August 29, 2015

නිහඬ තනි තරුව නුඹ



රථය තුල වූයේ ගත සනහන සිසිලසකි. ඔහු නිහඬය. වාමුවාව මතට වැටෙන වැහි බිංදු, සෙමෙන් පහලට ගලා එයි. පාරේ ඉදිරිපස දකුණු අයිනේ ඇති පහන් කණුවෙන් විහිදෙන සුදු එලිය, වාමුවාව පසා කරගෙන ඔහුගේ මුහුණට වැටෙයි. වැහි බිංදු වල සෙවනැලි, ඔහුගේ දෙකම්මුල් මතින් පහලට ගලා යයි.


ඒ දෙකම්මුල් මතින් වැහි බිංදු ගලා යන මග දිගේ, මගේ දෙතොල් යා කොට ඔහුව සිපගන්නට මට සිතිනි. හදිසියේම වයිපරය විසින්, වැහි බිංදු පිස දැමිණි.


“ඔයා දැන්, බහින්න”, බැරිම තැන, ඔහු හඬ අවදි කළේය.

“මට බෑ”

“බෑ කියල බෑ නේ, බහින්න. අපි දැන් මිනිත්තු පහක් විතර මෙතන. දැන් කවුරු හරි එලියට ආවොත් අපිව දකීවි”

“අනේ තව ටිකක්, මට ඉන්න ඕන”

 ඔහු රථයේ එන්ජිම නිවා දැමුවේය.


වැස්ස ඇද හැලේ. ඔහු තවම නිහඬය. මේ ගමනේ කෙලවර මා නොදනිමි. ඔහු නොබෝ දිනකින් පිටව යනු ඇත. ඉන් මතු ඔහුත්, මාත්, යලි මුණ නොගැසෙනු ඇත. නමුත් මා උමතුවෙන් මෙන් ඔහුට පෙම් කරමි.


“මොකද කතා නැත්තෙ?”

“ඔයා දැන් බහින්න, මැච් එකත් පටන් ගන්නව, තව පැය බාගෙකින් විතර”

“අනේ ඉතින්, පැය බාගෙ ඉන්නකො”

“ගිහින් වොෂ් එකක් දාගන්නත් ඕන”


හැඩි දැඩි ඔහුගේ සරාගී රුවට, මම පෙම් කලෙමි. නමුත්...,


“එහෙනම් මම යන්නම්, මැච් එක බලල කෝල් එකක් දෙන්න”

“බැරි වෙයි, ඔයා නිදාගන්න”

“ඕ කේ. ගුඩ් නයිට්”

“ගුඩ් නයිට්”


අහස මම නම්, ඔහු තනි තරුවකි. අමාවක අඳුරු අහසට, ඔහු නොපායන තරුවකි.


******************


ඔහු යන්න ගොසිනි. මම බලා හිඳිමි.



******************


නිහඬ තනි තරුව නුඹ

නොපායන මා අහස් ඉම..



පහන් තරුව වී නුඹ

සෙමෙන් පායා විට,

සෙමෙන් වියැකී යන්නට

සිදු නොවේ නුඹ හට,

ඉර නැගී එන විට..


රාත්‍රිය පමණි උරුම මට..



නිහඬ තනි තරුව නුඹ

සෙමෙන් පායා විට,

සෙමෙන් වියැකී යන්නට

සිදු නොවේ නුඹ හට,

පුර සඳ එබෙන විට..


අමාවක පමණි උරුම මට..



නිහඬ තනි තරුව නුඹ

නොපායන මා අහස් ඉම..



******************


ප. ලි.

ගොඩක් කාලෙකින් ලියන්නේ. නොලිය ඉඳල, හිරි ඇරගන්න, පිවිසුමක් විදියට ලියපු, පොඩි සටහනක් මේ.


කලින් පොස්ට් එකට ලැබුණු කොමෙන්ට් වලට උත්තර දැම්මෙත් නැහැ, කම්මැලිකමට. ඒ වෙනුවෙන් සමාවෙන්න. ආයේ එහෙම කරන්නේ නැහැ.





16 comments:

  1. ආපහු ලියන්න පටන් ගැනීම ගැන සතුටුයි.කමෙන්ට් හැම එකකටම උත්තර ලියන්න.නැත්නං කමෙන්ට් කරන අය ආපහු කමෙන්ට් කරන එකක් නෑ.එහෙම කලානං ඔබට සමාව ඉල්ලන්න වෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. උපදෙසට ස්තුතියි හැලප තුමා.
      කලකට පසුත් පැමිණ, අදහස් දැක්වුවාට ස්තුතියි.

      Delete
  2. ඈත අහස්කුස තනිතරු පායනුයේ දෝතට ගෙන තුරුළු කොට ගැන්මට නොව දුරින් හිඳ බලා සැනසෙනු පිණිසය.

    තනිවම පායා දිලෙන්න,
    තනිතරුවට ඉඩදෙනුමැන,
    දුරින් ඉඳන් බලා ඉන්න,
    තරු එළියෙන් සැනසෙනු මැන,

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....

      ස්තුතියි රවී තුමා, කොමෙන්ටුවට.

      Delete
  3. තනි තරුව ලස්සනට පේන්නේ හඳ නැති නිසාලු අහසේ.හඳ තියෙනකොට හැමෝම හඳ දිහා බලනවා මිසක් තරු දිහා බලන්නේ නැහැලු.

    ReplyDelete
    Replies
    1. //සෙමෙන් වියැකී යන්නට
      සිදු නොවේ නුඹ හට,
      පුර සඳ එබෙන විට..
      අමාවක පමණි උරුම මට..//

      මෙන්න මෙහෙම හිතුනු නිසා තමයි, තනි තරුවේ අගය වැඩි වෙන්නෙ.. නැත්නම් ඉතින් හඳක් හොයනකොට, තරු අමතක වෙනවනේ. :)

      බොහොම ස්තුතියි කොමෙන්ටුවට.

      Delete
  4. අද තමයි මානවිකාවගේ බ්ලොග් එකට ආවේ. කාලෙකින් ලියන්නේ කිවුවානේද? ඔය කම්මැලිකම හැමෝටම තියෙන දෙයක්නෙ. පෝස්ට් එකත් සම්පූර්නෙන්ම කියෙව්වා. ජය වේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. ආදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට.

      බොහොමත්ම ස්තුතියි කොමෙන්ටුවට. ඔව්, කම්මැලි නැතුව දිගටම ලියන්න ඕන..

      Delete
  5. අපිට මේක මගහැරුණාවත්ද????? කොහොම හරි කමක් නැහැ දැන් අාවානේ.... කුරුටු සින්ඩියටත් දා ගත්තා.... ජයවේවා...

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමෙන්ටුවට. සහ සින්ඩියට එකතු කරගත්තාට.
      සමා වෙන්න ඕන පිළිතුරු බඳින්නට පමා වීම ගැන.

      Delete
  6. යන අයට යන්න දීම තමා සුදුසුම මං හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...
      වැසි දැරිය පළමු වතාවට නේද මේ පැත්තේ ආවෙ? ආදරයෙන් පිලිගන්නවා.

      Delete
  7. ලස්සන කවක්
    දිගටම ලියන්න
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අගය කලාට. දිගටම ලියන්නට හිතුවා..
      ආදරයෙන් පිලිගන්නවා වර්ණ කුලකය, මේ පැත්තට.
      ජයවේවා!

      Delete
  8. ආයෙ එහ‍ෙම නවත්තන්න එපා ලියන එක ඈ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බ්ලොග් එක ලියන්න මතක් කරලා දුන්නාට. කාලෙකට පස්සේ අද පොස්ට් එකක් පබ්ලිෂ් කළා.

      Delete