින අතරේ, ඩ්‍රම්ස් වාදකයින් පිරිසක් අපේ නෙත ගැටිණි. දියණිය විනාඩි 20ක් පමණ ඩ්‍රම්ස් වාදකයින් සමග නර්තනයේ යෙදී, අප සතුව තිබුණු සියලුම කාසිත්, රසකැවිලිත් ඔවුන්ට දුන්නාය. වාදකයින් පුදුමයටත්, සතුටටත් පත් වූහ.


*****

අධ්‍යයන කටයුතු සඳහා නිවසින් කිලෝමීටර 2,000ක් පමණ ඈතට යන්නට මට සිදු වූ අතර, මම අම්මා සමග දිනපතා ස්කයිප් මගින් කතාබහේ යෙදෙමි. දවසක් ස්කයිප් තිරයේ අම්මාගේ පසුබිමින් ළමයෙකු වන් අපැහැදිලි රුවක් දිස් වූ නිසා, මම ඒ කවුදැයි අම්මාගෙන් අසා සිටියෙමි. ඒ සීල් මසෙකු ලෙස වෙස් ගත් මගේ පියා බවත්, ඔහුගෙන් ඈත්වීම පිලිබඳ මගේ හිතේ ඇති දුක නැති කිරීම සඳහා, ස්කයිප් සංවාදයට බාධා කර මගේ හිතේ ඔහු ගැන තරහක් ඇති කරන්නට මගේ පියා උත්සාහ කරන බවත්, අම්මා කියා සිටියාය.


*****

එක්තරා හැන්දෑවක, මම ගෙදර යන්නට දුම්රිය ටිකට්පතක් මිලදී ගනිමින් සිටියෙමි. මා සතුව තිබුණේ දුම්රිය ටිකට් පතේ වටිනාකමට හරියටම සමාන මුදල් ප්‍රමාණයක් පමණි. ටිකක් යන්ත්‍රයේ යම්කිසි දෝෂයක් නිසා, මම ඇතුලත් කළ කාසි කිහිපයක් යන්ත්‍රයේ සටහන් නොවී සිර වූ නිසා, මම හිඟ මුදල් සොයා ගැනීමට කලබලයෙන් පසුම්බිය පීරන්නට පටන් ගතිමි. අවශ්‍ය කරන මුදල් සොයාගත නොහැකි තැන, "අයියෝ දැන් කොහෙන්ද ඩොලර් එකක් හොයාගන්නෙ" යයි මට කියවුණු අතර, මට පිටුපසින් කිසිවෙක් "ලොකු අයිය ඔයාට උදව්වට ඉන්නව" යයි කීවේය. පිටුපස හැරුණු මා දුටුවේ මහමග වෙසෙන දුගියෙකු, මා වෙත මුදල් දිගුකරගෙන සිටිනා අයුරුයි. පුංචි පුංචි ක්‍රියාවන් තුළ කොයි තරම් නම් අගයක් ගැබ්ව ඇත්ද?


*****

මගේ සැමියා සාදන සුප්, කටේ තියන්නට නම් බැරිය. නමුත් ඔහු සුප් හදන හැමදාකම, මම සිනා සී, හෙමි හෙමින් එය පානය කරමි. දිනක් මා වැඩ ඇරී නිවසට එන විට, ඔහු සුපුරුදු නීරස සුප් එක හදමින් සිටි අතර, ඔහු මගේ රාත්‍රී ආහාරය සඳහා හදවත් හැදැති කැරට් කැබලි, පරිස්සමින්, හෙමින්, ආදරයෙන් කපන හැටි මම හොරෙන් බලා සිටියෙමි. ඔහුගේ මුහුණේ ප්‍රේමය පිරී තිබුණු අතර, සුප් එක නම් නීරස විය. ඒත් ඒ සුප් එක, ආදරයෙන් පිරුණු සුප් එකකි.


*****

මගේ අම්මා මට බීජ ටිකක් දී, ඒවායින් හැදෙන ගස් වල පළමු මල පූදින දා මගේ ඉරණම්කරු මට හමුවනු ඇති යයි කීවාය. ඊයේ, පළමු මලේ පෙති දිගහැරුණු විගස, මගේ බළල් තඩියා විසින් එය කා දැමිණි. එයින් කියවෙන්නේ කුමක්දැයි මට තවම කිසිදු අදහසක් නැත.


*****

අපි ළමා නිවාසයකින් වයස අවුරුදු තුනහමාරක කුඩා පිරිමි දරුවෙකු හදා වඩා ගත්තෙමු. ළමා නිවාසයේ පාලිකාව දරුවන්ට පැණිරස ලබා දීමෙන් වැළකී තිබුණු අතර, සූකිරි මොන රස දැයි ඔහු දැන සිටියේ නැත. අප වෙළඳ සලට ගිය දිනක, මම ඔහු අතට කූඩයක් ලබා දී, "ඔයා කැමති ඔක්කොම දේවල් මේ කූඩෙට දාගන්න, අපි ඒ ඔක්කොම ගමු" යයි කීවෙමි. නමුත් අවසානයේ ඔහු තෝරාගෙන තිබුණේ තේ කොළ පැකට්ටුවකුත්, කින්ඩර් සර්ප්‍රයිස් එකකුත් පමණි. තමන්ට අවශ්‍ය එපමනකියි ඔහු කීවේය. එදා සිට, එදිනෙදා වියදමට ලබා දෙන මුදල් ටිකක් වැඩිපුර ඉල්ලා ගන්නටත්, ඒවා පිරිමසාගෙන ආස කරන පැණි රස ජාති මිලදී ගන්නටත් ඔහු පටන් ගත්තේය. නමුත් ඔහු හැමදාම ඒ සියලු පැණිරස ගෙදර ගෙනවිත් අප සමග කනවා මිස, තනිවම නොකන නිසා, එසේ කිරීම අවශ්‍ය නැති බවත්, එම පැණිරස ඔහුට තනියම කෑ හැකි බවත් මම කියා සිටියෙමි. එසේ කීමෙන් කිසිදු පලක් නැති වූ අතර, ඔහු කියා සිටියේ ඔහු සතු සියලු දේ, බෙදා හදා ගෙන මිසක් තනිව භුක්ති නොවිඳින බවයි.


*****

අපත් සමග මත්පැන් පානය කරමින් හැලෝවීන් සමරන්නට අපි එක් මිතුරියක් පොළඹවා ගන්නට සමත් වීමු. ඇය වැඩි කතා බහෙන් තොර ලැජ්ජාශීලී තරුණියක් වූ අතර, හැලෝවීන් වෙනුවෙන් වෙස් වලා ගන්නට කිසිදු උනන්දුවක් නොදැක්වීය. කෙසේ වෙතත්, අවසාන මොහොතේ පහසු බාච්චු ඇඳුමකින් සැරසී, කොණ්ඩය කැරලි කොට, පුළුන් සෙරෙප්පු දෙකක් දමාගෙන ටෙඩි බෙයා කෙනෙකු අතින් අරන් ඇය පෙනී සිටියාය. කුමක් හෝ හේතුවකට, ඇයටම ආවේණික වූ ඇඳුම්  විලාසිතාව බොහෝ දෙනෙකුගේ සිත් ගත් අතර, ඇය එම සැන්දෑවේ තරුව බවට පත් විය. බොහෝ දෙනෙක් ඇය සමග ඡායාරූප ගන්නටත් අවසර ඉල්ලා සිටියෝය.


*****

මගේ නිවස පිහියේ අගනුවරින් ඉතා දුර බැහැර පෙදෙසකයි. මගේ විශ්ව විද්‍යාල සමයේ, නිවසේ සිට දිනපතා අගනුවර පිහිටි විශ්ව විද්‍යාලයට දුම්රියෙනුත්, ඉන් පසුව උමං දුම්රියෙනුත්, බොහෝ දුර ගමන් කරන්නට මට සිදු විය. පළමු දිනයේ සිටම, මා ගමන් ගත් දිශාවටම ගමන් ගන්නා තවත් අයෙකු මගේ නෙත ගැටුණු අතර, දුම්රිය නැවතුමේ සිට උමං දුම්රිය පිවිසුම වෙත ඇවිද යන්නට තිබුණු කුඩා දුර ප්‍රමාණය, ඔහුත් මමත් ඇවිද ගියේ තරඟයට මෙනි. මෙය දිනපතාම සිදු වන්නට පටන් ගත් අතර, අපි නිතරම එකිනෙකා වෙත නුරුස්නා සුළු, රැවුම් හුවමාරු කර ගත්තෙමු. පළමු වසර පුරාවටම, ඔහු මා පසුකොට වේගයෙන් ඇවිද ගිය අතර,  උමං දුම්රිය වේදිකාවට පිවිසි වහාම, පසුපස හැරී, මා ප්‍රමාදයකින් තොරව උමං දුම්රියට පිවිසෙන්නට හැකි තරම් ළඟකින් එනවාදැයි පරීක්ෂා කළේය. මුළු ගිම්හාන නිවාඩුව පුරාම, මම වේගයෙන් ඇවිදින්නට පුහුණුවේ යෙදුණෙමි. සිසිරය උදා වී, නව අධ්‍යයන වාරය ඇරඹුණු පසු, මේ තරඟය මට ඇති වී තිබුණු නිසා දෙකෙන් එකක් විසඳා ගන්නට මම තීරණය කළෙමි. එදිනත් සුපුරුදු පරිදි, වෙඩිල්ලක් මෙන් දුම්රියෙන් එලියට පැනගත් ඔහු දුවන්නට පටන් ගත් විට, මම නොපසුබටව ඔහු පසු පසින් දුව ගොස්, ඔහුගේ තොප්පියෙන් අල්ලා පසුපසට අදින ගමන්, ඔහුව පසු කරන්නට උත්සාහ කළෙමි. "තොප්පිය දෙන්න, මගේ තට්ටෙට සීතලයි" යනුවෙන් ඔහු මොර දෙන්නට පටන් ගත්තේය. සිනහව පාලනය කරගත නොහැකිව මා කොක්හඬලා සිනා සෙන්නට පටන් ගත් විගස, මගේ පය ලිස්සා බිම ඇද වැටී, නහය කැඩී ගියේය. එවිටම, ඒ මැට්ටාත් ඔහේ ලිස්සා වැටී, අත කඩා ගත්තේය. ඉතින් මට මගේ සැමියා මුණගැසුණේ එලෙසිනි.


*****

අපි අපේ සුනඛ සුරතලාට "තෙරේසා පියතුමා" ලෙස නම් තැබුවේ, ඔහුට මුණගැසෙන දිගු ලොම් දරනා සියලු සතුන්ට උදව් කරන්නට ඔහු ඇප කැප වී සිටින නිසාවෙනි. මේ සියල්ල ඇරඹුණේ, එක් සිසිරයක ඔහු නිවසින් පැන ගොස්, ඈත ගමක සීතලෙන් මිදී සිටි බලු පැටවුන් හතර දෙනෙකුත්, ඔවුන්ගේ මවත්, ගෙදර රැගෙන ඒමත් සමගයි. පසුව, ඔහු අසරණ බළලුන් බේරා ගන්නට පටන් ගත් අතර, ඔහුගේ ප්‍රියතම කාර්යය වනුයේ මහමග වෙසෙන අසරණ සතුන්ව නිවසට රැගෙන ඒමයි.ඉන්පසු ඒ සතුන්ව ලෙවකා පිරිසිදු කරන ඔහු, හැකියාවක් තිබිණි නම් ඔවුන්ට මව්කිරි දීමටත් පසුබට නොවනු ඇති. ඉන් පසු, එම සතුන්ට ආහාර පිළියෙළ කිරීමත්, නව නිවෙස් සොයා ගැනීමත්, මට භාර වේ. මේ ලොව යහපත් තැනක් කිරීම උදෙසා, සිවුපා සතෙකුට මෙතරම් දේවල් කළ හැකි බැව් අප නිකමටවත් සිතා තිබිණිද? මම මගේ සුනඛ සුරතලා ගැන බෙහෙවින් ආඩම්බර වෙමි.


*****

මම වසර පහක විවාහකයෙක් මි. වසර දෙකක් පුරා අන්තර්ජාලයේ සාකච්ඡා මණ්ඩපයක, ඇය සමග හැරී පොටර් පිලිබඳ වාද කරමින් සිටි කරදර කාරයා මා බව, මගේ බිරිඳට තවමත් කියාගත නොහැකිව සිටිමි. සත්‍ය දැනගත් ඇය මට පහර දෙනු ඇති යැයි මට බියක් දැනේ.





















15 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි. ආදරෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට.

      Delete
  2. එක මරු
    අන්තිම එක නං නිකං ටොයිං වගෙයි :-D :-D

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි මුල් ලිපියෙත්, ගොඩක් අයගේ හිත අරන් තිබුණේ අන්තිම එක.
      මගේ නම් ප්‍රියතම කතාව තමයි අර සැමියා මුණගැහුණු හැටි තියන කතාව.

      Delete
  3. අන්තිම පොඩි කතාව නං මරු..

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහං ඉතින්.
      හැම සැමිය ම කැමති තමන්ගේ බිරිඳ/පෙම්වතිය තරහ ගස්සවල බයිට් කරල සතුටු වෙන්නද?

      මුල් ඉංග්‍රීසි ලිපියෙත් කට්ටිය අන්තිම කතාව අගෙයි කියල කමෙන්ට් කරල තිබූණ.

      Delete
  4. පුංචි ලිඳේ වතුර රසයි.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් ල දැන් ලියන්නේ නැති නිසා, පරිවර්තන ජොබ් එකත් බැරි බැරියාවෙ අපිටම කරන්න වෙලා.

      Delete
  5. මරු කතා ටිකනේ.. සිරාවටම අන්තිම එක තමා අල්ලලම ගියේ.. හෙහ් හෙහ්

    ReplyDelete