January 27, 2018

මල් සමග දවසක්


අපේ ආදරණීය රවී තුමා මෙන්න මේ පහළ තියන ෆොටෝ එක බුකියේ ෂෙයාර් කොරලා තිබුණා නෙව.


දම් පැහැති මල් පිරුණු ගසක් ඉහත දැක්වේ.

එතුමා කොහොමත් හිටපු ගමන් ලස්සන ලස්සන ලෑන්ඩ්ස්කේප් ෂෙයාර් කරලා අපි වගේ කම්මැලිකමේ ඉන්න පණුවන්ට නලියන්න ඉඩකඩ හදල දෙනව.

කොහොමහරි ඔය ෆොටෝ එක දැක්කම මටත් මතක් උනා බොලේ මමත් මෙහෙම තැනකට ගියා නෙවද කියල. ඉතින් ඒ කතන්දරේ බ්ලොග් එකේ ලියන්න හිතුණ.

මේක ලියන්න මුල් වුණේ රවී තුමා නිසා, අපි මේ පෝස්ට් එකයි, ඒකෙ තියන මලුයි ඔක්කොම රවී තුමාට පුද කරමු. කමක් නෑ නේ? (කොහොමත් මේ දවස් වල එක සීරුවට අර අනන්‍යගේ කතාව ලියන නිසා මලක් දෙකක් දීල මනුස්සයව ශේප් එකේ තියා තියන එකත් හොඳයි)

මම මේ ලඟදි දවසක ට්‍රිප් එකක් ගියා කේම්බ්‍රිජ් සරසවියට ගිහින් එන්ට. එහෙ ඉන්න යාළුවො ටිකකට හායි කියන්න තමයි ගියේ. ඉතින් එහෙම ගිහිපු ගමන් එයාල මට සරසවියේ තියන පැරණි ඉංග්‍රීසි ගොඩනැගිලි ටික බලන්නටත් අවස්ථාවක් හදල දුන්න, මොකද ඒ විශ්ව විද්‍යාලයේ සිසුවෙක් එක්ක ඕව බලනකොට මට ටිකට් නැතුව ඇතුලට යන්න පුළුවන්. උදේ ඉඳන් ඔහොම පරණ ගොඩනැගිලි බල බල යනකොට මගේ යාළුවයි මමයි අතර මෙන්න මෙහෙම දෙබසක් ඇති වුණා.

"උදේ ඉඳන් එක වගේ බිල්ඩින්ස් බලල කම්මැලිද?"

"කම්මැලි නම් නෑ. නමුත් පරණ බිල්ඩින්ස් කියන්නේ මගේ ප්‍රියතම දෙයක් නම් නෙවෙයි. හැබැයි අකමැත්තකුත් නෑ, එකම දේ ඉතින් wow කියවෙන්නෙ නෑ."

"එතකොට wow කියවෙන්නෙ මොනව බලනකොටද?"

"මල් බලනකොට."

"හෑ..."

ඔන්න ඕක තමයි වැඩේ. මම හරිම ආසයි මල් වලට.

ඔහොම මල් වලට ආසාවෙන් ජීවත් වෙනකොට තමයි ගිය අවුරුද්දේ වසන්ත සමයේ මට ජපානේ තියන විස්තීරියා පාක් ගැන ඔත්තුවක් ලැබුණේ. ලොකුම විස්තීරියා පාක් තියෙන්නේ පියාඹා යන්නට තරම් දුරින් වූ දකුණු කෙළවරේ වුණත්, ටෝකියෝ ඉඳන් දවසින් ගිහින් එන්නට තරම් දුරකින් පිහිටි අශිකාගා පාක් එකට යන්නට මම සැලසුම් කළා.

විස්තීරියා මල් පිපෙන්නේ අවුරුද්දකට වරක්, මාසයක් වගේ කාලයක් ඇතුලත විතරයි. ඒ මාසෙ ඇතුලෙත් ෆුල් බ්ලූම් එක දකින්න තියෙන්නේ දවස් තුන හතරක් වගේ. ඊට පස්සේ මල් පරවෙන්ට පටන් ගන්නව. ඉතින් ගිය අවුරුද්දෙ ඔය ෆුල් බ්ලූම් එක සෙට් වුණේ ගෝල්ඩන් වීක් එක පටන් ගන්න ඔන්න මෙන්න තියල.

*** ගෝල්ඩන් වීක් එක කියන්නේ ජපානේ තියන නිවාඩු සතියක්. මේකෙ ඇත්තටම වෙලා තියෙන්නෙ එකිනෙකට සම්බන්ධයක් නැති නොයෙකුත් රජයේ නිවාඩු දින කීපයක් එක ළඟ වැටිල සතියක් විතර එක දිගට ආතල් නිවාඩුවක් සෙට් වෙන එක.

ඉතින් ගෝල්ඩන් වීක් එකේ මල් බලන්න ගියොත් සෙනග වැඩි වෙයි කියල හිතල, මම ප්ලෑන් කලා ගෝල්ඩන් වීක් පටන්ගන්න කලින් දවසේ මල් බලන්න යන්න. නමුත් එදා මගේ යාලුවෙක් අසනීප වුනු නිසා ප්ලෑන් කරපු විදියට යන්න බැරි වෙලා, අන්තිමට පාක් යන්න සිදු වුණේ ගෝල්ඩන් වීක් එක පටන් ගන්නා පළමු නිවාඩු දවසේ.

පාක් එක තියෙන්නේ ටිකක් ඈත ග්‍රාමීය පෙදෙසක. ඉතින් කෝච්චියෙන් බැහැලා පාක් එක පැත්තට යන කෝච්චියට ගොඩ වෙන්න මම ගියා කියමුකො. හපොයි කොහෙද මන්ද යන මහා සෙනගක් පළමු පෙට්ටියේ පිරිල ඉන්නව. ඉතින් මම ඊට පස්සේ දෙවෙනි පෙට්ටියට දුවන් දුවන් ගියා. ඒකටත් ගොඩවෙන්න විදියක් නැහැ, සෙනග පිරිල. ඊට පස්සේ මම තුන්වෙනි පෙට්ටියට දුවන් දුවන් ගියා. ඒකත් එහෙමයි. කෝච්චියේ දොර වැහුනොත් ඊළඟ එක එනකම් ටිකක් වෙලා බලන් ඉන්නත් වෙනව, ග්‍රාමීය පෙදෙසක නිසා කෝච්චි අතරේ වෙලාව පරතරය වැඩියි. ඉතින් තියන ඔක්කොම වීර්ය අරගෙන හතරවෙනි කෝච්චි පෙට්ටියට දුවන් ගිහින් පොඩි ඉඩකට කකුල තියන් යන්තම් ගොඩ උනා කෝච්චියට.

ඔහොම යන අතරෙ ඊළඟ නැවතුම් වලිනුත් කෝච්චියට සෙනග ගොඩ වෙලා මම ටිකක් මැදට තල්ලු වුණා. දැන් කෝච්චිය මගේ නැවතුමට ලං වෙනව. ඉතින් මේ කොහෙද මන්ද යන මහා සෙනග අස්සෙන් බැහැගන්නත් එපයි. මම ඉතින් ටිකෙන් ටික ඒ ගැන හිත හිත ඉන්නකොට ඔන්න කෝච්චිය නතර වුනා මගේ නැවතුමේ. සෙනග අස්සෙන් බහින්න හිතන් හොඳ හුස්මක් අරන් ලෑස්ති වුනා විතරයි, මෙන්න අර කෝච්චියේ පිරිල හිටපු ඔක්කොම බහින්න පටන් ගත්තෙ නැතැයි. ඒ අස්සෙම තල්ලු වෙලා කෝච්චියෙන් බැහැලා මම ෆොටෝ එකක් ගත්ත. පහළ තියෙන්නේ ඒක.


කෝච්චියෙන් බැහැපු සෙනග

පාක් එක හොයාගන්නත් වැඩිය අමාරුවක් උනේ නෑ. කෝච්චියෙන් බැහැපු මහා ජන ගංගාව එක්ක ඔහේ ඇවිදන් ගියාම පාක් එකත් හම්බුණ.

මල් බලන්න යන සෙනග

පල්ලෙහා තියෙන්නේ මල් වල ෆොටෝ. හැබැයි ඉතින් ලස්සන විඳින්න අමාරුයි ඒ සෙනග ගොඩ එක්ක.



මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.

මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.

මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.

මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.


මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.

මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.

මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.

නිර්මාණශීලී විදියට ගස් ටික සකස් කරලා තිබුණු නිසා, වැඩිපුර අලංකාරයක් වගේම ආකර්ෂණයක් ලැබිල තියන බවක් මට දැනුණ. කොහොමත් ජපන්නු ලෑන්ඩ්ස්කේපින් වලට දක්ෂයි නේ.



January 19, 2018

කැණිමඬල - 4

පෙරවදන.

මේක මම ලියන්න ගත්තේ, කරන්න මෙලෝ වැඩක් නැතිව ඔහේ හිටපු කාලෙක. පස්සේ එහෙමම මගහැරුණත්, පටන් ගත්ත වැඩේ ඉවර කලයුතු නිසා හෙමින් ලියන්නට හිතුව. නමුත් දැන් එදාට වඩා වැඩ තියන නිසා, මේ කතාව මා අතින් නියත වේගයකින් නොලියවෙනු ඇති. රසවත් නොවනු ඇති. හදිසියේ ලියපු වාර්තාමය ස්වභාවයක් ගනු ඇති. එහෙම උනොත් සමා වෙන්න.


නීරසයි නම්, නොකියවා හිටියත් තරහ වෙන්නේ නැහැ, මොකද හුදෙක්ම මම මෙය ලියන්නේ පටන්ගත් වැඩේ ඉවර කිරීමේ ආත්ම තෘප්තිය ලැබීමේ අරමුණින් පමණයි.


*****

කැණිමඬල - 1

කැණිමඬල - 2

ගෙදර  එන  ගමන්  සැමන්  ටිකක්  වැඩිපුර  අරන්  එන්න'යි  කියන්නට,  මා නිර්මල  ට  දුරකථන  ඇමතුමක්  ගත්තේ,  කලකට  පසු  ඔහුගේ  සිතට සතුටක්ද  ඇති  කරමිනි. 

කැණිමඬල - 3

නිර්මල සමග ගෙදර ආ ආන්යා, ඔවිනි දැක බෙහෙවින් පුදුමයටත්, සතුටටත් පත් විය. මම රාත්‍රී කෑම පිළියෙළ කරනාතුරු, ඔවිනි ආන්යා සමග කතා බහේ යෙදෙමින් පසු විය.


මා මුළුතැන්ගෙයි සිටින විට වෙනදාට ආන්යා ලඟින් හෙලවෙන්නට බැරිව සිටින නිර්මලට, අද නිදහස ලැබී තිබේ. ඔහු මා දෙසට හෙමි හෙමින් ඇදිණි.


"මමත් මොනවහරි කරන්නද?"


"ඕන නෑ.. සැමනුයි පරිප්පුයි විතරයි හැදුවෙ. දැන් ඉවරයි."


"ඔවිනිට සැමන්, කමක් නැද්ද?" නිර්මල තතනමින් අසයි.


"දවල් කෑවා. සැමන් කන්න ආසයි කිවුව."


"එහෙමද.. කාලෙකින් නිසා වෙන්නැති එහෙනම්."


ඔවිනි ගැන හා නූපන් දරුවා ගැන නිර්මල මොනවා හිතන්නේදැයි මට සිතාගත නොහේ. ඔවිනි ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ නොවන බව සැබෑවකි. නීතිමය බැඳීම කවරාකාර වුවත්, තමන්ගේ දරුවෙක් දරා සිටින ගැහැණියක් ගැන පිරිමියෙක් තුල සැබැවින්ම ඇත්තේ කවර හැඟීමක් ද? නිර්මලගේත් ඔවිනිගේත් දරුවාට මා භාරකාරයෙක් වන්නේ, නිර්මලගේ බිරිඳ නම් වූ තෙවැනි පාර්ශවයකින් පමණි. මේ සියලු දේ අවසන, බිඳුණු සිතින් මා නිර්මලගෙන් වෙන් වූ දාක, ඒ භාරකාරත්වයෙනුත් මා නිදහස් වෙයි.


මා ආන්යා දරා සිටි සමයේ නම්, නිර්මල මා වෙනුවෙන් බොහෝ වෙහෙසෙන බවක් මට දැනිණි. එය මගේ පළමු ගැබිණි අත්දැකීම වූවා සේම, ගැබිණි බිරිඳක් සමග ජීවත් වීමේ නවමු අත්දැකීමට ඔහු සාර්ථක ලෙස මුහුණ දීමට උත්සාහ කලේ, මිතුරන්ගෙන් මෙන්ම අන්තර්ජාලයෙන් ද දැනුම එකතු කර ගනිමිනි. මවිසින් වරක් දෙවරක් අවධානය ඉල්ලා ඇති කෙරුණු ගැටළු හැරුණුකොට, අපේ පළමු ගැබිණි සමය ඉතා මිහිරි විය.


"ඔයා සාලෙට ගිහින් ඔවිනි එක්කයි ආන්යා එක්කයි ඉන්න. උයල ඉවරයි දැන් ගොඩක්."


අද ආන්යා ඉක්මනින් නිදි ඇඳට යවා, අපි තුන්දෙනාට කරන්නට වැදගත් කතාවක් තිබේ. මේ නිසාම වෙනදාට වඩා කලින් උයන්නට පටන් ගත් මට, නිර්මල ගෙදර එනකම් ඉන්නට සිදු වූ නිසා සැමන් කරිය පමණක් උයන්නට පමා විය.


"එහෙනම් බාජන සෝදන්නේ නැතුව ඉන්න. මට පුළුවන් බාජන ටික සෝදන්න, ඔයා ආන්යව නිදි කරන අතරෙ."



*****


කෑම තසිම් අරන් සාලයට යනවිට, නිර්මලත්, ඔවිනිත්, ආන්යාගේ සුරතල් බස් අසමින් සිටියහ. නිර්මලත්, ඔවිනිත්, අගනා ජෝඩුවකි. නිර්මල වෙනදාට වඩා තරුණ වී පෙනෙන්නේ, ඔවිනි ලඟින් ඉන්නා නිසාද? කඩවසම් නිර්මල දැක එකවරම හිතේ ඇති වුණු සතුට, අනිත් සියලු දේ නිසා ඇති වූ දුක සහ තරහ මගින්, අසුරු සැණින් මැකී ගියේය.


සැමන් බෙදා හදා ගන්නට කෑම මේසයේ සුරතල් යුද්ධයක් හට ගැනිණි. ඔවිනි ගැන මගේ හිතේ ඇති නොපහන් හැඟීම්, ඔවිනිගේ මුහුණ දුටු විට හිරු දුටු පිණි බිඳු මෙන් වියැකී යන්නේ ඇයි?


නිර්මල කෑම මේසය අස් කර දමා, භාජන සෝදන්නට පටන් ගත්තේය. කලකින් පසු ඔවිනි සමග කල් ගත කරන්නට ලැබුණු නිසා ඉතාමත් සතුටට පත්ව සිටි ආන්යා, නිදි ඇඳට රැගෙන යාම නම් උගහට විය. භාජන සෝදා අහවර කළ නිර්මල ත්, ඔවිනි හා මා සමග එකතු වූ අතර, අවසානයේ අපි සියලු දෙනාම මැදියම් රැයේ ආන්යා නින්දට වැටෙනකම් ම, ඇය සමග කල්ගත කළෙමු. මේ නිසා අපේ රාත්‍රී සාකච්ඡාව ඇරඹීමට වත් නොහැකි වූ අතර, ඔවිනිටත් මටත් ආන්යා සමග ඇඳේ නිදන්නට ඉඩහැර, නිර්මල සාලයේ සෝපාවට ගියේ පසුවදාට කරන්නට තිබෙන වැඩ කිහිපයකට සූදානම් වී, එහිම නිදන්නටයි.


"සොරි ඔවිනි. හෙට නිර්මලට කලින් එන්න කියල ආන්යව රෑ වෙලා ඩේ කෙයා එකෙන් ගමු."


"හ්ම්ම්.. අනේ මන්ද. දවසින් දවස පහු වෙයිද මේ වැඩේ?"

"ඔයා අද ආව විතරනෙ ළමයො. හෙට කතා කරමු. නිදහසේ කතා කරන්න විදියක් නැති නිසා මිසක් නැත්නම් මෙලහකට නිර්මල මොනවහරි ප්ලෑන් කරල ඇත්තෙ."


*****

අපේ සැලසුම වූයේ, නිර්මලත්, මමත් රැකියාවට පිටත්ව ගිය පසු, ඔවිනිට නිවසේ විවේක සුවයෙන් රැඳෙන්නට ඉඩ දීමටයි. තමන් සමග ඉඟි බිඟි පාමින් සිටි යුවතිය, හිටි හැටියේ මසකට නිවාඩු ගෙන විදේශගත වීම නිසා, ඇගේ කාර්යාල ප්‍රධානියා අන්දුන් කුන්දුන් වී තිබිණි. හදිසියේ අසනීප වූ මිතුරියක් ගැන මොකක්දෝ කතාවක් ඔහුට කියන්නට ඔවිනි සූදානම් කරගෙන තිබුණු අතර, අපි කිසිවෙකුත් නිවසේ නැති සාමකාමී උදෑසන, ඇය ඔහුට දුරකථන ඇමතුමක් දෙන්නට සූදානමින් සිටියාය.


එදින හවස, මමත් නිර්මලත්, වෙනදාට කලින් වැඩ ඇරී ආවෙමු. ඔවිනි කට්ලට් සාදා තිබුණු අතර, අපි තේ බොන්නට පටන් ගතිමු.

"බොස්ට තේරුණා මම බොරු කියනව කියල. මට හොඳටම ෂුවර් ඒක නම්. ඉක්මනට මේක ඉවර කරගමු අනේ. මට ඉක්මනට ආපහු යන්න ඕන. නිර්මල අයියෙ, ඔයාගෙ ප්ලෑන් එක මොකද්ද?"

"මගෙ ප්ලෑන් එක? මොන?"

"මේ දරුව නැති කරන්න? ඔයා මොනවද රෙඩි කලේ? කවද කොහොමද වැඩේ වෙන්නෙ?"

"මම මුකුත් රෙඩි කලේ නෑ. ඔයා මුකුත් කිවුවෙත් නැහැනෙ. මම කොහොමද තනියෙන් තීරණ ගන්නෙ?"


මේ වන විට ඔවිනිගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් තිබුණු අතර, ඔවිනිත්, නිර්මලත්, අතර බරපතල වාදයක් හටගැනිණි. දෙදෙනාම කෝපයෙන් නොයෙක් දේ කියා ගත් අතර, මට ඒ බහුතරයක් දේ නෑසී ගියේ, ඊයේ ආන්යා නිදි අතරේ මේ කතාව සිදු නොවී, අද ආන්යා ඩේ කෙයා එකේ සිටින මොහොත දක්වා මේ කතාව කල් යාම ගැන මා දෙවියන්ට ස්තුති කරමින් සිටි නිසාවෙනි.

"මම බෑ කියද්දි බලෙන් ඇවිත් පටන් ගත්ත දේ, මෙච්චර දෙයක් වෙලත් කිසි ගානක් නැතුව ඉන්නෙ කොහොමද?"

"බලෙන්? එතකොට ඔයා මුකුත් කලේ නෑ?"

"අසරණකමට කරගන්න දෙයක් නැතුව හිටිය, කෑ ගැහුවනම් මේ රත්තරන් පවුල කැඩිල යන නිසා. ඔව් ඉතින් දැන් අසරණ වෙලා ඉන්නෙ මම නේ? ඔයාට මොන ප්‍රශ්නයක් වත් නැහැනෙ."

"දෙන්නම කට වහගන්නයි කිවුවෙ."

"මට නිවාඩු තියෙන්නෙ මාසෙකට. මට යන එන මං නැති කරන්න එපා ප්ලීස්."


ඔවිනි නාන කාමරයට ගොස් දොර වසා ගත්තාය. ඇය යලිත් එන විට, මම නිර්මල සමග කතා බහ අවසන් කර තිබුණු අතර, අවශ්‍ය කටයුතු හැකි ඉක්මනින් සම්පාදනය කරන්නට ඔහු මට පොරොන්දු වී තිබිණි.


*****

මතු සබැඳි.