ලඟදි මිතුරෙක් ලියපු කවි පොතක් එව්ව, කියවල බලල අදහස් දක්වන්න කියල.
ගොඩක් දිග පොතක් නොවෙයි, ඉතින් එක හුස්මට කියවන්න පුළුවන්. හැබැයි කියවල ඉවර උනාම හිතට දැනුණේ දුක්බර කණස්සල්ලක්.
මේකට හේතුව තමයි, පොතේ ලියා තිබුණේ මිනිස්සු එදිනෙදා ජීවිතේ ඇතුලේ විඳින දුක, විරහව, හා වගකීම් වල බර ගැන. එදිනෙදා ජීවිතේ හිතට දැනෙන දුක, වගකීම් වල බර, හා කණස්සල්ල ගැන දැනගන්න අපිට අමුතුවෙන් කවි පොතක් කියවන්න ඕනද? උදේට රැකියාවට යන, ජාතියේ කොඳු ඇට පෙළ වගේ ඉන්න අපේ වැඩ කරන ජනතාවට බස් වල වාදනය කරන්නේ මොනවද? වැඩි හරියක් විරහ ගීත නේද?
කලාව ඇරඹුණු විදිය ගැන මම ගොඩක් තොරතුරු දන්නෙ නෑ, නමුත්, දවසේම දඩයම් කරපු ආදි මානවයා, මහන්සිය නිවාගෙන, තුවාල වලින් නැගෙන වේදනා අමතක කරල, හිතට සතුටක් ලබා ගන්නට මිහිරි නාද නිකුත් කරන්නටත්, ගුහා වල චිත්‍ර අඳින්නටත් ඇති.
සම් ඇඳුම් හැඳගෙන අව් කණ්නාඩි පැළඳි, විහිලු ස්වරූපයේ ආදි මානව ජෝඩුවක්. පින්තූරය Google Images වෙතින්. |
මම ඉතින් මගේ මිතුරාට කිවුව, එදිනෙදා ජීවිත වල තියන පුංචි පුංචි රසවත් දේවල් ටිකක්, අතරින් පතර හයිලයිට් කරලා තිබුණා නම් මම ඒ පොතට ඊට වඩා ඇලුම් කරනු ඇති බව. හැමෝටම එහෙම නොහිතෙන්න පුළුවන්, නමුත් ඉතින් මම කියන්න ඕනේ පොත කියෙව්වම මට දැනෙන දේ නේ? ඔහු තවත් අයට ඔහුගේ පොත යොමු කරන්න ඇති. ලැබෙන අදහස් සියල්ල සලකා බලා, අවශ්‍ය නම් පමණක් ලියවිල්ල වැඩි දියුණු කරාවි.
කොහොම උනත්, ඔබ රචකයෙක් නම්, කොහොමහරි ලියන්න පටන් ගැනීමයි වඩා වැදගත්. අපේ පුංචි බ්ලොග් ලෝකෙත්, ඉතා හොඳට ලියන්න පුළුවන් කී දෙනෙක් නම් දැන් නිහඬව ඉන්නවද? මීළඟ කොටස මම පුද කරනවා, ලියන්නේ නැති බ්ලොග්කරුවන්ට. ඔබේ Writer's Block එකෙන් මිදෙන්න මේ උපදෙස් උපකාරී වේදැයි බලන්න.
1. ඔබේ අඩුපාඩු හෝ ලිවීමට ඇති දුෂ්කරතා ගැන තොරතුරු, ලියවිල්ලට එකතු කර ගන්න.
2. ඔබේ අත්දැකීම් ගැන ලියන්න.
3. ලියවිල්ල කැත උනත් කමක් නෑ, ලියාගෙන යන්න. පස්සේ පුළුවන් වෙනස් කරන්න.
4. ඔබ කියවන අනිත් දේවල් වලින් කොටස්, ඔබේ රචනයට එකතු කරන්න.
5. ආරම්භයක් වශයෙන්, ඔබ ලියන මාතෘකාව ගැන අනිත් අය ලියා ඇති දේ ලියන්න.
නිහඬව ඉන්න බ්ලොග් කරුවන්ගේ නිහඬ භාවය බිඳිලා යලි ලියන්නට හිතෙන,
එදිනෙදා ජීවිතේ කරදර අමතක වෙලා හිත සැහැල්ලු වන පෝස්ට් ලියවෙන,
ලස්සන 2018 වසරක් උදා වෙමින් තිබෙනවා.
ඉතින් ඔබ සැමට ආසිරි!