11.03.2016

මල් පිපිලා, ජීවිත උයනේ



"හෙලෝ"

"හෙලෝ, මේ ජයවර්ධන මහත්තයද?"

"ආ.. චාන්දනී, කියන්න"

"හොඳින් ඉන්නවා නේද, ටිකක් අමුතු හීනයක් දැක්ක ඊයේ රෑ"

"ආ මොකට හිත කරදර කරගන්නවද.. මම හොඳින් ඉන්නවා.."

"කෝ චිත්‍රා, උයනවද?"

"නෑ, චිත්‍රා ගමේ ගිහින් එන්න ගියා"

"හ්ම්ම්ම්... නිකමට හිතුණ හදිසියෙන්ම හීනෙන් පෙනුනේ කරදරයක් වත්ද කියල.. ඒ නිසා අද දවසම හිතට හරි මදි..... ඔයා කොහේ හරි හොඳින් හුස්ම ගන්නවානම්, මට ඇති. චිත්‍රා ගෙදර හිටියනම් මට ටිකක් හරි හිත හදාගන්න තිබුණ, එහෙනම් අසනීපයක් වත් උනොත් එයා ඉන්නවනෙ ලඟින්"

"හ්ම්ම්... හිත කරදර කරගන්න එපා. පුතාල හවස ඇවිත් යාවි සමහර විට"

"ඒක හොඳයි. මම එහෙනම් තියන්නම්. තේ හදන වෙලාව දැන්, රත්නේ ට තිබහ ඇති"

"හොඳයි, බුදුසරණයි"


මල කොතැන පිපුනම මොකද
පිපුණ වග මල දන්නවා 
ගඟ කොතැන ගැලුවම මොකද 
ගලන වග ගඟ දන්නවා 
සඳ කොතැන දිලුනම මොකද 
දිලෙන වග සඳ දන්නවා 
නුඹ කොතැන සිටියම මොකද 
නුඹ ඉන්න බව මං දන්නවා



***** 


මේ මොකද්ද මේ විකාරේ කියල හිතුනොත්, ඔබේ කාලය අපතේ ඇරපු එක ගැන සමාවෙන්න මට :)


7.30.2016

ජපන් කතා 6 - ඇරඹුම හය වැනි කොටස








පසුගිය කතාව අවසන් උනේ, මම අත්වැරදීමකින් EMS කල යුතු අයදුම්පත එක්ස්ප්‍රස් මේල් යවපු තැනින්.
අයදුම්පත ලැබීමට කල්ගත වන නිසා, මම ඊට පහුවදා ආපහු GPO එකට ගිහින් අලුත් IRC 7ක් තැපැල් කරන්නට සිතුව.


**********

අද එතැන් සිට 

පහුවදා උදේ මම කෝකටත් කියල ඊ මේල් එකක් යැවුවා ජපානේ ශිෂ්‍ය කටයුතු අංශයට, මේ විදියට.

"අයදුම්පත ලබාගැනීමේ අයදුම්පත, මා විසින් අත්වැරදීමකින් EMS වෙනුවට එක්ස්ප්‍රස් පෝස්ට් එකේ එවා ඇති අතර, එම  අයදුම්පත ඔබ වෙත ලැබීමට සතියක් පමණ ගත වීමට නියමිත වේ. එය ලැබුණු පසු ඔබ විසින් මට එවන අයදුම්පත මා වෙත ලැබීමට සාමාන්යෙන් කොපමණ දින ගණනක් ගත වේ යයි නිමානය කල හැකිද?"

ඔවුන් මට මෙසේ පිළිතුරු එව්ව.

"අපේ තැපැල් කන්තෝරුවට අනුව, අප විසින් එවන අයදුම්පත ඔබට ලැබෙන්නට දින 3ක් පමණ ගත වනු ඇති. ඒ අනුව ඔබට 24 වනදාට පෙර අයදුම්පත ලැබෙනු ඇති අතර,ගැටළුවක් ඇති නොවෙනු ඇති. කෙසේවතුදු, ඔබ අපට එවන ලද අයදුම්පතේ ස්කෑන් පිටපතක් ඊ මේල් කරන්න"

මම අයදුම්පත ලබාගැනීමේ අයදුම්පත මේ වෙද්දී තැපැල් කරලා ඉවරයි නේ, ඉතින් අලුත් එකක් පුරවල ස්කෑන් කරල ඊ  මේල් කළා. පැයක් ගත උනේ නෑ මට මෙහෙම රිප්ලයි එකක් ආව.

"ඔබේ ස්කෑන් කරන ලද අයදුම්පත ට අනුව, අපි ඔබට අදාළ අයදුම්පත තැපෑලට දැමුවෙමු. එම අයදුම්පත ඔබට දින 3 කින් පමණ ලැබෙනු ඇත"

මේ සිදුවීම ජපානය ගැන මගේ හිතේ පුදුමාකාර පැහැදීමක් ඇති කළා. මොකද ඔවුන් තැපැල් ගාස්තු සහිත IRC කූපන් ලැබෙන්නටත් පෙර, මගේ ඊ මේල් එක විශ්වාස කරල, අයදුම්පත එව්ව. ඒ වගේම ඒ ඔක්කොටම ගත උනේ පැයක් පමණයි. (මගේ ලංකාවේ විශ්ව විද්‍යාලයේ  විභාග අංශයට, තැපැල් ගාස්තු ගෙවා මාසයක් යනතුරුත් ඇඩ්රස්ඩ් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් තැපෑලට දමා තිබුනේ නැහැ. පස්සේ මම ඒක අරගෙන ගිහින් මමම තැපැල් කළා, ගෙවපු තැපැල් ගාස්තුව දෙගුණ වුනා) 

කිවුව වගේම දවස් 4ක් වගේ යනකොට අයදුම්පත ලැබුන. මගේ IRC ටිකත් සතියකට පමණ පස්සෙ ඔවුන්ට ලැබිල තිබුණ.

අයදුම්පත පුරවල තැපැල් කරන එකේ නම් ලොකු නාට්‍යක් තිබුනෙ නෑ. ඒ දවස් ටික ගෙවිල ගියා. අයදුම්පත තැපැල් කරලා මම ලොකු සැනසුම් සුසුමක් හෙළුව.



**********


අයදුම්පත් ලැබිල, තේරීම් ඉවර වෙලා මගේ ප්‍රොෆෙසර් ඊ මේල් එකක් එව්වා මට.

"දයාබර මානවිකා,

ඔබේ අයදුම්පත සාර්ථකයි. Well done. මේ වටයේ අයදුම්පත් වලින් ඉහලම ලකුණු ලබාගත්තේ ඔබේ අයදුම්පතයි. ස්කයිප්  මගින් කෙරෙන සම්මුඛ පරීක්ෂණය ගැන ඔබට තොරතුරු ලැබෙනු ඇති."


**********


මේ ඊ මේල් එක මගේ හිතට බරක් එක් කළා. මොකද ඒ වෙනකොට අපේ අම්ම හිටියෙ අසනීපෙන්. ඊ මේල් එක මම කියෙව්වේ අම්මගේ සුව නොවන බඩේ වේදනාවට ඩොක්ටර් කෙනෙකු කන්සල්ට් කරන්නට ඉස්පිරිතාලේ යන ගමන්. "අම්මට අසනීප නම් රට යන්නේ නැහැ කොහොමත්. නමුත් අසනීපෙන් ඉන්න අම්මට මේ ගැන කිවුවොත්, මම ඈතට යයි කියල කල්පනා කරලා තව ලෙඩ වේවි. ඒ නිසා මේ ගමන කැන්සල් උනාවේ, මම මේ ගැන ගෙදරට කියන්නේ නැහැ."

අම්මගේ පිත්තාශයේ ගල් බවට නිගමනය වෙලා, ඔපරේෂන් එකක් කළා. ඉස්පිරිතාලේ ඉඳල ගෙදර යන්න සූදානම් වෙනකොට, ස්කයිප් ඉන්ටවිව් එකට අදාළ ඊ මේල් එක ලැබුණ. ඒ වෙලාවේ මම විස්තරේ අම්මට කිවුව. හැබැයි අම්ම සනීප උනේ නැත්නම් යන්නේ නැහැ කියලත් කිවුව.

ස්කයිප් ඉන්ටවිව් එක එච්චර අමාරු උනේ නැහැ,සහ ඒ නිසාම මම ඉන්ටවිව් එක පාස් වෙලා තිබුණ. සමහර විට අසනීප උන වෙලාවේ අම්මව බලාගනිපු පින් මහිමෙන් වෙන්න ඇති. (පිනකුත් නෙවෙයි ඉතින් ඒක කොහොමත් දරුවන්ගෙ යුතුකම නේද) ඒ වෙද්දී අම්මාට සනීප වෙලා තිබුණ. ඉතින් මමජපානේ යන්නට හිතුව.


**********


ඊට පස්සේ තිබුනේ වීසා හදන්නට. අදාළ ලියුම් ටිකත් එකතු කරගෙන මම 8.15 පමණ වෙනකොට ජපන් එම්බසියට ගියේ එය අරින්නේ 9 ට නිසා. ඒ යනකොට එතන ඉන්නවා 250ක විතර පෝලිමක්.

"අම්මේ මෙච්චර මිනිස්සු රට යන්නෙ, ලංකාව එපා වෙලාද" කියල හිත හිත මම පෝලිමේ හිටිය. 9.15 ට විතර සිකියුරිටි ඔෆිසර් කෙනෙක් ඇවිත් මෙහෙම කිවුව.

"අපි ඇතුලට ගන්නේ 120 යි. ඒ 120 දෙනා දැන් අරගෙන ඉවරයි. ඒ නිසා ඊට පස්සේ පෝලිමේ ඉන්න කට්ටිය ආපහු ගිහින් හෙට උදේ එන්න"

මම හිටියේ 250 වෙනියට විතර නිසා ඉතින් මුල් 120ට මම අහු නොවෙන එක අහන්න දෙයක් නෙවෙයි නේ. කොහොම උනත් එතන හිටපු අය නොසන්සුන් උනා.

"එහෙම කොහොමද, අපිවත් ගන්න ඇතුලට, අපිටත් වීස ගන්න ඕන, හදිස්සියි"

"ඔයාල හෙට එන්න. මෙතන මේ පාන්දර 3 ඉඳල කට්ටිය පෝලිමේ ඉන්නෙ. එහෙම එකේ ඉතින් අද ගෙදර ගිහින් හෙට උදෙන් එන්න" 

"අනේ සර් අපටත් යන්න දෙන්න"

"බෑ බෑ හෙට උදේ එන්න"

සිකියුරිටි ඔෆිසර් හරියට එම්බසඩර් වගේ. මිනිස්සු ඔක්කොම හැරිල එන්න ආව. මමත් ආව. 


**********


ඔය කියන විදියට පාන්දර 3 ඉඳල කට්ටිය පෝලිමේ ඉන්නව නම් ටිකක් උදෙන් යන්න වෙයි නේ. හෙට පාන්දර 4ට කැබ් එකක් කතා කරන් යන්න හිතාගත්ත.

පස්සේ ආරංචි කරල බැලුවම, ජපානයට රැකියාවලට යන ගොඩක් අයත්, භාෂාව ඉගෙනගන්නට ස්ටුඩන්ට් වීසා අරන් යන අයත්, ස්කොලර්ෂිප් වලට යන අයත්, වැඩ පටන් ගන්නේ ඔක්තෝබර් සිට නිසා, සැප්තැම්බර් මාසේ එම්බසියේ පෝලිම ගොඩක් දිගයි ලු. ඉතින් ඒ නිසා මම යාලුවෙක් එක්ක පහුවදා උදේ පාන්දර එම්බසියට ගියා. ගිහින් 9 වෙනකම් එම්බසිය ඉස්සරහ පත්තරයක් එලාගෙන ඉඳගෙන හිටිය. එහෙම ඉඳල ඇප්ලයි කලාම සතියකින් යලි එන්න කියල, වීස ලැබුණ.

ටිකක් කලබලෙන් බඩු එහෙම පැක් කර කර ඉන්න ගමන්, මෙච්චර කල් මම කාපු කට්ට මදි කියල වැස්ස වලාහක දෙවියන්ටත් හිතිලා, බදාදා පිටත් වෙන්න තියෙද්දී, ඉරිදා ලොකු වැස්සක් වැහලා ගෙදර පොඩි ගංවතුර ක් ගැලුව. ඊට කලින් කවදාවත් වතුර ආපු නැති අපේ ගෙදර යට වෙනකොට, ආයෙම රට යන අදහස හිතෙන අත් ඇරුන. 

කොහොමහරි ගෙදර ඇතුලේ තිබුණු වතුර පැය කීපයකින් බැහැල ගියා. පාර හා වත්ත නම් ටිකක් යට වෙලාමයි තිබුණෙ.


**********


රට යන දවස උදා උනා. ඇත්තටම ඒ වෙනකොට මට යහතින් යන්න ලැබේවිද කියල කිසිම විශ්වාසයක් තිබුනේ නැහැ. ඕන දෙයක් වෙද්දෙන් කියල යෑමක් තමයි තිබුණෙ.

ගෙදරින් පිටත් වෙලා හයිවේ එන්ට්‍රන්ස් එකට එනකොට, අතරමග වතුරට යට වෙලා, හයිවේ එකට යන්නට බැහැ. ඒ නිසා ආපහු හරවාගෙන, ගාලු පාර දිගේ මාතර ගිහින් ගොඩගම එන්ට්‍රන්ස් එකෙන් හයිවේ එකට එනකොට හොඳටම පරක්කු වෙලා, වෙලාවට යන්න බැරි වේදැයි ලොකු බයක් හිතේ තිබුන.

මේ අතරේ වාහනේ යන ගමන්, මගේ යාලුවන්ට මම අද යන බව කියල කෝල් කළා. නිතර මුණගැහෙන යාළුවො ඒ වෙනකොට මම යන බව දැනගෙන හිටියත්, අතපසු වූ කිහිප දෙනෙක්, අන්තිම වෙනකම් නොකී නිසා මාත් එක්ක තරහ වුණා.

කොහොමහරි, වෙලාවට එයාපෝට් එන්න පුළුවන් උනා. පැය 8ක දිගු ගමනක් අවසන, ගුවන් යානයේ රෝද පොලවේ වදින විට, මම යහතින් ජපානයට පය ගහපු බව විශ්වාස කරන්නටත් ටිකක් අමාරු උනා. 



**********

ප. ලි. මේ ඔක්කොම ඉවර වෙලා ජපානේ ඇවිත් බලනකොට මගේ බර කිලෝ 3ක් අඩු වෙලා තිබුණ. 

**********

ජපන් කතා ඇරඹුම නිමි.

මෙතෙක් ඉතා කම්මැලිකමෙන් වුවත්, නොනවත්වා මෙය කියවූ ඔබ සැමට, ස්තුතියි.







7.11.2016

ෆේස්බුක්, බැංකු, හා තවත් කතා





අතහැර දමා තිබුණු බ්ලොග් එකේ යමක් ලියන්නට සිත් වුණේ, මේ දිනවල කතාබහට ලක් වුණු පිස්සුවක් ගැන මගේ අදහස කියන්ටයි.


පෙරවදන
පළමු කොටස.
2007 වසරේ යම් දිනක, අපේ නිවස.
පාත්‍ර වර්ගයා: ඉස්සරහ ගෙදර ඇන්ටි, අපේ අම්මා සහ මම.
ඉස්සරහ ගෙදර ඇන්ටිත්, අපේ අම්මාත් ඕප දූප කතා කරමින් සිටී. 2008 වසරේ උසස් පෙළට සූදානම් වන මම ඒ අහල පහලම ගණන් සදමින් සිටියි.

ඉස්සරහ ගෙදර ඇන්ටි: දැන් කාලෙ පිරිමි ළමයි කසාද බඳින්න ගියාම සල්ලි, උගත්කම මුකුත් හොයන්නේ නැහැනේ.. ලස්සන විතරයි හොයන්නේ. 
අපේ අම්මා: ඒක නේ..
ඉස්සරහ ගෙදර ඇන්ටි: (මදෙස බලමින්) අපේ පොඩි දූට නම් හොඳ කොල්ලෙක් කසාද බඳින්න පුළුවන් ඒ නිසා.
අපේ අම්මා: හි හි.. බලමු!

අවධානයෙන් ගණන් සදමින් සිටියා නම් ඕපදූප ඇසෙන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය පසෙක තැබුවොත්, මේ කතාව ඇසුණු මට, ඇත්තටම පුදුම සිතුනි. එවකට වයස 18ක් පමණ වූ, කෙළිලොල් වයසේ පසු වූ, පාසල් යන, විභාගය ගැන පමණක් බොහෝ සිතූ මට මේ කතාව අමුතුම හැඟුමක් ගෙන දුනි.


ජීවිතය ගෙවී ගිහින්, 2012 දී, ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් උදෙසා මඩකලපුවේ හය මසක් ගත කල මාගේ සම, කට්ට කළු පැහැති වූ අතර, හිරු එලියට නිරාවරණය වූ අතේ හා මුහුණේ රෝමකූප තඹ පැහැයෙන් දිලිසිණි. සයිට් වැඩ නිමා කොට ස්නානය කරද්දී රාත්‍රී 11 පමණ වෙන නිසා, කොණ්ඩය කොටට කපා දමා සිටියෙමි. දහදිය දමන නිසා කුරුලෑ හට ගත් අතර, මවිසින් අනිච්චානුගව ඒවා කඩා දැමීම නිසා කැළැල් හට ගති.


දෙවෙනි කොටස.
2013 වසරේ යම් දිනක, මහපාර.
පාත්‍ර වර්ගයා: ගමේ ඇන්ටි කෙනෙක්, අපේ අම්මා සහ මම.
ගමනක් යමින් සිටි මටත්, අපේ අම්මාටත්, අඳුරන ඇන්ටි කෙනෙකු මුණගැසේ.

අපේ අම්මා: මේ බලන්න මෙයා කළු වෙලා නේ. මෙයාට කවුරුහරි හොයන්න ඕන හෙමින්.
ගමේ ඇන්ටි: ඒක තමයි නේ. දුව ඉස්සර මීට වඩා ලස්සනයි නේ. තව කැත වෙන්න කලින් කවුරු හරි හොයල බන්දල දුන්න නම් හරි.
අපේ අම්මා: ඒක නේ..


කල් ගත විණි. රෝම කූප යලිත් කළු පැහැයට හැරුණු අතර, කොණ්ඩය යලිත් වැවී, කුරුලෑ කරල් මැකී ගියෝය. කට්ට කළු පාට අඩු වී, වෙනස් පාටක් ලැබුණි. කලින් මා නුදුටු අලුත් මිතුරෙක් මුණගැහුණු කල්හි, මේ කෙනාව අඳුරනවා දැයි පරණ ෆොටෝ පෙන්වා සිනාසෙමි. මා තවත් කැත වන්නට පෙර කසාද බැඳිය යුතු යයි කෙරුණු යෝජනා, දැන් නිහඬ වී ඇත.

නමුත්, හෙට මා යලිත් කැත වන්නට පටන් ගෙන ඇති යැයි යමෙකුට සිතුනොත්, පෙර කී කතාව යලිත් කරලියට නොඑනු ඇති යැයි පොරොන්දු විය හැක්කේ කාටද?



******


මේ කතාව මතකයට නැගුනේ, පසුගිය දිනවල පිස්සුවෙන් මෙන් අපේ අය කතා වුනු, බැංකුවක සිදුවීමක් නිසාවෙනි. එම කතාවට ලක් වුනු පුද්ගලයින් ඉතා නරක මිනිසුන් බවටත්, ඇය ගණිකාවක් බවටත්, ඔහු නරුමයෙකු බවටත්, යලිත් ආපස්සට හැරීමක් නැති බවටත්, එහි සිටි තරුණියට සිය දිවි නසාගැනීමට හැර වෙන කරන්නට දෙයක් නැති බවටත්, ඔවුනොවුන් විවාහ නොවුනහොත් ඒ තරුණියට විවාහ වන්නට බැරි වෙනු ඇති බවටත්, ආදී ලෙස අපේ අය කොමෙන්ටු දමා තිබිණි.


මගේ ගැටලුව වන්නේ, මෙලෙස වෙනත් කෙනෙකුගේ ජීවිතය සම්බන්ධව ඔවුන් ගත යුතු තීරණ ගැන උපදෙස් දෙන්නට අපට ඇති අයිතිය කුමක්ද යන්නයි. ජීවිතයේ එක් සිදුවීමක් මත ඔවුන්ගේ මුළු ජීවිතයම ලඝු කොට, අපේ සිතිවිලි අනුව ඔවුන් ජීවත් විය යුතු යැයි සිතීම කෙතරම් දුරට සාධාරණද?


කොමෙන්ටුවකම තිබූ අයුරින්, බොහෝ දෙනා මේ යුවලට, බැංකුවක් තුල අනිසි හැසිරීම ගැන දොස් පැවරුවත්, බස් රිය තුල දුම්රිය තුල අනිසිව හැසිරීමෙන්, ඇඟේ ඇතිල්ලීමෙන්, හේත්තු වීමෙන් දහසක් දැරියන්, තරුණියන් අපහසුතාවයට ලක් කරයි. රැකියා ස්ථානයේ හැසිරිය යුතු අයුරු කියා දෙමින්, තමන්ටත් එවන් අවස්තාවක් පාදාගැනීමට සිහින මවයි. නිරුවත් වූ ගැහැණියට වේසි යයි දොස් කියමින්, පාරේ යන ගමන්, ෆිල්ම් බලන ගමන්, සිතින් දහසක් තරුණියන් නිරුවත් කරයි.


අපේ ජීවිත නිරතුරුව වෙනස් වෙයි. අපි සුදු හෝ කළු නැති, අළු පාට මිනිස් කැලක් වන්නෙමු. ඉතින් හැමෝම අතින් වැරදි සිදු වෙයි. නමුත් එක් සිදුවීමක් මත පදනම් වී, අනුන්ට ජීවත් වෙන හැටි කියා දෙන්නට යන්නේ, අපි අපේ ජීවිත සර්ව සම්පූර්ණ කරගෙන ද?

ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ජීවත් වන්නට ඉඩ දී, අපේ වැඩක් බලාගෙන ඉන්නට අපට බැරි ඇයි?




5.03.2016

ඔම්ලට්


කන්න කියල එහෙමට දෙයක් නෑ. පරිප්පු තියනවා, බත් තියනවා, මොකද කරන්නේ?

මිරිස් ටිකක් දාල සැරට ඔම්ලට් එකක් හදා ගත්ත නම් හරි.

ෆ්‍රිජ් එක ඇරල, ලූණු, අමුමිරිස් අරගෙන, මම බිත්තර තෝරන්න පටන් ගන්නව. බිත්තර එකක් ඇතිද... ම්ම්ම් බඩගිනියි. බිත්තර දෙකක් ම කනවා අද.

පිඟානට  බතුයි පරිප්පුයි බෙදල, ඒක මයික්‍රොවේව් එකේ දාල රත් වෙන්න ඇරල, එතකම් මම ඔම්ලට් එක හදනව. ළූණු, අමුමිරිස් ගොඩක් එක්ක බිත්තර දෙකක් එකතු උනාට පස්සෙ, පීට්ස එකක් තරම් ඔම්ලට් එකක් හැදෙනව. එතකොටම මයික්‍රොවේව් එකේ දාපු බත් එක උණුසුම් වෙලා බීප් හඬ නගනව. ඔම්ලට් එක බතුයි පරිප්පුයි වලට උඩින් එලාගෙන මම කන්න පටන් ගන්නව.

කන ගමන් හිත නිතැතින්ම දුවන්නේ අවුරුදු පහලවක් තරම් අතීතෙට.

*************

අපේ තාත්තා ඔෆිස් එකේ වැඩ කරද්දී, අම්ම අපිව බලාගෙන ගෙදර හිටිය. අපි ඔක්කොම ජීවත් උනේ තාත්තගේ තනි පඩියෙන්.

දැන් මම බිත්තර දහයක පැක් එකක් ගෙනැත්, ඒකෙන් අටක්, නවයක් ඉවර වෙද්දිම අලුත් බිත්තර එකක් ගෙනාවට, ඒ දවස් වල ගොඩක් වෙලාවට අම්මා ගෙදරට ගෙනාවේ බිත්තර පහයි. තාත්ත කඩේ ගිහිපු දවසට නම් බිත්තර දහයක්ම ගේනවා එක පාර. නමුත් ඒ බිත්තර ඉවර වෙලා ටික දවසක් ගියාට පස්සේ. දැන් මට වගේ නිතර කඩේ යන්න එයාලට විවේකයක් තිබුනෙත් නැහැ, සල්ලි තිබුනෙත් නැහැ. 

එක බිත්තරේකින් ඔම්ලට් එකක් හදල, ඒක කෑලි වලට කඩන් ගෙදර ඔක්කොමල කාපු අතීතයක් ඒ. අම්මයි තාත්තයි ඔම්ලට් කන්නෙම නැහැ. "අපි ඔම්ලට් කන්න ආස නෑ පුතේ" කියල ඔම්ලට් එක දෙකට කඩල අක්කටයි මටයි දුන්නම, අපි අපේ ඔම්ලට් වලින් ටිකක් අම්මගෙයි තාත්තගෙයි පිඟන් වලට දානව. ඒ හැබැයි සතුටකින් නම් නෙවෙයි. අමුර්තයක් වගේ ඔම්ලට් එකක්, බෙදාගන්න කැමති කවුද? ඒ උනාට අම්මටයි තාත්තටයි නොදී ඔම්ලට් එක තනියම කන්න, මොන හේතුවක් නිසා හරි, අපට දුක හිතුණ.

*************

දොමිනික්, මෙහෙදි මුණගැහුණු මගේ යාලුවෙක්. එයා ප්‍රසන්ටේෂන් එකක් හදන බිසි දවසක, මම එයාටත් එක්ක උයනව.
"Wow Manavika, I really love your omelette" කියල එයා මම හදපු ඔම්ලට් එක කනව.

ඔව්. ඔම්ලට් කියන්නේ නිකන්ම නිකං කෑමක් නෙවෙයි, මගේ ජීවිතේ ආදරය, සමගිය, එකතු වුනු, සුපිරි කෑමක්. ඉතින්, 
Me too, really love egg omelette.



2.02.2016

ජපන් කතා 5 - ඇරඹුම පස්වන කොටස


හැම සිකුරාදාම පුරුද්දක් විදියට කතාව ලිවුවට, පහුගිය සිකුරාදා ලියන්න බැරි උනා. ඒ අද පොඩි විභාගයක් වගේ එකක් තිබුණු නිසා. මුලින්ම ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්නට ඕන.


**********


හරි. IRC පත් හොයාගෙන GPO එකට කතා කලාම, මට ටිකක් ඉන්නට උපදෙස් ලැබුණ මතකයි නේද.

අද එතැන් සිට..


**********


“මිස් ට IRC හතක් නේද ඕන?”

“ඔව්. හතක්”

“ආ.. IRC හතක් තියනවා මිස්. මිස් ට GPO එකට ආවොත් ගන්න පුළුවන්.”


සාමාන්යෙන් අපේ ගමේ තැපැල් කාර්යාලය 3 ට වහන නිසා මට පොඩි සැකයක් ඇති උනා මට වෙලාවට යා ගන්න පුළුවන් වෙයිද කියල. මොකද ඒ වෙද්දීත් වෙලාව හවස 2.15 ට විතර ඇති.


“ම්ම්ම්... මම දැන් ඉන්නේ ගල්කිස්සේ. ඔයාල වහන්නේ කීයටද? මට මෙහෙ ඉඳන් එන්න පුළුවන් වෙයිද ඔයාල වහන්න කලින්?”

“මිස් ෂුවර් එකටම එනව නම් අපි ඉන්නම් මිස්”

“ආ... හරි. මම මේ ගල්කිස්ස බස් හෝල්ට් එකේ ඉන්නේ. මම පුළුවන් ඉක්මනට එන්නම්. තෑන්ක්ස්”




මම ගාල්ලේ සිට කොළඹ එන සී.ටී.බී. බස් එකකට ඉක්මනින්ම නැග ගෙන, සැනසුම් සුසුමක් හෙළුව. දැන් මේ බස් එක ඉක්මනට යාවි නේ. සාමාන්යෙන් මාතර - කොළඹ හෝ ගාල්ල - කොළඹ දුවන සී.ටී.බී. බස් ඉක්මනින් යනවා වගේම, ප්‍රයිවෙට් බස් වලට වඩා ටිකක් සුවපහසුයි.


බස් හෝල්ට් එකක නවත්වා තිබුණු බස් එක, යලිත් ගමන් අරඹන්නට හදනවිටම පසුපසින් ආ ප්‍රයිවෙට් බස් එකක් මා සිටි බස් රථය පසු කරන්නට උත්සාහ කළා. බස් දෙක අතර ඇති ඉඩ කඩ මදි නිසා, පොඩි ගැටුමක් වෙලා මා හිටපු බස් එකේ පැති කන්නාඩිය අනිත් බස් එකේ වැදිලා, කැඩිලා ඒ බස් එක ඇතුලට වැටුන. බස් දෙකම නතර වුනා. කොන්දොස්තර මහතා බස් එකෙන් බැහැල අනිත් බස් එකට දුවගෙන ගියා. මගීන් නොසන්සුන් වුනා.


මගීන් පමණක් නෙවෙයි. මමත් නොසන්සුන් උනා.

“කසාද බඳිනකම් මේ ළමයට ඉගෙන ගන්න විදේශ ගත වෙන්න ලැබෙනව බොරු” මට මගේ කේන්ද්‍රය කී දේ යලිත් සිහිපත් උනා.

මේ තරම් නොසන්සුන් කම් දැනෙන්නේ මම ඉරණම වෙනස් කරන්නට උත්සාහ කරන නිසාද?


විනාඩි 10ක් 15ක් ගත වුනා. බස් එකෙන් බැහැල වෙනත් බස් එකක යන්නට හිතාගෙන නැගිටිනකොටම, කොන්දොස්තරත්, ඩ්‍රයිවර් නුත්, යලිත් බස් රථය වෙත ආව. පොලිස් නිලධාරියෙක් හා අනිත් බස් රථයේ රියදුරු කොන්දොස්තර වරු සමග කුඩා කතාබහකට පසු, බසය යලි ගමනාරම්භ කළා.


**********


GPO එක තියෙන තැන ඒ වෙද්දී මම හරියටම දැන හිටියේ නැහැ. කොහොමින් හරි, මම ගූගල් මැප් එක දිහා බලාගෙන, ගිහින් තිබුනේ සන්නිවේදන පියසට.


“මට IRC 7ක් ඕන”

“මිස්.. අපේ ළඟ IRC නැහැ නේ. IRC තියෙන්නේ GPO එකේ තමයි.”

"ආ.. මට GPO එකට යන්න පාර කියන්නකෝ”

“ම්ම්ම්... මිස් කොහොමද ආවේ? කාර් එකෙන්ද”

 “නෑ නෑ මම බස් එකේ ආවේ”

ඔහු මට පාර කියල දුන්න.


මම සන්නිවේදන පියසෙන් එලියට බැස්සේ දාඩිය පෙරාගෙන, හති හලමින් ඉන්න මගේ දිහා බැලුවම කාර් එකකින් ආපු බවක් ඒ මනුස්සයට හිතුනේ කොහොමද කියල හිත හිත. පස්සේ මට හිතුන එහෙම හිතන්නට හේතුව මම එදා ඇඳගෙන හිටපු ටයිට් ගවුම වෙන්න ඇති කියල. මොකද මම හිටපු ගමන් පුරුදු වෙන්න ඩ්‍රයිව් කරනව. එතකොට කබල් ඩෙනිමත් ටී ෂර්ට් එකත් ඇඳන් කාර් එකෙන් ඇවිත් බැස්සත්, මිනිස්සු කතා කරන්නේ කිසි වෙනසක් නැතුව. ඇඳන් ඉන්න ඇඳුමට මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එක වෙනස් කල හැකි බව, මගේ කෙටි ජීවිතේ, මම මුලින්ම අත්දුටුවේ එදා.




කොහොම හරි, මම ගියා GPO එකට. ඒ වෙලාව වෙනකොට හවස 3 පහු වෙලා තිබුණ. මොකද බස් එක නතර වුනු නිසාත්, මගේ නොදැනුවත් කමින් මම සන්නිවේදන පියසට ගිය නිසාත්, වෙලාව ටිකක් අපතේ ගියා. හැබැයි ගමේ තැපැල් කාර්යාලය 3ට වැහුවට, GPO එකේ ඔවුන් හවස 5 දක්වා වැඩ කරන බව මට දැනගන්නට ලැබුණ. මම එහි හිටපු කාරුණික නිලධාරීන් ගෙන් IRC 7ක් ඉල්ලුව.


එක නිලධාරියෙක් ළඟ IRC 4ක් තිබුණ. අනිත් නිලධාරිනිය ළඟ IRC 3ක් තිබුන. දෙන්න ළඟම සන්තකේට තිබුනේ IRC 7යි.


“මිස් ගේ වෙලාව හොඳයි”

“ඒ කියන්නේ මට ආපහු ඕන උනොත් ගන්න එහෙම IRC නැද්ද?”

“නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ.. IRC ආපහු ගෙනත් තියාගන්න ඕන”



**********


මම IRC ටික සමග මගේ අයදුම් පත ගෙන්වා ගැනීමේ අයදුම් පත සහිත ලියුම් කවරය ඔහුට දුන්න.


“මට මේක එක්ස්ප්‍රස් මේල් යවන්න ඕන”

“අතනට සල්ලි ගෙවල එන්න මිස්”


**********


අවසානයේ මම මගේ ලියුම තැපෑලට බාර දුන්න. එන්න සූදානම් වෙලා මම මෙහෙම ඇහුව.


“මේක එහෙට යන්න කොච්චර විතර කල් යාවිද?”

“ම්ම්ම්... සතියක්... සති එකහමාරක් වගේ...”

එච්චර කල් යන්නේ කොහොමද කියල හිත හිත මම එන්න ආව. ඇත්තටම මේ ගැන තව දුරටත් හිතන්න පෙළඹෙන්නේ නැති තරමටම එදා දවස තුල මම හෙම්බත් වෙලා හිටිය. වැඩේ පත්තු උනේ මම ආපහු කැම්පස් එකට ඇවිත් විස්තරේ එතන හිටපු අයට කිවුවම.


“ඔයා ඔය නෝමල් එක්ස්ප්‍රස් පොස්ට් එකේ නේ යවල තියෙන්නේ. EMS නෙවෙයි නේ”

“ඉතින් EMS කියන්නෙත් Express Mail Service නෙවෙයිද.”

“අයියෝ නෑ නෑ.. ඒ දෙක වෙනස්”


ලංකාව ඇතුලේ ලියුම් යවද්දී Express Mail හා Ordinary Post ලෙස ඔප්ෂන් දෙකක් තිබෙන බව මම දැනගෙන හිටිය. නමුත් මම නොදැන හිටියේ පිටරට වලට යවන ලියුම් වලට Ordinary Post, Express Mail හා EMS යනුවෙන් ඔප්ෂන් 3ක් ඇති බවයි.


මම ආපහු GPO එකට කතා කරල විස්තරේ කියල, ඔවුන්ගෙන් ඇහුව මම හෙට ඇවිත් ලියුම EMS කරනකම් තියන්න පුලුවන්ද කියල. නමුත් ඒ වෙනකොට මගේ ලියුම GPO එකෙන් පිටත් වෙලා ඉවරයි. අද 8 වෙනිදා. දවස් 10ක් ගියොත් ලියුම එහෙට යන්නේ 18. ජපානයේ සිට එන අයදුම් පත මට ලැබෙන්නට යන දින ගණන 3ක් හෝ 4ක් නම් මට 22 හෝ 23 වෙනකොට එය ලැබෙන්නට ඕන. අයදුම් පත 24 වෙනිදාට පෙර තැපැල් කල යුතුයි.


මේ වැඩේ හරි යන්නේ නැහැ. හෙට ආපහු ගිහින් තව IRC 7ක් අරන්, හරියට EMS කළා නම් හෝ DHL කළා නම් හරි.


**********


ඉතුරු කොටස ඊළඟ කොටසින්. ලබන සතිය වෙනකම් නොඉඳ, මේ සතියෙම ලියන්නට බලන්නම් තව කොටසක් J



මෙතන, මගේ ජීවිතය අපහසුතාවයට පත් උනේ, තැපැල් කටයුතු සම්බන්ධයෙන් මගේ තිබුණු නොදැනුවත් කම නිසා. මම මේ ලියන දෙයින් තව එක අයෙකු හෝ යමක් උකහා ගෙන ජීවිතය පහසු කරගන්නවා නම්, එයයි මගේ සතුට.


1.23.2016

ජපන් කතා 4 - ඇරඹුම සිවුවන කොටස



ජපන් කතා බලන ප්‍රමාණය පොස්ට් එකෙන් පොස්ට් එකට අඩු වෙනවා. නමුත් හේතු කිහිපයක් මත මා මෙය දිගටම ලියාවි.


ඇත්තටම මා මේ ලියන්නේ මගේ ජීවිතේ උත්සාහයෙන් ලබාගනිපු දෙයක් ගැන. කවදාහරි ආපහු මතක් කරල සතුටු වෙන්න පුළුවන් විදියට, මට අමතක වෙන්න කලින් ලියල තියන්නයි මට ඕන. මට විතරක් පෙනෙන විදියට ලියනවට වඩා, බ්ලොග් එකේම මේක ලියල බෙදාගන්නට හිතුවේ, මේ කතාව කියවන්න ආස අය එක්කෙනෙක් හෝ ඇති කියල හිතුනු නිසා. ඒ වගේම මම කාපු කට්ට, තව එක්කෙනෙකුට හෝ ජීවිතේ කට්ට කන්නට දිරියක් සපයාවි යයි මම විශ්වාස කරනව. මොකද රෝස මල් යහනාවක් වන් ජීවිතයේ රෝස කටු ඇනෙන වෙලාවල් අපි හැමෝටම තියෙන නිසා.




මගේ පොස්ට් කියවල කොමෙන්ට් දාපු ඔබ සැමට මම මේ වෙලාවේ ස්තුති කරන්නට හිතුව, මොකද කොමෙන්ට් එකක් ටයිප් කරන එක ඔබට මහ දෙයක් නොවන්නට පුළුවන්, නමුත් ඒ මගින් මට ලිවීම උදෙසා ලැබෙන දිරිගැන්වීම සුවිශේෂියි. අද කාලේ සිදුවෙන දේවල් දිහා බලන විට, නාඳුනන මට ඔබ විසින් ලබා දෙන දිරිය ශක්තිය, ඉතා උතුම්.


**************

යලිත් කතාවට එමු.


ඇප්ලිකේෂන් එක ගෙන්න ගන්න විදියක් හිත හිත හිටිය මතකයි නේද?


මම අයදුම් කරපු විශ්ව විද්‍යාලයේ මම දන්න කියන කෙනෙක් හිටිය. අයදුම් පත ගෙන්න ගන්න විදියක් කල්පනා කරද්දී මුලින්ම මතක් වුනේ ඔහුව. මම ඔහුගෙන් ඇහුව මම තැපැල් ගාස්තු ගෙව්වොත් මට අයදුම් පත අරන් DHL කරන්න පුලුවන්ද කියල. එහෙම කරන්නට තරම් උවමනා නැති බවත්, EMS කරලා මම ලියුම යැවුවොත්, දින තුනක් ඇතුලට ලිපිය ජපානයට ලැබෙන බවත් ඔහුගෙන් දැනගන්නට ලැබුණ.




ඉතින් අයදුම් පත ලබා ගැනීමේ අයදුම් පත යැවිය යුත්තේ අදාළ IRC පත් සංඛ්‍යාව සමග බව මතකයි නේද? මම ඉතින් IRC පත් මීට කලින් භාවිතා කරලා නැහැ. තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ඔවුන්ගේ කස්ටමර් සර්විස් එකට අමතලා බැලුව. කස්ටමර් සර්විස් එකෙන් ලබා දුන් වෙනත් අංකයකට කතා කරලා බැලුවම, මම ඉන්නේ කොහෙද අහපු ඔෆිසර් කෙනෙක් මට කිවුව මොරටුව තැපැල් කාර්යාලයේ IRC පත් තිබෙන බව. ඉතින් මම හනිකට ගියා මොරටුව තැපැල් කාර්යාලයට.


"IRC කාඩ් 7 ක් ගන්න පුළුවන් ද මට?"

"මොකක්?"

ඒ මනුස්සය බය උනා මම IRC කාරියක් කියල හිතල වගේ!

"ඉන්ටර්නැෂනල් රිප්ලයි කූපන්ස් 7ක්."

"ආ.... දැන් ටෙලිෆෝන්, ඊ මේල්, කුරියර් සර්විස් එහෙම තියන නිසා, IRC භාවිතා වෙනව හරි අඩුයි නේ. අපේ ළඟ IRC නැහැ. ගල්කිස්සට යන්නකෝ. එහෙ ඇති."


ඊට පස්සේ මම ගියා ගල්කිස්සේ තැපැල් කාර්යාලයට.

"IRC කාඩ් 7 ක් ගන්න පුළුවන් ද මට?"

"මොකක්?"

ඒ මනුස්සයත් බය උනා මම IRC කාරියක් කියල හිතල වගේ!

"ඉන්ටර්නැෂනල් රිප්ලයි කූපන්ස් 7ක්."

"ඒ මොනවද ඒ? එහෙම එකක් ගැන අපි දන්නේ නැහැ."


ඉතින් මොකද කරන්නේ? මට හරි මහන්සියි. වතුරත් තිබහයි. එක පාරටම කරන්නට දෙයක් හිතා ගන්නත් බැහැ. ආපහු යනවද? IRC නැතුව ආපහු ගියොත් අයදුම් පත ලබාගැනීමේ අයදුම් පත යවන්නේ කොහොමද? කරන්නට දෙයක් හිතා ගන්නකම් මහන්සියට වාඩිවෙලා ඉන්න බන්කුවක් හෝ එහි නැහැ. (ඇත්තටම මේ කතාවට අදාළ නැති උනත්, සංචාරකයන් නිතර ගැවසෙන පෙදෙසක් වූ ගල්කිස්ස දුම්රිය ස්ථානයත්, තැපැල් කාර්යාලයත්, මීට වඩා පිළිවෙලක් වෙනවා නම් අපේ රටේ ප්‍රතිරූපයට හොඳයි කියල මට හිතුන.)


මට ඒ අතරේ යමක් මතක් උනා...


ආපහු තැපැල් දෙපාර්තමේන්තුවේ කස්ටමර් සර්විස් එකට කතා කරලා බැලුවොත් මොකද?


මම දුරකථන ඇමතුමක් ගත්ත. අරගෙන මගේ දුක කිවුව. ඔන්න එතකොට කොළ එළියක් දල්වුනා.


“මේකයි.. IRC දැන් භාවිතා වෙනව අඩු නිසා, එළියේ තැපැල් කාර්යාල වල IRC නැතිව ඇති එහෙනම්. එක්කෝ මිස් වැල්ලවත්ත තැපැල් කාර්යාලයේත් බලන්න, නැත්නම් කෙලින්ම GPO  (General Post Office) එකට එන්නකෝ. එතන නම් අනිවාර්යෙන් ම IRC තියනව. මම මිස් ට GPO එකේ අංකය දෙන්නම්, කතා කරලා කන්ෆර්ම් කරගෙනම යන්නකෝ."


GPO එකේ අංකය ඉල්ලගෙන පිටිපස්ස බලනකොට, ගල්කිස්ස තැපැල් කාර්යාලයේ සේවක පිරිස මට කතා කළා. එවර මා සමග කතා කලේ ටිකක් වැඩිමහලු නිලධාරියෙක්.


"මිස්, ඔයාට IRC කූපන්ස් නේද ඕන?"

"ඔව්"

"ආ.. හරි හරි. හැබැයි අපේ ළඟ IRC නැහැ. දැන් IRC භාවිතා කරන්නෙත් නැහැ. ඒ නිසා කොහෙවත් IRC ඇති කියල හිතන්න නම් අමාරුයි. ඒවා පාවිච්චි කලේ ගොඩක් ඉස්සර නේ."

"හරි. ගොඩක් ස්තුතියි."


කොහෙවත් IRC නැති උනොත් මොකද කරන්නේ? මේ කියන විදියට GPO එකෙත් IRC නැති වෙන්න ඉඩ තියනවා. මෙහෙම හිත හිත ගල්කිස්ස තැපැල් කාර්යාලයෙන් එලියට එන ගමන්, මම GPO එකට ඇමතුමක් දුන්න.

"හෙලෝ, මට IRC 7ක් ගන්න පුලුවන්ද?"

"පොඩ්ඩක් ඉන්න මිස්, චෙක් කරලා කියන්නම්."


දිග මිනිත්තු කිහිපයක් ගත උනා. සල්ලිත් ඉවර වේගෙන යනවා ෆෝන් එකේ. හදවත ගැහෙනවා වේගෙන්.


IRC තිබුනාද? ඊළඟ කොටසින්. J



මෙතෙක් කල් මා හා රැඳුනු ලබැඳි ඔබට ස්තුතියි.