April 27, 2014

බෝඩිම් හොයපු හැටි - 2

.
“බබාල මට හිනා වෙනව නේද?”

අත ළඟයි කියපු බෝඩිම හොයාගෙන අපි යනවා යනවා යනවා. කෙළින් යනවා, හැරිලා යනවා, ආපු පාර අපට මතක නැති තරම්.

“මේ ආපහු යන්නේ කොහොමද”

“අපරාදේ පාර දිගේ කොළ අතු කඩ කඩ එන්න තිබුනේ”

“දැන් නම් තව ටිකකින් කලුවරත් වැටේවි”

ඇත්තටම “යනවා යනවා ඉවරයක් නැහැ” කියන යෙදුම මම ප්‍රායෝගිකව අත්වින්දා ඒ ගමනේදී.

 මේ දෙබස් නුහුරුයි වගේ නම්, මෙතනට ගිහින් මතකය අලුත් කරගෙන එන්න...

******** 
අන්තිමටම, සියලු බිය දුරු කරමින්, සැක නිමා කරමින්, අප සිටියේ සුවිසල් නිවසක් අබියස. 


අද එතැන් සිට...

බලෙන්ම වගේ අපේ කතා නායිකාව වෙච්ච ඇන්ටි, අපිව ඒ ගෙදර අයිති කාන්තාවට අඳුන්වල දුන්න. 

"කාමරේ තියෙන්නෙ උඩ, අපි ගිහින් බලමු, කාමරේ දැනට නම් පොඩි බඩු වගයක් දාල තියෙන්නෙ, අස් කරල දෙන්නම්කො ඔයාලට"

පඩි පෙලෙන් උඩට නැගපු අපට දිස් වුනේ බඩු වලින් පිරුණු කුඩා කාමරයක්.

"ආන්ටි, අපි මේ හය දෙනෙකුට තමයි බෝඩිමක් හෙවුවෙ"

"ආ... ඇතුලේ කාමරේත් තියනව, ඒකත් එක්ක නම් හය දෙනෙකුට ඉන්න පුළුවන් වෙයි, පොඩ්ඩක් ඉන්නකො මම හස්බන්ඩ් ගෙන් අහල කියන්නම්, එතකම් ඔයාල වාඩි වෙලා ඉන්න"

මෙච්චර වෙලා ඇවිදගෙන ඇවිත් දැනුනු මහන්සිය නිසා, වාඩි වෙන්න ලැබුණු ඇරයුම දැනුනේ හරිම මිහිරි විදියට.. අපි ඉතින් වාඩි වෙලා හති ඇර ඇර හිටිය. ටික වෙලාවකින් ගෙදර අයිති ආන්ටි ආව.

"අනේ ඇතුලෙ කාමරේ දෙන්න නම් මහත්තය කැමති නැහැ, එයා ටීවී එක බලනවා මෙතන ඉඳන්, ඉතින් එයාට ඩිස්ටර්බ් නේ"

"ඉතින් ඔය බබාල තුන්දෙනා මෙහෙ ඉන්නකෝ අනිත් බබාල තුන් දෙනාට වෙන බෝඩිමකට යන්න කියල" ඔන්න එතකොටම අපේ කතානායක ඇන්ටි හඬ අවදි කළා.

"අනේ එහෙම බැහැනේ ඇන්ටි"

තුන් දෙනෙකුට ඉන්න නෙවෙයි, හය දෙනාටම ඉන්න ඉඩ දුන්නත් ඒ ගෙදර ඉන්න අමාරුයි අපට.. උදේ හවස දිනපතා අර කුඹුර මැදින් දිය කඩිත්ත උඩින් යන්නේ කොහොමද.. හරි නම් දැන් අපි කල යුත්තේ නැගිට, ඇයට ස්තුති කර පිටව යාමයි. නමුත් දැනුනු වෙහෙස විසින් අපව අසරණ කළා.

"අනේ ආන්ටි, අපි ටිකක් මහන්සි අඩු වෙනකම් වාඩි වෙලා ඉඳල ගියාට කමක් නැහැ නේද"

"ආ.. කමක් නැහැ.. මේ සිත්ති, ඔයා කොයි පැත්තෙන්ද මෙයාලව එක්කගෙන ආවෙ"

"මම වෙල පැත්තෙන් ආවෙ නෝනා, මෙයාලට ෂෝට් කට් එක පෙන්නන්නත් එක්ක"

කතා නායක ඇන්ටි ගේ ෂෝට් කට් එක විසින් අපේ උතුර දකුණ මාරු කර ඇති බව ඇයට තේරුම් යන්න ඇති..

"සිත්ති, ඔයා යනකොට මේ මිස්ලව පන්සල පැත්තෙන් එක්කන් යන්න"

පින්තූරය http://www.123rf.com/clipart-vector/buddhist_temple.html වෙතින්


******** 
ආපසු එන්න හිතාගෙන අපි එලියට බැස්ස. දැන් ආයෙත් ඇන්ටි ඉස්සරහින් යනව, අපි පිටිපස්සෙන් යනව. ඔහොම යනකොට ලොකු වඩු මඩුවක් හම්බුනා, එහි වඩු මහතෙක් වැඩ කරමින් සිටි හිටියා. ඇන්ටි හඬ අවදි කළා.

"මේ ළමයි කැම්පස් එකේ, බෝඩිමක් හොයනවා"

"ඉතින් මට මොකද" කියන බැල්මකින් ඒ මනුස්සය අපි දෙස බලද්දි, අපි බිම බලාගෙන හෙමීට ඇන්ටිගේ පස්සෙන්ම ආව, ඇත්තටම යලි ප්‍රධාන පාරට එන හැටි දන්නේ කතානායක ඇන්ටි පමණයි, ඉතින් අපි ඇගේ පස්සෙන් යන්න ඕන.

ඇන්ටි ලොකු රවුමක් එක්කගෙන ගිහින් අන්තිමට අපිව පන්සල ලඟට එක්කගෙන ආව. පන්සල දැක්කම ගෙදර දැක්ක වගේ සතුටක් දනුනෙ, ඒ ගමනේ අපිට හමුවුණු, කලින් ඉඳන් දැන හිටි එකම ස්ථානය එය පමණක් නිසා.

ප්‍රධාන පාරට ආවට පස්සෙ අපට තේරුණා, අපේ කතානායක ඇන්ටි විසින්, බෝඩිම කැම්පස් එකට ලඟයි කියලා අපට පෙන්නන්න, අපිව ලොකු රවුමක් එක්කගෙන ගිහින් තියෙන බව..

පහල පින්තූර බලන්නකො,


එයා අපිව එක්කගෙන ගියේ මෙහෙම


අපි ආපහු ආවෙ මෙහෙම





හරි මිනිහෙක් නම් එයාට අපිව එක්කගෙන යන්න තිබුණ මෙහෙම

ඇන්ටි දැනගෙන හිටිය පහලම තිබෙන රූපෙ විදියට අපිව එක්කගෙන ගියා නම්, අපිට බෝඩිම තියෙන්නේ කැම්පස් එකේ ඉඳන් ගොඩක් දුරින් බව තේරිලා, එයාගෙ පස්සෙන් එන්න කැමති වෙන්නෙ නැති බව. ඒ නිසා එයා මුලින්ම බෝඩිම කැම්පස් එකට ළඟ බව පෙන්නන්න බොරුවට කැම්පස් එක පැත්තට අපිව එක්කගෙන ගිහින්, පසුව දිග පාරේ ගියා..


********

පන්සල ලඟට ආවට පස්සෙ, අපේ අනිත් යාළුවො තුන් දෙනාගෙන් කෙනෙක් කෝල් කළා මට..

"මේ... ඔයාල කොහෙද ඉන්නෙ? ඇයි කවුරුවත් ෆෝන් ආන්සර් කරන්නෙ නැත්තෙ? අපි මේ ඔයාලව හොයන්න ෆස්ට් ලේන් එකට ආව.. ඔයාල ඉන්න තැන කියන්න, අපි එතනට එන්නම්"

"නෑ නෑ ෆස්ට් ලේන් එකේ ඇතුලට යන්න එපා.. අපි මේ පන්සල ළඟ ඉන්නෙ. 255 පාරෙ ඉන්න අපි එනකම්" 

මම කෝල් එක කට් කලාම, මගෙ ලඟින් හිටපු අය මෙහෙම ඇහුව.

"එයාල බලන්න ගිහිපු ගෙදර හරිද දන්නේ නැහැ නේද"

"මට ඒක නම් අහන්න බැරි වුනා නෙ"

"ගිහින් බලමුකෝ"



අපි අපේ යාලුවන්ව හම්බෙන්න පිටත් වුනා. අපි යනකොට යාළුවො තුන්දෙනා පාර අයිනට වෙලා අපි එනකම් බලන් ඉන්නවා..ඔවුන් අපි ගැන හොඳටම බය වෙලා.

"ඔයාල කවුරුවත් ෆෝන් ආන්සර් කලේ නැහැ. ඒ ඇන්ටි කිවුවේ බෝඩිම තියෙන්නේ ෆස්ට් ලේන් එකේ කියලනෙ, ඉතින් අපි ෆස්ට් ලේන් එකට ගියා. ඒක පටන් ගන්න හරියෙම තට්ටු දෙකේ ගෙයක් තිබුණ. අපි එතන ඉස්සරහට වෙලා ඉඳගෙන උඩ තට්ටුව දිහා බලාගෙන කෝල් ගත්ත. මානවිකා විතරයි ආන්සර් කලේ. අපි හිතුවෙ කවුරුහරි ඔයාලව ඒ ගෙදර උඩ තට්ටුවෙ හිරකරගෙන කියල"

 අපේ බෝඩිම බලන්න ගිහිපු විස්තරේ අපි ඔවුන්ට කිවුවා. ඊට පස්සේ ඔවුන් බලන්නට ගිහිපු නිවස ගැන අපි ඇහුව.

"ඔයාල ගිහිපු ගෙදර කොහොමද"

"ඒ මනුස්සය අලුත්ගම ඉඳන් එන ගමන් නෙ හිටියෙ, කොහොමහරි අපි කෝල් කලාම එයා කටුබැද්දේ කිවුව. ඉතින් අපි ටිකක් වෙලා මග ඉන්නකොට, එයා ඇවිත් අපිව එයාගෙ ගෙදරට එක්කගෙන ගියා. ගොඩක් දුර ගියා කොහොමහරි ඒ පැත්තේ යන්න ටිකක් බයත් හිතුන, පොඩි පොඩි ගෙවල් එක ළඟ වගේ තියෙන්නෙ. අපිට දෙන්න හදපු ගෙදරත් අපි කට්ටියට ඉන්න අමාරුයි වගේ, තාප්ප ගේට්ටු නැහැ"

පින්තූරය http://www.123rf.com/search.php?word=house&imgtype=2&t_word=&t_lang=en වෙතින්

 "ඉතින්?"

"එයා ගෙදර ලඟටම ගිහින් ගෙදර දොර අරින්න බලනකොට, එයා ළඟ යතුර තිබුනේ නැහැ.. එයා යතුර අලුත්ගම ගෙදර දාල ඇවිත් ලු"

"හපොයි, ඉතින්"

"එයා යතුරක් ඉල්ලන් එන්නම් කියල අල්ලපු ගෙදරට ගියා.. අපි බලන් ඉන්නවා ඉන්නවා එයා එන්නේ නැහැ.. බැරිම තැන අපි හිතුව ආපහු එන්න, අපි ඒ අල්ලපු ගෙදර කිට්ටුවට ගිහින් කෑගහල අපි යන බව එයාට කියනකොට එයා ඒ ගෙදර ඉඳන්ම අපට කිවුව ටිකක් ඉන්න කියල"

"ඊට පස්සෙ?" 

"අපි ආපහු බලන් හිටිය.. හවස් වෙනවා ටිකින් ටික, මදුරුවොත් කනව අපිව. ඔහොම බලන් ඉන්නව ඉන්නව ඒ මනුස්සය එන පාටක් නැහැ. බැරිම තැන අපි නොකියම එන්න ආව. අපි එනව දැකපු ඒ මනුස්සය කෑගහන්න ගත්ත, "ළමයිනේ... ඔහොම ඉන්න" කියල. ඒ උනාට අපි ආව අනේ"

ඔන්න ඔය විදියට එදා දවසෙ අපේ උත්සාහය වතුරෙ ගියා..



මගේ බ්ලොග් එකේ හිට්ස් 2000 පසු කළා. ඉතින් මගේ බ්ලොග් අඩවිය බලන්න පැමිණ කොමෙන්ට් දැමූ සහ නොදැමූ ඔබ සැමට ස්තුතියි..


පින්තූරය http://www.glitters123.com/glitters/thank-you/ වෙතින්












April 21, 2014

බෝඩිම් හොයපු හැටි 1

අවසන් වසරේ විභාග වලින් පස්සේ, අපට හොස්ටල් එකේ තවත් ඉන්නට අවසර තිබුණේ නැහැ, අපට පහළ වසරේ නංගිලා මල්ලිලා කණ්ඩායම හොස්ටල් එකට එන්න කලින් අපට හොස්ටල් එකෙන් පිටමං වෙන්නට උපදෙස් ලැබුණ. තාවකාලික උපදේශකවරියක ලෙස විශ්ව විද්‍යාලයේම නැවතීමට තීරණය කරපු මමත්, මම වගේම විශ්ව විද්‍යාලය අවටම නවාතැන් සොයන තවත් මිතුරියන් තුන් දෙනෙකුත් එකතු වුණේ විශ්ව විද්‍යාලය අවටින් කට්ටියටම නවාතැනක් සොයා ගැනීම සඳහා.
 
පින්තූරය http://www.toonvectors.com/clip-art?similar-to=cartoon-coloring-book-small-house-39024 වෙතින්


අලුතින් පළමු වසර කණ්ඩායම් දෙකක් ළඟ ළඟම විශ්ව විද්‍යාලයට ඇතුළු වූ නිසා, බොහෝ නවාතැන් වල ඉඩ කඩ තිබුණේ නැහැ, ඉඩ තිබුණු නවාතැන් වලත් ඉඩ තිබුණේ උපරිම දෙදෙනෙකුට පමණයි. ඔය විදියට යන එන මං නැතුව ඉන්න අතරේ අපට ආරංචි වුණා අක්කලා දෙදෙනෙක් නිවසක යට තට්ටුව කුලියට ගැනීමට යන බව. හය දෙනෙකුට ඉඩ ඇති එහි නැවතීම සඳහා ඇය තවත් හතර දෙනෙකු සොයමින් සිටියා.

ඔවුන් සමග එකතු වී එම නිවසේ යට තට්ටුව කුලියට ගැනීමට සිතා, තොරතුරු කතා කරගැනීමට එහි ගියත්, අපට නිවසේ අයිතිකරුවන් හමුවීමට ලැබුණේ නැහැ. කොහොම උණත් හිස් අතින් අනිත් පැත්තට හැරිලා එන්නට බැරි නිසා අපි තීරණය කළා ඒ අක්කා පත්තර වලින් එකතු කරගත් කුලියට දීමට ඇති අනිත් ගෙවල් වලට කතා කරලා බලන්නට.

ඔහොම හොය හොයා කෝල් කර කර යනකොට, අපි කෝල් කරපු එක ගෙදරකින් මෙහෙම කියුව. “කටුබැද්දෙ ගෙදර වහල දාල අපි අලුත්ගම ඉන්නෙ, හෙට ගෙදර බලන්න එනව නම් කියන්න, මම ඇවිත් ගෙදර පෙන්නන්නම් ඔයාලට”

පින්තූරය http://www.toonvectors.com/clip-art?similar-to=cartoon-coloring-book-small-house-39024 වෙතින්

බලපු වෙන එකදු ගෙදරක වත් ඉඩ නොතිබුණු නිසාත්, ලයිස්තුවේ තිබුණු ඉතුරු ගෙවල් පිහිටියේ විශ්ව විද්‍යාලයට දිනපතා ඇවිදගෙන එන්න බැරි තරම් දුරකින් නිසාත් අපි තීරණය කළා පහුවදා ඒ ගෙදරට ගිහින් බලන්නට.

********


පහුවදා


සුපුරුදු පරිදි හවස 5 ට අපි එකතු වුණා බෝඩිමක් හොයන්න යන්නට. මුලින්ම ගියේ කලින් කියපු නිවස බලන්න තමයි. දවල් කතා කරගත් පරිදි ගෙදර අයිතිකාරයා අලුත්ගම සිට දැන් මග එනවා අපට නිවස පෙන්නන්නට. ප්‍රධාන පාරේ ටික දුරක් ගිහිපු අපි, ලිපිනයේ සඳහන්ව තිබුණු අතුරු පාරට හැරී දැන් යනවා අදාළ නිවස හොයාගෙන.

ඔහොම යන අතරේ පාරේ ගිහිපු ගැහැණු කෙනෙක් අපිව දැකලා අපෙන් ඇහුවා මෙහෙම. “බබාලා බෝඩිමක් ද හොයන්නේ? මම වැඩකරන ගෙදර කාමරයක් තියෙනවා, හය දෙනෙකුට ඉඩ තියනවද කියල ඇවිත් කතා කරගන්න, දැන් මාත් එක්ක එන්න. ගෙදර තියෙන්නේ පස්ට් ලේන් එකේ.. බබාලට මේ තරම් දුරත් නැහැ, කැම්පස් එක අත ළඟ”

“ඇන්ටි අපි මේ තව ගෙයක් බලන්න යන ගමන්. දැන් එහෙ යන්න ඕන නේ. එහෙනම් ඇන්ටි ගේ ෆෝන් නම්බර් එක දෙන්න, අපි කතා කරන්නම්”

“ෆෝන් එකෙන් කතා කළාට බබාලා ඇන්ටිව හොයාගන්නේ කොහොමද? දැන් එන්න මේ ගමන්ම, ඔක්කොම එන්න බැරි නම් තුන්දෙනෙක් එන්න”

ඇන්ටිගෙ කරදරෙන් බේරෙන්න බැරි තැන, අපි හය දෙනා තුන්දෙනා බැගින් දෙකට බෙදුණා. කොටසක් පත්තරේ තිබුණු ගෙදර හොයාගෙන ගියා, මමත් ඇතුළුව තවත් දෙදෙනෙක් ඇන්ටිගේ පසුපසින් ගියා.

ඇත්තටම චකිතයක් නොදැනුණා නොවෙයි, මේ මනුස්සයා අපිව කොහේ එක්කන් යාවිද? විශ්ව විද්‍යාලය අවට පාර තොටේ ටිකක් කරක් ගහල පුරුදු වුණත්, මේ ඇන්ටි කියන ෆස්ට් ලේන් එක කලින් අසා තිබුණත්, අපි කවුරුවත් ඒ පාරේ පුරුදුකාරයෝ නෙවෙයි. ඇන්ටි දිගටම කතාව.

“ඒ ගෙදර අලුත් පිට ගෙදර, බාත්රූම් කොමඩ් ඔක්කොම තියනව, ගණන් හිලවු නම් කොහොමද දන්නෙ නැහැ, ඒවා බබාල කතා කරගන්න, වාහන යන ලොකු පාරක් තියෙනවා, තව පොඩි ෂෝට් කට් එකකුත් තියනවා, මම ෂෝට් කට් එකෙන් එක්කන් යන්නම් බබාලට පාර දැනගන්නත් එක්ක, මේ ෂෝට් කට් එකෙන් ගියාම කැම්පස් එක අත ළඟ”

ෆස්ට් ලේන් එකේ ටිකක් දුර ඇවිදන් ගිහිපු ඇන්ටි, එක පාරට පාළු ඉඩමක් ළඟ නැවතුණා.

“ඔහොම ඉන්න බබා, හරකෙක් එනවා”

ඉඩම මැදින් ආපු හරක යනකම් බලන් ඉඳපු අපි, ඇන්ටිගේ පස්සෙන් ඉඩම මැදින් වැටුණු අඩිපාර දිගේ ඉදිරියට ඇදුන. ඉඩම කෙළවරේ පුංචි දිය කඩිත්තක්, ඒ මතින් පුංචි පාලමක්. පාලම පහු උණාට පස්සේ නියරක් උඩින් වැටුණු අඩිපාරක්. අපි තුන්දෙනාම තිගැස්සුන.

“මේ කොහෙද මේ? මට නම් බයයි මේ පාරේ යන්න..” ඒ මම.

“මෙහෙම පාරකින් යන බෝඩිමක නැවතුනත් මේ පාරේ අපි තනියම යන්නේ කොහොමද” ඒ මගේ යාළුවෙක්

“සාරි ඇඳන් මේ පාරේ යන්නේ කොහොමද නංගී මම” ඒ අපේ අක්ක කෙනෙක්.

“අනේ මේ, මොනවහරි උණොත් කෙළින්ම අනිත් පැත්තට හැරිල දුවන්න බලන් යමු, හරිද” ඒ මම.

“නංගිල දෙන්න දුවනකොට සාරි ඇඳන් මම දුවන්නේ කොහොමද” ඒ අර අක්ක.

“නෑ නෑ අපි තුන් දෙනෙක් ඉන්නවා නේ බය වෙන්න එපා”

"මේ පාරෙ ගියාම කැම්පස් එකට අත ළඟයි කිවුවේ, ඇන්ටිගේ අත කොච්චර දිගද දන්නේ නෑ"

"ඒක තමයි.. හි හි.."

පාළු කුඹුර මැදින් යනකොට දැනෙන බය යටපත් කරගෙන අපිට විටින් විට සිනහ පහළ වුණේ මේ ගමනේ තිබුණු අක්කරතැබ්බ ගතිය නිසා වෙන්න ඇති. ඇන්ටි පිටිපස්ස හැරුණ.

“බබාල මට හිනා වෙනව නේද?”

අත ළඟයි කියපු බෝඩිම හොයාගෙන අපි යනවා යනවා යනවා. කෙළින් යනවා, හැරිලා යනවා, ආපු පාර අපට මතක නැති තරම්.

“මේ ආපහු යන්නේ කොහොමද”

“අපරාදේ පාර දිගේ කොළ අතු කඩ කඩ එන්න තිබුනේ”

“දැන් නම් තව ටිකකින් කලුවරත් වැටේවි”

ඇත්තටම “යනවා යනවා ඉවරයක් නැහැ” කියන යෙදුම මම ප්‍රායෝගිකව අත්වින්දා ඒ ගමනේදී.

********

අන්තිමටම, සියලු බිය දුරු කරමින්, සැක නිමා කරමින්, අප සිටියේ සුවිසල් නිවසක් අබියස.
 
පින්තූරය http://www.toonvectors.com/clip-art?similar-to=cartoon-coloring-book-small-house-39024 වෙතින්

ගෙදරදී සිදු වූ දේ.. ඊළඟ කොටසින්..






April 02, 2014

අනුන්ගෙ මිනිස්සු අල්ලගන්න හදන්නෙ, තමුසෙට පිස්සුද?


එදා සිකුරාදා. දකුණු පළාත් සභාවට ඡන්දය ප්‍රකාශ කරන්න මහා ජන ගඟක් ගෙදර යන දවස. ඉතින් හරිම අමාරුවෙන් සීට් එකක් හොයාගෙන මමත් ගෙදර යන්න පිටත් වුණා.


පින්තූරය http://www.thinkstockphotos.in/image/stock-illustration-yellow-school-bus-full-of-cute-and/165478659 වෙතින්

 ****************

බස් වල යනකොට දැන් දැන් ගෑනු ළමයෙක් හිතන්න ඕන දේවල් බොහොමයි. පිරිමි කෙනෙක් ඇඟට හේත්තු වෙද්දී බය නිසා හෝ ලැජ්ජාව නිසා ඉවසගෙන හිටියොත් ඇය පහසුවෙන් පොළඹවාගත හැකි ගැහැණු ළමයෙක් ලෙසයි අනිත් අය දකින්නෙ. ඊට විරුද්ධව කතා කලත් සමහර වෙලාවට බැනුම් අහගන්න වෙනවා. මම නම් ගොඩක් කෙට්ටුයි, ඉතින් ඒ නිසා කවුරුහරි ඇඟට හේත්තු වෙන්න ආවොත් මම නම් සද්ද නැතුව ඈතට යනවා මිසක්, බනින්න යන්නේ නැහැ, ඇයි ඉතින් ඒ මනුස්සය නිකමට වත් "වැටකට හිටවපු කෝටුවක් වගේ ඔහේගේ ඇඟට හේත්තු වෙන්න මට පිස්සුද" කියල කියුවොත් එහෙම...

  ****************

මගේ මාස හයක ක්ෂේත්‍ර පුහුණු කාලය මම ගත කලේ මඩකලපුවේ. උදේ 7 ට ගෙදර ලඟින් මම ගොඩ වදින බස් එක, මඩකලපුවට ලඟා වෙන්නේ හවස 5.30 ට. පැය 10ක පමණ මේ ගමන, මම හැමදාම ගියේ තනිවම. ගොඩක් වෙලාවට බස් එකේදී කවුරු කවුරුහරි මාත් එක්ක කතා කරන්න උත්සාහ කළා, වැරදි අදහසකින්ම නෙවෙයි වෙන්න ඇති, නමුත් ඔවුන්ගේ හිත ගැන මම හරියටම දන්නේ කොහොමද.... කතාවට ගිහින් ඔවුන් නුසුදුසු යමක් කිවුවොත් මම මොනව කරන්නද, පැය 10ක් පුරා ඔවුන් සමග එකම බස් එකේ තනිවම මම යා යුතුයි නේ. ඉතින් මම කරන්නේ ඉයර් ෆෝන් ගහගෙන, සින්දුවක් අහගෙන, හොඳට නිදාගන්නවා ඇත්තට හෝ බොරුවට. එතකොට කාටවත් ඉඩක් නැහැ මාත් එක්ක පැටලෙන්න කතාවට..


පින්තූරය http://www.thevoicebw.com/2012/04/13/tb-joshua-and-his-prophecies/ වෙතින්

පිරිමි ළමයි වැඩිපුර ඉන්න විශ්ව විද්‍යාලයක ඉගෙන ගනිපු මට සිටින සමීප පිරිමි යහළුවන් ගණන සාපේක්ෂව ඉහලයි. ඇත්තටම බස් වල යන එනකොට ගැහැණු ළමුන් සම්බන්ධයෙන් ඇතැම් අය කරන දේවල් මට ඉගෙන ගන්න ලැබුණේ මේ යහළුවන්ගෙන්. "මුලින් ඇඟට හේත්තු වෙනවා, එයාගෙන් අවුලක් නැත්නම් හෙමීට කතා කරලා නම්බර් එක ඉල්ලගන්නවා, පස්සේ ඕන දෙයක් කරගන්න පුළුවන්" ගැහැණු ළමුන් සම්බන්ධයෙන් ඇතැම් පිරිමි දරන මෙවන් ආකල්ප නොදැන සිටීම ගොඩක් ගැහැණු ළමුන්ගේ අගතියට හේතු වෙන බව මට හිතුනෙ වරක් දෙවරක් නෙවෙයි.

****************

බස් එකේ නිදාගෙන හිටපු මම එකවර අවදි උනේ ගැහැණු අය දෙන්නෙක්ගේ කෑ ගහන සද්දෙට. ගැහැණු අය දෙන්නෙක් කෑ ගහගන්න බවත්, කෑගහගන්නා අතරේ ඒ ගැහැණු අය දෙන්නාම වරින් වර එක පිරිමි කෙනෙකුට මොන මොනවාද කියන බවත්, මම දැක්කා. ඇසුණු දුටුව දේ අනුව සිදුවී ඇත්තේ මෙහෙමයි.

සැමියා සහ බිරිඳ දෙතැනක සීට් දෙකක ඉඳගෙන, එක්තරා විවාහක යුවලක් බස් එකේ ඇවිත්. සැමියාගේ අසලම හිටගෙන ආපු තරුණියට සැමියා විසින් ඔහුගේ ජංගම දුරකථන අංකය ලබාදී තිබෙනවා. තමන්ට දුරකථන අංකය ලබා දුන්නු තරුණයා විවාහකයෙකු බව නොදත් තරුණිය ඒ දුරකථන අංකය තමන්ගේ දුරකථනයේ සේව් කරගෙන. මේක පිටුපස ඉඳන් බලන් හිටපු බිරිඳ එකවර සීට් එකෙන් නැගිටලා අර තරුණියට පහර දීලා ඇගේ දුරකථනය උදුරාගෙන.

මම අවදි වෙන වෙලාවේ අර තරුණිය තමන්ට දුරකථන අංකය ලබා දුන් පුද්ගලයාගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දුරකථනය බිරිඳගෙන් නැවත ඉල්ලා දෙන ලෙස. "මට ඔහේ ඕන නැහැ, මට මගේ ෆෝන් එක ඉල්ලලා දෙන්න"..

බිරිඳ අර තරුණියට පරුෂ වචනයෙන් බනිනවා තවම, නමුත් පුදුමය කියන්නේ, අහක යන තරුණියකට දුරකථන අංකය ලබා දුන් තම සැමියාට ඇය වචනයක් වත් කියන්නේ නැතිකම. "අනුන්ගේ මිනිස්සු අල්ලගන්න හදන්නේ පිස්සුද? මේ මනුස්සය ගෑනියෙක් ඉන්න කසාද බැඳපු මිනිහෙක්"....

 පින්තූරය http://dnramesh.blogspot.com/2013/01/suicides-causes-and-preventions.html වෙතින්


එතරම් රූමත් නැති, අවිවාහක යැයි සිතිය හැකි, වයස 35ක් පමණ වූ තරුණියට නම් එතරම් කෑගහන්න උවමනාවක් සහ හැකියාවක් තිබුණු පාටක් පේනුණේ නැහැ, ඇය දන්නේ බසයේ සිටි තරුණයෙකු තමන්ට දුරකථන අංකය දුන් බවත්, ඒ අංකය ගන්නවාත් සමගම තමන්ට ගුටි පූජාවක් ලැබුණු බවත් පමණයි. ඇත්තටම ඇයට අවශ්‍ය උනේ හැකි ඉක්මනින් දුරකථනය නැවත ලබාගෙන බස් රථයෙන් බැසගනීමයි.

ගැහැණු දෙදෙනාගේ රණ්ඩුව අතරේ සැමියා නැගිටලා බස් එකේ ඉස්සරහට ගියා. අන්තිමට ඔක්කොටම මුල් වූ සැමියා බස් එක ඉස්සරහ පාඩුවේ යනකොට, ගැහැණු දෙන්නෙක් රණ්ඩු වෙනවා බස් එක පිටුපස. "මට ඔහේගේ මිනිහ ඕන නැහැ, මට මගේ ෆෝන් එක දෙන්න, මට බහින්න තියන හෝල්ට් එකත් පහු උනා බහින්න විදියක් නැතුව"

"මම දෙන්නේ නැහැ ෆෝන් එක, ඕන නම් බස් එක අරගෙන යනවා පොලිසියට, පොලිසියේදී බේරගන්න පුළුවන් එතකොට. ආව මෙතන අනුන්ගේ මිනිස්සු අල්ලගන්න, පට්ට ** "

පින්තූරය http://dnramesh.blogspot.com/2013/01/suicides-causes-and-preventions.html වෙතින්


බිරිඳගේ සැරපරුෂ කතාව අහපු බස් එකේ මිනිස්සුත් කෑගහන්න ගත්තා, "මේ මේ, පාරෙ යන ගෑනුන්ට බනින්න කලින් තමන්ගේ මිනිහ හදාගන්නවා, හරිය"...

බස් එක මම බහින නැවතුමට ආවා, රණ්ඩුව මැදින් ආපු මම, බස් එකෙන් බැසගත්තේ අමාරුවෙන්. මාත් සමගම බස් රථයෙන් බැසගත් තරුණිය හෙමි හෙමින් වෙනත් බස් රථයක් වෙතට ගමන් ගන්නවා මම දුටුවා, ඇත්තටම ඇයගේ දුරකථනය නැවත ලබුනා යැයි මම විශ්වාස කරනවා.

**************** 


තමන්ගේ බිරිඳ සැරපරුෂ නම්, ඇයත් සමග එක වහලක් යට ඉන්නට බැරි නම් එයට තිබෙන විසඳුම මගතොට හම්බෙන සියලුම තරුණියන්ට දුරකථන අංකය ලබාදීම නොවන බවත්,

තමන්ගේ සැමියා සල්ලාල නම්, ඔහු අනියම් කාන්තා ඇසුර ප්‍රිය කරනවා නම්, එයට විසඳුම ලොව සිටින සියලුම තරුණියන්ව සැමියාගෙන් ඈතට පන්නා දමා සැමියාව එක්ටැම් ගේක සිරගත කිරීම නොවන බවත්,

තමන් අවිවාහක නම්, හොඳ වයස පහු වෙනවා නම්, එයට විසඳුම මග තොට හමුවන, නන්නාඳුනන පිරිමින්ට ලං වීම නොවන බවත්,

 මිනිසුන් කවදා තේරුම් ගනීවිද?


පින්තූරය http://www.quotesvalley.com/remember-happiness-is-a-way-of-travel-not-a-destination-2/ වෙතින්





March 01, 2014

පෝස්ට් එක හැංගිලා

 
පින්තූරය http://creatublogen1hora.com/ වෙතින්


 මම කලින් ලියපු, අපි විභාග ලියන හැටි බ්ලොග් පෝස්ට් එක, බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලා නැහැ,

http://minisunathara.blogspot.com/2014/03/blog-post.html 

වෙත ගිහින්, පෝස්ට් එක කියවා කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා.