10.30.2013

අපි කන බොන හැටි

බොහොම කාලෙකින් බ්ලොගේ මුකුත්ම ලියන්න බැරි වුනා.කාලෙකට පස්සේ තමයි මේ ලියන්නෙ. මේ කතාව මට කිවුවෙ මගෙ අක්ක. එයාට එයාගෙ යාලුවෙක් කියපු ඇත්තම සිදුවීමක් මේක. 

අක්කගෙ යාළුවට අපි "සඳුනි" කියමු. සඳුනි අක්කගෙ මස්සිනාට තමයි මේ අක්කරතැබ්බෙ සිද්ද වෙලා තියෙන්නෙ. කතාව කියන්න ලේසි වෙන්න නම්, මේ මස්සිනාටත් නමක් දාන්න වෙනව. ඉතින් දැන් ඉඳන් එයාගෙ නම "රුවන්".

මේ රුවන් අයිය, මම ඉගෙන ගන්න විශ්ව විද්‍යාලෙම ආදි ශිෂ්‍යයෙක්. දැන් හොඳ රැකියාවක් කරගෙන, පාඩුවෙ ජීවත් වෙනව. රුවන් අයිය රැකියාවට යනකොට හැමදාම ගෙදරින් හදල දීපු බත් පාර්සලයක් අරගෙන තමයිලු යන්නෙ. ගිහින් බත් පාර්සලේ මේස ලාච්චුවෙ දාල තියල, කෑම වෙලාවට කනව. හැමදාම ඒක එහෙම තමයි වෙන්නෙ.

දවසක්, මොන හේතුවක් හින්දද මන්ද, රුවන් අයියට බැරි වුනාලු දවල් බත් එක කන්න. කෑම පාර්සලේ ලාච්චුවෙන් අයින් කරන්න මතක් වෙලත් නැහැ, එයා ගෙදර ගිහින්.

ඊළඟ දවසේ වැඩට ඇවිත්, සුපුරුදු විදියටම එදත් කෑම පාර්සලේ මේස ලාච්චුවේ දාල, උදේ වරුවේ වැඩ කටයුතු ඉවර කරල, දවල්ට කාල, හවස වැඩත් ඉවර කරල, ගෙදර යන්න හදනකොට, රුවන් අයිය අහම්බෙන් දැක්කලු මේස ලාච්චුවෙ බත් පාර්සලයක්. බත් පාර්සලේ අරගෙන, කල්පනා කරල බැලුවම, රුවන් අයිය එදා දවල්ට කාල තියෙන්නෙ, කලින් දවසෙ මේස ලාච්චුවෙ අමතක වෙලා දාල ගිහිපු කෑම පාර්සලය ලු.

අපේ අක්කටත් සඳුනි අක්කටත් හරිම පුදුමයි දවසක් පරණ බත් එකක් කද්දි, රුවන් අයියට කිසිම වෙනසක් දනුනෙ නැති එක. නමුත් මට නම් පුදුමයක් නැහැ අපේ විශ්ව විද්‍යාල ජීවිතේ අපි කන බොන හැටි අපි දන්න නිසා.



ඔය පින්තුරෙ තියෙන්නෙ අපේ කැන්ටිම. පොඩ්ඩක් පැහැදිලි නම් මදි. ඔය පින්තුරය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුනාම, කැන්ටිමට සත්තු එන එක වලක්වන්න ගේට්ටු එහෙම සවි කළා මතකයි. හරි ආයෙම, අපි කන බොන හැටි කියන්නම්.

 මේක මගේ යාලුවෙක් මට කියපු සිදුවීමක්. විස්තර කරනවට වඩා, දෙබසක් විදියටම දැම්මොත්, තේරුම් ගන්න පහසු වේවි.

මිතුරා : ඊයෙ මම කේක් කෑවනේ.. මාර වැඩක් වුනේ..

මම : මොකද වුනේ?

 මිතුරා : ඊයෙ රුසිරු ගෙ බර්ත්ඩේ එක... මිනිහ කටුබැද්දටම ගිහින් අපට කේක් එකක් අරන් ආව.

මම : ෂා... ඉතින්??
 
මිතුරා : මිනිහ වැඩිය බලල නෙවෙයි කේක් එක අරන් තියෙන්නෙ මගෙ හිතේ, කේක් එක කල් පැනල. කොහොම හරි කාගෙන කාගෙන යනකොට පණුවෙක් හිටිය.

මම : අපරාදේ.... ඉතින්??

මිතුරා : මට හිතාගන්න බැරිවුණා මොනව කරන්නද කියල. රුසිරු දැනගත්තොත් ඌ අපට ගෙනාපු කේක් එක හරි නැහැ කියල, ඌට දුක හිතෙනවනෙ. ඉතින් මම කේක් කෑල්ල පෙන්නුව එහා පැත්තෙ හිටපු සුගත් ට.

මම : සුගත් මොකද කියුවේ?

මිතුරා : ඌටත් තේරුණා වැඩේ අහු උනොත් රුසිරුට දුක හිතෙනව කියල. ඌ මට ඇහැක් ගැහුව. මම කේක් කෑල්ල හපල හපල කාල දැම්ම

මම : ????????

ඉතින් ඔන්න ඔහොමයි... උදා වෙයිද නැද්ද දන්නේ නැති අනාගතයක් ගැන, සිහින මවාගෙන, මේ ජීවිත ගත කරන අපි, කන බොන හැටි.

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
ඇල්මෙන් අකුරු උගනිමු ඉදිරි වැඩ තකා

හැබැයි,
පාසල් යන නංගිලා මල්ලිලා මේ බ්ලොග් ලිපිය කියවලා, විශ්ව විද්‍යාලයට පිවිසෙන අදහස අත්හැරගන්න එපා කියල මම විශේෂයෙන් කියනව. මේ ජීවිතයත් අනෙක් හැම දේම වගේ, සුන්දරයි ඒ සුන්දරත්වය පිළිගන්න ඔබ සූදානම් නම්.