රථය තුල වූයේ ගත සනහන සිසිලසකි. ඔහු නිහඬය.
වාමුවාව මතට වැටෙන වැහි බිංදු, සෙමෙන් පහලට ගලා එයි. පාරේ ඉදිරිපස දකුණු අයිනේ
ඇති පහන් කණුවෙන් විහිදෙන සුදු එලිය, වාමුවාව පසා කරගෙන ඔහුගේ මුහුණට වැටෙයි. වැහි බිංදු වල සෙවනැලි, ඔහුගේ දෙකම්මුල් මතින් පහලට ගලා යයි.
ඒ දෙකම්මුල් මතින් වැහි බිංදු ගලා යන මග
දිගේ, මගේ දෙතොල් යා කොට ඔහුව සිපගන්නට මට සිතිනි. හදිසියේම වයිපරය විසින්, වැහි බිංදු පිස දැමිණි.
“ඔයා දැන්, බහින්න”, බැරිම තැන, ඔහු හඬ අවදි
කළේය.
“මට බෑ”
“බෑ කියල බෑ නේ, බහින්න. අපි දැන් මිනිත්තු
පහක් විතර මෙතන. දැන් කවුරු හරි එලියට ආවොත් අපිව දකීවි”
“අනේ තව ටිකක්, මට ඉන්න ඕන”
ඔහු රථයේ එන්ජිම නිවා දැමුවේය.
වැස්ස ඇද හැලේ. ඔහු තවම නිහඬය. මේ ගමනේ
කෙලවර මා නොදනිමි. ඔහු නොබෝ දිනකින් පිටව යනු ඇත. ඉන් මතු ඔහුත්, මාත්, යලි මුණ නොගැසෙනු
ඇත. නමුත් මා උමතුවෙන් මෙන් ඔහුට පෙම් කරමි.
“මොකද කතා නැත්තෙ?”
“ඔයා දැන් බහින්න, මැච් එකත් පටන් ගන්නව, තව
පැය බාගෙකින් විතර”
“අනේ ඉතින්, පැය බාගෙ ඉන්නකො”
“ගිහින් වොෂ් එකක් දාගන්නත් ඕන”
හැඩි දැඩි ඔහුගේ සරාගී රුවට, මම පෙම් කලෙමි.
නමුත්...,
“එහෙනම් මම යන්නම්, මැච් එක බලල කෝල් එකක්
දෙන්න”
“බැරි වෙයි, ඔයා නිදාගන්න”
“ඕ කේ. ගුඩ් නයිට්”
“ගුඩ් නයිට්”
අහස මම නම්, ඔහු තනි තරුවකි. අමාවක අඳුරු
අහසට, ඔහු නොපායන තරුවකි.
******************
ඔහු යන්න ගොසිනි. මම බලා හිඳිමි.
******************
නිහඬ තනි තරුව නුඹ
නොපායන මා අහස් ඉම..
පහන් තරුව වී නුඹ
සෙමෙන් පායා ආ විට,
සෙමෙන් වියැකී යන්නට
සිදු නොවේ නුඹ හට,
ඉර නැගී එන විට..
රාත්‍රිය පමණි උරුම මට..
නිහඬ තනි තරුව නුඹ
සෙමෙන් පායා ආ විට,
සෙමෙන් වියැකී යන්නට
සිදු නොවේ නුඹ හට,
පුර සඳ එබෙන විට..
අමාවක පමණි උරුම මට..
නිහඬ තනි තරුව නුඹ
නොපායන මා අහස් ඉම..
******************
ප. ලි.
ගොඩක් කාලෙකින් ලියන්නේ. නොලිය ඉඳල, හිරි ඇරගන්න,
පිවිසුමක් විදියට ලියපු, පොඩි සටහනක් මේ.
කලින් පොස්ට් එකට ලැබුණු කොමෙන්ට් වලට උත්තර
දැම්මෙත් නැහැ, කම්මැලිකමට. ඒ වෙනුවෙන් සමාවෙන්න. ආයේ එහෙම කරන්නේ නැහැ.