January 22, 2016

ජපන් කතා 4 - ඇරඹුම සිවුවන කොටස



ජපන් කතා බලන ප්‍රමාණය පොස්ට් එකෙන් පොස්ට් එකට අඩු වෙනවා. නමුත් හේතු කිහිපයක් මත මා මෙය දිගටම ලියාවි.


ඇත්තටම මා මේ ලියන්නේ මගේ ජීවිතේ උත්සාහයෙන් ලබාගනිපු දෙයක් ගැන. කවදාහරි ආපහු මතක් කරල සතුටු වෙන්න පුළුවන් විදියට, මට අමතක වෙන්න කලින් ලියල තියන්නයි මට ඕන. මට විතරක් පෙනෙන විදියට ලියනවට වඩා, බ්ලොග් එකේම මේක ලියල බෙදාගන්නට හිතුවේ, මේ කතාව කියවන්න ආස අය එක්කෙනෙක් හෝ ඇති කියල හිතුනු නිසා. ඒ වගේම මම කාපු කට්ට, තව එක්කෙනෙකුට හෝ ජීවිතේ කට්ට කන්නට දිරියක් සපයාවි යයි මම විශ්වාස කරනව. මොකද රෝස මල් යහනාවක් වන් ජීවිතයේ රෝස කටු ඇනෙන වෙලාවල් අපි හැමෝටම තියෙන නිසා.




මගේ පොස්ට් කියවල කොමෙන්ට් දාපු ඔබ සැමට මම මේ වෙලාවේ ස්තුති කරන්නට හිතුව, මොකද කොමෙන්ට් එකක් ටයිප් කරන එක ඔබට මහ දෙයක් නොවන්නට පුළුවන්, නමුත් ඒ මගින් මට ලිවීම උදෙසා ලැබෙන දිරිගැන්වීම සුවිශේෂියි. අද කාලේ සිදුවෙන දේවල් දිහා බලන විට, නාඳුනන මට ඔබ විසින් ලබා දෙන දිරිය ශක්තිය, ඉතා උතුම්.


**************

යලිත් කතාවට එමු.


ඇප්ලිකේෂන් එක ගෙන්න ගන්න විදියක් හිත හිත හිටිය මතකයි නේද?


මම අයදුම් කරපු විශ්ව විද්‍යාලයේ මම දන්න කියන කෙනෙක් හිටිය. අයදුම් පත ගෙන්න ගන්න විදියක් කල්පනා කරද්දී මුලින්ම මතක් වුනේ ඔහුව. මම ඔහුගෙන් ඇහුව මම තැපැල් ගාස්තු ගෙව්වොත් මට අයදුම් පත අරන් DHL කරන්න පුලුවන්ද කියල. එහෙම කරන්නට තරම් උවමනා නැති බවත්, EMS කරලා මම ලියුම යැවුවොත්, දින තුනක් ඇතුලට ලිපිය ජපානයට ලැබෙන බවත් ඔහුගෙන් දැනගන්නට ලැබුණ.




ඉතින් අයදුම් පත ලබා ගැනීමේ අයදුම් පත යැවිය යුත්තේ අදාළ IRC පත් සංඛ්‍යාව සමග බව මතකයි නේද? මම ඉතින් IRC පත් මීට කලින් භාවිතා කරලා නැහැ. තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ඔවුන්ගේ කස්ටමර් සර්විස් එකට අමතලා බැලුව. කස්ටමර් සර්විස් එකෙන් ලබා දුන් වෙනත් අංකයකට කතා කරලා බැලුවම, මම ඉන්නේ කොහෙද අහපු ඔෆිසර් කෙනෙක් මට කිවුව මොරටුව තැපැල් කාර්යාලයේ IRC පත් තිබෙන බව. ඉතින් මම හනිකට ගියා මොරටුව තැපැල් කාර්යාලයට.


"IRC කාඩ් 7 ක් ගන්න පුළුවන් ද මට?"

"මොකක්?"

ඒ මනුස්සය බය උනා මම IRC කාරියක් කියල හිතල වගේ!

"ඉන්ටර්නැෂනල් රිප්ලයි කූපන්ස් 7ක්."

"ආ.... දැන් ටෙලිෆෝන්, ඊ මේල්, කුරියර් සර්විස් එහෙම තියන නිසා, IRC භාවිතා වෙනව හරි අඩුයි නේ. අපේ ළඟ IRC නැහැ. ගල්කිස්සට යන්නකෝ. එහෙ ඇති."


ඊට පස්සේ මම ගියා ගල්කිස්සේ තැපැල් කාර්යාලයට.

"IRC කාඩ් 7 ක් ගන්න පුළුවන් ද මට?"

"මොකක්?"

ඒ මනුස්සයත් බය උනා මම IRC කාරියක් කියල හිතල වගේ!

"ඉන්ටර්නැෂනල් රිප්ලයි කූපන්ස් 7ක්."

"ඒ මොනවද ඒ? එහෙම එකක් ගැන අපි දන්නේ නැහැ."


ඉතින් මොකද කරන්නේ? මට හරි මහන්සියි. වතුරත් තිබහයි. එක පාරටම කරන්නට දෙයක් හිතා ගන්නත් බැහැ. ආපහු යනවද? IRC නැතුව ආපහු ගියොත් අයදුම් පත ලබාගැනීමේ අයදුම් පත යවන්නේ කොහොමද? කරන්නට දෙයක් හිතා ගන්නකම් මහන්සියට වාඩිවෙලා ඉන්න බන්කුවක් හෝ එහි නැහැ. (ඇත්තටම මේ කතාවට අදාළ නැති උනත්, සංචාරකයන් නිතර ගැවසෙන පෙදෙසක් වූ ගල්කිස්ස දුම්රිය ස්ථානයත්, තැපැල් කාර්යාලයත්, මීට වඩා පිළිවෙලක් වෙනවා නම් අපේ රටේ ප්‍රතිරූපයට හොඳයි කියල මට හිතුන.)


මට ඒ අතරේ යමක් මතක් උනා...


ආපහු තැපැල් දෙපාර්තමේන්තුවේ කස්ටමර් සර්විස් එකට කතා කරලා බැලුවොත් මොකද?


මම දුරකථන ඇමතුමක් ගත්ත. අරගෙන මගේ දුක කිවුව. ඔන්න එතකොට කොළ එළියක් දල්වුනා.


“මේකයි.. IRC දැන් භාවිතා වෙනව අඩු නිසා, එළියේ තැපැල් කාර්යාල වල IRC නැතිව ඇති එහෙනම්. එක්කෝ මිස් වැල්ලවත්ත තැපැල් කාර්යාලයේත් බලන්න, නැත්නම් කෙලින්ම GPO  (General Post Office) එකට එන්නකෝ. එතන නම් අනිවාර්යෙන් ම IRC තියනව. මම මිස් ට GPO එකේ අංකය දෙන්නම්, කතා කරලා කන්ෆර්ම් කරගෙනම යන්නකෝ."


GPO එකේ අංකය ඉල්ලගෙන පිටිපස්ස බලනකොට, ගල්කිස්ස තැපැල් කාර්යාලයේ සේවක පිරිස මට කතා කළා. එවර මා සමග කතා කලේ ටිකක් වැඩිමහලු නිලධාරියෙක්.


"මිස්, ඔයාට IRC කූපන්ස් නේද ඕන?"

"ඔව්"

"ආ.. හරි හරි. හැබැයි අපේ ළඟ IRC නැහැ. දැන් IRC භාවිතා කරන්නෙත් නැහැ. ඒ නිසා කොහෙවත් IRC ඇති කියල හිතන්න නම් අමාරුයි. ඒවා පාවිච්චි කලේ ගොඩක් ඉස්සර නේ."

"හරි. ගොඩක් ස්තුතියි."


කොහෙවත් IRC නැති උනොත් මොකද කරන්නේ? මේ කියන විදියට GPO එකෙත් IRC නැති වෙන්න ඉඩ තියනවා. මෙහෙම හිත හිත ගල්කිස්ස තැපැල් කාර්යාලයෙන් එලියට එන ගමන්, මම GPO එකට ඇමතුමක් දුන්න.

"හෙලෝ, මට IRC 7ක් ගන්න පුලුවන්ද?"

"පොඩ්ඩක් ඉන්න මිස්, චෙක් කරලා කියන්නම්."


දිග මිනිත්තු කිහිපයක් ගත උනා. සල්ලිත් ඉවර වේගෙන යනවා ෆෝන් එකේ. හදවත ගැහෙනවා වේගෙන්.


IRC තිබුනාද? ඊළඟ කොටසින්. J



මෙතෙක් කල් මා හා රැඳුනු ලබැඳි ඔබට ස්තුතියි.





18 comments:

  1. ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක කෙටි කරල ජපානෙ අත්දැකීම් ගැන ලියන්න පටන් ගත්තනම් නරකද.
    බයි ද වේ වෙයා ඩු යු ලිව්?
    ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රොසෙස් එකේදී කට්ට කාපු හැටි තමයි මට ලියන්න ඕන උනේ. මම දන්නවා ඒක කියවන්න නීරසයි කියල. නමුත් ඒ තරම් නීරස කට්ටක් කාපු මට, අවසානයේ ඒක ලියන සතුට හෝ විඳින්නට ඕන.

      ඇරඹුම සීරීස් එක ගොඩක් දිගට යාවි. ඇරඹුම නීරස බව මම දන්නව, ඒ නිසා ඔබ එතකම් මේ පැත්තේ නෑවිත් ඉඳල, ඊළඟ කොටස් වල ඉඳන් කියවන්න පටන් ගත්ත කියල, මම තරහ වෙන්නේ නම් නැහැ. :)

      Delete
    2. මම බ්ලොග් එකක් ලියනව කියල ජපානේ ඉන්න ශ්‍රී ලාංකික කවුරුවත් දන්නේ නැහැ, ඒ නිසා හරිම නිදහසෙන් තමයි මේක ලියන්නේ. දැන් මම ඉන්න තැන හා තව විස්තර කිවුවොත් ඒ නිදහස නැති වෙයි කියල මට බයයි මොකද සමහර විට මම දන්න කියන අය ඔබත් දන්නවා ඇති :)
      හෙමීට විස්තර කියන්නම්. එතකම්, මම ඉන්නේ චිබා පෆෙක්චර් එකේ බව මතක තියා ගන්නකො :)

      Delete
  2. මේ ඔරිජිනල් සරස තුමා ද?
    ආදරෙන් පිලිගන්නවා මේ පැත්තට :)

    ReplyDelete
  3. හැමදාම කුතුහලය අවුස්සලා යනවනේ.
    කතාවනම් එල..

    ReplyDelete
    Replies
    1. IRC කියලා ඇහැව්වෙත් අදයි.

      Delete
    2. මේක ඉක්මනට ලියල ඉවර කරන්න ඕන. නැත්නම් එපා වෙයි ඔයාලට. මේ නීරස කතාවට ටිකක් හරි ඔයාල බැඳලා තියාගන්න තමයි කුතුහලය සහිතව ඉවර කරන්නේ.
      IRC ගැන මමත් අහල තිබුනේ නැහැ අනේ මේ අයදුම් පත යවනකම් ම.

      Delete
  4. අයියාර්සී කාරියද්ද කොහෙද..

    IRC කියන එකේ නියම තේරුම හරියටම මතක නැතත් ඉස්සරෝම පාවිච්චි වෙන්නෙ අයර්ලන්ත ගරිල්ලන්ව හදුන්වන්න. සිරාවටම තැපඅල් දෙපාර්තුමේන්තුව එහෙම හුටමක් පාවිච්චි කරනව කියල දන්නෙම අද.. හිහ

    ReplyDelete
    Replies
    1. මමත් තැපැල් දෙපාර්තමේන්තුවේ IRC ගැන දැනගත්තේ අයදුම් කරනකොට තමයි :)
      අපි ශ්‍රී ලංකාව තුල ලියුම් යවනකොට රිප්ලයි තැපැල් ගාස්තු සඳහා මුද්දර කවරයක් යැවූවට, ජාත්‍යන්තර ලිපි ගනු දෙනු වලදී එහෙම බැහැනේ. ඒ නිසා තමයි මේ කූපන් පත් යවන්නේ. ඒවා මාරු කරගන්න පුළුවන් ඕනෑම රටක මුද්දර වලට. IRC පතක වටිනාකම රු. 250 ක්. මම එයින් 7ක් යවන්න ඕන ජපානයේ සිට ශ්‍රී ලංකාවට තැපැල් ගාස්තු සඳහා.
      වෙනත් රටවල් වල මේවා හැම තැනම ගන්න තියනව ඇති සමහර විට. ජපානයේත් ජාතික තැපැල් සේවය ගොඩක් දියුණුයි. අපේ තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන අවධානය අඩුයි නේ.

      Delete
  5. I.R.C. = Island Reconvicted Criminal ( දිවයිනේ පුනර්දෝෂිත අපරාධකරු.)

    මම දන්නව ඊලඟට වෙච්චි දේ....G.P.O. එකෙන් කතාකරල කිව්වනේද " මිස් ඔයා එන්ට කරදර වෙන්ට එපා..ඉන්න තැන විතරක් අපිට කියන්න. ඒ කරල ඔයා ඔතනම ඉඳගෙන රෝල් එකක් කාරිය කාල කූල් මොනවහරි බොන්න. අපි ඔයා ලඟටම IRC කූපොං හතක් ගෙනල්ල දෙන එක දෙනවමයි" කියල?

    ReplyDelete
    Replies
    1. මම IRC කාරියක් කියල හිතල, කට්ටිය බය උනා කියලද රවී තුමා හිතන්නේ හැබෑට :)
      වෙලාවකට මටත් හිතෙනවා අනේ එහෙම වෙනව නම් කියල. ඒ උනාට වැටකට හිටවපු කෝටුවක් වගේ හීනි මාව දැක්කම කාටවත් බය හිතෙන්නෙ නැති එකනේ අප්පා ප්‍රශ්නේ!

      Delete
  6. ඔයා මේ ලියන්නෙ හැබෑවටම වෙච්ච සන්තෑසියක්ද?. මට ඩීංගිත්තක් විතර මේ කතාව අමුතුයි. මොඅකද මේ ලියන මමත් ඇතුළුව මං දන්න දැනට ජපානෙ ඉගෙනෙගන්න කිසි කෙනෙක් ඔය කියන ක්‍රමේට අයදුම්පත් ගෙන්නගෙන නෑ.

    අපිට අදාල අයදුම්පත් අදාල විශ්ව විද්‍යාලෙන් EMS කරලා එව්වෙ එයාලගෙ වියදමින්. අපි ඒවා ආපිට එව්වා අපේ වියදමින්. එහෙම නැතුව ඔය කියන විදිහෙ කූපන් එවපු කතන්දරයක් මමනම් මේ ඇහුවමයි.

    ජපානෙ හැම විශ්ව විද්‍යාලෙකෙම ක්‍රමවේදෙ මා දන්නා තරමින් එකයි. ඔබත් දැන් මාස තුන හතරක් හිටියනම් දන්නවා ඇතිනෙ ඒක. ඒ නිසා චිබා වලට එක විදිහයි හොකයිඩෝ වලට තව විදිහකුයි තෝක්යො වලට තව විදිහකුයි තියෙනවා කියලා මටනම් හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. "
      2. Request by post
      Outside Japan
      If your mailing address is outside Japan, please request the Guidelines for Applicants only since you can download the Entrance Examination Guides from this website.The postage rate varies depending on the country and the desired department. Also, the postage must be paid by International Reply Coupons (IRCs). Please send the Student Affairs Section a completed “Request of Guidelines for Applicants” and the required number of IRCs as shown in the following table. The materials will be sent to you by Express Mailing Service (EMS) after we receive them.

      See the table of Required Number of International Reply Coupons by Area

      The IRCs are normally sold at or through your local post office. Please visit the following website for further information on the IRC.

      http://www.upu.int/en/activities/international-reply-coupons/about-irc.html
      "

      Extracted from:
      http://www.k.u-tokyo.ac.jp/exam_e/index.html#a3

      Delete
  7. හැබෑට අයි ආර් සී කතාව ඇහුවමයි.කොච්චර නොදන්නා දේවල් තියෙනවද?

    ReplyDelete
  8. බොලේ ඕනම ටික බලන්න ඊලග පෝස්ට් එක වෙනකන් ඉන්න වෙනවනේ.

    ReplyDelete
  9. අයිආර්සී ගැන නොදනිමි.. ඔයාට ලියන්න ඕන ටික ලියල ඉවර වෙලා ඔය කවුන්ටර් අනං මනං බලන්න.. ඉදිරියයටම යමු

    ReplyDelete
  10. ගල්කිස්ස දුම්රිය ස්ථානයත් තැපැල් කාර්යාලයත් කිසිම පිළිවෙලක් නැති බව නම් ඇත්තයි.ගොඩක් සංචාරකයෝ ඔය හරියේ ගැවසෙනවා.ඉස්සර නම් ගල්කිස්ස පොස්ට් ඔෆිස් එකේ බංකුවක් දෙකක් තිබ්බා මතකයි.දැන් නම් නැතුව ඇති එහෙනම්.

    ඔය කියන අයි ආර් සී ගැන මමත් දැනගත්තේ මේකෙන් තමයි.

    ReplyDelete
  11. ඔයාගෙ කතාවෙ හිට්ස් ගාන ගැන හිතන්නෙ නැතිව ඔයාගෙ කතාව කියාගෙන යන්න. යම් දවසක යම් කෙනෙකුට ගන්න පාඩම් ගොඩාක් ඒක ඇතුලෙ තියෙනවා.

    ReplyDelete