December 07, 2014

පාසල් නිවාඩු කාලේ දුම්රියේ ගමන් බිමන් යනවාද

ගොඩක් සිකුරාදාවන්ට මම ගෙදර එන්නේ දුම්රියේ. සිකුරාදා හවස තුන් වන පන්තියේ මැදිරි තුලට ඇතුළු වෙන්න අපහසු තරමට පා පුවරුවේ තදබදය නිසා මම දෙවන පන්තියේ තමයි ගමන් කරන්නේ. පහුගිය සිකුරාදා වෙනදා නැති තරම් සෙනගක් දෙවැනි පන්තියේ හිටපු නිසා ඒ ඇයි කියන කුතුහලයෙන් වටපිට බැලුවම, වෙනදා යන එන දිනපතා කාර්යාල මගීන් වෙනුවට පාසල් වයසේ දරුවන් සමග ලොකු බෑග් මලු අරගෙන ගමන් කරන මගී පවුල් කිහිපයක්ම දැකගන්නට ලැබුණ. වසර අවසාන විභාග අවසානයත්, පාසල් නිවාඩුව ආරම්භයත් අතර කාලයේ පාසල් වල ඉගැන්වීම් කටයුතු කෙරෙන්නේ නැති නිසා මේ දරු පවුල් ගමන් බිමන් ගිහින් වගෙයි.. බොහොම හොඳයි.


පින්තූරය http://locolanka.blogspot.com/2014/02/s12.html වෙතින්

වෙනදා අතරමගක් යනකොට දුම්රියෙන් බැස යන කාර්යාල ජනයා වෙනුවට අසුන්ගෙන සිටියේ, ගමනාන්තය දක්වා ගමන් කරන මගී පවුල් නිසා අසුන් ගන්නා අදහස අත් ඇරගෙන මම තදබදය අඩු දුම්රිය මැදිරියකට වෙලා ගීතයක් රස විඳිමින් හිටගෙන උන්නා. මම දුම්රියේත් බස් රියේත් බෙහෙවින් ගමන් කර හොඳට පුරුදු කෙනෙක්. ඒ නිසා හිටගෙන ගමන් කරන එක මට හොඳට හුරු පුරුදුයි. ගීතයක් අහගෙන ඔහේ යන මම, සීට් වලට පොරකන කෙනෙක් නොවෙයි...

*************** 

හිටගෙන යන ගමන් මම හෙමිහිට වටපිට බැලුව. අවුරුදු පහක් පමණ වයසේ පසුවන කුඩා දරුවනුත් තනි අසුනක හිඳගෙන යන අවස්ථා කිහිපයක්ම මේ අතරේ දකින්නට ලැබුණ. වසර අවසානයේ මෙසේ ගමනේ යෙදෙන මේ මගී පවුල් බොහොමයක් “වොරන්ට්” අරගෙන ගමන් කරන අය. දිගු දුරක් ගමන් ගන්නා විට කුඩා දරුවෙක් ඔඩොක්කුවේ තබාගෙන යන්නට හෝ, දරුවාව තලා දමමින් යන්තමින් අයිනක හිඳුවාගෙන යන්නට බැහැ. නමුත් මේ විදියට කුඩා දරුවන්ටත් වෙනම ෆුල් ටිකට් පතක් ගන්නේ ඒ පහසුකම නොමිලේ ලැබෙන නිසාම වෙන්නට බැරිද?

සාමාන්‍ය දවසට දෙවන පන්තියේ ගමන් කරන බොහෝ අය මම වගේ ටිකට් පත තමන්ගේ මුදලින් මිලදී ගන්නා අය. නමුත් බොහෝ දිනවල  "අපි සල්ලි දීල ටිකට් ගත්තේ අපට ඕන හැටියට යන්න" කියල නොහිත, කාර්යාල මගීන් දෙවන පන්තියේ අසුන් දෙකක් අතර ඇති අත්වාරුව ඉහලට ඔසවා තබා, තුන් දෙනෙකු ඉඳගෙන යන අවස්ථා දැකිය හැකියි. හැබැයි එහෙම යන්නෙත් දන්නා අඳුරන මිතුරු පිරිස් පමණයි. ඒ වගේම ඔවුන් දුම්රියෙන් බසින්නේ දන්නා හඳුනන කෙනෙකුටම අසුන ලබාදීමෙන් පසුවයි. ඒ නිසා විශ්ව විද්‍යාලයේ සේවය කරන, සති අන්තයේ පමණක් ගෙදර එන, අතරමගින් දුම්රියට නගින, දුම්රියේ කාර්යාල මිතුරන් නැති මට එලෙසින් හිඳගෙන යන්නට ලැබෙන්නේ නැහැ. නමුත් එලෙසින් සීට් දෙකක තුන් දෙනෙකු හිඳගෙන යාම ගැන මගේ හිතේ පැහැදීමක් තිබුණ. මොකද ඒ නිසා හිටගෙන යන අයගේ ඝනත්වය අඩු වෙලා අපි වගේ අයට පහසුවෙන් ගමන් කල හැකියි. එවන් දෑ පුරුදු දෙනෙතට මේ දසුන අමුත්තක් එක් කලේ නිරායාසයෙන්.

අතරමගදී පියෙක් සහ තරුණ දියණියක් දුම්රියට ගොඩ වැදුනා. වයස හතක් පමණ වන පිරිමි දරුවකුත් ඔහුගේ මවත් හිඳගෙන සිටි තැනට ගිය පියා, එහි ඇති ඉතිරි ඉඩකඩේ තම තරුණ දියණිය හිඳුවා ගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ තරුණ මව ඊට කැමැත්තක් දැක්වුවේ නැහැ. පසුව පියා තම දියණිය බලහත්කාරයෙන් වගේ එහි හිඳුවා තැබුවා. සිදුවීමේ වරද එක පක්ෂයකට පවරන්නට මම හදිස්සි වුනේ නැහැ, නමුත් ගෙදර ඇවිත් මම මේ සිදුවීම අක්කාට කිවුවා.

ඇය ගමන් කරන විටක දැක ඇත්තේ මීට වඩා බොහොම දුක හිතෙන දෙයක්. වයස දොළහක පමණ සිහින් ගැහැණු ළමුන් දෙදෙනෙකු යාබද අසුන් දෙකක ඉඳගෙන සිටියාලු. අතරමගින් ගොඩනැගුනු පියෙක්, තමන්ගේ වයස පහක් පමණ වුනු පුංචි පුතාව මේ අක්කලා දෙන්නා මැද ඇති හිස් ඉඩෙහි හිඳුවා තැබුවා ලු. තමන් මැදින් අසුන් ගත් කුඩා මල්ලියා නිසා සතුටු වූ මේ දැරියන් දෙදෙනා එහා මෙහා වී ඉඩ ලබා දුන්නා ලු. පිටුපස ඉඳගෙන සිටි මේ දැරියන්ගේ මව මේ බව දැකල ඉස්සරහට එබුනාලු.

“ඔය මොකද ඔය දෙන්න ඔතන අපහසුවෙන් වාඩි වෙලා ඉන්නෙ? හොඳට ඉඩ අරගෙන වාඩි වෙන්න” කියා කිවුවාලු.

*************** 

ඉතා කුඩා දරුවෙකු සමග තමන්ගේ ආසනයේ නිකම් තිබෙන ඉතුරු ඉඩ ටික බෙදා හදා ගන්නට දරුවන්ට කියා දෙන්නට අකමැති දෙමවුපියන්, තමන් වයසට ගිය පසු ඒ දරුවන් විවේක කාලය තමන් සමග බෙදා ගනීවි යැයි බලාපොරොත්තු වන්නේ ඇයි?

වරප්‍රසාදයක් ලෙස තමන්ට ලැබෙන දුම්රිය ටිකට් පතෙන් තමන්ට ඕන හැටියට පහසුවෙන් ගමන් ගන්නට පුළුවන් බව හිතන පුරවැසියන් සිටින රටක් වශයෙන් අපිට, විධායක බලතල අයුතු ලෙස භාවිතා නොකරන පාලකයෙක් බලාපොරොත්තු විය හැකිද?


තමන්ගේ දරුවන් සැප පහසුවට ගමන් ගනිද්දී, අනිත් අයගේ දරුවන් තැලී පොඩි වී හිටගෙන යා යුතු යැයි හිතන පුරවැසියන් පිරිසක් සිටින රටක අපිට, බේබිලා කාර් රේස් නොපදින අනාගතයක් උදා වේ යැයි බලාපොරොත්තු විය හැකිද?

*************** 

හෙට උදේ මම යලිත් දුම්රියේ යනව. ඊයේට වඩා යහපත් දිනක් හෙට උදා වේවා!

*************** 

කොහොම වුනත් පාසල් නිවාඩු කාලේ අවසන් වෙනකම් සිකුරාද හවස බස් එකේ ගෙදර එන එක ඇඟට ගුණයි වගේ..










November 06, 2014

එකුන් විසි සියවසක... මතක...


කලින් පොස්ටුව බ්ලොග් රෝල් වල අප්ඩේට් වී නොමැති නිසා මෙතන ක්ලික් කරන්න.

ස්තුතියි

එකුන් විසි සියවසක... මතක...


“ඔය කිවුවට, පිරිමි හැමෝම ඔහොම තමයි, හරිම වල්”

යම් කිසිවෙකු අතින් ලියවුනු කවියක් ගැන තරහෙන් එහෙම කිවුවේ මගේ මිතුරියක්.. ඇත්තටම ඇය ඉකි බිඳිමින් උන්නා...

“හ්ම්ම්ම්..... ඔය කිවුවට, අපේ තාත්ත කොයි තරම් හොඳයිද, ඒ වගේ පිරිමි ටික දෙනෙක් හරි ඇති”

මම එහෙම හිතුවට, කිවුවේ නැහැ, මොකද ඉකි බිඳිමින් ඉන්න ඇයව තවත් අප්සට් කරන්න මට උවමනාවක් තිබුනේ නැහැ. ඒ වෙනුවට මම මෙහෙම කිවුව.

“හැමෝම දන්නවනේ ඔයා කවුද කියල. ඔය කවි වලින් පේන්නේ එයාලගේ හිත් වල හැටි. මොලයක් තියන මිනිස්සු ඒක තේරුම් ගනීවි. දුක් වෙන්න එපා, ඔය වගේ තුට්ටු දෙකේ දේවල් වලට ඔයාගේ කඳුළු නාස්ති කරන්න එපා”

............................................................................................................


ටික දවසක් ගත වුනා... එක රාත්‍රියක මගේ දුරකතනයට මැසේජ් එකක් ආව.. මගේ බැචෙක්. සහෝදරයෙක්.. ඇත්තටම ඔහුට මිතුරෙක් නොකිය, සහෝදරයෙක් කියන්න හේතු උනේ ඔහු ඇත්තටම මට සහෝදරයෙක් වීම. මගේ පියාණන් හදිසියේ අපි හැර ගිහිපු වෙලාවෙ අවමංගල්‍ය කටයුතු වලින් පටන් ගත්තම, දානමය කටයුතු, ඉන් පසුව මගේ ජීවිතයේ දුෂ්කර අවස්තාවන් වලදි ඔහු මා සමග හිටිය හැම විටකම...

“නින්ද යන්නෙ නැහැ බන්...”

“ඒ මොකද”

 එහෙම පටන් ගනිපු දෙබස ටිකෙන් ටික සෙක්ස් රිලේටඩ් වෙන්න පටන් ගත්ත, මම පිළිතුරු දීමෙන් වැලකුනා,  ඔහු දිගින් දිගටම මැසේජ් එවන නිසා මම දුරකථනය සයිලන්ට් කළා. පසුව මම නින්දට වැටුන..

මිතුරෙක් නැති කරගන්න වත්, හතුරෙක් ඇති කරගන්න වත් මට උවමනාවක් තිබුනේ නැහැ, කාලකන්නි නිහැඬියාව බිඳිමින් පහුවදා මම ඔහුට මෙහෙම ලියල ඇරිය.

“මට වගේම ඔයාටත් වයස 25ක්. තනිකඩ ඔයාට හැඟීම් දැනීම් ඇති. හිත කරදර කරගන්න එපා. ඊයේ සිදු වුනු දේ මම අමතක කරනවා.”

“බොහොම ස්තුතියි, මට උඹේ මූන බලන්න බැරුව හිටියේ” පිළිතුරක් ලැබී තිබුණ.

............................................................................................................


මේ සිදුවීම් දෙකටම දැන් අවුරුද්දක් විතර ඇති. ඇත්තටම පිරිමි හැමෝම වල් ද කියල හොයන්න කල්පනා කරන්න විවේක කාලයක් ලැබුනේ නැහැ.. කැම්පස් එකෙන් අවුට් වෙලා තාවකාලික උපදේශක වරියක් විදියට මම බිසී උනා. සෙමෙස්ටර් හතරක සිසුන්ට ප්‍රැක්ටිකල් කරන්න සතියේ දවස් පහේම, වරු දහයේම කාල සටහන පිරී ගියා. ඒ අතරේ අනිත් අය වල් ද කියල හොයන එක පැත්තකින් තියල, මම මගේ ජීවිතය වෙනුවෙන් කැප වුනා...

එක රාත්‍රියක මගේ දුරකතනයට මැසේජ් එකක් එන්නේ ඔය අතරේදී.. සයිට් එන්ජිනියර් විදියට වැඩට ගිහිපු ඔහුගෙන්ම...

“නින්ද යන්නෙ නැහැ බන්...”

“ඒ මොකද”

 එහෙම පටන් ගනිපු දෙබස ටිකෙන් ටික සෙක්ස් රිලේටඩ් වෙන්න පටන් ගත්ත, මම පිළිතුරු දීමෙන් වැලකුනා,  ඔහු දිගින් දිගටම මැසේජ් එවන නිසා මම දුරකථනය සයිලන්ට් කළා. පසුව ඔහු කෝල් කරන්න ගත්ත. මම දුරකථනය ක්‍රියා විරහිත කළා...

මේ සිදුවීම මේ ආකාරයටම දවස් කිහිපයක් සිදු වුනා. කාටවත් කටක් ඇරල මේ බව කියන්න පුළුවන් කමක් තිබුනේ නැත්තේ, මට ඩේලි බේසිස් මුණගැහෙන විශ්ව විද්‍යාලයේ මගේ මිතුරියන් හැමෝම, ඔහුගේත් මිතුරියන් වීම.

මොනව උනත් ඔහු මට දුකේදී උදව් කල සහෝදරයෙක්.. නමුත් මේ සිදුවීම කාලයත් සමග මගේ සිත බෙහෙවින් වෙහෙසට පත් කළා.. පියෙකුගේත් පෙම්වතෙකුගේත් ආරක්ෂාව රැකවරණය අහිමි වුනු, ඔහුට කිසිම වරදක් කරල නැති, කොහෙවත් ඉන්න මම ගැන, එහෙම දෙයක් හිතන්න ඔහු හිත හදාගත්තේ කොහොමද...

 පියාණන් අහිමි වූ පසු, මගේ ජීවිතයේ තිබූ රැකවරණය බෙහෙවින් නැති වී ගියා. අම්මා නිතර අසනීප වෙන්නට පටන් ගත්ත. විවාහක අක්කාත් ඇයගේ සැමියාත්, බලෙන්ම මම ගැන හොයන්න බලන්න පටන් ගත්තත්, ඔවුන්ට කරදරයක් බරක් වෙන්නට මට හිතුනේ නැහැ. ඒ නිසා මම බලෙන්ම වගේ ඔවුන්ගේ දැඩි සොයා බැලීම් හමුවේ නිහඬව හිටිය. මම නිවසින් බැහැරව ඉන්නකොට අම්මව ඉතා හොඳින් බලා කියා ගන්න ඇයට, මගේ ජීවිතය බරක් කරගන්නට මම ඉඩ දෙන්නේ කොහොමද...

මම, මගේ ආරක්ෂාව සහ යහපත ගැන සිත යොමු කළා... මේ නිසාමද මන්ද රාත්‍රී 10න් පමණ පසු, මම ගෙදරින් ලබා දෙන දුරකථන ඇමතුම් වලට ඇරෙන්නට අනිත් ඒවාට පිළිතුරු දෙන්නේ නැහැ. ඒ මගේ හැටි. ඇත්තටම මම ඔහුව බ්ලොක් කලේ නැත්තෙ, ඔහු මට කරදර වලදී පිහිට වී තිබුණු සමීප මිතුරෙක් නිසා..

............................................................................................................

මේ වෙනකොට ඔහු මට මහ රෑ ජාමෙට කෝල් කරන එකත්, මම දුරකථනය නිහඬ කර නිදාගන්න එකත් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබුණ. 

ඒත් පිරිමි ඇත්තටම වල් ද කියා හොයන්නට නම් මට විවේකයක් තිබුනේ නැහැ. 

ඔහු නරක දෙයකට කතා කලාද නැද්ද කියල මම දැනගෙන නොහිටියත්, පහු වෙනකොට, ඇත්තටම මම පිළිතුරු දීමෙන් වැළකී සිටියෙ මට බයක් දැනෙමින් තිබුණු නිසා. කොහොම උනත්, මේ හැම වෙලාවකම, මේ පිළිබඳව කියන්නටත් ආරක්ෂාව පතන්නටත් කවුරුවත් නැති එක ගැන මට දුකක් දැනෙමින් තිබුණ.

යලිත් මහ රෑක දුරකථනය නාද වෙන්නේ ඔය අතරේදී. ආන්සර් නොකරපු නිසා ඔහු මැසේජ් එකක් එවල තිබුණ.

“මේ මැසේජ් එක දැකපු ගමන් මට කෝල් එකක් ගනින්”

හ්ම්ම්ම්..... මම කෝල් බැක් කලේ නැහැ. ඔහු බොරු කියනව වෙන්න බැරිද?

මම රාත්‍රියේ කතා කලේ නැහැ, නමුත් පහුවදා දවල් වරුවේ මම  ඔහුට ඇමතුමක් ගත්ත. මම ගැන වැරදි දේවල් නොසිතන ලෙසත්, රාත්‍රී කාලයේ දුරකථන ඇමතුම් නොගන්නා ලෙසත් ඉල්ලා සිටින්නට සිතුව.

කොකාට වාරයක් එනව නම් තිත්තයාටත් වාරයක් එනවලු. මෙවර ඔහු ආන්සර් කලේ නැහැ.

“මම උඹත් එක්ක තරහයි” ඔහු එහෙම කියල එවල තිබුණ.

හ්ම්ම්ම්..... ඇති යන්තම්.. ආයේ රෑට කෝල් කරන එකක් නැහැ එහෙනම්...

මම විශ්ව විද්‍යාලයේ සේවය කරමින් ඉන්නේ, PhD එකක් හැදෑරීමේ අරමුණින් ශිෂ්‍යත්වයක් ලැබෙන කම් කියා ඔහු දන්නව. ඒ නිසාමද මන්ද, පසුව ඔහු මෙහෙම එවා තිබුණ.


“උඹ ඔය තරම් ඔලුව උදුම්මගෙන ඉන්නෙ, උඹ PhD එක ඉවර කරලද”

............................................................................................................

“හ්ම්ම්ම්..... ඔය කිවුවට, අපේ තාත්ත කොයි තරම් හොඳයිද, ඒ වගේ පිරිමි ටික දෙනෙක් හරි ඇති”















August 18, 2014

යකා දත් ගහපු හැටි

රවී තුමාගෙ බ්ලොග් පෝස්ට් එකට දාපු කොමෙන්ටුවට පිළිතුරු විදියට ඉල්ලීම් කීපයක්ම ලැබිල තිබුණ යකා දත් ගහපු හැටි කියන්න කියල. ඉතින් කියල දාන්න හිතුව.

මේක ඇත්තටම මම පුංචි කාලෙ තාත්ත මට කියල දීපු කතාවක්. කාලයේ වැලි තලාවෙන් මතකය වැහිල ගිහිල්ල, උඩින් පල්ලෙන් විතරයි මතක. ඒ මදිවට අමතක වුණු ටික අහගන්න තාත්තත් ළඟ නැහැ.

කාලයේ වැලි තලාවෙන් වැහිල ගිහිපු නැති ඉතුරු බිතුරු ටික එකතු කරල, මදි පාඩු ටික අතිනුත් දාල මේ ලියන්නෙ. ජන කතාවකට වඩා මේක දැන් ප්‍රබන්ධයක් වේගෙන එන්නෙ. ඇත්ත ජන කතාව හොඳින් මතක කෙනෙක් ඉන්නවා නම්, කියවන්නන්ගේ හිත සුව පිණිස පහළ කමෙන්ට් කරන්න, ඇනෝ කෙනෙක් ලෙස හෝ. ඉතින් ඔන්න කතාව.


******************************

ගමරාල කෙනෙකුත් ගම මහගෙ කෙනෙකුත් එක්තරා ලස්සන ගමක ජීවත් වුණා. මේ ගම මහගෙ වියන රෙදිපිළි ගමරාල විසින් විකුණලා, ඒ ලැබෙන ආදායමෙන් මේ දෙන්න කාටවත් අත නොපා හොඳට කාල ඇඳල හිටිය.

මේ ගමරාලගෙ දත් බොල්ලෑ වෙලා ඉස්සරහට ඇවිත් තිබුණ, ඒ නිසාම වගේ ගමරාල ටිකක් විරූපියි. හැබැයි මේ ගමරාල පිනට දහමට ලැදි, බොහොම ගුණ යහපත් මනුස්සය. ගම මහගේ නම් බොහොම සිරියාවන්තයි, ඒ නිසාම ආඩම්බරයි. කිසිම කෙනෙකුට වැඩි උදවුවක් නැහැ. හැබැයි මේ දෙන්න දෙමහල්ලො බොහොම සමගියෙන් සමාදානයෙන් ජීවත් වුණා.


පින්තූරය http://www.123rf.com/stock-photo/old_man_cartoon.html වෙතින්

ඔන්න එක දවසක් ගමරාල රෙදි වෙළඳාමෙ යනකොට, අතරමගදි බොහොම දුප්පත් මනුස්සයෙක් මුණගැහුණ. මේ මනුස්සය කොයි තරම් නම් දුප්පත්ද කියනව නම්, ඇඳගෙන හිටපු ඇඳුම් ඉරිල ගිහිල්ල. ඇඳුම් ගැලපෙන්නේ ඇඳගෙන ඉන්න නෙවෙයි, ඒව හොඳටම දිරපු රෙදි පාන්කඩ කඩමාලු.

මේ දුප්පත් මනුස්සයව දැකපු ගමරාළගේ හිත බොහොම උණු උණා. ගමරාල විකුණන්න අරගෙන යමින් හිටි හොඳම ඇඳුම් කට්ටලය මේ දුගියාට තිළිණ කළා. ඔහු බොහොම ස්තුති පූර්වකව මේ ඇඳුම් කට්ටලය භාර ගත්තා. කරපු පරිත්‍යාගය ගැන හරිම සතුටින්, පින්වත් සිතුවිලි වලින් හිත පුරවගෙන, ගමරාල හවස ගෙදර ගියා.

දවස් ගණනක් පුරා මහන්සි වෙලා, හොඳ මිලක් බලාපොරොත්තුවෙන් තමන් නිමකළ ඇඳුම් කට්ටලය, ගමරාල විසින් දුගියෙකුට නොමිලේම පරිත්‍යාග කර ඇති බව දැනගත් ගමහාමිනේට හොඳටම කේන්ති ගියා. ඇයට කොතරම් නම් කේන්ති ගියාද කියතොත්, ගමරාළව ගෙදරින් එළවලාම දැම්මා.

ගෙදරින් පිටමන් වෙලා ගමරාල ඔළුව හැරුණු අතේ ඇවිද්දා. ඔහොම ඇවිදගෙන යනකොට දන්නෙම නැතුව රෑ වුණා. ගමරාලට ළඟපාත නවතින්න තැනක් තිබුණෙත් නැහැ. කොහොමහරි නවාතැනක් හොයාගන්න අදහසින් ගමරාල හඳ එළියෙන් හෙමින් හෙමින් ගමන් ගත්ත. මෙහෙම ඇවිදිනකොට, එක පාරටම පාර මැද්දෙන් ලොකු ගලක්, වෙනද තිබුණෙ නැති විදියෙ ලොකු ගලක් මතුවෙලා තියනව දුර්වල හඳ එළියෙන් ගමරාල දැක්ක.

පාර හරහට තියන ගල් වල ඔළුව ගහගන්න වැඩි කැමැත්තක් නැති ගමරාල, එළිය වැටෙනකම් නිදාගෙන පහුවදා ගමනේ ඉතුරු ටික යන්න හිතාගෙන ළඟ පාත තිබුණු අම්බලමක නිදා ගත්තා. ගමරාල දන්නේ නැති උනාට, මේ අම්බලම තියන ප්‍රදේශයට අරක් ගනිපු යකෙක් හිටිය. මේ යකාගේ ආහාර පුරුදු ටිකක් අමුතුයි. තද නින්දේ ඉන්න මිනිස්සුන්ගේ කටේ තියන දත් ගලවගෙන, දත් වල තියන ඉඳුල් සූප්පු කරල කාල, දත් නැවත සවි කරල සද්ද නැතුව යන එක තමයි යකාගේ ආහාර පිළිබඳ ප්‍රතිපත්තිය.

දවස පුරාම ඇවිදපු මහන්සියට ගමරාලට කටත් ඇරගෙන හොඳටම නින්ද ගියා. රෑ වෙනකොට යකා අම්බලමට ආවා. සුපුරුදු පරිදි යකා ආහාර ගන්න පටන් ගත්තා. අරහෙන් මෙහෙන් ඉස්සරහට ඇවිත් තිබුණු, ගමරාලගෙ කහ ගැහිච්ච බොල්ලෑ දත් ටික ගලවගෙන, දත් වල තිබුණු ඉඳුල් සූප්පු කරල කාපු යකා නැවත දත් ටික සවි කරල යන්න ගියා. දත් ටික නැවත සවි කරනකොට, යකා කොච්චර පිළිවෙළකට දත් ටික සවි කළාද කියනව නම්, ගමරාළගේ බොල්ලෑ ගතිය නැති වෙලා ගියා. තවදුරටත් ඉඳුල් ගතිය නැති නිසා දත් සුදුම සුදු පාට වුණා.

පහුවෙනිද උදේ අවදි වුණාම ගමරාලට වෙනසක් දැනුණ. ඒත් වෙනස මොකක්ද කියල බලන්න ගමරාල ළඟ කණ්ණාඩියක් තිබුණේ නැහැ. කලින්දා රෑ පාර හරහා තිබුණු කළු ගල, අලියෙක් බව ගමරාලට දැනගන්න පුළුවන් වුණේ, වංගෙඩි වගේ අඩි සලකුණු දැක්කාමයි. අලි ගැවසෙන පෙදෙසක නිකරුණේ ගැවසිලා මැරුම් කනවට වඩා, ගම හාමිනේ ගෙන් බැණුම් අහන එක සැපයි කියල තීරණය කරපු ගමරාල, ආපහු ගෙදර ගියා.
 
පින්තූරය http://www.123rf.com/search.php?word=elephant+cartoon&imgtype=0&t_word=&t_lang=en&oriSearch=elephant වෙතින්



පිළිවෙලකට තියෙන, ලස්සන සුදු පාට දත් එක්ක ගෙදර ආපු ගමරාල දැක්කම ගම හාමිනේට හරිම පුදුමයි. තමන් අම්බලමේ නිදාගෙන නැගිටිනකොට වෙනසක් දැනුණු බවත්, වෙන කිසිම අමුත්තක් සිදු නොවූ බවත් ගමරාල කිවුවා. මේක අහපු ගමහාමිනේටත් මේ ගමන යන්න ආශා හිතුණ. ගමහාමිනේගේ දත් වල කිසිම ඇදයක් පලුද්දක් නැති බව ගමරාල යළි යළිත් කියද්දීත්, ගමහාමිනේ හිතුවක්කාර ලෙස ගමන යන්නපිටත් වුණා.

හවස් වෙනකොට ගමහාමිනේ අම්බලම ළඟට ආව. එදත් කලින් දවස වගේම මහා සද්දන්ත ඇත් රාජයා පාර හරහා බුදි. ගම හාමිනේත් ගමන් මහන්සියට සුපුරුදු පරිදි නින්දට වැටුණ. යකාත් සුපුරුදු පරිදි ඇවිත්, ගම හාමිනේ ගේ දත් ටික ගලවල අතට අරන් එකින් එක සූප්පු කරන්න පටන් ගත්ත.

ඔය අතරෙ මොකක්දෝ අහේතුවකට ඇත් රාජයා අවදි වුණා. අවදි වෙලා හෙමි හෙමින් ඇවිදින්න පටන් ගත්තා. ඇත් රාජයා අවදි වෙච්ච බව දැනගෙන යකාට හොඳටම බය හිතුණ. යකා බය වෙලා දුවන්න ලැස්ති වෙලා, කලබලෙන් දත් ටික නැවත ගම හාමිනේගේ කටට දමා ගැසුව. එදාඉඳන් ගම හාමිනේ විරූපී කෙනෙක් වුණා. බොරු ආඩම්බරකම් නැති වෙලා ගිහින්, අනිත් අයට උදවු කරන හොඳ කෙනෙක් බවට ගම හාමිනේ වෙනස් වුණා.







August 11, 2014

You leave me breathless

ඉර පායාගෙන එනව, සීතල හුළඟ හමනව, චිත්‍රයක් වගේ නිශ්චලව තියෙන නගරය මැදින්, වේගෙන් වේගෙන් දුවගෙන වගේ ඇවිදගෙන මම ස්ටේසම දිහාවට යනව.

සෙනග මැද්දෙන් පෝලිමේ ගිහින් ටිකට් එක අරගෙන, පොරකාල කෝච්චියට නගින හැමෝම නැගල ඉවර වෙනකම් ඉඳල අන්තිමටම කෝච්චියට නගින මට, හැමදාම වගේ අදත් සීට් එකක් හොයාගන්න පුළුවන් උනා.

"මේ ගාල්ල දුම්රිය ස්ථානයයි. පළමුවන වේදිකාවේ නවතා ඇති ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රිය පෙරවරු හතයි විසිපහට කොළඹ කොටුව සහ මරදාන බලා ධාවනය වන බව මගීන් කරුණාවෙන් සලකන්න. දුම්රිය නවත්වන්නේ හික්කඩුව, අම්බලන්ගොඩ, බෙන්තොට, අලුත්ගම, දකුණු කළුතර, පානදුර, මොරටුව, ගල්කිස්ස, කොළඹ කොටුව සහ මරදාන. තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් දෙවන පන්තියේ ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් මගීන් එසේ කිරීමෙන් වලකින්න"

කෝච්චිය ගාල්ලෙන් පිටත් වුනා.. සෙනග පිරුණු දුම්රිය මැදිරියට කුඩා දරුවන් දෙදෙනෙකු සමග පැමිණි විදේශික කාන්තාවක් මැසිවිලි කියන්නට පටන් ගත්තා.. සිත වෙහෙස කරවන ඝෝෂාව සහ කන්දොස්කිරියාවන් මැදින් දුම්රිය නොසැලී ටික දුරක් ඉදිරියට යනකොට, මට ඉස්සරහින් හිටගෙන හිටි තරුණ යුවලක් මගේ නෙතු පැහැර ගත්තා.

කලක් පෙම්වතියකව සිටි මට, තරුණ ජෝඩු දුටු විට ඉරිසියාවෙන් ඔවුන් දෙස බලා පවු පුරවගන්නට හිතුනේ නැහැ. ඒ නිසා ස්වභාවයෙන්ම මම ජෝඩු දිහා බලන්නේ නැහැ. නමුත් මේ දෙදෙනා කොතරම් ආදරෙන් වෙලී සිටියාද යත්, මගේ නෙතු මට හොරා එහි නැවතුනා.


පින්තූරය http://ptitevalentine-be.blogspot.com/2013/01/lovely-hug-couple.html වෙතින්

සෙනඟ පිරුණු දුම්රියේ වගක් වත් නැතිව හිටගෙන, තම පෙම්වතාගේ පපුවට ඔලුව වාරු කරගෙන ඇය නිදි. සෙනඟ පිරුණු දුම්රියේ වගක් වත් නැතිව හිටගෙන, සැප නින්දක පසු වන තම පෙම්වතිය තුරුළු කරගෙන ඔහු අවදියෙන්, ඇයව ආරක්ෂා කරනව.

තනිකඩ මගෙ හිතට ඉරිසියා හිතේවි කියා මට හිතුනත්, පුදුමයකට වගේ එහෙම උනේ නැහැ. ඒ සොඳුරු දසුනින් හිත පුරවගෙන, ගීතයක් අසන්නට මම දෙනෙත් පියා ගත්ත.

If our love was a fairy tale
I would charge in and rescue you
On a yacht baby we would sail
To an island where we'd say I do

And if we had babies they would look like you
It'd be so beautiful if that came true
You don't even know how very special you are

You leave me breathless
You're everything good in my life
You leave me breathless
I still can't believe that you're mine
You just walked out of one of my dreams
So beautiful you're leaving me
Breathless

And if our love was a story book
We would meet on the very first page
The last chapter would be about
How I'm thankful for the life we've made

And if we had babies they would have your eyes
I would fall deeper watching you give life
You don't even know how very special you are

You leave me breathless
You're everything good in my life
You leave me breathless
I still can't believe that you're mine
You just walked out of one of my dreams
So beautiful you're leaving me

You must have been sent from heaven to earth to change me
You're like an angel
The thing that I feel is stronger than love believe me
You're something special
I only hope that I'll one day deserve what you've given me
But all I can do is try
Every day of my life

You leave me breathless
You're everything good in my life
You leave me breathless
I still can't believe that you're mine
You just walked out of one of my dreams
So beautiful you're leaving me
Breathless





පින්තූරය http://www.landscapinggallery.info/sweet-cartoon-couples-images/sweet-cartoon-couples-images.html වෙතින්