January 19, 2018

කැණිමඬල - 4

පෙරවදන.

මේක මම ලියන්න ගත්තේ, කරන්න මෙලෝ වැඩක් නැතිව ඔහේ හිටපු කාලෙක. පස්සේ එහෙමම මගහැරුණත්, පටන් ගත්ත වැඩේ ඉවර කලයුතු නිසා හෙමින් ලියන්නට හිතුව. නමුත් දැන් එදාට වඩා වැඩ තියන නිසා, මේ කතාව මා අතින් නියත වේගයකින් නොලියවෙනු ඇති. රසවත් නොවනු ඇති. හදිසියේ ලියපු වාර්තාමය ස්වභාවයක් ගනු ඇති. එහෙම උනොත් සමා වෙන්න.


නීරසයි නම්, නොකියවා හිටියත් තරහ වෙන්නේ නැහැ, මොකද හුදෙක්ම මම මෙය ලියන්නේ පටන්ගත් වැඩේ ඉවර කිරීමේ ආත්ම තෘප්තිය ලැබීමේ අරමුණින් පමණයි.


*****

කැණිමඬල - 1

කැණිමඬල - 2

ගෙදර  එන  ගමන්  සැමන්  ටිකක්  වැඩිපුර  අරන්  එන්න'යි  කියන්නට,  මා නිර්මල  ට  දුරකථන  ඇමතුමක්  ගත්තේ,  කලකට  පසු  ඔහුගේ  සිතට සතුටක්ද  ඇති  කරමිනි. 

කැණිමඬල - 3

නිර්මල සමග ගෙදර ආ ආන්යා, ඔවිනි දැක බෙහෙවින් පුදුමයටත්, සතුටටත් පත් විය. මම රාත්‍රී කෑම පිළියෙළ කරනාතුරු, ඔවිනි ආන්යා සමග කතා බහේ යෙදෙමින් පසු විය.


මා මුළුතැන්ගෙයි සිටින විට වෙනදාට ආන්යා ලඟින් හෙලවෙන්නට බැරිව සිටින නිර්මලට, අද නිදහස ලැබී තිබේ. ඔහු මා දෙසට හෙමි හෙමින් ඇදිණි.


"මමත් මොනවහරි කරන්නද?"


"ඕන නෑ.. සැමනුයි පරිප්පුයි විතරයි හැදුවෙ. දැන් ඉවරයි."


"ඔවිනිට සැමන්, කමක් නැද්ද?" නිර්මල තතනමින් අසයි.


"දවල් කෑවා. සැමන් කන්න ආසයි කිවුව."


"එහෙමද.. කාලෙකින් නිසා වෙන්නැති එහෙනම්."


ඔවිනි ගැන හා නූපන් දරුවා ගැන නිර්මල මොනවා හිතන්නේදැයි මට සිතාගත නොහේ. ඔවිනි ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ නොවන බව සැබෑවකි. නීතිමය බැඳීම කවරාකාර වුවත්, තමන්ගේ දරුවෙක් දරා සිටින ගැහැණියක් ගැන පිරිමියෙක් තුල සැබැවින්ම ඇත්තේ කවර හැඟීමක් ද? නිර්මලගේත් ඔවිනිගේත් දරුවාට මා භාරකාරයෙක් වන්නේ, නිර්මලගේ බිරිඳ නම් වූ තෙවැනි පාර්ශවයකින් පමණි. මේ සියලු දේ අවසන, බිඳුණු සිතින් මා නිර්මලගෙන් වෙන් වූ දාක, ඒ භාරකාරත්වයෙනුත් මා නිදහස් වෙයි.


මා ආන්යා දරා සිටි සමයේ නම්, නිර්මල මා වෙනුවෙන් බොහෝ වෙහෙසෙන බවක් මට දැනිණි. එය මගේ පළමු ගැබිණි අත්දැකීම වූවා සේම, ගැබිණි බිරිඳක් සමග ජීවත් වීමේ නවමු අත්දැකීමට ඔහු සාර්ථක ලෙස මුහුණ දීමට උත්සාහ කලේ, මිතුරන්ගෙන් මෙන්ම අන්තර්ජාලයෙන් ද දැනුම එකතු කර ගනිමිනි. මවිසින් වරක් දෙවරක් අවධානය ඉල්ලා ඇති කෙරුණු ගැටළු හැරුණුකොට, අපේ පළමු ගැබිණි සමය ඉතා මිහිරි විය.


"ඔයා සාලෙට ගිහින් ඔවිනි එක්කයි ආන්යා එක්කයි ඉන්න. උයල ඉවරයි දැන් ගොඩක්."


අද ආන්යා ඉක්මනින් නිදි ඇඳට යවා, අපි තුන්දෙනාට කරන්නට වැදගත් කතාවක් තිබේ. මේ නිසාම වෙනදාට වඩා කලින් උයන්නට පටන් ගත් මට, නිර්මල ගෙදර එනකම් ඉන්නට සිදු වූ නිසා සැමන් කරිය පමණක් උයන්නට පමා විය.


"එහෙනම් බාජන සෝදන්නේ නැතුව ඉන්න. මට පුළුවන් බාජන ටික සෝදන්න, ඔයා ආන්යව නිදි කරන අතරෙ."



*****


කෑම තසිම් අරන් සාලයට යනවිට, නිර්මලත්, ඔවිනිත්, ආන්යාගේ සුරතල් බස් අසමින් සිටියහ. නිර්මලත්, ඔවිනිත්, අගනා ජෝඩුවකි. නිර්මල වෙනදාට වඩා තරුණ වී පෙනෙන්නේ, ඔවිනි ලඟින් ඉන්නා නිසාද? කඩවසම් නිර්මල දැක එකවරම හිතේ ඇති වුණු සතුට, අනිත් සියලු දේ නිසා ඇති වූ දුක සහ තරහ මගින්, අසුරු සැණින් මැකී ගියේය.


සැමන් බෙදා හදා ගන්නට කෑම මේසයේ සුරතල් යුද්ධයක් හට ගැනිණි. ඔවිනි ගැන මගේ හිතේ ඇති නොපහන් හැඟීම්, ඔවිනිගේ මුහුණ දුටු විට හිරු දුටු පිණි බිඳු මෙන් වියැකී යන්නේ ඇයි?


නිර්මල කෑම මේසය අස් කර දමා, භාජන සෝදන්නට පටන් ගත්තේය. කලකින් පසු ඔවිනි සමග කල් ගත කරන්නට ලැබුණු නිසා ඉතාමත් සතුටට පත්ව සිටි ආන්යා, නිදි ඇඳට රැගෙන යාම නම් උගහට විය. භාජන සෝදා අහවර කළ නිර්මල ත්, ඔවිනි හා මා සමග එකතු වූ අතර, අවසානයේ අපි සියලු දෙනාම මැදියම් රැයේ ආන්යා නින්දට වැටෙනකම් ම, ඇය සමග කල්ගත කළෙමු. මේ නිසා අපේ රාත්‍රී සාකච්ඡාව ඇරඹීමට වත් නොහැකි වූ අතර, ඔවිනිටත් මටත් ආන්යා සමග ඇඳේ නිදන්නට ඉඩහැර, නිර්මල සාලයේ සෝපාවට ගියේ පසුවදාට කරන්නට තිබෙන වැඩ කිහිපයකට සූදානම් වී, එහිම නිදන්නටයි.


"සොරි ඔවිනි. හෙට නිර්මලට කලින් එන්න කියල ආන්යව රෑ වෙලා ඩේ කෙයා එකෙන් ගමු."


"හ්ම්ම්.. අනේ මන්ද. දවසින් දවස පහු වෙයිද මේ වැඩේ?"

"ඔයා අද ආව විතරනෙ ළමයො. හෙට කතා කරමු. නිදහසේ කතා කරන්න විදියක් නැති නිසා මිසක් නැත්නම් මෙලහකට නිර්මල මොනවහරි ප්ලෑන් කරල ඇත්තෙ."


*****

අපේ සැලසුම වූයේ, නිර්මලත්, මමත් රැකියාවට පිටත්ව ගිය පසු, ඔවිනිට නිවසේ විවේක සුවයෙන් රැඳෙන්නට ඉඩ දීමටයි. තමන් සමග ඉඟි බිඟි පාමින් සිටි යුවතිය, හිටි හැටියේ මසකට නිවාඩු ගෙන විදේශගත වීම නිසා, ඇගේ කාර්යාල ප්‍රධානියා අන්දුන් කුන්දුන් වී තිබිණි. හදිසියේ අසනීප වූ මිතුරියක් ගැන මොකක්දෝ කතාවක් ඔහුට කියන්නට ඔවිනි සූදානම් කරගෙන තිබුණු අතර, අපි කිසිවෙකුත් නිවසේ නැති සාමකාමී උදෑසන, ඇය ඔහුට දුරකථන ඇමතුමක් දෙන්නට සූදානමින් සිටියාය.


එදින හවස, මමත් නිර්මලත්, වෙනදාට කලින් වැඩ ඇරී ආවෙමු. ඔවිනි කට්ලට් සාදා තිබුණු අතර, අපි තේ බොන්නට පටන් ගතිමු.

"බොස්ට තේරුණා මම බොරු කියනව කියල. මට හොඳටම ෂුවර් ඒක නම්. ඉක්මනට මේක ඉවර කරගමු අනේ. මට ඉක්මනට ආපහු යන්න ඕන. නිර්මල අයියෙ, ඔයාගෙ ප්ලෑන් එක මොකද්ද?"

"මගෙ ප්ලෑන් එක? මොන?"

"මේ දරුව නැති කරන්න? ඔයා මොනවද රෙඩි කලේ? කවද කොහොමද වැඩේ වෙන්නෙ?"

"මම මුකුත් රෙඩි කලේ නෑ. ඔයා මුකුත් කිවුවෙත් නැහැනෙ. මම කොහොමද තනියෙන් තීරණ ගන්නෙ?"


මේ වන විට ඔවිනිගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් තිබුණු අතර, ඔවිනිත්, නිර්මලත්, අතර බරපතල වාදයක් හටගැනිණි. දෙදෙනාම කෝපයෙන් නොයෙක් දේ කියා ගත් අතර, මට ඒ බහුතරයක් දේ නෑසී ගියේ, ඊයේ ආන්යා නිදි අතරේ මේ කතාව සිදු නොවී, අද ආන්යා ඩේ කෙයා එකේ සිටින මොහොත දක්වා මේ කතාව කල් යාම ගැන මා දෙවියන්ට ස්තුති කරමින් සිටි නිසාවෙනි.

"මම බෑ කියද්දි බලෙන් ඇවිත් පටන් ගත්ත දේ, මෙච්චර දෙයක් වෙලත් කිසි ගානක් නැතුව ඉන්නෙ කොහොමද?"

"බලෙන්? එතකොට ඔයා මුකුත් කලේ නෑ?"

"අසරණකමට කරගන්න දෙයක් නැතුව හිටිය, කෑ ගැහුවනම් මේ රත්තරන් පවුල කැඩිල යන නිසා. ඔව් ඉතින් දැන් අසරණ වෙලා ඉන්නෙ මම නේ? ඔයාට මොන ප්‍රශ්නයක් වත් නැහැනෙ."

"දෙන්නම කට වහගන්නයි කිවුවෙ."

"මට නිවාඩු තියෙන්නෙ මාසෙකට. මට යන එන මං නැති කරන්න එපා ප්ලීස්."


ඔවිනි නාන කාමරයට ගොස් දොර වසා ගත්තාය. ඇය යලිත් එන විට, මම නිර්මල සමග කතා බහ අවසන් කර තිබුණු අතර, අවශ්‍ය කටයුතු හැකි ඉක්මනින් සම්පාදනය කරන්නට ඔහු මට පොරොන්දු වී තිබිණි.


*****

මතු සබැඳි.







8 comments:

  1. මෙලෝ රහක් නම් නෑ තමයි. :-D එත් කමක් නෑ, දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. :D

      හරි. කොහොමත් තව කොටස් දෙක තුනකට වඩා නෑ.

      Delete
  2. දැන් මතකත් නෑ අනේ කතාව..ආයම කොණක ඉඳල බලන්ටම වෙනව ...;)

    ReplyDelete
    Replies
    1. අයියෝ එච්චර මහන්සි වෙලා කියවන්න එපා.

      මම ඊළඟ පාර මෙතෙක් කතාවක් දාන්නම්. :)

      Delete
  3. සුපිරි ප්ලොට් එකක්.. ආලවට්ටම් දාල අල කරනවට වඩා මේ යන විදියත් එක අතකින් හොඳයි.. කොටස් හතරම කියවන්න වුනු නිසා කොමෙන්ට් එක පරක්කු උනත් එහෙම කියවනකොට ගතියක් තියෙනවා..

    රවී අයිය කලින් තැනක කියුව වගේ මටත් ගෙස් කරන්න හිතෙනවා එන්ඩ් එක. එක්කෝ මොකටද ලිහල බලන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමි තුමාගේ කොමෙන්ටුවට. මට හරිම සතුටක් සහ දිරියක් ලැබුණ ඔබේ කොමෙන්ටුව නිසා. :)
      ඉතුරු ටිකත් ලියන්නම් හෙමීට.

      Delete