1.23.2016

ජපන් කතා 4 - ඇරඹුම සිවුවන කොටස



ජපන් කතා බලන ප්‍රමාණය පොස්ට් එකෙන් පොස්ට් එකට අඩු වෙනවා. නමුත් හේතු කිහිපයක් මත මා මෙය දිගටම ලියාවි.


ඇත්තටම මා මේ ලියන්නේ මගේ ජීවිතේ උත්සාහයෙන් ලබාගනිපු දෙයක් ගැන. කවදාහරි ආපහු මතක් කරල සතුටු වෙන්න පුළුවන් විදියට, මට අමතක වෙන්න කලින් ලියල තියන්නයි මට ඕන. මට විතරක් පෙනෙන විදියට ලියනවට වඩා, බ්ලොග් එකේම මේක ලියල බෙදාගන්නට හිතුවේ, මේ කතාව කියවන්න ආස අය එක්කෙනෙක් හෝ ඇති කියල හිතුනු නිසා. ඒ වගේම මම කාපු කට්ට, තව එක්කෙනෙකුට හෝ ජීවිතේ කට්ට කන්නට දිරියක් සපයාවි යයි මම විශ්වාස කරනව. මොකද රෝස මල් යහනාවක් වන් ජීවිතයේ රෝස කටු ඇනෙන වෙලාවල් අපි හැමෝටම තියෙන නිසා.




මගේ පොස්ට් කියවල කොමෙන්ට් දාපු ඔබ සැමට මම මේ වෙලාවේ ස්තුති කරන්නට හිතුව, මොකද කොමෙන්ට් එකක් ටයිප් කරන එක ඔබට මහ දෙයක් නොවන්නට පුළුවන්, නමුත් ඒ මගින් මට ලිවීම උදෙසා ලැබෙන දිරිගැන්වීම සුවිශේෂියි. අද කාලේ සිදුවෙන දේවල් දිහා බලන විට, නාඳුනන මට ඔබ විසින් ලබා දෙන දිරිය ශක්තිය, ඉතා උතුම්.


**************

යලිත් කතාවට එමු.


ඇප්ලිකේෂන් එක ගෙන්න ගන්න විදියක් හිත හිත හිටිය මතකයි නේද?


මම අයදුම් කරපු විශ්ව විද්‍යාලයේ මම දන්න කියන කෙනෙක් හිටිය. අයදුම් පත ගෙන්න ගන්න විදියක් කල්පනා කරද්දී මුලින්ම මතක් වුනේ ඔහුව. මම ඔහුගෙන් ඇහුව මම තැපැල් ගාස්තු ගෙව්වොත් මට අයදුම් පත අරන් DHL කරන්න පුලුවන්ද කියල. එහෙම කරන්නට තරම් උවමනා නැති බවත්, EMS කරලා මම ලියුම යැවුවොත්, දින තුනක් ඇතුලට ලිපිය ජපානයට ලැබෙන බවත් ඔහුගෙන් දැනගන්නට ලැබුණ.




ඉතින් අයදුම් පත ලබා ගැනීමේ අයදුම් පත යැවිය යුත්තේ අදාළ IRC පත් සංඛ්‍යාව සමග බව මතකයි නේද? මම ඉතින් IRC පත් මීට කලින් භාවිතා කරලා නැහැ. තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ඔවුන්ගේ කස්ටමර් සර්විස් එකට අමතලා බැලුව. කස්ටමර් සර්විස් එකෙන් ලබා දුන් වෙනත් අංකයකට කතා කරලා බැලුවම, මම ඉන්නේ කොහෙද අහපු ඔෆිසර් කෙනෙක් මට කිවුව මොරටුව තැපැල් කාර්යාලයේ IRC පත් තිබෙන බව. ඉතින් මම හනිකට ගියා මොරටුව තැපැල් කාර්යාලයට.


"IRC කාඩ් 7 ක් ගන්න පුළුවන් ද මට?"

"මොකක්?"

ඒ මනුස්සය බය උනා මම IRC කාරියක් කියල හිතල වගේ!

"ඉන්ටර්නැෂනල් රිප්ලයි කූපන්ස් 7ක්."

"ආ.... දැන් ටෙලිෆෝන්, ඊ මේල්, කුරියර් සර්විස් එහෙම තියන නිසා, IRC භාවිතා වෙනව හරි අඩුයි නේ. අපේ ළඟ IRC නැහැ. ගල්කිස්සට යන්නකෝ. එහෙ ඇති."


ඊට පස්සේ මම ගියා ගල්කිස්සේ තැපැල් කාර්යාලයට.

"IRC කාඩ් 7 ක් ගන්න පුළුවන් ද මට?"

"මොකක්?"

ඒ මනුස්සයත් බය උනා මම IRC කාරියක් කියල හිතල වගේ!

"ඉන්ටර්නැෂනල් රිප්ලයි කූපන්ස් 7ක්."

"ඒ මොනවද ඒ? එහෙම එකක් ගැන අපි දන්නේ නැහැ."


ඉතින් මොකද කරන්නේ? මට හරි මහන්සියි. වතුරත් තිබහයි. එක පාරටම කරන්නට දෙයක් හිතා ගන්නත් බැහැ. ආපහු යනවද? IRC නැතුව ආපහු ගියොත් අයදුම් පත ලබාගැනීමේ අයදුම් පත යවන්නේ කොහොමද? කරන්නට දෙයක් හිතා ගන්නකම් මහන්සියට වාඩිවෙලා ඉන්න බන්කුවක් හෝ එහි නැහැ. (ඇත්තටම මේ කතාවට අදාළ නැති උනත්, සංචාරකයන් නිතර ගැවසෙන පෙදෙසක් වූ ගල්කිස්ස දුම්රිය ස්ථානයත්, තැපැල් කාර්යාලයත්, මීට වඩා පිළිවෙලක් වෙනවා නම් අපේ රටේ ප්‍රතිරූපයට හොඳයි කියල මට හිතුන.)


මට ඒ අතරේ යමක් මතක් උනා...


ආපහු තැපැල් දෙපාර්තමේන්තුවේ කස්ටමර් සර්විස් එකට කතා කරලා බැලුවොත් මොකද?


මම දුරකථන ඇමතුමක් ගත්ත. අරගෙන මගේ දුක කිවුව. ඔන්න එතකොට කොළ එළියක් දල්වුනා.


“මේකයි.. IRC දැන් භාවිතා වෙනව අඩු නිසා, එළියේ තැපැල් කාර්යාල වල IRC නැතිව ඇති එහෙනම්. එක්කෝ මිස් වැල්ලවත්ත තැපැල් කාර්යාලයේත් බලන්න, නැත්නම් කෙලින්ම GPO  (General Post Office) එකට එන්නකෝ. එතන නම් අනිවාර්යෙන් ම IRC තියනව. මම මිස් ට GPO එකේ අංකය දෙන්නම්, කතා කරලා කන්ෆර්ම් කරගෙනම යන්නකෝ."


GPO එකේ අංකය ඉල්ලගෙන පිටිපස්ස බලනකොට, ගල්කිස්ස තැපැල් කාර්යාලයේ සේවක පිරිස මට කතා කළා. එවර මා සමග කතා කලේ ටිකක් වැඩිමහලු නිලධාරියෙක්.


"මිස්, ඔයාට IRC කූපන්ස් නේද ඕන?"

"ඔව්"

"ආ.. හරි හරි. හැබැයි අපේ ළඟ IRC නැහැ. දැන් IRC භාවිතා කරන්නෙත් නැහැ. ඒ නිසා කොහෙවත් IRC ඇති කියල හිතන්න නම් අමාරුයි. ඒවා පාවිච්චි කලේ ගොඩක් ඉස්සර නේ."

"හරි. ගොඩක් ස්තුතියි."


කොහෙවත් IRC නැති උනොත් මොකද කරන්නේ? මේ කියන විදියට GPO එකෙත් IRC නැති වෙන්න ඉඩ තියනවා. මෙහෙම හිත හිත ගල්කිස්ස තැපැල් කාර්යාලයෙන් එලියට එන ගමන්, මම GPO එකට ඇමතුමක් දුන්න.

"හෙලෝ, මට IRC 7ක් ගන්න පුලුවන්ද?"

"පොඩ්ඩක් ඉන්න මිස්, චෙක් කරලා කියන්නම්."


දිග මිනිත්තු කිහිපයක් ගත උනා. සල්ලිත් ඉවර වේගෙන යනවා ෆෝන් එකේ. හදවත ගැහෙනවා වේගෙන්.


IRC තිබුනාද? ඊළඟ කොටසින්. J



මෙතෙක් කල් මා හා රැඳුනු ලබැඳි ඔබට ස්තුතියි.





1.15.2016

ජපන් කතා 3 - ඇරඹුම තෙවන කොටස


2015 ඔක්තෝබර් ඉන්ටේක් එකට අයදුම් කරනවා නම් ඒ සඳහා ඇති අවසන් දිනය 2015 ජුනි බවත්, දැන් මැයි මාසය නිසා ඉක්මනට අයදුම් පත් පිළියෙළ කරගන්නා ලෙසටත් මගේ ආචාර්යවරයා දන්වා එව්ව. අයදුම් කිරීම සම්බන්ධ තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බලා සූදානම් වන ලෙස මට කී ඔහු, අයදුම් කිරීම සඳහා රිසර්ච් ප්‍රපොස්ල් එකක් ලිවීම අවශ්‍ය බවත්, එය හොඳින් ලිවීම සඳහා මට ඔහුගේ උපදෙස් ලබා දිය හැකි බවත් වැඩිදුරටත් සඳහන් කළා.


හොඳ රිසර්ච් ප්‍රපොසල් එකක් ලිවීම සඳහා මගේ දැඩි අවධානය යොමු වුනේ නිතැතින් මයි. මොකද කියනවා නම් මම විදේශීය විශ්ව විද්‍යාලයකට අයදුම් කරන බව ලාංකික ආචාර්යවරයාට දන්වා තිබූ නිසා, ඔහු සමග ආරම්භ කරන්නට සිටි පර්යේෂණ කටයුතු වලින් මම නිදහස් උනා. දැන් මේ අයදුම් පත සාර්ථක උනොත් හොඳයි, නමුත් අසාර්ථක උනොත් අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති වෙනවා. එහෙමයි කියල වැඩි පරිස්සම තකා බැකප් එකක් ලෙස මම ලාංකික විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයා සමගත් වැඩ කරන ගමන් අයදුම් කළා නම්, මට විදේශගත වන්නට වූ විට අමාරුවේ වැටෙන්නේ ලාංකික විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයා.


කලින් කිවුවා වගේ, 2015 ඔක්තෝබර් ඉන්ටේක් එකට අයදුම් කරනවා නම් මට හිමි වන්නේ ජාත්‍යන්තර අයදුම්කරුවන්ට සාම්ප්‍රදායිකව හිමි වන ශිෂ්‍යත්වය නොවෙයි වෙනත් එකක්. කොහොම උනත් ඕනෑම ශිෂ්‍යත්වයකට අයදුම් කිරීමේදී යම්කිසි තරඟකාරී බවක් තිබීම සාමාන්‍යයි. දැන් කරන්නට ඇත්තේ එක දෙයයි. අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති වෙන්නේ මගේ අයදුම් පත ප්‍රතික්ෂේප උනොත් පමණයි. ඉතින් මට ඇත්තේ එකම එක ඔප්ෂන් එකක් පමණයි. ඒ තමයි,


“ප්‍රතික්ෂේප වෙන්නේ නැති තරම් හොඳ අයදුම් පතක් පිළියෙළ කරගැනීම”





මම ජීවිතයේ නොයෙක් දුක් කරදර විඳපු කෙනෙක්. කට්ට කාපු කෙනෙක්. ඒ හැම වෙලාවකම මම අත්දැකපු එක දෙයක් තිබුණ.

 “People become strong when they have no other option to take.”

(වෙනත් කිසිදු පිලියමක් නැති කල, මිනිස්සු පුදුමාකාර ලෙස ශක්තිමත් වෙති.)


ඉතින් මම ගොඩක් මහන්සි වෙලා රිසර්ච් ප්‍රපොස්ල් එකේ පළමු පිටපත මගේ ආචාර්යවරයාට ඊ මේල් කළා. පළමු පිටපත ගොඩක් මෝඩ පිටපතක් ඇත්තටම. නමුත් ඔහු මට ඒ බව කෙලින් කිව්වේ නැහැ. නමුත් ඔහු මට කොමෙන්ට්ස් එවුවා. ඒ කොමෙන්ට්ස් සමග මම දෙවෙනි පිටපත ලියා යැවුවා. ඒක කලින් එකට වඩා හොඳ බව කී ඔහු, යලිත් කොමෙන්ට්ස් එව්වා. ඔය විදියට, පිටපත් කිහිපයකට කොමෙන්ටු ලැබුණු පසු මම ලියපු හතරවෙනි පිටපත ඉතා හොඳ එකක් ලෙස හා තේරීම් කමිටුව සතුටු කල හැකි මට්ටමේ එකක් බවට ඔහු අතින් පිළිගැනීමට ලක් වුනා. කොහොම උනත් මේ සඳහා ටික දවසක් ගත වුනා.


ඊට පස්සේ තිබුනා රචනා හතරක් ලියන්නට. ඒ රචනා වලට අදාළ මාතෘකා ඔවුන්ගේ වෙබ්සයිට් එකෙන් ගන්නට ඕන. රචනා ලියන්නට පටන් ගන්නා ගමන් ම, මම වෙබ්සයිට් එකෙන් අයදුම් කිරීම සඳහා ඇති තොරතුරු කියවා බැලුව.


“අයදුම් පත්‍රය ඔබට බාගත කරගත නොහැකි අතර, අයදුම් පත්‍රය ලබාගැනීම සඳහා අපගේ විශ්ව විද්‍යාලයේ පිහිටුවා ඇති ශිෂ්‍ය කටයුතු අංශයට පැමිණෙන්න. පැමිණීමට නොහැකි නම් තැපැල් ගාස්තුවට අදාළ IRC (International Reply Coupon) පත් සංඛ්‍යාව සමග, ඔබට අවශ්‍ය කරන අයදුම් පත්‍රයේ වර්ගය, නම හා ලිපිනය පහත අයදුම් පත්‍රයේ පුරවා, අපට ලිපියක් එවන්න”


මගේ ශිෂ්‍යත්වය ජාත්‍යන්තර අයදුම් කරුවන්ට ලැබෙන සම්මත ශිෂ්‍යත්වය නොවෙයි. ඒ නිසා එය ඔන්ලයින් බාගත කරගත නොහැකි වීම සාමාන්යෙන් කිසිවෙකුටත් ගැටළුවක් ඇති කරන්නේ නැහැ. නමුත් එය මට ගැටළුවක් ඇති කළා.


අයදුම් පත් තැපැල් කල යුතු අවසාන දිනය ජුනි 24. අද ජුනි 8 වෙනිදා.


මම යවන අයදුම් පත ලබා ගැනීමේ අයදුම් පත ජපානයට යන්නත් ඕන. ජපානේ ඉඳන් අයදුම් පත ආපහු එන්නත් ඕන. ඒ ආවට පස්සේ මට ඒක පුරවන්නත් ටික දවසක් යාවි.


“ඇයි මට මේක කලින් චෙක් කරන්න බැරි උනේ?” මගෙ හිතේ ඇතිවුනේ තරහක්, මා ගැනම.


අයදුම් පත ලැබුණු හැටි, ලබන සතියේ J



මෙතෙක් මා හා රැඳී සිටියාට ඔබට ගොඩක් ස්තුතියි..




1.07.2016

ජපන් කතා 2 - ඇරඹුම දෙවන කොටස


උදාවූ 2016 වසර, ඔබ සැමට සාමයෙන් සතුටින් සහ නිරෝගී සම්පතින් පිරුණු, සෙනෙහෙබර වසරක් වේවා.


ගිය පාර කතාව ඉවර කරපු විදියට, ගොඩක් අයට තරහ ගිහින් මඩු වලිගෙන් මට ගහන්නටත් හැදුව. කොහොමහරි, ඔන්න අද ඊළඟ කොටස දමනව. විචාරක තුමා මඩු වලිගය ගැන ලියපු ලියමනකුත් අද කියවන්නට ලැබුණ. එයත් හරිම අපූරු ලියමනක්. නමුත් එහි තිබුණු මඩු වලිගයේ රූපය දැක්කම, මට හිතුන ඉතුරු කොටස ඉක්මනට ලියන එක කෝකටත් හොඳයි කියල. දැන් වෙලාව අලුයම 2 යි. ඒත් මම මේක අදම ලියා පළකරන්නට හිතුව.


මේ කතාවේ සමහර තැන් වල සිදුවීම් නොලියා ඉන්නට සිතුවේ, ඇතැම් විට ඒ ඔස්සේ ඇති විය හැකි සිත් රිදවීම් වලක්වා ගැනීමට. නමුත් ඒ නිසා කතාවේ ගලා යාමට හානි විය හැකියි. එහෙම උනොත් සමා වෙන්න මට.


*********

කසාද බඳිනකම් විදේශ අද්‍යාපනය මට උරුම නැති බවට මගේ කේන්ද්‍රය කීවා මතකයි නේද?


අද එතැන් සිට, මේ 2015 අප්‍රේල්.

සමුද්‍රාසන්න ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ජපානය ප්‍රසිද්ධයි. ඒ නිසා මට අවස්තාවක් ලබාගන්නට හැකි වේවි යයි මට සිතුන. ඒ අනුව මම අයදුම් කරන්නට සිතුව. 2015 ඔක්තෝබර් සිට පටන් ගන්නා සමාසිකයට, ජාත්‍යන්තර අයදුම් කරුවන් ඇතුළු කරගන්නා කාල සීමාව ඉක්මවා ගොස් ඇති නිසා, මම තීරණය කලේ 2016 ඔක්තෝබර් සිට පටන් ගන්නා සමාසිකයට ඇතුළු වීමට අයදුම් කරන්නටයි.


සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථා වලදී, අයදුම් කරන්නට කලින්, අපි ඒ විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙකුට ඊ මේලයක් දාල, එහි තිබෙන අවස්ථා, එහි ප්‍රචලිත පර්යේෂණ තේමාවන්, අයදුම් කරුවන් අතර තිබෙන තරඟකාරී බව වගේ දේවල් ගැන තොරතුරු විමසන එක සිරිතක්. ගොඩක් වෙලාවට අපේ අයදුම්පත සම්බන්ධයෙන් අපට තිබෙන ගැටළු වලට ඔවුන්ගේ උපදෙස් ලබාගන්නත් පුළුවන්. ඒ වගේම සම්ප්‍රදායානුකූලව, අපි මේ විශ්ව විද්‍යාලයට තේරුනොත්, අපි සන්නිවේදනය කරපු අදාළ ආචාර්යවරයා තමයි අපේ පර්යේෂණයේ උපදේශකයා ලෙස පත් වන්නේ. ගොඩක් වෙලාවට ප්‍රමුඛ විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන්ට අපි මෙහෙම ඊ මේල් දැම්මට, රිප්ලයි එකක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මොකද කාර්යබහුල ඔවුන්ට දිනකට ලොව වටා සිසුන් ගෙන් මෙවැනි ඊ මේල් ගොඩක් එන නිසා. මම ඊ මේල් එක යවා ටික දවසක් යනතුරු පිළිතුරක් ලැබුනේ නැහැ. ඉතින් මම ඒ සම්බන්ධව හිතින් අත් හැර දැම්ම.


නමුත්, මේ ආචාර්යවරයා මට රිප්ලයි එකක් එවනව.






“දයාබර එක් මානවිකාවක්, මට ලිවීම පිලිබඳ තුති.

ඔබ කැමැත්ත ප්‍රකාශ කොට ඇත්තේ 2016 ඔක්තෝබර් සිට අපේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට බව දුටුවෙමි. ඔබට ජාත්‍යන්තර අයදුම් කරුවන්ට ලැබෙන ශිෂ්‍යත්වය ම අවශ්‍ය නම්, පවසා ඇති පරිදි 2016 ඔක්තෝබර් ඉන්ටේක් එක සඳහා අයදුම් කරන්න.

නමුත් ඔබට කැමති නම් 2015 ඔක්තෝබර් සිට අපේ විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට හැකි අතර ඒ සඳහා ජුනි මස අවසන් වීමට පෙර අයදුම් කිරීමට සිදු වේ. ජාත්‍යන්තර අයදුම්කරුවන්ගේ අයදුම් කාල සීමාව ඉක්ම ගොස් ඇති නිසා, මේ සඳහා ඔබට ලැබෙන ශිෂ්‍යත්වය, ජාත්‍යන්තර අයදුම් කරුවන්ගේ ශිෂ්‍යත්වය නොව, වෙනත් එකකි.

ඔබේ කැමැත්ත මට දන්වන්න.”


මේ ඊ මේල් එක කියවන වෙලාවේ මම හිතාගත්තේ 2016 ඔක්තෝබර් සිට ඇතුලත් වීම සඳහා අයදුම් කරන්නට. මොකද මම 2015 ඔක්තෝබර් විදේශගත උනොත්, මම වැඩ කරමින් උන්නු ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාලයේ මගේ උපදේශක ආචාර්යවරයාට වගකීම් වැඩි වන්නට ඉඩ තිබුණ.


නමුත් මට තේරුම් ගියා 2016 ට වඩා 2015 සිට පටන් ගත්තොත් කාලය ඉතිරි වෙන බව. විශේෂයෙන් 2016 සිට ඉදිරියට අවුරුදු 5ක් මාස්ටර්ස් සහ ඩොක්ටරල් රිසර්ච් සඳහා කැප කලොත් මට විවාහ වන්නට වෙන්නේ අවුරුදු 32ක් පමණ වූ පසු. 32 කිවුවට ඉතින් 32 දී මනමාලයෙක් හම්බුනත්, තොරන් බැඳලා රබන් ගහල මගුල් කනකොට මට 33ක් වත් වෙයි නේ..


ඇත්තටම මේ තීරණය ගන්නට ගොඩක් අපහසු උනා. පුද්ගලිකව මගේ ජීවිතය ගැන හිතන්නත් ඕනේ, මගේ ශ්‍රී ලාංකික ආචාර්යවරයාට එමගින් ඇති වන බලපෑම හිතන්නත් ඕනේ. ඒ ගැන හිත හිත ඉඳල, ආහාර රුචියත් නැති වෙලා ගියා. තනියම කල්පනා කරල විසඳුමක් ලැබෙන්නේ නැති බව තේරුණු නිසා, මම 2015 දී අයදුම් කලොත් මගේ ලාංකික ආචාර්යවරයාට වගකීම් වැඩි වෙනවාද යන්න ගැන මම මගේ ලාංකික විශ්ව විද්‍යාලයේ ප්‍රධානියෙකු ගෙන් විමසා බැලුව. එහෙම ගැටළුවක් ඇති වන්නේ නැති බවට ඔහුගෙන් උපදෙස් ලැබුණු නිසා 2015 ඉන්ටේක් එකට අයදුම් කරන්නටත්, කලින් හැම වතාවකදීම උනා වගේ එය අසාර්ථක උනොත් යලිත් 2016 ඉන්ටේක් එකට අයදුම් කරන්නටත් මම හිතුව.


මේ අනුව, මා 2015 ඔක්තෝබර් සිට පටන් ගන්නා මාස්ටර්ස් එකක් සඳහා අයදුම් කරන බව, සහ ඒ සඳහා තේරුනොත් මා විදේශගත වන බව, මගේ ලාංකික ආචාර්යවරයාට දන්වා, පසුව මම 2015 ඔක්තෝබර් ඉන්ටේක් එකට අයදුම් කරන්නට කැමති බවට, ජපාන ආචාර්යවරයාට දන්වා යැවුව.


ඉතුරු කොටස ඉක්මනටම දාන්නම්, එතකම් ඉවසීම පිලිබඳ ඔබට ස්තුතියි.




ප. ලි. මේ ලියමන නීරස බව මට හිතෙනව. ඔබේ අදහස් කියන්න ඒ ගැන.









ජපන් කතා - කසල බැහැරකිරීම

මේ දවස් වල කුණු කතා ගොඩක් ඇදෙන නිසා, ජපානයේ කැලිකසල කළමනාකරණය පිලිබඳ මගේ අත්දැකීම් ටිකක් ලියා තබන්නට හිතුව. ජපානයේ කැලි කසල ඇතුළු බොහෝ ...