අලුතින් කැම්පස් සින්ඩියක් පටන් අරන් දැන් ටික දවසක් වෙනව. මේ ගැන විවිධ බ්ලොග් කරුවො විවිධ මත පල කරල තියනව මම දැක්ක.
මම බොහොම ආධුනික බ්ලොග් ලියන්නියක්. සුවිසල් බ්ලොග් ලෝකෙ සිද්ධ වෙන දේවල් විවේචනය කරන්න මම සුදුසු නැහැ. ඒ උනත්, අහපු දැකපු දේවල් නිසා, මේ කැම්පස් සින්ඩිය ගැන මට හිතෙන හැටි ලියන්න හිතුන මට. මගේ මේ කතාව, තව ගොඩක් අයගෙත් කතාව බව මම දන්නව.
පුංචි කාලෙ ඉඳලම මම ගොඩක් ආසාවෙන් කරපු දෙයක් තමයි පොත් පත්තර කියවීම. මේ නිසාමද මන්ද, වචන දෙක තුනක් ගැට ගහගෙන යමක් කමක් ලියාගන්න හැකියාවක් මා තුල ගොඩනැගිල තියන බව මට තේරුනේ, පාසලේ සිංහල දින තරඟ වලින් ජයග්‍රහණ ලැබෙනකොට.
ළමා වයසේ ඉඳන් ටිකින් ටික වැඩිහිටි වෙනකොට, රටේ ලෝකෙ ගැන, මිනිස්සු ගැන දැනුම අපට ලබා දෙන්න, අපේ තාත්තා කලේ අපට නොයෙක් පොත පත ගෙනත් දෙන එක. අදටත් නිවැරදි කරගන්න බැරි සමහර මෝඩකම්, වැරදි, මගේ ළඟ තියෙන බව ඇත්ත. ඒත් මේ තරමින් හරි ඔලුව බේරගෙන ජීවත් වෙන්නෙ, ඒ පොත් පත් වල ආනුභාවයෙන්, තාත්තට පින් සිද්ද වෙන්න තමයි.
උසස් පෙලට ගණිතය හදාරන්න ගත්තම, කතන්දර පොත් කියවන එක ටිකක් මග හැරුණ මට. ඒක හොඳ දෙයක් නෙවෙයි තමයි, ඒත් උසස් පෙළ විභාගය ඉවර වෙලා, ආයෙම පොත් කියවන්න කාල වෙලාවක් හොයාගත්ත මම.
හොඳම හරිය උනේ කැම්පස් ආවම. කියවන්න පිපාසය තිබුනත්, කියවන්න දේවල් හොයාගන්න ලේසි වුනේ නැහැ. පුස්තකාලයේ වැඩි හරියක් තියෙන්නෙ අද්‍යාපනික පොතපත. තියන අතලොස්සක් කතන්දර පොත් ටික හැමදාම කවුරුහරි අරන් ගිහින්. ඒ අතරිනුත් ඔක්කොම මගේ රසවින්දන පරාසයට ගැලපෙන පොත් නෙවෙයි. අන්තර්ජාලයෙන් පුවත්පත් කියවන්න මම යොමු වෙන්නෙ ඔය නිසා. නමුත් ඒකත් අල්ලලා ගියේ නැහැ.
විශ්ව විද්‍යාල මිතුරන් අතරින්, පොත් කියවන්න යොමු වෙලා සිටියේ අතලොස්සක්. ඒ අයත් කාර්ය බහුල නිසාද, කම්මැලිකම නිසාද මන්ද, පොත් කියවීමෙන් ඈත් වුනා කිවුවොත් නිවැරදියි. ඔවුන්ගේ ජීවිත වල පොත් පත් විසින් හිමි කරගෙන හිටපු තැන, ටීවී සීරීස් සහ චිත්‍රපට විසින් ගිල ගනිද්දී, ගොඩක් අසරණ වුනා මම. මොකද මට ටීවී සීරීස් සහ චිත්‍රපට එක දිගට නැරඹීම එතරම් ප්‍රියමනාප වූයේ නැහැ.
|
පින්තූරය Google වෙතින් |
මෙහෙම ජීවත් වෙන අතරේ තමයි 'බ්ලොග්' මගේ ඇස ගැටෙන්නෙ. කියවීමේ පිපාසාවෙන් හිටපු මට, මේ බ්ලොග් ලෝකය දිය පොදක් වුනා කිවුවොත් නිවැරදියි. ඕනෑම වෙලාවක ඉන්ටනෙට් ගිහින් කියවන්න පුළුවන් නිසා, බ්ලොග් කියවීමට විශේෂ මහන්සියක් දරන්න ඕන වෙන්නෙත් නැහැ. ඉතින් මාසෙකට වතාවක් විතර මගේ බ්ලොග් එකේ පෝස්ට් දැම්මට, දවසට කීප සැරයක් වත් බ්ලොග් රෝල පිරික්සලා අලුත් පෝස්ට් කියවනව මම.
කැම්පස් සින්ඩිය කල එලි බහින්නෙ, ඔන්න ඔය වගේ තත්වයක් මත. කැම්පස් සින්ඩියට කැමති අකමැති විවිධ මත තිබුනත්, කැම්පස් සින්ඩිය ගැන අහපු ගමන් මට නම් හිතුනේ, දවසෙම කන් වල ඇබ ගහගෙන ටීවී සීරීස් බලන අපේ අයව, නැවත ලියන්න කියවන්න යොමු කරන්න මේ තුලින් අවස්ථාව ලැබේවි කියල. රටේ තොටේ සිද්ද වෙන දේවල් ගැන හොයන්න, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න විශ්ව විද්‍යාල සිසුන් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක්.
සින්ඩිය නිසා බ්ලොග් ලෝකේ දෙකඩ වෙයි කියන සමහර මත මම දැක්ක. ඒත් මුලින්ම 'මට හිතෙන හැටි', 'ආතම්මගෙ පෙට්ටගම', 'අටම්පහුර' වගේ බ්ලොග් කියවල, ඉනා බෙහෙතක් කෑව වගේ බ්ලොග් කියවන්න ඇබ්බැහි වෙනකොට, ඒ බ්ලොග් ලියපු රචකයෝ විශ්ව විද්‍යාල අද්‍යාපනය ලබපු අයද කියල මම හොය හොය හිටියෙ නැහැ. අලුත් බ්ලොග් එකකට අපි යොමු වෙන්නෙ ඒ රචකයාගේ උපාධිය දිහා බලල නෙවෙයි, ලියන දේවල් වල රසවත් භාවය මත. ඉතින් කැම්පස් සින්ඩිය නිසා බ්ලොග් ලෝකය දෙකඩ වෙයි කියල මම නම් හිතන්නෙ නැහැ. පිපාසාවට දිය බිඳක් වුනු බ්ලොග් ලෝකය දෙකඩ වෙනවා දකින්න මම කැමති නැහැ.
මේ ගැන ඔබ වෙනත් වෙනත් මත දරනව ඇති. මේ ආධුනික බ්ලොග් කාරිනියක් වූ මගේ මතය පමණයි.
මගේ බ්ලොග් එකේ ඔබ දකින වැරදි අඩුපාඩු සහ වැඩි දියුණු කල යුතු දේ තිබෙනවා නම් පෙන්වා දෙන මෙන් අදත්, ආදරයෙන් ඉල්ලා සිටිනව.