November 03, 2019

[නවාතැන්පොළේ කතා / Home away from home - 03] මාස්ක් සහ ජංගි කතා

මෙහේ ඉතින් සීත කාලෙට, අපි දවල් දවසේ රැකියාවන් වලට එහෙම එලියට යනකොට ගොඩක් ඇඳුම්, කෝට්, ජැකට්, එක උඩ එක ඇඳගෙන, බූට්ස්, මේස්, ග්ලවුස්, තොප්පි දාගෙන, මුළු ඇඟම වැහෙන විදියට නේ යන්නෙ. ඉතින් ස්වාභාවිකවම, හවසට ගෙදර එනකොට, බොහෝ විට හැමෝම එන්නේ අර ඇඳුම් ටික ගලවන්න බලාගෙන. ඒ වගේම රෑ නිදියනකොට මහ ගොඩක් ඇඳුම් අඳින්න කැමති නෑ ගොඩක් අය. හීටිං දාගෙන, බ්ලැන්කට් පෙරවාගෙන, සැහැල්ලු ඇඳුමක් ඇඳන් නිදියන්න තමයි ගොඩක් වෙලාවට හිතෙන්නෙ. ඉතිං මගේ ගෙහිමියත් එහෙම තමයි.

සමහර දවසට මට උයන්න රෑ උනාම, කාල ඉවර වෙලා අස් කරන වෙලාවට ගෙහිමියා එනව කුස්සියට, වතුර ටිකක් එහෙම බොන්න. ඒ වෙද්දි එයාල කාල බීල ඉවර වෙලා, ඇඳට ගිහින් ෆිල්ම් එකක් වගේ බලන වෙලාව. ඉතින් මෙහෙම රෑ වෙලා කුස්සියේ කවුරුවත් ඇති කියල ගෙහිමියා වැඩිය බලාපොරොත්තු වෙන්නේ නැති නිසා, සමහර දවසට එයා එන්නේ ජංගි පිටින්.

යට ඇඳුම් පමණක් ඇඳපු පිරිමි පරාණයක් ඉහත රූපයේ දැක්වේ. රූපය ගත්තේ Google Images වලින්.


අපේ ගෙහිමියා හරිම වයසයි, ඒ මදිවට එයා සමලිංගික පිරිමි කෙනෙක්. ඒ නිසා ගෑණු කෙනෙක් වෙච්ච මම ගැන එයාට විශේෂ හැඟීමක් නැති බව මම හොඳින්ම දන්නව. ඉතින් ඔය ජංගි පිටින් කුස්සියට එන එක වැරදි චේතනාවකින් කරන දෙයක් නොවන බව මට හොඳටම පැහැදිලි නිසා, මට ඒක ගානක් නෑ. ඊටත් මම පුංචි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ වැලිගම නිසා, පාරේ ගියත්, බීච් එකට ගියත්, පොලට ගියත්, අඩ නිරුවත් සුද්දො, බිකිනි ඇඳපු සුද්දියෝ, අපට නිතරම දකින්නට ලැබුණ. ජපානේ ගියාට පස්සේ, අනිත් ගැහැණු සමග නිරුවතින් අපි ඔන්සෙන් ගියා.

හැබැයි ඉතින් ගෙහිමියා ජංගි පිටින් ඉන්න එක මට අව්ලක් නැති උනාට, මම කුස්සියට යනවා නම් සාමාන්‍යයෙන් සංවර ඇඳුමක් තමයි ඇඳගෙන ගියේ, ගෙහිමියගේ බෑනා සහ ඔහු හමුවෙන්න ගෙදරට ආපු අය ටිකක් තරුණ නිසා. මේ තරුණ පිරිස උනත් ඉතින් එහෙම අවසරයෙන් තොරව වැරදි දේවල් කරන අය නෙවෙයි, ඒත් ඉතින් හොඳ impression එකක් ඇති වෙන විදියට හිටියම අපට පහසුයි නේ?

හැබැයි එක දවසක් මම කොට night dress එකක් ඇඳන් ඉඳලා, ඕක දැකලා ගෙහිමියා කියාපි "හානේ ඔයා හැඩයි" කියල. ඒ වගේම ගෙහිමියා ජංගි පිටින් ඉන්නකොට මම එයාව දැක්කොත් එයාට අප්සට් යන්නේත් ලජ්ජාවට එහෙම නෙවෙයි, එයාගේ බඩ ගෙඩිය සහ (එයා කියන විදියට) out of shape සිරුර මට පේන නිසා. :D

ඉතින් ඒ වෙලාවට එයා කියනවා, "සොරි මානවී, මගේ ඇඟ ඉතින් එච්චර හැඩ නෑ" කියල. :D

හැබැයි ඇත්තටම එයා තරුණ කාලේ හරිම කඩවසම් කෙනෙක්. මම පින්තූර වලින් දැකල තියනව. :)

ඉතින් මේකයි සිද්දිය. මම සාමාන්‍යයෙන් සති දෙක තුනකට සැරයක් වගේ, බියුටි කචල් මාස්ක් එකක් පාවිච්චි කරනවා. මේක charcoal වලින් හදපු මාස්ක් එකක්. ඔය පහල පින්තූරෙ උඩ පේලියේ මැදින් තියෙන්නේ charcoal මාස්ක් එක. ඉතින් කළු පාටයි මේක මූණෙ ගෑවම හොඳේ. මේක පාවිච්චි කරනකොට, කරන්න තියෙන්නේ, උණු වතුරෙන් පොඟවලා ගනිපු තුවායකින් මූණ ටිකක් තෙත මාත්තු කරලා, ටියුබ් එකෙන් මේ කළු පාට ක්‍රීම් එක අරන්, මූණේ ඇස් අවට හා තොල් වල නොගෑවෙන්න ගැන එක. වාතයට නිරාවරණය උනාම, මේ ක්‍රීම් එක වේලෙනවා. ඉතින් මේක වේලෙන කම් ඉඳලා, වේලුනාට පස්සේ හම වගේ ඇදලා ගලවලා දාන්න ඕන. 

එක එක ජාතියේ මාස්ක් වර්ග ඉහත රූපයේ දැක්වේ. රූපය ගත්තේ Google Images වලින්.

මම සාමාන්‍යයෙන් මේක ගෑවම කරන්නේ, වේලෙනකම් කාමරේ ඇතුලට වෙලා ඉඳල, ගලවලා, මූණ හෝදගෙන මිසක් එලියට බහින්නෙ නෑ. කළු පාට නිසා. නමුත් එක දවසක් මම මේක පාවිචිච් කරද්දී ටිකක් වැඩිපුර රෑ වෙලා තිබුණෙ, හැමෝම නිදි. මේ වෙලාවට ඕක දැකල බයවෙන්න කවුරුවත් එන එකක් නෑ කියල හිතල, මම මාස්ක් එක වේලෙනකම් කුස්සියට ගියා වතුර බෝතලේ පුරවන් එන්න.

එතකොටම, කුස්සියේ අනිත් පැත්තේ දොරෙන් ඇතුළු වුණා ගෙහිමියා. ඒ වෙලාවේ එයා ජංගිය විතරයි ඇඳල හිටියෙ. එයත් වතුර බොන්න හරි මොනවට හරි එන්න ඇති. මම ඉතින් දැන් ගෙහිමියාගේ පැත්තට මූණ හරවන්නේ නැතුව ඉඳන්, "මම මාස්ක් එකක් දාගෙන ඉන්නෙ, මූණ දැකල බය වෙන්නෙපා" කියල කියන්න උත්සාහ කරනවා දිගින් දිගටම. නමුත් ගෙහිමියාට මම කියන දේ ඇහෙන්නේ නැහැ, ඒ මොකද කියනවා නම්, ඔහු ඊට වඩා සද්දෙන් මගෙන් සමාව අයදිනවා. "අනේ සොරි මානවී, රෑ වෙලා නිසා මම හිතුවේ කුස්සියේ කවුරුවත් නැතුව ඇති කියල, ඒකයි ජංගි පිටින් ආවෙ, මම ඉක්මනටම වතුර අරන් යන්නම්, අනේ සමාවෙන්න, මම ඉක්මනින් යන්නම්" කිය කිය. එයා හරිම embarassed. ඒ නිසා එයා nonstop සමාව අයදිනවා දැන්. කොටින්ම එයා හුස්ම ගන්න වත් කතාව නවත්තන්නේ නැති නිසා, මම කියන දේ අහන්න එයාට ඉස්පාසුවක් නැහැ. ඉතින් මම මාස්ක් එකක් දාගෙන ඉන්න බව කිවුවට, එයාට ඇහෙන්නේ නැහැ. (ඒ මදිවට එයාගේ කටහඬ මට වඩා ගොඩක් සද්දයිත් එක්ක) සමහර විට, මම මාස්ක් එක පේනවට ඒ පැත්තට මූණ හරවන්නේ නැතුව ඉන්නකොට, එයාට හිතෙන්න ඇති එයාගේ ජංගිය නිසා මම uncomfortable වෙලා කියල. අහක බලන් කතා කරනකොට, කොහොමත් වැඩිය සද්දෙන් ඇහෙන්නේ නැහැනෙ.

ඔහොම ඇවිත් එයා මගේ එහා පැත්තෙන් හිටගෙන සැන්විච් එකක් හදන්න පටන් ගත්ත. මමත් එතකොටම, "I am wearing a mask" කියාගෙනම එයාගේ පැත්තට හැරුණ. ගෙහිමියා මගේ දිහා බලල, එක පාරට ගැස්සුණ. එහෙම ගල් ගැහිල ටිකක් වෙලා ඉඳලා, nonstop හිනා වෙන්න පටන් ගත්ත.