1.06.2014

හයිවේ එකේ යමුද....

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලුතින් ඉදි වෙමින් පවතින පින්නදූවේ සිට ගොඩගම දක්වා කොටස නැරඹීමට අපේ විශ්ව විද්‍යාලයේ "මගාමාර්ග ඉංජිනේරු සංගමය" මගින් ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කලා. හයිවේ එකක ඇවිදගෙන යන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින් නිසා, අපිත් ආසාවෙන් සහභාගී වෙන්න හිතුව.

සිකුරාදා දකුණේ ගෙවල් වල ආපු අපි ගෑනු ළමයි දෙන්නෙකුට සිදු උනා සෙනසුරාදා ගාල්ලේ පින්නදුවට ගිහින් කැම්පස් එකේ ඉඳන් හයිවේ එකේ ආපු බස් එකට නගින්නට. පින්නදූවට ගිහිපු ගමන තමයි ගමන... මුලින්ම ගාල්ලට ගිහින් බස් කොන්දොස්තර මාමලා ගෙන් "මේ බස් එකේ අපට හයිවේ පිවිසුමට යන්න පුලුවන්ද?" අහද්දී ඔවුන් අපේ දිහා අමුතුවට බැලුවේ ඇයි කියල අපට හිතා ගන්න බැරි වුනා. කොහොම හරි ඔන්න බස් එකක් හොයන් වාඩි වුණා කියමුකෝ, කොන්දොස්තර මාම ඇවිත් ටිකටුත් දුන්න. වැඩිය සෙනග හිටියෙ නැති බස් එකේ ඔහු අපි දිහා අමුතුවට බල බල එහෙට මෙහෙට ගිහින් කුතුහලය ඉවසන් ඉන්න බැරිම තැන ඇහුව "ඔයගොල්ලෝ කොහෙද" කියල. ෂුවර් එකටම අපි දෙන්න හයිවේ පිවිසුමට ගිහින් බස් එකක නගින්න හිතන පිස්සෝ දෙන්නෙක් කියල හිතන්න ඇති. "අපි මේ පැත්තේමයි. මේ කැම්පස් එකේ වැඩකට යනවා" කියල කිවුවම ඔන්න ඔහු සෑහීමකට පත්වුණු බව පෙනුන. 

බස් එකෙන් බැහැල කොන්දොස්තර මාම ගෙන් පාරත් අහගෙන ඔන්න අපි දෙන්න කිසිම මනුස්සයෙන් පයින් යන්නේ නැති, අධික වේගයෙන් වාහන යන පිවිසුම් මාර්ගය දිගේ හෙමින් හෙමින් දොරටුව පැත්තට යනව. යනකොට ඔන්න ඉස්සරහට පොලිස් මාමෙක් ආපි, "මේ කොහෙද මේ පයින් යන්නේ" කියල අහගෙන. විස්තරේ කිවුවට පස්සෙ, පොලිස් කාර්යාලය ඉස්සරහ හිටගෙන ඉන්න අපට උපදෙස් ලැබුණ. එතන හිටගෙන ඉන්නකම් බයිට් කෝටියයි. "මේ දෙන්න මොකද මේ... මෙතනින් බස් එකක නගින්න ඉන්නවද?",  "මේ දෙන්න මෙතනට වෙලා හිනා වෙවී ඉන්නෙ මොකද?". පොලිස් මාමලා මදිවට එතනින් යන හයිවේ බසුත් අපට හෝන් ගහලා යනවා හප්පේ මතක් වෙනකොටත් සනීපයි. හැබැයි ගැහැණු පුළුටක් නැති එතන හිටපු පොලිස් මාමලා සහ පොලිස් අයියලා කොතරම් මිත්‍රශීලිද කියනවා නම් අපට බයක් දැනුනේ නැහැ.

අපිට සැනසුම් සුසුමක් අරගෙන අපේ බස් එක ආවා ඔන්න. අපි දුවගෙන ගිහින් බස් එකට නැගගත්තේ නිවන් දැක්ක වගේ. පිවිසුම් මාර්ගය දිගේම ටික දුරක් ගිහිපු බස් එක, ඉදිවෙමින් පවතින මාර්ගයට ඇතුළු වුනා. දුහුවිලි සහිත අලුතින් ඉදිවන මාර්ගයේ හෙමි හෙමින් බස් රථය ඉදිරියට ඇදුනා. මාර්ගයේ ඇස්ෆෝල්ට් ඇතිරීම සහ මධ්‍යම වැටේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන්. දැන් බොහෝ දුරට සිදු කරමින් තිබෙන්නේ මාර්ගය දෙපස කඳු බෑවුම් ස්ථායී කරන කටයුතු (slope protection) තමයි.

බෑවුම් ස්ථායී කිරීම් - තවම අවසන් නැහැ
මෙතන මේ කළු පාටින් වහපු කුහරයේ තිබිල තියෙන්නේ දුර්වල පස් තට්ටුවක්. එය කඩා වැටෙන්න ඉඩ ඇති නිසා, ඒ පස් ඉවත් කරලා මේ ස්ථායී කරන කටයුතු සිදු කරමින් පවතිනවා.

බෑවුම් ස්ථායී කිරීම් - තවම අවසන් නැහැ



 වැස්ස නිසා පස් වල ජල ප්‍රතිශතය වැඩි උනාම අනතුරු සිදුවීමට වැඩි ඉඩක් පවතිනවා. ඒ නිසා බෑවුම දිගේ ජලය බැසගෙන යාම අවම කරමින් කානු ඉදි කර ඇති අයුරු ඉහත පෙනෙනවා. ජලය උරා ගැනීම අඩු කරන්නට මේ බෑවුමේ තනකොළ වැවීම හෝ සිමෙන්ති ඉසීම සිදු කරාවි යයි මට හිතෙනවා මගේ දැනුමේ හැටියට.

බෑවුම් ස්ථායී කිරීම සඳහා ශාක වගා කරන අවස්ථා තිබෙනවා. හොඳට පොලව බදාගෙන මුල් අදින තණකොළ ජාති මේ සඳහා ගැලපෙනවා. පහත රූපය බලන්න, ජලය බැස යාමට කරපු සැකැස්මේ බෑවුම ස්ථායී කරන්න තණකොළ වවපු හැටි.

ජලය බැස යන බෑවුම තණකොළ මගින් ස්ථායී කිරීම්
මෙහි තණකොළ වැවීමේ වාසි කිහිපයක් තියනවා. පරිසර හානි අවමයි. නඩත්තුව පහසුයි. ඇසට ප්‍රියයි. දකින ඕනෑම කෙනෙක් හිතන්නේ තණකොළ වවා ඇත්තේ ලස්සනට කියායි, තව තණකොළ මගින් පසට ජලය උරා ගැනීම අඩු කරනවා.

වැසි ජල කළමනාකරණ කටයුතු  

මේ හරියේ නම් ඉරිත් ඇඳල ඉවරයි  

කොහොමහරි ගියේ මාර්ග සම්බන්ධව යමක් ඉගෙන ගන්න. ඒ උනාට ඉගෙන ගන්න වුනේ පස් සහ බෑවුම් ස්ථායීකරණය ගැන.

ඔවුන් කිවුවේ නම් ජනවාරි අන්තිමට ඉදිකිරීම් සම්පූර්ණ කල මාර්ගය විවෘත කිරීමට නියමිතයි කියා. නමුත් හරියට හදනවා නම් මාසෙකින් හදන්න අමාරුයි වගේ. බලමු නේද...


හයිවේ එකේ යන්නේ නැතුව ගාලු පාරේ හෙමින් හෙමින් ගාටන මගේ දුප්පත් බ්ලොග් කටුවට හිට්ස් 1000ක් ලැබිලා. සන්තෝසයි. මෙතෙක් කලක් මා සමග සිටි, මා බලන්න ආ ඔබ සැමට ස්තුතියි.








21 comments:

  1. සුභ පතනවා මුලින්ම 1000 කඩඉමට.
    අපරාදේ වටින කියන අවස්ථාවක් මඟ ඇරිලා මට. ඒ වගේම අවසාන ක්ෂේත්‍ර චාරිකාවත්.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට ස්තුතියි යකා.
      ඔව් අපරාදේ, ආවා නම් හරි... බලන්නත් දේවල් තිබුණ, දවල් කෑමත් ලැබුණ. :D

      Delete
  2. ඔන්න ඉතින් සුබ පතනවා මමත්. හෙමින් ගමන සුන්දර යි.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට බොහොම ස්තුතියි දිලිනි.. හෙමින් හෙමින් දුර ගමනක් යන්න තමයි බලාපොරොත්තුව.

      Delete
  3. 1000ට සුභ පතනවා...
    හෙමින් හෙමින් යමුකෝ ලොකු ගමනක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කල්හාන්. එහෙම තමයි බලාපොරොත්තුව.
      ආදරෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට.

      Delete
  4. කොහොමත් රජාට ඕන දවසට විවෘත කරනවාමයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...
      පළාත් සභා චන්දෙකුත් එනවනේ...

      Delete
  5. අන්න මම කැමති ජාතියේ කතාවක් ලියලා මානවිකාව. ඕක ගැන මටත් කතාවක් තියෙනවා. ඒක බ්ලොග් පෝස්ට් එකක් හැටියටම ලියන්න.

    1000ට මගේ සුභ පැතුම් පිළිගන්න මානවිකාවනි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩුඩ්... මුල ඉඳන්ම මගේ පාඨකයෙක් වුනු ඔබෙන් මට ලැබුණු දිරිමත් කිරීම්, අදහස් සහ යෝජනා ලොකු පිටුවහලක් වුනා මට.
      ඔබේ පෝස්ට් එක ඉක්මනට ලියන්න :) දැන් ගොඩක් කාලෙකින් ඔබේ අලුත් පෝස්ට් එකක් දැක්කේ නැහැ.

      Delete
    2. නිවාඩුවට ලංකාවට ගියානේ මානවිකා. නිවාඩු කාලේ විතර අවිවේකී කාලයක් තවත් නෑ.

      Delete
  6. දැන් ප්‍රශ්ණ අහන වේලාවයි.
    ස්ථායී කරන්නේ කොන්ක්‍රීට් සහ ගල් බැමි බැඳලද? එතකොට පළවෙනි පින්තූරේ පේන කලුපාට කොටස මොනවද? කොන්ක්‍රීට් පාට කරලද?

    ඔය බෑවුමක තියෙන්න පුලුවන් උපරිම හෝ අවම ආනතියක් තියෙනවද පොළොවට ලම්බකව හෝ සමාන්තරව?

    පාරක, අධිවේගී හෝ A, B, AB හෝ වෙනත්, බෑවුමක තියෙන්න පුලුවන් උපරිම කෝණයක් තියෙනවද? උදාහරණයක් හැටියට අංශක 45ක නැග්මක් සහිත බෑවුමක් පාරක තියෙන්න පුලුවන්ද? එහෙම සීමාවක් තියෙනවා නම් ඔය කඳුකර පැතිවල පාරවල්වලට ඒ නීතිය බලපාන්නේ නැද්ද? බස්නාහිර පළාතේ අපි හොල්මං වෙනවා සමහර ගෙවල්වලට යන වාහන වලට යන්න හදලා තියෙන පාරවල් දැක්කාම.

    සිමෙන්ති ඉසීම කියන එක මොකක්ද? නිකම්ම සිමෙන්ති? එහෙමද තුනී කොන්ක්‍රීට් එකක්ද?
    ඉහිරිය පසුවට. ඔයා බය වුනා කියලාහිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ටිකක් බය උනා තමයි :D පුළු පුළුවන් විදියට උත්තර දෙන්නම්.

      ස්ථායී කරන්න ගොඩක් ක්‍රම පාවිච්චි කරනවා. කොන්ක්‍රීට් බැමි සහ ගල් බැමි බැඳීමත් ඒවායින් කීපයක්. තවත් ක්‍රම තිබෙනවා, ඒ ක්‍රම කීපයක් මේ කොමෙන්ටුවෙ විස්තර කලා පුළු පුළුවන් හැටියට.

      පළමුවැනි පින්තූරේ කළු පාටින් පෙනෙන තැන මුලින් තිබුනේ දුර්වල පස් තට්ටුවක් ලු. බෑවුමක දුර්වල පස් තට්ටුවක් තියනකොට ඒ දුර්වල කොටස කඩා වැටෙන්න ඉඩ ඇති නිසා, ඒ කඩා වැටෙන්න ඉඩ තියන පස් ටික ඉවත් කරලා. ඒ කුහරය වැහෙන්න රෙද්දක් වගේ තමයි දාලා තිබුනේ. (කුහරය වැහෙන්න ශක්තිමත් පස් පුරවන්න ඇති, ඒ ටික විස්තර කරද්දී මම අහගෙන හිටියේ නැහැ, ඒ හරියේ හිටපු ලස්සන කොල්ලෙක් දිහා බල බල හිටියා. ඒකයි හරියටම කියන්න අමාරු) ඒ රෙද්ද ගැනත් ලොකු අදහසක් නැහැ, ඒත් මට හිතෙන්නේ ජලය උරා ගැනීම වලක්වන්න දාපු රෙද්දක් විය යුතුයි. මොකද වියලි පස් බෑවුම් වල ස්ථායීබව තෙත් පස් බෑවුම් වලට වඩා ඉතාමත්ම වැඩියි.

      අදාළ බෑවුම හැදිලා තියන පස් වල ශක්තිමත් බව වැඩි නම්, විශාල ආනතියක් යටතේ උනත් බෑවුම ස්ථායීව තබාගන්න පුළුවන්. මේ පස් අංශු අතර තියන ඝර්ෂණය නිසා තමයි මේ ස්ථායී බව ලැබෙන්නේ. ඒ නිසා අදාළ බෑවුමක ආනතිය තීරණය වනවා එහි අඩංගු පස් වර්ග මත. පස් අංශු අතර ඝර්ෂණ සංගුණකය වැඩි නම්, ලොකු බෑවුමක් තබාගන්න පුළුවන්. වැස්සකදී සිදු වෙන්නේ පස් අංශු අතරට වතුර ගිහින් ඝර්ෂණ සංගුණකය අඩු වීමක් වැනි දෙයක්. ඒ අතරම පසට ජලය උරා ගෙන තෙත් වෙලා නිසා දැරිය යුතු පස් වල බරත් වැඩි වෙනවා. එතකොට කඩා වැටෙන්න ඉඩ කඩ වැඩියි. වැසි කාලයේ නාය යාම් සිදු වන්නේ ඒ නිසයි. ඒ නිසා මේ බෑවුම් ස්ථායීකරන කටයුතු වලදී ලොකු අවධානයක් යොමු කරන්නේ පසේ ජලය රැඳීම අඩු කරන්නට. ඉහත පළමුවැනි රූපයේ රෙද්ද අතරින් එලියට ආපු බට වගේ පේනවා නේද? ඒ වැසි කාලයේ පස් අතර එකතු වෙන ජලය ඉවත් කරන්න පස් අතරෙන් දාපු බට.

      ඒ වගේම ඕනෑම පස් වර්ගයකට බෑවුම කුඩා වන තරමට ස්ථායී බව වැඩියි. ඒත් ආනතිය බෙහෙවින් අඩු කලොත් බෑවුම ඉදි කරන්නට අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය වැඩි වෙනවානේ. ඒ නිසා බෑවුම ගොඩක් අඩු කරන්න බැහැ. අහල පහල පුද්ගලික ඉඩම් තියනවා නේ. ඒ නිසා බෑවුම වැඩි කරලා, අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය අඩු කරන්න සිදුවෙනවා. බෑවුම වැඩි කරනකොට, ස්ථායීබව රැකීමට අලුතෙන් බැමි බැඳීමක් හෝ වෙනත් ඒ වගේ ක්‍රමයක් අවශ්‍ය වනවා.

      පාරවල් වල ආනතියට තිබෙන අගය වෙනස් වෙනවා ඒ පාරේ යන වාහන ප්‍රමාණය මත. ඒ වගේම එක එක guidelines වල එක එක අගයන් තිබෙන්න පුළුවන්. මම මෙහිදී ශ්‍රී ලංකාවට අදාළ අගයක් හොයාගන්න උත්සාහ කළා ඩුඩ්, ඒත් හරියටම හොයාගන්න නම් බැරිවුනා. යුරෝපයට අදාලව නම් 3%, 4%, 5% පරාසයේ තමයි භාවිතයට පහසු බෑවුම් දක්වා තිබුනේ. ඒත් කඳුකර පෙදෙස් වල මෙය වෙනස් වුවාට කමක් නැහැ කියා තිබුනා. සාමාන්යෙන් අපි කඳුකර පෙදෙසක පාරක් අලුතින් හදනවා නම්, කරන්නේ සමෝච්ච රේඛා සලකාගෙන බෑවුම ගණනය කරමින් පාරවල් තැනීම. මේ බෑවුම දැරිය හැකි කුඩා අගයක් විය යුතුයි. පාරක වංගු (තිරස් තලයේ වක්‍ර), උස්බිම් සහ පහත්බිම් (සිරස් තලයේ වක්‍ර) යන දෙකේදීම විශේෂ අවධානය යොමු කරනවා රියදුරාට කොතරම් දුරකට යනකම් ඉදිරිය පෙනෙනවාද යන කරුණට (sight distance). අපිට අවශ්‍ය sight distance එක තිබෙනවා නම් ආනතිය ටිකක් වැඩි උනාට කමක් නැහැ, ඒත් ඒ නිසා වැඩි ඉන්ධන භාවිතයක්, රියදුරාගේ මානසික තත්වයේ අයහපත් බවක් ඇති වෙන්න පුළුවන්. ගෙවල් වලට යන පාරවල් ඉතින් පොඩි ඉඩක නේ හදන්නේ, අවශ්‍යතා සියල්ල සපිරෙනවා අඩුයි. විධිමත්ව නගර සැලසුම් කරලා මිනිස්සු පදිංචි කරනවා නම් ඔය වගේ ප්‍රශ්න ගොඩක් දුරට මග හැරෙනවා. අපේ රටේ සංස්කෘතිය අනුව මිනිස්සු පදිංචි උනාට පස්සේ තමයි නගරය නිර්මාණය වෙන්නේ. එතකොට අවශ්‍යතා සපුරන්න ටිකක් අමාරුයි.

      Delete
    2. සිමෙන්ති ඉසීම සිදු කරන්නේ මම ඉස්සෙල්ලා කිවුවා වගේ වැසි සමයේ බෑවුම මත පසට ජලය එකතු වීම වලක්වන්නට. මෙහි ටිකක් ලොකු කර්තව්‍යයක් තියනවා. මුලින්ම වියලි කාලයේ ස්ථායීව පවත්වාගත හැකි ආනතියකින් බෑවුම සකස් කරගන්නවා. (මේ කටයුතු සිදු කරන්නේ වියලි කාලයේ තමයි, වැසි සමයේ බෑවුම් වලට අදාළ කටයුතු සිදු කරන්න අමාරුයි) ඊට පස්සේ උඩින් සිහින් දැලක් එලනවා. මේ දැල රඳවාගන්නට දිගු ඇන යොදනවා තැනින් තැන. පහත පින්තූරය බලන්නකෝ.

      http://www.phigroup.co.uk/files/phigroup/capenscleugh_1_0.jpg

      (මේ ඇන දමනකොට, මුලින්ම බටයක් වගේ සිදුරක් පසෙහි විදිනවා. ඊට පස්සේ ඇනය සිදුර ඇතුලට ඔබල, ඇනය සහ සිදුරේ බිත්තිය අතර හිඩැසට සිමෙන්ති ජලය මිශ්‍රණයක් පුරවනවා. (grout)) ඊට පස්සේ තමයි දැලට උඩින් සිමෙන්ති ඉසින්නේ. පහත පින්තූරය බලන්නකෝ.

      http://www.fhwa.dot.gov/publications/focus/11apr/images/f_p5240298.jpg

      මේ ඉසින මිශ්‍රණයේ ප්‍රධාන වශයෙන් තිබෙන්නේ සිමෙන්ති සහ ජලය තමයි. නමුත් මේ (grout) මිශ්‍රණයට තවත් රසායනික ද්‍රව්‍ය එක් කෙරෙනවා අපට අවශ්‍ය ආකාරයට මිශ්‍රණය හසුරුවා ගැනීම සඳහා.

      දෙවෙනි පින්තූරේ කානු බැඳ තිබෙනවා පේනවා නේද? ඒ වැසි සමයේ බෑවුම මතින් ජලය ගලා ඒම වලක්වා, එම ජලය කානු දිගේ ඉවත් කිරීමට. එහිත් අරමුණ තමයි වැසි සමයේ බෑවුමේ ඇති පස් වලට ජලය එකතු වීම වැලක්වීම. මේ බෑවුම නිරුවතින් තිබෙන්නේ තවම හදලා ඉවර නැති නිසා. සුපුරුදු විදියට මේ බෑවුම්ත් තනකොළ වැවීමක් හෝ සිමෙන්ති ඉසීමක් සිදු වේවි.

      Delete
    3. හරි, කලුපාට කොටස ගැන අමතක කරමුකෝ මොකද මානවිකාව අනාගතේට වැඩක් වෙන කාලෝචිත කර්තව්‍යයක් නොහොත් ලස්සන කොල්ලෙක් දිහා බලා හිටපු නිසා. ඒ වැඩේ හරි ගියාද?

      හරි. ඊ ලඟට. අර අන්තිම විස්තරය නම් නියමයි. දැල එලන කතාව මට හුඟක් හිතට ඇල්ලුවා.

      මට නොතේරුනේ අර මානවිකාව කියපු 3%, 4%, 5% පරාසයේ තමයි භාවිතයට පහසු බෑවුම් කියන ඒවා. ඒවා තිරසට ආනතව අංශක වලින් කිව්වා නම් මට තේරෙනවා. අනික පාරක බැවුමක් නිර්මාණය කිරීමෙදි බලන්න ඕනෙ sight distance විතරද? ඇයි අප්පේ මිනිස්සු පටවාගත්ත වාහනයක් ඔය කන්ද අදීද, ඒ වගේම හදිසියේ කන්ද මැද්දෙ නතර කරන්න වුනොත් ආපහු පිකප් කරගන්න පුලුවන් වෙයිද වගේ දේවල් බලන්නේ නැද්ද? මගේ නම් තිහෙන ලොකුම බයක් තමයි මම ඔය වගේ ප‍ටු පාරක වාහනේ බෑවුමක ඉහලට යද්දි ඒ පාරෙම උඩ ඉඳන් කවුරුහරි ආවොත් මොකද කරන්නේ කියන එක.

      කොහොම හරි මානවිකාව ඉගෙනගන්න ක්ෂේත්‍රය නම් මගේ සිත් ගත්ත එකක්. ස්තුතියි දීර්ග විස්තරයට.

      Delete
    4. ලස්සන කොල්ල හරිම ආඩම්බරයි. ඒක හරි ගියේ නැහැ අනේ :D

      3%,4%,5% ආසන්න වශයෙන් අංශක 2ක් 3ක් තරම් කුඩායි. (මමත් මේ කල්පනා කරනවා ඒ අගයන් හරිද කියල. හරියටම අගයන් තියන guideline එකක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ට් කරන්න) ඇත්තටම පාරක තිරස් සහ සිරස් තලයේ සැලසුම් නිර්මාණය කරනකොට ගොඩක් දේවල් ගැන හිතනවා. පාරේ තත්වය සහ භාවිතය අනුව ගමන් ගන්නා වාහන වල සාමාන්‍ය වේගය නිර්ණය කරනවා. ඒ වේග සීමා වලට අදාළ sight distance, breaking distance සහ වාහනයක් විසින් තවත් වාහනයක් පසු කරගෙන යාමට අවශ්‍ය ඉඩකඩ අදාළ මාර්ගය මගින් සපිරෙනවාද බලනවා. ඒ අනුව පාර සැලසුම් කරලා ඉදි කල පසු, අපි සලකපු සාමාන්‍ය වේගයට අනුව වේග සීමාවක් නිර්මාණය කරනවා. හරියට සැලසුම් කරපු පාරක, නියමිත වේග සීමාවන් අතර ගමන් ගන්නා යහපත් තත්වයේ වාහනයකට අනතුරු සිදු විය හැකි ඉඩකඩ අවමයි. හැබැයි ඉතින් ඔය හැම දෙයක්ම සම්භාවිතාව අනුව තීරණය වෙන දේවල්. 100%ක සම්භාවිතාවක් ලබා ගැනීම ප්‍රායෝගික නැහැ.

      Delete
    5. හයිවේ විෂය ස්පෙසිෆයි කරලා ඉගෙන ගන්නා යාලුවෙක්ගෙන් මම අසා දැනගත් ආකාරයට ඩුඩ්, සාමාන්‍යයෙන් සුදුසු වන්නේ අංශක 6 ක පමණ ආනතියක් ලු. අංශක 6ක් සපයන්න බැරි අවස්ථා වලදී අංශක 8ක පමණ උපරිමයක් භාවිතා කරන්නට හැකිලු. :)

      Delete
    6. තනිකරම ඉංජිනියරින් ලෙක්චර් එකක් වගේ...:)

      මේ තියෙන්නේ මගේ බ්ලොග් රෝලේ අප්ඩෙට් වෙන සිවිල් ඉන්ජිනියරින් බ්ලොග් එකක්

      Civil engineer

      Delete
    7. ආදරෙන් පිලිගන්නවා මයියා ව මගේ බ්ලොග් එකට :)
      බොහොම ස්තුතියි මයියාට. කොමෙන්ටුවට සහ ලින්ක් එකට.

      Delete
    8. ස්තුතියි මානවිකා. ඔව්, ඔය expressway වලට අදාල gradient වෙන්න ඕනෙ. ඒවයේ කඳු ඇත්තටම පේන්නේ නැතිවුනාට එන්ජිමට තමයි දැනෙන්නෙ. නමුත් සාමාන්‍ය A grade B grade පාරවල කඳු ඔයිට වඩා හුඟක් ආනතයි.

      Delete

ජපන් කතා - කසල බැහැරකිරීම

මේ දවස් වල කුණු කතා ගොඩක් ඇදෙන නිසා, ජපානයේ කැලිකසල කළමනාකරණය පිලිබඳ මගේ අත්දැකීම් ටිකක් ලියා තබන්නට හිතුව. ජපානයේ කැලි කසල ඇතුළු බොහෝ ...