August 18, 2014

යකා දත් ගහපු හැටි

රවී තුමාගෙ බ්ලොග් පෝස්ට් එකට දාපු කොමෙන්ටුවට පිළිතුරු විදියට ඉල්ලීම් කීපයක්ම ලැබිල තිබුණ යකා දත් ගහපු හැටි කියන්න කියල. ඉතින් කියල දාන්න හිතුව.

මේක ඇත්තටම මම පුංචි කාලෙ තාත්ත මට කියල දීපු කතාවක්. කාලයේ වැලි තලාවෙන් මතකය වැහිල ගිහිල්ල, උඩින් පල්ලෙන් විතරයි මතක. ඒ මදිවට අමතක වුණු ටික අහගන්න තාත්තත් ළඟ නැහැ.

කාලයේ වැලි තලාවෙන් වැහිල ගිහිපු නැති ඉතුරු බිතුරු ටික එකතු කරල, මදි පාඩු ටික අතිනුත් දාල මේ ලියන්නෙ. ජන කතාවකට වඩා මේක දැන් ප්‍රබන්ධයක් වේගෙන එන්නෙ. ඇත්ත ජන කතාව හොඳින් මතක කෙනෙක් ඉන්නවා නම්, කියවන්නන්ගේ හිත සුව පිණිස පහළ කමෙන්ට් කරන්න, ඇනෝ කෙනෙක් ලෙස හෝ. ඉතින් ඔන්න කතාව.


******************************

ගමරාල කෙනෙකුත් ගම මහගෙ කෙනෙකුත් එක්තරා ලස්සන ගමක ජීවත් වුණා. මේ ගම මහගෙ වියන රෙදිපිළි ගමරාල විසින් විකුණලා, ඒ ලැබෙන ආදායමෙන් මේ දෙන්න කාටවත් අත නොපා හොඳට කාල ඇඳල හිටිය.

මේ ගමරාලගෙ දත් බොල්ලෑ වෙලා ඉස්සරහට ඇවිත් තිබුණ, ඒ නිසාම වගේ ගමරාල ටිකක් විරූපියි. හැබැයි මේ ගමරාල පිනට දහමට ලැදි, බොහොම ගුණ යහපත් මනුස්සය. ගම මහගේ නම් බොහොම සිරියාවන්තයි, ඒ නිසාම ආඩම්බරයි. කිසිම කෙනෙකුට වැඩි උදවුවක් නැහැ. හැබැයි මේ දෙන්න දෙමහල්ලො බොහොම සමගියෙන් සමාදානයෙන් ජීවත් වුණා.


පින්තූරය http://www.123rf.com/stock-photo/old_man_cartoon.html වෙතින්

ඔන්න එක දවසක් ගමරාල රෙදි වෙළඳාමෙ යනකොට, අතරමගදි බොහොම දුප්පත් මනුස්සයෙක් මුණගැහුණ. මේ මනුස්සය කොයි තරම් නම් දුප්පත්ද කියනව නම්, ඇඳගෙන හිටපු ඇඳුම් ඉරිල ගිහිල්ල. ඇඳුම් ගැලපෙන්නේ ඇඳගෙන ඉන්න නෙවෙයි, ඒව හොඳටම දිරපු රෙදි පාන්කඩ කඩමාලු.

මේ දුප්පත් මනුස්සයව දැකපු ගමරාළගේ හිත බොහොම උණු උණා. ගමරාල විකුණන්න අරගෙන යමින් හිටි හොඳම ඇඳුම් කට්ටලය මේ දුගියාට තිළිණ කළා. ඔහු බොහොම ස්තුති පූර්වකව මේ ඇඳුම් කට්ටලය භාර ගත්තා. කරපු පරිත්‍යාගය ගැන හරිම සතුටින්, පින්වත් සිතුවිලි වලින් හිත පුරවගෙන, ගමරාල හවස ගෙදර ගියා.

දවස් ගණනක් පුරා මහන්සි වෙලා, හොඳ මිලක් බලාපොරොත්තුවෙන් තමන් නිමකළ ඇඳුම් කට්ටලය, ගමරාල විසින් දුගියෙකුට නොමිලේම පරිත්‍යාග කර ඇති බව දැනගත් ගමහාමිනේට හොඳටම කේන්ති ගියා. ඇයට කොතරම් නම් කේන්ති ගියාද කියතොත්, ගමරාළව ගෙදරින් එළවලාම දැම්මා.

ගෙදරින් පිටමන් වෙලා ගමරාල ඔළුව හැරුණු අතේ ඇවිද්දා. ඔහොම ඇවිදගෙන යනකොට දන්නෙම නැතුව රෑ වුණා. ගමරාලට ළඟපාත නවතින්න තැනක් තිබුණෙත් නැහැ. කොහොමහරි නවාතැනක් හොයාගන්න අදහසින් ගමරාල හඳ එළියෙන් හෙමින් හෙමින් ගමන් ගත්ත. මෙහෙම ඇවිදිනකොට, එක පාරටම පාර මැද්දෙන් ලොකු ගලක්, වෙනද තිබුණෙ නැති විදියෙ ලොකු ගලක් මතුවෙලා තියනව දුර්වල හඳ එළියෙන් ගමරාල දැක්ක.

පාර හරහට තියන ගල් වල ඔළුව ගහගන්න වැඩි කැමැත්තක් නැති ගමරාල, එළිය වැටෙනකම් නිදාගෙන පහුවදා ගමනේ ඉතුරු ටික යන්න හිතාගෙන ළඟ පාත තිබුණු අම්බලමක නිදා ගත්තා. ගමරාල දන්නේ නැති උනාට, මේ අම්බලම තියන ප්‍රදේශයට අරක් ගනිපු යකෙක් හිටිය. මේ යකාගේ ආහාර පුරුදු ටිකක් අමුතුයි. තද නින්දේ ඉන්න මිනිස්සුන්ගේ කටේ තියන දත් ගලවගෙන, දත් වල තියන ඉඳුල් සූප්පු කරල කාල, දත් නැවත සවි කරල සද්ද නැතුව යන එක තමයි යකාගේ ආහාර පිළිබඳ ප්‍රතිපත්තිය.

දවස පුරාම ඇවිදපු මහන්සියට ගමරාලට කටත් ඇරගෙන හොඳටම නින්ද ගියා. රෑ වෙනකොට යකා අම්බලමට ආවා. සුපුරුදු පරිදි යකා ආහාර ගන්න පටන් ගත්තා. අරහෙන් මෙහෙන් ඉස්සරහට ඇවිත් තිබුණු, ගමරාලගෙ කහ ගැහිච්ච බොල්ලෑ දත් ටික ගලවගෙන, දත් වල තිබුණු ඉඳුල් සූප්පු කරල කාපු යකා නැවත දත් ටික සවි කරල යන්න ගියා. දත් ටික නැවත සවි කරනකොට, යකා කොච්චර පිළිවෙළකට දත් ටික සවි කළාද කියනව නම්, ගමරාළගේ බොල්ලෑ ගතිය නැති වෙලා ගියා. තවදුරටත් ඉඳුල් ගතිය නැති නිසා දත් සුදුම සුදු පාට වුණා.

පහුවෙනිද උදේ අවදි වුණාම ගමරාලට වෙනසක් දැනුණ. ඒත් වෙනස මොකක්ද කියල බලන්න ගමරාල ළඟ කණ්ණාඩියක් තිබුණේ නැහැ. කලින්දා රෑ පාර හරහා තිබුණු කළු ගල, අලියෙක් බව ගමරාලට දැනගන්න පුළුවන් වුණේ, වංගෙඩි වගේ අඩි සලකුණු දැක්කාමයි. අලි ගැවසෙන පෙදෙසක නිකරුණේ ගැවසිලා මැරුම් කනවට වඩා, ගම හාමිනේ ගෙන් බැණුම් අහන එක සැපයි කියල තීරණය කරපු ගමරාල, ආපහු ගෙදර ගියා.
 
පින්තූරය http://www.123rf.com/search.php?word=elephant+cartoon&imgtype=0&t_word=&t_lang=en&oriSearch=elephant වෙතින්



පිළිවෙලකට තියෙන, ලස්සන සුදු පාට දත් එක්ක ගෙදර ආපු ගමරාල දැක්කම ගම හාමිනේට හරිම පුදුමයි. තමන් අම්බලමේ නිදාගෙන නැගිටිනකොට වෙනසක් දැනුණු බවත්, වෙන කිසිම අමුත්තක් සිදු නොවූ බවත් ගමරාල කිවුවා. මේක අහපු ගමහාමිනේටත් මේ ගමන යන්න ආශා හිතුණ. ගමහාමිනේගේ දත් වල කිසිම ඇදයක් පලුද්දක් නැති බව ගමරාල යළි යළිත් කියද්දීත්, ගමහාමිනේ හිතුවක්කාර ලෙස ගමන යන්නපිටත් වුණා.

හවස් වෙනකොට ගමහාමිනේ අම්බලම ළඟට ආව. එදත් කලින් දවස වගේම මහා සද්දන්ත ඇත් රාජයා පාර හරහා බුදි. ගම හාමිනේත් ගමන් මහන්සියට සුපුරුදු පරිදි නින්දට වැටුණ. යකාත් සුපුරුදු පරිදි ඇවිත්, ගම හාමිනේ ගේ දත් ටික ගලවල අතට අරන් එකින් එක සූප්පු කරන්න පටන් ගත්ත.

ඔය අතරෙ මොකක්දෝ අහේතුවකට ඇත් රාජයා අවදි වුණා. අවදි වෙලා හෙමි හෙමින් ඇවිදින්න පටන් ගත්තා. ඇත් රාජයා අවදි වෙච්ච බව දැනගෙන යකාට හොඳටම බය හිතුණ. යකා බය වෙලා දුවන්න ලැස්ති වෙලා, කලබලෙන් දත් ටික නැවත ගම හාමිනේගේ කටට දමා ගැසුව. එදාඉඳන් ගම හාමිනේ විරූපී කෙනෙක් වුණා. බොරු ආඩම්බරකම් නැති වෙලා ගිහින්, අනිත් අයට උදවු කරන හොඳ කෙනෙක් බවට ගම හාමිනේ වෙනස් වුණා.







17 comments:

  1. හෙහ්,හෙහ්, ඒකයි එහෙනං යකා දත් ගහපු කතාව නේද?

    ඔය දත් එහෙං එකයි මෙහෙං එකයි තියන කෙල්ලොන්ට අපි කිව්වෙ " ඔක්කොම හොඳයි බං, ඒත් දත් වහල්ලනෙ වැඩේ, යකා අමනාපෙට පොල් හිටවල වගේ "

    ReplyDelete
    Replies
    1. යකා අමනාපෙට පොල් හිටවපු කතාවත් මේ වගේ එකක් වෙන්න ඇති නේද.. මම ඒක නම් අහල නැහැ

      Delete
  2. ඒකත් අර තිරිහන් වෙන උල්පතෙන් දිය බීපු ගම මහගෙට වුණා වගේ හුටප්පරයක් නේද...
    හිහි..
    ගැහැණු නොවැ..
    ආයෙ මොනාද

    ReplyDelete
    Replies
    1. ලස්සන වෙන්න තිරිහන් වෙන්න දඟලන්නෙ ගෑනු විතරයි කියලද හිතන් ඉන්නෙ ?

      Delete
  3. හුටා. එහෙමත් එකක්ද? එතකොට දන්ත වෛද්‍ය සාස්තරේ පැවත එන්නේ යකෙක්ගෙන් නේද?

    ඔය වගේම හදිස්සියට දමලා ගහපු නිසාලුනේ කජු ගෙඩියෙත් ඇටේ එලියෙ තියෙන්නේ අනිත් හැම ගෙඩියෙම ඇටේ ඇතුලේ තියෙද්දි.

    ReplyDelete
    Replies
    1. කජු ගෙඩියේ කතාව මම අදමයි ඇහුවෙ ඩුඩ්

      Delete
  4. මැයි, ජුනි, ජූලිම නිදාගෙන ඉඳලා ඇති යන්තම් ආයෙත් අවදි උනා.
    දිගටම ලියන්න මානවිකා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... ඔව් ලොකු නින්දක හිටියා. බලමු පුළු පුළුවන් විදියට ලියනවා දිගටම

      Delete
  5. මේකම වෙන වර්ෂන් එකකින් අහල තියෙනවා... මේකත් නරකම නැහැ වගේ..

    ReplyDelete
    Replies
    1. ඒ වර්ෂන් එකත් කිවුව නම් අගෙයි

      Delete
  6. අෆ්ෆ. මෙහෙම කතාවක් මම මේ ඇහුවමයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමෙන්ටුවට දිනේෂ්

      Delete
  7. ඉල්ලීම ඉටු කලාට බොහොම ස්තූතියි.රසවත් කතාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලප තුමා..

      Delete
  8. හි හි ෂෝයි කතාව මන් අදමයි ඇහුවේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔමා කොමෙන්ටුවට

      Delete
  9. අඩේ මම හිතාගෙන හිටියේ දත් බඳින ශිල්පය චීන්නුගේ වැඩක් කියලා.අදනේ බොලේ දන්නේ මේක මේ යකෙක්ගේ වැඩක් කියලා...:)

    ReplyDelete