May 06, 2013

ඔබ වඩා හොඳින් සිතන්නේ කොහිදීද?

"ඔබ වඩා හොඳින් සිතන්නේ කොහිදීද?"

මේ මම මෑතකදී කියවපු පොතක විස්තර කරලා තිබුණු මාතෘකාවක්. ඒ ඇසුරෙන් තමයි මට මේ පොස්ට් එක ලියන්න හිතුනේ. මම කියවපු සිංහල පරිවර්තනයේ නම, "අදහස්". එම පරිවර්තනයට පාදක වෙලා තියෙන්නේ, ෆ්‍රෙඩ්රික් හරේන් (Fredric Haren) විසින් රචිත The Idea Book නමැති, අන්තර්ජාලයෙන් නොමිලේ බාගත කළ හැකි නව ආරක ඉංග්‍රීසි පොතක්.

interesting.org ආයතනයෙන්, සමාජ මෙහෙවරක් ලෙස ප්‍රකාශනය කරන ලද මේ පොත, සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ, එම්. එච්. එම්. යාකූත් සමග ලීලා වික්‍රමරත්න. නව ආරකින් සිතීමට උගන්වන මේ පොත, නව ආරකින් ලියවුණු කියවීමට රුචිය ඇති කරන පොතක්.

මේ පොතට අනුව, නිර්මාණශීලී අදහස් බිහිවීමට හේතු වන, B අකුරු හතරක් ගැන ආචාර්යවරු සඳහන් කරනවා ලු. ඒ තමයි,
  • Bars (තැබෑරුම්)
  • Bathrooms (නාන කාමර)
  • Buses (බස් රථ)
  • Beds (සයන)
 මේ පොත ලියන ෆ්‍රෙඩ්රික් හරේන්, එම ලැයිස්තුවට තවත් B අකුරක් එකතු කරනවා. ඒ තමයි Boring meetings (නීරස රැස්වීම්). ඉතින් කලබල වෙන්න එපා, ෆ්‍රෙඩ්රික් හරේන්ට අනුව මේ නීරස රැස්වීම් අපට උදව් වෙනවා රැස්වීමට කොහෙත්ම අදාළ නැති වෙනත් මාතෘකාවක් පිළිබඳ නිර්මාණශීලී අදහස් උපද්දන්නට.

 මේ පොතේ තවදුරටත් සඳහන් වන ආකාරයට,  බීතෝවන් ඔහුට අවශ්‍ය මානසික උත්තේජනය ලබාගෙන තිබෙන්නේ, සීතල වතුර ඔලුවට වත්කර ගැනීම මගින්. අයින්ස්ටයින්ට රැවුල බාන විටදී, බොහොම වටිනා අදහස් පහළ වෙලා තියනවා ලු. (අයින්ස්ටයින් කවදාවත් රැවුල බෑවේ නැත්නම්, මොනවා වේවිද නේද) මේ අපූරු පොතේ රචකයා, ෆ්‍රෙඩ්රික් හරේන්ට නව අදහස් පහල වෙන්නේ, ඔහු ගමනේ යෙදී සිටින විටදී ලු.

විවිධ වැඩමුළු වලදී, කතුවරයා විසින් විවිධ මිනිසුන්ගෙන් ඇසුවා ලු, ඔවුන්ට නව අදහස් පහළ වෙන්නේ කොහේදිද යන වග. විවිධාකාර පිළිතුරු ලැබුනත්, නව අදහස් පහළ වන්නේ තමන් වැඩ කරන විටදී බව එකදු අයෙකු වත් පැවසුවේ නැතිලු.

ඉතින් ව්‍යායාම, විනෝදාංශ සහ නින්ද, අපේ කායික මානසික නිරෝගීකම උදෙසා පමණක් නොවේ, අපේ දියුණුවටත් හේතු වනවා නේද කියල මේක කියවපු මට හිතුණ.



පසු සටහන.
මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ, මම අහපු දැකපු දේවල් මතින්, සමාජයට යහපත් පණිවුඩයක් ලබා දෙන්නට. උදාහරණයක් විදියට, මම මීට කලින් පබ්ලිෂ් කරලා තිබුණු පෝස්ට් එකෙන් මට උවමනා වුනේ, job satisfaction ගැන කතා කරන්නට, කතා කරන්නටම පමණයි.
මැස්සෙක් වත් වහන්නෙ නැති අප්‍රසිද්ද බ්ලොග් එකක් පාවිච්චි කරලා කාටවත් මඩ ගහන්නට මට උවමනා නැහැ. 
මම දන්නා පරිදි ඩ කියන්නේ, යම් පුද්ගලයෙක් නොකරපු වරදක් එම පුද්ගලයා කරපු බවට, ඒ පුද්ගලයාව දන්න පිරිසකට කිය කිය යන එක. එහෙමත් නැත්නම්, යමෙකුගේ මුහුණු පොතේ හෝ ගූගල් හි ගිණුමකට බලෙන් ඇතුළු වී වෙන අයෙකු අපහසුතාවයකට පත් කරන ආකාරයේ කොමෙන්ටු දමන එක වගේ දේවල්. මම එවැනි දේවල් කලේ නැහැ. කොහොම උනත් කිසිම කෙනෙක් අපහසුතාවයකට පත් කරන්න කැමති නැති නිසා, මම ඒ පෝස්ට් එක ඉවත් කළා. කිසියම් අයෙකු ඒ පෝස්ට් එක නිසා අපහසුතාවයකට පත් වුණා නම්, හදවතින් ම සමාව ඉල්ලා සිටිනව මම.







14 comments:

  1. මේ පෝස්ටුවනම් නියමයි.. පසු ලිවිම තේරෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේ පැත්තේ ආවාට සහ දිරි දීමට.
      පසු ලිවීම දැනට ඉවත් කර ඇති මගේ කලින් පෝස්ටුවක් නිසා හිත රිදුන අයගෙන් සමාව ගැනීම උදෙසා ලියුවක්.

      Delete
  2. අර බී අකුරු 4නම් ඇත්තම තමා! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න රජතුමා ඇවිත්... සාදරයෙන් පිලිගන්නවා..
      මම ඔබේ බ්ලොග් එකේ රසිකයෙක්, හැමදාම එන්න මේ පැත්තේ.
      සැරද මහරජ !

      Delete
  3. මටත් නියම අදහස් පහල වෙන්නේ බාත් රූම් එකේදි. ඒ හැර ජොග් කරනකොටත් හොඳම අදහස් පහල වෙනවා. :)

    ReplyDelete
    Replies
    1. ව්‍යායාම කරන අතරතුරදී සහ දරුවන් සමග සෙල්ලම් කරන විටදී අලුත් අදහස් පහළ වන බව, කතුවරයාගේ වැඩමුළු වලට සහභාගී වුනු ගොඩක් අයත් කියා තිබෙනවා ලු.
      විවේක වෙලාවක කියවන්න හොඳම පොතක්..

      Delete
  4. කෝච්චියේදී, ඒ වගේම බාත් රූම් එකේදි අදහස් පහළ වෙනවා තමයි. හැබැ‍යි මට නම් වැඩියෙන්ම අදහස් පහල වෙන්නේ පොත් පත් කියවනකොට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට සහ කොමෙන්ටුවට.
      අපට නව අදහස් පහළ වන ආකාරය එකිනෙකාට වෙනස් නේද.

      Delete
  5. හොද පොස්ට් එකක්. හොද බ්ලොග් කරණයකට ආරම්භයක්. දිග ගමනක් යන්නට සුභපතනවා. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට සහ කොමෙන්ට් කලාට.
      මේ වගේ කොමෙන්ටුවක් ලොකු ශක්තියක්, ආධුනික බ්ලොග් රචකයෙකුට. නැවතත් ස්තුතියි.

      Delete
  6. මුල් බී එක ඇරෙන්න අනික් ඔක්කෝම ඇත්ත මට සාපේක්ෂව. විශේෂයෙන්ම නාද්දී වගේම බස් එකේ යද්දී තමයි හුඟක් අලුත් අයිඩියා එන්නේ මට නම් :D

    ReplyDelete
    Replies
    1. හසිත අමද්‍යප බව වහෙන් ඔරෝ කිවුව නේද.. බොහොම සන්තෝසයි :)
      ඔව් ගොඩක් අයට මේවයින් එකක් හෝ හරි යනවා.

      Delete
    2. වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියන්නම්කෝ. මේ තාක් දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය කිසිම දෙයක් මම පාවිච්චි කරලා නැහැ කියලා බොහොම ආඩම්බරෙන් කියන්නේ. ඉස්සරහටත් එහෙමයි. දැන් අවුරුදු 25 කුත් වෙන්න ආවා :D

      Delete
    3. එහෙනම් හසිත මගේ සම වයසේ විය යුතුයි.
      ඔබ පමණක් නෙවෙයි, මමත් දුම්වැටි මත්ද්‍රව්‍ය කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ මේ ජීවිත කාලය තුල. :)

      Delete