10.10.2017

කැණිමඬල - 3

නිර්මල කිසිත් නොකියා මුනිවත රැකීම, මගේ සිතේ  වේදනාව  වැඩි  කරවයි. මගෙන්  සමාව  ඉල්ලමින්  පසුතැවිලි  ස්වරයෙන්  හෝ,  අඩුම  තරමේ  ඔහු  ඔවිනිට  ලං  වෙන්නට  හේතු  වුණේ  මගෙන්  සිදු  වූ  අඩුපාඩු  නිසා  බව  කියමින්  තරහෙන්  හෝ,  නිර්මල  කතා  කරන්නේ  නම්,  මට  මීට  වඩා  සැනසීමක්  දැනෙන්නට  ඉඩ  තිබිණි.




ඔවිනි  අප  නිවසට  ලඟා  වන්නට  නියමිතව  තිබුණේ  දිවා  කාලයේ  නිසා,  සඳුදා  නිවාඩුවක්  ගෙන  මම  ගෙදර  නැවතුනෙමි.  සුපුරුදු  නිහැඬියාවෙන්  කල්  ගත  කරන  නිර්මල,  ආන්යා  දිවා  සුරැකුම්  හලට  ඇරලවා  විශ්ව  විද්‍යාලයට  ගියේය.  නිහඬවම  වුණත්,  ඔහු  වෙනදා  ට  වඩා  ආන්යා  ගැනත්,  මා  ගැනත්  සොයා  බලන්නේ,  සමාව  අයැදීමක්  ලෙස  දැයි  නොදනිමි.  සමාව  අයැදීම  හෝ  සමාව  දීම  කෙසේ  වෙතත්,  ඒ  නිසා  මට  ආන්යා  ඉදිරියේ  හොඳින්  හැසිරීම  පහසු  විය.

දොරේ  සීනුව  නාද  වනු  ඇසී,  මම  දොර  විවර  කළෙමි.

දොර විවර කරනවාත් සමගම,  ඔවිනි,  සිහි  විසන්ව, ගෙතුළට  ඇද  වැටිණි. 

මුහුණට  ජලය  ටිකක්  ඉස,  අමාරුවෙන්  වත්තම්  කරගෙන  ගොස්  ඔවිනි  ව  ඇඳෙන්  සතපවා,  ඇගේ  සූට්  කේස්  එක  ගෙතුලින්  තැබූ  මම,  සුප්  එකක්  පිළියෙළ  කලෙමි.

සුප්  එක  ඔවිනි  වෙත  රැගෙන  ගොස්,  තවත්  වතුර  ටිකක්  මුහුණේ  තැවරූ  පසු,  ඔවිනි  දෙනෙත් හැරියාය.


ඇඳේ සැතපී සිටින කාන්තාවක් මෙහි දැක්වේ - පින්තූරය Google Images වෙතින් 


"අනේ අක්කි, මට සමාවෙන්න!" ඔවිනි හඬා වැටිණි.

"දැන්  ඇඬුවට  වත්  සමාව  ඉල්ලුවට  වත්  මුකුත්  වෙනස්  වෙන්නේ  නැහැ.  වතුර  ටිකක්  බොන්න."

මම  ඔවිනි  ට  වතුර  ටිකක්  පෙව්වෙමි.

"සුප්  එකක්  හැදුවා,  ඒකත්  බොමු."

"ඔයාට  පින්  අක්කි.  ඇඟට  හරිම  අමාරුයි,  බෑග්  එකත්  අරන්  කෝච්චියෙ  ඇවිත්  මේ  ටික  පයින්  එනකොට  ටිකක්  මහන්සි  දැනුණ.  කොහොම  හරි  එනව  කියල  හිතාගෙන  නවතින්නෙ  නැතුව  ආව."


සුප් එකක් බොන කාන්තාවක් මෙහි දැක්වේ - පින්තූරය Google Images වෙතින් 

මට  ආන්යා  ලැබෙන්නට  සිටි  ගැබිණි  සමය  සිහි  විය.  එවකට  මගේ  ගමන්  බිමන්  අවම  කරනු  පිණිස,  සති  අන්තයේදී  නිවසට  අවශ්‍ය  සියලු  දේ  රැගෙන  ආවේ  නිර්මල  විසිනි.  මා  රැකියාවක්  කරන්නට  ගත්  මුල්  අවධියේම  ආන්යා  පිළිසිඳි  නිසා,  මා  යා  යුතු  දුම්රියපළට  ඉතා  ලඟින්  සිටි  නිවසකට  අප  මාරු  වුණේ,   එහි  සිට  නිර්මල  ගේ  විශ්ව  විද්‍යාලයට  ඇවිදගෙන  යා  යුතු  දුරත්  නොසලකා හරිමිනි.  ඒ  ශීත  කාලයේ,  නිර්මල  දිනපතා  විශ්ව  විද්‍යාලයට  පයින්ම  බොහෝ  දුර  ඇවිදගෙන  ගියේ,  කිසිදු  මැසිවිල්ලකුදු  නොදොඩා  ය.

ඔවිනි  ට  සුප්  එක  බොන්නට  හැර,  මම  දහවල්  ආහාරය  උයන්නට  පටන්  ගතිමි.  හිස්  වූ  සුප්  බඳුනත්  රැගෙන,  ඔවිනි  කුස්සියට  ආවාය.

"මම  උදව්  කරන්නද  අක්කි?"

"නෑ,  මම  උයන්නම්.  මගේ  කුස්සියේ  වෙන  කෙනෙක්  උයනවට  මම  කැමති  නෑ."

ඔවිනි  නිහඬවම  තුවායක්  රැගෙන  නාන  කාමරය දෙසට  ඇදිණි.

"ඔවිනි,  බාත්රූම්  ලොක්  එක  තද  කරන්න  එපා.  හදිසියේ  ආයෙ  ෆේන්ට්  උනොත්  එහෙම?"

ඔවිනි  නාගෙන  එන  විට,  මම  දිවා  ආහාර  පිළියෙළ  කර  තැබීමි.  මා  මේ  උයා  පිහා  කන්න  බොන්න  දෙන්නේ,  මගේ  සැමියා  මගෙන්  උදුරා  ගත්  ගැහැණියකටයි.  හෙට  කුමක්  සිදු  වේ  දැයි  කිසිත්  නොදන්නා  නමුත්,  අද  මේ  ගැහැණිය  අසරණ  වී  සිටියි. 

දිවා  කෑම  අතරතුර,  ඔවිනි  නිහැඬියාව  බිඳ  දැමුවාය.

"දරුවා  නැති  කරන්න  විදියක්  රෙඩි  කළා  ද  අක්කි?"

"දන්නෙ  නෑ.  නිර්මල  ගෙන්  අහන්න  ඕන."

"මම  පුළුවන්  තරම්  ඉක්මනට  ලංකාවට  යන්න  ඕන.  හෙටම  උනත්  කරන්න  පුළුවන්  නම්  හොඳයි."

"හ්ම්ම්...  මම  නිර්මල  ආවම  අහන්නම්.  එයා  මොනව  හරි  ප්ලෑන්  කරල  ඇති."

"මට  ඔය  සැමන්  කරි  එක  පාස්  කරනවද  අක්කි?"

"ආ  මෙන්න."


සැමන් කරියක් සහිත බඳුනක් මෙහි  දැක්වේ - පින්තූරය Google Images වෙතින් 


"තැන්ක්ස්."

"ඒත්  සැමන්?  සැමන්  කනවද  ඔයා?"

නිර්මල  ගේ  ප්‍රියතම  සැමන්  කරිය,  ඔවිනි  අකමැති  ම  කෑමක්  විය.  ඔවිනි  දිවා  ආහාර  ගන්නට  අපේ  ගෙදරට  පැමිණි  බොහෝ  දිනවල,  මේ  සැමන්  කරිය  නිසා  ගැටුම්  ඇති  වී  තිබේ.  මට  සැමන්  උයන  ලෙස  නිර්මල  කියා  සිටින  විට,  සැමන්  උයන්නට  එපා  යයි  ඔවිනි  කියයි.  අදත්,  නිර්මල  ට  බත්  එකට  බඳින්නට  උදේ  උයන  ලද  සැමන්  කරියෙන්  ඉතුරු  ටික  මට  කන්නට  මා  ලඟින්  තබාගෙන,  ඔවිනි  ට  ඔම්ලට්  එකක්  හදා  දුන්නේ  එනිසා  ය. 

"වෙනද  නම්  කටේ  තියන්නෙ  නෑ  අක්කි.  ඒත්  අද  එක  පාරටම  ආස  හිතුණ."

මගේ  කොඳු  නාරටිය  දිගේ  සිහින්  සීතලක්  ගලා  ගියේය.  ආන්යා  ලැබෙන්නට  සිටි  සමයේ,  මට  සැමන්  කන්නට  නොසන්සිඳෙන  ආශාවක්  ඇති  වී  තිබිණි.  කොටින්ම,  ආන්යා  ලැබෙන්නට  සිටි  සමයේ,  ලංකාවට  පැමිණෙන  ලෙස  නිර්මල  ගේත්,  මගෙත්,  දෙමවුපියන්  දැඩිව  ඉල්ලා  සිටියත්,  හැකිතාක්  කල්  ලංකාවට  නොගිහින්,  මෙහි  ම  රැඳී  සිටියේ,  අලුත්  සැමන්  ලබා  ගැනීමේ  පහසුව  පිණිසයි.  ආන්යා  ඉපදී  සෙමෙන්  වැඩෙන  විට,  අපට  තේරුම්  ගියේ,  ආන්යා  ත්,  නිර්මල  මෙන්ම,  සැමන්  කන්නට  බෙහෙවින්  ප්‍රිය  කරන  බවකි.

ඔවිනි  ගේ  කුස  තුළ  වැඩෙන  දරුවා  ගේ  පියා  නිර්මල  යි.  දරුවාගේ  සොයුරිය  ආන්යා  යි.  ඉතින්  නූපන්  දරුවා  නිසා  ඔවිනි  ට  සැමන්  කන්නට  ආශාවක්  ඇති  වීම  අරුමයක්  නොවේ. 

තසිමේ  ඉතිරි  වී  තිබෙන  අන්තිම  සැමන්  ටික  ඔවිනි  ආසාවෙන්  බෙදා  ගන්නා  දෙස  මම  බලා  සිටියෙමි.

"තව  සැමන්  ටිකක්  ටක්  ගාල  හදල  දෙන්නද  ඔයාට?"

"සැමන්  එක  නම්  හරිම  රසයි.  ඒත්  දැන්  බඩ  පිරිල  අක්කි."

හැම  කෑම  වේලකටම  සැමන්  කරියක්  උයන්නට,  මම  සිතා  ගතිමි.


ගෙදර  එන  ගමන්  සැමන්  ටිකක්  වැඩිපුර  අරන්  එන්න'යි  කියන්නට,  මා  නිර්මල  ට  දුරකථන  ඇමතුමක්  ගත්තේ,  කලකට  පසු  ඔහුගේ  සිතට  සතුටක්ද  ඇති  කරමිනි. 

-මතු සම්බන්ධයි -

5 comments:

  1. ටිකක් වාර්තාමය ගතියක් තියෙනවා. මේ ඉන්නේ ගැහැනුන් දෙදෙනෙක්. මානසික වියවුල පෙන්නන්න. ඒ වගේම ඇතුලතින් පිච්චෙන ගැහැනියක් ගැන මොට වඩා දේවල් ලියන්න පුළුවන් ඔබට. කතාවේ ගලායාමට මම කැමතියි

    ReplyDelete
  2. හොඳ කතාවක් වගේ. කොටස් තුනම එක දිගට කියෙව්ව.

    ReplyDelete
    Replies
    1. මේ ඇවිල්ල ඉන්නෙ කසුන්ද නැත්නම් නිර්මාණිද?

      මම දැක්ක අර තරුරසීගේ බ්ලොග් එකේ කසුන්ගෙ කමෙන්ට් එකකට තරූ "මල්ලි..." කියල උත්තර දුන්නම නිර්මාණි කියල තිබ්බ "අක්කෙ කසුන්ගෙ ප්‍රොෆයිල් එකෙන් ඒ ආවෙ කසුන් නෙවෙයි මම" කියල..හෙහ්,හෙහ්..

      ඒ හින්ද කොල්ලො මීට පස්සෙ කමෙන්ට්ස් එහෙම දානකොට නමෝ විත්තියෙන් කියපං මේ කසුන්ද නිර්මාණිද කියල...නැත්තං කියවන අපි කොන්ෆියුසියස් වෙනව...:)

      Delete
    2. fuමෙහෙමනෙ රවි අයියෙ උනේ. ඔන්න ගිය සිකුරාද මං ලැපා ගෙදර දාල ගියා කියමුකො. මං නැති අතරේ එදා ගෙදර හිටපු මේ යෝදි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බ්ලොග්වලට කොමෙන්ට් දාගෙන ගිහින්. දැං මං ඔය කොමෙන්ට් එක දැක්කම මං කොයි තරම් කොම්පියුසියස් උනාද කියල හිතුවනම් ඔහෙටත් තේරෙයි. හෙහ් හෙහ්.

      Delete
  3. අවසානය මොන වගේද කියල මට නිකං හිතෙනව හිතෙනව වගේ...

    නයින්ටි නයින් පසන්ට් හරි මම හිතන්නෙ මට හිතෙන විදිහ..

    ඒත් මම කියන්නෙ නම් නෑ ඔන්න..අහන්නත් එපා...:)

    ReplyDelete