March 07, 2018

කැණිමඬල - 5

පෙරවදන.

මේක මම ලියන්න ගත්තේ, කරන්න මෙලෝ වැඩක් නැතිව ඔහේ හිටපු කාලෙක. පස්සේ එහෙමම මගහැරුණත්, පටන් ගත්ත වැඩේ ඉවර කලයුතු නිසා හෙමින් ලියන්නට හිතුව. නමුත් දැන් එදාට වඩා වැඩ තියන නිසා, මේ කතාව මා අතින් නියත වේගයකින් නොලියවෙනු ඇති. රසවත් නොවනු ඇති. හදිසියේ ලියපු වාර්තාමය ස්වභාවයක් ගනු ඇති. එහෙම උනොත් සමා වෙන්න.

නීරසයි නම්, නොකියවා හිටියත් තරහ වෙන්නේ නැහැ, මොකද හුදෙක්ම මම මෙය ලියන්නේ පටන්ගත් වැඩේ ඉවර කිරීමේ ආත්ම තෘප්තිය ලැබීමේ අරමුණින් පමණයි.


*****

මෙතෙක් කතාව.

නිර්මල හා චලනි, විදේශගත ශ්‍රී ලාංකික යුවලකි. ආන්යා ඔවුන්ගේ සුරතල් සිඟිති දියණියයි. පුහුණුවක් සඳහා වසරක කාලයකට ඇමරිකා එක්සත් ජනපදයට පැමිණෙන ඔවිනි, නිර්මල හා චලනි සමග ඉතාම මිතුරු වෙයි. පුහුණුව අවසන් වී, ඔවිනි ලංකාවට ගිය පසු, චලනි කාන්සියෙන් කල් ගෙවනා අතර, නිර්මල නිසා ඔවිනි මවක් වන්නට යන බව දැනගෙන පුදුමයටත්, වේදනාවටත් පත් වෙයි. දරුවා නැති කරගැනීමේ අදහසින් යලිත් ඇමරිකා එක්සත් ජනපදයට පැමිණෙන ඔවිනිගේ බලාපොරොත්තුව, හැකි ඉක්මනින් දරුවාගෙන් නිදහස්ව ශ්‍රී ලංකාව බලා ගොස්, ඇය ගැන උනන්දුවෙන් පසුවන පුද්ගලයෙකු සමග, නව ජීවිතයක් ඇරඹීමටයි. එතෙක්, චලනි හා නිර්මල සමග ජීවත් වන ඔවිනි, ඉක්මනින් මේ ගැටළු විසඳන ලෙස නිර්මලට බලකර සිටී.

කැණිමඬල - 1

කැණිමඬල - 2

කැණිමඬල - 3

කැණිමඬල - 4



වැසි බිඳු රැඳුනු කුඩයක් (Google Images)

*****

නිර්මල එදා රැකියාවට පිටත්ව ගියේ, දරුවා නැති කරන්නට හැකි ඉක්මනින් කටයුතු පිළියෙළ කරන බවට මටත්, ඔවිනි ටත්, නැවතත් පොරොන්දු වෙමිනි. අවශ්‍ය බොහෝ තොරතුරු නිර්මල විසින් අන්තර්ජාලයෙන් සොයාගෙන තිබුණු අතර, වැඩ ඉවර වී ගෙදර එන ගමන්, අපට ආසන්නයේ ඇති නාගරික රෝහලට ගොස්, නීතිමය කටයුතු පිළිබඳව වැඩිදුර තොරතුරු සොයාගැනීම ඔහුගේ අරමුණ විය. වාසනාවකට මෙන්, අප ජීවත් වන ප්‍රාන්තයේ ගබ්සා නීති ලිහිල් වන අතර, අපට ඇති එකම ගැටලුව වූයේ, කෙටිකාලීන වීසා මත මෙහි පැමිණි ඔවිනිට, මේ සේවා ලබා ගැනීමේ නීතිමය බාධාවක් ඇතිදැයි සැක හැර දැන ගැනීමටයි.

එදින මට රාජකාරිමය වශයෙන් බෙහෙවින් කාර්ය බහුල දිනයක් විය. වාර්ෂික අභ්‍යන්තර විගණන පරීක්ෂාව සඳහා නිලධාරීන් පැමිණි අතර, ඔවුන්ගේ කටයුතු වලට සහාය වෙමින්, කාර්යාලයේ රැඳෙන්නට මට සිදු විය.

ලිපිගොණු අතර ගෙවුණු කාර්යබහුල උදෑසනකට පසු, නිහඬ කර තිබුණු දුරකථනය පරීක්ෂා කල විට, මට ආන්යා ගේ ඩේ කෙයා එකෙන් දුරකථන ඇමතුම් කිහිපයක් ලැබී තිබිණි. බෙහෙවින් වගකීම් සහගත සේවයක් ලබා දෙන මෙම ඩේ කෙයා එකෙන්, මෙලෙස දුරකථන ඇමතුම් ලැබෙන්නේ කලාතුරකිනි. මම සැලෙන සිතින්, වහා ඔවුන්ට ඇමතුමක් ගතිමි.

"හෙලෝ චලනි. ඔයාට කරදර උනා නම් සමාවෙන්න. ආන්යා හදිසි අනතුරකට ලක් වුණා. ඇය හොඳින්, නමුත් අපි ඇයව රෝහල්ගත කළා. ඒ බව දැනුම් දෙන්න තමයි ඔයාට කතා කළේ."

"මොකක්..? ආන්යාට මොකද වුණේ?"

"එයා ප්ලේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කර ඉන්නකොට සී සෝ එකෙන් වැටිලා ඔලුව වැදුණා. කලබල වෙන්න එපා. ඇය හොඳින්. දැන් සිටි හොස්පිටල් එකේ ඇය ඉන්නේ. මම ඔයාට ලොකේෂන් එකයි අපේ ස්ටාෆ් මෙම්බර් ගේ ෆෝන් නම්බර් එකයි ටෙක්ස්ට් කරන්නම්. ඇයට කෝල් කරලා හරියටම ඉන්න තැන ලොකේට් කරගෙන යන්න. දැන් මිනිත්තු දහයකට පෙර නම් ඇය මට ඇමතුවේ ස්කෑනර් රූම් ළඟ ඉඳන්."

මම, ලඟින් තිබුණු පුටුවේ හිඳ ගතිමි. අමාරුවෙන් වචන ගැට ගසාගෙන ඇමතුම අවසන් කරන්නට මට හැකි විය. 

"ඕකේ. තෑන්ක්ස්."

විගණන කටයුතු, තවම අවසන්ව නැත. ගිනිගත් සිතින් කාර්යාලයේ රැඳී සිටියත්, හිතට නම් සැනසීමක් නැති බව සැබෑවකි. නමුත්, ඉන්නන් වාලේ හෝ, මෙහි මා පෙනී හිඳීම, අද දවසේ අත්‍යවශ්‍ය වී තිබේ. නිර්මල ට උදය වරුවේ විභාග රාජකාරියක් පැවරී තිබේ. මම ඔවිනි ට ඇමතුමක් ගෙන, ඇයට රෝහලට යන ලෙස පවසා සිටියෙමි.

"මම ඔයාට ෆෝවර්ඩ් කරන්නම්, ඩේ කෙයා රෙප්‍රසන්ටේටිව් ගේ නම්බර් එකයි, ලොකේෂන් එකයි. කෝල් එකක් දීල හොයාගෙන යන්න. අනේ ගිහිපු ගමන් ඉක්මනටම මට ටෙක්ස්ට් කරන්න ප්ලීස්."

"හරි හරි අක්කි. බය වෙන්න එපා. හැමදේම හරි යාවි."

කාර්යාලයේ සගයෙකුට, මගේ තත්වය පැහැදිලි කල මම, මාගේ පීඩනය අඩු කරනු වස්, මට උදව් කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.

මගේ ගැටළුව තේරුම් ගත් සගයා, මගේ දැනුම අත්‍යාවශ්‍ය වන මොහොතක පමණක් මගෙන් තොරතුරු අසාගෙන, අනිත් සියළු ගැටළු වලට තනිව පිළිතුරු ලබා දුන් නිසා, අපහසුතාවයක් නොපෙන්වා, විගණන කටයුතු අවසන් වනතුරු රැඳී සිටීමට මා සමත් වීමි. නමුත් මේ බොහෝ කතාබහ, මට ඇසුණේ වත් නැත. දුරකථනය දෙස පරීක්ෂාවෙන් බලමින් සිටියත්, ඔවිනි ගෙන් කිසිදු තොරතුරක් හෝ ලැබුණේද නැත.

විගණන නිලධාරීන් නික්ම ගිය සැණින්, ඩේ කෙයා ඔෆිසර් ට ඇමතූ විට, ඇය මට කියා සිටියේ එමර්ජන්සි ඩිපාට්මන්ට් එකට එන ලෙසයි. මම රෝහල කරා දිව ගියෙමි. ඔවිනි, ආන්යා ට බෙහෙවින් ආදරේ බව සැබෑවකි. නමුත්, ඔවිනි ගේ නිහඬ බව මසිත කළඹමින් තිබිණි. ආන්යා අනතුරට පත් වූ බව ඇසූ ඔවිනි, බෙහෙවින් කම්පනයට පත් වූයේ ඇයි?

"පවු ප්‍රෙග්නන්ට් කෙල්ල. කලබල වෙන්න හොඳත් නෑ මේ කාලෙට." මම මිමිණුවෙමි.

එසැණින්ම, ඔවිනිගේ දරුවා මෙලොව එලිය නොදකින බව මට සිහි විණි. ආන්යාගේ අසනීපය නිසා ව්‍යාකූල වී ඇති සිත, තවත් වරක් සසල විය. මගේ දෙපා අඩපණ වන බවක් දැනී, මම රෝහල් කොරිඩෝවේ පුටුවක් මත මඳකට අසුන් ගතිමි.

"චලනි?"

නිර්මල ගේ හඬ ඇසී, මම පියවි සිහියට එළඹිණි.

"ඔයා මොකද මෙතන?"

"අනේ නිර්මල.. අපේ ආන්යා..."

මම නිර්මල වැළඳගෙන හඬා වැටුනෙමි.

"ආන්යාට මොකද? මොකක්ද වුණේ? ඇයි මට කිවුවෙ නැත්තෙ?"

"ඔයාට මගේ ටෙක්ස්ට් එක ආවෙ නැද්ද?"

"නෑ.. මම හොස්පිටල් ආවේ ඔවිනිගේ ඇබෝෂන් එකේ වැඩේට."

"අපි යමුකො එමර්ජන්සි ඩිපාට්මන්ට් එකට. ආන්යා එතන. එයා ඩේ කෙයා එකේදි ඇක්සිඩන්ට් වෙලා."

"ආන්යා..?"

නිර්මල තිගැස්සී ගියේය. මදෙස තත්පර කිහිපයක් වික්ෂිප්තව බලා සිටි ඔහු, දෙතොල් තදින් පියාගෙන ඉදිරිය බලා ගත්තේය. මම දුරකථනය පරීක්ෂා කලෙමි. විභාග රාජකාරිය අවසන් වී, රෝහලට යන ලෙස මම නිර්මල ට ලියූ කෙටි පණිවිඩයේ "Send" බොත්තම ඔබන්නට මට අමතක වී තිබේ.

අප එමර්ජන්සි ඩිපාට්මන්ට් එකට ගොස්, ඔවිනිත්, ඩේ කෙයා ඔෆිසර් නුත්, හමු වුණෙමු.

ඇයි මෙතන?"

"අපිට එළියෙන් ඉන්න කිවුව."

"ඒ මොකද ඔවිනි?"

ඔවිනි බයෙන් බයෙන් හඬ අවදි කළාය.

"ආන්යා ට සිහිය නෑ අක්කි."

"මොකක්?"

ඩේ කෙයා ඔෆිසර් හඬ අවදි කලේය.

"ඇත්තටම එයාව හොස්පිටල් එකට ගේනකම් සිහිය තිබුණ. ස්කෑන් එක කරද්දී තමයි සිහි නැති වුණේ. සමහර විට, බය වුණාද දන්නේ නැහැ. ඒ වෙනකම් සිහිය තිබුණු නිසා ප්‍රශ්නයක් නෑ කියල තමයි ඩොක්ටර්ස් ල කිවුවෙ. අපිට ටිකක් ඉවසන්න වෙනව."

මගේ දෙපා යළිත් අප්‍රාණික වන බවක් දැනී, මම නිර්මල ගේ අතින් අල්ලා ගතිමි. ඔහු, මාව වත්තම් කරගෙන ගොස්, පුටුවක හිඳුවා, මා අසලින් හිඳ ගත්තේය. ඔවිනි, මගේ අනිත් පස පුටුවේ හිඳගෙන, මගේ හිස අත ගෑවාය.

"බය වෙන්න එපා චලනි. අපි ඒ තරම් අවාසනාවන්ත නෑ."

"හැමදේම හරි යයි අක්කි. බය වෙන්නෙපා."


*****

පැය කිහිපයකට පසු, අපට සැනසීමක් ලබා දෙමින්, ආන්යා පියවි සිහියට එළඹිණි. දින කිහිපයක් නේවාසික ප්‍රතිකාර ලබාගැනීම සඳහා සහ පරීක්ෂණ කිහිපයක් සඳහා, ආන්යාට රෝහලේම රැඳී සිටින්නට සිදු වූ අතර, නිර්මලත්, ඔවිනිත්, මාරුවෙන් මාරුවට, ආන්යා ළඟ රැඳිණි. මේ නිසා, ඔවිනි පිලිබඳ මා තුළ තිබූ නුරුස්නා හැඟීම්, බොහෝ දුරට පහව ගොස් තිබිණි.


*****

අපගේ නිවසට නැවත ආලෝකය ලබා දෙමින්, ආන්යා නැවත නිවසට පැමිණුනේ අදයි. 

"ඔවිනි.. තේ එක බොන්න."

ජනේලයෙන් ඉවත බලා සිටින ඔවිනි, මා කී දේ නෑසුනාක් මෙන් නිසලව සිටී.

"ඔවිනි.. මොකද ළමයො?"

"තෑන්ක්ස් අක්කි."

ඔවිනි මවෙත හැරී තේ කෝප්පය අතට ගත්තාය. ඇගේ හඬ බිඳුණු ස්වරයක් ගත් අතර, දෙනෙතින් කඳුළු ගලා යමින් තිබිණි. මම ඔවිනි ගේ උරහිසින් අල්ලා ගතිමි.

"මොකද මේ?"

"මුකුත් නෑ අක්කි. Don't worry"

"මුකුත් නැති වෙන්න බෑ නේ? මොකද? ඇඟට අමාරුද?"

"නෑ නෑ.. එහෙම අමාරුවක් නෑ. නිකම්."

"පිස්සු නැතුව කියන්න මට."

"මගෙ බඩේ ඉන්න දරුව, ඔයාගෙයි, නිර්මල අයියගෙයි උනා නම්, එයත් ආන්ය වගේ, හැමෝගෙම ආදරේ ලබල, පරිස්සමින් ඉඳීවි නේද?"

"හ්ම්ම්.. ඔයයි, මමයි, නිර්මලයි එකතු වෙලා ලොකු පවක් මේ කරන්න හදන්නෙ."

"ඒ පවු මගේ පිටින් යනව නම් හොඳයි, ඔයාලගේ අහිංසක පවුලට මුකුත් වෙන්නෙ නැතුව."

"එහෙම හිතන්න එපා ඔවිනි. අපි ඔක්කොම අසරණයි මේ වෙලාවෙ."

එකම රෝහලක් තුළ, එක් දරුවෙකු මරා දමන්නට සැලසුම් කළ අපි, තවත් දරුවෙකු වෙනුවෙන් හඬා වැටුනෙමු.

"නිර්මල, ඔවිනි ගේ ඇබෝෂන් එකට වෙන හොස්පිටල් එකක් හොයමු."

නිර්මල අතට තේ කෝප්පය දෙන අතර, මම කීමි.







9 comments:

  1. /මම චලනි ට ඇමතුමක් ගෙන, /

    it should be Ovini...isn't it?

    ReplyDelete
    Replies
    1. ඔව්, මටත් හිතෙන්නේ මෙතන පොඩි ප්‍රින්ටිං මිස්ටේක් එකක් තියෙනවා. ආයෙ මෙතනත්: "නමුත් මේ බොහෝ කතාබහ, මට ඇසුණේ වත් නැත. දුරකථනය දෙස පරීක්ෂාවෙන් බලමින් සිටියත්, චලනි ගෙන් කිසිදු තොරතුරක් හෝ ලැබුණේද නැත."

      Delete
    2. රවී තුමා සහ සිත්තමී,

      දෙන්නාටම බොහොම ස්තුතියි. නිවැරදි කලා. මට කතාව ලියන් යද්දී නම් වැරදිලා තිබිලා දැකපු ටික හැදුව. මගහැරුණු ටික තමයි ඔයාල පෙන්නුවෙ.

      This is what happens when you are suffering from writer's block but end up pushing yourself to write.

      Delete
  2. දරුවෙක්ගේ හදිසි අනතුරක් නිසා දෙලෝ රත් වෙලා ඉන්න වෙලාවක මේක කියෙව්වේ.. :'(

    //එකම රෝහලක් තුළ, එක් දරුවෙකු මරා දමන්නට සැලසුම් කළ අපි, තවත් දරුවෙකු වෙනුවෙන් හඬා වැටුනෙමු// Punched!

    ReplyDelete
    Replies
    1. හපොයි. මට උඩින් ඩිස්ක්ලේමර් එකක් දාන්න තිබුණ. "සංවේදී අය කියවීමෙන් වළකින්න" වගේ එකක්. නේද? සමාවෙන්න.

      Delete
  3. මුල ඉඳලා පටන් ගන්න ඕන කියවන්න. ආකර්ෂණීයයි ලියන රටාව!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, කොමෙන්ටුවටත්, ඇගයීම ටත්.

      Delete
  4. මට ටිකක් දරාගන්න අමාරු මාතෘකාවක්. මුළු කතාවම කියවලා ඉවරවුණාම මම අදහසක් කියන්නම්කෝ මානවී.

    ReplyDelete
    Replies
    1. ඔව් මට තේරෙනව. මේ කතාව හරිම දරුණුයි.

      මුලින්ම සැමියා ගේ වෙනත් සම්බන්ධතාවක්. දැන් දරුවෙක් අසනීපෙන්. තව දරුවෙක් ගේ ඉරණම විසඳෙන්න යන්නේ භයානක විදියට.

      මටම පුදුමයි මගේ හිතේ මේ වගේ දරුණු කතාවක වස්තු බීජයක් පැල වුණේ කොහොමද කියල. (මම හරි අහිංසක කෙනෙක් නේ ඉතින් :D :P )

      Delete