January 19, 2018

කැණිමඬල - 4

පෙරවදන.

මේක මම ලියන්න ගත්තේ, කරන්න මෙලෝ වැඩක් නැතිව ඔහේ හිටපු කාලෙක. පස්සේ එහෙමම මගහැරුණත්, පටන් ගත්ත වැඩේ ඉවර කලයුතු නිසා හෙමින් ලියන්නට හිතුව. නමුත් දැන් එදාට වඩා වැඩ තියන නිසා, මේ කතාව මා අතින් නියත වේගයකින් නොලියවෙනු ඇති. රසවත් නොවනු ඇති. හදිසියේ ලියපු වාර්තාමය ස්වභාවයක් ගනු ඇති. එහෙම උනොත් සමා වෙන්න.


නීරසයි නම්, නොකියවා හිටියත් තරහ වෙන්නේ නැහැ, මොකද හුදෙක්ම මම මෙය ලියන්නේ පටන්ගත් වැඩේ ඉවර කිරීමේ ආත්ම තෘප්තිය ලැබීමේ අරමුණින් පමණයි.

*****

කැණිමඬල - 1

කැණිමඬල - 2

ගෙදර  එන  ගමන්  සැමන්  ටිකක්  වැඩිපුර  අරන්  එන්න'යි  කියන්නට,  මා නිර්මල  ට  දුරකථන  ඇමතුමක්  ගත්තේ,  කලකට  පසු  ඔහුගේ  සිතට සතුටක්ද  ඇති  කරමිනි. 

කැණිමඬල - 3

නිර්මල සමග ගෙදර ආ ආන්යා, ඔවිනි දැක බෙහෙවින් පුදුමයටත්, සතුටටත් පත් විය. මම රාත්‍රී කෑම පිළියෙළ කරනාතුරු, ඔවිනි ආන්යා සමග කතා බහේ යෙදෙමින් පසු විය.


මා මුළුතැන්ගෙයි සිටින විට වෙනදාට ආන්යා ලඟින් හෙලවෙන්නට බැරිව සිටින නිර්මලට, අද නිදහස ලැබී තිබේ. ඔහු මා දෙසට හෙමි හෙමින් ඇදිණි.


"මමත් මොනවහරි කරන්නද?"


"ඕන නෑ.. සැමනුයි පරිප්පුයි විතරයි හැදුවෙ. දැන් ඉවරයි."


"ඔවිනිට සැමන්, කමක් නැද්ද?" නිර්මල තතනමින් අසයි.


"දවල් කෑවා. සැමන් කන්න ආසයි කිවුව."


"එහෙමද.. කාලෙකින් නිසා වෙන්නැති එහෙනම්."


ඔවිනි ගැන හා නූපන් දරුවා ගැන නිර්මල මොනවා හිතන්නේදැයි මට සිතාගත නොහේ. ඔවිනි ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ නොවන බව සැබෑවකි. නීතිමය බැඳීම කවරාකාර වුවත්, තමන්ගේ දරුවෙක් දරා සිටින ගැහැණියක් ගැන පිරිමියෙක් තුල සැබැවින්ම ඇත්තේ කවර හැඟීමක් ද? නිර්මලගේත් ඔවිනිගේත් දරුවාට මා භාරකාරයෙක් වන්නේ, නිර්මලගේ බිරිඳ නම් වූ තෙවැනි පාර්ශවයකින් පමණි. මේ සියලු දේ අවසන, බිඳුණු සිතින් මා නිර්මලගෙන් වෙන් වූ දාක, ඒ භාරකාරත්වයෙනුත් මා නිදහස් වෙයි.


මා ආන්යා දරා සිටි සමයේ නම්, නිර්මල මා වෙනුවෙන් බොහෝ වෙහෙසෙන බවක් මට දැනිණි. එය මගේ පළමු ගැබිණි අත්දැකීම වූවා සේම, ගැබිණි බිරිඳක් සමග ජීවත් වීමේ නවමු අත්දැකීමට ඔහු සාර්ථක ලෙස මුහුණ දීමට උත්සාහ කලේ, මිතුරන්ගෙන් මෙන්ම අන්තර්ජාලයෙන් ද දැනුම එකතු කර ගනිමිනි. මවිසින් වරක් දෙවරක් අවධානය ඉල්ලා ඇති කෙරුණු ගැටළු හැරුණුකොට, අපේ පළමු ගැබිණි සමය ඉතා මිහිරි විය.


"ඔයා සාලෙට ගිහින් ඔවිනි එක්කයි ආන්යා එක්කයි ඉන්න. උයල ඉවරයි දැන් ගොඩක්."


අද ආන්යා ඉක්මනින් නිදි ඇඳට යවා, අපි තුන්දෙනාට කරන්නට වැදගත් කතාවක් තිබේ. මේ නිසාම වෙනදාට වඩා කලින් උයන්නට පටන් ගත් මට, නිර්මල ගෙදර එනකම් ඉන්නට සිදු වූ නිසා සැමන් කරිය පමණක් උයන්නට පමා විය.


"එහෙනම් බාජන සෝදන්නේ නැතුව ඉන්න. මට පුළුවන් බාජන ටික සෝදන්න, ඔයා ආන්යව නිදි කරන අතරෙ."


*****


කෑම තසිම් අරන් සාලයට යනවිට, නිර්මලත්, ඔවිනිත්, ආන්යාගේ සුරතල් බස් අසමින් සිටියහ. නිර්මලත්, ඔවිනිත්, අගනා ජෝඩුවකි. නිර්මල වෙනදාට වඩා තරුණ වී පෙනෙන්නේ, ඔවිනි ලඟින් ඉන්නා නිසාද? කඩවසම් නිර්මල දැක එකවරම හිතේ ඇති වුණු සතුට, අනිත් සියලු දේ නිසා ඇති වූ දුක සහ තරහ මගින්, අසුරු සැණින් මැකී ගියේය.


සැමන් බෙදා හදා ගන්නට කෑම මේසයේ සුරතල් යුද්ධයක් හට ගැනිණි. ඔවිනි ගැන මගේ හිතේ ඇති නොපහන් හැඟීම්, ඔවිනිගේ මුහුණ දුටු විට හිරු දුටු පිණි බිඳු මෙන් වියැකී යන්නේ ඇයි?


නිර්මල කෑම මේසය අස් කර දමා, භාජන සෝදන්නට පටන් ගත්තේය. කලකින් පසු ඔවිනි සමග කල් ගත කරන්නට ලැබුණු නිසා ඉතාමත් සතුටට පත්ව සිටි ආන්යා, නිදි ඇඳට රැගෙන යාම නම් උගහට විය. භාජන සෝදා අහවර කළ නිර්මල ත්, ඔවිනි හා මා සමග එකතු වූ අතර, අවසානයේ අපි සියලු දෙනාම මැදියම් රැයේ ආන්යා නින්දට වැටෙනකම් ම, ඇය සමග කල්ගත කළෙමු. මේ නිසා අපේ රාත්‍රී සාකච්ඡාව ඇරඹීමට වත් නොහැකි වූ අතර, ඔවිනිටත් මටත් ආන්යා සමග ඇඳේ නිදන්නට ඉඩහැර, නිර්මල සාලයේ සෝපාවට ගියේ පසුවදාට කරන්නට තිබෙන වැඩ කිහිපයකට සූදානම් වී, එහිම නිදන්නටයි.


"සොරි ඔවිනි. හෙට නිර්මලට කලින් එන්න කියල ආන්යව රෑ වෙලා ඩේ කෙයා එකෙන් ගමු."


"හ්ම්ම්.. අනේ මන්ද. දවසින් දවස පහු වෙයිද මේ වැඩේ?"

"ඔයා අද ආව විතරනෙ ළමයො. හෙට කතා කරමු. නිදහසේ කතා කරන්න විදියක් නැති නිසා මිසක් නැත්නම් මෙලහකට නිර්මල මොනවහරි ප්ලෑන් කරල ඇත්තෙ."

*****

අපේ සැලසුම වූයේ, නිර්මලත්, මමත් රැකියාවට පිටත්ව ගිය පසු, ඔවිනිට නිවසේ විවේක සුවයෙන් රැඳෙන්නට ඉඩ දීමටයි. තමන් සමග ඉඟි බිඟි පාමින් සිටි යුවතිය, හිටි හැටියේ මසකට නිවාඩු ගෙන විදේශගත වීම නිසා, ඇගේ කාර්යාල ප්‍රධානියා අන්දුන් කුන්දුන් වී තිබිණි. හදිසියේ අසනීප වූ මිතුරියක් ගැන මොකක්දෝ කතාවක් ඔහුට කියන්නට ඔවිනි සූදානම් කරගෙන තිබුණු අතර, අපි කිසිවෙකුත් නිවසේ නැති සාමකාමී උදෑසන, ඇය ඔහුට දුරකථන ඇමතුමක් දෙන්නට සූදානමින් සිටියාය.


එදින හවස, මමත් නිර්මලත්, වෙනදාට කලින් වැඩ ඇරී ආවෙමු. ඔවිනි කට්ලට් සාදා තිබුණු අතර, අපි තේ බොන්නට පටන් ගතිමු.

"බොස්ට තේරුණා මම බොරු කියනව කියල. මට හොඳටම ෂුවර් ඒක නම්. ඉක්මනට මේක ඉවර කරගමු අනේ. මට ඉක්මනට ආපහු යන්න ඕන. නිර්මල අයියෙ, ඔයාගෙ ප්ලෑන් එක මොකද්ද?"

"මගෙ ප්ලෑන් එක? මොන?"

"මේ දරුව නැති කරන්න? ඔයා මොනවද රෙඩි කලේ? කවද කොහොමද වැඩේ වෙන්නෙ?"

"මම මුකුත් රෙඩි කලේ නෑ. ඔයා මුකුත් කිවුවෙත් නැහැනෙ. මම කොහොමද තනියෙන් තීරණ ගන්නෙ?"


මේ වන විට ඔවිනිගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් තිබුණු අතර, ඔවිනිත්, නිර්මලත්, අතර බරපතල වාදයක් හටගැනිණි. දෙදෙනාම කෝපයෙන් නොයෙක් දේ කියා ගත් අතර, මට ඒ බහුතරයක් දේ නෑසී ගියේ, ඊයේ ආන්යා නිදි අතරේ මේ කතාව සිදු නොවී, අද ආන්යා ඩේ කෙයා එකේ සිටින මොහොත දක්වා මේ කතාව කල් යාම ගැන මා දෙවියන්ට ස්තුති කරමින් සිටි නිසාවෙනි.

"මම බෑ කියද්දි බලෙන් ඇවිත් පටන් ගත්ත දේ, මෙච්චර දෙයක් වෙලත් කිසි ගානක් නැතුව ඉන්නෙ කොහොමද?"

"බලෙන්? එතකොට ඔයා මුකුත් කලේ නෑ?"

"අසරණකමට කරගන්න දෙයක් නැතුව හිටිය, කෑ ගැහුවනම් මේ රත්තරන් පවුල කැඩිල යන නිසා. ඔව් ඉතින් දැන් අසරණ වෙලා ඉන්නෙ මම නේ? ඔයාට මොන ප්‍රශ්නයක් වත් නැහැනෙ."

"දෙන්නම කට වහගන්නයි කිවුවෙ."

"මට වීස තියෙන්නෙ මාසෙකට. මට යන එන මං නැති කරන්න එපා ප්ලීස්."


ඔවිනි නාන කාමරයට ගොස් දොර වසා ගත්තාය. ඇය යලිත් එන විට, මම නිර්මල සමග කතා බහ අවසන් කර තිබුණු අතර, අවශ්‍ය කටයුතු හැකි ඉක්මනින් සම්පාදනය කරන්නට ඔහු මට පොරොන්දු වී තිබිණි.

*****

මතු සබැඳි.







December 31, 2017

නව වසරට ආසිරි!


ලඟදි මිතුරෙක් ලියපු කවි පොතක් එව්ව, කියවල බලල අදහස් දක්වන්න කියල.

ගොඩක් දිග පොතක් නොවෙයි, ඉතින් එක හුස්මට කියවන්න පුළුවන්. හැබැයි කියවල ඉවර උනාම හිතට දැනුණේ දුක්බර කණස්සල්ලක්.

මේකට හේතුව තමයි, පොතේ ලියා තිබුණේ මිනිස්සු එදිනෙදා ජීවිතේ ඇතුලේ විඳින දුක, විරහව, හා වගකීම් වල බර ගැන. එදිනෙදා ජීවිතේ හිතට දැනෙන දුක, වගකීම් වල බර, හා කණස්සල්ල ගැන දැනගන්න අපිට අමුතුවෙන් කවි පොතක් කියවන්න ඕනද? උදේට රැකියාවට යන, ජාතියේ කොඳු ඇට පෙළ වගේ ඉන්න අපේ වැඩ කරන ජනතාවට බස් වල වාදනය කරන්නේ මොනවද? වැඩි හරියක් විරහ ගීත නේද?

කලාව ඇරඹුණු විදිය ගැන මම ගොඩක් තොරතුරු දන්නෙ නෑ, නමුත්, දවසේම දඩයම් කරපු ආදි මානවයා, මහන්සිය නිවාගෙන, තුවාල වලින් නැගෙන වේදනා අමතක කරල, හිතට සතුටක් ලබා ගන්නට මිහිරි නාද නිකුත් කරන්නටත්, ගුහා වල චිත්‍ර අඳින්නටත් ඇති.

සම් ඇඳුම් හැඳගෙන අව් කණ්නාඩි පැළඳි, විහිලු ස්වරූපයේ ආදි මානව ජෝඩුවක්. පින්තූරය Google Images වෙතින්.

මම ඉතින් මගේ මිතුරාට කිවුව, එදිනෙදා ජීවිත වල තියන පුංචි පුංචි රසවත් දේවල් ටිකක්, අතරින් පතර හයිලයිට් කරලා තිබුණා නම් මම ඒ පොතට ඊට වඩා ඇලුම් කරනු ඇති බව. හැමෝටම එහෙම නොහිතෙන්න පුළුවන්, නමුත් ඉතින් මම කියන්න ඕනේ පොත කියෙව්වම මට දැනෙන දේ නේ? ඔහු තවත් අයට ඔහුගේ පොත යොමු කරන්න ඇති. ලැබෙන අදහස් සියල්ල සලකා බලා, අවශ්‍ය නම් පමණක් ලියවිල්ල වැඩි දියුණු කරාවි.

කොහොම උනත්, ඔබ රචකයෙක් නම්, කොහොමහරි ලියන්න පටන් ගැනීමයි වඩා වැදගත්. අපේ පුංචි බ්ලොග් ලෝකෙත්, ඉතා හොඳට ලියන්න පුළුවන් කී දෙනෙක් නම් දැන් නිහඬව ඉන්නවද? මීළඟ කොටස මම පුද කරනවා, ලියන්නේ නැති බ්ලොග්කරුවන්ට. ඔබේ Writer's Block එකෙන් මිදෙන්න මේ උපදෙස් උපකාරී වේදැයි බලන්න.

1. ඔබේ අඩුපාඩු හෝ ලිවීමට ඇති දුෂ්කරතා ගැන තොරතුරු, ලියවිල්ලට එකතු කර ගන්න.

2. ඔබේ අත්දැකීම් ගැන ලියන්න.

3. ලියවිල්ල කැත උනත් කමක් නෑ, ලියාගෙන යන්න. පස්සේ පුළුවන් වෙනස් කරන්න.

4. ඔබ කියවන අනිත් දේවල් වලින් කොටස්, ඔබේ රචනයට එකතු කරන්න.

5. ආරම්භයක් වශයෙන්, ඔබ ලියන මාතෘකාව ගැන අනිත් අය ලියා ඇති දේ ලියන්න.



නිහඬව ඉන්න බ්ලොග් කරුවන්ගේ නිහඬ භාවය බිඳිලා යලි ලියන්නට හිතෙන,

එදිනෙදා ජීවිතේ කරදර අමතක වෙලා හිත සැහැල්ලු වන පෝස්ට් ලියවෙන,

ලස්සන 2018 වසරක් උදා වෙමින් තිබෙනවා.


ඉතින් ඔබ සැමට ආසිරි!




December 22, 2017

ඇයි ගෑණුන්ට මෙහෙම වෙන්නෙ?


මේ ලියන්නෙ මේ අවුරුද්දට අවසන් පෝස්ට් එක වේවි. ඉතින් මුලු අවුරුද්දකටම ලියවිලා තියෙන්නෙ පෝස්ට් 9ක් පමණක් වීම ගැන හිතට දුකයි. මගේ කම්මැලිකම ගැන හිතේ පොඩි පසුතැවීමක් තියනව. ලබන වසරේ මීට වඩා යමක් ලියන්නම්.

මුලින්ම කියන්න ඕන, මම මේ ලියන දේ ටිකක් පෞද්ගලික මාතෘකාවක්. මාතෘකාව තමයි, විවාහයට පෙර හා පසු, ගෑණුන්ට හැඟෙන දේ. මේ ගැන පොඩි විවෘත සංවාදයක් සිදු වෙනවා නම් මම කැමතියි. බ්ලොග් අවකාශයේ ඉන්න තරමක් ඉන්නේ, කසාද බැඳපු, තලන්තෑනි, ලොම් හැලිච්ච පිරිමි නිසා, මේක කතා කරන්න හොඳම තැනත් බ්ලොග් එක. :D ජජ් කරන්නේ නැතුව, මඩ ගහගන්නේ නැතුව, එන්න, අපි කතා කරමු.

මාතෘකාව පෞද්ගලික නිසා මගේ ගැන තොරතුරු ටිකක් කියන්නම්, මුලින්ම. ඔබ හැමෝම දන්නව වගේ, මම විවාහ විය යුතු වයසේ කියල සමාජය විසින් තීරණය කරපු, තරුණ ගෑණු ළමයෙක්. 

මගේ, මේ දවස් වල ෆේස්බුක් වෝල් එකේ ඕනෑම වෙලාවක බැලුවොත්, ප්‍රී ෂූට්, වෙඩින් ෆොටෝ, හනිමූන් සෙල්ෆි, හෝම් කමින් ෆොටෝ, ඊට පස්සෙ දෙන්නත් එක්ක ට්‍රිප් ගිහිපු ෆොටෝ තමයි වැඩිපුර තියෙන්නෙ. ඊට අමතරව, තනිකඩ, විවාහාපේක්ෂිත ගෑනු ළමයි විසින් ශෙයා කරන විවාහ ප්‍රදර්ශන, මනාලියන්ගේ විලාසිතා තියන ඇල්බම් එහෙමත් ඔය අතරින් පතර තියනව. 

සාමාන්‍යයෙන් මාල හතක් දාල, පෝරුවේ නැගල, උත්කර්ෂවත් විවාහ උත්සවයක් ගන්නා එක, බොහොමයක් ගෑනු ළමයින්ගේ හීනයක් නේ. මෙතනදි මගේ ජීවිතේ ලොකු වෙනසක් සිදු වෙනවා, ඒ තමයි, මීට වසර කිහිපයකට පෙර, ඉතාම හදිසි රිය අනතුරක් නිසා සිදු වුණු, මගේ පියාණන් ගේ අභාවය. මනාලියක්, අතින් අල්ලාගෙන විවාහ ශාලාවට ගෙනැත්, පෝරුවට නග්ගවන පියාගේ සෙවණ නැතිව ජීවත් වෙන්න පුරුදු වෙච්ච මට, පෝරුවේ නැගලා විවාහ වෙන එක වදයක් කියලයි හිතෙන්නෙ. ඒ, මගේ අතින් අල්ලන් එන්නට, මගේ පියා මා ළඟ නැතිකම. තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මුණ ගැහුණු දවසක, බොහොම චාම් විදියට රෙජිස්ට්‍රේෂන් එක විතරක් ගන්නට මගේ හිතේ තියන අදහස එක්ක, මගේ අම්ම, කසින් බ්‍රදර් ල, ගොඩක් අය මගේ හිත වෙනස් කරන්න උත්සාහ කරල තියනවා, "අපි ඔයාගෙ අතින් අල්ලන් ඔයා එක්කම ඉන්නව මානවී" කියල. නමුත් මගේ පියා ළඟ නැති නිසා, මට පෝරුවේ චාරිත්‍ර එක්ක විවාහ වීමට, අනිත් ගැහැණු ළමුන්ට වගේ හීනයක් නෑ. 

ඊළඟට ගත්තොත්, මම ටිකක් ෆැෂන් වලට කැමති කෙනෙක්. ෆිගර් කන්සර්න්ඩ්, ජිම් යන, වර්ක් අවුට් කරන කෙනෙක්. ඒත්, එදිනෙදා ජීවිතේ ෆැෂන් වලට කොයි තරම් ආස වුණත්, විවාහ උත්සවයකට ආස නැති නිසාද මන්ද, මනාලියක් විදියට අඳින්න, මේකප් කරන්න, ආස හිතෙන්නේ නැහැ.

ඊළඟට, මගේ පියාගේ අභාවයෙන් පසුව, මගේ මව් තුමිය ටිකක් අසනීප වෙන්නට පටන් ගත්ත. ගොඩක් බැඳීමකින් ජීවත් වූ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හදිසියේ නික්ම යාම, අනිකාට දරන්නට අමාරු වුණා. මේ නිසා, මම මගේ අධ්‍යාපනය, රැකියාව ඇතුළු පුද්ගලික වැඩ කටයුතු බොහොමයක්, සිදු කරගත්තේ තනිවම. ඒ ලැබුණු පන්නරය එක්ක, මට කවදාවත් එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා තවත් කෙනෙකු සොයා ගැනීමේ අවශ්‍යතාවයක් දැනුණේ නැහැ. 

ටික කාලයක් තිස්සේ ඉන්නෙත් විදේශගත වෙලා නිසා, ඕන වෙලාවක, ඕන තැනක, ඕන ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන් ආරක්ෂාකාරී සමාජ වටපිටාවක, ආරක්ෂාව වෙනුවෙන් කවුරුවත් හොයා ගන්න ඕන කියල හිතෙන්නෙත් නැහැ.

එතකොට කිල්ලෝටෙ හුණු ඇත්තෙම නැද්ද?

තියනවා.

එළියේ හිම වැටෙන, ඇවිදින්න යන්න බැරුව ගේ ඇතුලට වෙලා කම්මැලිකමේ ඉන්න දවසට, හොඳටම වහින, සීතල අන්ධකාර දවසට, උණුහුමට ගුලි වෙන්න කවුරුහරි ලඟින් හිටියනම් කවුද අකමැති?

හොඳටම අසනීපෙන් ඉන්න වෙලාවක, උයාගන්න නැගිටින්න වත් ඇඟට පන නැති වෙලාවට, කඩෙන් කෑම එකක් ගේන්න වත් කවුරුහරි හිටියනම් කවුද අකමැති?

හැබැයි ඉතින් හැමදාම හිම වැටෙන්නේ, වහින්නේ, ලෙඩ වෙන්නේ නැහැනේ. ඒ නිසා ඔය සිතිවිලි ලත් තැනම ලොප් වෙනව. මගේ ඔය දුර්වලතාවය දන්න නිසාම, අඳුරු වැහි දවසට ගෙදර ඉන්නවා නම් රිසර්ච් වැඩක් හෝ වෙන මොකක් හරි දෙයක් එක්ක බිසි වෙන්නත්, ශරීර සෞඛ්‍ය ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්නත් මම පටන් අරන් දැන් අවුරුදු දෙකක් විතර.

ඒත් කොහොම වුනත්, හවස වැඩ ඇරිල ආවම තේ එකක් බිබී දවසේ වෙච්ච දේවල් කතා කරන්න හෝ කෙනෙක් ඉන්නවා නම් හොඳයි නේ, නැද්ද? ඒ නිසා මම අවිවාහකව ඉන්න දරුණු ලෙස අධිෂ්ඨාන කරපු කෙනෙක් නෙවෙයි. සතුටින් ජීවිතේ ගත කරන ගමන්, "හොඳ කෙනෙක් හම්බුනාම බලමු" කියන එක තමයි මගේ ජීවිතේ ආදර්ශ පාඨය වුණේ.

සාමාන්‍යයෙන් අපි කාර් එකක් ගන්නවා නම්, ඒ ජාතියේ කාර් එකක් කලින් පාවිච්චි කරපු කෙනෙක් ගෙන් අහනවා වගේ, රෙස්ටුරන්ට් එකකට යන්න කලින් ඒ රෙස්ටුරන්ට් එකෙන් කාපු කෙනෙක් ගෙන් අහනවා වගේ, වටපිට බලලා සාමාන්‍ය අදහසක් ගත්තොත් එහෙම, 

බුකියේ වෝල් එක දිහා බැලුවම අලුත බැඳපු ජෝඩු නම් සතුටින් ඉන්න බව පේනව. 

බැඳලා ටික කාලයක් වෙච්ච යාලුවෙකුට වගේ කෝල් කලොත් ඔන්න, "අනේ මානවී සොරි කාලෙකින් කෝල් නොකලට, ඉතින් ඉතින්, ඔයත් කවුරුහරි හොයාගන්න තනියට, මේ ඒක නෙවෙයි අනේ, ගෙදර වැඩක් නිසා අහවලාගේ පාටි එකට එන්න බැරි උනා අනේ, ඔෆිස් ගිහින් ඇවිත් උයල කාල නිදියනකොට දවස ඉවරයි අනේ, එහෙනම් මම තියන්නම් මදර් ඉන් ලෝ ව පන්සල් එක්ක යන්න ඕන" වගේ බිසී බවක් පේනව. 

බැඳල අවුරුදු 5 ක් විතර වුණු, මොන්ටිසෝරි යන දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් එක්ක කතා කලොත්, "මොන අඩු පාඩුව තිබුණත් මේ දරුවට තාත්ත කෙනෙක් ඕන නේ, අම්මයි තාත්තයි අතරෙ ප්‍රශ්න තිබුනොත් ඒව දරුවොන්ට ටක් ගාල නෝට් වෙනව අනේ, ඒ නිසා හොඳින් ඉන්න ඕන, ඒ නිසා අපි ප්‍රශ්නයක් ආවොත් කතා බහ කරල විසඳගන්නව. ඒ උනාට අපරාදෙ අනේ මම හදිසි උනාද මන්ද" කියල කියන, වගකීම් සහගත, නමුත් ජීවිතේ ලොකු සතුටකුත් නැති වගේ ගතියක් පේනව.

විවාහයෙන් අවුරුදු අටක් දහයක් පමණ වෙච්ච, අවුරුදු හතලිහ වත් වෙලා නැති කාන්තාවක් කීප දෙනෙක් එක්ක සමීපව ආශ්‍රය කරන්න සිදු වුනා, මේ ලඟදි. යාළුවො වගේ එකට වැඩ කරපු ඔවුන්, මගේ තොරතුරු අහල, මුලින්ම කියපු දේ තමයි, "අනේ බඳින්න නම් එපා නගෝ, මේ අපිට වෙච්ච දෙයක් පේන්නෙ නැද්ද. අවුරුදු කීයද සතුටින් හිටියෙ? දැන් දරුවොත් එක්ක, දමල ගහල යන්න බැරි කමට ඔහේ ඉන්නව ඉතින්. ඔය ජීවිතේ කොච්චර නිදහස් ද අනේ, අන්න එකට මට, දරුවො හිටියෙ නැත්නම් ඕන එකක් කියල තනියම ජීවත් වෙන්න තිබුණ, දැන් ඉතින් බැහැනෙ" කියල, මුළු ජීවිතේම කලකිරුණු බවක් පේනව.


හැඟීම්බර ගැහැණු මුහුණු කිහිපයක් ඉහත රූපයේ දැක්වේ - පින්තූරය Google Images වෙතින් 

මෙහෙම නැති ගෑණු ඇති. මගේ වයස හා අධ්‍යාපන කටයුතු වල ස්වභාවය අනුව මට වයස 35-40 පැනපු කාන්තාවන් එක්ක යාළුවො වගේ සමීපව ආශ්‍රය කරන්න ලැබෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ සීමිත කුලකය තුලින් ලැබුණු අත්දැකීම තමයි මේ.

ඉතින් ඇයි ගෑණුන්ට මෙහෙම වෙන්නෙ? පිරිමින්ටත් මෙහෙමද? ගෑණුන්ට මෙහෙම හිතෙන්න තරම් පිරිමි කියන්නේ දරුණු සත්ව විශේෂයක් ද? :D 

ඇයි අපට හැමදාම සතුටින් ඉන්න බැරි? අපි කතා කරමු. මොකද මේව කතා නොකලොත්, වැස්ස දවසට රිසර්ච් එකත් එක්ක බිසී වෙලා, ලෙඩ නොවෙන්න පරිස්සම් වෙවී, මේ විදියටම හැමදාම මට තනියම ඉන්න හිතේවි. 

අපරාදෙ නේ. :D 


December 11, 2017

බත් උයපු හැටි



මානවිකා උසස් අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් රාජධානියට ඇවිත් දැන් මාසයකට වඩා පොඩ්ඩක් වැඩි. ඉතින් මම පොඩි කාලෙ ඉඳන්ම ටිකක් කෑම තෝරපු එක්කෙනෙක්. ජපානේ හිටපු කාලෙදි, ලංකාවේ එළවලු වල අගේ දැනුණු නිසා, දැන් නම් ගෙදර ගියාම ඉස්සර නොකාපු ඇතැම් එළවලු කරි, මාළු ජාති එහෙම ඕන දෙයක් කන්න පුළුවන් වෙලා තියනව හැබැයි. ඒත් අදටත් මට ටිකක් සැරට, මිරිසට තමයි කන්න ඕන.

ජපානෙදි, කුළුබඩු වර්ග හා හාල් සොයාගෙන යන්න ඕන ශ්‍රී ලාංකික කඩ හෝ හලාල් ෂොප්ස් වලට. හලාල් ෂොප්ස් කරන්නෙත් ගොඩක් වෙලාවට පකිස්ථානුවන් විසින්. මම මේ හලාල් ෂොප්ස් වලට යන්නේ නොගිහින් බැරි උනොත් විතරයි මොකද ප්‍රශ්න වලට පිළිතුරු දීලා ඉවරයක් නෑ. "කොහෙන්ද ආවෙ, මොනවද කරන්නෙ, බැඳලද, පවුලෙ අනිත් අය ලංකාවේද, මේ අධ්‍යාපන සුදුසුකම් වලට ලංකාවෙ පඩි කීයක් විතර හම්බෙනවද" වගේ දාහක් ප්‍රශ්න වලට මම බොහෝ වෙලාවට උත්තර දෙන්නේ අකමැත්තෙන් වගේම, කියන්නෙත් බාගයක් ඇත්ත, බාගයක් බොරු. ඒ වගේ වෙලාවක, තනියම ජීවත් වෙන තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන නෙ ඉතින්?

පස්සෙ මම ටිකක් දුරින් තියන, වයසක මනුස්සයෙක් ඉන්න හලාල් ෂොප් එකක් හොයා ගත්ත. එයත් ඒ ප්‍රශ්න ටිකම අහනව, නමුත් ඔහු වයසින් වැඩි සීය කෙනෙක් නිසා ඔහුට එසැණින් මගේ පිළිතුරු අමතක වෙනව. ඊටත් පස්සෙ මට ශ්‍රී ලාංකික යුවලක් විසින් කරගෙන යන වෙබ්සයිට් එකක් හම්බුණා. අපට ඕන කරන බඩු ටික ෂොපින් බාස්කට් එකෙන් මිලදී ගත්තම, මුළු බිල්පත යෙන් 10,000 ට වැඩියි නම්, ඔවුන් නොමිලේ අපේ ඇණවුම නිවසටම ලබා දෙනව. බඩු ටික නිවසට ආ විට ගෙන එන්නාට මුදල් ගෙවිය යුතුයි. ජපානයේ ඩිලිවරි නිලධාරීන් හරිම සුහදයි. ඔවුන් කාසි ගොඩක් අරගෙනත් එනවා හදිස්සියෙන් වත් අපේ ළඟ මාරු සල්ලි නැති උනොත් ඉතුරු සල්ලි ගෙවන්න. ඉතින් මම මේ වෙබ්සයිට් එකෙන් මට අවශ්‍ය සියළු ශ්‍රී ලාංකික ආහාර ගෙන්වාගෙන, හලාල් ෂොප් ගමන නවතා දැම්ම. 


*****

ඔය ඔක්කොම එක්ක, එක්සත් රාජධානියට ආපු මට, සුපර් මාකට් ගියාම පුදුමය ඉහ වහා ගියා. පරිප්පු, කුළු බඩු, කොටින්ම (ශ්‍රී ලාංකික බ්‍රෑන්ඩ් එකේ) පිටිකළ පොල් කිරිත් සුපර් මාකට් එකේ තියනව. මිල ගණනුත්, ජපානේ එක්ක බැලුවම ඉතා අඩුයි. ඉතින් මම හරිම සතුටින් හිටියා, නමුත් පොඩ්ඩක් විතර අප්සට් ගියේ හාල් තමයි. මොකද සුපර් මාකට් එකේ වැඩිපුර තියෙන්නේ බාස්මතී. මම ඉස්සර ඉඳන් ම බාස්මතී වලට අකමැතියි. ඊට අමතරව තිබුණු තායි ජස්මින්, ලෝන්ග් ග්‍රේන් වගේ නොයෙක් හාල් වර්ග ගෙනත් බැලුවත්, අපේ කරි එක්ක (කරි, කරි කිවුවට ඉතින් මම බොහෝ විට උයන්නේ පරිප්පු) වැඩිය ගැලපෙන්නේ නැහැ. ජස්මින් හාල් ඇලෙනව වැඩියි, ලෝන්ග් ග්‍රේන් හයිය වැඩියි.

ඔහොම ඉන්න අතරේ, ශ්‍රී ලාංකික කෑම ජාති මිලදී ගන්නට පුළුවන් කඩ වීදියක් ගැන ඔත්තුවක් ලැබුණ එහි ජීවත් වෙන ශ්‍රී ලාංකික සිසුවියක් ගෙන්. මේ දකුණු ආසියානු කඩ වීදියේ ගොඩක් හුරු පුරුදු කෑම බීම ජාති තෝරාගන්නට තියනවා වගේම, මිලත් ටිකක් පහසුයි ලු. ඉතින් තවත් අලුතින් ආපු ශ්‍රී ලාංකික මිතුරියකුත් මට මුණ ගැහිලා කිවුව, එයාටත් පහසු මිලට හාල් ටිකක් ගන්න ඕන කියල. ඉතින් අපි දෙන්න සෙට් වෙලා දවසක් ගියා හාල් ගෙන්න. ගිහින් බැලුවම ඇත්තටම තියනවා නොයෙකුත් හාල් ජාති. වව්නියාවෙන් යවපු මුතු සම්බා එකක් තිබිලා, මම ඔන්න හරිම සතුටින් මේක අරගෙන ආවා, කරි එක්ක කාලෙකින් රසට උයලා කන්න හිතාගෙන.

මගෙ රයිස් කුකර් එක තිබුණේ අපේ ෆ්ලැට් එකේ කොමන් කිචන් එකේ. කාමර 12ක සිසු පිරිසට, පොදුවේ භාවිතා කරන්නට එක කුස්සියක් තමයි ඉතින් තියෙන්නෙ. ඉතින් බත් එක ඉදෙන්න රයිස් කුකර් එකේ දාලා, මම ගියා ලොන්ඩ්‍රි රූම් එකට, හේදෙන්න දාපු රෙදි ටික අරන් එන්න.

රයිස් කුකර් එකක් මෙහි දැක්වේ - පින්තූරය Google Images වෙතින් 


රෙදි ටික අරගෙන එනකොට, මගේ ෆ්ලැට් මේට් සුද්දො ටික කට්ටිය පිටින්ම කුස්සියේ දොර ළඟ හිටගෙන ඉන්නව. මටත් නිකම් එන පොට හොඳ නැති ගතියක් තේරුණා.

"මානවී, ඔයාගේ බත් එක කර වෙලාද? ටිකක් සැර සුවඳක් එනවා නේ?"

"ආ.. මේ.. මේ.. කර වෙලා නම් නෑ, ඒ හැටි"

"ආ එහෙමද? අපි හිතුවේ පල්ලෙහා තට්ටුවේ කුස්සියේ වත් මොනවහරි කර වෙනවැති කියල. ටිකක් සැර සුවඳක් ආව, ඒකයි"

"ආ.. ම්ම්.. මට සමාවෙන්න"

"ආ.. නෑ නෑ ගණන් ගන්නෙපා"

කොහොම හරි මම පෙරුම් පුරාගෙන ගෙනාපු සම්බා හාල් එකේ සුවඳට, කට්ටිය ටිකක් බය වෙලා. මම ඉතින් දැන් රයිස් කුකර් එක කාමරේ තියාගන්නවා ඒ හාල් උයන දවසට. හාල් සුවඳ අපට ගානක් නැති උනාට, ඔවුන්ට ඒක අපහසු ඇති සමහර විට.

මේ සුවඳ සැර  අඩු කරගන්න හෝ වෙනස් කරගන්න විදියක් තියනවද? රම්පෙ දාන්න කියල නම් කියන්න එපා, රම්පෙ හොයාගන්න විදියක් නෑ.




November 27, 2017

මිස් යුනිවර්ස් සහ තවත් කථා


මිස් යුනිවර්ස් 2017 තරඟය පසුගිය දාක නිමා වුණා. මෙහි ජයග්‍රහණය ලැබුවේ දකුණු අප්‍රිකානු තරඟකාරිය.

නමුත් මේ තරඟයේ සිත් ඇදගත් වෙනත් දේවල් කිහිපයක්, බෙදා ගන්නට හිතුව. එකක් නම් ශ්‍රී ලාංකික අපටත් සතුටුදායකයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරපු ක්‍රිස්ටිනා පීරිස්, මුල් 16 දෙනා අතරට පිවිසුණා. මීට කලින් ශ්‍රී ලාංකිකයෙක් මිස් යුනිවර්ස් හි මුල් 16 අතරට පිවිසුණේ 1955 දී. ඒ, ශ්‍රී ලාංකික Maureen Hingert, තෙවැනි ස්ථානය (Second runner up) වූ අවස්ථාව.

ක්‍රිස්ටිනා, පිළිකා රෝගීන් ගේ සුභ සිද්ධිය ගැන හිතන, ව්‍යාපාරික යුවතියක්. වයස 23 යි. විලාසිතා නිර්මාණකරණය සබැඳි ව්‍යාපාරයක් කරන ඇය විසින්ම තමයි ඇගේ evening gown විලාසිතාව පිළියෙළ කරගෙන තිබුණෙ. මේ පහළ පින්තූරයේ ඉන්නේ ඈ තමයි, ඇගේ evening gown නිර්මාණය සමග. ඇය දිරිමත් කාන්තාවක් බව මම කියන්නේ ඇයි දැයි මේක බැලුවොත් ඔබට වැටහේවි. ක්‍රිස්ටිනා තරඟයේ හොඳ ස්ථානයක් ලබා ගනු ඇති බවට, තරඟය අතරතුරදී දේශීය හා විදේශීය පිරිස්, මත පළකර තිබුණා. නමුත් පොදුවේ බැලුවම ශ්‍රී ලාංකික පිරිස, Beauty Pageants ෆලෝ කරනවා අඩුයි. අපේ අසල්වැසි රටවල් අතරින් පිස්සුවෙන් වගේ Miss Universe ෆලෝ කරන්නේ Philippines, Thailand වගේ ගිනිකොණ දිග ආසියානුවන් තමයි.

ක්‍රිස්ටිනා පීරිස්, Miss Sri Lanka for Miss universe 2017


ක්‍රිස්ටිනා පීරිස්, Miss Sri Lanka for Miss Universe 2017, in her evening gown

National Costume හි හොඳම costume එකට තේරී පත් වුණු ජපන් ඇඳුම් විලාසිතාවත් අපූරුයි. වේදිකාවට පිවිසෙන විට සරාගී නින්ජා විලාසිතාවකින් සැරසී එන යුවතිය, වේදිකාව මතදී රවුමක් කැරකෙන ගමන් ඇගේ කරේ තිබෙන පාලකයක් මගින් ඇගේ ඇඳුම කිමෝනාවක් බවට පරිවර්තනය කරගන්නවා. රවුම කැරකෙන්නට පටන් ගන්නා විට නින්ජා ඇඳුමකින් සැරසී සිටින ඇය, රවුම අවසන් කරන්නේ කිමොනාවකින් සැරසී. මේ කෙටි වීඩියෝ එකෙන් මේ අලුත් සංකල්පය ඔබට බලනන්ට පුළුවන්.




එදිනෙදා ජීවිතයේ තාක්ෂනය බෙහෙවින් භාවිතා කරන ජපන්නු, ඔවුන්ගේ නූතන ෆැෂන් මේනියාවත්, ඔරිගමි ඇතුළු සංස්කෘතික දැනුම් පද්ධතියත් එක්තැන් කරගත් අපූරු අවස්ථාවක් ලෙස මෙය දක්වන්නට පුළුවන්.

*****

මේ පෝස්ට් එක ලියපු තවත් හේතුවක් තමයි බ්ලොග් එක පාලු වෙන එක නැවැත්වීම. ලියල මගින් නතර කරපු නව කතාවකුත් තියනව, ලියල ඉවර කරන්න ඕන.

*****

ඔබේ බ්ලොග් පෝස්ට් වලට ජපානයෙන් ආපු පේජ් විව්ස් අඩු වෙලා, එක පාරටම, එක්සත් රාජධානියෙන් පේජ් විව්ස් වැඩි වුනොත්, කලබල වෙන්න එපා, ඒ මම. :)