March 31, 2017

ජීවිතය, අතහැරිය යුතු තැනක් නොවේ

ෆේස්බුක් හි දුටු විප්‍රකාර කිහිපයක් පිලිබඳ ලියන්නට සිතා සිටියත්, කම්මැලිකම නිසා කල් දැමුණු ඒ සිදුවීම් දැනටමත් පරණ වී ඇති නිසා, කාලීන මාතෘකාවක් ගැන ලියන්නට සිතුවෙමි.


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂිත පරිදි නොලැබීම නිසා සිසුන් කිහිප දෙනෙකු සිය දිවි නසාගැනීම/නසා ගන්නට උත්සාහ කිරීම පිලිබඳ, පුවත් කිහිපයක් දුටිමි. සාමාන්‍ය පෙළ විභාගය ඇත්තටම අසමත් වන්නට අමාරු තරමේ පහසු විභාගයකි. නමුත්, එසේ අසමත් වූ පමණින්, අප මරණය ප්‍රර්ථනා කල යුතුද?



වැඩි කතාවකට පෙර, මේ දිගු වීඩියෝව බලන්නට අසන්නට, මම ඔබට ආරාධනා කරමි. මුල සිට අගටම නරඹන්නට අවශ්‍ය නැති නිසා, කරුණාකර මිනිත්තු 8:40 සිට මිනිත්තු කිහිපයක් ඉදිරියට නරඹන්න.





වීඩියෝව දිගු නිසාම, නරඹන්නට අපහසු අයට, එහි අන්තර්ගතය කියවා දැනගන්නට, පහත දක්වා තිබේ.



"ප්‍රංශයේදී, පැරිසියේ, කොන්ඩේ කපන තැනක, මම දවසක් ගිය වෙලාවක, අවුරුදු 98 ක ආච්චි කෙනෙක්, එයාගේ කොන්ඩේ ඉතිරි වෙලා තියන කෙස් ගස් ටිකට දම් පාට ගානවා, නැගිටින්න බෑ. මට හිතෙනවා, වල පයයි ගොඩ පයයි, කොයි වේලාවෙද දන්නේ නෑ. ඇයි මේ කොන්ඩේ පාට කරන්නේ?



ඇය කොන්ඩේ පාට කරලා ඉවර වෙලා, කණ්ණාඩිය දිහා බලාගෙන, කල්පනාකරනව, බලනව, හැඩවෙනව.


ජීවිතය කවදාකවත් අතහැරිය යුතු තැනක් නෙවෙයි. කිසිම මොහොතක ඔබ ජීවිතය අවසන් කියල, අත්හරින්න එපා.

කොයි මොහොතේ හෝ, බලාපොරෝත්තු වෙච්ච ආශාවන් කඩ වුණා නම්, කොයි මොහොතෙ හරි ඔබට පුළුවන් ඒක නැවත පටන්ගන්න. භග්න ආශා, බිඳුණු ආශා, කවදාවත් සදාකාලික නෑ. අලුතින් පටන් ගන්න පුළුවන්."

සාමාන්‍ය පෙළ ලියන සිසුන් මේ බ්ලොග් එක කියවාවි යැයි මා නොසිතන නමුත්, දරුවන් සිටින දෙමාපියන් කිහිප දෙනෙක් හෝ මෙය කියවාවි යැයි මම සිතමි..



පොහොසතුන්, උගතුන් බිහි කිරීම පසෙක ලා, අපි පිරිපුන් මිනිසුන් තනන්නට පටන් ගත යුතු වෙමු.



*****

උසස් පෙළ සමයේ, එක්තරා ටියුෂන් ගුරුවරයෙක් කියූ කතාවක්, මගේ මතකයට නැගේ.

හොඳ රිසල්ට් එකක් ඕන නම්, කැම්පස් යන්න ඕන නම්, ඉන්ජිනීරින්ග් යන්න ඕන නම්, මේ දවස් වල වැඩ කරන්න. ඒ සඳහා මහන්සි වෙන්න තියෙන්නේ මේ ටික දවස විතරයි. විභාගේ ලිවුවට පස්සේ, ප්‍රතිඵල ආවට පස්සේ හිත කරදර කරගෙන වැඩක් නෑ.

ප්‍රතිඵල ආවම, දිස්ත්‍රික් රෑන්ක් කොළෙත් අරන් හැම අවුරුද්දෙම මාව හම්බෙන්න අඩුම තරමේ එක සිසුවෙක් හෝ  එනවා මයි. 

"බලන්න සර්, මට ඉන්නේ ඉන්ජිනීරින් යන්න වැට උඩ නේ.."

ලිස්ට් එක දිහා බලාගෙන ඔවුන් මෙහෙම කියනවා.

"සර්, මෙයා ගෙදර ඔක්කොමත් එක්කම රට ගියා.. කැම්පස් යන්න ආයේ ලංකාවට එන්නේ නැහැ"

"සර්, මේ මෙයත් රිසල්ට් වලින් පිට රට කැම්පස් එකකට යන කතාවක් කියලා තිබුණ, මෙහෙ ඇප්ලයි කරන එකක් නැහැ"

"සර්, මෙයා ගිය පාර රිසල්ට් එකෙන් ෆිසිකල් සයන්ස් රෙජිස්ටර් වෙලා ඉන්නේ. මේ පාර ඉන්ජිනීරින් තේරුණාට යන්න බැහැ"

.....................

මේ විදියට යනකොට ඔවුන් මෙහෙමත් කියාවි දැයි මට හිතෙනව,

"සර්, මේ ළමයා හාර්ට් ඇටැක් එකක් හැදිලා මැරේවි නේද?"

.....................


තමන් එක්ක එකට ඉන්න සිසුන්ගේ රෑන්ක් සමග, ප්‍රතිඵල ආවට පසු තමන්ව සංසන්දනය කරගෙන ස්ට්‍රෙස් වෙලා වැඩක් නෑ. ඔබ ආස කරන කෝස් එක කරන්න ඕන නම්, විභාගයට පෙර වැඩ කරන්න.

අපේ වාසනාවට, මේ වගේ කතා කියන ගුරුවරුන් අපට ලැබී තිබිණි.

*****


උසස් පෙළ සමයේ, හැම වෙලේම පොතක් දිහා බලාගෙන, ගණන් සදමින් සිටින මා දිහා ටික දිනක් බලාගෙන සිටි තාත්තා මට මෙසේ කීවේය.

"පොඩ්ඩි, විභාගේ කියන්නේ හැමදේම නෙවෙයි. ඔයාට පුළුවන් හැටියට කරන්න. පාස් උනත්, ෆේල් උනත්, අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා."

දිනක් උදෑසන ඇහැරී වෙලාව බැලූ විට, පන්ති යන්නට ප්‍රමාද වී ඇති බව දැනගෙන, මම අම්මාගෙන් මාව අවදි කලේ නැත්තේ මන්දැයි ඇසුවෙමි.

"චූටා ඊයේ රෑ වෙනකම් පාඩම් කළා නේ. මට අවදි කරන්න ලෝබ හිතුණ."

නමුත්, කලබලෙන් ඇඳ පැළඳගෙන මම පරක්කු වී හෝ එදත් පන්තියට ගියෙමි.


*****

එදිනෙදා ජීවිතයේ වියදම් හොයන්නටත්, දූවරුන් දෙදෙනෙක් ම හිටි අපේ පවුලේ අනාගතය වෙනුවෙන් වෙහෙසන්නටත්, දෙමවුපියන් වෙහෙසෙන හැටි අපි අපේම දෑසින් දුටුවෙමු. ඒ නිසාම, අපි ඉගෙනීමට ආස කළෙමු.

නමුත් අපේ අක්කාගේ යෙහෙළියකට මෙන්,

"මේ පාර මෙඩිසින් සිලෙක්ට් නොවුනොත්, බෙල්ල කපලා ඔලුව ගේට්ටුවේ ගහනවා"


යැයි නොකියා, අපිව කරුණාවෙන් උනන්දු කරන්නට, අපේ දෙමවුපියෝ සමත් වූහ. අපේ වාසනාවට, දුකත් සැපත් එකසේ දරන්නට හුරු කෙරූ, මෙවැනි දෙමවුපියන් අපට ලැබී තිබිණි.

*****

විභාගයක් අසමත් වීම හිතට දුකකි, එය සැබෑය.

දරුවෙකුගේ විභාග ප්‍රතිඵල අසන නෑ පිරිවර හා අසල්වාසීන් ඉදිරියේ, දෙමාපියන් අසරණ වෙති. එම අසරණ කම දෙමවුපියන්ට දුකකි. එයත් සැබෑය.

නමුත් මේ කිසිම දුකක්, මෙතරම් කල් උස් මහත් කළ දරුවාගේ මරණය ඇසුණු විට, දකින විට දැනෙන දුක තරම් දුකක් නොවේ...

*****

"ජීවිතය කවදාකවත් අතහැරිය යුතු තැනක් නෙවෙයි. කිසිම මොහොතක ඔබ ජීවිතය අවසන් කියල, අත්හරින්න එපා."






9 comments:

  1. උසස් අධ්‍යාපන අවස්ථා වල සීමිත කම නිසා ගොඩක් අය විශාල ආතතියකින් තමයි විභාගලට මුහුණ දෙන්නෙ. විභාගෙට මොකක් වුණත් තියෙන අනිකුත් අවස්ථාවල් සහ වෙන මාර්ග වලින් ජීවිතය ජයගත්තු අයගෙ උදාහරණ යොදාගෙන මනස උද්දීපනය කරන දවස් භාගෙක වත් වැඩ මුළුවකට මේ විභාග වලට ඉදිරිපත්වෙන කාලයේ ළමයින්ව යොමුකරන්න අදහසක් ඉස්කෝල වලට හන්දුන්වා දෙන්න මේ මරණ ටික මුල් වුණොත් හොඳක් වෙයි.

    ඔබගේ දෙමව්පියන් ඔබ විභාග කරන කාලේ මනස හදන්න කරල තියෙන දේවල් නම් අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. ඔව් විෂය නිර්දේශයේ නැති ගොඩක් දේවල් ගැන නිකම් බැන බැන ඉන්නේ නැතුව පාසල් මට්ටමින් කරන්න පුළුවන් දේවල් තියනවා.. අපි 10,11 වසර වල ඉන්නකොට, පාසලෙන් සංවිධානය කරපු ප්‍රජනක සෞඛ්‍ය ගැන වැඩසටහන් ගොඩක් තිබුණා, එකක් ඉදිරිපත් කලේ පාසලෙන්ම බිහි වෙලා දැන් හෙදියන් විදියට වැඩ කරන සොයුරියන් පිරිසක්..

      ඒ වගේම, විභාග බය ගැන දැනුවත් කරන්නත්, නොයෙක් විදියට ජීවිත ජයගත් අය ගැන දැනුවත් කරන්නත්, කටයුතු කරන්න බැරි කමක් නෑ.. ඒ ඔක්කොටම වඩා, අපි ළමුන්ට ආදරේ කරන්න උගන්නන්න ඕන කියල මට හිතෙනවා.. මෙහෙම සිය දිවි නසාගන්නේ, තමන්ට වත්, අනුන්ට වත්, ආදරේ කරන්න නොදන්නා කම නිසා නේ.

      Delete
  2. බොහොම අපූරු ලිපියක් මැඩම්...

    ජීවිතය අත් නොහරින්න...සපුරාම එකඟයි. ඒ වගේම ඔබ වන් දක්ෂ ලේඛිකාවන් ලිවීමද අතහැරිය යුතු නැත...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී තුමා.. ලියමු ලියමු හෙමිහිට :)

      Delete
  3. "ජීවිතය අත් නොහරින්න...සපුරාම එකඟයි. ඒ වගේම ඔබ වන් දක්ෂ ලේඛිකාවන් ලිවීමද අතහැරිය යුතු නැත...:)" ++++

    ReplyDelete
  4. ඊයේ ඔබේ සටහන අඹගහයටදි දැක්කාම එක පාරට කවුද මේ කියලා හිතාගන්නත් බැරි වුනා. ඒ තරම් කාලයක් ඔබ නොලියලා කියලා තේරුනේ ප්‍රොෆයිල් එකට ගියාමයි.
    උඩින් රවී කිවුවා වගේ ඔබ වැනි අය ලියන එක නතර කරන එක නම් ජීවිතේ අතාරිනවා වගේ වැඩක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රංගි.. ආයේ හෙමීට ලියන්නම් කෝ :)

      Delete
  5. "පොඩ්ඩි, විභාගේ කියන්නේ හැමදේම නෙවෙයි. ඔයාට පුළුවන් හැටියට කරන්න. පාස් උනත්, ෆේල් උනත්, අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා."

    මනවිකාගේ දෙමව්පියෝ කිව්ව දේ ඇත්ත. මට මගේ අතීතය මතක් වුණා... අපේ අම්මා හැමදාම මට කිව්වේ, "උත්සහ කරන්න, බැරි උනොත් තාත්තා වගේ වෙන්න.(අපේ තාත්තා මෝටර් කාර්මිකයෙක්) ඒකට කමක් නෑ. ඒත් ගුණ යහපත්කම් දන්න මනුස්සයෙක් වෙන්න" කියලයි.....

    අම්මා මට නොදැනී මගේ පිටුපසින් හැමදාම හිටියා. ඒත් කවදාවත් පාඩම් කරන්න, ලොකු ලොක්කෙක් වෙන්න කියලා නම් බල කලේ නැහැ.

    එහෙම මට මානසික වධයක් වෙන විදියට බල කළා නම්, කවදාවත් මට ඉංජිනේරුවෙක් වෙන්න නම් බැරිවේවි. :-D

    ReplyDelete