December 23, 2018

නවාතැන්පොළේ කතා / Home away from home - 02


නවාතැන්පොළේ කතා / Home away from home පළමු කොටස මෙතනින් ගිහින් බලල එන්නකෝ.

මේ දවස් වල නත්තල් නිවාඩු නිසා පරිසරය ටිකක් පාලුයි. විශ්ව විද්‍යාලයේත් හැමෝම වගේ නිවාඩුවට ගෙවල් වල ගිහින්, සමහර අය ඇවිදින්න ගිහින්, බොහොම ටික දෙනයි වටපිටාවෙ පේන්නත් ඉන්නෙ, සීතල හා අඳුර එක්ක හැමෝම ගෙවල් ඇතුලට වෙලා ගුලි වෙලා තමයි ඉන්නෙ. අපේ ගෙහිමියත් එයාගේ මැද මිදුලේ වාසය අත් ඇර දාල, ගේ ඇතුලේ ගුලි වෙලා ඉන්නව මේ දවස් වල.

ඔය මැද මිදුල ගැන ටිකක් විස්තර කරනවා නම්, මේ ගෙදර මම ඇතුළු තවත් පිටස්තර කිහිපදෙනෙකු නවාතැන් අරන් ඉන්නේ ගෙදර ප්‍රධාන කොටසේ. ගෙහිමියා සහ ඔහුගේ සහකරු ජීවත් වෙන්නේ ඊට පිටුපසින් තියන වෙනම කොටසක. පෙනුමින් පොඩි වුණාට, ගෙහිමියා වාසය කරන කොටස ඇතුලෙත් නිදන කාමරයට අමතරට නාන කාමරයක්, පොඩි කුස්සියක් වගේම, ඉතා කුඩා සෝනා එකකුත් තියනව. මේ ගෙදර අපි වසන කොටසයි, ගෙහිමියා වසන කොටසයි අතරේ තියන කුඩා ඉඩේ, ඔහු විසින් ගසක් එහෙම සිටුවල, පොඩි බංකු දෙකක් හදල තියනව, බංකු කිවුවට, මේ බංකු වලට වහලක් තියනව, ඒ වහල වටේට වතුර බහින්න වැහි පීලි සවි කරල තියනව, හදිසියකට ගීතයක් එහෙම වාදනය කරන්න, ෆෝන් එකක් චාජ් කරන්න එහෙම එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් ඇදගන්න පුළුවන් කමකුත් තියනව. එතනම එහා පැත්තෙ තියෙන්නේ ඔහුගේ බීර හා වයින් ඇතුළු අනිකුත් අඩුම කුඩුම පුරවපු ශීතකරණය. ජීවිත කාලේ හොඳට මහන්සි වෙලා වැඩ කරලා, විශ්‍රාමික ඔහු, දැන් ඉතින් කරන්නේ මේ බංකුවට වෙලා ආතල් එකේ ෂොට් එකක් දාන එක තමයි.

ඇත්තටම ඔය මම කියපු බංකු, වැහි පීලි, සෝන එක ඇතුළු තවත් නොයෙකුත් අඩුම කුඩුම ජාති, මේ ගෙහිමියා විසින් තනියම හදපු දේවල්. උදේ පටන් ගත්තම හවස් වෙනකම් ඔහු කරන්නේ ෂොට් එකක් දාන ගමන් මේ පොඩි පොඩි දේවල් හදන එක. අපේ සමහරු, බොන්න ගත්තම, සිහි නැති වෙනකම් නාලා කරන සමහර විකාර දේවල් (අපේ මියුරු තුමීත් ලියල තිබුණ මේ ගැන) එක්ක බැලුවම, මේ මනුස්සයා බීලා කරන මේ නිර්මාණාත්මක දේවල්, ඇත්තටම අගය කල යුතුයි.

ඉතින් ගෙහිමියාගේ බංකු ආතල් එක කරන්න පුළුවන් ගිම්හාන කාලෙයි, සරත් කාලෙයි විතරයි, දැන් ඒ බංකුවේ කුෂන් එහෙම ඉවත් කරල, බංකුව ශිශිර නිද්‍රාවකට පත් කරලා තමයි තියෙන්නෙ, මේ දවස් වල. ගිම්හානයේ, හවස් වෙනකම් ම ඉර අවුව තියන කාලෙට, සමහර දවසට, මම කැම්පස් එකේ ඉඳන් ගෙදර ඇවිත්, ඔය බංකුවේ වාඩි වෙලා පොඩි චැට් එකක් දාන් ඉන්නවා ගෙහිමියා එක්ක. එහෙම කතා කරනකොට ඔහු කියපු නොයෙකුත් කතා අතරේ, මගේ හිත වැඩියෙන්ම ඇදගත්ත කතාව තමයි මේක.

"ජීවිතේ දුක හිතෙන අවස්ථා එනව තමයි. නමුත් දුකයි සැපයි දෙකම තියනකොට වර්ණවත්, වලට ගියාට පස්සෙ එහෙමවත් නෑ නේ, තණකොළ වැවිච්ච තැනිතලා පොලව විතරයි. හරිම ෆ්ලැට්. බෝරින්. දැන් අඩුම තරමේ සැප දුක එක්ක සයිනාකාර හැඟීම් අපිට දැනෙනව නේ, නිකම් ම ෆ්ලැට් දේකට වඩා සයිනාකාර දෙයක් කොයි තරම් නම් රසවත් ද"

ඔහු මේක කිවුවේ සයිනාකාර විදියට අත ගෙනියන ගමන්, ඔහු කියපු දේ එලෙසම ලියන්න මගේ භාෂා හැකියාව මදි. ඒ නිසා සයින් වක්‍රය මෙතන අලවනවා, අමතක අයට මතක් වෙන්නත් එක්ක.


සයින් වක්‍රය ඉහත රූපයේ දැක්වේ. පින්තූරය Google වෙතින්.


*****


කෑම උයන විදි ගැන ටිප්ස් ටිකක් ලියන්න කියල තිබුණ නේ අපේ බසු තුමා. ඉතින් ටිප්ස් ම නෙවෙයි ,ඔය පොඩි පොඩි විස්තර ටිකක් ලියන්න හිතුව, කෑම ගැන. අපි මෙහෙම විප්‍රවාසේ ඉන්නකොට, සමහර වෙලාවට අපි ළමා කාලේ කාපු බීපු හැටි මතක් වෙලා, පපුව හෝස් ගාල යන අවස්ථා එනව නේද? අන්න ඒ වෙලාවට පහසුවෙන් කන්න හදාගන්න පුළුවන් අනං මනං ටිකක් තමයි මේ.

ඔය කොයි කවුරුත් අමුවෙන් ඇඹරැල්ල කාල ඇති නේ, ලුණුත් එක්ක. අන්න එහෙම දොළ දුකක් ආවම කන්න හදාගන්න පුළුවන් දෙයක් තමයි Kiwifruit. ලෙලි ඇරලා, පෙති කපලා අරන්, ලුණු ගම්මිරිස් ටිකක් ඉහලා කලවම් කරගත්තම නියමයි. ඔය පින්තූරේ මම ගෑරුප්පුව ඒක ඇතුලෙම දාල තියෙන්නේ, ෆොටෝ එක ගන්න කලින් පෙරේතකමට කෑල්ලක් කාපු නිසා. නමුත් ගෑරුප්පු ඒක ඇතුලෙ දාල ගොඩක් වෙලා තියන්න එපා, දන්නවනේ, ඇඹුල් ජාති නේ.


ගම්මිරිස් හා ලුණු දැමූ කිවි. ෆොටෝ එක මගේ.

එක පාරක් යාළුවෙක් අම්බරැල්ල කරියක් හදල තිබුණ, ඇඹරැල්ල වෙනුවට කිවි දාල. ඒකත් නියමයි, රෙසිපිය නම් අහන්න බැරි වුණා හැබැයි.

අඹ හෝ ලොවි අච්චාරු මතක් වෙලා පපුව හෝස් ගාල ගියොත්, ටක් ගාල ඇපල් ගෙඩියක් කපල, ලුණුයි, මිරිස් කුඩුයි ඉහල කාල බලන්නකො. අඹ හෝ ලොවි වගේ කොලිටි නෑ ඉතින්, නමුත් උන්නු හැටියට මලා මදැයි කියල කන්න පුළුවන්.


මිරිස් කුඩු හා ලුණු දැමූ ඇපල්. ෆොටෝ එක මගේ.

මම එක පාරක් යාළුවෙක් ගේ ගෙදර ගිහිපු වෙලාවක, කට්ටියට බියර් බොනකොට කන්න ඔහොම ඇපල් හදල දුන්න. එයාල රසයි කියල කෑව, ඒ කියන්නේ ඉතින් බයිට් එකක් විදියටත් හොඳ ඇති. මගේ නම් බියර් එක්ක වැඩිය ඇයි හොඳයියක් නෑ.


*****

මේක නම් සමහර විට ඔයාල අහලත් ඇති, නමුත් මට මේ ලඟදි යාලුවෙක් එවපු නිසා, බෙදාගන්න හිතුණ. මේක හෙඩ්ෆෝන් දාල අහල බලන්නකො.




දැන් මේකත් අහන්නකො හෙඩ්ෆෝන් දාගෙනම. කට්ටිය නම් එක එක විදියට කමෙන්ට් කරල තිබුණ, නමුත් මට නම් හරිම ලස්සනයි.




හැමෝටම ලස්සන නත්තල් නිවාඩුවක් ප්‍රර්ථනා කරනවා. 2019 වසරේ සියලු පැතුම් ඉටු වේවා!

December 18, 2018

නවාතැන්පොළේ කතා / Home away from home - 01

කලින් පෝස්ට් එකට සහෘදයෙක් කමෙන්ට් කරල තිබුණ ජපන් කතා අතරට එක්සත් රාජධානියේ කතා ත් ලියන්න කියල. ඇත්තටම ගොඩක්ම සිදු වෙලා තියෙන්නෙ මෙහෙ ආවත් හරි උදේ යනව, ආයේ හවස ගෙදර එනව වගේ ජීවිතයක් ගෙවන්න සිදු වුණු එක. විවේකයක් හම්බුණු වෙලාවට ඇවිදින්න ගියාට, අනිත් හැමදාම ටිකක් විතර ඒකාකාරියි.

මම දැන් ටික කාලෙක ඉඳන් ගෙදරින් ඈත් වෙලා ඉන්න නිසා, ඒ නොයෙක් නවාතැන් වල සිදුවුණු මතක හිටින සිදුවීම් කිහිපයක් ලියා තබන්නට හිතුව. මේ සිදුවීම් එකින් එක ගත්තම, ටිකක් නීරස ඇති කියල මට හිතෙනව, සීරීස් එකක් ම ලිවුවොත්, දිනපොතක් වගේ එකතුවක් හදන්න පුළුවන් වෙයි, සමහර විට.



සකුරා මල් පිපුණු පාරක් මේ පින්තූරයේ දැක්වෙනවා. පින්තූරය ගත්තේ නම් මම මයි.


මේක තමයි පළමුවැන්න, ජපානෙදි වුණු සිදුවීමක්.

මුලින්ම විදෙස්ගත වෙනකොට මට මෙලෝ විදියකට උයන්න බෑ කියල මම කලිනුත් ලියල ඇති. කොටින්ම, ගිහින් උයන්න පටන් ගනිපු දවස් වල, පරිප්පු එකක් උයන්න පැයක් ගත වෙනවා, කෑම වේලක් ම උයන්න පැය දෙකහමාරක් විතර ගත වෙනවා. අනිත් රටවල් වල අය කුස්සියට ඇවිත් උයලා, වොෂ් එකක් දාන් ඇවිත් කාලා, භාජනේ සෝදන්න ආයේ කුස්සියට එනකනුත් මම උයලා තියනවා, ඔන්න කොටින්ම. හැබැයි ඉතින් ඒ ගොඩක් අයගේ කෑම වේල එක භාජනයයි, උපරිම දෙකයි, බතුත් එක්ක. අපේ ඉතින් කරිත් එක්ක භාජන හතරක විතර ජොබ් එකක් නේ උයන එක.

ජපානේ අපේ විශ්ව විද්‍යාලයේ විදෙස් සිසුන්ට නවාතැන් ගන්න තිබුණු ලොජ් එකේ තිබුනේ පොදු කුස්සියක්. ඒකේ ලොකර් පේලියක් තිබුණා එක එක්කෙනාට වෙන් කරපු, අපට පුළුවන් උයන්න අවශ්‍ය කරන අඩුම කුඩුම ටික ඕකේ දාල තියන්න. ඉතින් මගෙත්, භාජන ටිකයි, තෙල් බෝතලෙයි, තුනපහයි, ඔක්කොම ටික දාන්නේ ඔය ලොකර් එකේ තමයි. මේ ලොකර් හරිම පොඩියි, ඉතින් එකක් උඩින් එකක් තමයි බඩු ටික ගොඩ ගහල තියන්නෙ. දවසක්, සෝදලා තියපු භාජනයක් තෙල් බෝතලේ උඩට තදින් ගෑවිලා (සෝදලා උණාට උයපු ගමන් නිසා භාජනේ ටිකක් උණුවෙන් තිබිල තියෙන්නෙ, හැන්ඩ්ල් එකෙන් අල්ලන් සේදුවම මට දැනෙන්නේ නැහැනේ භාජනේ උණුයි කියල) ඉතින් තෙල් බෝතලේ යන්තමින් උණු වෙලා, සිදුරක් හැදිල. හැබැයි භාජනේ තෙල් බෝතලේට ඇලිල වගේ තිබුණු නිසා, තෙල් ඉහිරිලත් නැහැ. පහුවදා දවල් උයන්න ලෑස්ති වෙලා, ඔය බවක් දන්නේ නැතුව මම තෙල් බෝතලේ ගන්නකොට, අර කුඩා සිදුරෙන් තෙල් ගලන් ඇවිත් බිම තෙල් ඉහිරුණා. හැබැයි මම ඒ ඉහිරුණු තෙල් ටික එවෙලේම සුද්ද කලේ නැහැ, ඒක උඩට කඩදාසි ටිකක් දාල, කට්ටියට පෑගෙන්නේ නැති විදියට තියලා, මම උයන්න ගත්ත, උයල ඉවර වෙලා අස් කරනකොට බිම පිහිනවා කියල හිතාගෙන.

මගේ නරක වෙලාවට, ලොජ් එක වටේ ඇවිද ඇවිද හිටපු ඔෆිසර් කෙනෙක් කුස්සියට කඩා වැදුණ, හරියටම ඒ වෙලාවෙ. ලොජ් එකේ ඔෆිසර් ල තුන් දෙනෙක් හිටිය, මාරුවෙන් මාරුවට. මේ ඔෆිසර් එතරම් මිත්‍රශීලී නෑ, එයාට ඉංගිරිසි ත් එතරම් හොඳින් කතා කරන්න බැහැ, මගේ නරක වෙලාවට. ඉතින් එයා ඇහුව මේ මොකද කඩදාසි දාල තියෙන්නෙ කියල.  මම ඉතින් එයාට කිවුව තෙල් ඉහිරුනේ මගේ අතින් බවත්, මම ඒක පිරිසිදු කරන බවත්. හැබැයි එයාට මම කියපු දේ හරියටම තේරුණේ නැහැ, ඉතින් එයා නැවතත් මට කියා සිටිය, මා විසින් එය පිරිසිදු කල යුතු බව. ඉතින් එයාට මම කලින් කියපු දේ නොතේරෙන්න ඇති කියල හිතල, මම පිරිසිදු කරන බවට එකඟ වුණා.

ඊට පස්සෙ, එයා අර තෙල් ඉහිරුණු එකේ පින්තූර කිහිපයක් අරගෙන (මේ ඔෆිසර් ලා ළඟ කැමරා තියනවා නිතරම) මගේ පින්තූර කිහිපයකුත් ගත්තා, අහන්නෙත් නැතුවම. මූලිකවම තෙල් ඉහිරුණු එක මගේ වැරැද්ද තමයි, නමුත් මොන හේතුවකට හරි, ඔය පින්තූර ගනිපු එක ගැන මට එච්චරම ප්‍රසාදයක් ඇති වුණේ නැහැ.

පසුව, මම උයල ඉවර වෙලා, ඔක්කොම තෙල් ඉහිරුණු තැන් හොඳින් පිරිසිදු කලා. ඒක දැකපු යාළුවොත් එයාල ළඟ තිබුණු වෙට් වයිපස් එහෙම ගෙනැත් දුන්නා, වැඩේ පහසුවෙන් ඉවර කරගන්න පුළුවන් වෙන්න. ඒ උනාට මට තාම හිතට හරි මදි, අර පින්තූර ගනිපු එක ගැන. එතනට නොයෙක් සිසුන් එනවා, සාදා පවත්වන්න, මත්පැන් බොන්න, එහෙම. ඉතින් ඒ හැම අවස්ථාවකම වෙන වෙනම පින්තූර ගැනෙන්නේ නැහැනෙ, මොකද ඔෆිසර් ලා හැම වෙලාවෙම මුළුතැන්ගෙට එන්නේ නැහැ. ඉතින් මගේ පින්තූරය එහෙම වෙන කෙනෙක් අපිරිසිදු වුණු වෙලාවක් එක්ක වැරදීමකින් වත් පැටලුනොත්, නැති වරදක් මගේ නමින් එන්නත් පුළුවන්. ඇරත්, මම කොහොමත් පිරිසිදු කරන්න හිතාගෙන ඉන්නකොට, මම මග අරින්න හැදුවා කියල ඔෆිසර් හිතපු එක ගැනත් මට දැනුණේ කණගාටුවක්. ඒ මනුස්සයට මගෙ හිත කියවන්න බෑ තමයි, නමුත් මට ඒ ගැන හරිම අපහසුතාවයක් දැනුණ.

ඉතින් මගේ හිත හදාගන්න, මම කලේ කඩදාසියක් අරන් මෙන්න මේ ලිවුම ලියපු එක.

අදාළ පාර්ශවයන් වෙතට,

අද (xx/xx/xxxx) දහවල් දෙකට පමණ ආහාර පිළියෙළ කරමින් සිටින අතරතුර, මා අතින් තෙල් ටිකක් බිම ඉහිරිණි. ඒ දුටු නිලධාරීවරයෙක්, ඉහිරුණු තෙල් වල හා, මාගේ ඡායාරූපයක් ලබා ගති. මා දහවල් තුන වනවිට, සියල්ල පිරිසිදු කර අවසන් කල බව, මෙයින් දන්වා සිටිමි.

මා පිරිසිදු කළ පසු වෙනත් අයෙකු විසින් මුළුතැන්ගෙය නැවත අපිරිසිදු කොට ඇත්නම්, එහි වගකීම මා නොදරන බව දන්වා සිටිමි. එනිසා, හැකි ඉක්මනින් මුළුතැන්ගෙය යථා ලෙස පිරිසිදු වී ඇත්දැයි පරික්ෂා කර, මා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

ස්තුතියි.

කාමර අංක xxx හි පදිංචි එමා 

මම ලොක්ක වගේ ඔය ලිවුම ගිහින් දුන්න අර ඔෆිසර් ට. 'අනේ ඔයා පහලට ආවෙ අපරාදේ, මට ඊ මේල් එකක් දැම්ම නම් හරිනේ' කියල, බොහොම කරුණාවෙන් ඔහු ලිවුම ගත්ත. හැබැයි ලිවුමට රිප්ලයි එකක් වත්, ඊ මේල් එකක් වත් මුකුත් ආවේ නැහැ.

හවස හයයි තිහට විතර, කවුරුහරි දොරට තට්ටු කරනවා ඇහිලා, මම ගිහින් දොර ඇරලා බැලුවම, මෙන්න අර ඔෆිසර් ඉන්නවා තව ලිවුමක් අරගෙන. මම ඉතින් ලිවුම අරගෙන කියවල බැලුව.

එමා,

පිළිතුරු දෙන්නට පමා වීම ගැන සමාවෙන්න. මම මුළුතැන්ගෙය පරීක්ෂා කරල බැලුවා, එය ඉතා පිරිසිදුයි. අවසර නැතුව පින්තූර ගනිපු එක ගැන මම කණගාටු වෙනවා, නමුත් මේ සිදුවීම ඔබයි මමයි ඇරෙන්න වෙන කවුරුවත් දැනගන්නේ නැති බවට මම සහතික වෙන්නම්. ඔබේ හිත රිදුණා නම් සමාවෙන්න.

ස්තුතියි.

ඒ සිදුවීම වෙන කාටවත් නොකියන බව ඔහු පොරොන්දු උනාට, මම ම ඔන්න හැමෝටම පේන්න බ්ලොග් එකේ ලිවුව. තවත් නවාතැනක කතාවක් ලියන්නම්, ඊළඟට.

සිංදුවකුත් අහමු.