December 18, 2018

නවාතැන්පොළේ කතා / Home away from home - 01

කලින් පෝස්ට් එකට සහෘදයෙක් කමෙන්ට් කරල තිබුණ ජපන් කතා අතරට එක්සත් රාජධානියේ කතා ත් ලියන්න කියල. ඇත්තටම ගොඩක්ම සිදු වෙලා තියෙන්නෙ මෙහෙ ආවත් හරි උදේ යනව, ආයේ හවස ගෙදර එනව වගේ ජීවිතයක් ගෙවන්න සිදු වුණු එක. විවේකයක් හම්බුණු වෙලාවට ඇවිදින්න ගියාට, අනිත් හැමදාම ටිකක් විතර ඒකාකාරියි.

මම දැන් ටික කාලෙක ඉඳන් ගෙදරින් ඈත් වෙලා ඉන්න නිසා, ඒ නොයෙක් නවාතැන් වල සිදුවුණු මතක හිටින සිදුවීම් කිහිපයක් ලියා තබන්නට හිතුව. මේ සිදුවීම් එකින් එක ගත්තම, ටිකක් නීරස ඇති කියල මට හිතෙනව, සීරීස් එකක් ම ලිවුවොත්, දිනපොතක් වගේ එකතුවක් හදන්න පුළුවන් වෙයි, සමහර විට.



සකුරා මල් පිපුණු පාරක් මේ පින්තූරයේ දැක්වෙනවා. පින්තූරය ගත්තේ නම් මම මයි.


මේක තමයි පළමුවැන්න, ජපානෙදි වුණු සිදුවීමක්.

මුලින්ම විදෙස්ගත වෙනකොට මට මෙලෝ විදියකට උයන්න බෑ කියල මම කලිනුත් ලියල ඇති. කොටින්ම, ගිහින් උයන්න පටන් ගනිපු දවස් වල, පරිප්පු එකක් උයන්න පැයක් ගත වෙනවා, කෑම වේලක් ම උයන්න පැය දෙකහමාරක් විතර ගත වෙනවා. අනිත් රටවල් වල අය කුස්සියට ඇවිත් උයලා, වොෂ් එකක් දාන් ඇවිත් කාලා, භාජනේ සෝදන්න ආයේ කුස්සියට එනකනුත් මම උයලා තියනවා, ඔන්න කොටින්ම. හැබැයි ඉතින් ඒ ගොඩක් අයගේ කෑම වේල එක භාජනයයි, උපරිම දෙකයි, බතුත් එක්ක. අපේ ඉතින් කරිත් එක්ක භාජන හතරක විතර ජොබ් එකක් නේ උයන එක.

ජපානේ අපේ විශ්ව විද්‍යාලයේ විදෙස් සිසුන්ට නවාතැන් ගන්න තිබුණු ලොජ් එකේ තිබුනේ පොදු කුස්සියක්. ඒකේ ලොකර් පේලියක් තිබුණා එක එක්කෙනාට වෙන් කරපු, අපට පුළුවන් උයන්න අවශ්‍ය කරන අඩුම කුඩුම ටික ඕකේ දාල තියන්න. ඉතින් මගෙත්, භාජන ටිකයි, තෙල් බෝතලෙයි, තුනපහයි, ඔක්කොම ටික දාන්නේ ඔය ලොකර් එකේ තමයි. මේ ලොකර් හරිම පොඩියි, ඉතින් එකක් උඩින් එකක් තමයි බඩු ටික ගොඩ ගහල තියන්නෙ. දවසක්, සෝදලා තියපු භාජනයක් තෙල් බෝතලේ උඩට තදින් ගෑවිලා (සෝදලා උණාට උයපු ගමන් නිසා භාජනේ ටිකක් උණුවෙන් තිබිල තියෙන්නෙ, හැන්ඩ්ල් එකෙන් අල්ලන් සේදුවම මට දැනෙන්නේ නැහැනේ භාජනේ උණුයි කියල) ඉතින් තෙල් බෝතලේ යන්තමින් උණු වෙලා, සිදුරක් හැදිල. හැබැයි භාජනේ තෙල් බෝතලේට ඇලිල වගේ තිබුණු නිසා, තෙල් ඉහිරිලත් නැහැ. පහුවදා දවල් උයන්න ලෑස්ති වෙලා, ඔය බවක් දන්නේ නැතුව මම තෙල් බෝතලේ ගන්නකොට, අර කුඩා සිදුරෙන් තෙල් ගලන් ඇවිත් බිම තෙල් ඉහිරුණා. හැබැයි මම ඒ ඉහිරුණු තෙල් ටික එවෙලේම සුද්ද කලේ නැහැ, ඒක උඩට කඩදාසි ටිකක් දාල, කට්ටියට පෑගෙන්නේ නැති විදියට තියලා, මම උයන්න ගත්ත, උයල ඉවර වෙලා අස් කරනකොට බිම පිහිනවා කියල හිතාගෙන.

මගේ නරක වෙලාවට, ලොජ් එක වටේ ඇවිද ඇවිද හිටපු ඔෆිසර් කෙනෙක් කුස්සියට කඩා වැදුණ, හරියටම ඒ වෙලාවෙ. ලොජ් එකේ ඔෆිසර් ල තුන් දෙනෙක් හිටිය, මාරුවෙන් මාරුවට. මේ ඔෆිසර් එතරම් මිත්‍රශීලී නෑ, එයාට ඉංගිරිසි ත් එතරම් හොඳින් කතා කරන්න බැහැ, මගේ නරක වෙලාවට. ඉතින් එයා ඇහුව මේ මොකද කඩදාසි දාල තියෙන්නෙ කියල.  මම ඉතින් එයාට කිවුව තෙල් ඉහිරුනේ මගේ අතින් බවත්, මම ඒක පිරිසිදු කරන බවත්. හැබැයි එයාට මම කියපු දේ හරියටම තේරුණේ නැහැ, ඉතින් එයා නැවතත් මට කියා සිටිය, මා විසින් එය පිරිසිදු කල යුතු බව. ඉතින් එයාට මම කලින් කියපු දේ නොතේරෙන්න ඇති කියල හිතල, මම පිරිසිදු කරන බවට එකඟ වුණා.

ඊට පස්සෙ, එයා අර තෙල් ඉහිරුණු එකේ පින්තූර කිහිපයක් අරගෙන (මේ ඔෆිසර් ලා ළඟ කැමරා තියනවා නිතරම) මගේ පින්තූර කිහිපයකුත් ගත්තා, අහන්නෙත් නැතුවම. මූලිකවම තෙල් ඉහිරුණු එක මගේ වැරැද්ද තමයි, නමුත් මොන හේතුවකට හරි, ඔය පින්තූර ගනිපු එක ගැන මට එච්චරම ප්‍රසාදයක් ඇති වුණේ නැහැ.

පසුව, මම උයල ඉවර වෙලා, ඔක්කොම තෙල් ඉහිරුණු තැන් හොඳින් පිරිසිදු කලා. ඒක දැකපු යාළුවොත් එයාල ළඟ තිබුණු වෙට් වයිපස් එහෙම ගෙනැත් දුන්නා, වැඩේ පහසුවෙන් ඉවර කරගන්න පුළුවන් වෙන්න. ඒ උනාට මට තාම හිතට හරි මදි, අර පින්තූර ගනිපු එක ගැන. එතනට නොයෙක් සිසුන් එනවා, සාදා පවත්වන්න, මත්පැන් බොන්න, එහෙම. ඉතින් ඒ හැම අවස්ථාවකම වෙන වෙනම පින්තූර ගැනෙන්නේ නැහැනෙ, මොකද ඔෆිසර් ලා හැම වෙලාවෙම මුළුතැන්ගෙට එන්නේ නැහැ. ඉතින් මගේ පින්තූරය එහෙම වෙන කෙනෙක් අපිරිසිදු වුණු වෙලාවක් එක්ක වැරදීමකින් වත් පැටලුනොත්, නැති වරදක් මගේ නමින් එන්නත් පුළුවන්. ඇරත්, මම කොහොමත් පිරිසිදු කරන්න හිතාගෙන ඉන්නකොට, මම මග අරින්න හැදුවා කියල ඔෆිසර් හිතපු එක ගැනත් මට දැනුණේ කණගාටුවක්. ඒ මනුස්සයට මගෙ හිත කියවන්න බෑ තමයි, නමුත් මට ඒ ගැන හරිම අපහසුතාවයක් දැනුණ.

ඉතින් මගේ හිත හදාගන්න, මම කලේ කඩදාසියක් අරන් මෙන්න මේ ලිවුම ලියපු එක.

අදාළ පාර්ශවයන් වෙතට,

අද (xx/xx/xxxx) දහවල් දෙකට පමණ ආහාර පිළියෙළ කරමින් සිටින අතරතුර, මා අතින් තෙල් ටිකක් බිම ඉහිරිණි. ඒ දුටු නිලධාරීවරයෙක්, ඉහිරුණු තෙල් වල හා, මාගේ ඡායාරූපයක් ලබා ගති. මා දහවල් තුන වනවිට, සියල්ල පිරිසිදු කර අවසන් කල බව, මෙයින් දන්වා සිටිමි.

මා පිරිසිදු කළ පසු වෙනත් අයෙකු විසින් මුළුතැන්ගෙය නැවත අපිරිසිදු කොට ඇත්නම්, එහි වගකීම මා නොදරන බව දන්වා සිටිමි. එනිසා, හැකි ඉක්මනින් මුළුතැන්ගෙය යථා ලෙස පිරිසිදු වී ඇත්දැයි පරික්ෂා කර, මා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

ස්තුතියි.

කාමර අංක xxx හි පදිංචි එමා 

මම ලොක්ක වගේ ඔය ලිවුම ගිහින් දුන්න අර ඔෆිසර් ට. 'අනේ ඔයා පහලට ආවෙ අපරාදේ, මට ඊ මේල් එකක් දැම්ම නම් හරිනේ' කියල, බොහොම කරුණාවෙන් ඔහු ලිවුම ගත්ත. හැබැයි ලිවුමට රිප්ලයි එකක් වත්, ඊ මේල් එකක් වත් මුකුත් ආවේ නැහැ.

හවස හයයි තිහට විතර, කවුරුහරි දොරට තට්ටු කරනවා ඇහිලා, මම ගිහින් දොර ඇරලා බැලුවම, මෙන්න අර ඔෆිසර් ඉන්නවා තව ලිවුමක් අරගෙන. මම ඉතින් ලිවුම අරගෙන කියවල බැලුව.

එමා,

පිළිතුරු දෙන්නට පමා වීම ගැන සමාවෙන්න. මම මුළුතැන්ගෙය පරීක්ෂා කරල බැලුවා, එය ඉතා පිරිසිදුයි. අවසර නැතුව පින්තූර ගනිපු එක ගැන මම කණගාටු වෙනවා, නමුත් මේ සිදුවීම ඔබයි මමයි ඇරෙන්න වෙන කවුරුවත් දැනගන්නේ නැති බවට මම සහතික වෙන්නම්. ඔබේ හිත රිදුණා නම් සමාවෙන්න.

ස්තුතියි.

ඒ සිදුවීම වෙන කාටවත් නොකියන බව ඔහු පොරොන්දු උනාට, මම ම ඔන්න හැමෝටම පේන්න බ්ලොග් එකේ ලිවුව. තවත් නවාතැනක කතාවක් ලියන්නම්, ඊළඟට.

සිංදුවකුත් අහමු.




12 comments:

  1. ඔය අපේ හෝතම්බුවා උයන්න ගියාමත් පැය ගාණක් උයනවා. මම නෙමයි, ඒ වෙලාවට කුස්සිය පලාත යන්නෙ. කපනවා, කොටනවා, දෝයි, දෝයි ගාලා අර තඩි මන්නෙන් මස් කපනව . මගේ ක්‍රමය එලවලු ලිපේ තියල තමා ලූණු කපන්නෙ.ටිකක් වැඩේ අමාරුයි, මොකද සමහර වෙලාවට ටයිමින් මිස් වෙන නිස. ඒත් පැයෙන් වැඩේ ඉවරයි.

    මට මේ දඩි, බිඩි ක්‍රමය පුරුදු වුනේ ම අගේ කරන කෙනෙක් ගෙන්. බොහෝ කාළයකට පෙර බස්සා කාන්තාර රටක, රට ඉඳිගහක වාසය කලා. ඒ කාලෙත් මම කම්මැලි බකමූණා. අපිට උයන්න ආවා තරුණ කෙල්ලක්, ඒජන්සියකින්. බැඳපු අලුත එහේ ඇවිත් තියෙන්නෙ. හබියත් ලස්සන කොල්ලා. මුදල් අඩුපාඩු තියෙන්නෙ ඇති, නැත්නම් ඒ වගේ රස්සාවක් කරන පෙනුමක් නෙමෙයි තිබුණෙ.

    උයනවා ඉවිල්ලක්, ගිනි කසයා වගේ. ඔක්කොම තම්බන්නෙ ප්‍රෙෂර් කුකර් එකේ. රසේ කිසි වැ‍රැද්ද්කුත් නෑ.ඔය වගේ අය නිසා තමා, මම සම්ප්‍රදාය කඩකරන්න ඉගෙනගත්තෙ.

    ඔය ඉඳලා, හිටලා කුකින් ගුරුහරුකම් එහෙම ටිකක් දැම්මට, මගේ නං කිසිම අමනාපයක් නෑ.

    ReplyDelete
    Replies
    1. රුලං කේක් එකත් බේක් කලා.

      මෙන්න මෙතන තියනවා හදන විදිහ. ලෙමන් ගෙඩියෙ පොත්ත ‍රැහැලා උණු වතුරෙන් හෝදලා දැම්මාම නියමයි. පොත්තෙ ගන්නකොට උඩින්ම ගන්න ඕනෙ, සුදු හරියට ගියොත් තිත්ත වෙනවා.

      Delete
    2. ඔයාගේ හෝතඹුවත් එහෙනම් තාම උයන්න පටන් ගනිපු මුල් කාලේ වෙන්නැති. මමත් ටික කාලයක් උයනකොට ස්පීඩ් එක වැඩි වුනා, කරි ලිපේ තියලා, ඒ ලඟම කටිං බෝඩ් එක තියාගෙන ළූණු, සුදුලූණු කපන වැඩේ මමත් කරනවා, කිවුවත් වගේ ටයිමින් නම් හිටපු ගමන් අවුට් යනවා තමයි. දැන් මම ඉන්න ගෙදර කුස්සියේ, ලිප ලඟම කටිං බෝඩ් එක තියාගන්න ඉඩ නෑ, ඉතින් සැරින් සැරේ ළූණු දාන්න ලිපට ඇවිදන් යන්න බෑ නේ, ඒ නිසා ළූණු ටික එහෙම කපාගන්නවා ලිපේ තියන්න කලින්. හැබැයි දැන් ඉස්සරට වැඩිය ගොඩක් ඉක්මනින් උයනවා. මස් නම් කපපුවා අරන් එනවා, උපරිම කරන්නේ චිකන් බ්‍රෙස්ට් එක ගෙනත් කෑලි කපන එක විතරයි, තනි කුකුළා නම් ජීවිතේට අරන් එන්නේ නෑ හේතු තුනක් නිසා.
      1. තනියම කන නිසා කුකුලා ව කාල ඉවර කරන්න ගොඩක් කල් යනවනේ, ඉතින් අප්පිරිය හිතෙනවා ටික දවසක් එකම කනකොට.
      2. කපන්න කරදරයි. මුල්ම කාලේ දවසක් දෙකක් කුකුළා පිටින් ගෙනාව, කපල ඉවර වෙද්දි හොඳ පණ ගිහින්.
      3. චිකන් කැපුවට පස්සෙ, ගෑවුණු ගෑවුණු තැන් සබන් දදා හෝදන්න එපයි, ඊට වඩා ලේසියි පොඩ්ඩක් ගෙනත් වැඩිය කොහෙවත් නොගෑවෙන්න කපාගන්න එක.

      ප්‍රෙෂර් කුකර් එක නම් භාවිතා කරලම නෑ, කඩල තම්බන්න එහෙම ලේසියි කියනවා නේ, මම නිතරම කඩල කනවා, නමුත් මෙහෙ බිල් ගෙවන්නේ මම නෙවෙයි (ෆ්ලැට් රේට් එකක් තියෙන්නෙ) ඉතින් මම ලිපේ තියලා හිතේ හැටියට උයනවා.

      රුලං කේක් එක පැණි රසයි ද? මම ටිකක් පැණිරස එක්ක තරහයි. ෆිගර් අවුට් වෙන නිසා නෙවෙයි, උගුර කසන්න අරන් බඩ පුරෝදානවා, ඒ නිසා වැඩිය කන්නේ නෑ. රෙසිපි එකට ස්තුතියි, තනියම ඉන්න එකේ අවුල තමයි, තනියම කාල ඉවර කරන්න කම්මැලි නිසා ඔය වගේ දේවල් උයන්න කම්මැලි හිතෙන එක. හදන්න ඕන, ක්‍රිස්මස් එකේ ලෑන්ඩ්ලෝඩ් නෑ, මම හිතන් ඉන්නේ මාළු පාන් හදන්න.

      මම දන්න දන්න ටිප්ස් ටික ලියන්නම් ඊළඟ ලිපියේ. ප්‍රොමිස්.

      Delete
    3. වැඩි විස්තර ලියන්න විදිහක් නෑ.ඔව්, රුලං කේක් පැණි රහයි, සීනි දාලා හදලා, ආයෙ සීනි සිරප් එකක පොඟවනවා. ටිප්ස් ලියනවට ස්තූතියි.

      Delete
  2. කියෙව්වා. හරි රහයි. වැඩි විස්තර වැඩ ඇරිලා ඇවිත් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔයා අර උයන්න පටන් ගත්තු දවස්වල ඒකට ගතවුනු කාලය ගැන කිව්වම මට මතක් උනේ අපේ ලොකු දුව. එයාට යන්න ඉස්සෙල්ලා උයන්න කියලා දෙන්න කොයි තරම් හැදුවත් ඒකට කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ. මං එයාගෙ උයන පිහන බඩු ටික ලෑස්ති කරද්දි එයාට පෙන්න, පෙන්නා මෙන්න මේක මෙතන, මේවා මෙතන කියලා කිව්වට හරි, හරී කිව්ව මිසක් ඒවා ඔළුවට දාගත්තෙත් නෑ. පළවෙනි දවසෙ උයන්න යනකොට මේ දරුවා අර බඩු ටිකවත් අස් කරගෙන නෑ. කෝල් එකක් දීලා අහනවා පිහිය කෝ, චොපිං බෝඩ් එක කෝ කිය කියා. ඒ ගමන ස්කයිප් එකට ගිහින් තමයි කියලා දුන්නෙ. අන්තිමට ඇඬුවත් එක්ක. අපිට පපු පැලෙන්න තරම් දුකයි, ගියපු ගමන් උයා ගන්න බැරි උනොත් කන්න විදියකුත් නැති වෙන නිසා. ස්කයිප් එකේ ඉන්න අතරෙ අපට පේනවා අනිත් ළමයිනුත් ඇවිත් බලලා යනවා, එයාලට උයාගන්න. අනේ අපේ කෙල්ල පැය දෙකක් විතර ඉව්වා, ඉව්වා. අර ළමයි මොකුත් කිව්වෙ නම් නෑ, පස්සෙ හිනා වුනාලු.

      භාෂා ප්‍රශ්ණෙ නිසා අනවශ්‍ය කරදර ඇති වෙනවා ඇති විදේශික ළමයින්ට නිතර. ඒ වගේ ළමයි ඉන්න තැනකටවත් හොඳට ඉංග්‍රීසි දන්න අයව දැම්මා නම්. ඒ ඔෆිසර් තරුණ එක්කෙනෙක්ද? එහෙම නම් අර පහළ ඉයන් කියලා තියෙන දේ වෙන්න බැරි කමකුත් නෑ, පස්සෙ අර තරම් කරුණාවෙන් කතා කළේ. ;P

      අර ඔයාගෙ සකුරා මල් පිපුනු වීදියේ පින්තූරෙ හරිම ලස්සනයි.

      Delete
    2. ඔය ලොකු දුවල ඉන්නව නේද, ඔහොම්ම මයි. :P

      තනියම කට්ට කාල දෙයක් ඉගෙන ගන්නේ නැහැ, කොහොම හරි අම්ම ලවා ම කරගන්නව ඔක්කොම. ඇයි ඉතින් පොඩි දූ බිම පෙරලිලා අඬද්දී ත් සත පහකට ගණන් නොගන්න අම්මට, හිත උණු වෙනවා ලොකු දුව මූණ බෙරි කරගත්තු ගමන්. මුලින් මූණ දැකපු කෙල්ල අඬනකොට කාටද ඉවසන්න පුළුවන් ඉතින්.

      අපේ අම්මට එක පාරක් හොඳටම අසනීප වුණා, පිත්තාශයේ ගල් ඇවිත්, පොල් කිරි දාපු දේවල් කන්න බැහැ, වමනේ යනව. ඉතින් අපේ අක්කට එහා ගෙදර ඇන්ටි කියල තියනවා මාළු ටිකක් මිරිසට හදල දෙන්න, එතකොට කන්න පුළුවන් වෙයි කියල. ඒ කාලේ විවාහ වෙලත් හිටිය අපේ අක්ක, අනේ ඇන්ටිට කියල තිබුණ "මාළු උයන්න දන්නෙ නෑ ඇන්ටි" කියල. අනේ ඒ පාර ඒ මනුස්සය මාළු උයල දුන්න. ඔය දෙබස වෙනකොට මම හිටියෙ අම්ම එක්ක ඉස්පිරිතාලෙ. පස්සෙ මම ඕකට දොස් කිවුව "ලජ්ජා නැද්ද උයන්න බෑ කියල ඔහොම කියන්න?" කියල. එතකොට කියපි "ඉතින් බැරි දේට බෑ නොකිය පුළුවන් කියන්නද?" කියල. අම්ම අල්ලපු ගෙදර ඇන්ටි දීපු මාළු එක්ක හොඳින් කෑව. ඉතින් මම එදා හවස පොඩි මාළු ගෙනත් හොදි ඉවුව, ෆස්ට් ටයිම්. (මේ ජපන් යන්න කලින් හොඳේ) ටිකක් වැඩිපුර ලිපේ තිබුණු නිසා කැඩුනා මාළු. නමුත් ශේප්.

      භාෂා ප්‍රශ්නය ගැන කියනවා නම්, එයාලට ඇත්තටම එච්චර උවමනාවක් නෑ එහෙම සහනයක් සලසන්න. එක පාරක් ලෙක්චර් එකක් අතරේ ප්‍රොෆෙසර් කෙනෙක් කිවුව, "ඉංගිරිසි කතා කරන්න ඕන නම් UK, USA යන්න තිබුණනේ, ඔයාල එහෙ නොගිහින් ජපන් ආවේ ජපානයට කැමති නිසා නේ, ඉතින් ජපන් ඉගෙන ගන්න" කියල.
      ඒක තමයි එයාලගෙ ඇටිටියුඩ් එක. කොටින්ම, අපි උපාධිය ගන්නකොට අඳින උපාධි ගවුම අයදුම් කරන වෙබ්සයිට් එක තියෙන්නේ ජපන් බසින් විතරයි. ඒ ගවුමේ රෙන්ට් එක මිල අධිකයි, ඉතින් පුදුම බයෙන් අයදුම් කලේ, වැරදුනොත් ලොකු මුදලක් වතුරෙ නිසා. ඉතින් යුනිවසිටි එකේ සමහර වෙබ් පේජස් ටික වත් ඉංගිරිසි වලින් නැතුව, කොහොමද ඉංගිරිසි කතා කරන නිලධාරීන් ඉඳීවි කියල බලාපොරොත්තු වෙන්නෙ.. වවුලගේ මගුල් ගෙදර ගියාල එල්ලිලා ඉන්න තියරියෙන් ඉඳන්, පුළුවන් තරම් ඉක්මනින් කෝස් එක ඉවර කරන් එන එක තමයි කරන්න තිබුණු එකම දේ. :) සමහර මිතුරන්ට නම් ජපානේ අල්ලලා ගියා ලෙසටම. ඔය උඩින් කියපු හේතු හා තව මහා ගොඩක් හේතු නිසා, මම නම් එන්නෙ කවදද කියල බලන් තමයි හිටියෙ. :)

      Delete
    3. ඔෆිසර් වැඩිමල් කෙනෙක් අනේ. මම ඉයන් ටත් විස්තර කලා ඒක. මම කොහොමත් කැමති ටිකක් වැඩිමල් කොල්ලොන්ට තමයි, නමුත් මේ ඔෆිසර් ඒ වයස් සීමාවෙනුත් එහා.

      //අර ඔයාගෙ සකුරා මල් පිපුනු වීදියේ පින්තූරෙ හරිම ලස්සනයි.// බොහොම ස්තුතියි. :)

      Delete
  3. ඉඳ හිට ලියන කෙනා ටිකක් වැඩිපුර ලිව්වොත් හොඳයි. කොහොම උනත් ඔයාගෙ කමෙන්ට් එක පෝස්ට් එකට වඩා දිගද මංදා.

    ReplyDelete
    Replies
    1. මට තියෙන ප්‍රශ්නේ තමයි එක තැනක වාඩි වෙලා වැඩි වෙලාවක් ඉන්න බැරි එක. ඒකයි පෝස්ට් කොට. :)

      කමෙන්ට් නම් ඉතින් සැරින් සැරේ දාන නිසා එක වෙලාවකට එක කමෙන්ට් එකක් වෙන්න වගේ දිගට ලියන්න පුළුවන්.

      Delete
  4. එමාගෙ ටෝටල් මිස් රීඩිං එකක්නෙ. ඒ මිනිහ අර පිංතූරෙ ගන්නෙ ඇත්තේ 'පිළිබඳ සිතක්' පහල් වෙලා. නම අහගන්න පුළුවන් එකේ හෝ නම දන්න එකේ තව පුද්ගලයගෙ පින්තූර ගන්න ඕන නැහැනෙ. අනික ඒ ගැන ඔයාගෙ ලියුම දෙනකන් පැමිණිල්ලක් කරල තිබුණෙත් නැහැනෙ.

    ඒ මිනිහගෙ පිළිතුරු ලියුමට තව ස්තූති කරල තව ලියුමක් ලිව්වවම් ලියුම් 10-12ක් මාරුවෙනකොට වැඩේ සෙට් වෙනව. එහෙම නොවුනනම් තාමත් දෙපැත්තට ලියුම් ලියවෙනව. හෙහ් හෙහ්.

    ReplyDelete
    Replies
    1. 'හෙහ් හෙහ්' කියන එක කොපි කලේ රවී තුමා ගෙන් නේද?

      ජපන්නුන්ගේ කාර්යාල කටයුතු වලට අත්‍යාවශ්‍ය දෙයක් තමයි කැමරාව. මොකක් හරි විශේෂ දෙයක් වුණු ගමන් ෆොටෝ එකක් ගන්නව. රිසර්ච් කල්චර් එකෙත් එයාල සාපේක්ෂව ෆොටෝ ගන්නවා වැඩියි වගේ ගතියක් මට තේරුම් ගියා, ෂුවර් නෑ ඉතින්.

      අනේ ඒ ඔෆිසර් ගොඩක් වැඩිමහලු කෙනෙක්. මම කොහොමත් ටිකක් වැඩිමල් කොල්ලොන්ට තමයි කැමති, ඒක වෙනම කතාවක්. නමුත් මේ ඔෆිසර් ඒ මම කැමති රේන්ජ් එකෙන් එලියෙ. (වැඩිමල් අයව ඩිස්ක්‍රිමිනේට් කළා කියල එක පාරක් මම බැනුම් නුත් ඇහුව, ආයේ බනීවිද දන්නෙ නැති නිසා පරිස්සමින් කමෙන්ට් කලේ ඔන්න)

      භාෂා ප්‍රශ්නෙ එක්ක, කතා කරලා විසඳගන්න බැරි ඒවට ලියුම් ලියන එක ලේසියි ඇත්තටම. මම සමහර වෙලාවට කියන්න ඕන දේ ඉංගිරිසියෙන් ලියල, ගූගල් ලවා පරිවර්තනය කරගෙන, ප්‍රින්ට් අවුට් එකක් අදාළ නිලධාරී ට ගිහින් දෙනව. එතකොට එයා වැඩේ කරල දෙනව.

      එක පාරක් මුද්දර ගන්න ඕන වෙලා, (මට ආපු ලිවුමක අලවල තිබුණු) අදාල මුද්දරේ ෆොටෝ එකක් අරන් ගිහින් ෂොප් එකේ කෙනාට පෙන්නුවා. :)

      Delete