April 18, 2022

තරුණ පරපුරේ බලාපොරොත්තු



From: https://www.istockphoto.com/vector/family-tree-with-elaves-gm650184406-118188415


 එංගලන්තයේ ලෝරන්ස් ඔලිවර් සම්මාන උළෙලේ හොඳම නළුවා වූ හිරාන් අබේසේකර කරන මේ කතාවේ 1:18 සිට අහන්න.


"මට සම්මානය ගැන සතුටුයි, හැබැයි ඒක නිකම් වලාකුළු ගොඩකින් වැහිලා තියෙන්නේ. අරගලයට සහභාගී වෙන්න තමයි ආවේ. නැත්නම් ඉතින් එන්න උවමනාවක් නැහැනේ."

මේ කතා කරන්නේ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයයි. ශරීරයෙන් කොහේ හිටියත්, හිතින් අනාගතය ගැන සිතා ලතැවෙන හිත් වල ඇති ශෝකයයි.

ග්‍රීසිය ආර්ථික අර්බුදයකට මැදි වුයේ මෑත අතීතයකදී ය. මගේ මිතුරියක් එරස්මස් ශිෂ්‍යත්වයක් ලබා යුරෝපයේ විද්‍යාපති උපාධිය හදාරන කාලයේ, මාස කිහිපයකට ග්‍රීසියේ අධ්‍යාපනය ලැබුවාය. ඇයට ආශ්‍රය කරන්නට ලැබුණු ග්‍රීක තරුණ පරම්පරාව තුළ බලාපොරොත්තු කඩවුණු බවක්, එදා දවස ගත කරනු විනා හෙටක් ගැන අදහසක් නැති බවක්, ඇයට දැනී තිබිණි.

පසුගිය කාලය පුරාම මේ බලාපොරොත්තු කඩ වූ ස්වරූපය අපේ තරුණ පරපුර තුළද හිස ඔසවමින් තිබිණි.

මීට මාස කිහිපයකට පෙර, රටේ සිදුවන අකටයුතුකම් පිලිබඳ සංවේදීතාවක් ඇති වූ විටක, කවර හේතුවක් නිසා හෝ අසංවේදී ව මුනිවත රකින සමාජය ගැන ඇති වූ කළකිරීම සමනය කරගෙන මගේ හිත හදාගන්නට, මම ලියා තැබූ පද පෙළක් පහතින් ලියමි.


පුතේ නුඹ නිදන්න - සදහටම නිදන්න 

දෙනෙත් හැර බලන්නට - නුඹට නොමැතිය රටක් 

හීනයක් මවන්නට - නුඹට නොමැතිය හෙටක් 


අතට ලැබෙනා මුදල් ගනිමින් සියලු තීරණ ගනු පෙනේ 

නිධන් වන් සිඳු දුරින් යන නැව් වෙතට විකිණී ගිනිගැනේ 

ලෙයින් වෙනසක් නොවූ සොයුරන් අතර වෛරය පැතිරුණේ 

ණය ගෙවන්නට ගත් ණයෙන් කොටසක්, හොරෙන් අරගනු පෙනේ 


දිලින්දන් සිඟමන් යදින විට පොහොසතුන් සක්විති වෙලා 

වීරයින් නිහඬවී සිර කොට කැනහිලුන් බලවත් වෙලා 

පෑගුනිද මංමුලා වැල්, රට වැසියනුත් ඇත හිනැහිලා 

ශාපලත් දේශයක ඉපදී කඳුළු සලමින් ඉමු බලා 


මම ගත කරන්නේ ගැහැණියක් දරුවන් වදනා වයසයි (childbearing age). මගේ ඇතැම් මිතුරියන් මවුවරු වන අතර, ඔවුන් බහුතරය දරුවන්ගේ හෙට දවස ගැන සංකාවෙන් පසු වේ. ඒ ඇතැමුන් දරුවන් ගැන සිතමින් විදෙස්ගත වීමට පෙරුම් පුරනා අතර, මවුවරුන් නොවූ අනිත් පිරිස, දරුවන් හදම්දෝ නොහදම්දෝ යන දෙගෙඩියාවෙන් පසුවන්නේ, මෙවන් රටක ණයකාරයෝ කරන්නට දරුවන් හදන්නේ කුමටදැයි සිතමිනි.

ශ්‍රී ලාංකික තරුණ පරපුර, බලාපොරොත්තු කඩ කර නොගෙන, සාමකාමී අරගලයකට පිවිසීම, ප්‍රගතිශීලී දෙයක් වන්නේ එනිසාය. හෙට දවස වෙනුවෙන් සටන් කරනා මානසිකත්වයක, ධනාත්මක අදහස් හා ශක්තිමත් බවක් ඇත. රටක් ගොඩනැගිය හැක්කේ ඔවුන්ට ය. හෙටක් ගැන බලාපොරොත්තු නැතිව මළවුන් සේ ජීවත් වන මානසිකව අවපීඩිත තරුණ පරපුරක් නොවී, අරගල කරනා තරුණ පරපුරක් දැකීමට අප වාසනාවන්ත වී ඇත. එය එසේ පවතීවා යන්න මගේ පැතුමයි.

කසුන් කල්හාර ගේ අපූරු සංගීතයෙන් හැඩ වූ මේ ගීතය අහමු.










April 06, 2022

නින්ද අහිමි කරන හීන

 රටේ අම්මා වගේ හිටපු, ඇති උතුම් සේවයක් කරපු නිරූපමා රාජපක්ෂ මැතිණිය විදෙස්ගත වෙලා. බලන්න ඉතින් රට බේරාගත්තු අයගේ පවුල් වල අයට මේ රටේ කළගුණ නොදත් ජනතාව ඉන්න නොදෙන හැටි. එතුමිය කිසිම වරදක් කරලත් නැතිකොට, නිර්භීත පරම්පරාවක කෙනෙකුත් වෙච්චි කොට, මෙහෙ ඉන්න තිබුණෙ, කඩාකප්පල් කාරයන්ට උණ ගැනෙන්නත් එක්ක.


කඩාකප්පල් කාරයෝ ගැන හිත හිත ඉන්නකොට, දන්නෙ නැතුවම ඇස් පියවුණා..


එකපාරටම ලොකු එළියක් ආවා. නිල්, කහ, රතු, සුදු, තැඹිලි, පාට පාටින් වට පිට දිලිසුනා. මිහිරි පිච්චමල් සුවඳක් හැම තැනකම පැතිරී ගියා. රත්තරන් පාට දිලිසෙන රූපයක් හෙමින් මතුවුණා. හරිම මිහිරි ලස්සන හඬින්, දේශනාවක් පටන් ගත්තා.


"සියලු දෙනාට සමානව මෛත්‍රිය පතුරුවන්න. පන්සිල් රකින්න. කිසිම කෙනෙකුගේ ජීවිත වලට හානි කරන්න එපා. සොරකම් කරන්න එපා. වැරදි කාමසේවනයේ යෙදෙන්න එපා. බොරු කියන්න එපා. සුරාපානය කරන්න එපා."


"අනේ යන්න අනේ යන්න.", එකපාරටම පැත්තකින් ගඳ ගහන රූපයක් ඇවිත් අර මිහිරි දේශනයට බාධා කළා.


"ඔබ බටහිර NGO කාරයෙක්. අපේ නිර්මල බුදු දහම විනාශ කරන්න ආපු කෙනෙක්. එහෙම හැමෝටම මෛත්‍රී කරලා බුදු දහම රකින්න බෑ. අන්‍යාගමිකයින් කෑලි කෑලි වලට කපන්න ඕන, අනික අපට හොරකම් කරන්න එපා කියන්න ඔබතුමා කවුද? ගෑණු සීයක් විතර එක්ක නිදියගත්තේ නැති උන් කොහොමත් අදාළ නෑ, උන් පිරිමි නෙවෙයි, අනික ප්‍රෞඪ පෙනුමක් තියන ආරෝහ පරිණාහ පෙනුම තියන අයට ගෑණු ඕන තරම් ආකර්ෂණය වෙනවා, ඒවා නොදැක්ක වගේ ඉන්නවා නම් ඌ කොහොමත් පිරිමියෙක් වෙන්න බෑ. බොරු කියන එක අපේ වැඩක් ඒක ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා. අනික බාර් පර්මිට් එකක් දෙකක් නොදී කොහොමද අපි සිංහල බෞද්ධ ඡන්ද ටික අරන් මේ ආගමයි ජාතියයි රකින්නෙ? සරලවම මෙච්චරයි, ඔබතුමා NGO කාරයෙක්. බටහිරෙන් එන පිල්ලි අපට අදාළම නෑ, අපි මරාගෙන මැරෙන්නේ මේ රට, ජාතිය හා ආගම වෙනුවෙන්. ඔබට බෑ අපිව නවත්තන්න."


එක පාරට මට ඇහැරුණා. ඔලුව රිදෙනවා හොඳටම. කොට්ටේ ටිකක් හදාගෙන, අනිත් පැත්ත හැරිලා මම ආයේ නිදා ගන්න උත්සාහ කළා.


එකපාරටම විශාල සද්දයක් ඇහුණා. ආයුබෝවේවා මහරජාණනි කියල සින්දුවක් ඇහෙන්න ගත්තා. උස, ලස්සන ප්‍රතාපවත් පෙනුමක් තියන, සුදු සරමක් හා කමිසයක් ඇඳපු, රතු පාටින් සාටකයකුත් කර වටේ දාපු, උඩු රැවුලක් තියන, කෙනෙක් ආවා.


"මට මේ රටේ මිනිසුන්ගෙන් සමාව ගන්න අවශ්‍යයි. මම ඉතා විශාල මුදලක් කොමිස් විදියට අරගෙන තියනවා. තවත් විශාල මුදලක් සොරකම් කරලා තියනවා. මට ඉතා විශාල පසුතැවීමක් දැනෙනවා, කොටින්ම මම මැරුණට පස්සේ මට මොනවා වෙයිද කියලත් මට බයයි. කරුණාකරලා ඒ මුදල් ටික ආපහු බාර දීලා, හිත නිදහස් කරගෙන මට මැරෙන්න ඉඩ හදා දෙන්න, මට සමාවෙන්න."


"මේ මොකද මේ වෙලා තියෙන්නෙ?", එකපාරටම පැත්තකින් අර කලින් ආපු ගඳ ගහන රූපයම ඇවිත් අර කතාවට බාධා කළා.


"ඔබතුමාගේ සිහිය විකල් වෙලාද? ඔබතුමා කවද්ද සොරකම් කළේ? ඔබ කවදාවත් සොරකම් කරලා නැහැ, සොරකම් කලේ වෙන වෙන අය. අනිත් අය සොරකම් කරලා ඒකට ඔබේ නම පටලපු එක තමයි හැමදාම සිදු වුණේ. දැන් උනත් ඔබතුමාට මේ කවුරුහරි අනවශ්‍ය බලපෑමක් කරලා. නැත්නම් ඔබතුමාගේ සිහිය විකල් වෙලා. ඔබට බලපෑම් කලේ කවුද කියන්න, කෑලි කෑලි වලට කපනවා උන්ව. ඔබතුමා හොඳින් කෙලින් ඉන්න ඕන, බලපෑම් වලට යටත් වෙලා කොහොමද?"


ආයෙත් මට ඇහැරුණා. දැන් නම් ඔලුව කැක්කුම හොඳටම වැඩියි. මම නිදියගන්නා අදහස අත්හැරියා..


පසුගිය දවස් වල කතාබහට ලක්වුණු ඔස්කාර් සම්මාන උළෙලේ best picture විදියට සම්මානිත, CODA චිත්‍රපටය apple tv එකේ බලන්න පුළුවන් කියලා නොටිෆිකේෂන් එකක් ඇවිත් තිබුණා.. නිදාගන්න අදහස අත් ඇරපු නිසා  මම ඒක බලන්න පටන් ගත්තා.


ඒ චිත්‍රපටය ලස්සනයි. මම කොහේ හරි දැක්කා, කලාත්මක චිත්‍රපටයක් කොතනදී pause කලත් ඒ රාමුව ලස්සනට තියෙන්න ඕන කියල කතාවක්. මම ෆිල්ම් බලන්නේම නැති තරම්. වැඩිපුරම ආස නිදා ගන්න නිසා, අමුතු හීන පෙනිලා නිදාගන්න බය හිතෙන දවසක විතරයි මම චිත්‍රපටි බලන්නෙ. මම එහෙම බලපු අතලොස්සක් චිත්‍රපටි අතරෙන්, Pride and Prejudice (2005) චිත්‍රපටයට පස්සෙ දැකපු, ඒ ලක්ෂණය තියනවා යයි මට හිතුණු ලස්සන චිත්‍රපටයක් CODA. CODA කියන්නේ Child Of Deaf Adults කියන තේරුම. ධීවර පවුලක ඉන්න එකම දියණිය හැරුණම, ඇගේ දෙමවුපියනුත්, සහෝදරයාත්, බිහිරියි, ඔවුන්ට කතා කරන්නත් බෑ. ඉතින් මේ දියණිය තමයි ඔවුන්ගේ නිල නොලත් පරිවර්තක. ඇය සංගීතයටත්, ගායනයටත් ආසයි, නමුත් ඇගේ පවුලේ කිසිවෙකු සංගීතය හෝ ගායනය යනු කුමක්දැයි හරියටම දන්නේ නැහැ. ඔවුන්ගේ ජීවන අරගලයත්, ඇය වෙනුවෙන් උදවුවට ඉදිරිපත් වෙන පාසලේ සංගීත ගුරුතුමා ගේ උත්සාහයත් සමග දිව යන කතාව අවසන් වෙන්නේ, මේ දියණිය Berklee College of Music හි අධ්‍යාපනය ලබන්න ශිෂ්‍යත්වයක් දිනා ගැනීමෙන්.

සිංදුවකුත් අහමුද?