December 23, 2018

නවාතැන්පොළේ කතා / Home away from home - 02


නවාතැන්පොළේ කතා / Home away from home පළමු කොටස මෙතනින් ගිහින් බලල එන්නකෝ.

මේ දවස් වල නත්තල් නිවාඩු නිසා පරිසරය ටිකක් පාලුයි. විශ්ව විද්‍යාලයේත් හැමෝම වගේ නිවාඩුවට ගෙවල් වල ගිහින්, සමහර අය ඇවිදින්න ගිහින්, බොහොම ටික දෙනයි වටපිටාවෙ පේන්නත් ඉන්නෙ, සීතල හා අඳුර එක්ක හැමෝම ගෙවල් ඇතුලට වෙලා ගුලි වෙලා තමයි ඉන්නෙ. අපේ ගෙහිමියත් එයාගේ මැද මිදුලේ වාසය අත් ඇර දාල, ගේ ඇතුලේ ගුලි වෙලා ඉන්නව මේ දවස් වල.

ඔය මැද මිදුල ගැන ටිකක් විස්තර කරනවා නම්, මේ ගෙදර මම ඇතුළු තවත් පිටස්තර කිහිපදෙනෙකු නවාතැන් අරන් ඉන්නේ ගෙදර ප්‍රධාන කොටසේ. ගෙහිමියා සහ ඔහුගේ සහකරු ජීවත් වෙන්නේ ඊට පිටුපසින් තියන වෙනම කොටසක. පෙනුමින් පොඩි වුණාට, ගෙහිමියා වාසය කරන කොටස ඇතුලෙත් නිදන කාමරයට අමතරට නාන කාමරයක්, පොඩි කුස්සියක් වගේම, ඉතා කුඩා සෝනා එකකුත් තියනව. මේ ගෙදර අපි වසන කොටසයි, ගෙහිමියා වසන කොටසයි අතරේ තියන කුඩා ඉඩේ, ඔහු විසින් ගසක් එහෙම සිටුවල, පොඩි බංකු දෙකක් හදල තියනව, බංකු කිවුවට, මේ බංකු වලට වහලක් තියනව, ඒ වහල වටේට වතුර බහින්න වැහි පීලි සවි කරල තියනව, හදිසියකට ගීතයක් එහෙම වාදනය කරන්න, ෆෝන් එකක් චාජ් කරන්න එහෙම එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් ඇදගන්න පුළුවන් කමකුත් තියනව. එතනම එහා පැත්තෙ තියෙන්නේ ඔහුගේ බීර හා වයින් ඇතුළු අනිකුත් අඩුම කුඩුම පුරවපු ශීතකරණය. ජීවිත කාලේ හොඳට මහන්සි වෙලා වැඩ කරලා, විශ්‍රාමික ඔහු, දැන් ඉතින් කරන්නේ මේ බංකුවට වෙලා ආතල් එකේ ෂොට් එකක් දාන එක තමයි.

ඇත්තටම ඔය මම කියපු බංකු, වැහි පීලි, සෝන එක ඇතුළු තවත් නොයෙකුත් අඩුම කුඩුම ජාති, මේ ගෙහිමියා විසින් තනියම හදපු දේවල්. උදේ පටන් ගත්තම හවස් වෙනකම් ඔහු කරන්නේ ෂොට් එකක් දාන ගමන් මේ පොඩි පොඩි දේවල් හදන එක. අපේ සමහරු, බොන්න ගත්තම, සිහි නැති වෙනකම් නාලා කරන සමහර විකාර දේවල් (අපේ මියුරු තුමීත් ලියල තිබුණ මේ ගැන) එක්ක බැලුවම, මේ මනුස්සයා බීලා කරන මේ නිර්මාණාත්මක දේවල්, ඇත්තටම අගය කල යුතුයි.

ඉතින් ගෙහිමියාගේ බංකු ආතල් එක කරන්න පුළුවන් ගිම්හාන කාලෙයි, සරත් කාලෙයි විතරයි, දැන් ඒ බංකුවේ කුෂන් එහෙම ඉවත් කරල, බංකුව ශිශිර නිද්‍රාවකට පත් කරලා තමයි තියෙන්නෙ, මේ දවස් වල. ගිම්හානයේ, හවස් වෙනකම් ම ඉර අවුව තියන කාලෙට, සමහර දවසට, මම කැම්පස් එකේ ඉඳන් ගෙදර ඇවිත්, ඔය බංකුවේ වාඩි වෙලා පොඩි චැට් එකක් දාන් ඉන්නවා ගෙහිමියා එක්ක. එහෙම කතා කරනකොට ඔහු කියපු නොයෙකුත් කතා අතරේ, මගේ හිත වැඩියෙන්ම ඇදගත්ත කතාව තමයි මේක.

"ජීවිතේ දුක හිතෙන අවස්ථා එනව තමයි. නමුත් දුකයි සැපයි දෙකම තියනකොට වර්ණවත්, වලට ගියාට පස්සෙ එහෙමවත් නෑ නේ, තණකොළ වැවිච්ච තැනිතලා පොලව විතරයි. හරිම ෆ්ලැට්. බෝරින්. දැන් අඩුම තරමේ සැප දුක එක්ක සයිනාකාර හැඟීම් අපිට දැනෙනව නේ, නිකම් ම ෆ්ලැට් දේකට වඩා සයිනාකාර දෙයක් කොයි තරම් නම් රසවත් ද"

ඔහු මේක කිවුවේ සයිනාකාර විදියට අත ගෙනියන ගමන්, ඔහු කියපු දේ එලෙසම ලියන්න මගේ භාෂා හැකියාව මදි. ඒ නිසා සයින් වක්‍රය මෙතන අලවනවා, අමතක අයට මතක් වෙන්නත් එක්ක.


සයින් වක්‍රය ඉහත රූපයේ දැක්වේ. පින්තූරය Google වෙතින්.


*****


කෑම උයන විදි ගැන ටිප්ස් ටිකක් ලියන්න කියල තිබුණ නේ අපේ බසු තුමා. ඉතින් ටිප්ස් ම නෙවෙයි ,ඔය පොඩි පොඩි විස්තර ටිකක් ලියන්න හිතුව, කෑම ගැන. අපි මෙහෙම විප්‍රවාසේ ඉන්නකොට, සමහර වෙලාවට අපි ළමා කාලේ කාපු බීපු හැටි මතක් වෙලා, පපුව හෝස් ගාල යන අවස්ථා එනව නේද? අන්න ඒ වෙලාවට පහසුවෙන් කන්න හදාගන්න පුළුවන් අනං මනං ටිකක් තමයි මේ.

ඔය කොයි කවුරුත් අමුවෙන් ඇඹරැල්ල කාල ඇති නේ, ලුණුත් එක්ක. අන්න එහෙම දොළ දුකක් ආවම කන්න හදාගන්න පුළුවන් දෙයක් තමයි Kiwifruit. ලෙලි ඇරලා, පෙති කපලා අරන්, ලුණු ගම්මිරිස් ටිකක් ඉහලා කලවම් කරගත්තම නියමයි. ඔය පින්තූරේ මම ගෑරුප්පුව ඒක ඇතුලෙම දාල තියෙන්නේ, ෆොටෝ එක ගන්න කලින් පෙරේතකමට කෑල්ලක් කාපු නිසා. නමුත් ගෑරුප්පු ඒක ඇතුලෙ දාල ගොඩක් වෙලා තියන්න එපා, දන්නවනේ, ඇඹුල් ජාති නේ.


ගම්මිරිස් හා ලුණු දැමූ කිවි. ෆොටෝ එක මගේ.

එක පාරක් යාළුවෙක් අම්බරැල්ල කරියක් හදල තිබුණ, ඇඹරැල්ල වෙනුවට කිවි දාල. ඒකත් නියමයි, රෙසිපිය නම් අහන්න බැරි වුණා හැබැයි.

අඹ හෝ ලොවි අච්චාරු මතක් වෙලා පපුව හෝස් ගාල ගියොත්, ටක් ගාල ඇපල් ගෙඩියක් කපල, ලුණුයි, මිරිස් කුඩුයි ඉහල කාල බලන්නකො. අඹ හෝ ලොවි වගේ කොලිටි නෑ ඉතින්, නමුත් උන්නු හැටියට මලා මදැයි කියල කන්න පුළුවන්.


මිරිස් කුඩු හා ලුණු දැමූ ඇපල්. ෆොටෝ එක මගේ.

මම එක පාරක් යාළුවෙක් ගේ ගෙදර ගිහිපු වෙලාවක, කට්ටියට බියර් බොනකොට කන්න ඔහොම ඇපල් හදල දුන්න. එයාල රසයි කියල කෑව, ඒ කියන්නේ ඉතින් බයිට් එකක් විදියටත් හොඳ ඇති. මගේ නම් බියර් එක්ක වැඩිය ඇයි හොඳයියක් නෑ.


*****

මේක නම් සමහර විට ඔයාල අහලත් ඇති, නමුත් මට මේ ලඟදි යාලුවෙක් එවපු නිසා, බෙදාගන්න හිතුණ. මේක හෙඩ්ෆෝන් දාල අහල බලන්නකො.




දැන් මේකත් අහන්නකො හෙඩ්ෆෝන් දාගෙනම. කට්ටිය නම් එක එක විදියට කමෙන්ට් කරල තිබුණ, නමුත් මට නම් හරිම ලස්සනයි.




හැමෝටම ලස්සන නත්තල් නිවාඩුවක් ප්‍රර්ථනා කරනවා. 2019 වසරේ සියලු පැතුම් ඉටු වේවා!

10 comments:

  1. එමා ගෙන් එක ලඟ පෝස්ට් දෙකක්. නිවාඩු නිසා වෙන්න ඇති.

    ඔබටත් ප්‍රීතිමත් නිවාඩු කාලයක් සහ 2019 වර්ෂයක් වේවා.

    ReplyDelete
    Replies
    1. නිවාඩු නිසා සහ, අපේ මියුරු නෝනා අපූරු ප්‍රාර්ථනාවක් කරලා තිබුණා නේ, කමෙන්ට් දමන අය ගැන හිතල වත්, ලියන ඈයොන්ට වචනයක් දෙකක් ලියන්න හිතෙන නව වසරක් වේවා කියල. මට ඒක දැක්කම හිතුණා මොනවා හරි ලියන්න ඕන කියල.

      බොහොම ස්තුතියි ප්‍රාර්ථනාවට. ඔබටත් එසේම වේවා.

      Delete
  2. අර ලෑන්ඩ්ලෝඩ් නං නියමයි. මැද මිදුලෙ ආතල් එක නං මරු ඇති.එයා කියපු කතාව හරි , දුක නැත්නම් සැපක් නෑ. මට ඉස්සර මාර ප්‍රශ්ණයක්, ඇයි මේ සැපට , සනීපෙට ඉන්න පුළුවන් යුරෝපෙ සුද්දො. ක‍ටු කාගෙන එවරස්ට් නගින්නෙ කියලා. පස්සෙ තමා තේරුනෙ ඒ යන්නෙ සීතලෙන් ගල්වෙන්න, දුක්විදින්න කියලා. ඇයි ඊට පස්සෙ ගිනි මැලේට කිට්‍ටු වෙලා, උගුර පිච්චි, පිච්චි කෝපි බොන කොට සැප කනේ නෙව? එවරස්ට් නොනැග්ගට මාත් ඔය ක්‍රම වේදය අනුගමනය කරනවා. හිටපු ගමන් පිජාමා එක පිටින් වින්ටරේ එලියෙ ගැහි, ගැහි කෝපි බොනවා.
    ලංකාවෙ හිටියා "ඩාන්සින් බාබර්" කියල හාදයෙක්, උන්දෑ කොන්ඩෙ කපනවට වඩා , කතුර සද්ද කර, කර ඔය වීඩියෝ එකේ වගේ ඔලුව වටේ නටනවා.

    රට අච්චාරු ගැන කලිං දන්නවා වුනත් ආයෙ හදන්න හිතුනා, ස්තූතියි.

    ඔහේව එමා කියල බව්තීස්ම කලේ ඉකනො නේද? එහෙනං එමා ප්‍රිතිමත් නත්තලක් සහ සුභ නව වසරක්. මං යනවා සයින් වක්‍රයට අනුකූලව කෝපි එකක් බොන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම සීතලේ එලියට වෙලා ගැහි ගැහී කෝපි බොන වැඩේ මම කරලා නෑ. එහෙනම් කරලා බලන්ට ඕන, බොහොම ස්තුතියි ඔත්තුවට.

      ඩාන්සින් බාබර් ගැන කලින් අහලා නෑ. බසු හාමි ගේ වාග් මාලාව අනුව මම නිකම් ගෙස් කළා බසු හාමි දකුණු පළාතේදෝ කියල. එහෙම උනොත් ඉතින් බසු හාමියි, මමයි, බාබරුයි ඔක්කොම එකම වැයික්කියේ වෙන්නත් ඇහැකි. හැබැයි ඔහොම බාබර් කෙනෙක් ගැන අහලා නෑ, අපි ඉතින් කෙල්ලෝ නේ, අපි යන්නේ අර කට උල් කරලා කතා කරන අක්කිලා ඉන්න සැලෝන් වලට වෙච්චි. :P

      (ඇත්තම කිවුවොත් මගේ කැරලි කොන්ඩේ කොහොම කැපුවත් එක වගේ. ඒ නිසා ගොඩක් විට මම ඒක කපාගන්නේ තනියම.)

      බොහොම ස්තුතියි ප්‍රර්තනාවට. ඔබටත් එසේම වේවා!

      Delete
  3. ඇත්ත නේන්නම්. දුක කියලා දෙයක් නැත්නම් සැප මොකක්ද කියලා දැනෙන්නෙ නෑනෙ. ඔයා කියන බංකුව මට මැවිලා පෙනුනා. සමහරු බීලා නටන බාල්වල හැටියට ඒ මනුස්සයා කරන වැඩේ අගය කරන්නම වටිනවා.
    මං කවදාවත් කිවි උයලා නෑනෙ ඇඹරැල්ලා වගේ. වැඩිය ඉදිලා නැති ඒවාද ගන්නෙ? ඉදිච්ච ඒවා නම් නිකම්ම පොඩිවෙලා යයිනෙ. මං ඇඹරැල්ලා වගේ හදන්නෙ කොළ පාට ඇපල්. හදලා බලන්නකෝ නියමයි. අන්න නියම රෙසිපියක් තියෙනවා අපේ මාරයාගෙ මාර සරණියේ. ඇඹරැල්ලා වෙනුවට කොළ ඇපල් ආදේශ කරන එකම විතරයි වෙනස. ඇඹරැල්ලා වලට වඩා ඉක්මනට පිහෙනවා. ටිප්ස් ටික පංකාදු පහයි. ඔය හෝස් ගාලා යන වෙලාවල් කොච්චර නම් තියෙනවද අනේ… :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. මම හරියටම දන්නේ නැති උනත්, මටත් හිතෙන විදියට අමු කිවි තමයි ගන්නවා ඇත්තෙ. ඒක ඉවුවට පස්සෙ කිවි ඇට ටිකක් තියනවා හොද්දෙ, කළු පොඩි ඇට. ඒකෙන් තමයි කිවි කියල හොයන්න ඇහැක්කේ.

      කොළ ඇපල් දවසක හදල බලන්න ඕන. :)

      Delete
  4. රසට බයිට් හදන්නත් ඇහැක් එකේ බියර් එක්කත් ඇයි හොඳයියක් පටන් ගත්ත නම් නරකද?

    ReplyDelete
    Replies
    1. හැලප තුමාට කියන්න, මට බියර් එක්ක ඇයි හොඳයියක් පවත්වන්න හිත හදාගන්න හරි අමාරුයි, බියර් බිවුවම බඩ වැඩි වෙනවා කියල කියන නිසා.

      හැබැයි අනිත් උදවියව නම් ආශ්‍රය කරනවා ඉඳහිට, අතේ දුරින් වගේ. :)

      Delete
  5. ඇපල් රටක ජීවිතය ගෙවුනත් ලුණු දමා ඇපල් කාලා නැනේ.. අදම ටෙස්ට් කරන්න ඕනා...

    ReplyDelete
  6. ඔබට මූල්‍යමය උදව් අවශ්‍යද? ඔබ කිසියම් මූල්‍ය අර්බුදයක සිටිනවාද? නැතහොත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබේ ණය පියවීමට හෝ බිල් ගෙවීමට හෝ හොඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබට අඩු ණය ලකුණු ප්‍රමාණයක් ඇති අතර දේශීය බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් ප්‍රාග්ධන සේවා ලබා ගැනීම ඔබට අපහසු ද? අපගේ සමාගමෙන් මූල්‍ය සේවා ලබා ගැනීමට ඔබට ඇති අවස්ථාව මෙන්න. අපි පහත සඳහන් මුදල් පුද්ගලයන්ට ලබා දෙන්නෙමු.
    * වාණිජ මූල්‍ය
    *පෞද්ගලික මූල්ය
    * ව්‍යාපාර මූල්‍ය
    ඉදිකිරීම් මූල්‍ය
    * ව්‍යාපාර මූල්‍ය සහ තවත් බොහෝ දේ:
    සහ තවත් බොහෝ දේ 3% පොලී අනුපාතයට;
    විද්‍යුත් තැපෑල හරහා අප අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete