April 18, 2022

තරුණ පරපුරේ බලාපොරොත්තු



From: https://www.istockphoto.com/vector/family-tree-with-elaves-gm650184406-118188415


 එංගලන්තයේ ලෝරන්ස් ඔලිවර් සම්මාන උළෙලේ හොඳම නළුවා වූ හිරාන් අබේසේකර කරන මේ කතාවේ 1:18 සිට අහන්න.


"මට සම්මානය ගැන සතුටුයි, හැබැයි ඒක නිකම් වලාකුළු ගොඩකින් වැහිලා තියෙන්නේ. අරගලයට සහභාගී වෙන්න තමයි ආවේ. නැත්නම් ඉතින් එන්න උවමනාවක් නැහැනේ."

මේ කතා කරන්නේ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයයි. ශරීරයෙන් කොහේ හිටියත්, හිතින් අනාගතය ගැන සිතා ලතැවෙන හිත් වල ඇති ශෝකයයි.

ග්‍රීසිය ආර්ථික අර්බුදයකට මැදි වුයේ මෑත අතීතයකදී ය. මගේ මිතුරියක් එරස්මස් ශිෂ්‍යත්වයක් ලබා යුරෝපයේ විද්‍යාපති උපාධිය හදාරන කාලයේ, මාස කිහිපයකට ග්‍රීසියේ අධ්‍යාපනය ලැබුවාය. ඇයට ආශ්‍රය කරන්නට ලැබුණු ග්‍රීක තරුණ පරම්පරාව තුළ බලාපොරොත්තු කඩවුණු බවක්, එදා දවස ගත කරනු විනා හෙටක් ගැන අදහසක් නැති බවක්, ඇයට දැනී තිබිණි.

පසුගිය කාලය පුරාම මේ බලාපොරොත්තු කඩ වූ ස්වරූපය අපේ තරුණ පරපුර තුළද හිස ඔසවමින් තිබිණි.

මීට මාස කිහිපයකට පෙර, රටේ සිදුවන අකටයුතුකම් පිලිබඳ සංවේදීතාවක් ඇති වූ විටක, කවර හේතුවක් නිසා හෝ අසංවේදී ව මුනිවත රකින සමාජය ගැන ඇති වූ කළකිරීම සමනය කරගෙන මගේ හිත හදාගන්නට, මම ලියා තැබූ පද පෙළක් පහතින් ලියමි.


පුතේ නුඹ නිදන්න - සදහටම නිදන්න 

දෙනෙත් හැර බලන්නට - නුඹට නොමැතිය රටක් 

හීනයක් මවන්නට - නුඹට නොමැතිය හෙටක් 


අතට ලැබෙනා මුදල් ගනිමින් සියලු තීරණ ගනු පෙනේ 

නිධන් වන් සිඳු දුරින් යන නැව් වෙතට විකිණී ගිනිගැනේ 

ලෙයින් වෙනසක් නොවූ සොයුරන් අතර වෛරය පැතිරුණේ 

ණය ගෙවන්නට ගත් ණයෙන් කොටසක්, හොරෙන් අරගනු පෙනේ 


දිලින්දන් සිඟමන් යදින විට පොහොසතුන් සක්විති වෙලා 

වීරයින් නිහඬවී සිර කොට කැනහිලුන් බලවත් වෙලා 

පෑගුනිද මංමුලා වැල්, රට වැසියනුත් ඇත හිනැහිලා 

ශාපලත් දේශයක ඉපදී කඳුළු සලමින් ඉමු බලා 


මම ගත කරන්නේ ගැහැණියක් දරුවන් වදනා වයසයි (childbearing age). මගේ ඇතැම් මිතුරියන් මවුවරු වන අතර, ඔවුන් බහුතරය දරුවන්ගේ හෙට දවස ගැන සංකාවෙන් පසු වේ. ඒ ඇතැමුන් දරුවන් ගැන සිතමින් විදෙස්ගත වීමට පෙරුම් පුරනා අතර, මවුවරුන් නොවූ අනිත් පිරිස, දරුවන් හදම්දෝ නොහදම්දෝ යන දෙගෙඩියාවෙන් පසුවන්නේ, මෙවන් රටක ණයකාරයෝ කරන්නට දරුවන් හදන්නේ කුමටදැයි සිතමිනි.

ශ්‍රී ලාංකික තරුණ පරපුර, බලාපොරොත්තු කඩ කර නොගෙන, සාමකාමී අරගලයකට පිවිසීම, ප්‍රගතිශීලී දෙයක් වන්නේ එනිසාය. හෙට දවස වෙනුවෙන් සටන් කරනා මානසිකත්වයක, ධනාත්මක අදහස් හා ශක්තිමත් බවක් ඇත. රටක් ගොඩනැගිය හැක්කේ ඔවුන්ට ය. හෙටක් ගැන බලාපොරොත්තු නැතිව මළවුන් සේ ජීවත් වන මානසිකව අවපීඩිත තරුණ පරපුරක් නොවී, අරගල කරනා තරුණ පරපුරක් දැකීමට අප වාසනාවන්ත වී ඇත. එය එසේ පවතීවා යන්න මගේ පැතුමයි.

කසුන් කල්හාර ගේ අපූරු සංගීතයෙන් හැඩ වූ මේ ගීතය අහමු.










7 comments:

  1. අපූරු කවිය...
    බලා හිටි කාලය නිම වෙලා. අපි හැදෙමින් රට හදන්න ඕන කාලය එළඹිලා

    ReplyDelete
    Replies
    1. ඔව් හැමෝම තම තමන්ගේ යුතුකම කරන්න ඕනි.
      බොහොම ස්තුතියි ඔබේ දිරිගැන්වීමට.

      Delete
  2. ඔබ නැවතත් ලිවීම අරඹා ඇති බව අප ලැබූ සුභ ආරංචියයි. ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමේ දක්වා ඇත! අප පිලිබඳව ඔබගේ බ්ලොග් අඩවියෙන් ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් අප බෙහෙවින්ම ස්තූති වන්ත වන්නෙමු!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම ඔබේ සින්ඩියට ගිහින් බැලුවා, එහි ගොඩක් බ්ලොග් තියනවා. හොඳ database එකක් නිර්මාණය කිරීම වෙනුවෙන් ස්තුතියි.
      මම මගේ බ්ලොග් එකේ පැත්තකින් සින්ඩි ටික add කරන්නම්. ස්තුතියි මේ පැත්තේ ආවාට.

      Delete
  3. One and half years since this post. What's happening?

    ReplyDelete