12.25.2013

"තෝරාගත් වපසරියක වෙසෙන ප්‍රජාවකට වැසිකිලි ඉදිකොට දීම"

නත්තල් නිවාඩුවෙ ගෙදරට වෙලා නිකන් ඉන්න අතරෙ, පහුගිය දවස් වල අහපු දැකපු පොඩි ඕපදූපයක් ගැන ලියන්න හිතුණ. මේක කියවන ඔබට හිනා ගියොත් හෙම, "මම අහල පහල ඉන්න අයට අපහාස කරනව" කියල එහෙම කියන්න එපා ඔන්න මම නම් කලේ දැනුම බෙදා හදා ගැනීමක් විතරයි හරිද.

මට පහුගිය දවසක අවස්ථාව ලැබුණ, ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න. ජාත්‍යන්තර සම්මන්ත්‍රණ කිවුවම ඉතින් විවිධාකාර ඒව තියනවනේ. ඔය අනේක විධ සම්මන්ත්‍රණ අතරින්, වාර්ෂිකව පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණයේ සිදු කරන්නේ, එක එක රටවල් වල සහ ශ්‍රී ලංකාව තුල සිදුකරන ලද සිවිල් ඉංජිනේරු අංශයට අදාළ විවිධ පරීක්ෂණ, ගවේෂණ, වල ප්‍රතිපල ප්‍රසිද්ධියට පත් කරන එක. ඉංග්‍රීසියෙන් Research Symposium කියන්නේ මේවට තමයි. පශ්චාත් උපාධිධාරීන් සහ ශාස්ත්‍රවේදීන් වැනි විවිධ ඉහළ දැනුමක් හිමි පර්යේෂකයෝ සහභාගී වන මේ සමුළුවට, ඇත්තටම අපි සහභාගී වුනේ "මොනවද මෙතන වෙන්නේ" කියල දැනගන්න සහ ඒ පර්යේෂකයන්ව හැබැහින් දැක බලාගන්න තමයි. ඒ නිසා මේ ලිපිය නයෙක් කියල එහෙම හිතන්න එපා ඔන්න.

මේ සමුළුවේ එක අංගයක් තිබුණ "සීමා මායිම් රහිත ඉංජිනේරුවෝ" නමින්. එහිදී සිදු කෙරුනේ මේ ඉංජිනේරු සිසුන් සහ පර්යේෂකයන් විසින් සිදු කෙරුණු සිවිල් ඉංජිනේරු අංශයට අදාළ ප්‍රජා සේවා කටයුතු ඉදිරිපත් කිරීම. මෙහිදී බොහොම අගනා ඉදිරිපත් කිරීමක් සිදු කළා අපේ අසල්වැසි ඉන්දියාවේ සිසුවෙක්. එහි මාතෘකාව වුනේ "තෝරාගත් වපසරියක වෙසෙන ප්‍රජාවකට වැසිකිලි ඉදිකොට දීම". ඔහු ඉදිරිපත් කල මේ විස්තරය මගේ බ්ලොග් එකේ ඔයාලටත් බලන්න ලියන්න හිතුණ මට. පහතින් දැක්වෙන්නේ, ඉන්දියානු උච්චාරණයෙන් ඔහු කියපු කරුණු වලින් මම අමාරුවෙන් තේරුම් ගනිපු සහ මට මතක තිබුණු කොටස්, මට පුළුවන් තරමින් පරිවර්තනය කල පසු. බලන්න ඔවුන්ගේ ඉවසීම, අධිෂ්ඨාන ශීලී බව සහ කැපවීම කොතරම් ආදර්ශමත්ද කියා.

..................................................

"අපේ රටේ තියන ප්‍රධාන ගැටළුවක් තමයි ජනතාවට ප්‍රමාණවත් තරම් වැසිකිලි පහසුකම් නොතිබීම. විශ්ව විද්‍යාලය අවට ජීවත් වන ජනතාව හවසට වතුර බාල්දියක් අරන් පඳුරක් ඇතුලට ගමන් කරන දර්ශනය විශ්ව විද්‍යාලයේ සිටින අපට බොහොම සුලභ දර්ශනයක්. ඉතින් අපි තීරණය කළා අපේ ව්‍යාපෘතියක් ලෙසින් තෝරාගත් වපසරියක ජීවත් වන ජනතාවට වැසිකිලි පහසුකම් ඉදි කර දීමට.

පින්තූරය http://www.clipartof.com වෙතින්


මෙහිදී අපි මුලින්ම සිදු කලේ ගම්වැසියන් සමග සාකච්ඡා කිරීම. නිසියාකාර වැසිකිලි පද්ධතියක් නොමැතිකම නිසා ඔවුන් මුහුණ දුන් දුෂ්කරතා අතර, ලිංගික හිංසන, සර්පයින් දෂ්ට කිරීම් සහ ලෙඩ රෝග පැතිරීම ප්‍රධානයි.

මේ වැසිකිලි ඉදිකිරීම් සඳහා සම්පූර්ණයෙන් ශ්‍රම දායකත්වය දැක්වූයේ විශ්ව විද්‍යාල සිසුන් වන අප විසින්. අප මේ සඳහා සහභාගී වුනේ ඇත්තම කියනවා නම් අපේ විශ්ව විද්‍යාල දේශන කට් කරල.

මේ ව්‍යාපෘතියේදී අපට මුහුණ දීමට සිදු වූ ප්‍රධානම ගැටළුවක් තමයි 'වාස්තු' ගැටළුව. 'වාස්තු' යනු ජනප්‍රවාදයෙන් පැවතෙන ඉදි කිරීම් සම්බන්ධ යම්කිසි නීති පද්ධතියක්. බටහිර සිවිල් ඉංජිනේරුවන් මේ නීති අනුගමනය නොකලත්, ඉන්දියානු ජනතාව අතර මෙය ඉතා ප්‍රචලිතයි. මේ අනුව අපි උදේ ඉදිකිරීම් අරඹනකොට, ගෙදර අයිතිකාරයා අපට කියනව 'වැසිකිලියේ දොර උතුරට යොමු කරන්න' කියල. අපි ඒ අනුව සැලසුම් ඇඳගෙන දවල් වෙලා යනකොට ඔහු කියනව 'වැසිකිලියේ දොර දකුණට යොමු කරන්න' කියල. මේ අයුරින් තවත් වරක ඔහුම කියනව 'වැසිකිලියේ දොර නැගෙනහිරට යොමු කරන' ලෙසත්, 'වැසිකිලියේ දොර බස්නාහිරට යොමු කරන' ලෙසත්. මේ වාස්තු ගැටළුව නිසා බොහෝ ලෙස අපේ ඉදිකිරීම් පමා වුනා. 

පින්තූරය http://4-5t.weebly.com/mapping.html වෙතින්


ඉදිකිරීම් සිදු කලාට පසු, අපි විසින් එක වැසිකිලියකට අදාළ වියදම ගණනය කර බැලුවා. ලැබුණු අගය අපව මවිතයට පත් කළා. අපේ වියදම, අප විසින් ඇස්තමේන්තු කල අගයට වඩා බෙහෙවින් ඉහළ අගයක් වෙලා තිබුනා. අප ඉදිකිරීම් සිදුකළ කාලය තුල, මිල ගණන් ඉහළ යාමක් සිදු වූයේ සිමෙන්ති වල පමණයි. ඒත් අපේ වියදමෙහි සිදු වී ඇති විචලනය හා සාපේක්ෂව බැලූ විට, ඉහළගිය සිමෙන්ති මිල නොගිනිය හැකි තරම් කුඩායි. අපි මේ ගැන සොයා බැලුවා. පසුව දැනගන්නට ලැබුණු පරිදි අපි ඉදිකිරීම් වලට යොදා ගත් සුපවයිසර් වරයා විසින් අපේ ඇස් වසා සිමෙන්ති සොරකම් කොට තිබුනා.

කෙලෙසින් හෝ අපි අපේ ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව නිම කළා. දෙවන අදියර සඳහා අපි අලුත් සැලසුමක් සොයා ගත්තා. මේ අලුත් සැලසුමට අනුව වැසිකිලිය කලින් ඉදි කරගෙන ගිහින්, කෙලින්ම අදාළ තැන සවි කරන්න පමණයි තිබෙන්නේ."

....................................................

ඇත්තටම මේ තොරතුරු මුලින්ම අහනකොට, මට හිනා යන්නත් ආවා. ඒත් මේ සිසුන් කටයුතු කර ඇති ආකාරය සහ ඔවුන් සතු වූ ඉවසීම ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන්ට ආදර්ශයට ගත හැකියි. ඒත් ගෙදරට නොමිලේ වැසිකිලියක් ඉදි කරල දෙන්න ආවම ඒකෙත් වාස්තු විද්‍යාව හොයන ඉන්දියානු ජනතාව සහ, දුප්පත් සිසුන් විසින් සිදු කරනු ලබන ව්‍යාපෘතියකින් සිමෙන්ති හොරකම් කරන සුපවයිසර් වරු නම්, අනේ මන්දා... 

ඔබ සැමටම සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා !!!

 






12.19.2013

කැම්පස් සින්ඩිය ගැන මට හිතෙන දේ

අලුතින් කැම්පස් සින්ඩියක් පටන් අරන් දැන් ටික දවසක් වෙනව. මේ ගැන විවිධ බ්ලොග් කරුවො විවිධ මත පල කරල තියනව මම දැක්ක.

මම බොහොම ආධුනික බ්ලොග් ලියන්නියක්. සුවිසල් බ්ලොග් ලෝකෙ සිද්ධ වෙන දේවල් විවේචනය කරන්න මම සුදුසු නැහැ. ඒ උනත්, අහපු දැකපු දේවල් නිසා, මේ කැම්පස් සින්ඩිය ගැන මට හිතෙන හැටි ලියන්න හිතුන මට. මගේ මේ කතාව, තව ගොඩක් අයගෙත් කතාව බව මම දන්නව.

පුංචි කාලෙ ඉඳලම මම ගොඩක් ආසාවෙන් කරපු දෙයක් තමයි පොත් පත්තර කියවීම. මේ නිසාමද මන්ද, වචන දෙක තුනක් ගැට ගහගෙන යමක් කමක් ලියාගන්න හැකියාවක් මා තුල ගොඩනැගිල තියන බව මට තේරුනේ, පාසලේ සිංහල දින තරඟ වලින් ජයග්‍රහණ ලැබෙනකොට.

ළමා වයසේ ඉඳන් ටිකින් ටික වැඩිහිටි වෙනකොට, රටේ ලෝකෙ ගැන, මිනිස්සු ගැන දැනුම අපට ලබා දෙන්න, අපේ තාත්තා කලේ අපට නොයෙක් පොත පත ගෙනත් දෙන එක. අදටත් නිවැරදි කරගන්න බැරි සමහර මෝඩකම්, වැරදි, මගේ ළඟ තියෙන බව ඇත්ත. ඒත් මේ තරමින් හරි ඔලුව බේරගෙන ජීවත් වෙන්නෙ, ඒ පොත් පත් වල ආනුභාවයෙන්, තාත්තට පින් සිද්ද වෙන්න තමයි.

උසස් පෙලට ගණිතය හදාරන්න ගත්තම, කතන්දර පොත් කියවන එක ටිකක් මග හැරුණ මට. ඒක හොඳ දෙයක් නෙවෙයි තමයි, ඒත් උසස් පෙළ විභාගය ඉවර වෙලා, ආයෙම පොත් කියවන්න කාල වෙලාවක් හොයාගත්ත මම.

හොඳම හරිය උනේ කැම්පස් ආවම. කියවන්න පිපාසය තිබුනත්, කියවන්න දේවල් හොයාගන්න ලේසි වුනේ නැහැ. පුස්තකාලයේ වැඩි හරියක් තියෙන්නෙ අද්‍යාපනික පොතපත. තියන අතලොස්සක් කතන්දර පොත් ටික හැමදාම කවුරුහරි අරන් ගිහින්. ඒ අතරිනුත් ඔක්කොම මගේ රසවින්දන පරාසයට ගැලපෙන පොත් නෙවෙයි. අන්තර්ජාලයෙන් පුවත්පත් කියවන්න මම යොමු වෙන්නෙ ඔය නිසා. නමුත් ඒකත් අල්ලලා ගියේ නැහැ.

විශ්ව විද්‍යාල මිතුරන් අතරින්, පොත් කියවන්න යොමු වෙලා සිටියේ අතලොස්සක්. ඒ අයත් කාර්ය බහුල නිසාද, කම්මැලිකම නිසාද මන්ද, පොත් කියවීමෙන් ඈත් වුනා කිවුවොත් නිවැරදියි. ඔවුන්ගේ ජීවිත වල පොත් පත් විසින් හිමි කරගෙන හිටපු තැන, ටීවී සීරීස් සහ චිත්‍රපට විසින් ගිල ගනිද්දී, ගොඩක් අසරණ වුනා මම. මොකද මට ටීවී සීරීස් සහ චිත්‍රපට එක දිගට නැරඹීම එතරම් ප්‍රියමනාප වූයේ නැහැ.

පින්තූරය Google වෙතින්

 මෙහෙම ජීවත් වෙන අතරේ තමයි 'බ්ලොග්' මගේ ඇස ගැටෙන්නෙ. කියවීමේ පිපාසාවෙන් හිටපු මට, මේ බ්ලොග් ලෝකය දිය පොදක් වුනා කිවුවොත් නිවැරදියි. ඕනෑම වෙලාවක ඉන්ටනෙට් ගිහින් කියවන්න පුළුවන් නිසා, බ්ලොග් කියවීමට විශේෂ මහන්සියක් දරන්න ඕන වෙන්නෙත් නැහැ. ඉතින් මාසෙකට වතාවක් විතර මගේ බ්ලොග් එකේ පෝස්ට් දැම්මට, දවසට කීප සැරයක් වත් බ්ලොග් රෝල පිරික්සලා අලුත් පෝස්ට් කියවනව මම.

කැම්පස් සින්ඩිය කල එලි බහින්නෙ, ඔන්න ඔය වගේ තත්වයක් මත. කැම්පස් සින්ඩියට කැමති අකමැති විවිධ මත තිබුනත්, කැම්පස් සින්ඩිය ගැන අහපු ගමන් මට නම් හිතුනේ, දවසෙම කන් වල ඇබ ගහගෙන ටීවී සීරීස් බලන අපේ අයව, නැවත ලියන්න කියවන්න යොමු කරන්න මේ තුලින් අවස්ථාව ලැබේවි කියල. රටේ තොටේ සිද්ද වෙන දේවල් ගැන හොයන්න, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න විශ්ව විද්‍යාල සිසුන් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක්.

සින්ඩිය නිසා බ්ලොග් ලෝකේ දෙකඩ වෙයි කියන සමහර මත මම දැක්ක. ඒත් මුලින්ම 'මට හිතෙන හැටි', 'ආතම්මගෙ පෙට්ටගම', 'අටම්පහුර' වගේ බ්ලොග් කියවල, ඉනා බෙහෙතක් කෑව වගේ බ්ලොග් කියවන්න ඇබ්බැහි වෙනකොට, ඒ බ්ලොග් ලියපු රචකයෝ විශ්ව විද්‍යාල අද්‍යාපනය ලබපු අයද කියල මම හොය හොය හිටියෙ නැහැ. අලුත් බ්ලොග් එකකට අපි යොමු වෙන්නෙ ඒ රචකයාගේ උපාධිය දිහා බලල නෙවෙයි, ලියන දේවල් වල රසවත් භාවය මත. ඉතින් කැම්පස් සින්ඩිය නිසා බ්ලොග් ලෝකය දෙකඩ වෙයි කියල මම නම් හිතන්නෙ නැහැ. පිපාසාවට දිය බිඳක් වුනු බ්ලොග් ලෝකය දෙකඩ වෙනවා දකින්න මම කැමති නැහැ. 

 මේ ගැන ඔබ වෙනත් වෙනත් මත දරනව ඇති. මේ ආධුනික බ්ලොග් කාරිනියක් වූ මගේ මතය පමණයි.

 මගේ බ්ලොග් එකේ ඔබ දකින වැරදි අඩුපාඩු සහ වැඩි දියුණු කල යුතු දේ තිබෙනවා නම් පෙන්වා දෙන මෙන් අදත්, ආදරයෙන් ඉල්ලා සිටිනව.






ජපන් කතා - කසල බැහැරකිරීම

මේ දවස් වල කුණු කතා ගොඩක් ඇදෙන නිසා, ජපානයේ කැලිකසල කළමනාකරණය පිලිබඳ මගේ අත්දැකීම් ටිකක් ලියා තබන්නට හිතුව. ජපානයේ කැලි කසල ඇතුළු බොහෝ ...