December 31, 2017

නව වසරට ආසිරි!


ලඟදි මිතුරෙක් ලියපු කවි පොතක් එව්ව, කියවල බලල අදහස් දක්වන්න කියල.

ගොඩක් දිග පොතක් නොවෙයි, ඉතින් එක හුස්මට කියවන්න පුළුවන්. හැබැයි කියවල ඉවර උනාම හිතට දැනුණේ දුක්බර කණස්සල්ලක්.

මේකට හේතුව තමයි, පොතේ ලියා තිබුණේ මිනිස්සු එදිනෙදා ජීවිතේ ඇතුලේ විඳින දුක, විරහව, හා වගකීම් වල බර ගැන. එදිනෙදා ජීවිතේ හිතට දැනෙන දුක, වගකීම් වල බර, හා කණස්සල්ල ගැන දැනගන්න අපිට අමුතුවෙන් කවි පොතක් කියවන්න ඕනද? උදේට රැකියාවට යන, ජාතියේ කොඳු ඇට පෙළ වගේ ඉන්න අපේ වැඩ කරන ජනතාවට බස් වල වාදනය කරන්නේ මොනවද? වැඩි හරියක් විරහ ගීත නේද?

කලාව ඇරඹුණු විදිය ගැන මම ගොඩක් තොරතුරු දන්නෙ නෑ, නමුත්, දවසේම දඩයම් කරපු ආදි මානවයා, මහන්සිය නිවාගෙන, තුවාල වලින් නැගෙන වේදනා අමතක කරල, හිතට සතුටක් ලබා ගන්නට මිහිරි නාද නිකුත් කරන්නටත්, ගුහා වල චිත්‍ර අඳින්නටත් ඇති.

සම් ඇඳුම් හැඳගෙන අව් කණ්නාඩි පැළඳි, විහිලු ස්වරූපයේ ආදි මානව ජෝඩුවක්. පින්තූරය Google Images වෙතින්.

මම ඉතින් මගේ මිතුරාට කිවුව, එදිනෙදා ජීවිත වල තියන පුංචි පුංචි රසවත් දේවල් ටිකක්, අතරින් පතර හයිලයිට් කරලා තිබුණා නම් මම ඒ පොතට ඊට වඩා ඇලුම් කරනු ඇති බව. හැමෝටම එහෙම නොහිතෙන්න පුළුවන්, නමුත් ඉතින් මම කියන්න ඕනේ පොත කියෙව්වම මට දැනෙන දේ නේ? ඔහු තවත් අයට ඔහුගේ පොත යොමු කරන්න ඇති. ලැබෙන අදහස් සියල්ල සලකා බලා, අවශ්‍ය නම් පමණක් ලියවිල්ල වැඩි දියුණු කරාවි.

කොහොම උනත්, ඔබ රචකයෙක් නම්, කොහොමහරි ලියන්න පටන් ගැනීමයි වඩා වැදගත්. අපේ පුංචි බ්ලොග් ලෝකෙත්, ඉතා හොඳට ලියන්න පුළුවන් කී දෙනෙක් නම් දැන් නිහඬව ඉන්නවද? මීළඟ කොටස මම පුද කරනවා, ලියන්නේ නැති බ්ලොග්කරුවන්ට. ඔබේ Writer's Block එකෙන් මිදෙන්න මේ උපදෙස් උපකාරී වේදැයි බලන්න.

1. ඔබේ අඩුපාඩු හෝ ලිවීමට ඇති දුෂ්කරතා ගැන තොරතුරු, ලියවිල්ලට එකතු කර ගන්න.

2. ඔබේ අත්දැකීම් ගැන ලියන්න.

3. ලියවිල්ල කැත උනත් කමක් නෑ, ලියාගෙන යන්න. පස්සේ පුළුවන් වෙනස් කරන්න.

4. ඔබ කියවන අනිත් දේවල් වලින් කොටස්, ඔබේ රචනයට එකතු කරන්න.

5. ආරම්භයක් වශයෙන්, ඔබ ලියන මාතෘකාව ගැන අනිත් අය ලියා ඇති දේ ලියන්න.



නිහඬව ඉන්න බ්ලොග් කරුවන්ගේ නිහඬ භාවය බිඳිලා යලි ලියන්නට හිතෙන,

එදිනෙදා ජීවිතේ කරදර අමතක වෙලා හිත සැහැල්ලු වන පෝස්ට් ලියවෙන,

ලස්සන 2018 වසරක් උදා වෙමින් තිබෙනවා.


ඉතින් ඔබ සැමට ආසිරි!




7 comments:

  1. අපේ සිංහල කියන ජාතිය බොහොම දක්ෂයි දුක විකුනන්න. කොච්චර සන්තෝසෙන් හිටියත් නෑ, බෑ, ප්‍රශ්න ගැන කතා නොකලොත් නිකං කෑවෙ නැහැ වගේ. ඔබ කිව්ව වගේම සමාජයේ හැම තැනම විරහව වේදනාව එක එක ප්‍රශ්න. ප්‍රශ්න නැති මිනිහෙක් දැක්කොත් ඉරිසියාවේ පුපුරනව. මිනිස්සු ප්‍රශ්න එක්ක ජීවත් වෙන එක ඒ මිනිස්සුන්ගෙ ජීවිතේ එක බැඳීමක් කරගෙන.

    මමනම් ලෝකය තියා දැන් දැන් මගේ පවුලේ කෙනෙක්වත් වෙනස් කරන්න අඩුම තරමෙ මම ගැනවත් කතා කරන්න යන්නෙ නැහැ. මිතුරන් උනත් 99.9% දක්වා අඩු කරල තියෙන්නෙ. කිසිම අලාභයක් වත් පාඩු වක් වත් උන නිසා නෙමෙයි. ස්ට්‍රේස් එක නැති කරගන්න.
    මිනිස්සු තමන්ගෙ ස්ට්‍රේස් එක ප්‍රශ්න (මේ ඔක්කොටම මුල ස්ට්‍රේස් එක) නැති කරගන්න ගොඩක් දේවල් කරනව. ප්‍රශ්න ගැන කතා කිරීමේ ඉඳල හොරකම මිනීමැරීම මංකොල්ලකෑම චරිත ඝාතනය වැනි ඕනම දෙයක් කරනව. මේව ඔක්කොම මම පෞද්ගලිකවම දැක්ක අත්දැකපු දේවල් මිසක් ඇරියස් කවර් කිරීමක් නෙමෙයි.

    කොහොම උනත් මමනම් ආගමක් අදහන්නෙ නැති උනත් බුදු සරණයි කියන්නෙත් එක එක උත්සව උපන්දින වලට සුභ පතන්නෙත් මුනිච්චාවට මිසක් වෙන දෙයකට නෙමෙයි. ඒත් යහපත් මිනිහෙකුට යම්කිසි සුභ පැතීමක් කරනවානම් මම ඔබටත් එක්කම හිතෙන් කියන්නෙ කරන කියන දේවල් සාර්ථක වේවා කියලයි.

    ReplyDelete
    Replies
    1. ටික්කා බ්‍රෝ,

      වෙනස් කොරන්ඩ ඉස්සෙල්ල කියපං උඹ කොහොමද 'ලෝකයා' ගැන දන්නේ කියල.
      උඹ කොහොමත් 'ලෝකයා' ගැන දැනගන්ඩ විධියක් නැහැ. අම්බලන්ගොඩ විමලරත්න දොස්තර මහත්තයාගේ තාප්පේ උඩ හිටපු උන් උඹ දන්නවද? නෑනේ. ලෝකයා එතැන යාවජිව, සිංහලෙන් කියනවනං ලයිෆ් මැම්බර් කෙනෙක්. පස්සේ වෙලාවක ලෝකයාගේ කතාවක් ලියන්ඩ ඕනේ .

      ඒ මොනවා උනත් උඹේ ලයින් එක හරි.
      හැට්ටර් නං ඉතින් බෝම රිලිජස් මනුස්සය නොවැ. මගේ වැඩ ඉතින් පුරාණ වහන්සේලා කියල තියෙන විධියටම තමයි. ආයේ අකුරක්වත් වෙනස් කොරන්ඩ තියා හිතලවත් නැහැ. උන් වහන්සේලා කියල තියෙන්නේ 'ෆන් නොමැති ලයිෆය කිම?' කියලනේ. කෙලින්ම සුද්ද සිංහලෙන්ම.

      උඹේ අර සෝ බැලිල්ලේ කතාව නං කියෙව්වා, තරහටම කොමෙන්ට් එකක් දැම්මේ නැහැ, අම්මප තරහටම.. යකෝ ඔහොමත් සෝ බලන්ඩ යනවද, ගිහින් ඇවිල්ල තව කියවනවාත් එක්ක. සී සී ..

      ජයවේවා ඔබ සැමටම!

      සුබ දහ අටක්.

      Delete
    2. පිස්සුවෙ හොඳම එක වික්ටර් ගෙ හැට්ටර් බ්‍රෝ..!! එතකොට ඒ ලෝකයාත් මේ ලෝකයාත් ඇර තව ලෝකයෙක් එහෙමත් ඉඳල ආ..? 🙈
      ඔහෙල බ්‍රෝ හරිම වාසනාවන්තයි ඔය ශ්‍රාස්ත්‍රීය පුරාන සයන්ටිස්ලා එක්ක ගනුදෙනු කරගෙන ඉන්නවනම්. අපි එහෙමද? පාර පනින්නෙත් දෙපැත්ත බලල හිටං. මගේ පොස්ට් එක කියවල නිකං යන ඇවුන් ඉන්නව නේද? නෑ එක්කො ඕන නෑ. කුණුහබ්බෙන් වත් බැනල ගියානං තමයි හොඳ ඈ.. තව සෝ ඉස්සරහදි බ්ලොග් එකේ පෙන්නන්නයි අදහස. උබේ බ්ලොග් එකේ ලින්කුවත් එල්ලුවනන් අපිටත් එක්ක. එහෙනං අපි කැපුන.
      18 ට ජය වේවා..!!

      Delete
  2. ජීවිතං අනියතං , මරණං නියතං - එතකං ජීවිතං, ජොලියෙන් ගතකරං කියල තමයිලු බනේ කියල තියෙන්නෙ.

    ReplyDelete
  3. ඔය දුක හිතෙන අවසානයන් තියෙන කතන්දර වලට මමත් පුද්ගලිකව කැමති නැහැ.ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉදගෙන අමතර ප්‍රශ්න ගන්නේ මොකටද ?
    මම ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.ඒත් ජිවිතේ හැම තිස්සේම දුකම දකින්න මමත් කැමති නැහැ.

    ReplyDelete
  4. ඒක නම් හොඳ ප්‍රාර්ථනාවක්.. 2018 වැඩිපුර බ්ලොග් ලියවෙන වසරක් වේවා!..

    ReplyDelete