12.29.2015

ජපන් කතා 1 - ඇරඹුම පළමු කොටස


ටික කාලයක් නිහඬව හිටියේ ජීවිතේ පොඩි වෙනසක් සිදු වුනු නිසා. ඒ හා සමගම ඇති වුනු අමුතු කාර්ය බහුල කමක් නැතත්, හිතේ නිදහසක් නැති කම, මාව ලිවීමෙන් ඈත් කළා.


මම මේ ලියන්නේ ජපන් රටේ ඉඳන්, වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට ආ ගමන්. මේ ආ ගමන තමයි මම ඉහත කී පරිදි, මගේ ජීවිතේ සිදු වුනු වෙනස් කම. මේ ගමන ගැන ලියන්න තියනව දිග කතාවක්. ඒ කතාව තමයි අද පටන් ගන්නේ. කම්මැලිකම පැත්තක දාල සතියකට වරක් වත් මේක දිගටම ලියන්න බලාපොරොත්තු වෙනව.


මම කලින් දවසක අපේ ඩුඩ් ගේ බ්ලොග් එකෙත් කොමෙන්ට් එකක් දැම්ම. අපි සමහරක් අයට ජීවිතේ සමහර දේවල් ලබාගන්න පුදුමාකාර කට්ටක් කන්න සිදු වෙනව. ගොඩක් දේවල් උපතින්ම හිමි වුනු වාසනාවන්ත අය ඉස්සරහ සමහර වෙලාවට විහිළුවක් බවට පත් වෙන්න සිදු වෙන්නේ, මේ නිසා. මේ ජපන් ආපු ගමනත්, ඒ වගේ එකක්. පුදුමාකාර කට්ටක්. ඉතින් අහන්න, මගේ කතාව.


**********


පෙරවදන

විශ්ව විද්‍යාලයෙන් පිට උනාට පස්සෙ, මට උවමනා උනා රැකියාවකට යන්නට පෙර වැඩිදුර අධ්‍යාපන කටයුත්තක නියැලෙන්න. මම විදේශීය විශ්ව විද්‍යාල කිහිපයකටම, උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා අයදුම් කලත්, ඒ එකක් වත් මට ලැබුනේ නැහැ. මා හා සමාන අධ්‍යාපන සුදුසුකම් ඇති මිතුරු මිතුරියන්ට, ස්වකීය ප්‍රථම අයදුම් පත ම සාර්ථකයි කියල දැනුම්දීම් ලැබෙනකොට, මගේ අයදුම් පත් ප්‍රතික්ෂේප උනා. මම ආස කරන, සමුද්‍රාසන්න ඉංජිනේරු විද්‍යාව සඳහා තිබුණු උග්‍ර තරඟකාරී බව මේ සඳහා එක හේතුවක් වෙන්නට ඇති. නැත්නම් ඇත්තටම එක්කෝ ඒ මම අවාසනාවන්ත නිසා වෙන්නට ඇති. කොහොම උනත්, අවස්ථා වැඩිපුර ඇති, වෙනත් අංශයකින් උසස් අධ්‍යාපනය හදාරන්නට ගොඩක් අයගෙන් උපදෙස් ලැබුනත්, කැමැත්ත වැඩිපුර තියන විෂය අතහැර දමන්නට හිතට දැනුනේ දුකක්. සමහර වෙලාවට අපි කරන කියන දේවල් සාර්ථක නොවන විට හිතට දැනෙන වෙහෙස නිසා අපි පසුබට වෙන අවස්ථාත් තියනව. මටත් ඒ වගේ උනා.


ඇරඹුම

ඔහොම ඉන්න අතරේදී, මට කසාදයක් වත් කරල දුන්න නම් හරි කියල හිතාගෙන, අපේ අම්ම මට මනමාලයෝ හොයන්න පටන් ගත්ත. අපේ අම්ම මගේ හඳහන පරීක්ෂා කරවන්නේ මේ අතරේදී. “කසාද බඳිනකම් නම් මේ ළමයට ඉගෙන ගන්න රටින් පිට වෙන්න ලැබෙනව බොරු”

මගේ හඳහන කිවුවේත් එහෙමයි.



කාලෙකින් ලියන නිසා දිගටම ලියන්න කම්මැලියි. ඉතුරු ටික ඉක්මනටම ලියන්නම්. එතෙක් ඉවසීම වෙනුවෙන් ඔබට ස්තුතියි.


ජීවිතේ වෙහෙසයි නම්, මඳක් ගිම් නිවන්නට