12.08.2014

පාසල් නිවාඩු කාලේ දුම්රියේ ගමන් බිමන් යනවාද

ගොඩක් සිකුරාදාවන්ට මම ගෙදර එන්නේ දුම්රියේ. සිකුරාදා හවස තුන් වන පන්තියේ මැදිරි තුලට ඇතුළු වෙන්න අපහසු තරමට පා පුවරුවේ තදබදය නිසා මම දෙවන පන්තියේ තමයි ගමන් කරන්නේ. පහුගිය සිකුරාදා වෙනදා නැති තරම් සෙනගක් දෙවැනි පන්තියේ හිටපු නිසා ඒ ඇයි කියන කුතුහලයෙන් වටපිට බැලුවම, වෙනදා යන එන දිනපතා කාර්යාල මගීන් වෙනුවට පාසල් වයසේ දරුවන් සමග ලොකු බෑග් මලු අරගෙන ගමන් කරන මගී පවුල් කිහිපයක්ම දැකගන්නට ලැබුණ. වසර අවසාන විභාග අවසානයත්, පාසල් නිවාඩුව ආරම්භයත් අතර කාලයේ පාසල් වල ඉගැන්වීම් කටයුතු කෙරෙන්නේ නැති නිසා මේ දරු පවුල් ගමන් බිමන් ගිහින් වගෙයි.. බොහොම හොඳයි.


පින්තූරය http://locolanka.blogspot.com/2014/02/s12.html වෙතින්

වෙනදා අතරමගක් යනකොට දුම්රියෙන් බැස යන කාර්යාල ජනයා වෙනුවට අසුන්ගෙන සිටියේ, ගමනාන්තය දක්වා ගමන් කරන මගී පවුල් නිසා අසුන් ගන්නා අදහස අත් ඇරගෙන මම තදබදය අඩු දුම්රිය මැදිරියකට වෙලා ගීතයක් රස විඳිමින් හිටගෙන උන්නා. මම දුම්රියේත් බස් රියේත් බෙහෙවින් ගමන් කර හොඳට පුරුදු කෙනෙක්. ඒ නිසා හිටගෙන ගමන් කරන එක මට හොඳට හුරු පුරුදුයි. ගීතයක් අහගෙන ඔහේ යන මම, සීට් වලට පොරකන කෙනෙක් නොවෙයි...

*************** 

හිටගෙන යන ගමන් මම හෙමිහිට වටපිට බැලුව. අවුරුදු පහක් පමණ වයසේ පසුවන කුඩා දරුවනුත් තනි අසුනක හිඳගෙන යන අවස්ථා කිහිපයක්ම මේ අතරේ දකින්නට ලැබුණ. වසර අවසානයේ මෙසේ ගමනේ යෙදෙන මේ මගී පවුල් බොහොමයක් “වොරන්ට්” අරගෙන ගමන් කරන අය. දිගු දුරක් ගමන් ගන්නා විට කුඩා දරුවෙක් ඔඩොක්කුවේ තබාගෙන යන්නට හෝ, දරුවාව තලා දමමින් යන්තමින් අයිනක හිඳුවාගෙන යන්නට බැහැ. නමුත් මේ විදියට කුඩා දරුවන්ටත් වෙනම ෆුල් ටිකට් පතක් ගන්නේ ඒ පහසුකම නොමිලේ ලැබෙන නිසාම වෙන්නට බැරිද?

සාමාන්‍ය දවසට දෙවන පන්තියේ ගමන් කරන බොහෝ අය මම වගේ ටිකට් පත තමන්ගේ මුදලින් මිලදී ගන්නා අය. නමුත් බොහෝ දිනවල  "අපි සල්ලි දීල ටිකට් ගත්තේ අපට ඕන හැටියට යන්න" කියල නොහිත, කාර්යාල මගීන් දෙවන පන්තියේ අසුන් දෙකක් අතර ඇති අත්වාරුව ඉහලට ඔසවා තබා, තුන් දෙනෙකු ඉඳගෙන යන අවස්ථා දැකිය හැකියි. හැබැයි එහෙම යන්නෙත් දන්නා අඳුරන මිතුරු පිරිස් පමණයි. ඒ වගේම ඔවුන් දුම්රියෙන් බසින්නේ දන්නා හඳුනන කෙනෙකුටම අසුන ලබාදීමෙන් පසුවයි. ඒ නිසා විශ්ව විද්‍යාලයේ සේවය කරන, සති අන්තයේ පමණක් ගෙදර එන, අතරමගින් දුම්රියට නගින, දුම්රියේ කාර්යාල මිතුරන් නැති මට එලෙසින් හිඳගෙන යන්නට ලැබෙන්නේ නැහැ. නමුත් එලෙසින් සීට් දෙකක තුන් දෙනෙකු හිඳගෙන යාම ගැන මගේ හිතේ පැහැදීමක් තිබුණ. මොකද ඒ නිසා හිටගෙන යන අයගේ ඝනත්වය අඩු වෙලා අපි වගේ අයට පහසුවෙන් ගමන් කල හැකියි. එවන් දෑ පුරුදු දෙනෙතට මේ දසුන අමුත්තක් එක් කලේ නිරායාසයෙන්.

අතරමගදී පියෙක් සහ තරුණ දියණියක් දුම්රියට ගොඩ වැදුනා. වයස හතක් පමණ වන පිරිමි දරුවකුත් ඔහුගේ මවත් හිඳගෙන සිටි තැනට ගිය පියා, එහි ඇති ඉතිරි ඉඩකඩේ තම තරුණ දියණිය හිඳුවා ගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ තරුණ මව ඊට කැමැත්තක් දැක්වුවේ නැහැ. පසුව පියා තම දියණිය බලහත්කාරයෙන් වගේ එහි හිඳුවා තැබුවා. සිදුවීමේ වරද එක පක්ෂයකට පවරන්නට මම හදිස්සි වුනේ නැහැ, නමුත් ගෙදර ඇවිත් මම මේ සිදුවීම අක්කාට කිවුවා.

ඇය ගමන් කරන විටක දැක ඇත්තේ මීට වඩා බොහොම දුක හිතෙන දෙයක්. වයස දොළහක පමණ සිහින් ගැහැණු ළමුන් දෙදෙනෙකු යාබද අසුන් දෙකක ඉඳගෙන සිටියාලු. අතරමගින් ගොඩනැගුනු පියෙක්, තමන්ගේ වයස පහක් පමණ වුනු පුංචි පුතාව මේ අක්කලා දෙන්නා මැද ඇති හිස් ඉඩෙහි හිඳුවා තැබුවා ලු. තමන් මැදින් අසුන් ගත් කුඩා මල්ලියා නිසා සතුටු වූ මේ දැරියන් දෙදෙනා එහා මෙහා වී ඉඩ ලබා දුන්නා ලු. පිටුපස ඉඳගෙන සිටි මේ දැරියන්ගේ මව මේ බව දැකල ඉස්සරහට එබුනාලු.

“ඔය මොකද ඔය දෙන්න ඔතන අපහසුවෙන් වාඩි වෙලා ඉන්නෙ? හොඳට ඉඩ අරගෙන වාඩි වෙන්න” කියා කිවුවාලු.

*************** 

ඉතා කුඩා දරුවෙකු සමග තමන්ගේ ආසනයේ නිකම් තිබෙන ඉතුරු ඉඩ ටික බෙදා හදා ගන්නට දරුවන්ට කියා දෙන්නට අකමැති දෙමවුපියන්, තමන් වයසට ගිය පසු ඒ දරුවන් විවේක කාලය තමන් සමග බෙදා ගනීවි යැයි බලාපොරොත්තු වන්නේ ඇයි?

වරප්‍රසාදයක් ලෙස තමන්ට ලැබෙන දුම්රිය ටිකට් පතෙන් තමන්ට ඕන හැටියට පහසුවෙන් ගමන් ගන්නට පුළුවන් බව හිතන පුරවැසියන් සිටින රටක් වශයෙන් අපිට, විධායක බලතල අයුතු ලෙස භාවිතා නොකරන පාලකයෙක් බලාපොරොත්තු විය හැකිද?


තමන්ගේ දරුවන් සැප පහසුවට ගමන් ගනිද්දී, අනිත් අයගේ දරුවන් තැලී පොඩි වී හිටගෙන යා යුතු යැයි හිතන පුරවැසියන් පිරිසක් සිටින රටක අපිට, බේබිලා කාර් රේස් නොපදින අනාගතයක් උදා වේ යැයි බලාපොරොත්තු විය හැකිද?

*************** 

හෙට උදේ මම යලිත් දුම්රියේ යනව. ඊයේට වඩා යහපත් දිනක් හෙට උදා වේවා!

*************** 

කොහොම වුනත් පාසල් නිවාඩු කාලේ අවසන් වෙනකම් සිකුරාද හවස බස් එකේ ගෙදර එන එක ඇඟට ගුණයි වගේ..










6 comments:

  1. රටේ ඉද්දි නං වොරන්ට් එක ලියාගෙන එහෙ මෙහෙ ගියා.එහෙම ගිය කාලයක් දැන් මතක නෑ.එමාගෙ කතාව කියවල සිතින් අතීතෙට ගියා.

    ReplyDelete
  2. හෙට උදේ මම යලිත් දුම්රියේ යනව. ඊයේට වඩා යහපත් දිනක් හෙට උදා වේවා!///
    කෝච්චයට වගේම බස් එකටත් අපේ රටටත් මේ කියල තියෙන දේ කවද වේවිද මං දන්නෙ නෑ... හැබැයි එකක් කියන්න තේරෙනව මේ යන විදියට ගියොත්
    1 ඉක්මණටම වැඩිහිටි නවාස ිනිස්සුන්ගෙන් පිරෙන එකත්
    2 මිනිස්සුන්නෙ ආත්මාර්තකාමී කම හන්දම තමන්ට තමන් නැතිවෙන දවසත් වැඩි ඈතක නෙවෙයි...

    ReplyDelete
  3. හැබැයි ඉතිං කාර්්‍යල නෝනා මහත්තුරැත් ඉන්නවා සිට් එක ‍ගෙදරින් ගෙනවා කියලා හිතාගෙන යන

    ReplyDelete
  4. කොච්චර අපහසු කම් මැද්දේ උනත් කාලගටවත් දරුවෝ දෙන්නා ඉන්දවන්නේ නැ , හැකි හැම විටම ගමන් ආරම්භ කරන තැනට පහසු නිදහස් ක්‍රමයකින් ගිහින් ඉදගන යන්ඩ අවස්තාවක් හදා ගන්නව ,

    ළමයෙක් අරගන ඇවිත් කාගේ හරි ආසනයකට කෙල හලන එක වරදක් කියලයි මට හිතෙන්නේ

    අපේ දරුවෝ මොකටද කාටවත් ඇණයක් , ප්ලාස්ටරයක් , වාතයක් කරන්නේ

    කොතනවත් කාටවත් කරදරයක් නොවි ජීවත් වෙන එක තමයි හොද

    ReplyDelete
  5. අනේ ඉතිං අපිටත් වොරන්ට් තිබුනා නං බොලාට හිටගෙනම යන්න වෙනවා හැමදාම. ඕං අදයි මම ආවේ. මල වදේ.. හැක්.. ජය

    ReplyDelete
    Replies
    1. බොට ටොරන්ට් තියෙනව නේද?වොරන්ට් නැති උනාට ඒ මදැයි.

      Delete

ඉවත දමන්න බැරි කතා

අන්තර්ජාලයෙන් හමු වූ, ඉංග්‍රීසියෙන් ලියවුණු, මිහිරි කතා පෙළක්, සිංහල පාඨක ඔබ සමග, මෙසේ බෙදා ගන්නෙමි. මුල් ලිපිය:  https://brightside....