November 03, 2019

[නවාතැන්පොළේ කතා / Home away from home - 03] මාස්ක් සහ ජංගි කතා

මෙහේ ඉතින් සීත කාලෙට, අපි දවල් දවසේ රැකියාවන් වලට එහෙම එලියට යනකොට ගොඩක් ඇඳුම්, කෝට්, ජැකට්, එක උඩ එක ඇඳගෙන, බූට්ස්, මේස්, ග්ලවුස්, තොප්පි දාගෙන, මුළු ඇඟම වැහෙන විදියට නේ යන්නෙ. ඉතින් ස්වාභාවිකවම, හවසට ගෙදර එනකොට, බොහෝ විට හැමෝම එන්නේ අර ඇඳුම් ටික ගලවන්න බලාගෙන. ඒ වගේම රෑ නිදියනකොට මහ ගොඩක් ඇඳුම් අඳින්න කැමති නෑ ගොඩක් අය. හීටිං දාගෙන, බ්ලැන්කට් පෙරවාගෙන, සැහැල්ලු ඇඳුමක් ඇඳන් නිදියන්න තමයි ගොඩක් වෙලාවට හිතෙන්නෙ. ඉතිං මගේ ගෙහිමියත් එහෙම තමයි.

සමහර දවසට මට උයන්න රෑ උනාම, කාල ඉවර වෙලා අස් කරන වෙලාවට ගෙහිමියා එනව කුස්සියට, වතුර ටිකක් එහෙම බොන්න. ඒ වෙද්දි එයාල කාල බීල ඉවර වෙලා, ඇඳට ගිහින් ෆිල්ම් එකක් වගේ බලන වෙලාව. ඉතින් මෙහෙම රෑ වෙලා කුස්සියේ කවුරුවත් ඇති කියල ගෙහිමියා වැඩිය බලාපොරොත්තු වෙන්නේ නැති නිසා, සමහර දවසට එයා එන්නේ ජංගි පිටින්.

යට ඇඳුම් පමණක් ඇඳපු පිරිමි පරාණයක් ඉහත රූපයේ දැක්වේ. රූපය ගත්තේ Google Images වලින්.


අපේ ගෙහිමියා හරිම වයසයි, ඒ මදිවට එයා සමලිංගික පිරිමි කෙනෙක්. ඒ නිසා ගෑණු කෙනෙක් වෙච්ච මම ගැන එයාට විශේෂ හැඟීමක් නැති බව මම හොඳින්ම දන්නව. ඉතින් ඔය ජංගි පිටින් කුස්සියට එන එක වැරදි චේතනාවකින් කරන දෙයක් නොවන බව මට හොඳටම පැහැදිලි නිසා, මට ඒක ගානක් නෑ. ඊටත් මම පුංචි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ වැලිගම නිසා, පාරේ ගියත්, බීච් එකට ගියත්, පොලට ගියත්, අඩ නිරුවත් සුද්දො, බිකිනි ඇඳපු සුද්දියෝ, අපට නිතරම දකින්නට ලැබුණ. ජපානේ ගියාට පස්සේ, අනිත් ගැහැණු සමග නිරුවතින් අපි ඔන්සෙන් ගියා.

හැබැයි ඉතින් ගෙහිමියා ජංගි පිටින් ඉන්න එක මට අව්ලක් නැති උනාට, මම කුස්සියට යනවා නම් සාමාන්‍යයෙන් සංවර ඇඳුමක් තමයි ඇඳගෙන ගියේ, ගෙහිමියගේ බෑනා සහ ඔහු හමුවෙන්න ගෙදරට ආපු අය ටිකක් තරුණ නිසා. මේ තරුණ පිරිස උනත් ඉතින් එහෙම අවසරයෙන් තොරව වැරදි දේවල් කරන අය නෙවෙයි, ඒත් ඉතින් හොඳ impression එකක් ඇති වෙන විදියට හිටියම අපට පහසුයි නේ?

හැබැයි එක දවසක් මම කොට night dress එකක් ඇඳන් ඉඳලා, ඕක දැකලා ගෙහිමියා කියාපි "හානේ ඔයා හැඩයි" කියල. ඒ වගේම ගෙහිමියා ජංගි පිටින් ඉන්නකොට මම එයාව දැක්කොත් එයාට අප්සට් යන්නේත් ලජ්ජාවට එහෙම නෙවෙයි, එයාගේ බඩ ගෙඩිය සහ (එයා කියන විදියට) out of shape සිරුර මට පේන නිසා. :D

ඉතින් ඒ වෙලාවට එයා කියනවා, "සොරි මානවී, මගේ ඇඟ ඉතින් එච්චර හැඩ නෑ" කියල. :D

හැබැයි ඇත්තටම එයා තරුණ කාලේ හරිම කඩවසම් කෙනෙක්. මම පින්තූර වලින් දැකල තියනව. :)

ඉතින් මේකයි සිද්දිය. මම සාමාන්‍යයෙන් සති දෙක තුනකට සැරයක් වගේ, බියුටි කචල් මාස්ක් එකක් පාවිච්චි කරනවා. මේක charcoal වලින් හදපු මාස්ක් එකක්. ඔය පහල පින්තූරෙ උඩ පේලියේ මැදින් තියෙන්නේ charcoal මාස්ක් එක. ඉතින් කළු පාටයි මේක මූණෙ ගෑවම හොඳේ. මේක පාවිච්චි කරනකොට, කරන්න තියෙන්නේ, උණු වතුරෙන් පොඟවලා ගනිපු තුවායකින් මූණ ටිකක් තෙත මාත්තු කරලා, ටියුබ් එකෙන් මේ කළු පාට ක්‍රීම් එක අරන්, මූණේ ඇස් අවට හා තොල් වල නොගෑවෙන්න ගැන එක. වාතයට නිරාවරණය උනාම, මේ ක්‍රීම් එක වේලෙනවා. ඉතින් මේක වේලෙන කම් ඉඳලා, වේලුනාට පස්සේ හම වගේ ඇදලා ගලවලා දාන්න ඕන. 

එක එක ජාතියේ මාස්ක් වර්ග ඉහත රූපයේ දැක්වේ. රූපය ගත්තේ Google Images වලින්.

මම සාමාන්‍යයෙන් මේක ගෑවම කරන්නේ, වේලෙනකම් කාමරේ ඇතුලට වෙලා ඉඳල, ගලවලා, මූණ හෝදගෙන මිසක් එලියට බහින්නෙ නෑ. කළු පාට නිසා. නමුත් එක දවසක් මම මේක පාවිචිච් කරද්දී ටිකක් වැඩිපුර රෑ වෙලා තිබුණෙ, හැමෝම නිදි. මේ වෙලාවට ඕක දැකල බයවෙන්න කවුරුවත් එන එකක් නෑ කියල හිතල, මම මාස්ක් එක වේලෙනකම් කුස්සියට ගියා වතුර බෝතලේ පුරවන් එන්න.

එතකොටම, කුස්සියේ අනිත් පැත්තේ දොරෙන් ඇතුළු වුණා ගෙහිමියා. ඒ වෙලාවේ එයා ජංගිය විතරයි ඇඳල හිටියෙ. එයත් වතුර බොන්න හරි මොනවට හරි එන්න ඇති. මම ඉතින් දැන් ගෙහිමියාගේ පැත්තට මූණ හරවන්නේ නැතුව ඉඳන්, "මම මාස්ක් එකක් දාගෙන ඉන්නෙ, මූණ දැකල බය වෙන්නෙපා" කියල කියන්න උත්සාහ කරනවා දිගින් දිගටම. නමුත් ගෙහිමියාට මම කියන දේ ඇහෙන්නේ නැහැ, ඒ මොකද කියනවා නම්, ඔහු ඊට වඩා සද්දෙන් මගෙන් සමාව අයදිනවා. "අනේ සොරි මානවී, රෑ වෙලා නිසා මම හිතුවේ කුස්සියේ කවුරුවත් නැතුව ඇති කියල, ඒකයි ජංගි පිටින් ආවෙ, මම ඉක්මනටම වතුර අරන් යන්නම්, අනේ සමාවෙන්න, මම ඉක්මනින් යන්නම්" කිය කිය. එයා හරිම embarassed. ඒ නිසා එයා nonstop සමාව අයදිනවා දැන්. කොටින්ම එයා හුස්ම ගන්න වත් කතාව නවත්තන්නේ නැති නිසා, මම කියන දේ අහන්න එයාට ඉස්පාසුවක් නැහැ. ඉතින් මම මාස්ක් එකක් දාගෙන ඉන්න බව කිවුවට, එයාට ඇහෙන්නේ නැහැ. (ඒ මදිවට එයාගේ කටහඬ මට වඩා ගොඩක් සද්දයිත් එක්ක) සමහර විට, මම මාස්ක් එක පේනවට ඒ පැත්තට මූණ හරවන්නේ නැතුව ඉන්නකොට, එයාට හිතෙන්න ඇති එයාගේ ජංගිය නිසා මම uncomfortable වෙලා කියල. අහක බලන් කතා කරනකොට, කොහොමත් වැඩිය සද්දෙන් ඇහෙන්නේ නැහැනෙ.

ඔහොම ඇවිත් එයා මගේ එහා පැත්තෙන් හිටගෙන සැන්විච් එකක් හදන්න පටන් ගත්ත. මමත් එතකොටම, "I am wearing a mask" කියාගෙනම එයාගේ පැත්තට හැරුණ. ගෙහිමියා මගේ දිහා බලල, එක පාරට ගැස්සුණ. එහෙම ගල් ගැහිල ටිකක් වෙලා ඉඳලා, nonstop හිනා වෙන්න පටන් ගත්ත.



20 comments:

  1. බොලා දෙන්නා... :):):):)

    ReplyDelete
    Replies
    1. මටම හරියන ගෙහිමියෙක් තමයි ඈ

      Delete
  2. මානවිගේ ගරායක් මුණත්තහඩුව දැකලා උන්දෑට තොයිල් කරන්න උනේ නැති එක නම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. තොවිල් නම් තව කමක් නෑ. ටිකක් වයසක මනුස්සය වෙච්චි. ෂුගර්, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් නුත් තියනව. පස්සෙන් පහු කල්පනා කරල බැලුවම මට හිතුණ උන්දැ එතනක කලන්තෙ දැම්මේ නැති එක ලොකු දෙයක් කියල.

      Delete
  3. මගෙත් තියෙනවා බොහොම කෙටි පරණ තුනී සැහැල්ලු දිරච්ච එකී මෙකි නොකී ෂෝට් කෑල්ලක් කොළඹ නවාතැනේ දී අඳින.. දවසක් ඕක ඇඳන් ඉන්නවා අපේ නෝනා දැකලා උන්දැටත් ලජ්ජා හිතුනා.. මටත් ඉතින් ලජ්ජා හිතුනා බොළා ගෙහිමියාට තිබ්බ හේතු නිසාම හිටන්.. :))))

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කල්‍යාණ මිත්‍ර තුමා:

      ඕකට ඉතින් මොකට ලජ්ජා වෙන්නද අනේ. මොකෝ බිරින්දෑ තුමී ඔබතුමා ව මීට කලින් දැකලා නැතුවයි. :D

      //අපේ නෝනා දැකලා උන්දැටත් ලජ්ජා හිතුනා//

      එතුමී දකුණු පළාතේ කිවුවා නේද? හැබැයි අපේ පැත්තේ නම් ඉතින් ආයේ අහන්ට දෙයක් නෑ හොඳට ලජ්ජා බයට හැදිච්චි දැරිවියෙක් වෙන්න ඇති.

      Udara:

      මේ පෝස්ට් එකට වඩා ආතල් අපේ ක.මි. තුමාගෙ කමෙන්ට් එක.

      Delete
  4. කල්‍යාණ මිත්‍ර සෑර්, ඔය වාගේ පරණ තුනී සැහැල්ලු දිරච්ච එකී මෙකි නොකී සෝට් වල තියෙන built in air condition facility එක නං අම්මා... පවසලා පලක් නෑ සෑර්.
    ජයවේවා!

    oh, by the way, This comment has been removed by the author as well!

    Myself Hattor.

    ReplyDelete
    Replies
    1. අපරාදේ.. කොමෙන්ට් එක කියවන්න කලින් ඩිලීට් කරලා නේ.. :)))))

      Delete
    2. හැට්ටර් තුමා:

      ඔය වගේ දිරච්චි නයිටි කෑලි උනත් සනීපයි. හැබැයි ඉතින් ඇන්දට වැඩක් නෑ ඊට හොඳයි මුකුත් නැතුව ඉන්න එක.

      එතකොට ඉතින් වෙන්නේ මෙන්න මේ වගේ සංගදි තමයි.

      http://sinhalenjokes.blogspot.com/2013/04/blog-post_2971.html

      Delete
  5. වෙන පින්තූර නොදා මානවී මාස්ක් එකත් එක්කම පින්තූරයක් දන්න එපායැ. කමෙන්ට් දාන්න එන අයත් බය කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉයන් තුමා,

      ඊට පස්සේ මිනිස්සු බය කරපු වරදට මට පොලිසි උසාවි ගානේ යන්නත් වෙයි.

      ඔන් අ සීරියස් නෝට්, කමෙන්ට් කරන්න එන කීප දෙනාත් බය කරලා එලෝ ගත්තම මේක කියවන්න කිසි කෙනෙක් නැතුව යනව. ඒක පාඩුයි, අවුරුද්දකට සැරයක් හරි මේකෙ මොකවත් ලියන්න හිතෙන්නෙ, කියවන්න එන කීප දෙනා නිසා තමයි.

      Delete
  6. මේ පැත්තේ ඇවිත් පා සලකුණු තබා ගියාට ස්තුතියි ඔබතුමාට.

    ReplyDelete
  7. අපි දෙන්න මේ දැන් ඉන්න ගෙදර හදාගෙන පදිංචියට එන්ට කලියෙන් හිටියෙ ඒ යෝදිගෙ ඉස්කෝලෙ ක්වාටර්ස් එකේ. ඒ ඉස්කෝලෙත් මේ ඊමම තමයි තියෙන්නෙ.

    ඉතිං ඔය ක්වාටර්ස් එකට යන්ට තියෙන්නෙ ඉස්කෝලෙ මැදින් පඩි පෙළවක් හතර පහක් නැඟල. ඔක්කොම පඩි එකසිය පණහක් වගෙ නගින්ට තියනව ක්වාටර්ස් එකට එන්ට. ඉතිං සමහර දවස්වල මම නුවර එහෙම ගිහිල්ල අතිං කටිං බඩු මලුත් උස්සගෙන ගිණි ගහන අව්වෙ අර පඩි එකසිය පණහ නැඟල ක්වාටර්ස් එකට එනකොට ඉහිං කණිං දාඩියෙන් නෑවිල. ඒ ගොඩක් වෙලාවට එවුන්දැ ඉස්කෝලෙ.

    ඒ ක්වාටර්ස් එක අවුරුදු පණහක් විතර පරණ එකක්. කොටින්ම 1947 ගංවතුර කාලෙත් ඕක තිබිල තියනව. හරි ඒ විස්තර පස්සෙ දවසක ලියන්නං..ඉතිං ඔච්චර අවුරුදු ගානක් යටි පතුල් වලටම මැදිල ඒ ක්වාටර්ස් එකේ ගෙබිම මාර විදිහට සිනිඳුයි. මහ දවල් උනත් මාර සීතලයි..ඒ වගේම සනීපයි.

    ඉතිං මම කරන්නෙ ගෙට ආපු ගමන්ම බඩු ටික ඔහෙ කොහෙ හරි අතෑරල ඇඳුං ඔක්කොම ගලවල පුටුවක් උඩ දාල හතර ගාතෙ දිගඇරගෙන අමු නිරිවස්තරෙං අර පොළවෙ වැතිරිල ඉන්න එක..මගෙ සරීරෙ ඉතිං අර මයිකල් ආන්ජලෝගෙ ප්‍රතිමාවක් වගේ හින්ද අවුලකුත් නෑ හෙහ්....හෙහ්..

    ඔහොම ඉන්න හුඟක් වෙලාවට මට එහෙම්මම නින්ද යනව..ඊට පස්සෙ අපෙ උන්දැ ඇවිල්ල ඉණට අත්දෙකත් තියාගෙන දෙස් දෙවොල් තියනකොට තමයි ඔන්න මට ඇහැරෙන්නෙ...

    "මොනවද මනුස්ස්යො මේ කරන වැඩ? මම දන්නව ඔහේ ලඟදිම දවසක මට පාරෙ බැහැල යන්ට බැරි වෙන විදිහට වැඩ සිද්ද කරනව..අන්න ඒකනම් මම හොඳකාරවම දන්නව..." අන්න එහෙම කියලයි උන්දැ මට බණින්නෙ...

    වැඩි විස්තර "ගුරුවරියක සමඟ මගේ ජීවිතය" හි බලාපොරොත්තු වන්න...:)

    ReplyDelete
    Replies
    1. //මොනවද මනුස්ස්යො මේ කරන වැඩ? මම දන්නව ඔහේ ලඟදිම දවසක මට පාරෙ බැහැල යන්ට බැරි වෙන විදිහට වැඩ සිද්ද කරනව..අන්න ඒකනම් මම හොඳකාරවම දන්නව...//

      meika hamadetama kiyanawa neda?

      Delete
    2. ඉයන් තුමා,

      නැතුව ඉතින් එහෙම නොකිය කොහොමෙයි? යකාගෙ හැටියට නෙව විමානෙ.

      Delete
    3. රවී තුමා,

      බොහොම ස්තුතියි අපූරු කමෙන්ට් එකට. පරක්කු උනාට සමාවෙන්ට.

      පඩි එකසිය පනහක් කිවුව? අනෙ අම්මේ මට නම් කල්පනා කරද්දිත් මහන්සියි.

      මම ගොඩක් වෙලාවට දැකපු දෙයක් තමයි ඔය කෑගල්ල නුවර බදුල්ල පැති වල යාළුවො එක්ක අපිට හරි හරියට කඳු නගින්න හරි අමාරුයි, අපි පොඩි කාලේ පයින් ඕන තරම් දුර ඇවිදලා තියනවා, නමුත් ඉතින් ඒ ෆ්ලැට් ටෙරේන් එකේ තමයි.

      කිවුවත් වගේ ඉතින් ඔහොම නිදියන් ඉන්නකොට ගුරු නිවාස වත්තේන් හොරෙන් කුරුම්බා කඩන්න වත් ආපු කොල්ලෙක් දැක්ක නම් ඉතින් එතුමියට පාරෙ බැහැල යන්ට බෑ තමයි :)

      Delete
  8. ඔබට මූල්‍යමය උදව් අවශ්‍යද? ඔබ කිසියම් මූල්‍ය අර්බුදයක සිටිනවාද? නැතහොත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබේ ණය පියවීමට හෝ බිල් ගෙවීමට හෝ හොඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබට අඩු ණය ලකුණු ප්‍රමාණයක් ඇති අතර දේශීය බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් ප්‍රාග්ධන සේවා ලබා ගැනීම ඔබට අපහසු ද? අපගේ සමාගමෙන් මූල්‍ය සේවා ලබා ගැනීමට ඔබට ඇති අවස්ථාව මෙන්න. අපි පහත සඳහන් මුදල් පුද්ගලයන්ට ලබා දෙන්නෙමු.
    * වාණිජ මූල්‍ය
    *පෞද්ගලික මූල්ය
    * ව්‍යාපාර මූල්‍ය
    ඉදිකිරීම් මූල්‍ය
    * ව්‍යාපාර මූල්‍ය සහ තවත් බොහෝ දේ:
    සහ තවත් බොහෝ දේ 3% පොලී අනුපාතයට;
    විද්‍යුත් තැපෑල හරහා අප අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete