කන්න කියල එහෙමට දෙයක් නෑ. පරිප්පු තියනවා, බත් තියනවා, මොකද කරන්නේ?
මිරිස් ටිකක් දාල සැරට ඔම්ලට් එකක් හදා ගත්ත නම් හරි.
ෆ්‍රිජ් එක ඇරල, ලූණු, අමුමිරිස් අරගෙන, මම බිත්තර තෝරන්න පටන් ගන්නව. බිත්තර එකක් ඇතිද... ම්ම්ම් බඩගිනියි. බිත්තර දෙකක් ම කනවා අද.
පිඟානට බතුයි පරිප්පුයි බෙදල, ඒක මයික්‍රොවේව් එකේ දාල රත් වෙන්න ඇරල, එතකම් මම ඔම්ලට් එක හදනව. ළූණු, අමුමිරිස් ගොඩක් එක්ක බිත්තර දෙකක් එකතු උනාට පස්සෙ, පීට්ස එකක් තරම් ඔම්ලට් එකක් හැදෙනව. එතකොටම මයික්‍රොවේව් එකේ දාපු බත් එක උණුසුම් වෙලා බීප් හඬ නගනව. ඔම්ලට් එක බතුයි පරිප්පුයි වලට උඩින් එලාගෙන මම කන්න පටන් ගන්නව.
කන ගමන් හිත නිතැතින්ම දුවන්නේ අවුරුදු පහලවක් තරම් අතීතෙට.
*************
අපේ තාත්තා ඔෆිස් එකේ වැඩ කරද්දී, අම්ම අපිව බලාගෙන ගෙදර හිටිය. අපි ඔක්කොම ජීවත් උනේ තාත්තගේ තනි පඩියෙන්.
දැන් මම බිත්තර දහයක පැක් එකක් ගෙනැත්, ඒකෙන් අටක්, නවයක් ඉවර වෙද්දිම අලුත් බිත්තර එකක් ගෙනාවට, ඒ දවස් වල ගොඩක් වෙලාවට අම්මා ගෙදරට ගෙනාවේ බිත්තර පහයි. තාත්ත කඩේ ගිහිපු දවසට නම් බිත්තර දහයක්ම ගේනවා එක පාර. නමුත් ඒ බිත්තර ඉවර වෙලා ටික දවසක් ගියාට පස්සේ. දැන් මට වගේ නිතර කඩේ යන්න එයාලට විවේකයක් තිබුනෙත් නැහැ, සල්ලි තිබුනෙත් නැහැ.
එක බිත්තරේකින් ඔම්ලට් එකක් හදල, ඒක කෑලි වලට කඩන් ගෙදර ඔක්කොමල කාපු අතීතයක් ඒ. අම්මයි තාත්තයි ඔම්ලට් කන්නෙම නැහැ. "අපි ඔම්ලට් කන්න ආස නෑ පුතේ" කියල ඔම්ලට් එක දෙකට කඩල අක්කටයි මටයි දුන්නම, අපි අපේ ඔම්ලට් වලින් ටිකක් අම්මගෙයි තාත්තගෙයි පිඟන් වලට දානව. ඒ හැබැයි සතුටකින් නම් නෙවෙයි. අමුර්තයක් වගේ ඔම්ලට් එකක්, බෙදාගන්න කැමති කවුද? ඒ උනාට අම්මටයි තාත්තටයි නොදී ඔම්ලට් එක තනියම කන්න, මොන හේතුවක් නිසා හරි, අපට දුක හිතුණ.
*************
දොමිනික්, මෙහෙදි මුණගැහුණු මගේ යාලුවෙක්. එයා ප්‍රසන්ටේෂන් එකක් හදන බිසි දවසක, මම එයාටත් එක්ක උයනව.
"Wow Manavika, I really love your omelette" කියල එයා මම හදපු ඔම්ලට් එක කනව.
ඔව්. ඔම්ලට් කියන්නේ නිකන්ම නිකං කෑමක් නෙවෙයි, මගේ ජීවිතේ ආදරය, සමගිය, එකතු වුනු, සුපිරි කෑමක්. ඉතින්,
Me too, really love egg omelette.