11.06.2014

එකුන් විසි සියවසක... මතක...


කලින් පොස්ටුව බ්ලොග් රෝල් වල අප්ඩේට් වී නොමැති නිසා මෙතන ක්ලික් කරන්න.

ස්තුතියි

එකුන් විසි සියවසක... මතක...


“ඔය කිවුවට, පිරිමි හැමෝම ඔහොම තමයි, හරිම වල්”

යම් කිසිවෙකු අතින් ලියවුනු කවියක් ගැන තරහෙන් එහෙම කිවුවේ මගේ මිතුරියක්.. ඇත්තටම ඇය ඉකි බිඳිමින් උන්නා...

“හ්ම්ම්ම්..... ඔය කිවුවට, අපේ තාත්ත කොයි තරම් හොඳයිද, ඒ වගේ පිරිමි ටික දෙනෙක් හරි ඇති”

මම එහෙම හිතුවට, කිවුවේ නැහැ, මොකද ඉකි බිඳිමින් ඉන්න ඇයව තවත් අප්සට් කරන්න මට උවමනාවක් තිබුනේ නැහැ. ඒ වෙනුවට මම මෙහෙම කිවුව.

“හැමෝම දන්නවනේ ඔයා කවුද කියල. ඔය කවි වලින් පේන්නේ එයාලගේ හිත් වල හැටි. මොලයක් තියන මිනිස්සු ඒක තේරුම් ගනීවි. දුක් වෙන්න එපා, ඔය වගේ තුට්ටු දෙකේ දේවල් වලට ඔයාගේ කඳුළු නාස්ති කරන්න එපා”

............................................................................................................


ටික දවසක් ගත වුනා... එක රාත්‍රියක මගේ දුරකතනයට මැසේජ් එකක් ආව.. මගේ බැචෙක්. සහෝදරයෙක්.. ඇත්තටම ඔහුට මිතුරෙක් නොකිය, සහෝදරයෙක් කියන්න හේතු උනේ ඔහු ඇත්තටම මට සහෝදරයෙක් වීම. මගේ පියාණන් හදිසියේ අපි හැර ගිහිපු වෙලාවෙ අවමංගල්‍ය කටයුතු වලින් පටන් ගත්තම, දානමය කටයුතු, ඉන් පසුව මගේ ජීවිතයේ දුෂ්කර අවස්තාවන් වලදි ඔහු මා සමග හිටිය හැම විටකම...

“නින්ද යන්නෙ නැහැ බන්...”

“ඒ මොකද”

 එහෙම පටන් ගනිපු දෙබස ටිකෙන් ටික සෙක්ස් රිලේටඩ් වෙන්න පටන් ගත්ත, මම පිළිතුරු දීමෙන් වැලකුනා,  ඔහු දිගින් දිගටම මැසේජ් එවන නිසා මම දුරකථනය සයිලන්ට් කළා. පසුව මම නින්දට වැටුන..

මිතුරෙක් නැති කරගන්න වත්, හතුරෙක් ඇති කරගන්න වත් මට උවමනාවක් තිබුනේ නැහැ, කාලකන්නි නිහැඬියාව බිඳිමින් පහුවදා මම ඔහුට මෙහෙම ලියල ඇරිය.

“මට වගේම ඔයාටත් වයස 25ක්. තනිකඩ ඔයාට හැඟීම් දැනීම් ඇති. හිත කරදර කරගන්න එපා. ඊයේ සිදු වුනු දේ මම අමතක කරනවා.”

“බොහොම ස්තුතියි, මට උඹේ මූන බලන්න බැරුව හිටියේ” පිළිතුරක් ලැබී තිබුණ.

............................................................................................................


මේ සිදුවීම් දෙකටම දැන් අවුරුද්දක් විතර ඇති. ඇත්තටම පිරිමි හැමෝම වල් ද කියල හොයන්න කල්පනා කරන්න විවේක කාලයක් ලැබුනේ නැහැ.. කැම්පස් එකෙන් අවුට් වෙලා තාවකාලික උපදේශක වරියක් විදියට මම බිසී උනා. සෙමෙස්ටර් හතරක සිසුන්ට ප්‍රැක්ටිකල් කරන්න සතියේ දවස් පහේම, වරු දහයේම කාල සටහන පිරී ගියා. ඒ අතරේ අනිත් අය වල් ද කියල හොයන එක පැත්තකින් තියල, මම මගේ ජීවිතය වෙනුවෙන් කැප වුනා...

එක රාත්‍රියක මගේ දුරකතනයට මැසේජ් එකක් එන්නේ ඔය අතරේදී.. සයිට් එන්ජිනියර් විදියට වැඩට ගිහිපු ඔහුගෙන්ම...

“නින්ද යන්නෙ නැහැ බන්...”

“ඒ මොකද”

 එහෙම පටන් ගනිපු දෙබස ටිකෙන් ටික සෙක්ස් රිලේටඩ් වෙන්න පටන් ගත්ත, මම පිළිතුරු දීමෙන් වැලකුනා,  ඔහු දිගින් දිගටම මැසේජ් එවන නිසා මම දුරකථනය සයිලන්ට් කළා. පසුව ඔහු කෝල් කරන්න ගත්ත. මම දුරකථනය ක්‍රියා විරහිත කළා...

මේ සිදුවීම මේ ආකාරයටම දවස් කිහිපයක් සිදු වුනා. කාටවත් කටක් ඇරල මේ බව කියන්න පුළුවන් කමක් තිබුනේ නැත්තේ, මට ඩේලි බේසිස් මුණගැහෙන විශ්ව විද්‍යාලයේ මගේ මිතුරියන් හැමෝම, ඔහුගේත් මිතුරියන් වීම.

මොනව උනත් ඔහු මට දුකේදී උදව් කල සහෝදරයෙක්.. නමුත් මේ සිදුවීම කාලයත් සමග මගේ සිත බෙහෙවින් වෙහෙසට පත් කළා.. පියෙකුගේත් පෙම්වතෙකුගේත් ආරක්ෂාව රැකවරණය අහිමි වුනු, ඔහුට කිසිම වරදක් කරල නැති, කොහෙවත් ඉන්න මම ගැන, එහෙම දෙයක් හිතන්න ඔහු හිත හදාගත්තේ කොහොමද...

 පියාණන් අහිමි වූ පසු, මගේ ජීවිතයේ තිබූ රැකවරණය බෙහෙවින් නැති වී ගියා. අම්මා නිතර අසනීප වෙන්නට පටන් ගත්ත. විවාහක අක්කාත් ඇයගේ සැමියාත්, බලෙන්ම මම ගැන හොයන්න බලන්න පටන් ගත්තත්, ඔවුන්ට කරදරයක් බරක් වෙන්නට මට හිතුනේ නැහැ. ඒ නිසා මම බලෙන්ම වගේ ඔවුන්ගේ දැඩි සොයා බැලීම් හමුවේ නිහඬව හිටිය. මම නිවසින් බැහැරව ඉන්නකොට අම්මව ඉතා හොඳින් බලා කියා ගන්න ඇයට, මගේ ජීවිතය බරක් කරගන්නට මම ඉඩ දෙන්නේ කොහොමද...

මම, මගේ ආරක්ෂාව සහ යහපත ගැන සිත යොමු කළා... මේ නිසාමද මන්ද රාත්‍රී 10න් පමණ පසු, මම ගෙදරින් ලබා දෙන දුරකථන ඇමතුම් වලට ඇරෙන්නට අනිත් ඒවාට පිළිතුරු දෙන්නේ නැහැ. ඒ මගේ හැටි. ඇත්තටම මම ඔහුව බ්ලොක් කලේ නැත්තෙ, ඔහු මට කරදර වලදී පිහිට වී තිබුණු සමීප මිතුරෙක් නිසා..

............................................................................................................

මේ වෙනකොට ඔහු මට මහ රෑ ජාමෙට කෝල් කරන එකත්, මම දුරකථනය නිහඬ කර නිදාගන්න එකත් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබුණ. 

ඒත් පිරිමි ඇත්තටම වල් ද කියා හොයන්නට නම් මට විවේකයක් තිබුනේ නැහැ. 

ඔහු නරක දෙයකට කතා කලාද නැද්ද කියල මම දැනගෙන නොහිටියත්, පහු වෙනකොට, ඇත්තටම මම පිළිතුරු දීමෙන් වැළකී සිටියෙ මට බයක් දැනෙමින් තිබුණු නිසා. කොහොම උනත්, මේ හැම වෙලාවකම, මේ පිළිබඳව කියන්නටත් ආරක්ෂාව පතන්නටත් කවුරුවත් නැති එක ගැන මට දුකක් දැනෙමින් තිබුණ.

යලිත් මහ රෑක දුරකථනය නාද වෙන්නේ ඔය අතරේදී. ආන්සර් නොකරපු නිසා ඔහු මැසේජ් එකක් එවල තිබුණ.

“මේ මැසේජ් එක දැකපු ගමන් මට කෝල් එකක් ගනින්”

හ්ම්ම්ම්..... මම කෝල් බැක් කලේ නැහැ. ඔහු බොරු කියනව වෙන්න බැරිද?

මම රාත්‍රියේ කතා කලේ නැහැ, නමුත් පහුවදා දවල් වරුවේ මම  ඔහුට ඇමතුමක් ගත්ත. මම ගැන වැරදි දේවල් නොසිතන ලෙසත්, රාත්‍රී කාලයේ දුරකථන ඇමතුම් නොගන්නා ලෙසත් ඉල්ලා සිටින්නට සිතුව.

කොකාට වාරයක් එනව නම් තිත්තයාටත් වාරයක් එනවලු. මෙවර ඔහු ආන්සර් කලේ නැහැ.

“මම උඹත් එක්ක තරහයි” ඔහු එහෙම කියල එවල තිබුණ.

හ්ම්ම්ම්..... ඇති යන්තම්.. ආයේ රෑට කෝල් කරන එකක් නැහැ එහෙනම්...

මම විශ්ව විද්‍යාලයේ සේවය කරමින් ඉන්නේ, PhD එකක් හැදෑරීමේ අරමුණින් ශිෂ්‍යත්වයක් ලැබෙන කම් කියා ඔහු දන්නව. ඒ නිසාමද මන්ද, පසුව ඔහු මෙහෙම එවා තිබුණ.


“උඹ ඔය තරම් ඔලුව උදුම්මගෙන ඉන්නෙ, උඹ PhD එක ඉවර කරලද”

............................................................................................................

“හ්ම්ම්ම්..... ඔය කිවුවට, අපේ තාත්ත කොයි තරම් හොඳයිද, ඒ වගේ පිරිමි ටික දෙනෙක් හරි ඇති”