4.22.2014

බෝඩිම් හොයපු හැටි 1

අවසන් වසරේ විභාග වලින් පස්සේ, අපට හොස්ටල් එකේ තවත් ඉන්නට අවසර තිබුණේ නැහැ, අපට පහළ වසරේ නංගිලා මල්ලිලා කණ්ඩායම හොස්ටල් එකට එන්න කලින් අපට හොස්ටල් එකෙන් පිටමං වෙන්නට උපදෙස් ලැබුණ. තාවකාලික උපදේශකවරියක ලෙස විශ්ව විද්‍යාලයේම නැවතීමට තීරණය කරපු මමත්, මම වගේම විශ්ව විද්‍යාලය අවටම නවාතැන් සොයන තවත් මිතුරියන් තුන් දෙනෙකුත් එකතු වුණේ විශ්ව විද්‍යාලය අවටින් කට්ටියටම නවාතැනක් සොයා ගැනීම සඳහා.
 
පින්තූරය http://www.toonvectors.com/clip-art?similar-to=cartoon-coloring-book-small-house-39024 වෙතින්


අලුතින් පළමු වසර කණ්ඩායම් දෙකක් ළඟ ළඟම විශ්ව විද්‍යාලයට ඇතුළු වූ නිසා, බොහෝ නවාතැන් වල ඉඩ කඩ තිබුණේ නැහැ, ඉඩ තිබුණු නවාතැන් වලත් ඉඩ තිබුණේ උපරිම දෙදෙනෙකුට පමණයි. ඔය විදියට යන එන මං නැතුව ඉන්න අතරේ අපට ආරංචි වුණා අක්කලා දෙදෙනෙක් නිවසක යට තට්ටුව කුලියට ගැනීමට යන බව. හය දෙනෙකුට ඉඩ ඇති එහි නැවතීම සඳහා ඇය තවත් හතර දෙනෙකු සොයමින් සිටියා.

ඔවුන් සමග එකතු වී එම නිවසේ යට තට්ටුව කුලියට ගැනීමට සිතා, තොරතුරු කතා කරගැනීමට එහි ගියත්, අපට නිවසේ අයිතිකරුවන් හමුවීමට ලැබුණේ නැහැ. කොහොම උණත් හිස් අතින් අනිත් පැත්තට හැරිලා එන්නට බැරි නිසා අපි තීරණය කළා අක්කා පත්තර වලින් එකතු කරගත් කුලියට දීමට ඇති අනිත් ගෙවල් වලට කතා කරලා බලන්නට.

ඔහොම හොය හොයා කෝල් කර කර යනකොට, අපි කෝල් කරපු එක ගෙදරකින් මෙහෙම කියුව. “කටුබැද්දෙ ගෙදර වහල දාල අපි අලුත්ගම ඉන්නෙ, හෙට ගෙදර බලන්න එනව නම් කියන්න, මම ඇවිත් ගෙදර පෙන්නන්නම් ඔයාලට

පින්තූරය http://www.toonvectors.com/clip-art?similar-to=cartoon-coloring-book-small-house-39024 වෙතින්

බලපු වෙන එකදු ගෙදරක වත් ඉඩ නොතිබුණු නිසාත්, ලයිස්තුවේ තිබුණු ඉතුරු ගෙවල් පිහිටියේ විශ්ව විද්‍යාලයට දිනපතා ඇවිදගෙන එන්න බැරි තරම් දුරකින් නිසාත් අපි තීරණය කළා පහුවදා ගෙදරට ගිහින් බලන්නට.

********


පහුවදා


සුපුරුදු පරිදි හවස 5 අපි එකතු වුණා බෝඩිමක් හොයන්න යන්නට. මුලින්ම ගියේ කලින් කියපු නිවස බලන්න තමයි. දවල් කතා කරගත් පරිදි ගෙදර අයිතිකාරයා අලුත්ගම සිට දැන් මග එනවා අපට නිවස පෙන්නන්නට. ප්‍රධාන පාරේ ටික දුරක් ගිහිපු අපි, ලිපිනයේ සඳහන්ව තිබුණු අතුරු පාරට හැරී දැන් යනවා අදාළ නිවස හොයාගෙන.

ඔහොම යන අතරේ පාරේ ගිහිපු ගැහැණු කෙනෙක් අපිව දැකලා අපෙන් ඇහුවා මෙහෙම. “බබාලා බෝඩිමක් හොයන්නේ? මම වැඩකරන ගෙදර කාමරයක් තියෙනවා, හය දෙනෙකුට ඉඩ තියනවද කියල ඇවිත් කතා කරගන්න, දැන් මාත් එක්ක එන්න. ගෙදර තියෙන්නේ පස්ට් ලේන් එකේ.. බබාලට මේ තරම් දුරත් නැහැ, කැම්පස් එක අත ළඟ

ඇන්ටි අපි මේ තව ගෙයක් බලන්න යන ගමන්. දැන් එහෙ යන්න ඕන නේ. එහෙනම් ඇන්ටි ගේ ෆෝන් නම්බර් එක දෙන්න, අපි කතා කරන්නම්

ෆෝන් එකෙන් කතා කළාට බබාලා ඇන්ටිව හොයාගන්නේ කොහොමද? දැන් එන්න මේ ගමන්ම, ඔක්කොම එන්න බැරි නම් තුන්දෙනෙක් එන්න

ඇන්ටිගෙ කරදරෙන් බේරෙන්න බැරි තැන, අපි හය දෙනා තුන්දෙනා බැගින් දෙකට බෙදුණා. කොටසක් පත්තරේ තිබුණු ගෙදර හොයාගෙන ගියා, මමත් ඇතුළුව තවත් දෙදෙනෙක් ඇන්ටිගේ පසුපසින් ගියා.

ඇත්තටම චකිතයක් නොදැනුණා නොවෙයි, මේ මනුස්සයා අපිව කොහේ එක්කන් යාවිද? විශ්ව විද්‍යාලය අවට පාර තොටේ ටිකක් කරක් ගහල පුරුදු වුණත්, මේ ඇන්ටි කියන ෆස්ට් ලේන් එක කලින් අසා තිබුණත්, අපි කවුරුවත් පාරේ පුරුදුකාරයෝ නෙවෙයි. ඇන්ටි දිගටම කතාව.

ගෙදර අලුත් පිට ගෙදර, බාත්රූම් කොමඩ් ඔක්කොම තියනව, ගණන් හිලවු නම් කොහොමද දන්නෙ නැහැ, ඒවා බබාල කතා කරගන්න, වාහන යන ලොකු පාරක් තියෙනවා, තව පොඩි ෂෝට් කට් එකකුත් තියනවා, මම ෂෝට් කට් එකෙන් එක්කන් යන්නම් බබාලට පාර දැනගන්නත් එක්ක, මේ ෂෝට් කට් එකෙන් ගියාම කැම්පස් එක අත ළඟ

ෆස්ට් ලේන් එකේ ටිකක් දුර ඇවිදන් ගිහිපු ඇන්ටි, එක පාරට පාළු ඉඩමක් ළඟ නැවතුණා.

ඔහොම ඉන්න බබා, හරකෙක් එනවා

ඉඩම මැදින් ආපු හරක යනකම් බලන් ඉඳපු අපි, ඇන්ටිගේ පස්සෙන් ඉඩම මැදින් වැටුණු අඩිපාර දිගේ ඉදිරියට ඇදුන. ඉඩම කෙළවරේ පුංචි දිය කඩිත්තක්, මතින් පුංචි පාලමක්. පාලම පහු උණාට පස්සේ නියරක් උඩින් වැටුණු අඩිපාරක්. අපි තුන්දෙනාම තිගැස්සුන.

මේ කොහෙද මේ? මට නම් බයයි මේ පාරේ යන්න..” මම.

මෙහෙම පාරකින් යන බෝඩිමක නැවතුනත් මේ පාරේ අපි තනියම යන්නේ කොහොමද මගේ යාළුවෙක්

සාරි ඇඳන් මේ පාරේ යන්නේ කොහොමද නංගී මම අපේ අක්ක කෙනෙක්.

අනේ මේ, මොනවහරි උණොත් කෙළින්ම අනිත් පැත්තට හැරිල දුවන්න බලන් යමු, හරිද මම.

නංගිල දෙන්න දුවනකොට සාරි ඇඳන් මම දුවන්නේ කොහොමද අර අක්ක.

නෑ නෑ අපි තුන් දෙනෙක් ඉන්නවා නේ බය වෙන්න එපා

"මේ පාරෙ ගියාම කැම්පස් එකට අත ළඟයි කිවුවේ, ඇන්ටිගේ අත කොච්චර දිගද දන්නේ නෑ"

"ඒක තමයි.. හි හි.."

පාළු කුඹුර මැදින් යනකොට දැනෙන බය යටපත් කරගෙන අපිට විටින් විට සිනහ පහළ වුණේ මේ ගමනේ තිබුණු අක්කරතැබ්බ ගතිය නිසා වෙන්න ඇති. ඇන්ටි පිටිපස්ස හැරුණ.

බබාල මට හිනා වෙනව නේද?”

අත ළඟයි කියපු බෝඩිම හොයාගෙන අපි යනවා යනවා යනවා. කෙළින් යනවා, හැරිලා යනවා, ආපු පාර අපට මතක නැති තරම්.

මේ ආපහු යන්නේ කොහොමද

අපරාදේ පාර දිගේ කොළ අතු කඩ කඩ එන්න තිබුනේ

දැන් නම් තව ටිකකින් කලුවරත් වැටේවි

ඇත්තටමයනවා යනවා ඉවරයක් නැහැකියන යෙදුම මම ප්‍රායෝගිකව අත්වින්දා ගමනේදී.

********

අන්තිමටම, සියලු බිය දුරු කරමින්, සැක නිමා කරමින්, අප සිටියේ සුවිසල් නිවසක් අබියස.
 
පින්තූරය http://www.toonvectors.com/clip-art?similar-to=cartoon-coloring-book-small-house-39024 වෙතින්

ගෙදරදී සිදු වූ දේ.. ඊළඟ කොටසින්..






34 comments:

  1. මේක කැම්පස් සින්ඩියේ එල්ලල නැද්ද

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල නම් එල්ලලා තිබුණ, ලඟදි ආයේ ඒ පැත්තට ගිහින් බලන්න නම් බැරි වුණා :)
      බොහොම ස්තුතියි අටම් අයියට මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවක් දැම්මට

      Delete
  2. ඊලග කෑල්ල තවත් රසවත්...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. රසවත් ද කියා බලමුකෝ..

      ජය වේවා !!!!

      Delete
  3. එහෙනම් ඊළඟ කොටස දානං බලන්න , හැබැයි බෝඩිම හිතට ඇල්ලුවොත් කොච්චර දුර වුනත් කමක් නෑ අපිටනම් ඒ කාලේ

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස දාන්නං කෝ..
      හපෝ දවස ගානේ ගොඩක් දුර ඇවිදගෙන එන්නයි යන්නයි කම්මැලි නැද්ද අප්පා..
      ඉරට්ට වගේ ඉන්න මම තවත් කෙට්ටු වෙනවා එහෙම උනොත්..

      Delete
  4. ඔහොම ඇවිදිනකොට තමා කියන්නේ..පිස්සන්ට හැතැම්ම නැ කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් මම අහලා නැහැ නේ?
      හැබැයි එදා අපි ඇවිද්දේ නම් පිස්සෝ වගේ තමයි...

      Delete
  5. කටුබැද්දේ අතීතය මතක් කරනවාට තැන්කූ වේවා...
    අපේ කාලේ ගර්ල්ස් හොස්ටල් එකක් තිබුනේ නෑ...බැච් එකටම හිටියෙ කෙල්ලො හතයි අපි කොල්ලො තිස්තුනයි....එතනිනුත් අපි හත් දෙනෙකුට විතරයි හොස්ටල් හම්බ උනේ...සෙකන්ඩ් ඉයර් එකේ ඉදන් පිට තමයි..තාම තියෙනවද දන්නේ නෑ ආකි පැලස් එහෙම....
    දිගටම කියවන්න ඕනි..කටුබැද්දේ කෙල්ලෙකුගේ අත්දැකීම් අහන්න ලැබීම මරු...

    ReplyDelete
    Replies
    1. ආකි පැලස් සමහරවිට තවම ඇති, වෙන නමකින්.. මම එහෙම එකක් අහලා නම් නැහැ, මගෙ ආකිටෙක්චර් කරන යාළුවො ඉන්නවා, සමහරවිට එයාලා දන්නව ඇති ..
      අපටත් හොස්ටල් ලැබුනේ පළමු වසරේත්, අවසන් වසරේත් පමණයි, දෙවන සහ තෙවන වසර වල පිට තමයි ඉන්න ඕන.
      A හොස්ටල් එක නමින් තියෙන බෝයිස් හොස්ටල් එකේ කොටසක් දැන් B හොස්ටල් ලෙස නම් කරලා ගැහැණු ළමයින් වෙනුවෙන් වෙන් කරලා, අවසන් වසරේදී අපට ලැබෙන්නේ B හොස්ටල් එක තමයි.
      අවසන් වසරේ පිරිමි ළමයින්ට ලොකු හොස්ටල් එකක් හදල තියනව, නිව් හොස්ටල් එක.. ඒ අහල පහලම තියනවා ඩෝම, රාහුල මාවතේ තවත් හොස්ටල් එකක් තියනවා, ඒ ඔක්කොම පිරිමි ළමයින්ට.

      Delete
    2. ආ ඒ වගේම, චෙෆ් ආකිටෙක්ට් මහතාව ආදරෙන් පිලිගන්නවා මගේ බ්ලොග් අඩවියට, බොහොම ස්තුතියි මේ අඩවියට ඇවිත් කොමෙන්ටුවක් දැම්මට.. නැවත එන්න මේ පැත්තේ..

      Delete
    3. මම මානවීගේ පේජය එල්ල ගත්තා.....ස්තුතියි චෙෆ්-ආකිටෙක්ට් එකතු කලාට මිනිසුන් අතරට...
      මට තියෙන්නෙ අවුරුදු 30කට එහා මතකයන් කටුබැද්ද ගැන....හිටියෙ බී හොස්ටල් එකේ.....හරිම සොඳුරු සහ අපූර්වම අත්දැකීම් සම්භාරයක් ජීවිතයට එකතු වෙච්ච පරිඡ්චේදයක් මගේ ජීවිතෙත්...

      Delete
  6. මරු මරු මානවී,ඔයා ලස්සනට ලියනව ඉතුරු හරියත් ඉක්මනටම දාන්න.

    ReplyDelete
    Replies
    1. ඇගයීමට බොහොම ස්තුතියි හැලපතුමා :) මේ ලියනවා...

      Delete
  7. ඔයාලට තිබ්බෙ නැද්ද අර බෝඩිං එතකොට හොට්ටල් ලගට ඇවිත් හෙළුවෙන් දගලන අයගෙ කරදර...
    අපේ නංගි කෙනෙක් ඉන්නව ඔය සීං එක හිංද ආයෙ යනනත් බෑ කීව...
    බෝම අමාරුවෙන් යැව්වෙ
    මොනා කීවත් බෝඩිං ජීවිතේ මාර කික්

    ReplyDelete
    Replies
    1. එ්වා ඊලග කොටසින්

      Delete
    2. මහේෂ් : එහෙම අය ගැන අත්දැකීම් තියනව.... හෙමිහිට ලියන්නම් ඒ ගැනත්..
      විදානේ : ඊළඟ කොටසේ තියෙන්නේ මේ කතාවේ ඉතුරු ටික.. නමුත් ඔය වගේ අත්දැකීම් නුත් හෙමිහිට ලියන්නම්කො..

      Delete
  8. බය හිතෙනවානේ, අෆ්ෆා! හොල්මන් කතාවක් වගේ :O මොනවා වුණත් මේක ලියන්න මානවී අක්කා ඉතුරු වෙලා ඉන්නවනේ!

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ නම් ඇත්තටම බය උනා.... දැන් මතක් කරද්දී හිනා යනවා, ඒකයි ඔයාල එක්ක බෙදාගන්න හිතුවෙ..

      Delete
  9. අයියෝ... ඉක්මනට දාන්ඩෝ ඊළඟ කොටහ! බබාල මොකද කළේ බලමු :-))

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්නකෝ... මේ ලියනවා...

      Delete
  10. මානවිකා බබාලටත් පිස්සුනේ මේ නන්නාඳුන පිස්සු හෝන්තුවක් පස්සෙ කැලේ හරහා යන්න. ඉතින් ඊලඟට?

    ReplyDelete
    Replies
    1. මෙන්න මම බලාපොරොත්තුවෙන් හිටපු කොමෙන්ටුව..
      ඇත්තටම මේ පොස්ට් එක ලියල, මම පබ්ලිෂ් බට්න් එක එබුවෙ බොහොම බයෙන්..
      මම හිතුවෙ කට්ටියම "ඔහොමත් ගමන් බිමන් යනවද, නන්නාදුනන අය පස්සේ යනවද, බය උනේ නැද්ද, ඔය තරම් පිස්සුද, ඔය තරම් මෝඩද" කියල මට පස් පඩංගුවෙ බැනල කමෙන්ට් කරාවි කියල...
      ඇත්ත, ඒ ගමනේ අවසානය යහපත් උනත්, අපි කලේ මහ මෝඩ වැඩක්.. ඒ වෙලාවේ මොනවහරි උනා නම් අද වෙනකම් අපි අතුරුදහන්..

      Delete
  11. ඒකනෙ හෙන්රි, මෙවුංටත් ආය නෑ බබා කියල කතා කලොත් ඕන පිස්සු හටනක් පස්සෙ යයි උඩ පැනගෙන......:)

    ReplyDelete
    Replies
    1. හපොයි නැහැ නැහැ, එහෙම බබා කියල මදි.. ඔන්න රත්තරන්, මැණික, සුදූ, වස්තුව වගේ කිවුවොත් සලකල බලන්න පුළුවන් :D
      ඇත්තටම රවී තුමා, අපි කරපු වැඩේ නම් හරිම මෝඩයි..

      Delete
  12. නියමයි! බබාලා සෙට් එක ඒ ඇන්ටිගේ ස්පොට් එකේ සෙට්වෙයි වගේ. මට අපේ දුවයි යාළුවෝ දෙන්නයි ගෙවල් හොයන හැටි මතක් වුනා. දැන් අවුරුදු හතරට ගෙවල් හතරකට මාරුවුනා. අපි දෙන්නා එහේ ගියාම උන් එක්ක ජෝගි නටලා එන්නේ. අපේ දුව නම් එහාටම සින්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ඇන්ටි කෙනෙක්ගෙ බෝඩිමක සෙට් උනොත් කනක් ඇහිල ඉන්න නැති වෙයි අප්පා..
      ඔව්, බෝඩිම් හොයන එක නම් හරිම එපා කරපු වැඩක්.. දුවව සින්න වෙන්න කලින් ගෙදර එක්කන් එන්න අරූ තුමා :)

      Delete
  13. තාවකාලි උපදේශක අයටත් හොස්ටල් එකේ ඉන්න ලැබෙනවානේ. අපේ නම් එහෙමයි. [කාන්තා පාර්ශවේට ]

    ඊළඟ කොටසත් බලමුකෝ එහෙනම් :)

    ReplyDelete
    Replies
    1. අපේ උපාධි අපේක්ෂක ගැහැණු ළමුන්ටත් හොස්ටල් පහසුකම් ප්‍රමාණවත් මදි. ඒ නිසා අපට හොස්ටල් දෙන්නේ නැහැ.
      අවසන් වසරේ පිරිමි ළමුන් හැමෝටම අනිවාර්යෙන් හොස්ටල් හම්බෙනව, ගෙදර ඉඳන් කැම්පස් එන පිරිමි ළමයින්ටත් කැමති නම් හොස්ටල් එකේ ඇඳක් ගන්න පුළුවන් විදියට ඉඩ පහසුකම් තියනව, ඒත් කාන්තා නේවාසිකාගාරයේ අවසන් වසරේ අපට හොස්ටල් දුන්නෙ, විශ්ව විද්‍යාලයේ සිට ගෙදරට තියන දුර, පවුලේ ආදායම, ඔක්කොම බලල, ඉල්ලුම් කරන ගැහැණු ලමයින්ගෙනුත් තෝරා ගත් පිරිසකට පමණයි.. ඒ අපේ හොස්ටල් එක කුඩා එකක් නිසා..
      ගැහැණු ළමුන් සුළුතරයක් වූ විශ්ව විද්‍යාලයක ඉගෙන ගැනීමේදී ගැහැණු ළමයින්ට වාසි සහ පාඩු දෙකම ලැබෙනව. ඔය කියල තියෙන්නේ ප්‍රධාන පාඩුවක්. වාසිත් තියනවා ඉතින් :D

      Delete
  14. ආ මෙයත් මේ කටුබැද්දේ ලලනාවියක් නේ.. ඔය කටුබැද්දේ බෝඩිම් අත්දැකීම් මටත් තියනවා හොඳට.. ගොඩක් බෝඩිං අක්කලත් එක්ක මරාගෙන වලි දාගෙන හිටියේ.. ඒ අස්සේ එක සොඳුරු බෝඩිමකුත් තිබුණා පිස්සුම නටපු.. ස්තුතියි මතකය අලුත් කලාට.. දිගටම මේ පැත්තෙ එන්නංකෝ!

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිලිගන්නවා බලල් හාමිනේ ව මගේ බ්ලොග් අඩවියට..
      හපෝ බෝඩිම් වල අක්කලා ගැන නම් කතා කරන්න ගොඩක් දේවල් තියනවා :D
      මම ඔබේ කොමෙන්ටු දැක්කා නිදහස් සිතුවිලි බ්ලොග් එකේ.. ඒත් ඒ පැත්තේ එන්න ලැබුනේ නැහැ, අලුතින් දකින බ්ලොග් ගොඩක් තියනවා, ටිකින් ටික ගිහින් බලනවා ඉඩ තියන හැටියට. ඉක්මනටම ඒ පැත්තේ එන්නම්. අපේ කටුබැද්දේ සොහොයුරියක් ලෙසින් ඔබව බ්ලොග් අවකාශයේ හඳුනා ගැනීම සතුටක් බලල් හාමිනේ..

      Delete
    2. බලල් හාමිනේ බ්ලොග් එකක් ලියන්නේ නැද්ද? :)

      Delete
    3. බ්ලොග් ලියන්නේ නැහැ මානවිකා.. කියවනවා විතරයි. ඇයි දෙයියනේ මෙවුවා කියවන්නත් කවුරුහරි ඉන්න එපායැ.. :) :)

      Delete