අතහැර දමා තිබුණු බ්ලොග් එකේ යමක් ලියන්නට සිත් වුණේ, මේ දිනවල කතාබහට ලක් වුණු පිස්සුවක් ගැන මගේ අදහස කියන්ටයි.
පෙරවදන
පළමු කොටස.
2007 වසරේ යම් දිනක, අපේ නිවස.
පාත්‍ර වර්ගයා: ඉස්සරහ ගෙදර ඇන්ටි, අපේ අම්මා සහ මම.
ඉස්සරහ ගෙදර ඇන්ටිත්, අපේ අම්මාත් ඕප දූප කතා කරමින් සිටී. 2008 වසරේ උසස් පෙළට සූදානම් වන මම ඒ අහල පහලම ගණන් සදමින් සිටියි.
ඉස්සරහ ගෙදර ඇන්ටි: දැන් කාලෙ පිරිමි ළමයි කසාද බඳින්න ගියාම සල්ලි, උගත්කම මුකුත් හොයන්නේ නැහැනේ.. ලස්සන විතරයි හොයන්නේ.
අපේ අම්මා: ඒක නේ..
ඉස්සරහ ගෙදර ඇන්ටි: (මදෙස බලමින්) අපේ පොඩි දූට නම් හොඳ කොල්ලෙක් කසාද බඳින්න පුළුවන් ඒ නිසා.
අපේ අම්මා: හි හි.. බලමු!
අවධානයෙන් ගණන් සදමින් සිටියා නම් ඕපදූප ඇසෙන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය පසෙක තැබුවොත්, මේ කතාව ඇසුණු මට, ඇත්තටම පුදුම සිතුනි. එවකට වයස 18ක් පමණ වූ, කෙළිලොල් වයසේ පසු වූ, පාසල් යන, විභාගය ගැන පමණක් බොහෝ සිතූ මට මේ කතාව අමුතුම හැඟුමක් ගෙන දුනි.
ජීවිතය ගෙවී ගිහින්, 2012 දී, ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් උදෙසා මඩකලපුවේ හය මසක් ගත කල මාගේ සම, කට්ට කළු පැහැති වූ අතර, හිරු එලියට නිරාවරණය වූ අතේ හා මුහුණේ රෝමකූප තඹ පැහැයෙන් දිලිසිණි. සයිට් වැඩ නිමා කොට ස්නානය කරද්දී රාත්‍රී 11 පමණ වෙන නිසා, කොණ්ඩය කොටට කපා දමා සිටියෙමි. දහදිය දමන නිසා කුරුලෑ හට ගත් අතර, මවිසින් අනිච්චානුගව ඒවා කඩා දැමීම නිසා කැළැල් හට ගති.
දෙවෙනි කොටස.
2013 වසරේ යම් දිනක, මහපාර.
පාත්‍ර වර්ගයා: ගමේ ඇන්ටි කෙනෙක්, අපේ අම්මා සහ මම.
ගමනක් යමින් සිටි මටත්, අපේ අම්මාටත්, අඳුරන ඇන්ටි කෙනෙකු මුණගැසේ.
අපේ අම්මා: මේ බලන්න මෙයා කළු වෙලා නේ. මෙයාට කවුරුහරි හොයන්න ඕන හෙමින්.
ගමේ ඇන්ටි: ඒක තමයි නේ. දුව ඉස්සර මීට වඩා ලස්සනයි නේ. තව කැත වෙන්න කලින් කවුරු හරි හොයල බන්දල දුන්න නම් හරි.
අපේ අම්මා: ඒක නේ..
කල් ගත විණි. රෝම කූප යලිත් කළු පැහැයට හැරුණු අතර, කොණ්ඩය යලිත් වැවී, කුරුලෑ කරල් මැකී ගියෝය. කට්ට කළු පාට අඩු වී, වෙනස් පාටක් ලැබුණි. කලින් මා නුදුටු අලුත් මිතුරෙක් මුණගැහුණු කල්හි, මේ කෙනාව අඳුරනවා දැයි පරණ ෆොටෝ පෙන්වා සිනාසෙමි. මා තවත් කැත වන්නට පෙර කසාද බැඳිය යුතු යයි කෙරුණු යෝජනා, දැන් නිහඬ වී ඇත.
නමුත්, හෙට මා යලිත් කැත වන්නට පටන් ගෙන ඇති යැයි යමෙකුට සිතුනොත්, පෙර කී කතාව යලිත් කරලියට නොඑනු ඇති යැයි පොරොන්දු විය හැක්කේ කාටද?
******
මේ කතාව මතකයට නැගුනේ, පසුගිය දිනවල පිස්සුවෙන් මෙන් අපේ අය කතා වුනු, බැංකුවක සිදුවීමක් නිසාවෙනි. එම කතාවට ලක් වුනු පුද්ගලයින් ඉතා නරක මිනිසුන් බවටත්, ඇය ගණිකාවක් බවටත්, ඔහු නරුමයෙකු බවටත්, යලිත් ආපස්සට හැරීමක් නැති බවටත්, එහි සිටි තරුණියට සිය දිවි නසාගැනීමට හැර වෙන කරන්නට දෙයක් නැති බවටත්, ඔවුනොවුන් විවාහ නොවුනහොත් ඒ තරුණියට විවාහ වන්නට බැරි වෙනු ඇති බවටත්, ආදී ලෙස අපේ අය කොමෙන්ටු දමා තිබිණි.
මගේ ගැටලුව වන්නේ, මෙලෙස වෙනත් කෙනෙකුගේ ජීවිතය සම්බන්ධව ඔවුන් ගත යුතු තීරණ ගැන උපදෙස් දෙන්නට අපට ඇති අයිතිය කුමක්ද යන්නයි. ජීවිතයේ එක් සිදුවීමක් මත ඔවුන්ගේ මුළු ජීවිතයම ලඝු කොට, අපේ සිතිවිලි අනුව ඔවුන් ජීවත් විය යුතු යැයි සිතීම කෙතරම් දුරට සාධාරණද?
කොමෙන්ටුවකම තිබූ අයුරින්, බොහෝ දෙනා මේ යුවලට, බැංකුවක් තුල අනිසි හැසිරීම ගැන දොස් පැවරුවත්, බස් රිය තුල දුම්රිය තුල අනිසිව හැසිරීමෙන්, ඇඟේ ඇතිල්ලීමෙන්, හේත්තු වීමෙන් දහසක් දැරියන්, තරුණියන් අපහසුතාවයට ලක් කරයි. රැකියා ස්ථානයේ හැසිරිය යුතු අයුරු කියා දෙමින්, තමන්ටත් එවන් අවස්තාවක් පාදාගැනීමට සිහින මවයි. නිරුවත් වූ ගැහැණියට වේසි යයි දොස් කියමින්, පාරේ යන ගමන්, ෆිල්ම් බලන ගමන්, සිතින් දහසක් තරුණියන් නිරුවත් කරයි.
අපේ ජීවිත නිරතුරුව වෙනස් වෙයි. අපි සුදු හෝ කළු නැති, අළු පාට මිනිස් කැලක් වන්නෙමු. ඉතින් හැමෝම අතින් වැරදි සිදු වෙයි. නමුත් එක් සිදුවීමක් මත පදනම් වී, අනුන්ට ජීවත් වෙන හැටි කියා දෙන්නට යන්නේ, අපි අපේ ජීවිත සර්ව සම්පූර්ණ කරගෙන ද?
ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ජීවත් වන්නට ඉඩ දී, අපේ වැඩක් බලාගෙන ඉන්නට අපට බැරි ඇයි?
බුකියේ ඉන්න උන් වැඩි වැඩියෙන් කුණු රසය විඳින්න පටන්ගත්තේ කොල්ලයි බල්ලයි හැම එකාම ඕකට රින්ගුවට පස්සෙ. උන් දෙන්න කැමැත්තෙන් කරපු දෙයක් නම් අපට මොකෝ. කාටවත් ඒ ගැන ඇති රුදාව මොකක්ද. අනිත් එක ඕව මාකට් වෙන්න හේතුව තමයි ඉරිසියාව සහ කුහක කම. තමන්ට වැඩ උසස් මට්ටමින් ඉන්න කව්රුහරි අවුල් යන අපකීර්තියට පත් වෙච්ච දෙයක් දැක්කොත් අර කුහකයන්ට හෙනම චූන්. අනිත් කාරනාව තමයි අනිත් මිනිස්සුන්ගෙ කුණු පෙන්නල තමන්ගේ කුණු වහගන්න දරන උත්සාහය.
ReplyDeleteගොඩක් පුළුල් අදහසක්, ඒ සියල්ලටම එකඟයි.
Deleteඔය කොල්ලයි බල්ලයි හැමෝම ෆේස්බුක් එන එක ගැන කියනව නම්, සමාජ ජාලයක හැසිරෙන එක, තමන් කරන කියන දේ නිසා අනිත් අයට වෙන බලපෑම නොසිතන එක, ගැටළුවක්. ඒ වගේම ගොඩක් අඩු වයසේ දරුවන් ෆේස් බුක් ඇවිත් අන්තවාදී කොමෙන්ටු දමන්නේ, ඔවුන් තවම ජීවන අත්දැකීම් ලබමින් පවතින නිසා. වයසින් වැඩි අය උනත්, සැලකිල්ලෙන් බැලුවොත් ඔය ගොඩක් අය ජීවත් වෙන්නේ කුඩා ලෝකෙක. ඉන්ටර්නෙට් ඇක්සස් තිබුණට, තාම ලිඳෙන් එලියට ගිහින් නැහැ. ඔවුන් ජීවිතයේ තවත් අත්දැකීම් විඳින්නට විඳින්නට, ආකල්ප වෙනස් වේවි යැයි බලාපොරොත්තු වීම පමණයි අපට කළහැකි.
ඔය ගෝත්‍රික ගති ඇරෙනකල් රටට වගතුවක් වෙන්නෙ නෑ.
ReplyDeleteඔබ හරි. කලකිරීමක් ඇති වෙනවා මේවා දකිනකොට.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදැන් රටේ හැටි මෙහෙම තමා...
ReplyDeleteහැමෝම වැදි බණ දෙසනවා... තව කියුවොත් අර කකුලුවාගේ කතාව වගේ තමයි...
රට, සමාජය හදන්න කලින්, අනුන්ට උපදෙස් දෙන්න කලින්, තමා තමාව දැකලා වැඩ කරන්න ඕනේ...
බොහොම ස්තුතියි කොමෙන්ටුවට නිර්මාණි.
Deleteඇත්තටම අනුන්ටම දොස් කිවුවට, තමන් තුලම කොයි තරම් නම් අඩු පාඩු තියනවද..
තමන්ගේ කිල්ලොටෙත් හුණු තියෙනවා කියල,පැහැදිළි ඊරිසියව...
ReplyDeleteඑකඟයි. බොහොම ස්තුතියි කොමෙන්ටුවට.
Delete"ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ජීවත් වන්නට ඉඩ දී, අපේ වැඩක් බලාගෙන ඉන්නට අපට බැරි ඇයි?"
ReplyDeleteඅඩු හො වැඩියෙන් අපේ සමාජයේ තියෙන අසහනය තමයි මේ පේන්නේ. අපේ නිදහස අගයන ගමන් බලාපොරොත්තුවෙමින් අපි අනෙකාගෙ නිදහස අහිමි කරනවා.
ශෝචනීයයි. ඒත් මොනවා කරන්නද?
ඔබ හරි. තමන්ටම දෙයක් වෙනකම් කාටවත් මුකුත් තේරෙන්නේ නැහැ.
Deleteමිනිස් ස්වභාවයට අනුව හොරෙන් හෝ ඔවැනි දෙයක් බලන එක සාමාන්‍යයි!
ReplyDeleteඑත් ෆේස්බුක් විස්තර හොයාගෙන නම් ගම් එක්ක ෂෙයා කරන එක නම් අසික්කිතයි!
ඒක තනිකරම ලිංගික ඉරිසියාව හා කුහකකම ගැන ප්‍රශ්ණයක්!
ඔබ හරි.
Deleteබොහොම ස්තුතියි කොමෙන්ටුවට.
ඔය බැංකු කතාව මොකක්ද කියලවත් දන්නේ නැහැ.දැනගන්න ඕන කමකුත් නැහැ.මොකද ඒ පුද්ගලික සම්බන්ධකම් වලින් අපිට පාඩුවක් හෝ ලාභයක් නැති නිසා.
ReplyDeleteහොඳ ළමයෙක් :)
Deleteහැමදාම ඒ ලෙසම ජීවත් වෙන්න. :) :)
හොඳ ලිපියක්. පළමුවෙනි කථාවත් මරු. බඳිනකම් ලස්සනය ඉන්න හදන අය බැන්ඳයින් පස්සේ පෙනුම ගැන සැලකිළිමත් නොවීම ගැනත් හිතුවොත් හොඳයි. නැත්තන් අපි වගේ අයට පාරෙ යන අය ලස්සනට පේන්න පටන් ගන්නවා.
ReplyDeleteදෙවෙනි කථාව ගැන. මගේ වංචක වීරයන් ගැන මේ පෝස්ට් එක කියෙව්වොත් මේකට හේතුව ගැන අදහසක් ගන්න හැකි වෙන්න පුළුවන්
කොමෙන්ටුවට බොහොම ස්තුතියි ඉයන්, කොමෙන්ට් මොඩරේෂන් දැම්මට සමාවෙන්න. පොඩි ගැටළුවක් නිසා එහෙම කළා.
Deleteබඳිනකම් විතරක් ලස්සනට ඉන්න එක නම් ප්‍රශ්නයක් තමයි. ඔබ කියන දේට එකඟයි. ඒක වෙනම කතා කරන්න ඕන සිදුවීමක්. පිරිමි ළමයිනුත් ඉතින් ලොකු බඩ ගෙඩියක් එහෙම ඇති දැඩි කරන්න පටන් ගන්නවා නේද, 30 පැනපු ගමන් විතර?
සුරංගනාවියක් වගේ ලස්සනට ඉන්න බිරිඳක් හිටියත් හැම සැමියම පාරේ යන අය දිහා නම් බලනවා හැබැයි :D
මම ඔබේ පෝස්ට් එක කියෙවුවා ඉයන්, කොමෙන්ටුවක් නොදැම්මට. එය ඇස් අරවන ලිපියක්. ඔබත් කියා ඇත්තේ ඒ දේම තමයි.
මිනිස්සු තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න පුරුදු වෙන එක නම් කවදාවත් වෙන්නෙ නැති වැඩක්...
ReplyDeleteසමහරු තමන්ගෙ වැඩක් බලාගන්නෙ නැතුව අනුන්ගෙ දත් ගණන් කරනව
Deleteසිතූ,
Deleteඔයා හරි. මිනිස්සුන්ට වෙන වැඩ නෑ මම හිතන්නේ.
ඔයා නෝට් කරල තියනවද ඔය අනුන්ගේ කතන්දර වලට උපදෙස් යන්නෙ නැතුව තමන්ගේ වැඩ ගැන හිත යොමු කරන ගොඩක් අය සාර්ථක වෙනවා තමන්ගේ ජීවිතේ.
ඉයන්,
අනුන්ගේ දත් ගණන් කරන ගොඩක් අය, මුළු ජීවිතේම කරන්නේ අනුන්ගේ දත් ගණන් කරන එක විතරයි.
ඕපා මලු.
ReplyDeleteඔය කියන වීඩියෝ එක මම දැකලා නෑ. එහෙම කතාබහක් යනවා මම දැක්කා බුකියෙ නමුත් කියෙව්වෙ නෑ අදාල වීඩියෝව දැකලා නැති නිසා. එතකොට මේකද අපේ රටේ අලුත්ම හිට් එක අර? කාලෙන් කාලෙට මොකක් හරි ඕනෙනෙ හිරි ඇර ගන්න.
ඔව් ඩුඩ්. මේක තමයි අලුත්ම හිට් එක.
Deleteසතියක් විතර කතා කරලා, ඊට පස්සේ එපා උනාම වෙන එකක් කතා කරනවා.
මෙතන මම සංවේදී උනේ අපේ අය ඒ ජෝඩුවට දීල තිබුණු අවවාද හා උපදෙස් ගොඩ දැකල.
වීඩියෝ එකක් ගැන මෙලෝ හසරක් නොදන්නෙමි (ගෙම්බෙක්ද මන්ද) මුණු පොතේ පය තබන්නේද නැත. ගන්නට දෙයක් නැති නිසාමයි. අනෙකුත් කාරනා ගැන නම්.....
Deleteඉස්කෝලේ කාලේදී මගුල් ජෝඩු කරන අම්මලා ( තාත්තලා නම් බොහොම අඩුයි) ප්‍රයෝගික සහ 'මාර' වීමත්, ඉස්කෝලේ යන කාලෙම ප්‍රේමසම්බන්ධයක් ඇතිකරගන්නා දරුවෙක් 'විසේ' තිබීමත් පුදුම වෙන්කිරීමක් නේද? ළමයි ඉන්නේ කසාද බඳින්නමයි කියලද මන්ද ඉලක්ක කරගෙන ඉන්නේ? ( පුද්ගලිකව ගන්න එපා. මෙය පොදු විවේචනයක්)
මේ අවකාෂවලත් 'දොඹ' ටෝක් දෙන උන්දලාගේ කල්කිරියාව නම්..... අනේ මන්ද
ඇනෝ මූණූ පොතේ පය නොතබන එක නම් නියමයි. මමත් උත්සාහ කරනවා මූණු පොතෙන් සමුගන්න, හෙමිහිට හරි. මම මේ ළඟදී මූණු පොතේම දැකපු කතාවක් කියන්නද? "යමෙකු සිය ෆේස්බුක් පිටුව ඩිඇක්ටිවේට් කොට යලිත් සදහට ඇක්ටිවේට් නොකර සිටින්නේද, විධායක ජනාධිපති ධූරය අහෝසි කල හැක්කේ ඔහුටමය."
Deleteඇනෝ පුද්ගලිකව ගන්න එපා කිවුව නිසා මුල කතාව මට අදාළ නැහැ කියල හිතුණ, නමුත් මම ඔය කියපු සිදුවීම් දාමයේ උනේ,
පළමු සිදුවීමේ ඉස්සරහ ගෙදර ඇන්ටි විවාහය ගැන පාසල් කාලේදී කතා කරපු එක නොගැලපෙනවා තමයි, ඒත් පිට මනුස්සයෙක් එක්ක වාද කරන්න අකමැති නිසා ඒ වෙලාවේ අම්ම හිනාවෙලා නිකම් හිටිය. (ඒ ඇන්ටිගේ දරුවන්ගේ ජීවිත ගෙවුණු විදිය එක්ක බලනකොට, එයාට "විවාහ වන්නේ කවුරු එක්කද" වගේ දේවල් ගොඩක් වැදගත් විදියට හිතෙන එකත් එක අතකින් සාදාරනයි කියලත් දැන් ආපස්සට බැලුවම මට හිතෙනව.)
දෙවන සිදුවීම වෙනකොට නම් මම කැම්පස් එකේ ෆයිනල් ඉයර් හෝ ජස්ට් පාස්ඩ් අවුට්. අපේ තාත්තා නැති වුණු අලුත. ඒ දවස් වල අම්මගෙ ඔලුවේ වැඩ කලේ අම්මා නැති කාලෙක මම තනිවේවි යයි තිබුණු බය. (ඒ බය ටිකෙන් ටික ඇරිල ගියා කාලයත් එක්කම) අම්මගෙ ස්ට්‍රෙස් එක මට තේරුම් ගන්න පුළුවන් උනත්, කළු වෙලා කියල හැමතිස්සෙම කියනකොට නම් ටිකක් තරහ ගියා හැබැයි.
ඔයා කියපු කතාව මට අදාළ නැහැ තමයි, නමුත්, පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුනේ, නෑදෑයෝ යාළුවො මගේ විවාහය ගැන අහන ප්‍රශ්න ඔක්කොටම පොඩි පොඩි පිළිතුරු දීල ලිස්සල ගිහින්, මට විවාහ වන්නැයි බල නොකර, මගේ සිහින වලට ආශිර්වාද කරන මගේ අම්ම ගැන වැරදි වැටහීමක් ඇති වීම නතර කරන්න. මොකද ඉස්කෝලෙ යන කාලේ ආදර සම්බන්ධතා වලට අපේ අම්මා පොඩ්ඩක් වත් සපෝට් කලේ නැහැ. ඒ වගේ දේවල් ගැන නියුට්‍රල් හිටපු මවුවරු මම දන්නව, හැබැයි ඒ දරුවෝ ඉගෙනුම අතින් වැඩි දුරක් ගියේ නැහැ.
දොඹ ටෝක් දෙන අය ටිකෙන් ටික ජීවිතෙන් පන්නරය ලබනකම් අපට බලන් ඉන්න වෙනවා ඇනෝ..
පරක්කු උනත් මේකටනම් කමෙන්ට් එකක් දාන්නම හිතුණා... කතාව ඇත්ත. අනුන්ගේ වැරදි පෙන්වමින් උපදෙස් දෙන්න කලින් තමන්ගෙ කොච්චරක් වැරදි තියෙනවද කියලා හිතල බලන්නයි ඕන.
ReplyDeleteබොහොම ස්තුතියි කොමෙන්ටුවට ආර්යන්. :)
Delete