September 28, 2018

ජපන් කතා - අතීත මතක පොදක්

ජපානයේ ඉගෙන ගන්නට ගිහිපු සිසුවියක් වටා ගෙතුන බොහොම අපූරු කතාවක් ලියවෙනවා මෙතන. ඇය මුලින්ම ජපානයට පය ගහපු දවස ගැන තියන විස්තරේ කියෙව්වම, මට ජපානයට පය තිබ්බ මගේ මුල් දවස සිහි වුණා. ඉතින් එතකොට මට හිතුණ, ඒක බ්ලොග් එකේ ලියන්න වටින කතාවක් තමයි කියල.

හැබැයි පුංචි පෙරවදනක් ලියන්නම්. මම බ්ලොග් එකේ ලියන්නේ ගොඩක් වෙලාවට, ජීවිතේ සිදු වුණු, බෙදාගන්න කැමති විශේෂ සිදුවීම් නේ. අවාසනාවකට, මේ ගොඩක් සිදුවීම් ඉතින් ටිකක් දුක හිතෙන, කලබලකාරී කතා. එහෙමයි කියල ජීවිතේ දුකක්, කරදර ගොඩක්, කියල හිතන්න එපා හොඳද. මගෙත් ජීවිතේ සුන්දර තැන් තියනවා, නමුත් ඒවා ලියවෙන්නේ නැහැ, බෙදාගන්න ලෝබයි, ඒවා මං විතරක් දැනන් උන්නාම ඇති. :)

මම මේ කියන දේවල්, කවදාහරි ජපානයට යන්න හිතන් ඉන්න කෙනෙක් කියෙවුවොත්, කියවලා බය වෙන්න එපා. මට වැරදුණු තැන් කියවලා බලල, තවත් දිරි ගන්න, හොඳද.

ඔන්න කතාව.

*****

මම මාස්ටර්ස් උපාධියක් සඳහා ශිෂ්‍යත්වයක් ලැබිලා, ජපානයට ගියා කියල මම කියල තියෙනවා ඔයාලට මතක ඇති. මම ඒ ගියේ 2015 දී. දැන් නම් ඒ වැඩ කටයුතු ඉවර කරලා, ජපානයට සමු දීලා මම උසස් අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් රාජධානියට ඇවිත් ඉන්නෙ. නමුත් මම අද මේ කියන්න යන්නෙ, මීට හරියටම අවුරුදු තුනකට වගේ උඩදි, ඔක්තෝබර් පලමුවනිදාවක, ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 454 ගුවන් යානයෙන්, ජපානයේ නරිටා ගුවන් තොටුපලට මම මුලින්ම ගොඩබැහැපු දවස ගැන මගේ මතකය.

මුලින්ම කියන්න ඕන, මම ජපානයේ හැදෑරුවේ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම් කටයුතු කෙරුණු කෝස් එකක්. මූලික කතාවෙන් ටිකක් පිටට යනවා නම්, ජපානයේ මේ වගේ ඉංග්‍රීසි මාධ්‍ය කෝසස් පටන් ගන්නට යම් හේතුවක් තියනව. මම ඉගෙනුම ලබපු, ටෝකියෝ විශ්ව විද්‍යාලය ඇතුළු, ලොව ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාල ජපානයේ තිබුණට, Ranking ලිස්ට් වල මේ විශ්ව විද්‍යාල වලට ලකුණු අඩු වෙන්නේ International recognition/outlook කියන කාණ්ඩය යටතේ. Research, teaching වගේ දේවල් වලට බොහොම ඉහළ ලකුණු ලැබිලා, එක අංශයකින් විතරක් පහළ යාම අඩු කරගන්නට ඔවුන් විසින් අරඹපු ක්‍රියාමාර්ග ගොඩක් අතරින් එකක් තමයි ඔය ඉංග්‍රීසි මාධ්‍ය කෝසස්. මේවට ගොඩක් වෙලාවට ඇප්ලයි කරන්නේ අපි වගේ, ජපන් නොවන පිටරට සිසුන් සහ, ඉංග්‍රීසි හොඳින් හැසිරවිය හැකි ජපන් සිසුන්. මේ ජපන් සිසුන් ගොඩක් අයගේත් ප්‍රථම උපාධිය එක්සත් ජනපදයේ, සහ ඔවුන් ගොඩක් අයට සාම්ප්‍රදායික ජපන් ගති පැවතුම් එලෙසින්ම පිහිටලා නැහැ. ඒ වගේම, මේ කෝසස් වලට තෝරා ගැනීමේදී, ජපානයේ අනිත් කෝසස් වලට වඩා පොඩි වෙනසක් තියනවා, ඒ තමයි IELTS ප්‍රතිඵල සටහනකුත්, අපි යවන්නට ඕනේ.

ඉතින් මේ කෝස් එකට ගොඩක්ම එන්නේ ජපන් කතා නොකරන පිටරට සිසුන් නිසා, ඔවුන් මේ සිසුන්ගේ පහසුව උදෙසා ගොඩක් දේවල් කරනව. එයාල හැම අලුත් සිසුවෙකුටම, ඊ මේල් මගින්, ටියුටර් කෙනෙක්ව හඳුන්වා දෙනව. අලුත් සිසුන් ජපානයට එන්න කලින් ඉඳන්, අරන් එන්න ඕන දේවල් කියන එකේ ඉඳන්ම, ජපානයට ආපු අලුත් සිසුවා පිළිගැනීම, බැංකු ගිණුම් විවුර්ත කිරීම, ෆෝන් එකක් ගැනීම, බයිසිකලයක් මිලදී ගැනීම වගේ ගොඩක් දේට මේ ටියුටර් උදව් කරනව. ටියුටර් කියන්නෙත් අපේ ප්‍රෝග්‍රෑම් එකේම සිසුවෙක් තමයි. ගොඩක් වෙලාවට එයා අපට වඩා සෙමෙස්ටර එකක් හෝ දෙකක් ඉහළ මට්ටමක ඉගෙන ගන්න, ජපන් හා ඉංග්‍රීසි භාෂා දෙකම කතා කරන්න පුළුවන් සිසුවෙක්. ටියුටර් විදියට වැඩ කරන එක, එයාට පාට් ටයිම් ජොබ් එකක්, අපි වෙනුවෙන් ගත කරන කාලය වෙනුවෙන් ඔහුට/ඇයට ගෙවීමක් ලැබෙනව.

ඉතින් ජපන් ජාතිකයින්ට ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂා එතරම් කතා කරන්නට බැහැනෙ. බස්, දුම්රිය, බොහොමයක ජපන් භාෂාවෙන්ම තොරතුරු සඳහන් වෙන නිසා, අලුතින්ම එන සිසුවාට උදව් කරන්නට, බොහෝ වෙලාවට ටියුටර් එයාපෝට් එකට එනව. මීටිං නිසා හෝ මොකක් හරි වැඩක් නිසා, ඇතැම් අයට එන්න අමාරු නම්, එයාලා අපට එයාපෝට් එකේ ඉඳන් කැම්පස් එකට එන්න අවශ්‍ය තොරතුරු කියල එවනව. ඉතින් මගේ ටියුටර් ටත්, එයාගේ ලැබ් එකේ වැඩක් වැටුණු නිසා එයාපෝට් එකට එන්න අමාරුයි කියල, එයා මට එයාපෝට් එකේ ඉඳන් බස් එකේ එන හැටි, බස් ටිකට් මිලදී ගැනීමේ ඔෆිස් එක තියන තැන, වගේ තොරතුරු සහිත ඊ මේල් එකක් එවුව. කැම්පස් එකට කිලෝ මීටර දෙකක් වගේ දුරින් දුම්රිය නැවතුම්පලක් තියනව. එයාපෝට් එකේ ඉඳන්, මේ දුම්රිය නැවතුම්පල ලඟට බස් එකක් තියනව. ඉතින් එයාපෝට් එකෙන් මට මේ බස් එකට නැගලා, ස්ටේෂන් එක ළඟ බැහැල ඉන්න කියල උපදෙස් ලැබුණ. මගේ ටියුටර් මාව ගන්න එතනට එනව කිවුව.

මම එයාපෝට් එකේ බස් ටිකට් විකුණන ඔෆිස් එකට ගිහින්, මට අවශ්‍ය කරන ස්ටේෂන් එක ලඟට යන බස් එකට ටිකට් එකක් ගත්ත. ටිකට් ඔෆිස් එකේ නිලධාරීන්ට ඉංග්‍රීසි එතරම් බැහැ, මට ජපන් කිසිසේත්ම බැහැ. කොහොමහරි ටිකක් අමාරුවෙන් ඔවුන් කියපු විදියට මට තේරුණේ 12 වෙනි බස් නැවතුමට මා යා යුතු බව. බස් එක පිටත් වෙන්නේ 9:00 ට. ඉතින් මම 8:50 ට විතර 12 වෙනි බස් නැවතුමට ගිහින් බැලුවම එතන බස් එකක් නවත්තලා තිබුණේ නැහැ. ජපානයට මම ගියේ මගේ පළමු විදෙස් ගමන. ඉතින් මම හිතුවේ ලංකාවේ වගේ, බස් එක එතන නවත්තලා ඇති කියල, සෙනග පිරුණම 9:00 ට පිටත් වෙන්න. වට පිට බැලුවට බස් එකක් පේන්නත් නැහැ, ඉතින් මට දැන් ටිකක් සැකයි, මොකද ටිකට් ඔෆිස් එකේ අයට ඉංග්‍රීසි අමාරු නිසා මට වැරදිලා වෙන අංකයක් 12 වගේ ඇහුනද දන්නෙත් නැහැ, 9:00 ට පිටත් වෙන්න තියන බස් එක මිස් වුනොත් ඊළඟට බස් එකක් තියෙන්නේ දවල් හෝ හවස් වෙලා. මට 12:00 ට කැම්පස් එකේ තියෙන පිළිගැනීමේ සැසියට ප්‍රමාද නොවී සහභාගී වෙන්නත් ඕන. ඉතින් මම තීරණය කළා ආපහු ටිකට් ඔෆිස් එකට ගිහින්, බස් නැවතුමේ අංකය යලිත් අහගෙන, සනාථ කරගෙන එන්න.

මගේ ළඟ ටිකක් බර main luggage එකත් තිබුණ. ඉතින් මම හිතුව මේකත් ඇදගෙන ටිකට් ඔෆිස් එකට ගිහින් ආපහු එනකොට මට බස් එක මිස් වෙන්නත් ඉඩ තියනවනෙ කියල. බෑග් තියල යන්න විදියක් තිබුණ නම් ඉක්මනට දුවල ගිහින්  අහගෙන එන්න තිබුණ. ඔහොම හිතල වටපිට බලනකොට, මං ආපු ගුවන් යානයෙන්ම ආව කියල හිතෙන, ශ්‍රී ලාංකික සහෝදරියක් හිටිය එතන හිටගෙන. මම එයාට කතා කරල, බෑග් දෙක එතන තියල, ආපහු ටිකට් ඔෆිස් එකට ගියා.

ඒ ගියාම, ටිකට් ඔෆිස් එකේ හිටපු බොහොම කරුණාවන්ත නිලධාරීන්, එක අතක එක ඇඟිල්ලකුත්, අනිත් අතේ ඇඟිලි දෙකකුත් පෙන්නලා, බස් එක පිටත් වෙන්නේ 12 වෙනි බස් නැවතුමෙන් තමයි කියල තහවුරු කළා.

ඒකත් අහගෙන මම එනකොට, අර සොයුරියව එක්කගෙන යන්න එයාගේ ගෙදරින් ඇවිත්. නමුත් මගේ බෑග් ටික එතන දාල යන්න විදියක් නැති නිසා එයාල මම එනකම් බලන් හිටිය. මම ආවම එයාල මාත් එක්ක කතා කළා.

"බස් එක නම් එන්නේ මෙතනට තමයිලු. මම ඉඳල බලන්නම් එහෙනම්"

"හරි. නංගි කොහෙටද යන්නෙ?"

"කශිව. කශිව කිට්ටුව, කශිවනෝහා කැම්පස් ස්ටේෂන් එකට"

"අපිත් යන්නේ කශිව තමයි. අපි එක්ක යන්න පුළුවන්... කැමතිනම්"

අර සොයුරියව එක්කගෙන යන්න ආපු ඇගේ සොහොයුරා, මට එහෙම කිවුව. ඒ වගේම, නාඳුනන රටක හමුවුණු නාඳුනන ඔවුන්ව මම අවිශ්වාස කරාවි කියල හිතල වගේ, ඔහු අර "කැමතිනම්" කියන කොටස කිවුවේ ටිකක් බර කරල. මට ඔවුන් සමග එන්නට බලෙන් කතා නොකරන බවත්, උදවුවක් විදියට විතරක්ම එහෙම කියපු බවකුත්, ඒ තනි වචනයේ ගැබ් වෙලා තිබුණ.

ටිකක් වෙහෙසටත් පත් වෙලා, පේන්නත් නැති බස් එක වෙනුවෙන්, නොතේරෙන භාෂාවක් කතා කරන තැනක බලන් ඉන්නවට වඩා, ඔවුන් ඉදිරිපත් වුණු වෙලාවේ උදවුව ලබා ගැනීම හොඳ බව මම කල්පනා කළා.

"හරි. මම ඔයාල එක්ක එන්නම්"

අපි තුන් දෙනා, එයාපෝට් එකේ තියන විශාල රථ ගාලට ඇවිදගෙන ගියා. ඒ සොහොයුරා ගේ වාහනයේ මගේ බරැති බෑග් එක ඔසවලා දමන්නට ඔහු මට උදව් කළා.

"නංගිත් පොඩියට හිටියට නංගිටත් වඩා බර බෑග් එකක් උස්සන් ඇවිත් නේ"

"ඔයාලට මම නිසා කරදරයි නේද"

"කමක් නෑ. ලංකාවේ කෙනෙක් නේ"

"ඔයාල මුණගැහුණු එක ලොකු දෙයක්. නැත්නම් මට බස් එකත් පේන්න නැති නිසා ටිකක් බය හිතිල තිබුණෙ"

"මේ නංගි ජපානේ ආපු පළමු වතාවද?" අර සොයුරියත් හඬ අවදි කළා.

"ඔව්"

"ආ.. එහෙමද? අප්පා එහෙනම් බස් හෝල්ට් එක හොයාගනිපු එකත් ලොකු දෙයක් නංගි"

ඔවුන් මගේ හිත හැදුව.

ඔවුන්ගේ ගමනාන්තයට කලින් මාව ඇරලවන්නට හිතාගෙන, ඒ සොහොයුරා මැප් එකේ මා යා යුතු දුම්රියපළ සටහන් කළා.

ඔහොම යනකොට දිගින් දිගටම පහු වුණේ තණකොළ වැවුණු ගම්බද ඉඩම් සහ ඈතින් ඈතින් පිහිටි සාම්ප්‍රදායික ජපන් ගෙවල්. ඒ ගෙවල් නුත් මිනිසුන් ජීවත් වෙන ගෙවල් ද නැත්නම් අත ඇරලා දාපුවාද කියලත් හිතාගන්න බැරි තරම්. මේ නුහුරු හා අමුතු පරිසරය දැකලා මගේ හිතට දැනුනේ හරිම ව්‍යාකූල බවක්. මගේ හිත කියවලා වගේ අර සොහොයුරා හඬ අවදි කළා.

"නංගි. අපි මේ යන්නේ මැප් එකේ පෙන්නන ෂෝට් කට් එකක. ඒකයි මේ ටිකක් පරිසරය අමුතු. නංගිට මේ පාර දැක්කම නම් දැන් ආපු ගමන් ආපහු යන්න හිතෙනවා ඇති, ගණන් ගන්න එපා, මේ පාර විතරයි මෙහෙම. කැම්පස් එක එහෙම මෙහෙම අමුතු නෑ හොඳද"

"හරි අයියා"

"අපි ෂෝට් කට් එකක යන නිසා, ඔයාගේ ටියුටර් එනවා කියල පොරොන්දු වුණු  වෙලාවට කලින් අපිට ඔයාව ඩ්‍රොප් කරන්න පුළුවන්. ඔයා මෙහෙම කරන්න. ටියුටර් ට කෝල් එකක් ගන්න. එයාට කියන්න පැය බාගයක් විතර කලින් එන්න කියල"

මම ලංකාවෙන් යනකොට ෆෝන් එකට ටිකක් වැඩියෙන් මුදල් දාගෙන ගියා, රෝමින් පහසුකම භාවිතා කරන්න පුළුවන් වෙන්න. ජපානයේ ඩේටා නම් රෝමින් වලින් භාවිතා කරන්න බැරි වුණා, නමුත් කෝල්ස් පුළුවන්. ඉතින් මම ටියුටර් ට කෝල් කළා. ආන්සර් කලේ නැහැ, ජපන් භාෂාවෙන් රේකොඩින් එකක් ප්ලේ වුණා. මම කිහිප වරක් උත්සාහ කළා, හරි ගියේ නැහැ. රෙකෝඩින් එක ඉවර වෙලා වොයිස් මැසේජ් එකක් ලබා දෙන්න පුළුවන් බව තේරුණු නිසා මම එයාට මැසේජ් එකක් තිවුව. ටිකකින් අපි ගමනාන්තයට ලඟා වුණා.

"නංගි, මේක තමයි ඔයා කියපු ස්ටේෂන් එක නම්. අපිට තව වැඩකට යන්න තියන නිසා ටියුටර් එනකම් ඉන්න ටිකක් අමාරුයි. අර තියෙන්නේ ෆැමිලි මාට් එක. මෙතන මැක්ඩොනල්ඩ්ස් එක. දෙකේම ෆ්‍රී වයිෆයි තියනවා, ඔයාට ටියුටර් ව කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙයි"

"හරි අයියා. තෑන්ක් යූ සෝ මච්"

මම මැක්ඩොනල්ඩ්ස් එකට ගිහින් බීමක් අරගෙන වාඩි වෙලා ටියුටර් ට මැසේජ් කරන්න බැලුව. නමුත් ඒ වයිෆයි එක එච්චරම සාර්ථක නැහැ.

ටියුටර් එනවා කිවුව වෙලාවත් පහු වුණා, විනාඩි තිහක් විතර මම බලන් හිටියා. සාමාන්යෙන් ජපන්නු එහෙම පහු වෙලා එන පිරිසකුත් නෙවෙයි. (මගේ ටියුටර් ජපන් ජාතික ගෑණු ළමයෙක්) එයාට සැරින් සැරේ කෝල් කරන්න ට්‍රයි කරලා රෝමින් දාපු සල්ලි ටික ඉවර වුනොත් ඔක්කොම ඉවර නිසා මම ටිකකින් ඒ වැඩේ අත ඇරලා දැම්ම.

මම ජපානේ එනවා කියල විස්තර අහන්න කතා කරපු තවත් ශ්‍රී ලංකික සොහොයුරෙක් හිටියා සයිතාමා විශ්ව විද්‍යාලයේ. මම එයාට කෝල් කරලා විස්තරේ කිවුව.

"මට ඔයාව ගන්න එන්න පුළුවන් නංගි. ඒත් මට මෙහෙ ඉඳන් ඔතනට එන්න පැයකටත් වඩා යනව. ඔයාගේ කැම්පස් එකේ මගේ යාලුවෙක් ඉන්නව. මම එයාට කියන්නම් ඔයාව ගන්න එන්න කියල"

මම මැක්ඩොනල්ඩ්ස් එකෙන් එලියට ගිහින්, ස්ටේෂන් එකේ බංකුවක වාඩි වෙලා, එහෙට මෙහෙට දුවන මිනිස්සු දිහා බලන් හිටිය. ඒ හැමෝම වට පිට නොබල, වේගයෙන් ඇවිදන් යනව, මට අම්මව මතක් වෙලා ටිකක් ඇඬුම් ආව. හරිම තෙහෙට්ටුයි.

ඔහොම බලන් ඉන්නකොට ශ්‍රී ලාංකිකයො වගේ පෙනුම තියන තුන් දෙනෙක් වේගෙන් බයිසිකල් පැදගෙන ඒ පැත්තට ආව. ඇවිත් මැක්ඩොනල්ඩ්ස් එක පැත්තට එබුණ. හිතේ සැකේට මම එයාල ලඟට දුවගෙන ගියා.

"මේ මානවී ද"

"ඔව්, ඉසුරු අයියගෙ යාළුවොද?"

"ආ හරි. අපි යමු"

අපි කට්ටිය බස් එකේ හෝ, ටැක්සියක් අරගෙන කැම්පස් එකට යන්න හිතුවත්, බයිසිකල් එක්ක ටැක්සි වල හෝ බස් එකේ යන්න බැරි නිසා, කොහොමහරි ඔක්කොම ටික තල්ලු කරන්, කතා කර කර පයින් ඇවිදගෙන ගියා. එහෙම යන අතරේ, එයාලගේ ෆෝන් වලින් හොට් ස්පොට් එකක් හදල දීල, මම යහතින් ඉන්න බව අම්මලට දැනුම් දෙන්නත් ඔවුන් ඉඩකඩ හදල දුන්න. 12:00 ට පටන් ගන්න සැසියට මම හරියටම 12:00 ට දොරෙන් ඇතුළු වුණා.

"ආ.. මානවී.. ඔයා වෙලාවට ඇවිත්"

ප්‍රෝග්‍රෑම් එකේ සංවිධායක කාන්තාවෝ මාව පිළිගත්ත.

මෙහෙම මාව පිළිගත්තු ශ්‍රී ලංකික යාළුවො ටික, එහේ ඉන්නකම් මාත් එක්ක දුක සැප බෙදාගත්ත. නමුත් අවාසනාවකට මට එයාපෝට් එකේ ඉඳන් ස්ටේෂන් එකට ලිෆ්ට් එක දුන්නු ශ්‍රී ලංකික සොහොයුරා ගේ නම වත් අහගන්න බැරි වුණා. ඒ වෙලාවේ මම ටිකක් කැළඹුණු මනසින් හිටියෙ. ඒක හොඳ හේතුවක් නෙවෙයි බව දන්නව. ඉඳල හිටලා මගේ බ්ලොග් එකට එබෙන ජපානයේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් මේ ලිපිය කියෙව්වොත්, 2015 දී ජපානේ, කශිවා වල හිටපු ඒ සුන්දර හදවත් හිමි ශ්‍රී ලාංකික අක්කයි, මල්ලියි, හැමදාම මගේ හදවතේ ඉන්නා බව කියන්න. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න.

ජපානේ පාර අයිනේ පිපිල තියනකොට මම කැමරාවේ සටහන් කරගනිපු රෝස කිනිත්තක් 














*****

අර ශ්‍රී ලාංකික සිසු පිරිසේ උදවුවෙන් මට ටියුටර් මුණගැහෙන්න පුළුවන් වුණා. එදා උදේ එයාගේ ෆෝන් එක බිම වැටිලා කැඩුණු නිසා එයාට මාව හමුවෙන්න බැරි වුනාලු. හැබැයි ඉතින් එදා උදේ 10:30 ට ස්ටේෂන් එක ලඟදි හමුවෙන්න අපි කලින්ම කතා කරගෙන තිබුණෙ. එයාට ඕන නම් පොරොන්දු වෙච්ච වෙලාවට එතනට ඇවිත් බලන්නත් තිබුණ. ඒක ටෝකියෝ හෝ ශින්ජුකු වගේ දැවැන්ත දුම්රිය ස්ථානයක් නෙවෙයි, බොහොම පොඩි එකක්.

ටික කාලයක් යනකොට, යාළුවන්ගේ අත්දැකීම් කතා කරලා බැලුවම, බොහොම උනන්දුවෙන් උදව් කරන ටියුටර් ලා වගේම, ටිකක් වගකීම් පැහැර හරින ටියුටර් ලත් ඉන්න බව අපට තේරුම් ගන්න පුළුවන් වුණා. මගේ ගොඩක් වැඩ වලට අර ශ්‍රී ලංකික සිසු පිරිස උදව් කළා. සමහර ඒවා යාලුවන්ගේ ටියුටර් ල එක්ක ගිහින් කරගත්ත. බොහොම සරල සමහර වැඩ තනියම කරගත්ත.

ජපන්නු උනත් හැමෝම එක වගේ නෑ ඉතින්. කලාතුරකින් වෙනස් අයත් ඉන්නව.

*****

මේ සිදුවීමෙන් පස්සේ නම් බැකප් ප්ලෑන් එකක් නැතුව මේ වගේ දේවල් කරන්නේ නැහැ. උදාහරණයක් විදියට, කවුරුහරි කෙනෙක් මගට එනවා කිවුවත්, එයා ආවේ නැති උනොත් යන විදිය කලින් බලාගෙන, මැප් එකක් හෝ ප්‍රින්ට් අවුට් එකක් හෝ, ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන තමයි ගමන පිටත් වෙන්නෙ. ෆෝන් එකේ බැට්රි බැස්සොත් උනත් අසරණ නොවී ඉන්න පුළුවන් එතකොට.

ඒ වගේම, මට අවශ්‍ය වෙලාවේ ළඟට උදව් ලැබුණ වගේ, පුළුවන් තරම් අනිත් අයටත් උදව් කරන්න උත්සාහ කරනව, විශේෂයෙන්ම මට මුණගැහෙන සිසුන්ට, අලුත් රටකට එක පාරට ආවම දැනෙන පොඩි පොඩි අපහසුතා වලින් මිදෙන්නට.

13 comments:

  1. අගේ ඇති අත්දැකීමක්. අපි හුගක් අය ප්ලෑන් එකක වැඩ කරාට ඒක අවුල් උනොත් ඊළගට යන බී ප්ලෑන් එකක් ගැන හිතන්නේ නැහැ. ඒක ලොකු දුර්වල තාවයක්. සමහර මිනිස්සු එකපාර ප්ලෑන් තුනක් විතර තියාගෙන වැඩ කරන හැටි මම දැකල තියෙනවා. ජය වේවා. මේකෙන් කතාව ඉවරද? අර ජපන් ළමයාගේ ජපන් බැස්ස කතාවත් මම කියවල තියේ..

    ReplyDelete
    Replies
    1. දේශක තුමා මේ පැත්තේ ආවේ පළමු වතාවටද කියල මට හරියටම ෂුවර් නෑ.

      කොයි එකටත් කියල ඔන්න ආදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට. :)

      ඔව්, අත්දැකීම් එක්ක වැඩි දියුණු වෙලා මමත් දැන් නම් ඔක්කොම බිත්තර ටික එක කූඩයේ දමන ආකාරයේ වැඩ ටිකක් අඩුවෙන් කරන්නේ.

      //මේකෙන් කතාව ඉවරද?//

      ම්ම්ම්.... ලියන්න දේවලුත් නැත්තේම නෑ, මාස්ටර්ස් එක කරනකොට PhD එකට වඩා විවේකය තියන නිසා එක එක පිස්සු වැඩ නම් කළා (ඉගෙන ගත්ත එක ඇරෙන්න ඔක්කොම කළා කිවුවත් හරි). ජපන් නැටුම් ඉගෙන ගත්ත, volunteering කළා. නමුත් ලියන්න දේවල් තිබුනත් හෑල්ල වගේ ලියනකොට සමහර ලියමන් කියවන අයට නීරස වෙන්න පුළුවන් නේ, ඒකයි. මම ටිකක් කල්පනා කරලා බලලා, හොඳයි කියල හිතුනොත් ජපානේ තොරතුරු තව ලියනවා.

      මේ ලිපිය වුනත් ඉතින් කොයි තරම් දුරට රසවත් ද කියන එක නම් අනේමන්ද. :)

      Delete
    2. නෑ නේද? මීට කලින් මං ඇවිත් තියෙන තැනක් මේක

      Delete
  2. බොහොමයක් ජපන්නු වෙන අයට උදව් වෙන්න ඉදිරිපත් වෙන්නේ ටිකක් අඩුවෙන් කියල මට හිතෙනවා. මම 2015 දී ජයිකා ටෝකියෝ ඉන්නකොට දවසක් හතගයා ස්ටේෂන් එකට යද්දී දැක්ක වයසක ජපන් ආච්චි කෙනෙක්ගේ hat එකක් හුළගේ රෝල් වෙලා යනවා පාර දිගේ. ආච්චි පස්සෙන් දුවනවා ඒක අල්ලගන්න ! ඒත් පාරේ යන ජපන් අය නිකන්වත් ඒක අහුලලා දෙන්න උත්සහ කලේ නැහැ. කොහොම වෙතත් ලංකාවේ පුරුද්දට මම ඒක අහුලලා ආච්චිට ගෙනත් දුන්නම දෙකට තුනට නැමි නැමී ජපන් විදියට අරිගතෝ ගොසෛමස් කියල ස්තුති කරන්නට නම් ආච්චි අමතක කලේ නැහැ.

    තවත් දවසක ට්‍රේන් එකේ ෂින්ජුකු යද්දී ජපනෙක් කලන්තේ දාල වැටුනා. එත් වටේ හිටිය අයට ගානක්වත් නෑ. ගොඩක් අය power bank ගහගෙනම iphone එකේ වැඩ! ඔළුව වත් උස්සන්නේ නැහැ.

    අනේ මන්ද, ගමේ ගොඩේ හම්බ වුන (ඔසාකා පැත්තේ) ජපනෙක්ම කිව්වා දැන් හැදෙන ජපන් පරපුර වැඩක්ම නැහැ කියල ! ඔයාගේ ටියුටර් කෙල්ලත් එහෙම වෙන්නැති නෙහ්?

    ReplyDelete
    Replies
    1. මට පෙනුණු දැනුණු දේවල් වල හැටියටත් ඔයා කියන දේට එකඟ වෙන්න පුළුවන්. වැඩිහිටි ජපන් අය එක්ක කතා කර කර ඉන්න එක වුණත් හරිම අපූරු අත්දැකීමක්. ගම් වල ජපන්නු හරිම මිත්‍රශීලියි. උත්සාහයෙන් දියුණු වුණු ව්‍යාපාරිකයා සහ, ඒ නිසාම උපතින් දේපල උරුම වුණු ඔහුගේ පුතා වැඩ කරන ආකාරය වෙනස් නේ. ඒ නිසා වෙන්න ඇති.

      ජපන්නු සාමාන්‍යයෙන් විදේශිකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔවුන් වගේ ආචාරශීලී විදියට හැසිරේවි කියල. ඒ නිසා අපි ඉඳල හිටල ඔය වගේ දෙයක් කලාම එයාල හරියට impress වෙනව. නාගරික ගොඩක් අය හැසිරෙන්නේ ඔයා කියනවා වගේ තමයි, එදිනෙදා ජීවිතේ මොලේ දුවන්නේ කලින් කෝඩ් කරපු ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනව වගේ. හදිසියේ කෙනෙකුට උදවුවක් ඕන වුනාට එක පාරට තමන් හිතල ක්‍රියාත්මක වෙන එක ඔවුන්ට කරන්න අමාරුයි. සමහර විට ජීවිතයේ තියන කාර්යබහුල බව නිසා වෙන්න ඇති.

      මගේ ටියුටර් නම් ස්වභාවයෙන්ම ටිකක් නොසැලකිලිමත් කියල මට තේරුම් ගියා ටික කාලයක් යනකොට. මගේ වැඩ පැත්තකින් තියමුකෝ, එයා එයාගේ අධ්‍යාපන වැඩත් කලේ ටිකක් වගකීම් විරහිත විදියට.

      Delete
  3. කාලෙකට පස්සේ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ... ජපන් කතා වගේම යූ.කේ කතාත් ලියන්න :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පමල්, දිරිගැන්වීමට.

      ජපානයට සාපේක්ෂව ගත්තම යූ කේ වල තියන ගොඩක් දේවල් අපට ටිකක් කිට්ටුයි, අපි එයාලගේ යටත් විජිතයක් වෙලා හිටපු නිසා වෙන්න ඇති, සමහර විට. මම මේ කියන්නේ සිස්ටම් එක, පාරවල්, කෝච්චි. ඒ වගේම යූ කේ වල තියන ගොඩක් ආහාර, ෂැම්පු වර්ග එහෙම අපිට ලංකාවේ හුරු පුරුදු නම් සහ බ්‍රෑන්ඩ්. යූ කේ වලත් කෝච්චි පරක්කු වෙනවා, කැන්සල් වෙනවා හිටපු ගමන්, මට ජපානේ ඉඳන් ආපු ගමන් මෙහෙ කෝච්චි පරක්කු වෙනවා/ කැන්සල් වෙනවා දැක්කම හිතාගන්න බැරි වුණා.

      හැබැයි ඉතින් බටහිර රටක් විදියට, සමහර දේවල් අතින් වෙනස්.

      ගොඩක්ම අපූරු වුණේ, නැගෙනහිර් කෙලවරේ ආසියානු සම්ප්‍රදායක ඉඳල, මෙහෙට ආවම දැනුණු කල්චරල් ෂොක් එක. ඒ ගැන ලියන්න උත්සාහ කරන්නම්, හෙමින්.

      Delete
  4. සුමාන දෙකක් ජපානයේ ගතකරපු මගේ අත්දැකීම් නම් වෙනස්. උදව්වක් ඉල්ලනකම් ඉන්නෙ නැතුව උදව්වක් ඕන කියල හිතල ඇවිල්ල ඉංග්‍රීසි වචනයක් බැරිව වුනත් ඒගොල්ලන්ගෙ කාලෙ වියදම් කරල උදව් කලා. එක තරුණියක් රෑ එකට විතර මගේ නවාතැන හොයාගන්න උදව් කලා. අදාල පාරට ආවම මට යාගන්න පුළුවන් වුනත් අදාල ස්ථානයටම එනකම්ම ඇය ආවා. එකම එක අවස්ථාවක් වත් ඔබ විස්තර කරපු ආකාරයේ කෙනෙක් හමුවුණෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයාට හමු වුණු විදිය තමයි අපේ හිතේ තියන සාමාන්‍ය stereotype එකේ විදියේ ජපන්නු. බහුතරයක් ඒ වගේ තමයි ඉයන්, අර මම උඩින් කියල තියනවා වගේ, අපේ graduate program එක ඉංග්‍රීසි මාධ්‍ය නිසා, ඒකෙ ඉන්න ජපන් සිසුන්ට සාම්ප්‍රදායික ජපන් ගති එලෙසින්ම පිහිටලා තිබුණේ අඩුවෙන්.

      මටත් ජපානයට ගිහිපු ගමන් ලැබුණු උපදෙස තමයි, මෙට්‍රො එකක අතරමං උනොත් එහෙම, භාෂාව කතා කරන්න බැරි උනාට කමක් නෑ, ගමනාන්ත දුම්රියපළේ නම කියලා අහන්න කියල. ගොඩක් වෙලාවට ඔවුන් අපිව එතනටම ගෙනැත් අරලවනව ලු. හැබැයි මට මේක කරල බලන්න අවස්ථාවක් ලැබුණේ නැහැ, අතරමං වුණේ නැතුව බේරෙන්න පුළුවන් වුණා. :)

      අර උඩින් නුවන් කියල තියන විදියේ නව පරම්පරාව ටෝකියෝ කිට්ටුව, පාසල් යන වයසේ අය අතරේ දකින්න ලැබුණ, හැබැයි අපි ෆීල්ඩ් වර්ක් වලට කුමමොතෝ වල මිනමතා ගමේ පාසලක පොඩි වර්ක්ෂොප් එකක් කළා. ඒ ගමේ දරුවෝ ටෝකියෝ වල දරුවන්ට වඩා බොහොම වෙනස්‌, ලජ්ජාශීලී, ආචාරශීලී, හරිම ස්වීට් කියුට් දරුවෝ පිරිසක්.

      ඒ වගේම, හොකයිඩෝ වගේ පැති වල හමු වුනෙත් බොහොම ආදරණීය ජපන්නු. නාගරික, කාර්ය බහුල පරිසර වලට සාපේක්ෂව.

      ඔය ඔක්කොම පැත්තකින් තිබ්බොත්, මම සාමාන්‍ය ජීවිතේ කට්ට කන්න ලැබෙන කෙනෙක්. Luck එක අඩුයි. සමහර විට ඒ නිසා, කෙයාලස් ටියුටර් කෙනෙක් මට ලැබුණා වෙන්නත් පුළුවන්. :)

      Delete
    2. මානවී ඔබ බොහෝ කාලයක් හිටිය නිසා දවස් කීපෙකට ගිය කෙනෙකුට වඩා මිනිසුන්ව විනිවිද දකින්න පුළුවන් වුණා වෙන්නත් පුළුවන්.

      Delete
    3. ඉයන්,

      එහෙම කියන්නත් බෑ. සමහර අයට ඉතා කෙටි කලකින් අනිත් අයව තේරුම් ගන්නට පුළුවන්. නමුත් ඔබට මුණගැහුණු විදියේ අය තමයි බහුතරයක් ඉන්නෙ. ඒ නිසා ඔබේ අත්දැකීම එක්ක මම එකඟයි.

      Delete
  5. මේ හලෝ...තදා ඉමා කියන්නෙ මොකක්ද? මට මතක විදිහට මං ආවා කියන එක වෙන්න ඕන.....

    මම පොඩි කාලෙ කියවපු නවකථාවක නම ඒක.. ඒක ජපානෙ ගැන ලියවුනු කතාවක්...කර්තෘ තොම්සන් ඒ. වැන්දබෝනා මහත්මයා...

    ReplyDelete
    Replies
    1. තදා ඉමා කියන එකට හරියටම ගැලපෙන තේරුම දෙන වචනයක් සිංහලෙන් නැහැ ලු. සරලව ගත්තොත් "මම ආවා" කියන අදහස වගේ තමයිලු.

      උදාහරණ විදියට, ගෙදරකට ගොඩ වෙනකොට හෝ කොහේ හරි ගමනක් ගිහින් ආවම වගේ.

      ඔබගේ මතකය හරි. මම ඒ පොත කියවලා නැහැනෙ.

      Delete