August 18, 2014

යකා දත් ගහපු හැටි

රවී තුමාගෙ බ්ලොග් පෝස්ට් එකට දාපු කොමෙන්ටුවට පිළිතුරු විදියට ඉල්ලීම් කීපයක්ම ලැබිල තිබුණ යකා දත් ගහපු හැටි කියන්න කියල. ඉතින් කියල දාන්න හිතුව.

මේක ඇත්තටම මම පුංචි කාලෙ තාත්ත මට කියල දීපු කතාවක්. කාලයේ වැලි තලාවෙන් මතකය වැහිල ගිහිල්ල, උඩින් පල්ලෙන් විතරයි මතක. ඒ මදිවට අමතක වුණු ටික අහගන්න තාත්තත් ළඟ නැහැ.

කාලයේ වැලි තලාවෙන් වැහිල ගිහිපු නැති ඉතුරු බිතුරු ටික එකතු කරල, මදි පාඩු ටික අතිනුත් දාල මේ ලියන්නෙ. ජන කතාවකට වඩා මේක දැන් ප්‍රබන්ධයක් වේගෙන එන්නෙ. ඇත්ත ජන කතාව හොඳින් මතක කෙනෙක් ඉන්නවා නම්, කියවන්නන්ගේ හිත සුව පිණිස පහළ කමෙන්ට් කරන්න, ඇනෝ කෙනෙක් ලෙස හෝ. ඉතින් ඔන්න කතාව.


******************************

ගමරාල කෙනෙකුත් ගම මහගෙ කෙනෙකුත් එක්තරා ලස්සන ගමක ජීවත් වුණා. මේ ගම මහගෙ වියන රෙදිපිළි ගමරාල විසින් විකුණලා, ඒ ලැබෙන ආදායමෙන් මේ දෙන්න කාටවත් අත නොපා හොඳට කාල ඇඳල හිටිය.

මේ ගමරාලගෙ දත් බොල්ලෑ වෙලා ඉස්සරහට ඇවිත් තිබුණ, ඒ නිසාම වගේ ගමරාල ටිකක් විරූපියි. හැබැයි මේ ගමරාල පිනට දහමට ලැදි, බොහොම ගුණ යහපත් මනුස්සය. ගම මහගේ නම් බොහොම සිරියාවන්තයි, ඒ නිසාම ආඩම්බරයි. කිසිම කෙනෙකුට වැඩි උදවුවක් නැහැ. හැබැයි මේ දෙන්න දෙමහල්ලො බොහොම සමගියෙන් සමාදානයෙන් ජීවත් වුණා.


පින්තූරය http://www.123rf.com/stock-photo/old_man_cartoon.html වෙතින්

ඔන්න එක දවසක් ගමරාල රෙදි වෙළඳාමෙ යනකොට, අතරමගදි බොහොම දුප්පත් මනුස්සයෙක් මුණගැහුණ. මේ මනුස්සය කොයි තරම් නම් දුප්පත්ද කියනව නම්, ඇඳගෙන හිටපු ඇඳුම් ඉරිල ගිහිල්ල. ඒ ඇඳුම් ගැලපෙන්නේ ඇඳගෙන ඉන්න නෙවෙයි, ඒව හොඳටම දිරපු රෙදි පාන්කඩ කඩමාලු.

මේ දුප්පත් මනුස්සයව දැකපු ගමරාළගේ හිත බොහොම උණු උණා. ගමරාල විකුණන්න අරගෙන යමින් හිටි හොඳම ඇඳුම් කට්ටලය මේ දුගියාට තිළිණ කළා. ඔහු බොහොම ස්තුති පූර්වකව මේ ඇඳුම් කට්ටලය භාර ගත්තා. කරපු පරිත්‍යාගය ගැන හරිම සතුටින්, පින්වත් සිතුවිලි වලින් හිත පුරවගෙන, ගමරාල හවස ගෙදර ගියා.

දවස් ගණනක් පුරා මහන්සි වෙලා, හොඳ මිලක් බලාපොරොත්තුවෙන් තමන් නිමකළ ඇඳුම් කට්ටලය, ගමරාල විසින් දුගියෙකුට නොමිලේම පරිත්‍යාග කර ඇති බව දැනගත් ගමහාමිනේට හොඳටම කේන්ති ගියා. ඇයට කොතරම් නම් කේන්ති ගියාද කියතොත්, ගමරාළව ගෙදරින් එළවලාම දැම්මා.

ගෙදරින් පිටමන් වෙලා ගමරාල ඔළුව හැරුණු අතේ ඇවිද්දා. ඔහොම ඇවිදගෙන යනකොට දන්නෙම නැතුව රෑ වුණා. ගමරාලට ළඟපාත නවතින්න තැනක් තිබුණෙත් නැහැ. කොහොමහරි නවාතැනක් හොයාගන්න අදහසින් ගමරාල හඳ එළියෙන් හෙමින් හෙමින් ගමන් ගත්ත. මෙහෙම ඇවිදිනකොට, එක පාරටම පාර මැද්දෙන් ලොකු ගලක්, වෙනද තිබුණෙ නැති විදියෙ ලොකු ගලක් මතුවෙලා තියනව දුර්වල හඳ එළියෙන් ගමරාල දැක්ක.

පාර හරහට තියන ගල් වල ඔළුව ගහගන්න වැඩි කැමැත්තක් නැති ගමරාල, එළිය වැටෙනකම් නිදාගෙන පහුවදා ගමනේ ඉතුරු ටික යන්න හිතාගෙන ළඟ පාත තිබුණු අම්බලමක නිදා ගත්තා. ගමරාල දන්නේ නැති උනාට, මේ අම්බලම තියන ප්‍රදේශයට අරක් ගනිපු යකෙක් හිටිය. මේ යකාගේ ආහාර පුරුදු ටිකක් අමුතුයි. තද නින්දේ ඉන්න මිනිස්සුන්ගේ කටේ තියන දත් ගලවගෙන, ඒ දත් වල තියන ඉඳුල් සූප්පු කරල කාල, ඒ දත් නැවත සවි කරල සද්ද නැතුව යන එක තමයි යකාගේ ආහාර පිළිබඳ ප්‍රතිපත්තිය.

දවස පුරාම ඇවිදපු මහන්සියට ගමරාලට කටත් ඇරගෙන හොඳටම නින්ද ගියා. රෑ වෙනකොට යකා අම්බලමට ආවා. සුපුරුදු පරිදි යකා ආහාර ගන්න පටන් ගත්තා. අරහෙන් මෙහෙන් ඉස්සරහට ඇවිත් තිබුණු, ගමරාලගෙ කහ ගැහිච්ච බොල්ලෑ දත් ටික ගලවගෙන, ඒ දත් වල තිබුණු ඉඳුල් සූප්පු කරල කාපු යකා නැවත දත් ටික සවි කරල යන්න ගියා. දත් ටික නැවත සවි කරනකොට, යකා කොච්චර පිළිවෙළකට දත් ටික සවි කළාද කියනව නම්, ගමරාළගේ බොල්ලෑ ගතිය නැති වෙලා ගියා. තවදුරටත් ඉඳුල් ගතිය නැති නිසා දත් සුදුම සුදු පාට වුණා.

පහුවෙනිද උදේ අවදි වුණාම ගමරාලට වෙනසක් දැනුණ. ඒත් වෙනස මොකක්ද කියල බලන්න ගමරාල ළඟ කණ්ණාඩියක් තිබුණේ නැහැ. කලින්දා රෑ පාර හරහා තිබුණු කළු ගල, අලියෙක් බව ගමරාලට දැනගන්න පුළුවන් වුණේ, වංගෙඩි වගේ අඩි සලකුණු දැක්කාමයි. අලි ගැවසෙන පෙදෙසක නිකරුණේ ගැවසිලා මැරුම් කනවට වඩා, ගම හාමිනේ ගෙන් බැණුම් අහන එක සැපයි කියල තීරණය කරපු ගමරාල, ආපහු ගෙදර ගියා.
 
පින්තූරය http://www.123rf.com/search.php?word=elephant+cartoon&imgtype=0&t_word=&t_lang=en&oriSearch=elephant වෙතින්



පිළිවෙලකට තියෙන, ලස්සන සුදු පාට දත් එක්ක ගෙදර ආපු ගමරාල දැක්කම ගම හාමිනේට හරිම පුදුමයි. තමන් අම්බලමේ නිදාගෙන නැගිටිනකොට වෙනසක් දැනුණු බවත්, වෙන කිසිම අමුත්තක් සිදු නොවූ බවත් ගමරාල කිවුවා. මේක අහපු ගමහාමිනේටත් මේ ගමන යන්න ආශා හිතුණ. ගමහාමිනේගේ දත් වල කිසිම ඇදයක් පලුද්දක් නැති බව ගමරාල යළි යළිත් කියද්දීත්, ගමහාමිනේ හිතුවක්කාර ලෙස ගමන යන්නට පිටත් වුණා.

හවස් වෙනකොට ගමහාමිනේ අම්බලම ළඟට ආව. එදත් කලින් දවස වගේම මහා සද්දන්ත ඇත් රාජයා පාර හරහා බුදි. ගම හාමිනේත් ගමන් මහන්සියට සුපුරුදු පරිදි නින්දට වැටුණ. යකාත් සුපුරුදු පරිදි ඇවිත්, ගම හාමිනේ ගේ දත් ටික ගලවල අතට අරන් එකින් එක සූප්පු කරන්න පටන් ගත්ත.

ඔය අතරෙ මොකක්දෝ අහේතුවකට ඇත් රාජයා අවදි වුණා. අවදි වෙලා හෙමි හෙමින් ඇවිදින්න පටන් ගත්තා. ඇත් රාජයා අවදි වෙච්ච බව දැනගෙන යකාට හොඳටම බය හිතුණ. යකා බය වෙලා දුවන්න ලැස්ති වෙලා, කලබලෙන් දත් ටික නැවත ගම හාමිනේගේ කටට දමා ගැසුව. එදාඉඳන් ගම හාමිනේ විරූපී කෙනෙක් වුණා. බොරු ආඩම්බරකම් නැති වෙලා ගිහින්, අනිත් අයට උදවු කරන හොඳ කෙනෙක් බවට ගම හාමිනේ වෙනස් වුණා.







August 11, 2014

You leave me breathless

ඉර පායාගෙන එනව, සීතල හුළඟ හමනව, චිත්‍රයක් වගේ නිශ්චලව තියෙන නගරය මැදින්, වේගෙන් වේගෙන් දුවගෙන වගේ ඇවිදගෙන මම ස්ටේසම දිහාවට යනව.

සෙනග මැද්දෙන් පෝලිමේ ගිහින් ටිකට් එක අරගෙන, පොරකාල කෝච්චියට නගින හැමෝම නැගල ඉවර වෙනකම් ඉඳල අන්තිමටම කෝච්චියට නගින මට, හැමදාම වගේ අදත් සීට් එකක් හොයාගන්න පුළුවන් උනා.

"මේ ගාල්ල දුම්රිය ස්ථානයයි. පළමුවන වේදිකාවේ නවතා ඇති ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රිය පෙරවරු හතයි විසිපහට කොළඹ කොටුව සහ මරදාන බලා ධාවනය වන බව මගීන් කරුණාවෙන් සලකන්න. දුම්රිය නවත්වන්නේ හික්කඩුව, අම්බලන්ගොඩ, බෙන්තොට, අලුත්ගම, දකුණු කළුතර, පානදුර, මොරටුව, ගල්කිස්ස, කොළඹ කොටුව සහ මරදාන. තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් දෙවන පන්තියේ ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් මගීන් එසේ කිරීමෙන් වලකින්න"

කෝච්චිය ගාල්ලෙන් පිටත් වුනා.. සෙනග පිරුණු දුම්රිය මැදිරියට කුඩා දරුවන් දෙදෙනෙකු සමග පැමිණි විදේශික කාන්තාවක් මැසිවිලි කියන්නට පටන් ගත්තා.. සිත වෙහෙස කරවන ඝෝෂාව සහ කන්දොස්කිරියාවන් මැදින් දුම්රිය නොසැලී ටික දුරක් ඉදිරියට යනකොට, මට ඉස්සරහින් හිටගෙන හිටි තරුණ යුවලක් මගේ නෙතු පැහැර ගත්තා.

කලක් පෙම්වතියකව සිටි මට, තරුණ ජෝඩු දුටු විට ඉරිසියාවෙන් ඔවුන් දෙස බලා පවු පුරවගන්නට හිතුනේ නැහැ. ඒ නිසා ස්වභාවයෙන්ම මම ජෝඩු දිහා බලන්නේ නැහැ. නමුත් මේ දෙදෙනා කොතරම් ආදරෙන් වෙලී සිටියාද යත්, මගේ නෙතු මට හොරා එහි නැවතුනා.


පින්තූරය http://ptitevalentine-be.blogspot.com/2013/01/lovely-hug-couple.html වෙතින්

සෙනඟ පිරුණු දුම්රියේ වගක් වත් නැතිව හිටගෙන, තම පෙම්වතාගේ පපුවට ඔලුව වාරු කරගෙන ඇය නිදි. සෙනඟ පිරුණු දුම්රියේ වගක් වත් නැතිව හිටගෙන, සැප නින්දක පසු වන තම පෙම්වතිය තුරුළු කරගෙන ඔහු අවදියෙන්, ඇයව ආරක්ෂා කරනව.

තනිකඩ මගෙ හිතට ඉරිසියා හිතේවි කියා මට හිතුනත්, පුදුමයකට වගේ එහෙම උනේ නැහැ. ඒ සොඳුරු දසුනින් හිත පුරවගෙන, ගීතයක් අසන්නට මම දෙනෙත් පියා ගත්ත.

If our love was a fairy tale
I would charge in and rescue you
On a yacht baby we would sail
To an island where we'd say I do

And if we had babies they would look like you
It'd be so beautiful if that came true
You don't even know how very special you are

You leave me breathless
You're everything good in my life
You leave me breathless
I still can't believe that you're mine
You just walked out of one of my dreams
So beautiful you're leaving me
Breathless

And if our love was a story book
We would meet on the very first page
The last chapter would be about
How I'm thankful for the life we've made

And if we had babies they would have your eyes
I would fall deeper watching you give life
You don't even know how very special you are

You leave me breathless
You're everything good in my life
You leave me breathless
I still can't believe that you're mine
You just walked out of one of my dreams
So beautiful you're leaving me

You must have been sent from heaven to earth to change me
You're like an angel
The thing that I feel is stronger than love believe me
You're something special
I only hope that I'll one day deserve what you've given me
But all I can do is try
Every day of my life

You leave me breathless
You're everything good in my life
You leave me breathless
I still can't believe that you're mine
You just walked out of one of my dreams
So beautiful you're leaving me
Breathless





පින්තූරය http://www.landscapinggallery.info/sweet-cartoon-couples-images/sweet-cartoon-couples-images.html වෙතින්







April 27, 2014

බෝඩිම් හොයපු හැටි - 2

.
“බබාල මට හිනා වෙනව නේද?”

අත ළඟයි කියපු බෝඩිම හොයාගෙන අපි යනවා යනවා යනවා. කෙළින් යනවා, හැරිලා යනවා, ආපු පාර අපට මතක නැති තරම්.

“මේ ආපහු යන්නේ කොහොමද”

“අපරාදේ පාර දිගේ කොළ අතු කඩ කඩ එන්න තිබුනේ”

“දැන් නම් තව ටිකකින් කලුවරත් වැටේවි”

ඇත්තටම “යනවා යනවා ඉවරයක් නැහැ” කියන යෙදුම මම ප්‍රායෝගිකව අත්වින්දා ඒ ගමනේදී.

 මේ දෙබස් නුහුරුයි වගේ නම්, මෙතනට ගිහින් මතකය අලුත් කරගෙන එන්න...

******** 
අන්තිමටම, සියලු බිය දුරු කරමින්, සැක නිමා කරමින්, අප සිටියේ සුවිසල් නිවසක් අබියස. 


අද එතැන් සිට...

බලෙන්ම වගේ අපේ කතා නායිකාව වෙච්ච ඇන්ටි, අපිව ඒ ගෙදර අයිති කාන්තාවට අඳුන්වල දුන්න. 

"කාමරේ තියෙන්නෙ උඩ, අපි ගිහින් බලමු, කාමරේ දැනට නම් පොඩි බඩු වගයක් දාල තියෙන්නෙ, අස් කරල දෙන්නම්කො ඔයාලට"

පඩි පෙලෙන් උඩට නැගපු අපට දිස් වුනේ බඩු වලින් පිරුණු කුඩා කාමරයක්.

"ආන්ටි, අපි මේ හය දෙනෙකුට තමයි බෝඩිමක් හෙවුවෙ"

"ආ... ඇතුලේ කාමරේත් තියනව, ඒකත් එක්ක නම් හය දෙනෙකුට ඉන්න පුළුවන් වෙයි, පොඩ්ඩක් ඉන්නකො මම හස්බන්ඩ් ගෙන් අහල කියන්නම්, එතකම් ඔයාල වාඩි වෙලා ඉන්න"

මෙච්චර වෙලා ඇවිදගෙන ඇවිත් දැනුනු මහන්සිය නිසා, වාඩි වෙන්න ලැබුණු ඇරයුම දැනුනේ හරිම මිහිරි විදියට.. අපි ඉතින් වාඩි වෙලා හති ඇර ඇර හිටිය. ටික වෙලාවකින් ගෙදර අයිති ආන්ටි ආව.

"අනේ ඇතුලෙ කාමරේ දෙන්න නම් මහත්තය කැමති නැහැ, එයා ටීවී එක බලනවා මෙතන ඉඳන්, ඉතින් එයාට ඩිස්ටර්බ් නේ"

"ඉතින් ඔය බබාල තුන්දෙනා මෙහෙ ඉන්නකෝ අනිත් බබාල තුන් දෙනාට වෙන බෝඩිමකට යන්න කියල" ඔන්න එතකොටම අපේ කතානායක ඇන්ටි හඬ අවදි කළා.

"අනේ එහෙම බැහැනේ ඇන්ටි"

තුන් දෙනෙකුට ඉන්න නෙවෙයි, හය දෙනාටම ඉන්න ඉඩ දුන්නත් ඒ ගෙදර ඉන්න අමාරුයි අපට.. උදේ හවස දිනපතා අර කුඹුර මැදින් දිය කඩිත්ත උඩින් යන්නේ කොහොමද.. හරි නම් දැන් අපි කල යුත්තේ නැගිට, ඇයට ස්තුති කර පිටව යාමයි. නමුත් දැනුනු වෙහෙස විසින් අපව අසරණ කළා.

"අනේ ආන්ටි, අපි ටිකක් මහන්සි අඩු වෙනකම් වාඩි වෙලා ඉඳල ගියාට කමක් නැහැ නේද"

"ආ.. කමක් නැහැ.. මේ සිත්ති, ඔයා කොයි පැත්තෙන්ද මෙයාලව එක්කගෙන ආවෙ"

"මම වෙල පැත්තෙන් ආවෙ නෝනා, මෙයාලට ෂෝට් කට් එක පෙන්නන්නත් එක්ක"

කතා නායක ඇන්ටි ගේ ෂෝට් කට් එක විසින් අපේ උතුර දකුණ මාරු කර ඇති බව ඇයට තේරුම් යන්න ඇති..

"සිත්ති, ඔයා යනකොට මේ මිස්ලව පන්සල පැත්තෙන් එක්කන් යන්න"

පින්තූරය http://www.123rf.com/clipart-vector/buddhist_temple.html වෙතින්


******** 
ආපසු එන්න හිතාගෙන අපි එලියට බැස්ස. දැන් ආයෙත් ඇන්ටි ඉස්සරහින් යනව, අපි පිටිපස්සෙන් යනව. ඔහොම යනකොට ලොකු වඩු මඩුවක් හම්බුනා, එහි වඩු මහතෙක් වැඩ කරමින් සිටි හිටියා. ඇන්ටි හඬ අවදි කළා.

"මේ ළමයි කැම්පස් එකේ, බෝඩිමක් හොයනවා"

"ඉතින් මට මොකද" කියන බැල්මකින් ඒ මනුස්සය අපි දෙස බලද්දි, අපි බිම බලාගෙන හෙමීට ඇන්ටිගේ පස්සෙන්ම ආව, ඇත්තටම යලි ප්‍රධාන පාරට එන හැටි දන්නේ කතානායක ඇන්ටි පමණයි, ඉතින් අපි ඇගේ පස්සෙන් යන්න ඕන.

ඇන්ටි ලොකු රවුමක් එක්කගෙන ගිහින් අන්තිමට අපිව පන්සල ලඟට එක්කගෙන ආව. පන්සල දැක්කම ගෙදර දැක්ක වගේ සතුටක් දනුනෙ, ඒ ගමනේ අපිට හමුවුණු, කලින් ඉඳන් දැන හිටි එකම ස්ථානය එය පමණක් නිසා.

ප්‍රධාන පාරට ආවට පස්සෙ අපට තේරුණා, අපේ කතානායක ඇන්ටි විසින්, බෝඩිම කැම්පස් එකට ලඟයි කියලා අපට පෙන්නන්න, අපිව ලොකු රවුමක් එක්කගෙන ගිහින් තියෙන බව..

පහල පින්තූර බලන්නකො,


එයා අපිව එක්කගෙන ගියේ මෙහෙම


අපි ආපහු ආවෙ මෙහෙම





හරි මිනිහෙක් නම් එයාට අපිව එක්කගෙන යන්න තිබුණ මෙහෙම

ඇන්ටි දැනගෙන හිටිය පහලම තිබෙන රූපෙ විදියට අපිව එක්කගෙන ගියා නම්, අපිට බෝඩිම තියෙන්නේ කැම්පස් එකේ ඉඳන් ගොඩක් දුරින් බව තේරිලා, එයාගෙ පස්සෙන් එන්න කැමති වෙන්නෙ නැති බව. ඒ නිසා එයා මුලින්ම බෝඩිම කැම්පස් එකට ළඟ බව පෙන්නන්න බොරුවට කැම්පස් එක පැත්තට අපිව එක්කගෙන ගිහින්, පසුව දිග පාරේ ගියා..


********

පන්සල ලඟට ආවට පස්සෙ, අපේ අනිත් යාළුවො තුන් දෙනාගෙන් කෙනෙක් කෝල් කළා මට..

"මේ... ඔයාල කොහෙද ඉන්නෙ? ඇයි කවුරුවත් ෆෝන් ආන්සර් කරන්නෙ නැත්තෙ? අපි මේ ඔයාලව හොයන්න ෆස්ට් ලේන් එකට ආව.. ඔයාල ඉන්න තැන කියන්න, අපි එතනට එන්නම්"

"නෑ නෑ ෆස්ට් ලේන් එකේ ඇතුලට යන්න එපා.. අපි මේ පන්සල ළඟ ඉන්නෙ. 255 පාරෙ ඉන්න අපි එනකම්" 

මම කෝල් එක කට් කලාම, මගෙ ලඟින් හිටපු අය මෙහෙම ඇහුව.

"එයාල බලන්න ගිහිපු ගෙදර හරිද දන්නේ නැහැ නේද"

"මට ඒක නම් අහන්න බැරි වුනා නෙ"

"ගිහින් බලමුකෝ"



අපි අපේ යාලුවන්ව හම්බෙන්න පිටත් වුනා. අපි යනකොට යාළුවො තුන්දෙනා පාර අයිනට වෙලා අපි එනකම් බලන් ඉන්නවා..ඔවුන් අපි ගැන හොඳටම බය වෙලා.

"ඔයාල කවුරුවත් ෆෝන් ආන්සර් කලේ නැහැ. ඒ ඇන්ටි කිවුවේ බෝඩිම තියෙන්නේ ෆස්ට් ලේන් එකේ කියලනෙ, ඉතින් අපි ෆස්ට් ලේන් එකට ගියා. ඒක පටන් ගන්න හරියෙම තට්ටු දෙකේ ගෙයක් තිබුණ. අපි එතන ඉස්සරහට වෙලා ඉඳගෙන උඩ තට්ටුව දිහා බලාගෙන කෝල් ගත්ත. මානවිකා විතරයි ආන්සර් කලේ. අපි හිතුවෙ කවුරුහරි ඔයාලව ඒ ගෙදර උඩ තට්ටුවෙ හිරකරගෙන කියල"

 අපේ බෝඩිම බලන්න ගිහිපු විස්තරේ අපි ඔවුන්ට කිවුවා. ඊට පස්සේ ඔවුන් බලන්නට ගිහිපු නිවස ගැන අපි ඇහුව.

"ඔයාල ගිහිපු ගෙදර කොහොමද"

"ඒ මනුස්සය අලුත්ගම ඉඳන් එන ගමන් නෙ හිටියෙ, කොහොමහරි අපි කෝල් කලාම එයා කටුබැද්දේ කිවුව. ඉතින් අපි ටිකක් වෙලා මග ඉන්නකොට, එයා ඇවිත් අපිව එයාගෙ ගෙදරට එක්කගෙන ගියා. ගොඩක් දුර ගියා කොහොමහරි ඒ පැත්තේ යන්න ටිකක් බයත් හිතුන, පොඩි පොඩි ගෙවල් එක ළඟ වගේ තියෙන්නෙ. අපිට දෙන්න හදපු ගෙදරත් අපි කට්ටියට ඉන්න අමාරුයි වගේ, තාප්ප ගේට්ටු නැහැ"

පින්තූරය http://www.123rf.com/search.php?word=house&imgtype=2&t_word=&t_lang=en වෙතින්

 "ඉතින්?"

"එයා ගෙදර ලඟටම ගිහින් ගෙදර දොර අරින්න බලනකොට, එයා ළඟ යතුර තිබුනේ නැහැ.. එයා යතුර අලුත්ගම ගෙදර දාල ඇවිත් ලු"

"හපොයි, ඉතින්"

"එයා යතුරක් ඉල්ලන් එන්නම් කියල අල්ලපු ගෙදරට ගියා.. අපි බලන් ඉන්නවා ඉන්නවා එයා එන්නේ නැහැ.. බැරිම තැන අපි හිතුව ආපහු එන්න, අපි ඒ අල්ලපු ගෙදර කිට්ටුවට ගිහින් කෑගහල අපි යන බව එයාට කියනකොට එයා ඒ ගෙදර ඉඳන්ම අපට කිවුව ටිකක් ඉන්න කියල"

"ඊට පස්සෙ?" 

"අපි ආපහු බලන් හිටිය.. හවස් වෙනවා ටිකින් ටික, මදුරුවොත් කනව අපිව. ඔහොම බලන් ඉන්නව ඉන්නව ඒ මනුස්සය එන පාටක් නැහැ. බැරිම තැන අපි නොකියම එන්න ආව. අපි එනව දැකපු ඒ මනුස්සය කෑගහන්න ගත්ත, "ළමයිනේ... ඔහොම ඉන්න" කියල. ඒ උනාට අපි ආව අනේ"

ඔන්න ඔය විදියට එදා දවසෙ අපේ උත්සාහය වතුරෙ ගියා..



මගේ බ්ලොග් එකේ හිට්ස් 2000 පසු කළා. ඉතින් මගේ බ්ලොග් අඩවිය බලන්න පැමිණ කොමෙන්ට් දැමූ සහ නොදැමූ ඔබ සැමට ස්තුතියි..


පින්තූරය http://www.glitters123.com/glitters/thank-you/ වෙතින්












April 21, 2014

බෝඩිම් හොයපු හැටි 1

අවසන් වසරේ විභාග වලින් පස්සේ, අපට හොස්ටල් එකේ තවත් ඉන්නට අවසර තිබුණේ නැහැ, අපට පහළ වසරේ නංගිලා මල්ලිලා කණ්ඩායම හොස්ටල් එකට එන්න කලින් අපට හොස්ටල් එකෙන් පිටමං වෙන්නට උපදෙස් ලැබුණ. තාවකාලික උපදේශකවරියක ලෙස විශ්ව විද්‍යාලයේම නැවතීමට තීරණය කරපු මමත්, මම වගේම විශ්ව විද්‍යාලය අවටම නවාතැන් සොයන තවත් මිතුරියන් තුන් දෙනෙකුත් එකතු වුණේ විශ්ව විද්‍යාලය අවටින් කට්ටියටම නවාතැනක් සොයා ගැනීම සඳහා.
 
පින්තූරය http://www.toonvectors.com/clip-art?similar-to=cartoon-coloring-book-small-house-39024 වෙතින්


අලුතින් පළමු වසර කණ්ඩායම් දෙකක් ළඟ ළඟම විශ්ව විද්‍යාලයට ඇතුළු වූ නිසා, බොහෝ නවාතැන් වල ඉඩ කඩ තිබුණේ නැහැ, ඉඩ තිබුණු නවාතැන් වලත් ඉඩ තිබුණේ උපරිම දෙදෙනෙකුට පමණයි. ඔය විදියට යන එන මං නැතුව ඉන්න අතරේ අපට ආරංචි වුණා අක්කලා දෙදෙනෙක් නිවසක යට තට්ටුව කුලියට ගැනීමට යන බව. හය දෙනෙකුට ඉඩ ඇති එහි නැවතීම සඳහා ඇය තවත් හතර දෙනෙකු සොයමින් සිටියා.

ඔවුන් සමග එකතු වී එම නිවසේ යට තට්ටුව කුලියට ගැනීමට සිතා, තොරතුරු කතා කරගැනීමට එහි ගියත්, අපට නිවසේ අයිතිකරුවන් හමුවීමට ලැබුණේ නැහැ. කොහොම උණත් හිස් අතින් අනිත් පැත්තට හැරිලා එන්නට බැරි නිසා අපි තීරණය කළා ඒ අක්කා පත්තර වලින් එකතු කරගත් කුලියට දීමට ඇති අනිත් ගෙවල් වලට කතා කරලා බලන්නට.

ඔහොම හොය හොයා කෝල් කර කර යනකොට, අපි කෝල් කරපු එක ගෙදරකින් මෙහෙම කියුව. “කටුබැද්දෙ ගෙදර වහල දාල අපි අලුත්ගම ඉන්නෙ, හෙට ගෙදර බලන්න එනව නම් කියන්න, මම ඇවිත් ගෙදර පෙන්නන්නම් ඔයාලට”

පින්තූරය http://www.toonvectors.com/clip-art?similar-to=cartoon-coloring-book-small-house-39024 වෙතින්

බලපු වෙන එකදු ගෙදරක වත් ඉඩ නොතිබුණු නිසාත්, ලයිස්තුවේ තිබුණු ඉතුරු ගෙවල් පිහිටියේ විශ්ව විද්‍යාලයට දිනපතා ඇවිදගෙන එන්න බැරි තරම් දුරකින් නිසාත් අපි තීරණය කළා පහුවදා ඒ ගෙදරට ගිහින් බලන්නට.

********


පහුවදා


සුපුරුදු පරිදි හවස 5 ට අපි එකතු වුණා බෝඩිමක් හොයන්න යන්නට. මුලින්ම ගියේ කලින් කියපු නිවස බලන්න තමයි. දවල් කතා කරගත් පරිදි ගෙදර අයිතිකාරයා අලුත්ගම සිට දැන් මග එනවා අපට නිවස පෙන්නන්නට. ප්‍රධාන පාරේ ටික දුරක් ගිහිපු අපි, ලිපිනයේ සඳහන්ව තිබුණු අතුරු පාරට හැරී දැන් යනවා අදාළ නිවස හොයාගෙන.

ඔහොම යන අතරේ පාරේ ගිහිපු ගැහැණු කෙනෙක් අපිව දැකලා අපෙන් ඇහුවා මෙහෙම. “බබාලා බෝඩිමක් ද හොයන්නේ? මම වැඩකරන ගෙදර කාමරයක් තියෙනවා, හය දෙනෙකුට ඉඩ තියනවද කියල ඇවිත් කතා කරගන්න, දැන් මාත් එක්ක එන්න. ගෙදර තියෙන්නේ පස්ට් ලේන් එකේ.. බබාලට මේ තරම් දුරත් නැහැ, කැම්පස් එක අත ළඟ”

“ඇන්ටි අපි මේ තව ගෙයක් බලන්න යන ගමන්. දැන් එහෙ යන්න ඕන නේ. එහෙනම් ඇන්ටි ගේ ෆෝන් නම්බර් එක දෙන්න, අපි කතා කරන්නම්”

“ෆෝන් එකෙන් කතා කළාට බබාලා ඇන්ටිව හොයාගන්නේ කොහොමද? දැන් එන්න මේ ගමන්ම, ඔක්කොම එන්න බැරි නම් තුන්දෙනෙක් එන්න”

ඇන්ටිගෙ කරදරෙන් බේරෙන්න බැරි තැන, අපි හය දෙනා තුන්දෙනා බැගින් දෙකට බෙදුණා. කොටසක් පත්තරේ තිබුණු ගෙදර හොයාගෙන ගියා, මමත් ඇතුළුව තවත් දෙදෙනෙක් ඇන්ටිගේ පසුපසින් ගියා.

ඇත්තටම චකිතයක් නොදැනුණා නොවෙයි, මේ මනුස්සයා අපිව කොහේ එක්කන් යාවිද? විශ්ව විද්‍යාලය අවට පාර තොටේ ටිකක් කරක් ගහල පුරුදු වුණත්, මේ ඇන්ටි කියන ෆස්ට් ලේන් එක කලින් අසා තිබුණත්, අපි කවුරුවත් ඒ පාරේ පුරුදුකාරයෝ නෙවෙයි. ඇන්ටි දිගටම කතාව.

“ඒ ගෙදර අලුත් පිට ගෙදර, බාත්රූම් කොමඩ් ඔක්කොම තියනව, ගණන් හිලවු නම් කොහොමද දන්නෙ නැහැ, ඒවා බබාල කතා කරගන්න, වාහන යන ලොකු පාරක් තියෙනවා, තව පොඩි ෂෝට් කට් එකකුත් තියනවා, මම ෂෝට් කට් එකෙන් එක්කන් යන්නම් බබාලට පාර දැනගන්නත් එක්ක, මේ ෂෝට් කට් එකෙන් ගියාම කැම්පස් එක අත ළඟ”

ෆස්ට් ලේන් එකේ ටිකක් දුර ඇවිදන් ගිහිපු ඇන්ටි, එක පාරට පාළු ඉඩමක් ළඟ නැවතුණා.

“ඔහොම ඉන්න බබා, හරකෙක් එනවා”

ඉඩම මැදින් ආපු හරක යනකම් බලන් ඉඳපු අපි, ඇන්ටිගේ පස්සෙන් ඉඩම මැදින් වැටුණු අඩිපාර දිගේ ඉදිරියට ඇදුන. ඉඩම කෙළවරේ පුංචි දිය කඩිත්තක්, ඒ මතින් පුංචි පාලමක්. පාලම පහු උණාට පස්සේ නියරක් උඩින් වැටුණු අඩිපාරක්. අපි තුන්දෙනාම තිගැස්සුන.

“මේ කොහෙද මේ? මට නම් බයයි මේ පාරේ යන්න..” ඒ මම.

“මෙහෙම පාරකින් යන බෝඩිමක නැවතුනත් මේ පාරේ අපි තනියම යන්නේ කොහොමද” ඒ මගේ යාළුවෙක්

“සාරි ඇඳන් මේ පාරේ යන්නේ කොහොමද නංගී මම” ඒ අපේ අක්ක කෙනෙක්.

“අනේ මේ, මොනවහරි උණොත් කෙළින්ම අනිත් පැත්තට හැරිල දුවන්න බලන් යමු, හරිද” ඒ මම.

“නංගිල දෙන්න දුවනකොට සාරි ඇඳන් මම දුවන්නේ කොහොමද” ඒ අර අක්ක.

“නෑ නෑ අපි තුන් දෙනෙක් ඉන්නවා නේ බය වෙන්න එපා”

"මේ පාරෙ ගියාම කැම්පස් එකට අත ළඟයි කිවුවේ, ඇන්ටිගේ අත කොච්චර දිගද දන්නේ නෑ"

"ඒක තමයි.. හි හි.."

පාළු කුඹුර මැදින් යනකොට දැනෙන බය යටපත් කරගෙන අපිට විටින් විට සිනහ පහළ වුණේ මේ ගමනේ තිබුණු අක්කරතැබ්බ ගතිය නිසා වෙන්න ඇති. ඇන්ටි පිටිපස්ස හැරුණ.

“බබාල මට හිනා වෙනව නේද?”

අත ළඟයි කියපු බෝඩිම හොයාගෙන අපි යනවා යනවා යනවා. කෙළින් යනවා, හැරිලා යනවා, ආපු පාර අපට මතක නැති තරම්.

“මේ ආපහු යන්නේ කොහොමද”

“අපරාදේ පාර දිගේ කොළ අතු කඩ කඩ එන්න තිබුනේ”

“දැන් නම් තව ටිකකින් කලුවරත් වැටේවි”

ඇත්තටම “යනවා යනවා ඉවරයක් නැහැ” කියන යෙදුම මම ප්‍රායෝගිකව අත්වින්දා ඒ ගමනේදී.

********

අන්තිමටම, සියලු බිය දුරු කරමින්, සැක නිමා කරමින්, අප සිටියේ සුවිසල් නිවසක් අබියස.
 
පින්තූරය http://www.toonvectors.com/clip-art?similar-to=cartoon-coloring-book-small-house-39024 වෙතින්

ගෙදරදී සිදු වූ දේ.. ඊළඟ කොටසින්..