5.21.2013

වරද කාගේද?

කවදහරි දවසක මොකක් හරි අවාසනාවන්ත දෙයක් සිදු වුනාට පස්සෙ වැරදුනේ කොතනද කියල ආපස්සට කල්පනා කරල තියනවද?

එහෙම කල්පනා කරද්දි, වැරදුනේ කොතනද කියල හිතාගන්න බැරි වෙලා තියනවද?

ඔබට කවදාවත් එහෙම හිතාගන්න බැරි අවස්ථාවක් උදා වෙලා නැත්නම් මේක කියවල බලන්න. කියවල බලල, මගේ පාසල් කාලේ අහපු දැකපු මේ සිදුවීමේ වැරදුනේ කොතනද කියල තාමත් හිතාගන්න බැරිව ඉන්න මට, වරද සිදු වූ තැන පැහැදිලි කරල දෙන්න.

ඇත්තටම මේක මගේ පාසල් කාලය තුල සිදු වූ දෙයක්. හරියටම මම 9 වසරේ ඉන්නකොට.

අපේ පාසලේ හිටියා, අපට වඩා ටිකක් වැඩිමල් සහෝදර ශිෂ්‍යාවක්. විශිෂ්ට ගනයේ ගායන හැකියාවක් එයාට තිබුණ. පාසලේ පැවැත්වුණු සියලුම උත්සව වලදී ගායන කටයුතු සඳහා ප්‍රමුඛස්ථානයක් එයාට ලැබුනේ නිතරඟයෙන්. බොහොම අහිංසක, නිහතමානී සහෝදරියක්.

ඔය විදියට ඉන්නකොට, ජාත්‍යන්තර ළමා දිනය නිමිති කරගෙන අපේ පාසල විසින් විවිධ ප්‍රසංගයක් සංවිධානය කෙරුණා. මේ ප්‍රසංගයේ ප්‍රදර්ශන වාර දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම් කරල තිබුණ, එකක් පාසල් කාලය තුල, පාසලේ සිසුවියන් සඳහා, නොමිලේ. අනික රාත්‍රී කාලයේ පැවැත්වුනේ පාසලෙන් පිට වැඩිහිටි ප්‍රජාවට. කොහොම උනත් රාත්‍රී ප්‍රදර්ශන වාරය නැරඹීමට ප්‍රධාන වශයෙන් සූදානම් වෙලා හිටියේ දෙමවුපියෝ තමයි.

ඉතින් ඔන්න අපි හරිම ආසාවෙන් ගියා අපි වෙනුවෙන් පැවැත්වුණු උදෑසන ප්‍රදර්ශන වාරය බලන්න. බොහොම ලස්සන සින්දු හා නැටුම් වලින් පස්සේ, අර මම කලින් සඳහන් කරපු සොහොයුරිය වේදිකාවට පිවිසුනා.

තවත් යමක් කියන්න ඕන. මේ ප්‍රසංගය වීඩියෝ කරනු ලැබුවා. ඒ අතරේ ප්‍රොජෙක්ටර් එකක් මගින් වීඩියෝ එක සජීවීව ප්‍රදර්ශනය කළා. දැන් ඔන්න අර සහෝදරිය ගීතය ගයනවා ලස්සනට.

ඇය ගැයුවේ ටිකක් හැඟීම්බර ගීතයක් නිසාද මන්ද, ඒ ගීතය සඳහා නර්තනයක් සූදානම් කරලා තිබුනේ නැහැ. ඉතින් වීඩියෝ කරන මනුස්සයා එක දිගටම ගායිකාව වීඩියෝ කරනව. අපට එක දිගටම ගායිකාව පේනව පුළුල් තිරයේ. ටික වෙලාවක් යද්දී අපට දැනුණු ඒකාකාරී ගතිය වීඩියෝ කැමරා ශිල්පියාටත් දැනිලද මන්ද, ඔහු පටන් ගත්ත ප්‍රේක්ෂකයින්ව වීඩියෝ කරන්න. දැන් දන්නවනේ කවුද ප්‍රේක්ෂකයෝ කියල. මේ සම්භාව්‍ය රසික පිරිසක් එහෙම නෙවෙයි හිටියෙ හරිද. මම කිවුවනේ, උදෑසන ප්‍රදර්ශන වාරයට සහභාගී වුනේ පාසල් සිසුවියන් පමණයි, කොටින්ම මේ මම වගේම තවත් පිස්සෝ ටිකක් තමයි ප්‍රේක්ෂකාගාරගේ හිටියෙ.

දැන් ඔන්න අපට අපේම යාළුවො පේනවා පුළුල් තිරයේ. දැන් ශාලාව නොසන්සුන්. අල්පෙනිත්තක් බිම වැටුනත් ඇහෙන තරම් නිහඬව තිබුණු ශාලාවේ පුංචි මුණු මුණුවක් පැතිරී ගියා. තමන්ට පිටුපසින් තියන තිරයේ දිස්වෙන්නේ මොනවද, ශාලාවේ සිදු වෙන්නේ මොනවද කියල කිසිම දෙයක් නොදන්න, අර අහිංසක සොයුරිය තවමත් ගයනව.

 ඔහොම ටික වෙලාවක් යනකොට, තමන්ගේ රුව තිරයේ දිස්වෙනවා දැකපු බාලාංශ පන්තියක ඉගෙනුම ලබන වයසේ තරම් පුංචි සහෝදරියකගේ සතුට ඉහ වහා ගියා. කැමරාව දිහාවට අත යොමු කරපු ඇය මහ හඬින් හිනැහුණේ, අපි සැවොමත් සිනා සයුරේ ගිල්වමින්. 


පින්තූරය හොයාගත්තේ, මෙතනින්. http://www.gamespot.com/forums/topic/28998931/how-hardcore-is-she?page=1

ගීතය ගයමින් හිටපු අහිංසක සොයුරිය ශාලාවේ සිදු වූ කිසිම දෙයක් දන්නෙ නැහැ. ඇය දන්නේ ප්‍රේක්ෂක පිරිස මහ හඬින් හිනැහුණු බවත්, ඇය ගැයුවේ විකට ගීතයක් නොවන බවත් පමණයි. 

මෙයින් පසු සිදු වූ දේ අපට කියුවේ, එහි ගී ගයපු අපේ වෙනත් මිතුරියක්.

ඉතාම අපහසුවෙන් ගීතය නිම කල ඇය, පසුව හොඳටම ඇඬුවා ලු. රාත්‍රීයේ යලි ගායනා කිරීමත් ප්‍රතික්ෂේප කළා ලු. ඉතාම සංවේදී අහිංසක කෙනෙක් වූ ඇයට සත්‍ය සිදුවීම පැහැදිලි කිරීමට ලොකු වෙහෙසක් දරන්න සිදු වුනා ලු.

දැන් කියමු බලන්න, කවුද වැරදි?

තමන්ගේ රුව තිරයේ දිස්වෙනවා දැකල සතුටින් හිනැහුණු සුරතල් බාලාංශ සිසුවිය වැරදියි කියලා යමෙක් කියනවා නම්, ඔන්න මම කලින්ම කියනවා, අනිවාර්යෙන්ම ඒ පුද්ගලයා සිනාවෙන් පිරුණු ළමා කාලයක උරුමය නොලබපු කෙනෙක්.
















12 comments:

  1. ඉතින් ඔය සිද්දිය පැහැදිළි කලාම ඒ ගායනා කරපු ළමයා ඒක පිළි නොගත්තේ ඇයි කියලා මම කල්පනා කරන්නේ.

    මෙතන කාගෙවත් වැ‍රැද්දක් නෑ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන හැටියට නම්,
      මුල ඉඳන්ම එයා හිතාගෙන හිටියේ ප්‍රේක්ෂක පිරිස එයාට හිනා වුනා කියල නේ. ඉතින් ඇත්ත සිදුවීම දැනගත්තම එයාට එක පාරටම ඒ බව විශ්වාස කරන්න බැරි වෙන්න ඇති.
      බොහොම ස්තුතියි කොමෙන්ටුවට... :)

      Delete
  2. මෙතැන වැරුද්ද නිවැරදි දෙය වටහා නොගත් කෙනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ටුවට :)
      මම හෙන්රි මහතාට දීපු පිළිතුර බලන්න.
      එයාට නිවැරදි දෙය එක පාරටම විශ්වාස කරන්න බැරි වෙන්න ඇති.

      Delete
  3. මේක ඇත්තටම නිතරම් සිද්ධවෙන දෙයක්, අවසන් වසර නිමාකරලා අපි සරසවියෙන් පිටවෙනකොටම තිබ්බ going down එකෙත් ඔය වගේ සිද්දියක් උනා, මේකේ ලැස්ති කරලා තිබුනා ලොකු තිරයක දාන අවුට් වෙලා යන ඇපපිට හදපු මඩ පින්තුර,ආරාධිත අමුත්තා උණු උප කුලපති තුමා කතා කරනකොට පිටිපස්සේ තිබ්බ තිරේ මේ ටික දර්ශනය වෙන්න පටන් ගත්තා, උපකුලපති තුමා මේක දන්නේ නෑ, එයා දිගටම කතාව, අපි හැමෝම හීනියට හිනා වෙනවා,අර හිටපු අනිත් සර්ලා කිව්වද දන්නේ නෑ,නැත්තම් උප කුලපති තුමා තාම හිතනවා ඇති එතුමා අර කරපු සංවේදී, සාරගර්භ කතාවට අපේ එවුන් කිචි කිචි ගගා හිනාවුනේ ඇයි කියලා

    ReplyDelete
    Replies
    1. මුලින්ම ආදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට. හැමදාම එන්න මේ පැත්තේ.
      සිදුවීම දෙකේ ගොඩක් සමානතා තියනවා. නමුත් මට හිතෙන හැටියට, උපකුලපති තුමා කතා කරද්දී මඩ වීඩියෝවක් පසුබිමින් පෙන්වන එක නම් ටිකක් හරි මදි වගේ...
      ඒකෙන් උපකුලපති තුමාගේ කතාවට අවධානය අඩු වෙනවා. මඩ වීඩියෝව හරි හැටියට රස විඳින්නත් බැරි වෙනවා. මහන්සි වෙලා හදන වීඩියෝවක් බලල හරියකට කෑගහල හිනා වෙන්න බැරි උනාම, අපරාදේ නේද? :)
      බොහොම ස්තුතියි ලස්සන සිදුවීමක් සහිතව කොමෙන්ට් කලාට..

      Delete
  4. පුළුවන්නං බ්ලොගර් පලෝවර් ගැජට් එකත් දාන්න

    ReplyDelete
    Replies
    1. මුලින්ම බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට... අටම්පහුර බ්ලොග් එක ආසාවෙන් කියවනවා මම. :)
      ස්තුතියි කොමෙන්ටුවට, හැමදාම එන්න.

      Delete
  5. මන් හිතන්නේ එතන වරදක් තිබෙනවා,නමුත් වැරදිකරුවෙක් නෑ කියලයි. නමුත් ඉවෙන්ට් එක ඕගනයිස් කරනකොට ටිකක් ප්ලෑන් කරලා අර තිරය වෙන තැනකට ගෙනාවනන් ඕක මඟහරින්නත් තිබුණා :)

    ReplyDelete
    Replies
    1. එක එක අයගේ පොඩි පොඩි වැරදි එකතු වෙලා ලොකු හිත රිදවීමක් වුනා වගේ කියල තමයි මට හිතුනේ. නමුත්, ඔබ හරි.. තිරය වෙනස් කරන්න තිබුණ. මේ අත්දැකීම කලින් ලබපු කෙනෙක් එතන හිටිය නම් තිරය තිබුණු තැන වෙනස් වේවි.
      කොමෙන්ටුවටත්, මේ පැත්තේ ආවාටත් ගොඩක් ස්තුතියි. රිප්ලයි කරන්න පරක්කු උනාට ගොඩක් සමාවෙන්න.

      Delete
  6. ඕවා හිතන්න තරම් දේවල්ද අප්පා. ඔච්චර හිතන්න යන්න හොඳ නෑ. ඒ වගේ දේකටත් එහෙම එයා හිතුවා නම් ඉස්සරහට තව මොනවා හිතයිද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. පාසල් කාලයේ ළමා වයස නේ හසිත.. පහු වෙනකොට හරි යන්න ඇති.

      Delete

ජපන් කතා - කසල බැහැරකිරීම

මේ දවස් වල කුණු කතා ගොඩක් ඇදෙන නිසා, ජපානයේ කැලිකසල කළමනාකරණය පිලිබඳ මගේ අත්දැකීම් ටිකක් ලියා තබන්නට හිතුව. ජපානයේ කැලි කසල ඇතුළු බොහෝ ...