5.21.2013

වරද කාගේද?

කවදහරි දවසක මොකක් හරි අවාසනාවන්ත දෙයක් සිදු වුනාට පස්සෙ වැරදුනේ කොතනද කියල ආපස්සට කල්පනා කරල තියනවද?

එහෙම කල්පනා කරද්දි, වැරදුනේ කොතනද කියල හිතාගන්න බැරි වෙලා තියනවද?

ඔබට කවදාවත් එහෙම හිතාගන්න බැරි අවස්ථාවක් උදා වෙලා නැත්නම් මේක කියවල බලන්න. කියවල බලල, මගේ පාසල් කාලේ අහපු දැකපු මේ සිදුවීමේ වැරදුනේ කොතනද කියල තාමත් හිතාගන්න බැරිව ඉන්න මට, වරද සිදු වූ තැන පැහැදිලි කරල දෙන්න.

ඇත්තටම මේක මගේ පාසල් කාලය තුල සිදු වූ දෙයක්. හරියටම මම 9 වසරේ ඉන්නකොට.

අපේ පාසලේ හිටියා, අපට වඩා ටිකක් වැඩිමල් සහෝදර ශිෂ්‍යාවක්. විශිෂ්ට ගනයේ ගායන හැකියාවක් එයාට තිබුණ. පාසලේ පැවැත්වුණු සියලුම උත්සව වලදී ගායන කටයුතු සඳහා ප්‍රමුඛස්ථානයක් එයාට ලැබුනේ නිතරඟයෙන්. බොහොම අහිංසක, නිහතමානී සහෝදරියක්.

ඔය විදියට ඉන්නකොට, ජාත්‍යන්තර ළමා දිනය නිමිති කරගෙන අපේ පාසල විසින් විවිධ ප්‍රසංගයක් සංවිධානය කෙරුණා. මේ ප්‍රසංගයේ ප්‍රදර්ශන වාර දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම් කරල තිබුණ, එකක් පාසල් කාලය තුල, පාසලේ සිසුවියන් සඳහා, නොමිලේ. අනික රාත්‍රී කාලයේ පැවැත්වුනේ පාසලෙන් පිට වැඩිහිටි ප්‍රජාවට. කොහොම උනත් රාත්‍රී ප්‍රදර්ශන වාරය නැරඹීමට ප්‍රධාන වශයෙන් සූදානම් වෙලා හිටියේ දෙමවුපියෝ තමයි.

ඉතින් ඔන්න අපි හරිම ආසාවෙන් ගියා අපි වෙනුවෙන් පැවැත්වුණු උදෑසන ප්‍රදර්ශන වාරය බලන්න. බොහොම ලස්සන සින්දු හා නැටුම් වලින් පස්සේ, අර මම කලින් සඳහන් කරපු සොහොයුරිය වේදිකාවට පිවිසුනා.

තවත් යමක් කියන්න ඕන. මේ ප්‍රසංගය වීඩියෝ කරනු ලැබුවා. ඒ අතරේ ප්‍රොජෙක්ටර් එකක් මගින් වීඩියෝ එක සජීවීව ප්‍රදර්ශනය කළා. දැන් ඔන්න අර සහෝදරිය ගීතය ගයනවා ලස්සනට.

ඇය ගැයුවේ ටිකක් හැඟීම්බර ගීතයක් නිසාද මන්ද, ඒ ගීතය සඳහා නර්තනයක් සූදානම් කරලා තිබුනේ නැහැ. ඉතින් වීඩියෝ කරන මනුස්සයා එක දිගටම ගායිකාව වීඩියෝ කරනව. අපට එක දිගටම ගායිකාව පේනව පුළුල් තිරයේ. ටික වෙලාවක් යද්දී අපට දැනුණු ඒකාකාරී ගතිය වීඩියෝ කැමරා ශිල්පියාටත් දැනිලද මන්ද, ඔහු පටන් ගත්ත ප්‍රේක්ෂකයින්ව වීඩියෝ කරන්න. දැන් දන්නවනේ කවුද ප්‍රේක්ෂකයෝ කියල. මේ සම්භාව්‍ය රසික පිරිසක් එහෙම නෙවෙයි හිටියෙ හරිද. මම කිවුවනේ, උදෑසන ප්‍රදර්ශන වාරයට සහභාගී වුනේ පාසල් සිසුවියන් පමණයි, කොටින්ම මේ මම වගේම තවත් පිස්සෝ ටිකක් තමයි ප්‍රේක්ෂකාගාරගේ හිටියෙ.

දැන් ඔන්න අපට අපේම යාළුවො පේනවා පුළුල් තිරයේ. දැන් ශාලාව නොසන්සුන්. අල්පෙනිත්තක් බිම වැටුනත් ඇහෙන තරම් නිහඬව තිබුණු ශාලාවේ පුංචි මුණු මුණුවක් පැතිරී ගියා. තමන්ට පිටුපසින් තියන තිරයේ දිස්වෙන්නේ මොනවද, ශාලාවේ සිදු වෙන්නේ මොනවද කියල කිසිම දෙයක් නොදන්න, අර අහිංසක සොයුරිය තවමත් ගයනව.

 ඔහොම ටික වෙලාවක් යනකොට, තමන්ගේ රුව තිරයේ දිස්වෙනවා දැකපු බාලාංශ පන්තියක ඉගෙනුම ලබන වයසේ තරම් පුංචි සහෝදරියකගේ සතුට ඉහ වහා ගියා. කැමරාව දිහාවට අත යොමු කරපු ඇය මහ හඬින් හිනැහුණේ, අපි සැවොමත් සිනා සයුරේ ගිල්වමින්. 


පින්තූරය හොයාගත්තේ, මෙතනින්. http://www.gamespot.com/forums/topic/28998931/how-hardcore-is-she?page=1

ගීතය ගයමින් හිටපු අහිංසක සොයුරිය ශාලාවේ සිදු වූ කිසිම දෙයක් දන්නෙ නැහැ. ඇය දන්නේ ප්‍රේක්ෂක පිරිස මහ හඬින් හිනැහුණු බවත්, ඇය ගැයුවේ විකට ගීතයක් නොවන බවත් පමණයි. 

මෙයින් පසු සිදු වූ දේ අපට කියුවේ, එහි ගී ගයපු අපේ වෙනත් මිතුරියක්.

ඉතාම අපහසුවෙන් ගීතය නිම කල ඇය, පසුව හොඳටම ඇඬුවා ලු. රාත්‍රීයේ යලි ගායනා කිරීමත් ප්‍රතික්ෂේප කළා ලු. ඉතාම සංවේදී අහිංසක කෙනෙක් වූ ඇයට සත්‍ය සිදුවීම පැහැදිලි කිරීමට ලොකු වෙහෙසක් දරන්න සිදු වුනා ලු.

දැන් කියමු බලන්න, කවුද වැරදි?

තමන්ගේ රුව තිරයේ දිස්වෙනවා දැකල සතුටින් හිනැහුණු සුරතල් බාලාංශ සිසුවිය වැරදියි කියලා යමෙක් කියනවා නම්, ඔන්න මම කලින්ම කියනවා, අනිවාර්යෙන්ම ඒ පුද්ගලයා සිනාවෙන් පිරුණු ළමා කාලයක උරුමය නොලබපු කෙනෙක්.
















5.07.2013

ඔබ වඩා හොඳින් සිතන්නේ කොහිදීද?

"ඔබ වඩා හොඳින් සිතන්නේ කොහිදීද?"

මේ මම මෑතකදී කියවපු පොතක විස්තර කරලා තිබුණු මාතෘකාවක්. ඒ ඇසුරෙන් තමයි මට මේ පොස්ට් එක ලියන්න හිතුනේ. මම කියවපු සිංහල පරිවර්තනයේ නම, "අදහස්". එම පරිවර්තනයට පාදක වෙලා තියෙන්නේ, ෆ්‍රෙඩ්රික් හරේන් (Fredric Haren) විසින් රචිත The Idea Book නමැති, අන්තර්ජාලයෙන් නොමිලේ බාගත කළ හැකි නව ආරක ඉංග්‍රීසි පොතක්.

interesting.org ආයතනයෙන්, සමාජ මෙහෙවරක් ලෙස ප්‍රකාශනය කරන ලද මේ පොත, සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ, එම්. එච්. එම්. යාකූත් සමග ලීලා වික්‍රමරත්න. නව ආරකින් සිතීමට උගන්වන මේ පොත, නව ආරකින් ලියවුණු කියවීමට රුචිය ඇති කරන පොතක්.

මේ පොතට අනුව, නිර්මාණශීලී අදහස් බිහිවීමට හේතු වන, B අකුරු හතරක් ගැන ආචාර්යවරු සඳහන් කරනවා ලු. ඒ තමයි,
  • Bars (තැබෑරුම්)
  • Bathrooms (නාන කාමර)
  • Buses (බස් රථ)
  • Beds (සයන)
 මේ පොත ලියන ෆ්‍රෙඩ්රික් හරේන්, එම ලැයිස්තුවට තවත් B අකුරක් එකතු කරනවා. ඒ තමයි Boring meetings (නීරස රැස්වීම්). ඉතින් කලබල වෙන්න එපා, ෆ්‍රෙඩ්රික් හරේන්ට අනුව මේ නීරස රැස්වීම් අපට උදව් වෙනවා රැස්වීමට කොහෙත්ම අදාළ නැති වෙනත් මාතෘකාවක් පිළිබඳ නිර්මාණශීලී අදහස් උපද්දන්නට.

 මේ පොතේ තවදුරටත් සඳහන් වන ආකාරයට,  බීතෝවන් ඔහුට අවශ්‍ය මානසික උත්තේජනය ලබාගෙන තිබෙන්නේ, සීතල වතුර ඔලුවට වත්කර ගැනීම මගින්. අයින්ස්ටයින්ට රැවුල බාන විටදී, බොහොම වටිනා අදහස් පහළ වෙලා තියනවා ලු. (අයින්ස්ටයින් කවදාවත් රැවුල බෑවේ නැත්නම්, මොනවා වේවිද නේද) මේ අපූරු පොතේ රචකයා, ෆ්‍රෙඩ්රික් හරේන්ට නව අදහස් පහල වෙන්නේ, ඔහු ගමනේ යෙදී සිටින විටදී ලු.

විවිධ වැඩමුළු වලදී, කතුවරයා විසින් විවිධ මිනිසුන්ගෙන් ඇසුවා ලු, ඔවුන්ට නව අදහස් පහළ වෙන්නේ කොහේදිද යන වග. විවිධාකාර පිළිතුරු ලැබුනත්, නව අදහස් පහළ වන්නේ තමන් වැඩ කරන විටදී බව එකදු අයෙකු වත් පැවසුවේ නැතිලු.

ඉතින් ව්‍යායාම, විනෝදාංශ සහ නින්ද, අපේ කායික මානසික නිරෝගීකම උදෙසා පමණක් නොවේ, අපේ දියුණුවටත් හේතු වනවා නේද කියල මේක කියවපු මට හිතුණ.



පසු සටහන.
මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ, මම අහපු දැකපු දේවල් මතින්, සමාජයට යහපත් පණිවුඩයක් ලබා දෙන්නට. උදාහරණයක් විදියට, මම මීට කලින් පබ්ලිෂ් කරලා තිබුණු පෝස්ට් එකෙන් මට උවමනා වුනේ, job satisfaction ගැන කතා කරන්නට, කතා කරන්නටම පමණයි.
මැස්සෙක් වත් වහන්නෙ නැති අප්‍රසිද්ද බ්ලොග් එකක් පාවිච්චි කරලා කාටවත් මඩ ගහන්නට මට උවමනා නැහැ. 
මම දන්නා පරිදි ඩ කියන්නේ, යම් පුද්ගලයෙක් නොකරපු වරදක් එම පුද්ගලයා කරපු බවට, ඒ පුද්ගලයාව දන්න පිරිසකට කිය කිය යන එක. එහෙමත් නැත්නම්, යමෙකුගේ මුහුණු පොතේ හෝ ගූගල් හි ගිණුමකට බලෙන් ඇතුළු වී වෙන අයෙකු අපහසුතාවයකට පත් කරන ආකාරයේ කොමෙන්ටු දමන එක වගේ දේවල්. මම එවැනි දේවල් කලේ නැහැ. කොහොම උනත් කිසිම කෙනෙක් අපහසුතාවයකට පත් කරන්න කැමති නැති නිසා, මම ඒ පෝස්ට් එක ඉවත් කළා. කිසියම් අයෙකු ඒ පෝස්ට් එක නිසා අපහසුතාවයකට පත් වුණා නම්, හදවතින් ම සමාව ඉල්ලා සිටිනව මම.







ජපන් කතා - කසල බැහැරකිරීම

මේ දවස් වල කුණු කතා ගොඩක් ඇදෙන නිසා, ජපානයේ කැලිකසල කළමනාකරණය පිලිබඳ මගේ අත්දැකීම් ටිකක් ලියා තබන්නට හිතුව. ජපානයේ කැලි කසල ඇතුළු බොහෝ ...