January 06, 2016

ජපන් කතා 2 - ඇරඹුම දෙවන කොටස


උදාවූ 2016 වසර, ඔබ සැමට සාමයෙන් සතුටින් සහ නිරෝගී සම්පතින් පිරුණු, සෙනෙහෙබර වසරක් වේවා.


ගිය පාර කතාව ඉවර කරපු විදියට, ගොඩක් අයට තරහ ගිහින් මඩු වලිගෙන් මට ගහන්නටත් හැදුව. කොහොමහරි, ඔන්න අද ඊළඟ කොටස දමනව. විචාරක තුමා මඩු වලිගය ගැන ලියපු ලියමනකුත් අද කියවන්නට ලැබුණ. එයත් හරිම අපූරු ලියමනක්. නමුත් එහි තිබුණු මඩු වලිගයේ රූපය දැක්කම, මට හිතුන ඉතුරු කොටස ඉක්මනට ලියන එක කෝකටත් හොඳයි කියල. දැන් වෙලාව අලුයම 2 යි. ඒත් මම මේක අදම ලියා පළකරන්නට හිතුව.


මේ කතාවේ සමහර තැන් වල සිදුවීම් නොලියා ඉන්නට සිතුවේ, ඇතැම් විට ඒ ඔස්සේ ඇති විය හැකි සිත් රිදවීම් වලක්වා ගැනීමට. නමුත් ඒ නිසා කතාවේ ගලා යාමට හානි විය හැකියි. එහෙම උනොත් සමා වෙන්න මට.


*********

කසාද බඳිනකම් විදේශ අද්‍යාපනය මට උරුම නැති බවට මගේ කේන්ද්‍රය කීවා මතකයි නේද?


අද එතැන් සිට, මේ 2015 අප්‍රේල්.

සමුද්‍රාසන්න ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ජපානය ප්‍රසිද්ධයි. ඒ නිසා මට අවස්තාවක් ලබාගන්නට හැකි වේවි යයි මට සිතුන. ඒ අනුව මම අයදුම් කරන්නට සිතුව. 2015 ඔක්තෝබර් සිට පටන් ගන්නා සමාසිකයට, ජාත්‍යන්තර අයදුම් කරුවන් ඇතුළු කරගන්නා කාල සීමාව ඉක්මවා ගොස් ඇති නිසා, මම තීරණය කලේ 2016 ඔක්තෝබර් සිට පටන් ගන්නා සමාසිකයට ඇතුළු වීමට අයදුම් කරන්නටයි.


සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථා වලදී, අයදුම් කරන්නට කලින්, අපි ඒ විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙකුට ඊ මේලයක් දාල, එහි තිබෙන අවස්ථා, එහි ප්‍රචලිත පර්යේෂණ තේමාවන්, අයදුම් කරුවන් අතර තිබෙන තරඟකාරී බව වගේ දේවල් ගැන තොරතුරු විමසන එක සිරිතක්. ගොඩක් වෙලාවට අපේ අයදුම්පත සම්බන්ධයෙන් අපට තිබෙන ගැටළු වලට ඔවුන්ගේ උපදෙස් ලබාගන්නත් පුළුවන්. ඒ වගේම සම්ප්‍රදායානුකූලව, අපි මේ විශ්ව විද්‍යාලයට තේරුනොත්, අපි සන්නිවේදනය කරපු අදාළ ආචාර්යවරයා තමයි අපේ පර්යේෂණයේ උපදේශකයා ලෙස පත් වන්නේ. ගොඩක් වෙලාවට ප්‍රමුඛ විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන්ට අපි මෙහෙම ඊ මේල් දැම්මට, රිප්ලයි එකක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මොකද කාර්යබහුල ඔවුන්ට දිනකට ලොව වටා සිසුන් ගෙන් මෙවැනි ඊ මේල් ගොඩක් එන නිසා. මම ඊ මේල් එක යවා ටික දවසක් යනතුරු පිළිතුරක් ලැබුනේ නැහැ. ඉතින් මම ඒ සම්බන්ධව හිතින් අත් හැර දැම්ම.


නමුත්, මේ ආචාර්යවරයා මට රිප්ලයි එකක් එවනව.






“දයාබර එක් මානවිකාවක්, මට ලිවීම පිලිබඳ තුති.

ඔබ කැමැත්ත ප්‍රකාශ කොට ඇත්තේ 2016 ඔක්තෝබර් සිට අපේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට බව දුටුවෙමි. ඔබට ජාත්‍යන්තර අයදුම් කරුවන්ට ලැබෙන ශිෂ්‍යත්වය ම අවශ්‍ය නම්, පවසා ඇති පරිදි 2016 ඔක්තෝබර් ඉන්ටේක් එක සඳහා අයදුම් කරන්න.

නමුත් ඔබට කැමති නම් 2015 ඔක්තෝබර් සිට අපේ විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට හැකි අතර ඒ සඳහා ජුනි මස අවසන් වීමට පෙර අයදුම් කිරීමට සිදු වේ. ජාත්‍යන්තර අයදුම්කරුවන්ගේ අයදුම් කාල සීමාව ඉක්ම ගොස් ඇති නිසා, මේ සඳහා ඔබට ලැබෙන ශිෂ්‍යත්වය, ජාත්‍යන්තර අයදුම් කරුවන්ගේ ශිෂ්‍යත්වය නොව, වෙනත් එකකි.

ඔබේ කැමැත්ත මට දන්වන්න.”


මේ ඊ මේල් එක කියවන වෙලාවේ මම හිතාගත්තේ 2016 ඔක්තෝබර් සිට ඇතුලත් වීම සඳහා අයදුම් කරන්නට. මොකද මම 2015 ඔක්තෝබර් විදේශගත උනොත්, මම වැඩ කරමින් උන්නු ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාලයේ මගේ උපදේශක ආචාර්යවරයාට වගකීම් වැඩි වන්නට ඉඩ තිබුණ.


නමුත් මට තේරුම් ගියා 2016 ට වඩා 2015 සිට පටන් ගත්තොත් කාලය ඉතිරි වෙන බව. විශේෂයෙන් 2016 සිට ඉදිරියට අවුරුදු 5ක් මාස්ටර්ස් සහ ඩොක්ටරල් රිසර්ච් සඳහා කැප කලොත් මට විවාහ වන්නට වෙන්නේ අවුරුදු 32ක් පමණ වූ පසු. 32 කිවුවට ඉතින් 32 දී මනමාලයෙක් හම්බුනත්, තොරන් බැඳලා රබන් ගහල මගුල් කනකොට මට 33ක් වත් වෙයි නේ..


ඇත්තටම මේ තීරණය ගන්නට ගොඩක් අපහසු උනා. පුද්ගලිකව මගේ ජීවිතය ගැන හිතන්නත් ඕනේ, මගේ ශ්‍රී ලාංකික ආචාර්යවරයාට එමගින් ඇති වන බලපෑම හිතන්නත් ඕනේ. ඒ ගැන හිත හිත ඉඳල, ආහාර රුචියත් නැති වෙලා ගියා. තනියම කල්පනා කරල විසඳුමක් ලැබෙන්නේ නැති බව තේරුණු නිසා, මම 2015 දී අයදුම් කලොත් මගේ ලාංකික ආචාර්යවරයාට වගකීම් වැඩි වෙනවාද යන්න ගැන මම මගේ ලාංකික විශ්ව විද්‍යාලයේ ප්‍රධානියෙකු ගෙන් විමසා බැලුව. එහෙම ගැටළුවක් ඇති වන්නේ නැති බවට ඔහුගෙන් උපදෙස් ලැබුණු නිසා 2015 ඉන්ටේක් එකට අයදුම් කරන්නටත්, කලින් හැම වතාවකදීම උනා වගේ එය අසාර්ථක උනොත් යලිත් 2016 ඉන්ටේක් එකට අයදුම් කරන්නටත් මම හිතුව.


මේ අනුව, මා 2015 ඔක්තෝබර් සිට පටන් ගන්නා මාස්ටර්ස් එකක් සඳහා අයදුම් කරන බව, සහ ඒ සඳහා තේරුනොත් මා විදේශගත වන බව, මගේ ලාංකික ආචාර්යවරයාට දන්වා, පසුව මම 2015 ඔක්තෝබර් ඉන්ටේක් එකට අයදුම් කරන්නට කැමති බවට, ජපාන ආචාර්යවරයාට දන්වා යැවුව.


ඉතුරු කොටස ඉක්මනටම දාන්නම්, එතකම් ඉවසීම පිලිබඳ ඔබට ස්තුතියි.




ප. ලි. මේ ලියමන නීරස බව මට හිතෙනව. ඔබේ අදහස් කියන්න ඒ ගැන.









21 comments:

  1. කාලයක් නොලියා හිටපු නිසා තාම හුරු මදි .ටික ටික හරියාවි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලප තුමා, කොමෙන්ටුවට.
      දිගටම ලියන්නම්, හෙමින් හෙමින් දියුණු වෙයි නේ නේද..

      Delete
  2. එහෙනම් මේ වෙනකොට කන්ජිත් එක්ක හැප්පි හැප්පි ජීවිතේ පලමු වින්ටරේ විඳිමින් ඉන්නවා ඇතැයි සිතමි.
    ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඔවු. ඔබ හරි. :)
      බොහොම ස්තුතියි ජපන් ඇනෝ, කොමෙන්ටුවට!

      Delete
  3. හ්ම් හ්ම්.. හිහි
    දාන්ටකො දාන්ටකො කතාව පුලු පුලුවං විදියට බුසිත් ඇති නෙව නෙහ්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එහෙම ගොඩක් ම බිසිත් නෑ අනේ.. අහල තියනව නේද කතාවක්, "No one is really busy, it is just a matter of priorities" කියල.
      උවමනාවක් තියනව නම්, ඕනෑම දේකට වෙලාවක් හදාගන්න පුළුවන්. මට තියෙන්නේ කම්මැලිකම. නිදියන එක තමයි ඉතින් priority එක.
      ජයවේවා!

      Delete
  4. Replies
    1. තෑන්ක් යූ සෝ මච් ඩාර්ක් ස්ටාර්!

      Delete
  5. ඒයි මේ....ඔක්කෝටම කලිං කියපං මොකක්ද සමුද්‍රාසන්න ඉංජිනේරු විද්‍යාව කියන්නෙ කියල…Marine Engineering ද?...ඒකට අපේ කාලෙ නම් කිව්වෙ නාවික ඉංජිනේරු විද්‍යාව කියල...:)

    ReplyDelete
    Replies
    1. Coastal engineering වෙන්න බැරිද?

      Delete
    2. රවී තුමා සහ චෙෆාකි: ඔව්.. Coastal Engineering තමයි. අවුරුදු හතරක ඉංජිනේරු සිසු ජීවිතය අවසන් වෙනකොට, මම පෙම් බැන්දේ breakwaters වලට.
      ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි කොමෙන්ටු වලට.

      Delete
    3. නියම සිංහල වචනේ දන්නේ නැහැ ඉතින්.. පුළුවන් විදියට පරිවර්තනය කළා.

      Delete
  6. හරි වයස හොයා ගත්තා......

    ReplyDelete
    Replies
    1. හපොයි.. හොයාගත්තට කමක් නැහැ කාටවත් කිවුවොත් හෙම ගහන්නෙ මඩු වලිගෙන්..
      හී විහිලුවට කිවුවේ.. වයස හංගන්නේ මොකටද ඉතින් නේද.

      Delete
  7. හිමිහිට ලියාගෙන යමුකෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් දිරිගැන්වීමට. හෙමින් හෙමින් ලියන්නම්කෝ.

      Delete
  8. නීරසක් නම් නැහැ.අපිත් ආසයි ජපන් විස්තර දැන ගන්ට.

    ReplyDelete
    Replies
    1. නීරස නැත්නම් එච්චරයි. ජපන් විස්තර ගොඩක් තියනවා ලියන්ට.
      හෙමි හෙමින් ලියන්නම්කෝ.

      Delete
  9. කී පාරක් ලිස්සලා වැටිලා තියෙනවද මේ වෙනකොට අයිස් උඩ? ඇඳුම් බන්ඩලේ නිසා එච්චර ගානක් නෑ නේ?

    මානවිකාවගේ ප්‍රගතිය ගැන ඉතාම සතු‍ටු වෙනවා. දැන් ජපන් බාසාවත් එක්ක ඔට්‍ටු වෙනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඩුඩ් මේ කොමෙන්ටුව දාපු දවසට පහු වෙනිද, ඒ කියන්නේ ඊයේ තමයි පළමු වතාවට හිම වැටුනේ මෙහෙට. ඒකත් උදේ පාන්දර. මම ඒත් හිම දැක්කේ නැහැ, මොකද ඒ වෙලාවේ මම නිදි. මේ කොමෙන්ටුව දමන්න ටික වෙලාවකට කලින් උෂ්ණත්වය -2 ක් කියල තිබුණ, ඒ තමයි මෙහෙ ආවට පස්සේ දැකපු අඩුම උෂ්ණත්වය. මම ඉන්නේ ටෝකියෝ වලට ටිකක් කිට්ටුව. ජපානයේ උතුරු පලාතට තරම් මෙහෙට සීතල නැහැ මගෙ හිතේ. හැබැයි තාම මම සීතලට පුරුදු නැති නිසා ඇඳුම් බණ්ඩලයක් නම් ඇඳගෙන යනවා තමයි :)

      බොහොම ස්තුතියි ඩුඩ් සුභ පැතුමට. මම දැකපු ගොඩක් ගුරුවරුන් ඔබ වගේ. කොහේ හරි කවුරු හරි ඉගෙන ගන්නවා නම් ඉතාම ආදරෙන් සුභ පතල සතුටු වෙනව. හරිම පුදුම කොමන් ගතිගුණයක් ඒක.

      ජපන් බාසාව ට ලොකු අවධානයක් ඕන නැහැ හොඳ වෙලාවට, මගේ කෝස් එක ඉන්ග්ලිෂ් මීඩියම් නිසා. හැබැයි ඉතින් බස් වල යන්න, කඩෙන් බඩු ගන්න එහෙම, ජපන් භාෂාව දැන හිටියොත්, පහසුයි.

      Delete
  10. කථාව ලස්සනයි, දිගටම ලියන්න.

    ReplyDelete