7.30.2016

ජපන් කතා 6 - ඇරඹුම හය වැනි කොටස








පසුගිය කතාව අවසන් උනේ, මම අත්වැරදීමකින් EMS කල යුතු අයදුම්පත එක්ස්ප්‍රස් මේල් යවපු තැනින්.
අයදුම්පත ලැබීමට කල්ගත වන නිසා, මම ඊට පහුවදා ආපහු GPO එකට ගිහින් අලුත් IRC 7ක් තැපැල් කරන්නට සිතුව.


**********

අද එතැන් සිට 

පහුවදා උදේ මම කෝකටත් කියල ඊ මේල් එකක් යැවුවා ජපානේ ශිෂ්‍ය කටයුතු අංශයට, මේ විදියට.

"අයදුම්පත ලබාගැනීමේ අයදුම්පත, මා විසින් අත්වැරදීමකින් EMS වෙනුවට එක්ස්ප්‍රස් පෝස්ට් එකේ එවා ඇති අතර, එම  අයදුම්පත ඔබ වෙත ලැබීමට සතියක් පමණ ගත වීමට නියමිත වේ. එය ලැබුණු පසු ඔබ විසින් මට එවන අයදුම්පත මා වෙත ලැබීමට සාමාන්යෙන් කොපමණ දින ගණනක් ගත වේ යයි නිමානය කල හැකිද?"

ඔවුන් මට මෙසේ පිළිතුරු එව්ව.

"අපේ තැපැල් කන්තෝරුවට අනුව, අප විසින් එවන අයදුම්පත ඔබට ලැබෙන්නට දින 3ක් පමණ ගත වනු ඇති. ඒ අනුව ඔබට 24 වනදාට පෙර අයදුම්පත ලැබෙනු ඇති අතර,ගැටළුවක් ඇති නොවෙනු ඇති. කෙසේවතුදු, ඔබ අපට එවන ලද අයදුම්පතේ ස්කෑන් පිටපතක් ඊ මේල් කරන්න"

මම අයදුම්පත ලබාගැනීමේ අයදුම්පත මේ වෙද්දී තැපැල් කරලා ඉවරයි නේ, ඉතින් අලුත් එකක් පුරවල ස්කෑන් කරල ඊ  මේල් කළා. පැයක් ගත උනේ නෑ මට මෙහෙම රිප්ලයි එකක් ආව.

"ඔබේ ස්කෑන් කරන ලද අයදුම්පත ට අනුව, අපි ඔබට අදාළ අයදුම්පත තැපෑලට දැමුවෙමු. එම අයදුම්පත ඔබට දින 3 කින් පමණ ලැබෙනු ඇත"

මේ සිදුවීම ජපානය ගැන මගේ හිතේ පුදුමාකාර පැහැදීමක් ඇති කළා. මොකද ඔවුන් තැපැල් ගාස්තු සහිත IRC කූපන් ලැබෙන්නටත් පෙර, මගේ ඊ මේල් එක විශ්වාස කරල, අයදුම්පත එව්ව. ඒ වගේම ඒ ඔක්කොටම ගත උනේ පැයක් පමණයි. (මගේ ලංකාවේ විශ්ව විද්‍යාලයේ  විභාග අංශයට, තැපැල් ගාස්තු ගෙවා මාසයක් යනතුරුත් ඇඩ්රස්ඩ් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් තැපෑලට දමා තිබුනේ නැහැ. පස්සේ මම ඒක අරගෙන ගිහින් මමම තැපැල් කළා, ගෙවපු තැපැල් ගාස්තුව දෙගුණ වුනා) 

කිවුව වගේම දවස් 4ක් වගේ යනකොට අයදුම්පත ලැබුන. මගේ IRC ටිකත් සතියකට පමණ පස්සෙ ඔවුන්ට ලැබිල තිබුණ.

අයදුම්පත පුරවල තැපැල් කරන එකේ නම් ලොකු නාට්‍යක් තිබුනෙ නෑ. ඒ දවස් ටික ගෙවිල ගියා. අයදුම්පත තැපැල් කරලා මම ලොකු සැනසුම් සුසුමක් හෙළුව.



**********


අයදුම්පත් ලැබිල, තේරීම් ඉවර වෙලා මගේ ප්‍රොෆෙසර් ඊ මේල් එකක් එව්වා මට.

"දයාබර මානවිකා,

ඔබේ අයදුම්පත සාර්ථකයි. Well done. මේ වටයේ අයදුම්පත් වලින් ඉහලම ලකුණු ලබාගත්තේ ඔබේ අයදුම්පතයි. ස්කයිප්  මගින් කෙරෙන සම්මුඛ පරීක්ෂණය ගැන ඔබට තොරතුරු ලැබෙනු ඇති."


**********


මේ ඊ මේල් එක මගේ හිතට බරක් එක් කළා. මොකද ඒ වෙනකොට අපේ අම්ම හිටියෙ අසනීපෙන්. ඊ මේල් එක මම කියෙව්වේ අම්මගේ සුව නොවන බඩේ වේදනාවට ඩොක්ටර් කෙනෙකු කන්සල්ට් කරන්නට ඉස්පිරිතාලේ යන ගමන්. "අම්මට අසනීප නම් රට යන්නේ නැහැ කොහොමත්. නමුත් අසනීපෙන් ඉන්න අම්මට මේ ගැන කිවුවොත්, මම ඈතට යයි කියල කල්පනා කරලා තව ලෙඩ වේවි. ඒ නිසා මේ ගමන කැන්සල් උනාවේ, මම මේ ගැන ගෙදරට කියන්නේ නැහැ."

අම්මගේ පිත්තාශයේ ගල් බවට නිගමනය වෙලා, ඔපරේෂන් එකක් කළා. ඉස්පිරිතාලේ ඉඳල ගෙදර යන්න සූදානම් වෙනකොට, ස්කයිප් ඉන්ටවිව් එකට අදාළ ඊ මේල් එක ලැබුණ. ඒ වෙලාවේ මම විස්තරේ අම්මට කිවුව. හැබැයි අම්ම සනීප උනේ නැත්නම් යන්නේ නැහැ කියලත් කිවුව.

ස්කයිප් ඉන්ටවිව් එක එච්චර අමාරු උනේ නැහැ,සහ ඒ නිසාම මම ඉන්ටවිව් එක පාස් වෙලා තිබුණ. සමහර විට අසනීප උන වෙලාවේ අම්මව බලාගනිපු පින් මහිමෙන් වෙන්න ඇති. (පිනකුත් නෙවෙයි ඉතින් ඒක කොහොමත් දරුවන්ගෙ යුතුකම නේද) ඒ වෙද්දී අම්මාට සනීප වෙලා තිබුණ. ඉතින් මමජපානේ යන්නට හිතුව.


**********


ඊට පස්සේ තිබුනේ වීසා හදන්නට. අදාළ ලියුම් ටිකත් එකතු කරගෙන මම 8.15 පමණ වෙනකොට ජපන් එම්බසියට ගියේ එය අරින්නේ 9 ට නිසා. ඒ යනකොට එතන ඉන්නවා 250ක විතර පෝලිමක්.

"අම්මේ මෙච්චර මිනිස්සු රට යන්නෙ, ලංකාව එපා වෙලාද" කියල හිත හිත මම පෝලිමේ හිටිය. 9.15 ට විතර සිකියුරිටි ඔෆිසර් කෙනෙක් ඇවිත් මෙහෙම කිවුව.

"අපි ඇතුලට ගන්නේ 120 යි. ඒ 120 දෙනා දැන් අරගෙන ඉවරයි. ඒ නිසා ඊට පස්සේ පෝලිමේ ඉන්න කට්ටිය ආපහු ගිහින් හෙට උදේ එන්න"

මම හිටියේ 250 වෙනියට විතර නිසා ඉතින් මුල් 120ට මම අහු නොවෙන එක අහන්න දෙයක් නෙවෙයි නේ. කොහොම උනත් එතන හිටපු අය නොසන්සුන් උනා.

"එහෙම කොහොමද, අපිවත් ගන්න ඇතුලට, අපිටත් වීස ගන්න ඕන, හදිස්සියි"

"ඔයාල හෙට එන්න. මෙතන මේ පාන්දර 3 ඉඳල කට්ටිය පෝලිමේ ඉන්නෙ. එහෙම එකේ ඉතින් අද ගෙදර ගිහින් හෙට උදෙන් එන්න" 

"අනේ සර් අපටත් යන්න දෙන්න"

"බෑ බෑ හෙට උදේ එන්න"

සිකියුරිටි ඔෆිසර් හරියට එම්බසඩර් වගේ. මිනිස්සු ඔක්කොම හැරිල එන්න ආව. මමත් ආව. 


**********


ඔය කියන විදියට පාන්දර 3 ඉඳල කට්ටිය පෝලිමේ ඉන්නව නම් ටිකක් උදෙන් යන්න වෙයි නේ. හෙට පාන්දර 4ට කැබ් එකක් කතා කරන් යන්න හිතාගත්ත.

පස්සේ ආරංචි කරල බැලුවම, ජපානයට රැකියාවලට යන ගොඩක් අයත්, භාෂාව ඉගෙනගන්නට ස්ටුඩන්ට් වීසා අරන් යන අයත්, ස්කොලර්ෂිප් වලට යන අයත්, වැඩ පටන් ගන්නේ ඔක්තෝබර් සිට නිසා, සැප්තැම්බර් මාසේ එම්බසියේ පෝලිම ගොඩක් දිගයි ලු. ඉතින් ඒ නිසා මම යාලුවෙක් එක්ක පහුවදා උදේ පාන්දර එම්බසියට ගියා. ගිහින් 9 වෙනකම් එම්බසිය ඉස්සරහ පත්තරයක් එලාගෙන ඉඳගෙන හිටිය. එහෙම ඉඳල ඇප්ලයි කලාම සතියකින් යලි එන්න කියල, වීස ලැබුණ.

ටිකක් කලබලෙන් බඩු එහෙම පැක් කර කර ඉන්න ගමන්, මෙච්චර කල් මම කාපු කට්ට මදි කියල වැස්ස වලාහක දෙවියන්ටත් හිතිලා, බදාදා පිටත් වෙන්න තියෙද්දී, ඉරිදා ලොකු වැස්සක් වැහලා ගෙදර පොඩි ගංවතුර ක් ගැලුව. ඊට කලින් කවදාවත් වතුර ආපු නැති අපේ ගෙදර යට වෙනකොට, ආයෙම රට යන අදහස හිතෙන අත් ඇරුන. 

කොහොමහරි ගෙදර ඇතුලේ තිබුණු වතුර පැය කීපයකින් බැහැල ගියා. පාර හා වත්ත නම් ටිකක් යට වෙලාමයි තිබුණෙ.


**********


රට යන දවස උදා උනා. ඇත්තටම ඒ වෙනකොට මට යහතින් යන්න ලැබේවිද කියල කිසිම විශ්වාසයක් තිබුනේ නැහැ. ඕන දෙයක් වෙද්දෙන් කියල යෑමක් තමයි තිබුණෙ.

ගෙදරින් පිටත් වෙලා හයිවේ එන්ට්‍රන්ස් එකට එනකොට, අතරමග වතුරට යට වෙලා, හයිවේ එකට යන්නට බැහැ. ඒ නිසා ආපහු හරවාගෙන, ගාලු පාර දිගේ මාතර ගිහින් ගොඩගම එන්ට්‍රන්ස් එකෙන් හයිවේ එකට එනකොට හොඳටම පරක්කු වෙලා, වෙලාවට යන්න බැරි වේදැයි ලොකු බයක් හිතේ තිබුන.

මේ අතරේ වාහනේ යන ගමන්, මගේ යාලුවන්ට මම අද යන බව කියල කෝල් කළා. නිතර මුණගැහෙන යාළුවො ඒ වෙනකොට මම යන බව දැනගෙන හිටියත්, අතපසු වූ කිහිප දෙනෙක්, අන්තිම වෙනකම් නොකී නිසා මාත් එක්ක තරහ වුණා.

කොහොමහරි, වෙලාවට එයාපෝට් එන්න පුළුවන් උනා. පැය 8ක දිගු ගමනක් අවසන, ගුවන් යානයේ රෝද පොලවේ වදින විට, මම යහතින් ජපානයට පය ගහපු බව විශ්වාස කරන්නටත් ටිකක් අමාරු උනා. 



**********

ප. ලි. මේ ඔක්කොම ඉවර වෙලා ජපානේ ඇවිත් බලනකොට මගේ බර කිලෝ 3ක් අඩු වෙලා තිබුණ. 

**********

ජපන් කතා ඇරඹුම නිමි.

මෙතෙක් ඉතා කම්මැලිකමෙන් වුවත්, නොනවත්වා මෙය කියවූ ඔබ සැමට, ස්තුතියි.







14 comments:

  1. //ජපන් කතා ඇරඹුම නිමි.//

    ඇරඹුම නිමි උනත් තව කතා ඇතිවගේ.

    ReplyDelete
    Replies
    1. ඔවු මනෝජ්, හෙමින් ලියන්නට ඕන ඉතුරු ටික. ඒ කතා මීට වඩා රසවත් ඇති යයි සිතනව.

      Delete
  2. අහම්බෙන් ලින්ක් එකක් දැකලා මේ පැත්තට ආවේ... ජපානේ කියන නම් දැක්කත් ඒ පැත්තට මම නිකන්ම ඇදිලා යනවා...
    තමන්ගේ අරමුණ වෙනුවෙන් කැප වෙනවා නම් මොන බධාව ආවත් ගේමක් නෑ නංගි... මම නම් සාමාන්‍ය උපාදියක්වත් තියෙන කෙනෙක් නෙමෙයි... ඒ ගැන කාලෙකට පස්සේ පසුතැවීමක් ආවා මේ කතාව කියවලා... ජපන් කතා පෙල දිගටම ලියන්න කියලා ඉල්ලනවා බොහොම කරුණාවෙන්..
    ඔය එම්බසි එකේ පෝලිම් කට්ට මමත් කාලා තියෙනවා... පාන්දර 4 ට ඇවිල්ලා හිටියා.. අන්තිමට වැසිකිලි අවශ්‍යතාවයක් ඇවිල්ලා එහා පැත්තෙ තියෙන පන්සලට දුවලා තමයි වැඩේ කොරගත්තේ... හික්..හික්..

    නිහොන් ඇනෝ :)

    ReplyDelete
    Replies
    1. නිහොන් ඇනෝ,

      අනේ මුලින්ම සමාව ඉල්ලනවා කොමෙන්ට් වලට උත්තර දෙන්න පමා වීම ගැන. ආයේ කවදා ලියන්න හිතේවිද දන්නේ නැහැ, කොහොම උනත් ඒවා කියවන්නත් මේ පැත්තේ එන්න :)

      උපාධියක් නෑ කියලා පසුතැවෙන්න එපා, ඔබ සතුටින් ජීවත් වෙන කෙනෙක් බව මට හිතෙනවා, ඉතින් සතුටින් හොඳින් ජීවත් වෙන්න උපාධියක් අත්‍යවශ්‍ය නැහැ :)

      මාත් එක්ක පෝලිමේ දී යාලු වුනු අක්ක කෙනෙකුටත් ඔය ඇබැද්දිය උනා. අපි දෙන්නම පන්සලට ගියා, ඒ වෙලාවේ පන්සලේ පූජාවක් නිසා අපට ඇතුලට යන්න බැරි උනා.. ඒ පාර වෙනත් දෙයක් කලේ, මෙහි ලියන්න බැහැ. මට ඒ එම්බසිය ගැන නම් හරි කලකිරීමක් තියෙන්නේ, අපොයින්ට්මන්ට් සිස්ටම් එකක් පවත්වාගෙන යන්නෙත් නැත්නම්, වාඩි වෙන්න පුටු ටිකක්, වැසිකිලියක් වත් සපයන්න බැරිද මන්ද. මිනිසුන්ට සත්තු වගේ නේ සලකන්නේ?

      Delete
    2. දිගටම ලියන්න පුලුවන්නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නෙ... අනිවාර්යෙන් සතියකට සැරයක් මේ පැත්තට ගොඩ වෙලා බලනවා.. පුලුවන් වෙලාවක ජපන් මිනිස්සුන්ගෙ ඇත්ත තත්වය ගැන අත්දැකීම් තියෙනවනම් ලියන්න... මොකද ජපන්නු අමුතුම ජාතියක්... ආචාරශීලී වුනාට ඉතිං එකට වැඩ කරන්න ගියහම තේරෙනවා ඇතිනෙ මිනිස්සු ගැන..
      උපාධිය සතුටින් ජීවත් නොවෙන්න අත්‍යවශ්‍ය නෑ කියලා කියන්න බෑ... යම්කිසි රැකියාවක් කරන කෙනෙකුට ඒක සෑහෙන්න වටිනවා..
      එම්බසිය දැන් නම් ටිකක් හොඳ වෙලා තියෙන්නෙ... මම මාස කීපෙකට කලින් ඔහේ එන්න වීසා ගන්න ගියා.. දැන් ටෝකන් එකක් දෙනවා ලොකු ෆයිල් කවරයක් සයිස්.. ඒත් ඇතුලට ගන්නකොට තමයි ඒක දෙන්නේ.. එතකන් එලියේ... හැම එම්බසියක්ම ඔහොම තමයි... අපිව දෙකේ කොලේට දාලා තමයි සලකන්නේ..

      නිහොන් ඇනෝ..

      Delete
    3. නිහොන් ඇනෝ, සමාවෙන්න මට, කමෙන්ට් වලට රිප්ලයි කලේ නැති එකට.

      ජපන්නුන්ගේ ඇත්ත තත්වය ගැන ලියන්න වත් හිතෙන්නෙත් නෑ.. ඒ තරම් නිහඬයි, දුක්බරයි, ගුප්තයි :D

      එම්බසිය හොඳයි කියල අහන්න ලැබුණු එක හරි සතුටක්.. ආයේ නම් ඒ පැත්තේ යන්න ආසාවක් නෑ :)

      Delete
  3. Japan enawa kiyanne loku kattak. Math e katta kanawa me tike. Adai me paththe awe. Digatama ennam.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගයාන්. ඔබේ උත්සාහය සාර්ථක වෙන්න කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

      Delete
  4. Japan enawa kiyanne loku kattak. Math e katta kanawa me tike. Adai me paththe awe. Digatama ennam.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගයාන්. ඔබේ උත්සාහය සාර්ථක වෙන්න කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

      Delete
  5. ඒ කියන්නේ එම්බසියට ගියේ බෝඩිමක ඉඳලා, එයාපෝට් යන්න පටන් ගත්තේ ගමේ ඉඳලා, එහෙමද?

    ReplyDelete
    Replies
    1. ඔව් රසික, ඔබ හරි. සැලකිල්ලෙන් කියවීම පිලිබඳ සතුටු වෙනවා :)
      ඔබව ආදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට.

      Delete
  6. අහම්බෙන් දැකලා මේ පැත්තට ගොඩ උනා. ජපානේ ගැන දැක්ක නිසාම ලිපි ටික කියවන්නම හිතුනා. මීට කලින් දෙපාරක්ම ජපානෙට ඇවිත් ගිය මගේ මතකයන් ටිකත් අයෙත් අවදි වුණා.

    ජපානෙට ආපු වැඩේ කරගන්න අතරේ දිගටම ලියන්න. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමෙන්ටුවට. පුළු පුළුවන් හැටියට එන්නකෝ මේ පැත්තේ :)

      Delete

ඉවත දමන්න බැරි කතා

අන්තර්ජාලයෙන් හමු වූ, ඉංග්‍රීසියෙන් ලියවුණු, මිහිරි කතා පෙළක්, සිංහල පාඨක ඔබ සමග, මෙසේ බෙදා ගන්නෙමි. මුල් ලිපිය:  https://brightside....